192. නමක මහිම...02

ජැක්:
අද හරි ලස්සන දවසක් නේද මිස් ෆෙයාර්ෆැක්ස්.

ග්වෙන්ඩලින්:
අනේ කාළගුණේ ගැනනම් මාත් එක්ක කතා කරන්න එපා වර්දිං මහත්මයා. කවුරුහරි මාත් එක්ක කාළගුණේ ගැන කතා කරනකොට මට හිතෙන්නෙම එයාට කියන්
 ඕන වෙලා තියෙන්නේ වෙන දෙයක් කියලයි. එතකොට මට දැනෙන්නේ හරිම අපහසුවක්.

ජැක්:
මට කියන්න ඕන වුණෙත් වෙන දෙයක් තමයි.

ග්වෙන්ඩලින්:
ඒකනෙ මං කිව්වෙ. මට සාමාන්‍යයෙන් වරදින්නෙ නෑ.

ජැක්:
ඉතිං මං කැමතියි බ්‍රැක්නෙල් ආර්යාව මෙතන නැති වෙලාවෙන් ප්‍රයෝජනයක්...

ග්වෙන්ඩලින්:
අනේ ඔව් ගන්න ගන්න, ඉක්මණට ප්‍රයෝජනේ ගන්න. අපේ අම්මට හරි නරක පුරුද්දක් තියෙනවා තැනකින් ගියාම ආයෙ එකපාරට එතනට කඩා පාත් වෙන. එහෙම කරන්න එපා කියලා මං කොච්චර කිව්වත් අහන්නෙ නෑ.

ජැක්:
[අපහසුවෙන්] මිස් ෆෙයාර්ෆැක්ස්, ඔයාව මං දැකපු දවසේ ඉඳලා, මං ඔයාව දැක්කට පස්සේ දැකපු අනිත් හැම ගෑණු ළමයටම වඩා මං ඔයාව අගය කළා.

ග්වෙන්ඩලින්:
ඔව්, ඒ ගැන මං හොඳට දන්නවා. ඔයා ඒ ගැන අනිත් අය ඉස්සරහා ඒ හැටි ඇඟෙව්වෙ නැත්තේ ඇයි කියලත් මං කොච්චරවත් කල්පනා කළා. මං ගැන ගත්තොත්, මට ඔයාට වශී නොවී ඉන්න බැරි වුණා. අපි මුණගැහෙන්න කළින් ඉඳලම අපි දෙන්නා බැඳිලා හිටිය බව මට දැනෙනවා. [ජැක් මවිතයෙන් බලා සිටියි.] අපි ජීවත්වෙන්නේ පරමාදර්ශී යුගයක කියලා ඔයා අහලා ඇතිනේ. අර මාසික සඟරා වල - හප්පා එව්වැයෙ ගණං! - කොච්චරවත් ඒ ගැන කියලා තියෙන්නේ. ඇයි එතකොට ප්‍රාදේශීය රැස්වීම් වලත් ඒ ගැන කතා කරනවලු; ඉතිං මට මතක ඇති කාළෙක ඉඳන් මගේ පරමාදර්ශය වෙලා තිබුණේ අර්නස්ට් කියන නම තියන කෙනෙකුට ආදරේ කරන එක. ඒ නමේ තියෙන්නේ පුදුමාකාර ලස්සනක්. ඇල්ජර්නන් එයාට අර්නස්ට් කියලා යාළුවෙක් ඉන්න බව කියපු දවසෙම මං දැනගත්තා මගේ ඉරණම එයාට ආදරේ කරන එක තමයි කියලා.

ජැක්:
ඔයා ඇත්තටම මට ආදරෙයිද ග්වෙන්ඩලින්?

ග්වෙන්ඩලින්:
මගේ මුළු හදවතින්ම.

ජැක්:
වස්තුවේ! ඔයා දන්නවද ඔයා මාව කොයිතරම් සතුටු කළාද කියලා?

ග්වෙන්ඩලින්:
මගේ අර්නස්ට්!

ජැක්:
ඒත් මගේ නම බැරිවෙලාවත් අර්නස්ට් නොවුණනං එහෙම ඔයා මට ආදරේ නොකර ඉන්නෙ නෑ නේද?

ග්වෙන්ඩලින්:
ඒත් ඔයාගෙ නම අර්නස්ට් නේ.

ජැක්:
ඔව්, ඒක හරි. ඒත් නිකමට හිතන්නකෝ ඒක වෙන නමක් වුණා කියලා. එහෙම වුණානං ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද?

ග්වෙන්ඩලින්:
[මුඛරි හඬින්] ආ, ඕක මේ මනෝ විද්‍යාවට සම්බන්ධ දෙයක්නේ. ඒකත් මේ මනෝ විද්‍යාවට සම්බන්ධ අනිත් හැමදේම වගේ අපේ හැබෑ ජීවිතේට කොහෙත්ම අදාළ නොවෙන දෙයක්.

ජැක්:
ඇත්තටම වස්තුවේ, කෙළින්ම කියනවනං, මං ඔය අර්නස්ට් කියන නමට වැඩිය කැමති නෑ. මං හිතන්නේ ඒක මට ඒ හැටි ගැලපෙන නමක් නෙවෙයි කියලයි.

ග්වෙන්ඩලින්:
මොකද නැත්තෙ? ඒ නම ඔයාට හොඳට ගැලපෙනවා. ඒක දිව්‍යමය නමක්. ඒ නමේම තියෙනවා ලස්සන රිද්මයක්. ලස්සන... ලස්සන... කම්පනයක්.

ජැක්:
ඒත්, ඇත්තටම, ග්වෙන්ඩලින්, මට හිතෙනවා ඊට වඩා ගොඩක් ලස්සන නම් තියෙනවා කියලා. නිකං හිතන්නකෝ - ජැක් - බලන්න කොච්චර ලස්සන නමක්ද කියලා.

ග්වෙන්ඩලින්:
ජැක්? අපෝ ඒ නමේ කැත! කිසිම රිද්මයක් නෑ, තිබුණත් බොහොම ටිකයි ඇත්තේ. ඒ නමේ කිසිම ගතියක් නෑනේ. කිසිම කම්පනයකුත් නෑ... මං දන්න ජැක්ලා කීප දෙනෙක්ම ඉන්නවා, එක්කෙනෙක්ගෙන්වත් කිසිම වැඩක් නෑ. අනික, ජැක් කියන්නේ ජෝන්ලටත් ගෙදරට කියන නම. ජෝන් කියන නම තියෙන මිනිස්සුන්ව බඳින ගෑණු ගැන මට තියෙන්නේ පුදුම දුකක්. කණක් ඇහිල්ලේ පාඩුවේ ඉන්න සතුට එයාට කවදාවත් ලැබෙන එකක් නෑ. මේ ලෝකේ තියෙන එකම, හොඳම නම තමයි අර්නස්ට්.

ජැක්:
ග්වෙන්ඩලින්, මට මේ දැන්මම බෞතීස්ම වෙන්න ඕනෙ--මං කිව්වෙ මේ දැන්මම අපි දෙන්නා කසාද බඳින්න ඕනෙ. අපිට නාස්ති කරන්න කාලයක් නෑ.

ග්වෙන්ඩලින්:
කසාද බඳින්න?

ජැක්:
[පුදුමයෙන්] ඔව්...නැතුව. ඔයා දන්නවා මං ඔයාට ආදරෙයි කියලා. දැන් ඔයා මේ කියපු දේවල් වලින් මටත් හිතෙන්නේ ඔයාටත් මං ගැන දැනෙන්නේ එහෙමමයි කියලා.

ග්වෙන්ඩලින්:
මං ඔයාට ආදරෙයි තමයි. ඒත් ඔයා තාම මට යෝජනා කළේ නෑනේ. කසාදෙ ගැන වචනයක්වත් කතා කළෙත් නෑනේ.

ජැක්:
එහෙනං... මං දැන් ඔයාට යෝජනා කරන්නද?

ග්වෙන්ඩලින්:
මං හිතන්නේ දැන් තමයි හොඳම වෙලාව. ඔයාගෙ හිතේ දෙගිඩියාව නැති කරන්න මං මේකත් කියලාම ඉන්නම්කෝ වර්දිං මහත්මයා, මං ඔයාගේ යෝජනාව පිළිගන්න දැනටමත් හිත හදාගෙනයි ඉන්නේ.

ජැක්:
ග්වෙන්ඩලින්!

ග්වෙන්ඩලින්:
ඔව් වර්දිං මහත්මයා, මොකද්ද ඔයා මට කියන්න ලෑස්ති වුණේ?

ජැක්:
ඒත් ඔයා දැනටමත් දන්නවනේ මං මොකද්ද කියන්න යන්නේ කියලා.

ග්වෙන්ඩලින්:
ඔව්, ඒත් කෝ ඔයා ඒක කියන්නෙ නෑනේ.

ජැක්:
ග්වෙන්ඩලින්, ඔයා මාව කසාද බඳිනවද? [ඈ ඉදිරියෙන් දණ නමාගනියි.]



ග්වෙන්ඩලින් වෙත විවාහ යෝජනාව ඉදිරිපත් කරන ජැක් වර්දිං
ග්වෙන්ඩලින්:
ඔව්, වස්තුවේ. අනිවාර්යෙන්ම. මගෙ අම්මේ ඔයා ඒකට ගත්ත වෙලාව! මටනං පේන්නේ ඔයාට මේ විවාහ යෝජනා කරන වැඩේ ගැන ඒ තරම් අත්දැකීමක් නෑ කියලයි.

ජැක්:
රත්තරනේ, මං ඔයාට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත් ආදරේ කරලා නෑ.

ග්වෙන්ඩලින්:
ඒක හරි, ඒත් මිනිස්සු සාමාන්‍යෙන් පුරුදු වෙන්න ඔය වැඩේ කරනවනේ. මගේ අයියා ජෙරල්ඩ් පවා එහෙම කරනවා. මගේ යාළුවොත් මට කියලා තියෙනවා ඒ ගැන. ඔයාට තියෙන්නේ කොයි තරම් ලස්සන නිල් පාට ඇස් දෙකක්ද අර්නස්ට්! ඒවා නිල්ම නිල් පාටයි. ඔයා හැම වෙලාවෙම මං දිහා ඔය විදිහට බලං ඉන්නවනං මං හරිම කැමතියි, වැඩියෙන්ම අහළ පහළ අනිත් අය ඉන්න වෙලාවට.

[බ්‍රැක්නෙල් ආර්යාව පමිණෙයි.]

බ්‍රැක්නෙල් ආර්යාව:
වර්දිං මහත්මයා! තමුන් ඔය බාගෙට නින්ද ගිහිං වගේ ඉඳං ඉන්න තැනින් වහාම නැගිටිනවා. මේ මොන නාඩගමක්ද!

ග්වෙන්ඩලින්:
අම්මේ! [ජැක් නැගී සිටින්නට උත්සාහ කළද ඇය ඔහුව වළක්වයි.] ආපහු යන්න අම්මේ. මේ වෙලාවෙ අම්මා මෙතන ඉන්න එක හොඳ නෑ. අනික තාම වර්දිං මහත්මයාගෙ වැඩේ ඉවරත් නැහැ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මොන වැඩේද කිව්වනං බලන්න.

ග්වෙන්ඩලින්:
මං වර්දිං මහත්මයා එක්ක විවාහ ගිවිසගත්තා අම්මා. [ඔවුන් දෙදෙනා එකට නැගී සිටිති.]

බ්‍රැක්නෙල් ආර්යාව:
බොහොම කණගාටුයි, ඔයාට එහෙම විවාහ ගිවිසගන්න බෑ. ඔයාගෙ විවාහය කා එක්ක හරි ගිවිසගනිද්දි මං හරි ඔයාගෙ තාත්තා හරි, එයාගෙ ලෙඩ ඇඳෙන් එයාට නැගිටගන්න පුළුවන් වුණොත්, ඔයාට ඒ ගැන දන්නන්නං. විවාහ ගිවිසගැනීමක් කියන එක තරුන ගෑණු ළමයෙක්ට දැනෙන්න ඕනෙ බලාපොරොත්තු නොවිච්ච පුදුමයක් විදිහට. ඒක හිත සතුටු කරවන පුදුමයක් වුණත්, හිරිකිත දැනෙන පුදුමයක් වුණත් ඒක වෙන්න ඕනෙ එහෙමමයි. ඒක කොහොමටවත් එයාටම කතා කරලා ලෑස්ති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි... හරි දැං තමුන්ගෙන් අහන්න මට ප්‍රශ්න කීපයක් තියෙනවා වර්දිං මහත්මයා. මං ඒ ගැන එයාගෙන් අහනකල් ග්වෙන්ඩලින්, ඔයා ගිහිල්ලා පල්ලෙහා වාහනේට වෙලා ඉන්න.

ග්වෙන්ඩලින්:
[විරෝධය පාමින්] අම්මේ!

බ්‍රැක්නෙල් ආර්යාව:
වාහනේට, ග්වෙන්ඩලින්! [ග්වෙන්ඩලින් දොර වෙත යයි. ඇය හා ජැක් බ්‍රැක්නෙල් ආර්යාවට පිටුපසින් හිඳ එකිනෙකා වෙත හාදු මුදා හරිති. අවටින් ඇසෙනා අමුතු හඬ කුමක්දැයි සෝදිසි කර බලනා ආර්යාව අවසානයේදී පසුපස හැරී බලයි.] ග්වෙන්ඩලින්, යන්නයි කිව්වෙ වාහනේට!

ග්වෙන්ඩලින්:
හොඳයි අම්මේ. [ජැක් දෙස හැරී බලමින් පිටව යයි.]

බ්‍රැක්නෙල් ආර්යාව:
[හිඳගනිමින්] තමුන්ට ඉඳගන්න පුළුවන් වර්දිං මහත්මයා. [තම පසුම්බියෙන් සටහන් පොතක් හා පැන්සලයක් පිටතට ගනියි.]

ජැක්:
ස්තූතියි බ්‍රැක්නෙල් ආර්යාවනි, ඒත් මට මෙහෙම හොඳයි.

බ්‍රැක්නෙල් ආර්යාව:
[පැන්සලය හා සටහන් පොත අතැතිව.] මං ළඟ තියෙන සුදුසුකම් ඇති ඉලන්දාරින්ගේ නම් ලැයිස්තුවේ තමුන්ගේ නම නැති බව කියන එක මගේ යුතුකමක් කියලා මං හිතනවා. බෝල්ටන් ආදිපාදවරිය ළඟ තියෙන්නෙත් මේ ලැයිස්තුවමයි. අපි මේ ලැයිස්තු හැදුවේ එකටමයි. කොහොමහරි, තමුන්ට පුළුවන්නං ආදරණීය අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන විදිහේ උත්තර දෙන්න, මං ලෑස්තියි තමුන්ගේ නමත් මෙතනට එකතු කරගන්න. තමුන් දුම් බොනවද?

ජැක්:
මේ, ඔව්, මං දුම් බොනවා.

බ්‍රැක්නෙල් ආර්යාව:
බොහොම සන්තෝසයි. මනුස්සයෙකුට කාලෙ ගෙවාගන්න මොකක් හරි වැඩක් තියෙන්නම එපැයි. කිසිම වැඩක් නැතුව ඉන්න ඉලන්දාරි මේ ලන්ඩන් වල ඕන තරම්. වයස කීයද?

ජැක්:
විසි නවයයි.

බ්‍රැක්නෙල් ආර්යාව:
කසාදයක් බැඳගන්න හොඳ වයස. මං නිතරම හිතන දෙයක් තමයි කසාද බඳින්න හිතාගෙන ඉන්න මනුස්සයෙක් එක්කො හැමදේම දැනගෙන ඉන්න ඕනෙ, නැත්තං කිසිම දෙයක් නොදැන ඉන්න ඕනෙ. තමුන් අයිති වෙන්නෙ මොන ගොඩටද?

ජැක්:
[මදක් පසුබාමින්] මං කිසිම දෙයක් දන්නෙ නෑ, බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
බොහොම සන්තෝසයි. උපන්ගෙයි මෝඩකමට හරස් වෙන දේවල් මම සාමාන්‍යයෙන් අනුමත කරන්නෙ නෑ. මෝඩකම කියන්නේ හරියට හොඳට පැහිලා ඉදිච්ච, පිට රටින් ගෙන්නපු සුකුමාර පළතුරක් වගේ; අල්ලපු ගමන් විනාසයි. මේ නූතන අධ්‍යාපනය කියලා කෙරෙන්නේ කිසිම තේරුමක් නැති දෙයක්. වාසනාවකට එංගලන්තේ අධ්‍යාපනය කොහොම ගත්තත් කිසි වැඩකට නෑ තමයි. බැරිවෙලාවත් ඒක වැඩකට ඇති දෙයක් වුණානම් එහෙම, මේ ඉහළ පැලැන්තිය සෑහෙන ලොකු අමාරුවක වැටෙනවා. අර ග්‍රොස්වෙනර් චතුරශ්‍රයේ ගාලගෝට්ටියක් වුණත් පටන්ගන්න බැරි නෑ එහෙම වුණානං. තමුන්ගෙ ආදායම කොහොමද?

ජැක්:
අවුරුද්දකට හත් අට දාහක් විතර.

බ්‍රැක්නෙල් ආර්යාව:
[සටහන් පොතේ ලියාගනියි.] ඉඩම් වලින්ද, ආයෝජන වලින්ද?

ජැක්:
වැඩිපුරම ආයෝජන වලින්.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒක හොඳයි. කෙනෙක්ගෙන් ජීවත් වෙලා ඉන්න කොට බලාපොරොත්තු වෙන වගකීම් වලිනුයි, ඒ මනුස්සයා මළාට පස්සෙ බාර වෙන වගකීම් වලිනුයි අතරමැද්දෙ අරං බැලුවාම ඉඩම් කියන්නේ කෙනෙක්ට ලාභය එහෙමත් නැත්තං සතුට ලබා දෙන දෙයක්. ඉඩම් වලින් කෙනෙකුට හොඳ තරාතිරමක් ලැබෙනවා, ඒ එක්කම ඒක නැති භංගස්ථානවෙලා යන්න වැඩ සිද්ධ වෙනවා. ඉඩං ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි.

ජැක්:
ඇත්තටම මට ගමේ ගෙයක් තියෙනවා, ඒකත් එක්ක අක්කර එක්දාස් පන්සීයක් විතර තියෙනවා මං හිතන්නේ; ඒත් මගේ මූලික ආදායම් මං හොයාගන්නෙ ඒකෙන් නෙවෙයි. ඇත්තටම කියනවනං, ඒකෙන් හරිහමං වැඩක් ගන්නේ දඩයක්කාරයෝ විතරයි.

බ්‍රැක්නෙල් ආර්යාව:
ගමේ ගෙයක්! කාමර කීයද? කමක් නෑ, ඒක පස්සට දාමු. තමුන්ට නගරෙත් ගෙයක් ඇති කියලා මං හිතනවා. ග්වෙන්ඩලින් වගේ තැලෙන්නෙ පොඩි වෙන්නෙ නැතුව හැදිච්ච ගෑණු ළමයෙකුට ගමේ ගෙදරක ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ.

ජැක්:
බෙල්ග්‍රේව් චතුරශ්‍රයේ මගෙ ගෙයක් තියෙනවා, ඒත් දැනට ඒක බ්ලොක්ෂැම් ආර්යාවට බදු දීලා තියෙන්නේ. ඒක මට ඕන වෙලාවක ආපහු අරගන්න පුළුවන් මාස හයක් කල් ඇතුව දැනුම් දීලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
බ්ලොක්ෂැම් ආර්යාව? මං එයාව දන්නෙ නෑනේ.

ජැක්:
අපොයි එයා එහෙ මෙහෙ ඇවිදින්න යන්නෙ බොහොම අඩුවෙන්. ටිකක් වයසක නෝනා කෙනෙක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
දැන් කාලේ චරිතෙක වැදගත්කම මනින්න බෑ වයසින්. බෙල්ග්‍රේව් චතුරශ්‍රයේ නොම්බර කීයද?

ජැක්:
149.

බ්‍රැක්නෙල් ආර්යාව:
[හිස දෙපසට වනමින්] අර පරණතාලෙ පැත්තනෙ. මං හිතුවෙ මොකක් හරි වැඩකට ඇති තැනක් වෙන්න ඇති කියලා. කමක් නෑ, ඒක වෙනස් කරගන්න බැරියෑ.

ජැක්:
තාලෙද, පැත්තද?

බ්‍රැක්නෙල් ආර්යාව:
[දරදඬු හඬින්] මං හිතන්නෙ ඕනෙනම් ඒ දෙකම මාරු කළානම් හරි. එතකොට දේශපාලනේ කොහොමද?



බ්‍රැක්නෙල් ආර්යාවගේ උසාවියේ පෙනී සිටින ජැක් වර්දිං

ජැක්:
මං එක පැත්තකටවත් අයිති නෑ. මං නිදහස්-සමසමාජ කාරයෙක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
ආ එහෙම අය අයිති වෙන්නෙ දක්ෂිණාංෂිකයන්ට. ඒගොල්ලෝ අපිත් එක්ක කෑම ගන්නෙ. නැත්තං හැන්දෑවට එකතුවෙනවා කොහොමහරි. දැන් සුළු කාරණා ගැන බලමු. තමුන්ගෙ දෙමව්පියන් ජීවතුන් අතරද?

ජැක්:
මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
එක්කෙනෙක් නැතිවුණානං, වර්දිං මහත්මයා, අපිට කියන්න තිබ්බා අවාසනාව කියලා; ඒත් දෙන්නම නැති වුණා කියන්නේ සැලකිල්ලක් නැතිකමනේ. කවුද තමුන්ගේ පියා? පේන විදිහටනම් යමක් කමක් තිබ්බ කෙනෙක් වෙන්න ඕනෙ. එයා ඔය පෙරළිකාර පත්තරවල කියවෙන රාජකීය වාණිජ පෙළැන්තියෙ ඉපදිච්ච කෙනෙක්ද නැත්තං රදළ පෙළැන්තියේ ඉඳන් ඉහළට ආපු කෙනෙක්ද?

ජැක්:
ඇත්තටම මං ඒ ගැන කියන්න දන්නෙ නෑ. මේකයි කාරණාව, බ්‍රැක්නෙල් ආර්යාවනි, මං කිව්වේ මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා කියලා. ඒත් හරියටම කියනවානං ඒගොල්ලන්ට මාව නැති වුණා... මං ඇත්තටම දන්නෙ නෑ මං උප්පත්තියෙන් කවුද කියලා. මං... ඇත්තටම මාව... හම්බවෙලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
හම්බවෙලා!

ජැක්:
දැනට ජීවතුන් අතර නැති තෝමස් කාර්ඩිව් මහත්මයාට තමයි මාව හම්බවුණේ. බොහොම පරිත්‍යාගශීලී කරුණාවන්ත මහත්මයෙක්. එතුමා මට වර්දිං කියන නම තියලා තියෙන්නේ ඒ වෙලාවේ එතුමාගේ සාක්කුවේ වර්දිං වලට පළවෙනි පංතියේ ටිකට් එකක් තිබුණ නිසා. වර්දිං කියන්නේ සසෙක්ස් ප්‍රාන්තයේ මූදුකරේ නගරයක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
මේ මූදුකරේ නගරෙට පළවෙනි පංතියේ ටිකට් එකක් තියාගෙන හිටපු පරිත්‍යාගශීලී මහත්මයාට තමුන්ව හම්බවුණේ කොහෙ තිබිලද?

ජැක්:
[අඳුරු මුහුණින්] අත් බෑග් එකක.

බ්‍රැක්නෙල් ආර්යාව:
අත් බෑග් එකක?

ජැක්:
[ඉතාමත් බරපතල ලෙසින්] ඔව්, බ්‍රැක්නෙල් ආර්යාවනි. මං ඉඳලා තියෙන්නේ අත් බෑග් එකක - ලොකු, කළු පාට හම් වලින් හදපු අත් බෑග් එකක, අඬු දෙකකුත් තියෙන එකක් - නිකම්ම නිකම් සාමාන්‍ය අත් බෑග් එකක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
කොහෙදිද මේ ජේම්ස් ද තෝමස් ද කාර්ඩිව් මහත්තයාට මේ සාමාන්‍ය අත් බෑග් එක හම්බවෙලා තියෙන්නේ?

ජැක්:
වික්ටෝරියා ස්ටේෂමේ කබා කාමරේදි. එහෙදි එයාගෙ බෑග් එක වෙනුවට මාරු වෙලා මං හිටපු බෑග් එක තමයි එයා අතට ලැබිලා තියෙන්නේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
වික්ටෝරියා ස්ටේෂමේ කබා කාමරේදි?

ජැක්:
ඔව්. බ්‍රයිටන් කෝච්චි පාරෙ.

බ්‍රැක්නෙල් ආර්යාව:
පාරෙන් වැඩක් නෑ. වර්දිං මහත්මයා, මට කියන්න වෙනවා මං මේ දැන් අහපු කාරණාව හින්දා මට මුකුත් හිතාගන්න බැරුව ගිය බව. අඬු තියෙන හරි අඬු නැති හරි අත් බෑග් එකක ඇති දැඩි වෙනවා කියන්නේ විනීතකම නැත්තටම නැතිවෙලා ගිය බව පෙන්නන හොඳම උදාහරණයක්. ප්‍රංශ විප්ලවෙන් සිද්ධ වෙච්ච දරුණුම දේවල් වලින් එකක් තමයි ඔය. ඒ අවාසනාවන්ත විප්ලවේට අන්තිමට මොකද වුණේ කියලා තමුන් දන්නවා ඇතිනෙ? අනික, ඔය අත් බෑග් එක හම්බුණායි කිව්වෙ ස්ටේෂමක කබා කාමරේකදි. සමහරවිට සමාජෙන් හංගන්න ඕන කාරණාවක් හින්දා වෙන්න ඇති එහෙම කරලා තියෙන්නේ. ඉස්සර එහෙම දේවල් හැබෑවටම සිද්ද වෙලා තියෙනවනේ. කොහොමත් ඉතිං සමාජයේ වැදගත් කියලා කියන්න පුළුවන් පසුබිමකින් තමුන් ආවා කියලා කියන්න බෑ.

ජැක්:
එහෙනං මං මොනවද කරන්න ඕනෙ කියලා කියන්න. ග්වෙන්ඩලින් සතුටෙන් තියන්න මං මේ ලෝකෙ තියෙන ඕනෙම දෙයක් කරනවා කියලා මං ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මගේ අවවාදය වර්දිං මහත්මයා, පුළුවන් ඉක්මණට නෑදෑයෝ ටිකක් හොයාගන්න. කොහෙන් හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි හොයාගන්න සතියක් දෙකක් ඇතුළතම.

ජැක්:
ඒක කොහොම කරන්නද කියලා මටනං තේරෙන්නෙ නෑ. ඒ බෑග් එක මට ඕන වෙලාවක පෙන්නන්න පුළුවන්ං. ඒක තියෙන්නේ මගේ ගෙදර ඇඳුම් කාමරේ. මං හිතන්නේ ඒක ඔබතුමියට සෑහෙයි බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
මට? ඒකෙන් මට ඇති වැඩේ මොකද්ද? මායි බ්‍රැක්නෙල් උතුමාණනුයි අපේ ඇහැක් වගේ හදාගත්ත එකම දුව කබා කාමරේකට කසාද බන්දලා, පාර්සලයක් එක්ක එකතු කරන්න කැමති වෙයි කියලා තමුන් හිතන්නේ කොහොමද? ආයිබොවන් වර්දිං මහත්මයා!

[බ්‍රැක්නෙල් ආර්යාව නැගිට මහේශාක්‍ය ලීලාවෙන් පිටව යයි.]

ජැක්:
ආයිබොවන්! [අනෙක් කාමරයේ සිටින ඇල්ජර්නන් විවාහ උත්සවයන්හිදී වැයෙන ප්‍රධාන රිද්මය වාදනය කරයි. වියරු වැටෙන ජැක් දොර වෙත යයි.] දෙයියන්ගෙ නාමෙට ඔය මළහෝන්තුව නවත්තනවා ඇල්ජි. මෝඩ තකතීරුවා!

[වාදනය නතර වන අතර ඇල්ජර්නන් ප්‍රබෝධමත් ලීලාවෙන් පිවිසේ.]

ඇල්ජර්නන්:
ඒක හරි ගියෙ නැද්ද යාළුවා? ග්වෙන්ඩලින් තමුසෙට බැහැයි කිව්වද? ඒ එයාගෙ හැටි. එයාගෙ වැඩේ කොච්චරවාත් මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන එක. ඒකනම් හරිම නරක වැඩක් තමයි. බොහොම නරක කෙල්ලෙක්.

ජැක්:
ග්වෙන්ඩලින්ගෙන් ප්‍රශ්නයක් නෑ ඕයි. එයත් කියන හැටියට අපි දෙන්නා දැන් විවාහ ගිවිසගෙන. ඒත් එයාගෙ අම්මානං මහ එපාම කරපු කෙනෙක්. ඒවාගේ නපුරු රාස්සියෙක් මං දැකලම නෑ... රාස්සියෙක් ඇත්තටම මොන වගේද කියලා මං දන්නෙ නෑ, ඒත් මං හොඳටම දන්නවා බ්‍රැක්නෙල් නෝනත් එයින් එක්කෙනෙක් තමයි. අපරාදෙ එයා මිථ්‍යා ප්‍රබන්ධයක් නොවී රාස්සියෙක් වුණේ, හරි අසාධාරණයි... සමාවෙන්න ඇල්ජි, තමුසෙ ඉස්සරහා තමුසෙගෙ නැන්දා ගැන මං මෙහෙම කතා කරනවට.

ඇල්ජර්නන්:
යාළුවා, මගෙ නෑදෑයො ගැන කියන ඕන කැත කතාවක් අහං ඉන්න මං හරි කැමතියි. ඒවා ඇහෙනකොට තමයි මට දැනෙන්නේ ඇත්තටම ඒ ගොල්ලෝ මගේ නෑදෑයෝ කියලා. නෑදෑයෝ කියන්නේ ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඒ හැටි දැනුමක් නැති, මැරෙන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා කොහෙත්ම දන්නෙ නැති මහ මුස්පේන්තු ජාතියක්.

ජැක්:
මනස්ගාත!

ඇල්ජර්නන්:
මං කිව්වෙ ඇත්ත!

ජැක්:
හරි, මං ඒ ගැන වාද කරන්න යන්නෙ නෑ. තමුසෙට කොච්චරවත් ඕනෙ මොකක් හරි ගැන වාද කරන්න නෙ.

ඇල්ජර්නන්:
ඒකට තමයි හැමදේම හැදිලා තියෙන්නේ. වාද කරන්න. ගැටෙන්න.

ජැක්:
එහෙම දෙයක් මට හිතුණොත් එහෙම මං මටම වෙඩි තියාගන්නවා... [මඳ නිහඬතාවයකි.] අවුරුදු එකසිය පණහකින් විතර ග්වෙන්ඩලිනුත් එයාගෙ අම්මා වගේ වෙයි කියලා එහෙම තමුසෙට හිතෙනවද ඇල්ජි?

ඇල්ජර්නන්:
හැම ගෑණියෙක්ම නොවැරදීම එයාගෙ අම්මා වගේ වෙනවා. ඒක ඒගොල්ලන්ගෙ අවාසනාව. කිසිම පිරිමියෙක් එහෙම වෙන්නෙ නෑ. ඒක තමයි පිරිමින්ගෙ අවාසනාව.

ජැක්:
මොන පණ්ඩිතයද එහෙම කියන්නෙ?

ඇල්ජර්නන්:
කවුරු කිව්වහම මොකද. බලනවා කොච්චර ලස්සන කියමනක්ද කියලා! අනික කොච්චර ඇත්තක්ද කියලා!

ජැක්:
මට ඇති වෙලා තියෙන්නෙ ඔය පණ්ඩිතයන්ගේ කතා. මේ කාලේ හැම මිනිහම පණ්ඩිතයි. කොහෙ ගියත් පණ්ඩිතයෙක් ඉන්නවා. මං ඇත්තටම කැමතියි මෝඩයො ටික දෙනෙක් හරි මේ ලෝකෙ ඉතුරු වෙලා හිටියනං.

ඇල්ජර්නන්:
අපොයි මොකද නැත්තෙ. මෝඩයොත් ඉන්නවා.

ජැක්:
ඇත්තට? මට හරි ආසයි ඒ එක්කෙනෙක්ව මුණගැහෙන්න. ඒගොල්ලෝ මොනවා ගැනද කතා කරන්නේ?

ඇල්ජර්නන්:
මෝඩයොද? ආ, ඒ ගොල්ලො කතා කරන්නේ පණ්ඩිතයො ගැන.

ජැක්:
මොන මෝඩකමක්ද ඒ!

ඇල්ජර්නන්:
ඒක නෙවෙයි, තමුසෙ ග්වෙන්ඩලින්ට ඇත්ත කිව්වද? තමුසෙ නගරෙදි අර්නස්ට්, ගමේදි ජැක් බව?

ජැක්:
[උජාරුවෙන්] යාළුවා, ඇත්ත කියන්නේ ඒ වාගේ ලස්සන, සුකුමාර, ලඳ බොළඳ ගෑණු ළමයෙකුට කියන්න ඕන දෙයක් නෙවෙයි. ගෑණුන්ව ආස්සරේ කරන හැටි තමුසෙ දන්නෙම නෑනේ!

ඇල්ජර්නන්:
ගෑණුන්ව ආස්සරේ කරන එකම විදිහ තමයි, එයා ලස්සනයිනං එයාට ආදරේ කරන්න, එයා ලස්සන නැත්තං වෙන කෙනෙකුට ආදරේ කරන්න.

ජැක්:
ඔය කිව්වෙ!

ඇල්ජර්නන්:
එතකොට තමුසෙගෙ අර මල්ලි ගැන මොකද කරන්නේ? අර පව්කාර අර්නස්ට් ගැන?

ජැක්:
ආ, ලබන සති අන්තෙට කළිං මං ඒකාගෙන් ගැලවෙන්න ඕනෙ. මං කියනවා ඒකා මීමැස්මොරේ හැදිලා පැරිසියෙදි මළා කියලා. මීමැස්මොරේ හැදිලා ගොඩක් මිනිස්සු එක පාරටම මැරිලා යනවානේ, නේද?

ඇල්ජර්නන්:
ඔව්, ඒත් ඒක ආරෙට එන ලෙඩක් යාළුවා. පරම්පරාවෙන්ම එන ලෙඩක්. ඊට හොඳයි උණ සන්නිපාතෙ හැදිලා ඒකා මැරිලා ගියා කිව්වනං.

ජැක්:
ඒක ආරෙට එන ජාතියේ ලෙඩක් නෙවෙයි කියලා තමුසෙට සහතිකද?

ඇල්ජර්නන්:
අපොයි ඔව්!

ජැක්:
හරි එහෙනං. මගේ අසරණ අර්නස්ට් මල්ලි හදිසියෙම පැරිසියේදි උණ සන්නිපාතෙ හැදිලා මැරුණා. අන්න එහෙමයි මං ඒකාගෙන් ගැලවෙන්නේ.

ඇල්ජර්නන්:
ඒත් තමුසෙ කිව්වා නේද අර... මිස් කාර්ඩිව් තමුසෙගෙ මලයා ගැන සෑහෙන්න හිතනවා කියලා. එයාට ඔය මළගම හින්දා ගොඩක් දුක හිතෙයිනේ?

ජැක්:
ආ, ඒකට කමක් නෑ. සිසිලි කියන්නේ බොළඳ කෙල්ලෙක් නෙවෙයි. එයා හොඳට කන, දුර ඇවිදින්න යන, පාඩම් ගැන කිසිම උනන්දුවක් නැති කෙල්ලෙක්.

ඇල්ජර්නන්:
මට හරි ආසයි ඔය සිසිලිව බලන්න.

ජැක්:
ඒ ආසාව කවදාවත් ඉෂ්ඨ නොවෙන්න මං වග බලාගන්නවා. එයා බොහොම ලස්සනයි, තාම දහ අටයි.

ඇල්ජර්නන්:
තමුසෙ ග්වෙන්ඩලින්ට කිව්වද තමුසේ අවුරුදු දහ අටක, බොහොම ලස්සන කෙල්ලෙක්ගෙ භාරකාරයා කියලා?

ජැක්:
හෙහ්! ඔහොම දේවල් එක එක්කෙනා එක්ක කියනවැයි. ඒ කොහොම වෙතත් සිසිලියි ග්වෙන්ඩලිනුයි හොඳ යාළුවො වෙනවට සැකයක් නෑ. ඒ දෙන්නා මුණගැහිලා පැය බාගයක් යන්න කළින් අක්කා නංගි කියලා කතා කරනවට මං තමුසෙ කැමති ඕන දෙයක් ඔට්ටු අල්ලන්නං.

ඇල්ජර්නන්:
ගෑණු ඒ විදිහට එක එක්කෙනාට කතා කරන්න ගන්නෙ ඊට කළින් වෙන වෙන ඒවා ගොඩක් කියාගත්තට පස්සෙ. දැන් ඉතින් මගේ මිත්‍රයා, අපිට විලී හෝටලේ හොඳ මේසයක් අල්ලගන්නනම් දැම්මම ලෑස්ති වෙන්න වෙයි. තමුසෙ දන්නවද දැන් වෙලාව හතටත් ළං වෙලා කියලා?

ජැක්:
[නුරුස්නා හඬින්] ඕන වෙලාවක් හතට ළඟයි තමයි.

ඇල්ජර්නන්:
මට බඩගිනියි අයිසෙ.

ජැක්:
තමුසෙට බඩගිනි නැති වෙලාවක් මට කියනවකො බලන්න.

ඇල්ජර්නන්:
කෑමෙන් පස්සෙ අපි මොකද කරන්නෙ? සංගීතයක් අහන්න යමුද?

ජැක්:
අපොයි බෑ! ඔය ඇහුම්කන් දීගෙන ඉන්න වැඩේ මට තිත්තයි.

ඇල්ජර්නන්:
එහෙනං අපිට දහය විතර වෙද්දි එම්පයර් සිනමා ශාලාවට යන්න පුළුවන්, මොකද කියන්නෙ?

ජැක්:
අපොයි බෑ! ඔය එක එක දේවල් දිහා බලං ඉන්න වැඩේ මට පේන්න බෑ. මහ මෝඩ වැඩක් ඒක.

ඇල්ජර්නන්:
එහෙනං අපි මොකද කරන්නේ?

ජැක්:
මුකුත් නෑ!

ඇල්ජර්නන්:
මුකුත් නොකර ඉන්න එක මහ අමාරු වැඩක්නෙ අයිසෙ. කමක් නෑ, කිසි අරමුණක් නැති අමාරු වැඩ කරන්න මගෙ අකමැත්තක් නෑ.

[ලේන් පැමිණේ.]

ලේන්:
ෆෙයාර්ෆැක්ස් මෙනෙවිය.

[ග්වෙන්ඩලින් පැමිණේ. ලේන් පිටව යයි.]

ඇල්ජර්නන්:
දෙයියෝ සාක්කි! ග්වෙන්ඩලින්, මේ මොකද!

ග්වෙන්ඩලින්:
ඇල්ජි, කරුණාකරලා අනිත් පැත්ත හැරිලා ඉන්න. මට වර්දිං මහත්මයා එක්ක කතා කරන්න දෙයක් තියනවා.


ග්වෙන්ඩලින් ෆෙයාර්ෆැක්ස්

ඇල්ජර්නන්:
ග්වෙන්ඩලින්, ඇත්තටම, මට මේක කරන්න ඉඩ දෙන්න විදිහක් නෑ.

ග්වෙන්ඩලින්:
ඇල්ජි, ඔයා ජීවිතේ ගැන හරිම අසුබවාදී ඇහැකින් බලන්නෙ කොච්චරවත්. එහෙම කරන්න තරම් ඔයා තාම නාකි වෙලා මදි. [ඇල්ජර්නන් ඔවුන්ගෙන් ඈත්ව ගිනි උදුන වෙත යයි.]

ජැක්:
මගේ වස්තුවේ!

ග්වෙන්ඩලින්:
අර්නස්ට්, අපිට කවදාවත් කසාද බඳින්න වෙන්නෙ නෑ. මගේ අම්මගේ මූණ බැලුවාම මට ඒ බව තේරුණා. දැන් කාලේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දෙන්නේ හරිම අඩුවෙන්. දරුවන්ට ඇහුම්කන් දෙන පරණ සම්ප්‍රදාය බොහොම ඉක්මණටම නැති වෙලා යනවා. මගේ අම්මා මට ඇහුම්කන් දෙන එක නැවැත්තුවේ මට අවුරුදු තුන පිරිච්ච ගමන්. ඒත් මගේ අම්මා අපි දෙන්නා නෝනයි-මහත්තයයි වෙන එක නැවැත්තුවත්, මං වෙන කෙනෙක්ව බැන්දත්, කීසැරයක් බැන්දත්, අම්මට බෑ මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන සදාකාලික බැඳීම බිඳලා දාන්න.

ජැක්:
මගෙ රත්තරන් ග්වෙන්ඩලින්!

ග්වෙන්ඩලින්:
මගේ අම්මා හරිම නරක විදිහට මට විස්තර කරපු ඔයාගෙ ඒ ලස්සන උප්පත්ති කතාව මගේ හිත පතුළේ හැංගිලා තිබුණු ගිනි පුපුරු ඇවිස්සුවා. ඔයාගේ නමට මාව වශී වෙන එක මට නවත්තගන්න බෑ. ඔයාගේ සරල බව හින්දාම මට දැනෙන්නේ ඔයා හරිම ගැඹුරු චරිතයක් කියලා. ඔයාගෙ ඇල්බේනි ගෙදර ලිපිනයනං මං දන්නවා. ඔයාගෙ ගමේ ගෙදර ලිපිනය මොකද්ද?

ජැක්:
වූල්ටන් වළව්ව, හර්ට්ෆෝර්ඩ්ශයර්.

[රහසෙන් ඇහුම්කන් දී සිටි ඇල්ජර්නන් තනිවම සිනාසෙමින් ජැක් පැවසූ ලිපිනය තම කමිස අතේ ලියාගනියි. අනතුරුව දුම්රිය මාර්ගෝපදේශන පොත අතට ගනියි.]

ග්වෙන්ඩලින්:
ඒ පැත්තෙ තැපැල් ගනුදෙනු හරියට කෙරෙනවා ඇති නේද? මොකක් හරි හොඳ වැඩක් කරන්නම ඕනෙ මේකට. මට ටිකක් හිතන්න වෙනවා ඒ ගැන. මං දවස ගාණේ ලියන්නම්කෝ ඔයාට.

ජැක්:
මගෙ වස්තුව!

ග්වෙන්ඩලින්:
ඔයා නගරෙ තව කී දවසක් ඉන්නවද?

ජැක්:
සඳුදා වෙනකල්.

ග්වෙන්ඩලින්:
ඒක හොඳයි! ඇල්ජි, ඔයාට දැන් හැරෙන්න පුළුවන්.

ඇල්ජර්නන්:
ස්තූතියි, හැබැයි මං කොහොමත් හැරිලා තමයි හිටියෙ.

ග්වෙන්ඩලින්:
ඔන්න ඔය සීනුවත් ගහන්න.

ජැක්:
මං ඔයාව වාහනේ ළඟට ඇරලවන්නද වස්තුවේ?

ග්වෙන්ඩලින්:
අනේ හා.

ජැක්:
[එහි පැමිණි ලේන් අමතා] මං එක්ක යන්නං එයාව.

ලේන්:
හොඳමයි. [ජැක් සහ ග්වෙන්ඩලින් පිටව යති.]

[ලේන් බන්දේසියක තැබූ ලියුම් කිහිපයක් ඇල්ජර්නන් හට පිළිගන්වයි: ඒ බිල්පත් බව අනුමාන කළ හැක. ඒවා අතට ගෙන බලන ඇල්ජර්නන් ඒවා ඉරා දමයි.]


ඇල්ජර්නන්:
ෂෙරි වීදුරුවක් දෙන්න ලේන්.

ලේන්:
හොඳමයි හාමු.

ඇල්ජර්නන්:
හෙට මං බන්බරියාවට යනවා.

ලේන්:
එහෙමයි හාමු.

ඇල්ජර්නන්:
මං ආයෙ සඳුදා වෙනකල් එන එකක් නෑ. මගේ සූට්-බූට් ටිකයි, දුම් කබායයි, බන්බරි ඇඳුම් සේරමයි ලෑස්ති කරන්න.

ලේන්:
හොඳමයි හාමු. [ෂෙරි වීදුරුව ලබා දෙයි.]

ඇල්ජර්නන්:
හෙටනං බොහොම හොඳ දවසක් වෙයි ලේන්.

ලේන්:
කවදාවත් එහෙම දවසක් එන්නෙ නෑ හාමු.


ලේන් සමග බන්බරි මෙහෙයුම සැලසුම් කරන ඇල්ජර්නන්

ඇල්ජර්නන්:
තමුසෙ මහ අසුබවාදියෙක්නේ ලේන්.

ලේන්:
හැමවෙලාවෙම එහෙම හිතුවාම ඕනෙම දේකින් සතුටු වෙන්න පුළුවන් හාමු.

[ජැක් පැමිණෙයි. ලේන් පිටව යයි.]

ජැක්:
එයානම් හරිම හොඳ, මොළේ තියෙන කෙල්ලෙක්! මුළු ජීවිතේටම මගේ හිතේ කැමැත්තක් ඇති වුණ එකම කෙල්ල. [ඇල්ජර්නන් සිනහව නවත්වාගැනීමට නොහැකිව සිටියි.] තමුසෙ මොකද ඔය විරිත්තන්නේ?

ඇල්ජර්නන්:
ආ, මං මේ හිත හිත හිටියේ අර අසරණ බන්බරි ගැන.

ජැක්:
තමුසෙ පරිස්සං වුණේ නැත්තං ඔය බන්බරියා හින්දා දවසක තමුසෙ ලොකු අමාරුවක වැටෙනවා.

ඇල්ජර්නන්:
මං කැමතියි අමාරුවේ වැටෙන්න. බරක්පතලක් නැතුව කරන්න පුළුවන් එකම වැඩේ තමයි ඒක.

ජැක්:
තමුසෙගෙ මොළේ හොඳ නෑ ඇල්ජි. තමුසෙ කිව්වොත් කියන්නෙ විකාරයක්මයි.

ඇල්ජර්නන්:
කවුරුත් එහෙම තමයි.

[ඔහු දෙස මොහොතක් කුපිත වූ බැල්මෙන් බලා සිටිනා ජැක් පිටව යයි. දුම්වැටියක් දල්වා ගන්නා ඇල්ජර්නන් තම කමිස අතේ වූ සටහන කියවා බලා සිනාසෙයි.]




I ජවනිකාව නිමාව


- මතු සම්බන්ධයි -




12 comments:

  1. නම නිසා මහිමයක් වෙයි වගේ තමා...

    ආ ඒක නෙවෙයි... පින්තූර විස්තර කළාට ඔයාට ස්තුතී...

    ReplyDelete
    Replies
    1. බලමුකො මොන වගේ මහිමයක්ද ලැබෙන්නෙ කියලා. මටනම් ජැක් ගැන පව්ව්ව්ව්ව් කියලා හිතුණා. :(

      Delete
  2. ඔව් අනේ එයා පව් කියලා මටත් හිතුනා... ඔයා අපිට කියන්නෙම මෙහෙම අමුතු කතා තමයි.. මරු අක්කේ....

    ReplyDelete
    Replies
    1. මට හම්බවෙන ලස්සන කතා මං ඉතින් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ඒ රසවිඳීම ඔයාලත් එක්ක බෙදාගන්න ගමන් මටත් හොඳ අභ්‍යාසයක් ලැබෙනවා. මේකනම් ඇත්තටම හරිම විනෝදයෙන් පරිවර්තනය කළේ. :)

      Delete
  3. නියමයි..... වයිල්ඩ් මරු නේද?

    වයිල්ඩ්ටම හරියන සිත්තමී....:)

    ReplyDelete
    Replies
    1. මරුදත් අහනවා. කියලා වැඩක් නෑ. මට දැන් වයිල්ඩ්ගේ ඔක්කොම පොත් ටික හොයාගෙන කියවන්න හිතිලා තියෙන්නේ.

      සිත්තමීට එහෙන් මෙහෙන් මග ඇරෙන තැන් ඉතින් ඇවිත් කියලා දෙන්න කට්ටිය ඉන්න හින්දා හොඳයි. :D

      Delete
  4. //එතුමා මට වර්දිං කියන නම තියලා තියෙන්නේ ඒ වෙලාවේ එතුමාගේ සාක්කුවේ වර්දිං වලට පළවෙනි පංතියේ ටිකට් එකක් තිබුණ නිසා. //

    මරුනේ නම දාල තියන හැටි..සිත්තමි කලින් පොස්ට් එකත් කියෙව්වා.. ඔයා ලියන විදිහට මැව්ලත් පේනව නාට්‍යය.. නියමයි..

    ReplyDelete
  5. ඔස්කා වයිල්ඩ් නියම පොරක් වගේ! මේ නාට්‍ය කලින් සිංහලට පරිවර්තනය වෙලා, වේදිකාවට ඇවිත් නැතුව ඇති නේහ්. තිබුනනම් මරු. නැත්නම් වේදිකා නිශ්පාදනයකුත් කරමු.

    ReplyDelete
    Replies
    1. ඔස්කා වයිල්ඩ් අතිදක්ෂ නිර්මාණකරුවෙක්. එයාගෙ The Picture of Dorian Gray කියන නවකතාව හරිම ප්‍රසිද්ධයි. සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා මං හිතන්නේ. මේ නාට්‍යය ඇරුණාම තව ප්‍රසිද්ධ නාට්‍යයක් තියෙනවා The Ideal Husband කියලා. ඒකත් සිනමාවට නැගිලා තියෙනවා. මේ නාට්‍යය සිංහලට නැගිලා තියෙනවද කියලනම් මම දන්නෙ නෑ. මේක පරිවර්තනය කරගෙන යද්දි මට මතක් වුණේ රූපවාහිනිය හරහා දැකපු 'කළුවරේ ජරමරේ' කියන වේදිකා නාට්‍යය. ඒකත් විදෙස් නාට්‍යයක පරිවර්තනයක්.

      Delete
  6. ඕලෙවල් කාලෙ 'ද ප්‍රොපෝසල්' කියෙව්වට පස්සෙ මේ නාට්‍යයක් කියවනවාමයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයත් ඕ ලෙවල් වලට ඉංග්‍රීසි සාහිත්‍යය කළාද? මමත් කළා. මම හරිම ආදරේ කරපු විෂයක්. ඇන්ටන් චෙකොෆ්ගේ නේද 'ද ප්‍රපෝසල්'? රුසියානු නම් තිබ්බෙ. ආයෙත් හොයාගෙන කියවන්න ඕනේ. අපිට තිබ්බ අනිත් නාට්‍යය මොකද්ද? මට ඒක මතක් වෙන්නෙ නෑ. ප්‍රබන්ධ වලින්නම් මම හැදෑරුවෙ 'Oliver Twist' සහ 'Madol Doowa'. විභාගෙදි ලිව්වෙ 'Oliver Twist' ප්‍රශ්නෙට. 'The Mill on the Floss' එකත් මම ඒ කාලෙදි ගත්තා, ඒත් ඉස්කෝලෙදිවත් අමතර පන්තියෙදිවත් ඒ පොත study කළේ නෑ. ඒක කියෙව්වෙ පස්සෙ කාලෙකදි. ඒකත් මම පරිවර්තනය කරලා බ්ලොග් එකේ දැම්මා කාලෙකට උඩදි.

      Delete