193. නමක මහිම...03

II ජවනිකාව

දර්ශනතලය - වූල්ටන් වළව්වේ උද්‍යානය. වළව්ව වෙත ඉහළට දිව යන අළු පැහැති පියගැටපෙළකි. පැරණි තාලයේ උද්‍යානයේ රෝස මල් පිරී ඇත. වසරේ මැද කාලයයි. විශාල පැරණි ගසක් සෙවණේ වේවැල් පුටු හා මේසයක් තබා ඇත. මේසය මත පොත් ගොඩකි.

[ප්‍රිස්ම් මෙනෙවිය මේසය අසළ වාඩි වී සිටියි. සිසිලි පසුබිමේ මල් පැළ වලට වතුර දමමින් සිටියි.]

මිස් ප්‍රිස්ම්:
[හඬ නගා අමතමින්] සිසිලි, සිසිලි! ඔය මල් වලට වතුර දානවා වගේ වැඩ අයිති ඔයාට නෙවෙයි මෝල්ටන්ට නේද? වැඩියෙන්ම මේ වගේ බුද්ධිමය සතුටක් ලබන්න පුළුවන් වෙලාවකදි. ඔයාගෙ ජර්මන් ව්‍යාකරණ පොත මෙන්න මේසෙ උඩ තියෙනවා. කරුණාකරලා ඇවිත් ඉඳගෙන පහළොස්වෙනි පිටුව පෙරළගන්න. අපි ඊයෙ කරපු පාඩම ආපහු බලලා ඉමු.

සිසිලි:
[අලස ගමනින් ඇවිද එමින්] ඒත් මං ජර්මන් ඉගෙනගන්න කැමති නෑනේ. ඒක කිසි තේරුමක් නැති බාසාවක්. මං හොඳටම දන්නවා ඔය පාඩමකට පස්සේ මාව පේනවා ඇත්තේ මහා මෝඩ පාටට.

මිස් ප්‍රිස්ම්:
දරුවා, ඔයා දන්නවනේ ඔයාගේ භාරකාර මහත්මයා ඔයාව හැම අතින්ම වැඩි දියුණු කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ඊයෙ නගරෙට යන්න කළින් එයා කියලමයි ගියේ ඔයාගෙ ජර්මන් භාෂා දැනුම ගැන ටිකක් වැඩිපුර බලන්න කියලා. එයා නගරෙට යන හැම වතාවකදිම මට කියලා යනවා ඒ ගැන වැඩිපුර බලන්න කියලා.

සිසිලි:
අනේ ජැක් මාමානම් හැම දෙයක් ගැනම හරිම බරපතල විදිහට තමයි හිතන්නේ. වෙලාවකට මට හිතෙනවා එයාට අසනීපයක්වත්ද කියලා.

මිස් ප්‍රිස්ම්:
[හඬ උස් කර] ඔයාගේ භාරකාර මහත්මයා හොඳ සනීපෙන් ඉන්නවා. අනික ඒ තරම් තරුණ වයසක ඉන්න කෙනෙක් හැටියට හොඳ කල්ක්‍රියාවෙන් ජීවත් වෙනවා. ඒ තරම් යුතුකම්, වගකීම් ගැන සැලකිලිමත්වෙන වෙන කිසිම කෙනෙක් මං දැකලා නෑ.

සිසිලි:
ඒක වෙන්න ඇති එයා අපි දෙන්නත් එක්ක ඉන්නකොට මහ කම්මැලිකමෙන් වාගේ ඉන්නේ.

මිස් ප්‍රිස්ම්:
සිසිලි! මටනං හරිම පුදුමයි ඔයා ගැන. වර්දිං මහත්මයාට එයාගෙ ජීවිතේ සෑහෙන්න ප්‍රශ්න තියෙනවා. ඔය පොඩි දේවල් ගැන සම්ප්‍රප්පලාප දොඩ දොඩ විනෝද වෙන්න එයාට කාලයක් නෑ. එයාගෙ අර තක්කඩි සහෝදරයා ගැන එයා කොච්චර වද වෙනවද කියලා ඔයා අමතක කරන්න එපා.

සිසිලි:
අනේ ජැක් මාමා එයාගෙ ඒ තක්කඩි සහෝදරයට ඉඳ හිට මෙහෙ එන්න ඉඩ දෙනවනං කොච්චර දෙයක්ද. අපිට පුළුවන් වෙයිනේ එයාව හොඳ අතට හරවගන්න. ඔයාට අනිවාර්යෙන්ම ඒක කරන්න පුළුවන් වෙයි, මං දන්නවා මිස් ප්‍රිස්ම්. ඔයා ජර්මන් භාෂාව දන්නවා, භූ විද්‍යාව දන්නවා, මිනිහෙක්ව නම්මගන්න පුළුවන් වෙන ඒ වගේ දේවල් ගොඩක් ඔයා දන්නවනේ. [සිසිලි සිය දිනපොතේ ලියන්නට පටන්ගනියි.]

මිස් ප්‍රිස්ම්:
[හිස දෙපසට වනමින්] එයාගේ සහෝදරයා කියන තරම් දුර්වල, අස්ථාවර චරිතයක් මටවත් නම්මගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ. මට ඒ වගේ කෙනෙක්ව හොඳ මිනිහෙක් කරන්න උවමනාවකුත් නෑ. මේ පොඩි කාලෙකින් නරක මිනිස්සුන්ව හොඳ මිනිස්සු කරන්න හදන රැල්ලට මං කොහෙත්ම කැමති නෑ. මනුස්සයෙක් වපුරන විදිහට එයා අස්වැන්න නෙළාගත්තුදෙන්. ඔය දින පොත පැත්තකට දාන්න සිසිලි. මට තේරෙන්නෙ නෑ ඔයා මොනවටද ඔය දින පොතක් තියාගෙන ඉන්නෙ කියලා.

සිසිලි:
මං දිනපොතක් තියාගෙන ඉන්නේ මගේ ජීවිතේ ලස්සන රහස් ලියලා තියාගන්න. මං ඒවා ලියලා තියාගත්තෙ නැත්තං මට ඒවා අමතක වෙලා ගියොත් එහෙම.

මිස් ප්‍රිස්ම් හා සිසිලි පාඩම් මේසය අසළ. සිසිලිගේ අතේ ඇත්තේ ඇගේ දිනපොතය.
මිස් ප්‍රිස්ම්:
සිසිලි, දරුවෝ, මතකය තමයි අපි හැමදෙනාම ළඟ තියන දින පොත.

සිසිලි:
ඔව්, ඒත් කවදාවත් නොවිච්ච, කවදාවත් වෙන්න බැරි දේවලුත් ඒකේ තියෙනවනේ. අර මියුඩි එවන වෙළුම් තුනේ නවකතා වලට* තනිකරම වගකියන්න ඕනෙ මතකය තමයි මං හිතන්නෙ.

මිස් ප්‍රිස්ම්:
වෙළුම් තුනේ නවකතා ගැන ඔහොම හෑල්ලුවෙන් කතා කරන්න එපා සිසිලි. කාලෙකට ඉස්සර මාත් එයින් එකක් ලිව්වා.

සිසිලි:
ඔය ඇත්තමද මිස් ප්‍රිස්ම්? ඔයා නියමයිනෙ! ඒක සතුටෙන් ඉවර වුණේ නෑ නේද? මං කැමති නෑ හැමදේම හොඳින් විසඳිලා සතුටෙන් ඉවර වෙන නවකතාවලට. ඒවා මගේ හිතේ ධෛර්යය අඩු කරනවා.

මිස් ප්‍රිස්ම්:
හොඳ අයගෙ කතා හොඳ විදිහට ඉවර වෙනවා, නරක අයගෙ කතා නරක විදිහට ඉවර වෙනවා. ඒකට තමයි ප්‍රබන්ධය කියන්නේ.

සිසිලි:
වෙන්නැති. ඒත් ඒක හරි අසාධාරණයිනේ. ඔයාගෙ පොත පළ වුණාද?

මිස් ප්‍රිස්ම්:
නෑනේ. අත්පිටපත නැති වුණා. දැන් ආපහු පාඩමට දරුවෝ, මෙහෙම කතා කර කර හිටියා කියලා මුකුත් ලැබෙන්නෙ නෑ.

සිසිලි:
[මද සිනා පාමින්] ඒත් අන්න චැසියුබල් පූජකතුමා මේ පැත්තට එනවා පේනවා.

මිස් ප්‍රිස්ම්:
[වහා නැගිට ඉදිරියට එමින්] චැසියුබල් පූජකතුමනි! හරිම සතුටුයි ඔබතුමා මේ පැත්තේ පැමිණීම ගැන.

[කැනන් චැසියුබල් පූජකවරයා පැමිණේ.]

චැසියුබල්:
කොහොමද මේ උදෑසන ප්‍රිස්ම් මෙනෙවියනි. ඔබතුමිය හොඳින් කියලා මම හිතනවා.

සිසිලි:
මිස් ප්‍රිස්ම් දැන් මේ කිය කිය හිටියෙ පොඩ්ඩක් ඔළුව රිදෙනවා කියලා. ඔබතුමා එක්ක උයනෙ පොඩ්ඩක් ඇවිද්දොත් හරි යයි මං හිතන්නේ පූජකතුමනි.

මිස් ප්‍රිස්ම්:
සිසිලි, මං ඔළුව කැක්කුමක් ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ.

සිසිලි:
ඔව් මිස් ප්‍රිස්ම්, මං දන්නවා ඒක. ඒත් ඔයා නොකිව්වට මට ඒ බව දැනුණා. පූජකතුමා එද්දි මං ජර්මන් පාඩම් ගැන නෙවෙයි ඒ ගැනයි හිත හිත හිටියේ.

චැසියුබල්:
ඔයා පාඩම් ගැන අවධානයෙන් නෙවෙයිද හිටියෙ සිසිලි?

සිසිලි:
අනේ නෑ පූජකතුමනි.

චැසියුබල්:
පුදුමයිනෙ. ප්‍රිස්ම් මෙනෙවියගෙන් ඉගෙනගන්න තරම් මං වාසනාවන්ත වුණානම්, මගෙ ඇස් දෙක එයාගෙ තොල්වලම එල්ලිලා ඉඳියි. [ප්‍රිස්ම් මෙනෙවිය ඔරවා බලයි.] මං උපමාරූපකයක් විදිහට ඒක කිව්වෙ - මගේ උපමාව ගත්තෙ මී මැස්සන්ගෙන්. අහ්ම්! වර්දිං මහත්මයා මං හිතන්නෙ තාම නගරෙ ඉඳන් ඇවිත් නැතුව ඇති?

මිස් ප්‍රිස්ම්:
එයා ආපහු එන්නෙ සඳුදා.

චැසියුබල්:
ඔව්නෙ, එයා කැමති ඉරිදා දවස් ලන්ඩන්වල ගත කරන්න. එයා එයාගෙ අර සෙල්ලක්කාර සහෝදරයා වගේ විනෝදෙ මත්තෙම ජීවිතේ ගෙවන කෙනෙක් නෙවෙයි මං හිතන්නෙ. ඒත් මං දැන් එජීරියාටයි එයාගෙ ගෝලයාටයි තවත් බාධා කරන එක හොඳ නෑ.

මිස් ප්‍රිස්ම්:
එජීරියා? මගේ නම ලැටීෂියා, පූජකතුමනි.

චැසියුබල්:
[හිස නවමින්] මං ඒ කිව්වේ අර පේගන් මිථ්‍යාදෘෂ්ඨික පොතක එන චරිතයක් ගැන. ඔය දෙන්නම හැන්දෑවෙ පූජාවට එනවා නේද?

මිස් ප්‍රිස්ම්:
මේ... පූජකතුමනි, මං ඔබතුමා එක්ක පොඩ්ඩක් ඇවිදින්න එන්නම්. මට ටිකක් ඔළුව රිදෙනවා වාගෙ තමයි. ටිකක් ඇවිද්දාම හරි යයි.

චැසියුබල්:
බොහොම සන්තෝසයි, ප්‍රිස්ම් මෙනෙවියනි, බොහොම සන්තෝසයි. අපි ඉස්කෝලෙ ළඟට වෙනකල් ගිහින් ආපහු එමු.

මිස් ප්‍රිස්ම්:
එහෙම හොඳයි. සිසිලි, මං එනකල් ඔයාගෙ දේශපාලන ආර්ථිකය පොත කියවන්න. රුපියල පහත වැටීම ගැන තියෙන පරිච්චේදෙ අත ඇරියට කමක් නෑ. ඒක මහ ලේ පුච්චන පරිච්චේදයක්. මේ ලෝහ කෑලි වලටත් ඉඳහිට හිතෙනවනේ ඉහළ පහළ ගිහින් නැටුම් නටන්න. [චැසියුබල් පූජකවරයා සමග උද්‍යානයේ ඈතට ඇවිද යයි.]

සිසිලි:
[පොත් එකින් එක ගෙන යළි මේසය මතට අත හරියි.] ජරා දේශපාලන ආර්ථිකය! ජරා භූ විද්‍යාව! ජරාම ජරා ජර්මන් පාඩම!

[තැටියක තබාගත් කාඩ්පතක්ද රැගෙන මෙරිමන් පැමිණේ.]

මෙරිමන්:
අර්නස්ට් වර්දිං මහත්මයා ස්ටේෂමේ ඉඳන් ඇවිත් ඉන්නවා. ඒ මහත්මයාගෙ බඩුමුට්ටු වගේකුත් තියෙනවා.

සිසිලි: 
[කාඩ්පත රැගෙන කියවා බලයි.] අර්නස්ට් වර්දිං, බී4, ඇල්බේනි. ජැක් මාමාගේ මල්ලි! වර්දිං මහත්මයා නගරෙට ගිය බව එයාට කිව්වද?

මෙරිමන්:
ඔව් පුංචි නෝනා. එයා ඒ ගැන කණගාටු වුණා. පුංචි නෝනායි ප්‍රිස්ම් මෙනෙවියයි වත්තෙ ඉන්න බව මං කිව්වා. පුංචි නෝනා එක්ක ටිකක් තනියම කතා කරන්න ඕන බව තමයි කිව්වේ.

සිසිලි:
අර්නස්ට් වර්දිං මහත්මයාට මෙහෙට එන්න කියන්න. එයාට කාමරේකුත් ලෑස්ති කරවන්න.

මෙරිමන්:
හොඳයි පුංචි නෝනා. [පිටව යයි]

සිසිලි:
ඇත්තම තක්කඩියෙක්ව මං මීට කළින් මුණගැහිලම නෑ. මට බයකුත් දැනෙනවා. ඒ ඔක්කොටෝම වඩා මට බය එයා අනිත් හැමෝම වගේ කෙනෙක් වෙයිද කියලයි. [කෙළිලොල් ප්‍රියමනාප පෙනුමකින් යුත් ඇල්ජර්නන් පිවිසෙයි.] ඔව් නේන්නං!

ඇල්ජර්නන්:
[හිස් වැස්ම ගලවා ආචාර කරමින්] මේ ඉන්නෙ මගේ පුංචි ඥාතියා සිසිලි වෙන්න ඕනෙ , මං හරි නේද?

සිසිලි:
ඔයාට ලොකු වැරදීමක් වෙලා තියෙන පාටයි. මං පුංචි නෑ. මං හිතන්නේ මං මගේ වයසටත් වඩා උසයි. [ඇල්ජර්නන් මවිත වෙයි.] ඒත් මං ඔයාගෙ නෑදෑයෙක් තමයි. ඔයාගේ කාඩ් එකේ තිබුණ හැටියට ඔයා ජැක් මාමාගේ මල්ලි, අර්නස්ට් - තක්කඩි අර්නස්ට්.

ඇල්ජර්නන්:
අනේ, මං තක්කඩියෙක් නෙවෙයි සිසිලි. මං ගැන එහෙම හිතන්න එපා.

සිසිලි:
එහෙම නැත්තං ඔයා මෙච්චර කල් අපිව රවට්ටලා තියෙන්නේ කිසිම සමාවක් දෙන්න බැරි තරමට. ඔයා වෙලාවකට තක්කඩියෙක් වගෙයි, තව වෙලාවකට හොඳ මහත්මයෙක් වගෙයි දෙබිඩි ජීවිතයක් ගෙවන්නෙ නැහැයි කියලා මං හිතනවා. එහෙම දෙයක් කරනවනං ඒක මහා නැහැදිච්චකමක්.

ඇල්ජර්නන්:
[මවිතයෙන් ඈ දෙස බලමින්] අපොයි! මං ඇවිල්ලා බරක්පතලක් නැතුව, හිතන්නෙ බලන්නෙ නැතුව නොසැලකිල්ලෙන් වැඩ කරන කෙනෙක් විතරයි.

සිසිලි:
එහෙනං කමක් නෑ.

ඇල්ජර්නන්:
ඇත්තම කියන්න, ඒ පැත්තෙන්නං මං බොහොම නරකයි.

සිසිලි:
ඒ ගැන ඔය තරම් උජාරුවෙන් කතා කරන්න ඕන නෑ ඉතින් ඒක කොච්චර ආස හිතෙන වැඩක් වුණත්.

ඇල්ජර්නන්:
මට ඊට වඩා ආස හිතෙන වැඩක් තමයි ඔයත් එක්ක මෙහෙම කතා කර කර ඉන්න ලැබුණ එක.

සිසිලි:
මට තේරෙන්නෙ නෑ ඔයා කොහොමද මෙහෙ ආවෙ කියලා. ජැක් මාමා සඳුදා වෙනකල් ආපහු එන්නෙ නෑනේ.

ඇල්ජර්නන්:
ඒක තමයි, අපරාදෙ. මට සඳුදා උදේ පළවෙනි කෝච්චියෙම ආපහු යන්න වෙනවා. වැදගත් රාජකාරි හමුවක් තියෙනවා - ඒක මට මග අරින්නම... ඕනෙ.

සිසිලි:
ලන්ඩන් වල නැතුව වෙන දිහාවක ඉඳන් ඒක මග අරින්න බැරිද?

ඇල්ජර්නන්:
බෑනෙ. ඒක තියෙන්නෙ ලන්ඩන් වල.

සිසිලි:
හ්ම්. මං දන්නවා කෙනෙකුට ජීවිතේ රසවිඳින්නනං ඔය රාජකාරි ගනුදෙනු පටලවගන්නෙ නැතුව ඉන්න ඕනේ. ඒත් මං හිතන්නෙ ඔයා කොහොමත් ජැක් මාමා එනකල් හිටියොත් හොඳයි කියලා. ඔයාගෙ රට යන වැඩේ ගැන ඔයත් එක්ක කතා කරන්න ඕනෙ කියලා මාමා කිව්වා මට මතකයි.

ඇල්ජර්නන්:
මගෙ මොකක්?

සිසිලි:
ඔයාගෙ රට යන වැඩේ. ඔයාට හරියන ඇඳුම් තෝරන්නත් යනවා කියලා කිව්වා මාමා.

ඇල්ජර්නන්:
මං කීයටවත් එයාට ඉඩ දෙන්නෙ නෑ මට ඇඳුම් තෝරන්න. හරිහමං කරපටියක් තෝරගන්නවත් ජැක් දන්නෙ නෑ.

සිසිලි:
ඔයාට කර පටි ඕන වෙන එකක් නෑ. ජැක් මාමා ඔයාව යවන්නෙ ඔස්ට්‍රේලියාවට.

ඇල්ජර්නන්:
ඔස්ට්‍රේලියාව! ඊට හොඳයි මං මැරිලා යන එක.

සිසිලි:
ඔව්, ගිය බදාදා රෑ කෑම කනගමන් මාමාත් කිව්වෙ, ඔයාට එක්කො මේ ලෝකෙ, නැත්තං පර ලෝකෙ, එහෙමත් නැත්තං ඔස්ට්‍රේලියාව තෝරගන්න වෙනවා කියලා.

ඇල්ජර්නන්:
හ්ම්, හොඳයි! ඔස්ට්‍රේලියාවයි පරලෝකෙයි ගැන මං අහලා තියෙන දේවල් වල හැටියට ඒ තැන් දෙකෙන් එකකටවත් යන්න මට ආසාවක් නෑ. මේ ලෝකේ මට හොඳටම හොඳයි සිසිලි.

සිසිලි:
ඔව්, ඒත් ඔයා මේ ලෝකේ ඉන්න වටින තරම් හොඳ කෙනෙක්ද?

ඇල්ජර්නන්:
නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම කැමති ඔයා මාව වෙනස් කරනවට. ඒක ඔයාගේ ජීවන පරමාර්ථය කරගන්න ඔයා කැමති නැද්ද? මාව වෙනස් කරන එක?

තමාව වෙනස් කර දෙන ලෙස සිසිලිගෙන් ඉල්ලා සිටින ඇල්ජර්නන්
සිසිලි:
අනේ, මේ හැන්දෑ වරුවෙනම් වෙලාවක් නෑනේ.

ඇල්ජර්නන්:
එහෙමනං මේ හැන්දෑවේ මමම මාව වෙනස් කරගත්තොත් කමක් නැද්ද?

සිසිලි:
ඔයා හරියට අනුන් ගැන හිතනවනේ. ඒත් කමක් නෑ, ඔයා උත්සාහ කරලා බලන එක හොඳයි මං හිතන්නේ.

ඇල්ජර්නන්:
මං කරන්නම්. මට දැනටම ලොකු වෙනසක්, හොඳක් දැනෙනවා.

සිසිලි:
ඒත් මටනම් පේන්නේ ඔයා මුළින්ම මෙතනට එද්දි හිටියට වඩා මැලවිලා ගිහින් කියලා.

ඇල්ජර්නන්:
ඒ මට බඩගිනි නිසා.

සිසිලි:
හයියෝ මට ඒ ගැන අමතකම වුණානේ. කෙනෙක් අලුත් ජීවිතේකට ලෑස්ති වෙනකොට එයාට හරි වෙලාවට හොඳ කෑම ලැබෙන්න ඕන බව මං මතක තියාගන්න ඕනෙ. එහෙනම් අපි ඇතුළට යමුද?

ඇල්ජර්නන්:
බොහොම ස්තූතියි. ඒත් ඊට කළින් මගෙ කබායෙ මලක් පලන්දන්න පුළුවන්ද? එහෙම එකක් නැතුව කෑම කන්න ගියාට මට එච්චරම කන්න පිරියක් දැනෙන්නෙ නෑ.

සිසිලි:
මරීචල් නීල් මලක් හොඳයිද? [කතුර අතට ගනියි.]

ඇල්ජර්නන්:
නෑ, මං කැමතියි රෝස පාට රෝස මලකට.

සිසිලි:
ඇයි? [මලේ නටුව කතුරෙන් කපයි.]

ඇල්ජර්නන්:
මොකද කියනවනං, ඔයා හරියටම රෝස පාට රෝස මලක් වගේ නිසා සිසිලි.

සිසිලි:
ඔයා ඔහොම කතා කරන එක හොඳ දෙයක් කියලා මං හිතන්නෙ නෑ. මිස් ප්‍රිස්ම් කවදාවත් මට ඔහොම දේවල් කියලා නෑ.

ඇල්ජර්නන්:
එහෙනං එයාට හරියට ඇස් පේන්නෙ නැතුව ඇති. [සිසිලි රෝස මල ඔහුගේ කබායේ පලඳවයි.] ඔයා තමයි මං දැකලා තියෙන ලස්සනම ගෑණු ළමයා.

සිසිලි:
මිස් ප්‍රිස්ම් කියන්නේ ලස්සනට පේන හැම දෙයක්ම උගුලක්ලු.

ඇල්ජර්නන්:
මොළේ තියෙන ඕනෙ මිනිහෙක් අහුවෙන්න කැමතිම උගුලක් තමයි ඒ. 

[ඔවුන් නිවස තුළට පිවිසෙමින් දර්ශනතලයෙන් ඉවත් වේ. ප්‍රිස්ම් මෙනෙවිය හා චැසියුබල් පූජකවරයා පැමිණේ.]

මිස් ප්‍රිස්ම්:
ඔබතුමා බොහොම පාළුවෙන් ඉන්නේ පූජකතුමනි. ඔබතුමා විවාහයක් කරගත්තානම් හරි. මනුස්සජාතිය පේන්න බැරි අය මට තේරුම්ගත හැකි--ඒත් ගෑණුන්ව පේන්න බැරි අයනම් මට කොහෙත්ම තේරුම් ගන්න බෑ.

චැසියුබල්:
[පාණ්ඩිත්‍යය පෙන්වන ලීලාවකින් උරහිස් හකුළුවමින්] මාව විශ්වාස කරන්න, ඔය වගේ නව පරපුරේ කියමනකින් මනින්න තරම් මං සුදුසු නෑ. ඇත්තම කතන්දරේ, පුරාතන දේවස්ථාන සම්ප්‍රදායත් සික්ෂාවත් ඔය කසාදය කියන දේට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

මිස් ප්‍රිස්ම් සහ චැසියුබල් පූජකතුමා
මිස් ප්‍රිස්ම්:
[ගාම්භීර ලෙසින්] ඔබතුමා ඔය කියපු සම්ප්‍රදාය මේ වෙනකල් ඉතුරු නොවිච්ච හේතුව ඒක තමයි එහෙනම්. අනික මට පේන විදිහට ඔබතුමාට තවම වැටහිලා නැතුව ඇති, එකදිගටම තනිකඩව ජීවත් වෙන කෙනෙක් දන්නෙම නැතුව හැමෝගෙම අවධානයට ලක් වෙනවා කියන එක. මිනිස්සු ඇත්තටම ඔයිට වඩා පරිස්සම් වෙන්න ඕනෙ; ඔය බ්‍රහ්මචාරි ජීවිතේ හින්දා අබල දුබල නැව් නොමග යන්න පුළුවන්.

චැසියුබල්:
ඒත් කසාද බැඳපු මිනිස්සුන්ටත් ඒ වගේ අවධානයක් ලැබෙන්නෙ නැද්ද?

මිස් ප්‍රිස්ම්:
කසාද බැඳපු මනුස්සයෙක් හැඩට පේන්නේ එයාගෙම නෝනාට විතරයි.

චැසියුබල්:
නෝනාටවත් තමුන්ගෙ මනුස්සයාගේ හැඩ පේන්නෙ නැති බවයි මටනම් ගොඩක් වෙලාවට අහන්න ලැබිලා තියෙන්නේ.

මිස් ප්‍රිස්ම්:
ඒක ඉතිං ඒ ගෑණු කෙනාගේ මොළෙත්, අනුකම්පාවත් මත රැඳිලා තියෙන දෙයක්. පැහුණු අය ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඉදුණු අය විශ්වාස කරන්නත් පුළුවන්. ඒත් මේ ළාබාල ගෑනු තවම අමුයි. [චැසියුබල්ගේ මුවින් තැතිගත් හඬක් පිට වේ.] මං මේ උද්‍යාන වගාව උදාහරණෙකට අරගෙන කිව්වේ. මගේ උපමාරූපකය ගත්තේ පළතුරු වලින්. කෝ මේ සිසිලි?

චැසියුබල්:
අපේ පස්සෙන් ඉස්කෝලේ පැත්තට ආවද දන්නෙ නෑ.

[උද්‍යානයේ පිටුපසින් ජැක් සෙමින් ඇතුළු වේ. දැඩි ශෝකාකූල බවකින් පසු වන ඔහු සමීපතමයෙකුගේ වියෝව දනවන කළු ඇඳුමින් සැරසී සිටියි.]

මිස් ප්‍රිස්ම්:
වර්දිං මහත්මයා!

චැසියුබල්:
වර්දිං මහත්මයා?

මිස් ප්‍රිස්ම්:
මේකනම් හරිම පුදුමයක්. අපි හිතුවෙ නෑ සඳුදට කළින් ඔබතුමා ආපහු එයි කියලා.

ජැක්:
[දැඩි ශෝකාකූල බවකින් යුතුව මිස් ප්‍රිස්ම් හට අතට අත දෙයි.] මං හිතුවට වඩා කළින් ආවා. චැසියුබල් පූජකතුමනි, ඔබතුමා හොඳින් කියලා මම හිතනවා?

චැසියුබල්:
හිතවත් වර්දිං මහත්මයා, මේ කළු ඇඳුම් ඇඳගෙන ඉන්නේ, මුකුත් විපතක් කරදරයක් එහෙම වුණාද?

ජැක්:
මගේ මල්ලි.

මිස් ප්‍රිස්ම්:
තව කාට හරි ණය පොල්ලක් තියලා පැනලා ගිහින්ද?

චැසියුබල්:
තාමත් එයාගෙ සෙල්ලක්කාර වැඩ ඉවරයක් නැද්ද?

ජැක්:
[හිස දෙපසට වනමින්] මැරුණා!

චැසියුබල්:
ඔබේ සහෝදරයා අර්නස්ට් මැරුණා?

ජැක්:
මැරිලම ගියා.

මිස් ප්‍රිස්ම්:
ඒකනම් හොඳ පාඩම! ඒකෙන් එයාට හොඳක් වෙයි.

චැසියුබල්:
වර්දිං මහත්මයා. මගේ කණගාටුව පිළිගන්න. අඩුගානේ තමුන් පරිත්‍යාගශීලී, අනුකම්පාසහගත සහෝදරයෙක් වෙලා හිටියා කියන සැනසීම හරි ඔබට ඉතිරිවෙලා තියෙනවනේ.

ජැක්:
අසරණ අර්නස්ට්! එයාගෙ වැරදි තිබ්බා තමයි, ඒත් මේ වෙච්ච දේ ගැන මට හරිම දුකයි.

චැසියුබල්:
ඇත්තටම. එයාගෙ අන්තිම මොහොතෙ ඔබට ළඟින් ඉන්න පුළුවන් වුණාද?

ජැක්:
නෑ. එයා මැරුණෙ පිටරටදි; පැරිස් වලදි. ග්‍රෑන්ඩ් හෝටලෙන් මට විදුලි පණිවිඩේ ලැබුණෙ ඊයෙ රෑ.

චැසියුබල්:
මරණෙට හේතුව මොකද්ද?

ජැක්:
කියලා තිබුණ විදිහට උණ සන්නිපාතෙ.

මිස් ප්‍රිස්ම්:
මනුස්සයෙක් වපුරන දේවල් වලින් තමයි අස්වැන්න නෙළාගන්න වෙන්නෙ. 

චැසියුබල්: 
[අතක් ඔසවමින්] අනුකම්පා කරන්න ප්‍රිස්ම් මෙනෙවිය, අනුකම්පා කරන්න! අපි කවුරුවත් සර්වසම්පූර්ණ උදවිය නෙවෙයි. මං ගත්තත් කොච්චරවත් දාන් ඇද ඇද ඉන්න එකනේ මගේ වැඩේ. භූමදාන කටයුතු මෙහෙද කරන්නෙ?

ජැක්:
නෑ. එයාට පැරිසියෙදිම වැළලෙන්න ඕනෙ කියලා කියලා තියෙනවා.

චැසියුබල්:
පැරිසියෙදිම! [හිස දෙපසට වනයි] පව් අසරණයා, අන්තිම මොහොතෙ සිහි කල්පනාවත් හරියට තිබිලා නෑ වගේ. ඊළඟ ඉරිදාට මං මේ ගැන පොඩ්ඩක් කතා කරනවාට ඔබතුමා කැමති වෙයි. [ජැක් දැඩි කම්පනයකින් යුතුව ඔහුගේ අත තද කරයි.] අර කාන්තාරෙ මැද්දෙ මවපු දිව්‍ය භෝජනේ ගැන කතා කරන මගේ දේශනය ඕන අවස්ථාවකට හරි යන්න හදාගන්න පුළුවන්, සතුටට, එහෙම නැත්තම් මේ වගේ දුකකට වුණත්. [සියල්ලෝම සුසුම් හෙලති.] මං ඒ දේශනාව අස්වනු මංගල්ලවලදි, බෞතීස්මකිරීම්වලදි, සහතික කිරීම්වලදි, නින්දාව-ප්‍රශංසාව ලැබෙන ඕන දිනයකදි වෙනසක් නැතුව පවත්වලා තියෙනවා. අන්තිමට මං දේශනය පැවැත්වුවෙ කැතඩ්‍රල් පල්ලියෙදි. ඉහළ පැලැන්තියේ දුක දුරු කිරීම පිළිබඳව සංගමය වෙනුවෙන් පුණ්‍ය දේශනාවක් විදිහට. මම ඉදිරිපත් කරපු සමහර කාරණා ගැන එදා ඇවිත් හිටපු බිශොප්තුමා පවා පුදුම වුණා.

ජැක්:
අන්න! දැනුයි මට මතක් වුණේ. ඔබතුමා බෞතීස්මකිරීම් ගැන කිව්වා නේද? ඔබතුමා බෞතීස්ම කරන හැටි දන්නවා නේද? [චැසියුබල් පූජකවරයා ගල් ගැසී බලා සිටියි.] මං කිව්වෙ, ඔබතුමා තාමත් බෞතීස්ම කරනවා නේද?

මිස් ප්‍රිස්ම්:
දුකෙන් වුණත් මට කියන්න ඕනෙ මේ ගම්පත්තුවේ ප්‍රධාන දේවගැතිවරයාගේ ඉවරයක් නැති වැඩ වලින් එකක් තමයි ඒක. මං මේ ගැන සෑහෙන්න කතා කරලා තියෙනවා ඔය දුප්පත් පවුල් වල මිනිස්සු එක්ක. කෝ මේ මිනිස්සු පරිස්සම කියන දේ ගැන අහලවත් නෑනේ.

චැසියුබල්:
ඔබතුමා දන්න අඳුනන දරුවෙක් ඉන්නවද වර්දිං මහත්මයා? ඔබතුමාගේ සහෝදරයා මං හිතන්නේ අවිවාහකයි නේද?

ජැක්:
අපොයි ඔව්!

මිස් ප්‍රිස්ම්:
[නොසතුටින්] සතුට වෙනුවෙන්ම ජීවත් වෙන ගොඩක් අය එහෙම තමයි.

ජැක්:
ඒත් මේ දරුවෙක් ගැන නෙවෙයි පූජකතුමනි. මං දරුවන්ට හරිම ආදරෙයි. නෑ, මේකයි කාරණාව. මට බෞතීස්ම වෙන්න ඕනෙ, අද හැන්දෑවෙ, ඔබතුමාට වෙන වැදගත් වැඩක් යෙදිලා නැත්තම්.

චැසියුබල්:
ඒත් වර්දිං මහත්මයා, ඔබ දැනටමත් බෞතීස්ම වෙලානේ ඉන්නේ?

ජැක්:
මට ඒ ගැන කිසිම මතකයක් නෑනේ.

චැසියුබල්:
ඒත් ඔබට ඒ ගැන සැකයි, එහෙමද?

ජැක්:
හරියටම වෙච්ච බවක් මතක නැත්තම් ඉතිං ඒක ඇත්තටම වුණාද නැද්ද කියලා සැක නොකර බෑනේ. ඒත් මං දන්නෙ නෑ මේක පූජකතුමාට කරදරයක්ද කියලා, එහෙමත් නැත්නම් මේ වැඩේට මං වයස වැඩියි කියලා.

චැසියුබල්:
අපොයි නෑ. වැඩිහිටියෙක් බෞතීස්ම කරලා, ගිල්ලවලා ගන්න එක පුරුදුවෙන්නත් එක්ක හොඳයි.

ජැක්:
ගිල්ලවලා!

චැසියුබල්:
අපොයි බයවෙන්න එපා. වතුර ටිකක් ඉහලා ගත්තාම හොඳටෝම ඇති, මේ දවස්වල කාළගුණේ ගැනත් එච්චරම විශ්වාසයක් තියන්න බෑනේ. අද කීයට විතරද වැඩේ කෙරෙන්න ඕනෙ?

ජැක්:
පූජකතුමාට කමක් නැත්තම් මං පහට විතර පල්ලිය පැත්තෙ එන්නම්.

චැසියුබල්:
ඒ වෙලාව හොඳටම හොඳයි! ඒ වෙලාවට තවත් බෞතීස්ම රාජකාරි දෙකක්ම තියෙනවා. වර්දිං මහත්මයාගේම වතුයායෙ ඈත කෙළවරේ ගේ පොඩ්ඩක ඉපදිච්ච නිවුන්නු දෙන්නෙක්. අසරණ කරත්තකාරයා ජෙන්කින්ස්. සෑහෙන්න මහසි වෙලා වැඩ කරන මනුස්සයෙක්.

ජැක්:
අප්පා! අනිත් බබාලත් එක්ක බෞතීස්ම ලබන්නනම් මගෙ ඒ හැටි කැමැත්තක් නෑ. මාත් බබෙක් වගේ දැනෙයි එතකොට. මං එහෙමනං පහමාරට විතර එන්නද?

චැසියුබල්:
ඒක හොඳයි! ඒක හොඳයි! [ඔරලෝසුව පිටතට ගනියි.] ඉතිං වර්දිං මහත්මයා, මං තවත් මේ ශෝකයට පත්වෙච්ච පවුලේ උදවියට කරදර කරන එක හොඳ නෑ. මං කියන්නේ, ඕනැවට වැඩිය දුක් වෙන්න එපා. අපිට බොහොම කණගාටුදායක දේවල් විදිහට මුළින් පේන කාරණා ඇත්තටම පස්සෙ බොහොම සුබදායක ප්‍රතිඵල අරගෙන එනවා.

මිස් ප්‍රිස්ම්:
මේකනම් බොහොම සුබදායක ප්‍රතිඵල ගේන කාරණාවක් බව මට කිසිම සැකයක් නැතුවම කියන්න පුළුවන්.

[සිසිලි නිවසේ සිට පැමිණෙයි.]

සිසිලි:
ජැක් මාමේ! කොච්චර දෙයක්ද ඔයා ආපු එක. ඒත් මොනවද ඔය ඇඳගෙන ඉන්න විකාර ඇඳුම්! දැම්මම ගිහින් මාරු කරගෙන එන්න ඕවා.

මිස් ප්‍රිස්ම්:
සිසිලි!

චැසියුබල්:
දරුවෝ! දරුවෝ! 

[සිසිලි ජැක් වෙත යයි. ඔහු දුක්බර මුහුණින් යුතුව ඇගේ නළල සිපගනියි.]

සිසිලි:
මොකද වුණේ ජැක් මාමේ? හිනාවෙලා ඉන්නකෝ! ඔයා ඉන්නෙ හරියට ඉවසගන්න බැරි දත් කැක්කුමක් හැදිලා වාගේනේ. ඔයාව පුදුම කරවන්න රහසක් මං ළඟ තියෙනවා. ඔයා හිතන්නේ මේ වෙලාවේ කෑම කාමරේ ඉන්නෙ කවුරු කියලද? ඔයාගෙ මල්ලි!

ජැක්:
කවුරු?

සිසිලි:
මාමාගෙ අර්නස්ට් මල්ලි. එයා ඇවිත් දැන් පැය බාගයක් විතර ඇති.

ජැක්:
මොන විකාරයක්ද! මට ඇති මල්ලි කෙනෙක් නෑ.

සිසිලි:
අනේ එහෙම කියන්න එපා. එයා කොච්චර නරක කෙනෙක් වුණත්, ඔයාට කොච්චර කරදර කළත් ඒ ඔයාගෙ මල්ලිනේ. ඔච්චර නපුරු වෙන්න එපා එයාට. මං කියන්නම් එයාට එළියට එන්න කියලා. ඔයා එයාට අතට අත දීලා පිළිගන්නවා නේද මාමේ? [යළි නිවස තුළට දිව යයි.]

චැසියුබල්:
මේවා බොහොම රසබර ආරංචිනේ.

මිස් ප්‍රිස්ම්:
එයා නැති වෙච්ච එක ගැන හිත හදාගත්තට පස්සෙ එයා ආපහු මෙහෙම ආපු එකට මමනම් පොඩ්ඩක්වත් කැමති නෑ.

ජැක්:
මගේ මල්ලි කෑම කාමරේ? ඒ මොන විකාර කතාවක්ද? මොකද්ද ඒකෙ තේරුම?


- මතු සම්බන්ධයි -


එකම නවකථාවක් වෙළුම් නොහොත් කාණ්ඩ තුනකින් ප්‍රකාශයට පත්කිරීම 19 වන ශතවර්ෂයේ එංගලන්තයෙහි සම්ප්‍රදායක් විය. කඩදාසි සහ මුද්‍රණ වියදම් අධිකවූ එකල  සාමාන්‍ය පාඨකයාහට මෙය මහත් සහනයක් වූයේය. බහුතරයක් ජනප්‍රිය මාදිලියේ නොගැඹුරු තේමාවෙන් ලියවුණු මේ වෙළුම් තුනේ නවකථා පිළිබඳව වයිල්ඩ් මෙහිදී සඳහන් කරනුයේ සෝපහාසයෙනි.

මෙසේ පළවූ වෙළුම් තුනේ නවකථා යම් නිශ්චිත මුදලක් ගෙවා මාසයක් හෝ මාස තුනක් වැනි කාලයකට පාඨකයන්හට තැපැල් මගින් එවීමේ සේවයක් චාල්ස් එඩ්වර්ඩ් මියුඩී නම් මහතෙක් පවත්වාගෙන ගියේය. මෙහි මියුඩී විසින් එවන පොත් යනුවෙන් සඳහන් වනුයේ ඒ පිළිබඳවය.

7 comments:

  1. ඔයා පලමු කොටසේ කිව්ව වගේ දෙවනි ජවනිකාවනම් නියමයි. ඇල්ජියට පැනගන්න පුලුවන් දොරක් කෑම කාමරේ තියෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, ජැක් සඳුදා වෙනකල් ලන්ඩන් වල ඉන්නවා කිව්ව හින්දනේ ඇල්ජි හොරෙන්ම මෙහෙ ආවේ. බලමු මොනවා වෙයිද කියලා. මරු යාළුවො දෙන්නා හැබැයි. :D

      Delete
  2. කලින් වතාවෙ වගේ ඔක්කොම ඉවරවෙලාම කමෙන්ට් එකක් දාන්නම් හොඳේ... :-D

    මාමගෙ මල්ලි මස්සිනා වෙනවද?
    පගාන් - මේක පේගන් කියලා නෙවෙයිද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ නෑනා-මස්සිනා පුරස්නෙනං මටත් ආවා, ඒත් ඔරිජිනල් එකේ තියෙන්නේ cousin කියලා නිසා මමත් එහෙමම දැම්මා.

      Pagan වචනෙ මට නුහුරු අලුත් වචනයක්. මෙතනට යොදද්දි තේරුම විතරයි බැලුවේ, උච්ඡාරණය ගැන හොයලා බලන්න අමතක වුණා. අයියට ගොඩක් ස්තූතියි, ඒක පේගන් වෙන්න ඕනෙ තමයි. ඔන්න හැදුවා. :)

      Delete
    2. cousin
      noun
      a child of one's uncle or aunt.
      a person belonging to the same extended family.
      a thing related or analogous to another

      Cousin කියන වචනය ගැන මේ අර්ථ දැක්වීම රවි අයියා මට එවලා තිබුණා. ඒ කියන්නේ ඒ වචනේ ඥාති සොයුරා/සොයුරිය කියන තේරුමට අමතරව දුර නෑදෑකමක් හඟවන්නත් පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඒ හින්දා මම ඒ විදිහට මේ කොටසේ අදාළ තැන් වෙනස් කළා. අයියලා දෙන්නටම ගොඩක් ස්තූතියි.

      Delete
  3. හෙහ්..හේ...අපූරුයි!

    ReplyDelete
    Replies
    1. මේක අපූරු වෙන්න කළින් කොයිතරම් දේවල් නිවැරදි කළාද? මම අලුතෙන් කොයිතරම් දේවල් ඉගෙනගත්තද? ගොඩක් ස්තූතියි අයියේ. :)

      Delete