191. නමක මහිම...01

හැඳින්වීම

චරිත:
     ජෝන් (ජැක්) වර්දිං
     ඇල්ජර්නන් මොන්ක්‍රීෆ්
     කැනන් චැසියුබල් - පූජකතුමා
     මෙරිමන් - ප්‍රධාන මෙහෙකරු
     ලේන් - අතවැසි
     බ්‍රැක්නෙල් ආර්යාව
     ග්වෙන්ඩලින් ෆෙයාර්ෆැක්ස්
     සිසිලි කාර්ඩිව්
     ප්‍රිස්ම් මෙනෙවිය - පාලිකාව


ජවනිකා:
     I ජවනිකාව - ඇල්ජර්නන් මොන්ක්‍රීෆ්ගේ මහල් නිවාසය

     II ජවනිකාව - වූල්ටන් වළව්වේ උද්‍යානය
     III ජවනිකාව - වූල්ටන් වළව්වේ විසිත්ත කාමරය


I ජවනිකාව
 
දර්ශනතලය:
අර්ධ චන්ද්‍ර වීදියේ ඇල්ජර්නන්ගේ මහල් නිවාසයේ විසිත්ත කාමරය. කාමරය සුඛෝපභෝගී හා කලාත්මක අංගෝපාංගයන්ගෙන් සමන්විතය. යාබද කාමරයේ පියානෝවක හඬ ඇසේ.

[ලේන් සන්ධ්‍යා තේ මේසය පිළියෙළ කරමින් සිටියි. සංගීත නාදය වියැකී යාමෙන් පසුව ඇල්ජර්නන් පිවිසෙයි.]

ඇල්ජර්නන්:

මගේ වාදනය ඇහුණද ලේන්?

ලේන්:

මං හිතුවේ එහෙම අහං ඉන්න එක හොඳ නෑ කියලා හාමු.

ඇල්ජර්නන්:
අපරාදෙ. මං කිව්වෙ තමුසෙ මහ අපරාදරයක් කරගත්තෙ. මං හරියට වාදනය කරන්නෙ නෑ - ඕනෙ කෙනෙකුට බැරියැ ඒ වැඩේ කරන්න. ඒත් මං බොහොම ලස්සන භාව ප්‍රකාශනයකින් වාදනය කරන්නෙ. පියානෝවත් එක්ක ගනුදෙනු කරද්දි මං රසභාවයන්ට තමයි තැන දෙන්නේ. ඔය විද්‍යාව කියන දේ මං පැත්තකට දානවා ඒ වෙලාවට. ඒවා ඔය ජීවිතේ අනිත් ගනුදෙනු වලට විතරක් අදාළ කරගත්තාම මදෑ.

ලේන්:
එහෙමයි.

ඇල්ජර්නන්:
ආ, ජීවිතෙයි විද්‍යාවයි ගැන කියද්දි මට මතක් වුණේ. තමුසේ බ්‍රැක්නෙල් නෝනාට දෙන්න පිපිඤ්ඤා පාන් ලෑස්ති කළාද?

ලේන්:
එහෙමයි හාමු. [කුඩා බන්දේසියක බහා ආහාරය පිළිගන්වයි.]

ඇල්ජර්නන්:
[එදෙස එබී බලා පාන් පෙති දෙකක් අතට ගෙන සෝපාවෙන් හිඳගනියි.] හප්පා!... ඒක නෙවෙයි ලේන්, මං දැක්කා තමුසෙගේ පොතේ ගිය බ්‍රහස්පතින්දා රෑ, අර ෂර්මන් උතුමාණනුයි වර්දිං මහත්තයයි මා එක්ක කෑම ගත්තු දවසේ, තමුසෙලා ෂැම්පේන් බෝතල් අටක් පාවිච්චි කළා කියලා ලියලා තියෙනවා.

ලේන්:
එහෙමයි හාමු; බෝතල් අටකුයි තව පයින්ටුවකුයි.

ඇල්ජර්නන්:
තනිකඩයන්ගෙ ගෙවල් වල ඉන්න වැඩකාරයෝ මොකද ඔය හැටි ෂැම්පේන් බොන්නෙ? නෑ මං මේ නිකං දැනගන්න අහන්නෙ?

ලේන්:
ඒක මේ එව්වායෙ ඉස්තරං බව හින්දානේ හාමු. ඔය පවුල් වෙච්චි උදවියගේ ගෙවල් වල ෂැම්පේන් වලට ඒ හැටි තැනක් ලැබෙන්නෙ නෑනේ.

ඇල්ජර්නන්:
දෙයියන්ට ඔප්පු වෙච්චාවේ! පවුල් වෙනවා කියන්නේ ඒ තරං බංකොලොත් වෙන වැඩක්ද?

ලේන්:
මං හිතන්නෙ හාමු පවුල් වෙනවා කියන එක බොහොම හොඳ වැඩක්. හැබැයි මංනං ඒ ගැන කියන්න දන්නෙ බොහොම ටිකයි, මං කසාද බැන්දේ එක වතාවයිනෙ. ඒකත් මේ පොඩි වැරදි වැටහීමක් හන්දා වෙච්ච දෙයක්.



ඇල්ජර්නන් මොන්ක්‍රීෆ් හට කසාද ජීවිතය ගැන කරුණු පැහැදිලි කරන ලේන්
ඇල්ජර්නන්:
[උදාසීන ලෙසින්] තමුසෙගෙ පවුල් ජීවිතෙන් මට වැඩක් නෑ අයිසෙ.

ලේන්:
ඇත්ත හාමු. ඒක ඒ හැටි ආසා හිතෙන එකක් නෙවෙයි. අඩුගානේ මංවත් මගෙ පවුල් ජීවිතේ ගැන ඒ හැටි හිතන්නෙ නෑ.

ඇල්ජර්නන්:
ආයෙත් අහලා. එහෙනං ඔය මදෑ. තමුසෙට යන්න පුළුවං.

ලේන්:
හොඳමයි හාමු. [ලේන් පිටව යයි.]

ඇල්ජර්නන්:
මේ මනුස්සයා කසාද ජීවිතේ ගැන කිසි බරක් පතලක් නැතුවනේ කතා කරන්නේ. හැබෑට මුන්ට ඔහොම දෙයක් ගැනවත් හරිහමං විදිහකට හිතන්න බැරිනං මොකද්ද මුන්ගෙන් ඇති වැඩේ? සදාචාරයක් වගකීමක් ගැන මුං එකෙක්ටවත් කිසි ගාණක්වත් නැති හැටි!

[ලේන් පැමිණේ.]

ලේන්:
අර්නස්ට් වර්දිං මහත්මයා.

[ජැක් පැමිණේ. ලේන් පිටව යයි.]

ඇල්ජර්නන්:
කොහොමද යාළුවා? මොකද නගරෙ පැත්තෙ එන්න හිතුණෙ?

ජැක්:
සතුට හොයන්න, සතුට හොයන්න! වෙන මොකටද කවුරුවත් කොහෙවත් යන්නෙ? ඈ ඇල්ජි, කොයි වෙලාවෙ බැලුවත් කන බනේනං ඉවරයක් නෑ නේ?

ඇල්ජර්නන්:
[දරදඬු හඬින්] මං දන්න තරමින් ඉහළ පැලැන්තියෙ උදවියගෙ සිරිතක් තමයි හැන්දෑවට පොඩි කෑමක් බඩට දාගන්න එක. ඒක නෙවෙයි, ගිය බ්‍රහස්පතින්දායෙන් පස්සෙ තමුසෙ කොහෙ මකබෑ වුණාද?

ජැක්:
[සෝපාවේ හිඳගනිමින්] ගමට ගියා.

ඇල්ජර්නන්:
මක් කළාද එහෙ ඉඳං?

ජැක්:
[අත්වැසුම් ඉවත් කරමින්] නගරෙ ඉන්දැද්දි කෙනෙකුට පුළුවන් තනියම සතුටු වෙන්න. ඒත් ගමේ ගියාම ඒ මනුස්සයාට වෙන්නෙ අනිත් උන්ව සතුටු කර කර ඉන්න. මහ එපා කරපු වැඩක්.

ඇල්ජර්නන්:
කාවද තමුසෙට සතුටු කරන්න වුණේ?

ජැක්:
[නොසැලකිල්ලෙන් මෙන්] අසල්වැසියන්ව, අසල්වැසියන්ව.

ඇල්ජර්නන්:
තමුසෙගෙ ඔය ෂ්‍රොප්ශයර් දිහාවේ වැඩකට ඇති අසල්වැසියො ඉන්නවද?

ජැක්:
ගන්ඩ දෙයක් නෑ! උන් එකෙක් එක්කවත් වැරදිලාවත් කතා කරන්න එපා.

ඇල්ජර්නන්:
තමුසෙ සෑහෙන්න හොඳට උන්ව සතුටු කරන්ඩ ඇති! [නැඹුරු වී තවත් පාන් පෙත්තක් අතට ගනියි.] ඒක නෙවෙයි, ෂ්‍රොප්ශයර් තමුසෙගෙ කෝරළේ නේද?

ජැක්:
ඇහ්? ෂ්‍රොප්ශයර්? ඔව්, ඔව්. ඒයි! මේ මොකද මේ තේ කෝප්ප ලෑස්ති කරලා? මේ පිපිඤ්ඤා පාන්? මේ හැටි ලකලෑස්තියක් මොකද? කවුද අද එන්නෙ තේ වලට?

ඇල්ජර්නන්:
ආ! ඔගස්ටා නැන්දායි ග්වෙන්ඩලින්නුයි.

ජැක්:
නියමයිනෙ!

ඇල්ජර්නන්:
ඔව්. නියමයි තමයි; ඒත් ඔගස්ටා නැන්දානං තමුසෙ මෙහෙ ඉන්නවාට කැමති වෙන එකක් නෑ.

ජැක්:
අර මොකද?

ඇල්ජර්නන්:
මේකනේ යාළුවා, තමුසේ ග්වෙන්ඩලින්ට ඉඟි-බිඟි පාන්නේ මහා අජූත විදිහට. එයා උඹට පාන උකුළු-මුකුළු තරමටම මහ කුජීත විදිහට.

ජැක්:

මං ග්වෙන්ඩලින්ට ආදරෙයි. මං මේ අද නගරෙට ආවෙත් එයාට මාව කසාද බඳින්න කියලා යෝජනා කරන්න.

ඇල්ජර්නන්:
මං හිතුවෙ තමුසෙ සතුට හොයාගෙන ආවා කියලයි. ඔය ඇවිත් තියෙන්නේ ගනුදෙනුවකට.

ජැක්:
නොදකිං. තමුසෙගේ හිතේ ප්‍රේමණීය හැඟීමක් කියලා දෙයක් ඇත්තෙම නෑ.

ඇල්ජර්නන්:
ඔය යෝජනා කරන එකේ මොකද්ද තියෙන ප්‍රේමණීය හැඟීම? ඔන්න ආදරේ කරන එකනං කමක් නෑ කියමු. ඒත් ඔය යෝජනා කරන එකේ ඇති ප්‍රේමණීයබවක් නෑ. මෙයා ඇහැව්වා, එයා හා කිව්වා. අපි හිතමු එහෙම හා කියයි කියලා. එතනිං ඉවරයි. ප්‍රේමණීයබව ඇතිවෙන්නේ අවිනිශ්චිතබවත් එක්ක - මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි කමත් එක්ක. මං කවදාහරි කසාද බැන්දොත් එහෙම මං කසාද බැන්ද බව අමතක කරලා ඉන්න උත්සාහ කරයි නොවැරදීම.



ඇල්ජර්නන් මොන්ක්‍රීෆ් හා ජැක් වර්දිං මිතුරන් දෙදෙනා කතාබහක
ජැක්:
අපොයි ඔව්. ඒ වගේ මතකය අංගවිකලව පිහිටලා තියෙන අය වෙනුවෙන් තමයි දික්කසාද උසාවිය තියෙන්නේ.

ඇල්ජර්නන්:
ඔය ගැන ආයෙ ආයෙත් කියවලා වැඩක් නෑ. දික්කසාද සිද්ද වෙන්නෙ දිව්‍ය ලෝකෙ--[ජැක් පාන් කැබැල්ලක් ගැනීමට අත දිගු කළද, ඇල්ජර්නන් වහා ඔහුව වළක්වයි.]--හා හා, ඔය පිපිඤ්ඤා පාන් වලට අත තියන්න එපා. ඒවා හැදෙව්වේ ඔගස්ටා නැන්දාට. [ඔහු එකක් රැගෙන කන්නට පටන්ගනියි.]

ජැක්:
ඉතිං තමුසෙ මෙතන ඉඳගෙනම කීයක් කෑවද?


ඇල්ජර්නන්:
ඒක වෙනස්නේ. ඒ මගේ නැන්දානේ. [ඔහු පහතින් පිඟානක් අරගනියි.] ඔන්න ඔය බටර් එක්ක පාන් තියෙනවා - ඒවා ඕනෙනං අරගෙන කනවා. ඒවා ග්වෙන්ඩලින්ට. එයා පාන්-බටර් වලට ඇප කැප වෙච්ච බැතිමතියක්.

ජැක්:
[මේසය වෙත ලඟා වී බටර් තැවරූ පාන් රැගෙන රස බලයි.] මේවත් නරකම නෑ.

ඇල්ජර්නන්:
ඕයි, ඔය සේරම කන්න ලෑස්ති වෙන්න එහෙම එපා. තමුසෙ හරියට දැනටම එයාව කසාද බැඳලා වගේනෙ ඉන්නේ. තමුසෙ තවම එයාව බැඳලත් නෑ, කවදාවත් බඳියි කියලා මං හිතන්නෙත් නෑ.

ජැක්:
ඒ මොකද එහෙම කියන්නෙ?

ඇල්ජර්නන්:
පළවෙනි කාරණාව, ඔය කිසිම කෙල්ලෙක් අන්තිමේදි කසාද බඳින්නේ එච්චර කල් උකුළු මුකුළු පාපු මනුස්සයාව නෙවෙයි. ඒගොල්ලෝ හිතන හැටියට ඒක හොඳ නැති වැඩක්.

ජැක්:
විකාර!

ඇල්ජර්නන්:
විකාර නෙවෙයි. ඒක තමයි ඇත්ත. ඔය හැමතැනම තනිකඩයො ඔච්චර ගොන්නක් ඉතිරි වෙලා ඉන්න හේතුව තමයි ඒක. දෙවෙනි කාරණාව තමයි, මගේ අනුමැතිය ඕකට හම්බවෙන්නෙ නෑ.

ජැක්:
තමුසෙගෙ අනුමැතිය!

ඇල්ජර්නන්:
යාළුවා, ග්වෙන්ඩලින් කියන්නේ මගේ ඥාති සහෝදරී. මං තමුසෙට එයාව බඳින්න අවසර දෙන්න කළිං තමුසෙට මට කියන්න වෙනවා සිසිලි ගැන. [සීනුවක් හඬවයි.]

ජැක්:
සිසිලි! තමුසෙ මොනවද මේ කියවන්නේ? කවුද ඇල්ජි සිසිලි කියන්නේ? එහෙම නමක් තියෙන කිසිම කෙනෙක්ව මංනං දන්නෙ නෑ.

[ලේන් පැමිණේ.]

ඇල්ජර්නන්:
මේ වර්දිං මහත්තයා අන්තිමට මෙහෙ කෑම කාපු දවසේ දාලා ගිහිං තිබ්බ සුරුට්ටු පෙට්ටිය අරං එනවා.

ලේන්:
හොඳමයි. [පිටව යයි.]

ජැක්:
මෙච්චර දවස් මගේ සුරුට්ටු පෙට්ටිය තමුසෙ ළඟද තිබ්බෙ එතකොට? මොකද මිනිහො මට කිව්වෙ නැත්තෙ? මං ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියටත් ලියුං පිට ලියුං යැව්වා ඒක හොයලා දෙන්න කියලා. තව ඩිංගෙන් මං ලොකු ගාණක තෑග්ගක් දෙන්නත් පොරොන්දු වෙනවා.

ඇල්ජර්නන්:
ඉතිං ඒ තෑග්ග මට දෙනවකො. මේ දවස් වල අතමිටත් බොහොම හිඟපාඩුයි.

ජැක්:
දැං ඕක හම්බවෙච්ච එකේ මොකටද තෑගි දෙන්නෙ.

[සුරුට්ටු පෙට්ටිය තැටියක තබාගත් ලේන් පැමිණෙයි. ඇල්ජර්නන් ඉක්මණින්ම එය අතට ගනියි. ලේන් පිටව යයි.]


ඇල්ජර්නන්:

තමුසෙ කිසි හිතක් පපුවක් නැති මිනිහෙක් අර්නස්ට්. මං ඒක කියන්නම ඕනෙ. [සුරුට්ටු පෙට්ටිය විවෘත කර එතුළ නිරීක්ෂණය කරයි.] ඒකෙන් කමක් නෑ, දැං මේක ආයෙත් බැලුවහම මට තේරෙනවා මේක තමුසෙගෙ නෙවෙයි කියලා.

ජැක්:
මොකද නැත්තෙ, ඕක මගේ තමයි. [ඇල්ජර්නන් වෙතට ළඟා වෙයි.] ඕක මං ළඟ තියෙනවා තමුසෙ සිය පාරක් විතර දැකලා ඇති. අනික තමුසෙට කිසිම අයිතියක් නෑ ඔහොම අනුන්ගෙ සුරුට්ටු පෙට්ටි ඇතුළේ ලියලා තියෙන ඒවා කියවන්න. ඒක මහ අසික්කිත වැඩක්.

ඇල්ජර්නන්:
හෙහ්! කෙනෙක් කියවන්න ඕන නැත්තේ මොනවද කියලා නියම කරන එක මං හිතන්නේ කිසිම තේරුමක් නැති වැඩක්. දැන් ලෝකෙ බාගෙකට වඩා රඳා පවතින්නේ මිනිස්සු නොකියවා ඉන්න දේවල් මත.

ජැක්:
මං ඒ ගැන හොඳට දන්නවා. මට මේ වෙලාවේ ලෝකෙ ගැන කතා කරන්න උවමනාවක් නෑ. ඒක මේ වගේ දෙන්නෙක් විතරක් ඉඳලා කතා කරන්න ඕන කාරණාවක් නෙවෙයි. මට මගේ සුරුට්ටු පෙට්ටිය ඕනෙ, එච්චරයි!

ඇල්ජර්නන්:
හරි; ඒත් මේක තමුසෙගේ සුරුට්ටු පෙට්ටිය නෙවෙයිනේ. මේක මේ සිසිලි කියලා කෙනෙක් දීපු තෑග්ගක්. ඒත් තමුසේ එහෙම නමක් තියෙන කිසිම කෙනෙක්ව දන්නෙ නෑ කියලා කිව්වනෙ.

ජැක්:
හරි, ඔහේට දැනගන්නම ඕනෙනං, සිසිලි කියන්නේ මගේ නැන්දා.

ඇල්ජර්නන්:
නැන්දා!

ජැක්:
ඔව්. හරිම හොඳ වයසක නෝනා කෙනෙක්. ඉන්නෙ ටන්බ්‍රිජ් වෙල්ස් වල. ඕක මෙහෙ දෙනවා ඇල්ජි.

ඇල්ජර්නන්:
[සෝපාව වෙත ආසන්න වෙමින්] එතකොට ඇයි මේ ඒ ටන්බ්‍රිජ් වෙල්ස් වල ඉන්න තමුසෙගෙ නැන්දා එයාට 'පුංචි සිසිලි' කියලා කියාගන්නේ? [කියවමින්] 'පුංචි සිසිලිගෙන්, ඉතාමත් ආදරෙන්.'

ජැක්:
[සෝපාව මත දණගසාගනිමින්] මොකද්ද අයිසෙ ඒකෙ තියෙන අමුත්ත? සමහර නැන්දලා උසයි, සමහර නැන්දලා කොටයි. උස වෙනවද කොට වෙනවද කියන එක ඉතිං ඒ නැන්දලාගේ වැඩක්නේ, මං මොනවා කරන්නද ඒකට? තමුසේ හිතන්නේ මේ ලෝකෙ ඉන්න හැම නැන්දාම තමුසෙගෙ නැන්දා වාගෙ වෙන්න ඕනෙ කියලද? පිස්සු! දෙයියන්ගෙ නාමෙට මට දැන් දෙනවකො මගෙ සුරුට්ටු පෙට්ටිය. [කාමරය පුරා ඇල්ජර්නන් පසුපස යයි.]
 
ජැක් සෝපාව මත දණගසාගෙන ඇල්ජර්නන්ගෙන් සුරුට්ටු පෙට්ටිය ඩැහැගැනීමට උත්සාහ කරයි.

ඇල්ජර්නන්:
හරි. ඒත් මොකද මේ තමුසෙගෙ නැන්දා තමුසෙට මාමා කියන්නේ? 'පුංචි සිසිලිගෙන්, ඉතාමත් ආදරෙන්, ජැක් මාමාට.' නැන්දා කෙනෙක් පුංචි නැන්දා කෙනෙක් වුණාට කමක් නෑ කියමු. ඒත් ලොකු වුණත්, පුංචි වුණත් නැන්දා කෙනෙක් තමුන්ගේ බෑණාට මාමා කියන්නේ මොන කෙහෙල්මලකටද? අනික තමුසෙගෙ නම ජැක් නෙවෙයිනේ, තමුසෙගෙ නම අර්නස්ට්.

ජැක්:
මගෙ නම අර්නස්ට් නෙවෙයි, ජැක්.

ඇල්ජර්නන්:
නමුසෙ මට කියලා තියෙන්නේ තමුසෙ අර්නස්ට් කියලනේ. මං හැමෝටම තමුසෙව අඳුන්නලා දීලා තියෙන්නෙත් ඒ නමින්. අර්නස්ට් කියලා කතා කළාම තමුසෙ උත්තර දෙන්නේ? තමුසෙ තරං ඒ නමේ තේරුමට ගැලපෙන පෙනුමක් තියෙන මිනිහෙක්ව මං දැකලම නෑ. තමුසෙගෙ නම අර්නස්ට් නෙවෙයි කියන එක මහ විහිළුවක්නෙ. මේ බලනවා - මේ බලනවා තමුසෙගෙ කාඩ් එකෙත් එහෙමයි තියෙන්නේ. [කාඩ්පත  පිටතට ගනියි.] 'අර්නස්ට් වර්දිං, බී4, ඇල්බේනි.' තමුසෙ මට හරි ග්වෙන්ඩලින්ට හරි වෙන කාට හරි ආයෙමත් තමුසෙගෙ නම අර්නස්ට් නෙවෙයි කියන්න හැදුවොත් ඇත්ත මොකද්ද කියලා ඔප්පු කරන්න මං මේක අරං තියාගන්නවා. [එය සාක්කුවේ ලා ගනියි.]

ජැක්:
මෙහෙමයි. මං නගරෙදි අර්නස්ට්. ගමේදි ජැක්. ඔය සුරුට්ටු පෙට්ටිය මට හම්බවුණේ ගමේදි.

ඇල්ජර්නන්:
හරි, ඒත් ඇයි මේ තමුසෙගේ ටර්න්බ්‍රිජ් වෙල්ස් වල ඉන්න පුංචි සිසිලි නැන්දා තමුසෙට මාමා කියන්නේ? ඔන්න ඕක එළියට ඇදලා දානවා අයිසේ දත් කැක්කුම හැදෙනකල් හංගගෙන ඉන්නෙ නැතුව.

ජැක්:
තමුසෙ හරියට දත් දොස්තර කෙනෙක් වගේනේ කතා කරන්නෙ ඇල්ජි. දත් දොස්තර කෙනෙක් නොවන කෙනෙක් ඒ වගේ කතා කරන එක එච්චර හොඳ නෑ. දත් දොස්තරලාගේ නම කැත වෙනවනේ.

ඇල්ජර්නන්:
ඒගොල්ලගෙ ආයෙ අමුතුවෙන් කැත වෙන්න නමක් නෑ. දැං කියනවා මට හැමදේම. තමුසෙ කොහොමත් හොර බන්බරියෙක් කියලා මට කාලෙක ඉඳන් ලොකු සැකයක් තිබුණා. දැන්නං ඒ ගැන කිසිම සැකයක් නෑ.

ජැක්:
මොකෙක් කිව්වා? ඒ මොකෙද්ද බන්බරියෙක් කියන්නෙ?

ඇල්ජර්නන්:
ඒ අසමසම හැඳින්වීම ගැන මං තමුසෙට කියලා දෙන්නං තමුසෙ නගරෙදි අර්නස්ට් වෙන්නයි, ගමේදි ජැක් වෙන්නයි හේතුව මට කියලා දුන්නට පස්සේ.

ජැක්:
ඉස්සෙල්ලා මගේ සුරුට්ටු පෙට්ටිය දීලා ඉන්නවා!

ඇල්ජර්නන්:
ඔන්න තියාගන්නවා. [සුරුට්ටු පෙට්ටිය ලබා දෙයි.] දැං කියනවා, ඔන්න හැබැයි මට අහන්න ඕනෙ හිතාගන්න බැරි විදිහේ පුදුම හිතෙන කතාන්දරයක්, හරිද? [සෝපාවෙන් හිඳගනියි.]

ජැක්:
මගේ කතාවේ හිතාගන්න බැරි විදිහේ කිසිම දෙයක් නෑ යාළුවා. මේක බොහොම සාමාන්‍ය කතාන්දරයක්. මං පොඩි එකා කාලෙදි මාව හදාගත්ත තෝමස් කාර්ඩිව් මහත්මයා උන්දැගෙ අන්තිම කැමැත්තෙන් මාව උන්දැගෙ මිණිපිරී - සිසිලි කාර්ඩිව් ගේ - භාරකාරයා විදිහට පත් කළා. තමුසෙට හිතාගන්නවත් බැරි තරමේ ගෞරවේකින් මට මාමා කියලා කතා කරන ඒ කෙල්ල ඉන්නේ මගේ ගෙදර. එයාගෙ පාලිකාව මිස් ප්‍රිස්ම් එක්ක.

ඇල්ජර්නන්:
ගමේ කොහෙද ඔය ගෙදර තියෙනවයි කිව්වෙ?

ජැක්:
තමුසෙට ඒකෙන් වැඩක් නෑ. තමුසෙට මං කීයටවත් එහෙට ආරාධනා කරන්නෙ නෑ... කොහොමහරි ඒ ෂ්‍රොප්ශයර් නෙවෙයි, එච්චරයි.

ඇල්ජර්නන්:
ඔව් ඔව්, මං දන්නවා කොහොමත් ඒ ෂ්‍රොප්ශයර්වල වෙන්න බැරි බව. මොකද මං මුළු ෂ්‍රොප්ශයර් පුරාම බන්බරියාව රඟපාලා තියෙනවා. දැං කියනවා මට, ඇයි තමුසේ නගරෙදි අර්නස්ට් වෙන්නේ, ගමේදි ජැක් වෙන්නේ?

ජැක්:
ඇල්ජි, මං දන්නෙ නෑ තමුසෙ ඇත්තටම මං කියන දේ හරියටම තේරුම් ගනියිද කියලා. තමුසෙ කිසි දෙයක් ගැන බරක් පතලක් ඇතුව හිතන මිනිහෙක් නෙවෙයිනේ. කෙනෙක්ව භාරකාරයෙක් හැටියට පත් කළාම ඒ මනුස්සයාට හැම කාරණාවකදිම බොහොම හික්මුණු සදාචාරසම්පන්න පිළිවෙතක් අනුගමනය කරන්න සිද්ද වෙනවා. එහෙම නොකර බෑ. ඉතිං එහෙම හික්මුණු, සදාචාරසම්පන්න පිළිවෙතක් අනුගමනය කරද්දි කෙනෙකුට තමුන්ගේ ශරීර සෞඛ්‍යයයි, හිතේ සතුටයි අමතක කරලා දාන්න වෙන හින්දා, මං ඉඳහිට නගරෙට පැනලා එන්න ඕන කමට මගේ නැහැදිච්ච අර්නස්ට් මල්ලිව මවාගත්තා. ඒ අර්නස්ට් ඉන්නේ ඇල්බේනි වල. මිනිහගෙ වැඩේ කොච්චරවත් එක එක දහජරා වැඩ කරලා කරදර වල පැටලෙන එක. ඉතිං ඕක තමයි යාළුවා පිරිසිදු, සරල ඇත්ත.

ඇල්ජර්නන්:
ඇත්ත කියන දේ එහෙම ලේසියෙන් පිරිසිදු වෙන්නෙවත් සරල වෙන්නෙවත් නෑ. ඒක එහෙම වුණානං එහෙම මේ ජීවිතත් බොහොම නීරස වෙන්න තිබ්බා, නූතන සාහිත්‍යය කියන දේ පට්ටපල් බොරුවක් වෙලා යන්න තිබ්බා.

ජැක්:
ඉතිං ඒක නරකයැ!

ඇල්ජර්නන්:
සාහිත්‍ය විචාරය ගැන තමුසෙ දන්න ඉටිගෙඩියක් නෑ යාළුවා. ඒකට උත්සාහ කරන්න එපා. විශ්ව විද්‍යාලෙකට නොගිය මිනිස්සුන්ට ඒ වැඩේ ඉතිරි කරන්න. ඔය පත්තරවල හැමදාම තියෙන්නේ. තමුසෙ හැබෑම බන්බරියෙක් තමයි. මං හිතුවා හරියටම හරි. මං දන්න හොඳම බන්බරියන්ගෙන් එකෙක් තමයි තමුසේ.

ජැක්:
මොනවද ඕයි මේ කියවන්නේ?

ඇල්ජර්නන්:
තමුසේ බොහොම ප්‍රයෝජනවත් බාල සහෝදරයෙක් මවාගෙන තියෙන්නේ, හිතුණ ගමන් නගරෙට පැනලා එන්න පුළුවන්වෙන්න. මං බොහොම වටින සදාකාලික අබ්බගාත යාළුවෙක්ව මවාගෙන තියෙන්නේ මට හිතුණ ගමන් ගමට පැනලා යන්න පුළුවන්වෙන්න. මිනිහගෙ නම තමයි බන්බරි. මිනිහගේ වටිනකම කියලා නිම කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්න මට අපේ ඔගස්ටා නැන්දාගේ ගෙදර දැන් සතියක් විතර තිස්සේ ඉඳන් තියෙන රෑ කෑම සාද මග ඇරලා තමුසෙත් එක්ක අද රෑ විලීගේ හෝටලේ කෑමට යන්න බැරි වෙනවා මේ බන්බරි මේ හැටි අසාධ්‍ය වෙලා නොහිටියානං.

ජැක්:
මං කිව්වෙ නෑ තමුසෙට මාත් එක්ක කොහෙවත් රෑ කෑමට යන්න එන්න කියලා.

ඇල්ජර්නන්:
ඒක හරි. තමුසෙට ආරාධනා කරන්න ගියාම සෑහෙන්න අමතකවීම් වෙනවා. ඒ පැත්තෙන්නං තමුසෙ බොහොම දුර්වලයි. ආරාධනාවක් නොලැබීම තරං මිනිහෙක්ගේ හිත නරක් කරන්න පුළුවන් වෙන දෙයක් තියෙනවද?

ජැක්:
තමුසේ ඔගස්ටා නැන්දා එක්කම කෑම කන එක හොඳයි මං හිතන්නේ.

ඇල්ජර්නන්:
එහෙම දෙයක් කරන්නනං මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. එකක්, මං ගිය සඳුදාත් එහෙ කෑම කෑවා. නෑදෑයොත් එක්ක සතියකට එක පාරක් කෑම ගත්තාම හොඳටෝම ඇති. දෙවෙනි කාරණාව, එහෙදි මට සලකන්නෙ හරියට පවුලේ කෙනෙකුට වගේ. ඉතිං මට ඉඳගන්න වෙන්නේ එක්කෝ ගෑණු කවුරුත්ම නැති තැනක, එක්කො ගෑණු දෙන්නෙක් මැද. තුන්වෙනි එක, අද රෑට නැන්දා මං ගාවින් ඉන්දවන්න යන්නේ කවුද කියලා මං හොඳට දන්නවා. අර මේරි ෆාර්කුහර්. ඒ ගෑනිගෙ වැඩේ මේසේ අනිත් පැත්තේ ඉඳං ඉන්න එයාගෙම මහත්තයා එක්ක උකුළු මුකුළු පාන එක. මොන කැත වැඩක්ද. ඒ විකාරෙ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුනං වෙන්නෙ නෑ. ලන්ඩන් වල තමුන්ගෙම මිනිහත් එක්ක ප්‍රසිද්ධියේ උකුළු මුකුළු පාන ගෑනු ගාණ ගණං කරන්නත් බැරි තරං. මහ අපරාදයක්. හරියට ප්‍රසිද්ධියේ යට ඇඳුං හෝදනවා වගේ වැඩක් ඒක. අනික දැං තමුසේ බන්බරියෙක් බව මං හොඳටම දන්න එකේ මං කැමතියි තමුසෙත් එක්ක ඒ ගැන ටිකක් කතා කරන්න. ඒකෙ තියෙන නීති රීති ගැන එහෙම.

ජැක්:
මං ඔය කියන ජාතියේ බන්බරියෙක් නෙවෙයි. ග්වෙන්ඩලින් මාව පිළිගන්නවානං මං මගේ මල්ලිව මරලා දානවා. ඒ නැතත් මං කොහොමත් ඒකාව ඉවරයක් කරලා දාන්න ඉන්නේ. සිසිලි මට පේන්නේ ඒ හාදයා ගැන ඕනැවට වඩා හිතනවා. මෝඩ කෙල්ල. ඉතිං මං කොහොමත් අර්නස්ට්ගෙන් ගැලවෙන්න ඕනෙ. මං කියන්නේ තමුසෙත් අර... අර අමුතු නමක් තියෙන අබ්බගාත යාළුවාටත් ඒකම කළානං හොඳයි.

ඇල්ජර්නන්:
මාව බන්බරිගෙන් ඈත් කරන්නනං කිසිම දේකට බැරි වෙයි. අනික තමුසෙ කසාද බඳින්න අදහසක් තියෙනවනං - ඒක වෙයිද නැද්ද කියන එකනං වෙනම හිතන්න ඕන කාරණාවක් - තමුසෙත් මේ බන්බරි කෙනෙක් අඳුරගෙන ඉන්න එක බොහොම වටිනවා. බන්බරියෙක් එක්ක ඇයිහොඳයියක් නැතුව කසාද ජීවිතේට ඇතුල් වෙන මිනිහා නොවැරදීම වැටෙන්නෙ ලොකු අමාරුවක.

ජැක්:
විකාර. ග්වෙන්ඩලින් වගේ සීදේවි ගෑණු ළමයෙක් බැන්දට පස්සෙ - මං දැකපු ගෑණු ළමයින්ගෙන් මට බඳින්න හිතුණේ එයාවම විතරයි - මට මොකටද බන්බරියෙක්.

ඇල්ජර්නන්:
එහෙනං තමුසෙගෙ නෝනට හරි බන්බරියෙක් ඕන වෙයි. තමුසෙට තාම තේරෙන්නෙ නෑනේ කසාද ජීවිතේදි සතුටු සාමීචියකවත් යෙදෙන්නනං දෙන්නෙක් ඉඳලා බෑ, තුන්දෙනෙක් ඕනෙ කියලා.

ජැක්:
[ගාම්භීර හඬින්] ආන්න ඒක තමයි මගේ මිත්‍රයා දැං අවුරුදු පණහක් තිස්සේ ඔය ප්‍රංශ නාට්‍ය වලින් අපිට ඒත්තු ගන්නන්න හදන්නේ.

ඇල්ජර්නන්:
ඔව්; දැන් අපි ඉංග්‍රීසිකාරයන්ගේ ජීවිතත් ඒ විදිහට හැඩගැහිලායි තියෙන්නේ.

ජැක්:
දෙයියන්ගෙ නාමෙට
ඇල්ජි, හැම එකක්ම වැරදි කොණෙන් අල්ලගන්න එක නවත්තනවකො. හැම දේකම වැරැද්දක් දකින එක බොහොම ලේසි වැඩක්.

ඇල්ජර්නන්:
යාළුවා, දැං කාලේ කිසිම දෙයක් ලේසි නෑ. හැම තැනම තරගෙ. [විදුලි සීනුවක හඬ ඇසේ.] ආ! ඔය ආවේ ඔගස්ටා නැන්දා වෙන්න ඕනෙ. අර රිචඩ් වැග්නර් උන්නැහෙගෙ සංගීත නාදෙට සීනුව සද්ද කරන්නෙ නෑදෑයොයි, ණයකාරයොයි විතරයි. හරි, මං නැන්දාව විනාඩි දහයකට එළියට එක්කං ගිහිං තමුසෙට ග්වෙන්ඩලින් එක්ක තියෙන හුටපටේ බේරුමක් කරගන්න වෙලාව අරං දුන්නොත්, අද රෑට මට තමුසෙත් එක්ක විලී හෝටලෙන් කෑම කන්න පුළුවන්ද?

ජැක්:
තමුසෙට ඕනෙනං එහෙම කරමු.

ඇල්ජර්නන්:
හරි, හැබැයි ඔන්න ඒක පොරොන්දුවක්, තේරුණාද? කෑම වේල් එක්ක විහිළු කරන මිනිස්සු මට පේන්න බෑ. උන් මහා තකතීරුවො.

[ලේන් පැමිණේ.]

ලේන්:
බ්‍රැක්නෙල් ආර්යාව සහ ෆෙයාර්ෆැක්ස් මෙනෙවිය.

[ඔවුන් පිළිගැනීමට ඇල්ජර්නන් ඉදිරියට පැමිණේ. බ්‍රැක්නෙල් ආර්යාව හා ග්වෙන්ඩලින් දර්ශනතලයට පිවිසේ.]


බ්‍රැක්නෙල් ආර්යාව:

කොහොමද ඇල්ජර්නන්, තමුන් හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා.



මහේශාක්‍ය පෙනුමකින් යුත් බ්‍රැක්නෙල් ආර්යාව

ඇල්ජර්නන්:
මං හොඳින් ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මං ඇහැව්වේ ඒක නෙවෙයි, තමුන් අනවශ්‍ය වැඩ නොකර හොඳින් කල දවස ගෙවනවද කියලයි. කොහොමත් ඔය දෙක එකට යන්නෙ නෑ තමයි. [ජැක් දැක දරදඬු ලීලාවෙන් ඔහු වෙත හිස නමයි.]

ඇල්ජර්නන්:
[ග්වෙන්ඩලින් අමතා] ඔයා හරි ලස්සනයිනේ!

ග්වෙන්ඩලින්:
මං කොහොමත් ලස්සනයි තමයි! නේද වර්දිං මහත්මයා?

ජැක්:
ඉස්තරම්, මිස් ෆෙයාර්ෆැක්ස්.

ග්වෙන්ඩලින්:
අනේ! එහෙම වෙනවටනං මං කැමති නෑ. එතකොට මට තව ලස්සන වැඩි කරගන්න විදිහක් නෑනේ. මං හැම අතින්ම තව තවත් වැඩි දියුණු වෙන්නයි කැමති. [ග්වෙන්ඩලින් හා ජැක් කෙළවරක අසුන් ගනිති.]

බ්‍රක්නෙල් ආර්යාව:
අපි පොඩ්ඩක් පරක්කු වුණා ඇල්ජර්නන්, කණගාටුයි ඒ ගැන. ඒත් මට අර හාර්බරි නෝනාට කතා නොකරම බැරි වුණා. එයාගෙ මහත්තයා මැරුණට පස්සේ මට එහෙ යන්නම බැරි වුණානේ. එයා වගේ ඉක්මණටම වෙනස් වෙච්ච කෙනෙක් මං දැකලම නෑ; හරියට අවුරුදු විස්සකින්ම තරුණ වෙලා වගේ. අපි එහෙනං දැන් තේ බොමු, අර ඔයා මං වෙනුවෙන්ම ලෑස්ති කරනවයි කියපු පිපිඤ්ඤා පාන් එක්ක.

ඇල්ජර්නන්:
හොඳයි ඔගස්ටා නැන්දේ. [මේසය වෙත යයි.]

බ්‍රැක්නෙල් ආර්යාව:
ග්වෙන්ඩලින්, මේ මෙතන ඉඩ තියනවා.

ග්වෙන්ඩලින්:
නෑ අම්මේ, මෙතන හොඳයි.

ඇල්ජර්නන්:
[තැතිගත් මුහුණෙන් හිස් පිඟාන අතට ගනියි.] දෙයියෝ සාක්කි! ලේන්! කෝ මිනිහෝ පිපිඤ්ඤා පාන්? මං ඒවා හදන්නම කියලා කිව්වානේ?

ලේන්:
[අඳුරු මුහුණින්] අද පොළේ පිපිඤ්ඤා තිබ්බෙ නෑ හාමු. මං දෙසැරයක්ම පොළට ගියා.

ඇල්ජර්නන්:
පිපිඤ්ඤා තිබ්බෙ නෑ?

ලේන්:
නෑ හාමු. අත්පිට මුදලටවත් ගන්න තිබ්බෙ නෑ.

ඇල්ජර්නන්:
ඒකත් එහෙමද. හරි එහෙනං ලේන්, තමුසෙට යන්න පුළුවන්.

ලේන්:
හොඳමයි [පිටව යයි.]

ඇල්ජර්නන්:
අනේ ඔගස්ටා නැන්දේ! අද පොළේ පිපිඤ්ඤා තිබිලා නෑනේ. අත්පිට මුදලට ගන්නවත් තිබිලා නෑ. හරිම දුකයි මට ඒ ගැන.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒකට කමක් නෑ ඇල්ජර්නන්. අපි හාර්බරි නෝනාගේ ගෙදරදි රොටි කෑවා. එයානං දැන් ජීවත් වෙන්නේ හරිම විනෝදෙන්.

ඇල්ජර්නන්:
මටනං ආරංචි වුණේ දුකටම එයාගෙ කොණ්ඩෙත් රත්තරන් පාටට හැරිලා කියලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
කොණ්ඩෙ පාටනං වෙනස් වෙලා තමයි, ඒත් ඒ ඇයි කියන්නනං මං දන්නෙ නෑ. [ඇල්ජර්නන් පැමිණ තේ පිළිගන්වයි.] ස්තූතියි. අද අපේ දිහා රෑ කෑම හරි ජයට තියෙයි ඇල්ජර්නන්. ඔයාව අද මං ඉන්දවන්නේ මේරි ෆාර්කුහර් ළඟින්. හරිම හොඳ ගෑණු කෙනෙක්. තමුන්ගේ මහත්තයා ගැන හොඳට හොයලා බලනවා. ඒ දෙන්නා දිහා බලං ඉන්න ආසයි.

ඇල්ජර්නන්:
අනේ ඔගස්ටා නැන්දේ, අද රෑට නැන්දාගේ ගෙදර කෑම ගන්න සතුට මට අමතක කරලා දාන්න වෙනවා.

බ්‍රැක්නෙල් ආර්යාව:
[රවමින්] එහෙම කරන්නෙ කොහොමද ඇල්ජර්නන්. මගේ මේසෙ හිස් වෙයිනේ. ඔයාගේ මාමාට කන්න වෙන්නේ උඩ තට්ටුවේ - වාසනාවකට දැන් එයාට ඒක පුරුදුයි.

ඇල්ජර්නන්:
ඇත්තටම මට ඒ ගැන හරිම දුකයි නැන්දේ, ඒත් මට මේ ඩිංගකට කළින් පණිවිඩයක් ආවා මගේ අර යාළුවා බන්බරි - මිනිහට ආයෙත් හොඳටම අමාරුයි කියලා. [ජැක් සමග බැල්මක් හුවමාරු කරගනියි.] මිනිහගේ පවුලේ උදවිය හිතනවා මං එතන හිටියොත් හොඳයි කියලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
මේ බන්බරි කියන හාදයා මහ ලෙඩ වාට්ටුවක්නෙ.

ඇල්ජර්නන්:
ඔව්, අසරණ බන්බරි ඇඳටම වෙලා ඉන්න අබ්බගාතයෙක්නේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මමනං කියන්නෙ ඇල්ජර්නන්, ඔය බන්බරි මහත්තයාට තමුන් ජීවත් වෙනවද මැරෙණවද කියලා දෙකෙන් එකක් තීරණය කරගන්න දැන් කාලෙ හරි කියලයි. මේ කොහෙටවත් නැතුව එහෙටයි මෙහෙටයි වැනි වැනි ඉන්න එක කිසි වැඩකට නැති වැඩක්. අනිත් එක ඔය මුකුත් කරකියාගන්න බැරි මිනිස්සුන්ට දැන් ලෝකේ පෙන්නන අනුකම්පාවටත් මං එච්චර කැමති නෑ. හරියට ඒක නිකං ලෙඩ වෙලාම ඉන්න කියලා මිනිස්සුන්ට අනුබල දෙනවා වාගේ වැඩක්. තමුන්ගේ සෞඛ්‍යය ගැන බලාගන්නවා කියන්නේ ජීවිතේ එක රාජකාරියක්. මං ඔයාගේ මාමාටත් ඕක කියනවා. එයා ඉතිං මං කියන දේවල් ඒ හැටි ගණංගන්නෙ නෑනේ... පුළුවන්නං ඔය බන්බරි මහත්තයට මේ මං කිව්වයි කියලා කියන්න, මේ සෙනසුරාදාටනං ඔහොම දෙයක් කරගන්න එපා කියලා, මොකද එදාට අපේ ගෙදර සංගීත කටයුතු මං බාරදෙන්න ඉන්නෙ ඇල්ජර්නන්, ඔයාට. මේ වතාවේ මං ගානේ තියන අන්තිම භෝජන සංග්‍රහය. මට ඕනේ ඒක හැමෝටම කතා කරන්න පුළුවන් දේවල් තියෙන විදිහේ මොහොතක් කරන්න.

ඇල්ජර්නන්:
මිනිහා සිහියෙන් හිටියොත් මං බන්බරිට කියන්නං ඔගස්ටා නැන්දේ. එයා සෙනසුරාදාට හොඳින් ඉඳියි. සංගීතෙ ගැන සුළුවෙන් හිතලා බෑ ඇත්තටම. ඔහොම තැනකදි කෙනෙක් හොඳට වාදනය කළොත් මිනිස්සු අහං ඉන්නෙ නෑ. නරකට වාදනය කළොත් මිනිස්සු ඒ ගැන කතා කරන්නෙ නෑ. ඒත් මං සැලසුම් කරලා තියෙන එක මං නැන්දාට පෙන්නන්නං පොඩ්ඩකට මාත් එක්ක එහා කාමරේට යන්න එන්න පුළුවන්නං.

බ්‍රැක්නෙල් ආර්යාව:
කොයිතරම් හොඳ දෙයක්ද ඇල්ජර්නන්, ඔයා ඒ ගැන සෑහෙන්න හිතලා තියනවා. [නැගිට ඇල්ජර්නන් පසුපසින් යයි.] මං දන්නවා ඔය ඩිංගක් එහාට මෙහාට කරලා ගත්තාම ඒක සෑහෙන්න හොඳට තියෙයි. හැබැයි ඔන්න ප්‍රංශ සිංදුනම් එපා. මිනිස්සුන්ට දැනෙන්නේ ඒක මහ නොගැලපෙන සංගීතයක් වගේ. එක්කෝ මහා කැත විදිහට ගල් ගිල්ලා වගේ බලාගෙන ඉඳියි. නැත්තං හිනා වෙයි - ඒක ඊට හපං. ඔන්න ජර්මන් සිංදුනම් හොඳයි, වැදගත් පාටයි. ග්වෙන්ඩලින්, එන්න මාත් එක්ක.

ග්වෙන්ඩලින්:
හොඳයි අම්මේ.

[බ්‍රැක්නෙල් ආර්යාව සහ ඇල්ජර්නන් සංගීත කාමරය වෙත යයි. ග්වෙන්ඩලින් රැඳී සිටියි.]



- මතු සම්බන්ධයි -



14 comments:

  1. ආරම්භයම අපූරුයි... බලමු දැන් ජැක් බ්‍රංඩලින්ගෙන් අහයිද කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි. :) මේ නාට්‍යයේ මමනං ආසම තුන් වෙනි ජවනිකාවට. අපි මේ ඉන්නේ තාම පළමුවෙනි ජවනිකාවේ මැද.

      Delete
  2. හෙහ්..අර උඩහ අම්මණ්ඩි කියල තියනව වගෙ ආරම්භය නම් නියමයි!

    ReplyDelete
  3. ඔයාගෙ පරිවර්තන ගැන ඉතින් කවර කතාද..?

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම කියලා මොකුත් නොකියා ඉන්න එක හොඳද මං අහන්නේ?

      Delete
  4. නියමයි අක්කේ.
    මම මේ නට්‍යක් කියවන පලමු වතාව.

    ReplyDelete
    Replies
    1. නාට්‍ය කියවන එකත් නියම අත්දැකීමක් මල්ලි. සාමාන්‍ය කතා පොතක කියවෙන තොරතුරු විස්තර මොකුත් නෑ. නාට්‍යය බලද්දි දකින්න ලැබෙන නළු නිළියන්ගේ එක්ස්ප්‍රෙෂන්ස් මොකුත් නෑ, තනිකරම දෙබස් සහ වරහන් ඇතුළේ තියෙන පොඩි විස්තර වලින් ලොකු චිත්ත රූපයක් මවාගන්න තියෙන්නේ. ඔයාගේ පළවෙනි නාට්‍ය කියවීම් අත්දැකීම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! :)

      Delete
  5. ඒ කාලෙත් දත් ගලවන වැඩේ ජයටම කෙරිල තියෙන හැඩයි. අද රෑට ජැකාට හොම්බෙං යන්නයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකෙ කොහෙද බොලේ දත් ගලවලා තියෙන්නෙ?

      Delete
    2. ඇයි ආහාර වේලකට හෝටලේකට යන්න පොරොන්දු කරගත්තෙ

      Delete
    3. ආහ්, ඔව් නේන්නං! ඒකත් දත් ගැලවිල්ලක්නෙ. :D

      Delete
  6. ස්ටේජ් එකක හැසිරෙන විදිහට,හඬ වෙනස් කර කර කැරකි කැරකි කතා කරන විදිහට තමයි දෙබස් ටික ඔලුවට ගියෙ... රසවිඳින්න පුළුවන් විදිහට තියනවා කියන්නෙ ලොකු දෙයක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි නාට්‍ය පිටපතනම් කිසිම සැකයක් නැතුව කියවලා රසවිඳින්න පුළුවන්. මගේ පරිවර්තනයත් එහෙම දැනෙනවනම් ඒක තමයි මගේ සතුට.

      ගස්ටත් ජයම වේවා! :)

      Delete