![]() |
| ඇඹරැල්ලා |
එදා හැන්දෑවෙ මං උන්නෙ අක්කලායෙ වත්තෙ, ඇඹරැල්ලා කඩ කඩ. අක්කා ගෙයි වැඩක්. හෙට දිහාට අප්පච්චි එන්ඩ ඉඩ තියෙනවා කියලා අම්මා තමයි කිව්වෙ ඇඹරැල්ලා මාළුවක් හදලා තියන්ඩ හොඳ ගෙඩි දහයක් දොළහක් කඩං එන්ඩ කියලා.
කොළොංතොටේ රාජකාරි කරන අප්පච්චිට ගෙදර එන්ඩ ලැබෙන්නේ දෙතුන් මාසෙකට වතාවයි. ඒ ආවත් දවස් තුන හතරෙන් ආපහු යනවා. අපි පොඩි සන්දියෙදි අප්පච්චි රාජකාරි කළේ කෑගල්ලෙ කච්චේරියෙ. ඒ කාලෙදිනං ගෙදර ඉඳන්මයි වැඩට ආවෙ ගියෙ. ඒත් රටේ තොටේ ඇති වෙච්චි බල පෙරළිවලින් පස්සේ තවත් මහ රාසියකගෙ එක්ක අපෙ අප්පච්චිගෙත් වැඩ තහනං වුණා. ඉං පස්සේ ඉඳං අපිට කන්ඩ අඳින්ඩ දෙන්ඩ අප්පච්චි කොළොංතොටට වෙලා තනියෙං නැහෙනවා.
කඩුල්ල පහත වැටෙන සද්දෙ ඇහුණත් විජේ අයියා එන වෙලාව හන්දා මං ඔහෙ මගෙ පාඩුවේ මගෙ වැඩේ කරගෙන සද්ද නැතුව හිටියා. එයාගෙ කට අවුස්සගත්තොත් හෙම මෙතන මාව කේන්ති ගස්සලා මිසක් ඒ කට වහගන්නෙ නෑ. වෙනදානං මං ඔය ඕන ඔට්ටුවක් අල්ලන්ඩ ඕන වෙලාවක ලෑස්ති වුණත්, ළඟකදි ඉඳං මට එහෙම පටලැවෙන්න ඒ හැටි හිතක් නෑ. ගිය මාසෙං විභාගෙ ඉවර වුණාට පස්සෙ කරන්ඩ කිසි වැඩක් නැතුව ගෙදරටම වෙලා ඉන්න හන්දා වෙන්න ඇති. සඳාත් කිව්වා මොකක් හරි පන්තියකටවත් යමුය කියලා. අනේ මන්දා, ඒකටත් මට මහ-
"මොකද බං උඹ ඔය ඔතනට වෙලා ගල් ගිල්ලා වගේ බලං ඉන්නේ?"
කටහඬ විජේ අයියාගේ වුණත් මං හැරිලා බැලුවේ ඒ කතා කළේ මට වෙන්ඩ බැරි බව දැනුණ හින්දා.
දෙයියෝ සාක්කි! කඩුල්ල ළඟ ඉඳං හොල්මනක් දැක්කා වාගේ මේ පැත්ත බලං ඉන්නේ අර - අර - අර මෝඩයනේ!
"අඩේ උඹත් මෙහෙද? මං දැක්කෙත් නැහැ නෙව!" ඒ ගමනනං විජේ අයියා කතා කරන්නේ මට බව යාන්තමට ඇහුණත් මට ඇහි පිය ගහන්නවත් මතකයක් නෑ. මෙයා මොකද මෙහෙ කරන්නේ? විජේ අයියා මොකටද එයාව මෙහෙ එක්කං ඇවිත් තියෙන්නේ? මොකෝ මේ කිසි කතාවක් නැතුව යකා ගැහුවා වගේ බලං ඉන්නේ? එදා මං කරපු වැඩේට තවමත් තරහෙන්ද දන්නෙ නෑ. එක්කො මේ විජේ අයියා ඉස්සරහා මොකවත් කියන්ඩ බැරිව කට පියං ඉන්නවද දන්නෙත් නෑ. "ඔය ඉන්නෙ මලේ මයෙ නෑනණ්ඩි. බේතකටත් ඉන්නේ ඔච්චරමයි, මයෙ කුසුමේගේ එකම සහෝදරී - මුතූ..."
ඊළගට විජේ අයියා මගෙ දිහාට හැරුණා. "නගේ-" එකපාරටම එයා කියන්න ගිය එක නවත්තලා මගෙ දිහා අමුතු විදිහට බැලුවා. "මොකද බොලං උඹ ඔය කෙක්කෙන් දමලා අනින්ඩ වාගෙ ඕක උරුක් කොරං ඉන්නෙ?"
යන්තං මට ආපහු හොඳ සිහියට එන්න මතක් වුණා. මං විගහට කෙක්ක ගහට හේත්තු කරලා, කඩාපු ඇඹරැල්ලා ගෙඩි එකතු කරාපු පං කොළ පෙට්ටියත් ඉණට අරගත්තා. "මං ගිහිං එන්නං අයියෙ, පරක්කු වෙනවා..." මං ආයෙ උත්තරයක් අහගන්ඩ ඉන්නෙ නැතුව දනිපනි ගාලා ඒ වත්තේ ඉඳං අපේ වත්තට ගොඩ වෙන්ට තියෙන පඩි දෙක තුන නැග්ගා. ඒ දුවන අතරෙ විජේ අයියාගෙ කටහඬ මට ආයෙමත් ඇහුණා. "මොකෝ දන්නෙ නෑ අද මේකිගෙ කටට ඉබ්බො වැටිලා... එකත් එකටම අම්මා හරි අක්කා හරි එක්කලා සණ්ඩු අල්ලලා වෙන්ඩ ඇති..." එහෙම කියලා උන්දැගෙ පුරුදු හිනාව දැම්මෙ නැද්ද ගමටම ඇහෙන්ඩ. මට නතර වෙලා බලන්ඩත් හිතුණා අරුන්දැත් ඒ එක්කලා මට හිනාවෙනවද කියලා දැනගන්ඩ. ඕනෙ නෑ. මට ඕනෙ නෑ ඔය මොකවත් දැනගන්ඩ. මං ගෙයි පිළිකන්නෙ දොර ළඟට වෙනකල් පස්ස නොබලා දිව්වා.
දොරෙන් ඇතුල් වෙද්දි යාන්තමට දිවිල්ල නතර කරගත්තෙ, නැත්තං අම්මටත් ආයෙ උත්තර බඳින්ඩ වෙන හන්දා. "කෝ ගෙනාවද?" කුස්සියේ ඉඳගෙන පොල් ගගා උන්නු අම්මා ඇහැව්වා.
"මොනවද අම්මෙ?"
"මොනවද අහන්නෙ? ඇයි උඹ ඇඹරැල්ලා කඩං එන්ඩ නෙවෙයිද ගියෙ?"
"ආ ඇඹරැල්ලා! ඔව් ඔව්, මේ ගෙනාවා..." මං පංකොළ පෙට්ටිය අම්මා ළඟින් තියලා ආයෙ දොර ළඟට ගිහින් අල්ලපු වත්ත දිහා එබිලා බැලුවා.
"අක්කා මොකෝ කරන්නේ?"
"එයා ඔය දොර රෙද්දක්ද, ජනෙල් රෙද්දක්ද මොකද්ද මහ මහ හිටියේ..." ඒ උත්තරේ දෙන අතරෙම මගේ හිතේ තව කාරණාවක් උඩට පැන්නා. අක්කා ඒ මහ මහ හිටියේ ඉස්තෝප්පු කාමරේ ජනෙල් රෙද්දනේ. ඒ කියන්නේ අරයා එහෙ නතර වෙන්ඩ එනවාවත්ද? මයෙ ඇඟේ හිරිගඩු පිපිලා මූණ රතු වේගෙන එන හැටි මට දැනුණා.
"උඹ ඉතිං මේ ගොම්මං වැටීගෙන එද්දි තනි පංගලමේ මිදුලට වෙලා හිටියා? උඹට මං දාවලේ ඉඳං කිව්වෙ ඔය ඇඹරැල්ලා ටික කඩලා ගෙනැත් දීපං කියලා. කොහෙද එව්වට සිහියක්? උඹට තේරෙයි මං මේ කියන එව්වා කවදාක හරි!"
අම්මාගෙ දෝස්මුරේට අමනාප වුණොත් පාඩුව මටමයි. මොකවත් අහගන්ඩ වෙන්නෙ නෑ. මං හෙමින් ගිහිං අම්මා ළඟ බංකු පොඩියෙන් වාඩි වෙලා අල ගෙඩියක් අරං සුද්ද කරන්ඩ පටංගත්තා. "අර විජේ අයියා අර කාවදෝ ගෙදර එක්ක ආවෙ මොකෝ අම්මෙ?"
"කවුද?"
"මන්දා... අර පන්සලේ නැවතිලා ඉන්න එක්කෙනාද කොහෙද..."
"ආ... අර සිත්තර අඳින ළමයද? ඔව්, අයියා කිව්වෙ දවසක එක්ක එන්ඩ ඕනෙය කියලා, ඒකාට හරියකට රෑට කන්ඩත් නෑ කියලා පන්සලේ ඉන්දැද්දි..."
"නතර වෙන්ඩම???" මගෙ කටහඬේ තිබුණේ අකමැත්තක්ද? බයක්ද? මොකද්ද? මටම හිතාගන්න බෑ.
"ඒකනං මං දන්නෙ නෑ. ඔය ඉස්තෝප්පු කාමරෙත් නිකං වහලා දාලා තියෙන එකේ සමහරවිට නතර කරගන්ඩත් බැරි කමක් නෑ."
හුහ්! "විජේ අයියට මොකෝ දන්නෙ නෑ එකපාරටම වෙස්සන්තර යෝගෙ පහළ වෙලා තියෙන්නෙ!"
"ඒකාගෙ ගෙදර ඒකාට ඕන හැටියකට මොනවා කරගත්තත් මොකද දෝණි? ඊටත් පිට ගමකිං ඇවිදිං, අපේ පන්සල ලස්සන කරන්ඩ මහන්සි වෙන එහෙකුට ඔහොම සැලකුවාට මක් වෙනවද? ආගන්තුක සත්කාරයක් කියලා හිතාගන්ඩ නෙව තියෙන්නේ!"
"ඔය එක එක්කෙනාට සත්කාර කරන්ඩ නතර කරගෙන අන්තිමට මට නිදහසේ මිදුලට බැහැගන්ඩවත් නැති වෙන එක තමයි වෙන්නේ!!!"
"උඹෙ අහවල් නිදහස! ඒ ළමයා අයියා යන වෙලාවට පන්සලට පිටත් වෙලා, ආපහු එනවනං ඒවි ඉරත් හැරුණට පස්සෙ, දවසම අර සිත්තර ඇඳලා. ඒ ගෙදරම ඉන්න අක්කාටවත් නැති අමාරුවක් නෙව උඹට තියෙන්නේ? අනික හොඳට හොයා බලලා මිසක අයියා ඔහොම කාවවත් ගෙදරට වැද්දගන්නෙ නෑ. එදා මතක නැද්ද දානෙ අරං ගිය දොහේ සේදිරිස් උන්නැහෙගෙ වරුණාව ඒ ඉලංදාරියා ගැන?"
ඒ සේදිරිස් මාමාගෙ වරුණාව හන්දාම තමයි මට එදා ඉඳං මේ වෙනකල් රෑට නින්දකුත් නැත්තෙ! ඇහැ පියාගත්තු ගමං ලොසිංජර හීන පේන්නෙ!
"මිනිස්සු ගැන ඔයිට වඩා කරුණාවෙන් හිතන්ඩ පුරුදු වෙයං දරුවෝ. හොස්ස ළඟින් මැස්ස යන්ඩ බැරි ගාණට ඇවිලෙන්ඩ බලං ඉන්නෙ නැතුව..."
අම්මගෙ ඒ කතාවෙන් වුණේ මාව තවත් ඇවිලිච්ච එක විතරයි. "ඔව් අම්මට ඉතිං මං තමයි හැමදාම නරක. මට වඩා අක්කා විතරක් නෙවෙයි පිට එවුනුත් හොඳයි. හෙට අප්පච්චි ආවම, මාත් යනවා අප්පච්චිත් එක්ක කොළඹට, ආයෙ එන්නෙ නෑ අවුරුද්දකිංවත් ගෙදර. පේන්න නොහිටියාම අම්මාට තේරෙයි මගෙ අගේ!!!"
මං එහෙමම ගියා කාමරේට. පාඩම් මේසෙ ඉඳගෙන අතට ගත්තා මගෙ කවි පොත. පිටිපස්සෙ පිටුව පෙරළගෙන අතට අහුවෙච්ච පෑන අරං කුරුටු ගාගෙන ගාගෙන ගියා ඇති වෙනකල්. ඒ පිටුව පුරා තියෙන්නේ බලි කුරුටු. එක උඩ එක ආයෙ ආයෙම ඇඳපු බලි කුරුටු. ඒ කුරුටු බලිය ඉවර වෙලා ඔළුව උස්සලා බලද්දි ජනේලෙන් එළියෙ කළුවරත් වැටිලා. ලාවට පැතිරිච්ච ආකාහෙ අන්දකාරෙ මැද්දෙන් තාමත් ඈත කඳුවැටියෙ ඡායාව මතු කරගන්ඩ පුළුවනි. ඊට උඩින් ආකාහෙ එල්ලි එල්ලි තිබ්බෙ දෑ කැත්තක් වාගෙ බැබළෙන හඳ. හඳත් හරියට මට ඔච්චමට විරිත්තනවා වාගේ. මං දඩස් ගාලා ජනේලෙ වහලා දාලා කොහොමහරි හිත එකඟ කරගෙන කවියක් ලියනවා කියලා හෙමින් සීරුවේ හිස් පිටුවක් හොයාගෙන කවි පොත පෙරළන්ඩ පටංගත්තා.
පහුවදා පාන්දරම මං ඉදලත් අරං එළියට බැස්සෙ මිදුල අතුගාන්ඩ. මේ ටිකේ මහ හුළං කෝඩෙ, දවසට දෙපාරක් අතුගෑවත් මිදුලක් බේරගන්ඩ බෑ. ගෙයි ඉස්සරහා හරිය අතුගාලා මං ටිකෙන් ටික වම් පැත්තට ගියා, අක්කලාගෙ වත්ත මායිමට. ඒ පැත්තෙ තමයි වැඩියෙන්ම ගස් තියෙන්නේ, කොස් කොළයි, අඹ කොළයි, කොට්ටම්බා කොළයි, ඇඹරැල්ලා කොළයි සේරෝම මිදුල වහගෙන. වැට අයිනේ ඉඳං මං මගේ පාඩුවේ අතුගානකොට ඔන්න කවුදෝ ගෙයි ඉස්සරහෙන් දොට්ට බැස්සා. මං විගහට අත ඉක්මන් කළේ ඉතිං මං මෙතන ඉන්නේ මිදුල අතුගාන්ඩ වුණත් ඔය වෙන කවුරුවත් වෙන මොකවත් හිතන්ඩ බැරි නැති හින්දා. ඒත් ඉතිං ඒ මං හිතපු කෙනා නෙවෙයිනේ. විජේ අයියා. අද නිවාඩු දවසේ එයා කොහෙදෝ යන්ඩ ලෑස්ති වෙලා. එතකොට කෝ අර - අර - අනිත් එක්කෙනා? මං දැන් පැය බාගයක් තිස්සෙ මිදුලෙ, කඩුල්ල පාත් වෙන සද්දයක්වත් ඇහුණෙ නෑනේ. ඊටත් කළිං යන්ඩ මොකෝ එයාට පන්සලේ ගේට්ටුව අරින්ඩ තියෙනවා කියලයැ!
"අද මොකෝ උඹට වෙනදට වැඩිය කළිංම ඉර පායලා?" මදැයි කොළා! විජේ අයියා යන ගමන පැත්තක තියලා වත්ත අයිනට ඇවිල්ලා. ඉතිං බැඳපල්ලකෝ උත්තර මුන්දැට!
"මං මේ අතුගානවා, පේන්නැද්ද?"
"හැබෑට! මං හිතුවේ ඉදලෙං පොළෝ කොටනවා කියලා!"
මට ඉදලෙංම දෙන්ඩ හිතුණා උන්දැගෙ තට්ටෙ පෑදීගෙන එන ඔළු ගෙඩියට හොඳවැයින් පාරක්. "අයියට පරක්කු වෙනවනේ, දැං ඉතිං යන්ඩ මට මේ ටික අතුගාන්ඩ දීලා!"
"මං යන්ඩ තමා හැදුවේ. ඒත් උඹ මේ ඉදලත් අතේ තියාන අහස පොළොව ගැටලන්ඩ වගේ බරපතල කල්පනාවක උන්නු හන්දා මං මේ ආවේ මොකද බලන්ඩ. මොකදෑ නගේ උඹට ඔය හැටියට කල්පනා කරන්ඩ තියෙන පුරස්නෙ?"
"මට ඇති පුරස්නයක් නෑ. මං මේ කල්පනා කර කර හිටියේ මේ හැටියට කොළ වැටෙන්ඩ ඊයෙ රෑ හුළි හුළඟක්වත් ආවද කියලා."
"හුම් හුම්," විජේ අයියා ඔළුවත් වන වන හූමිටි දෙන්ඩ ගත්තා. "මට පේනවා, මට පේනවා හුළි හුළඟක් මේ පැත්තේ කැරකෙන්ඩ පටංගෙන තියෙන බව!"
"අන්න ඒකනෙ, වෙනදට මේ හැටියට කොළ වැටිලා තියෙනවද නැත්තං මං අහන්නේ?"
"ඒක හැබෑව, ඒක හැබෑව..." විජේ අයියා ඉතිරි ටික කීවේ තනියම කියවන්නා වාගේ... "අරකත් රෑට කාපු ගමං ආයෙ අනිත් අතට ගියේ ඔය හුළි හුළඟට බයේ වෙන්ඩ ඕන..."
මට ඉදලත් අත ඇරෙනවා තව ඩිංගෙන්. "කවුද???"
"මොකද්ද?"
"නෑ, කවුද අයියා අර ගියා කිව්වෙ?"
"ආ... අර ඊයෙ හැන්දෑවෙ මෙහෙ ආවෙ මා එක්කලා, අන්න ඒකානේ..."
"රෑම ගියා? ඒ මොකෝ?"
"මං හිතන්නේ උඹ ඔය කියාපු හුළි හුළඟට බයේ වෙන්ඩැති..."
"පිස්සුද කොහෙද?"
"පිස්සු? කාටද? මටද ඒකාටද?"
"දෙන්නටම!" මං ආයෙමත් අතුගාන්ඩ පටංගත්තා කළින්ටත් වඩා ඉදලට බර දීලා. හොඳයි එහෙම යන්ඩ ගිය එක! මටත් මගෙ පාඩුවෙ හිටිය හැකි!
"ඈ බං මුතූ නගේ, හැබෑද ඒ මලයා ගමට පය තිව්ව දොහේ පන්සලට යන්ඩ පාර කිව්වෙ උඹය කියන්නෙ?"
මයෙ කන් දෙක රතු වුනා. මෙයාට පරක්කු වෙන්නෙ නැද්ද මන්දා මෙතන පාන්දර මගෙන් ප්‍රශ්න විචාරන්ඩ ගත්තෙ. "ඔව් ඉතිං?"
"නෑ නෑ, මොකවත් නෑ..." මෙන්න වදේ ආයෙම ඊයෙ හැන්දෑවෙ වගේ හිනාවෙන්ඩ තියාගත්තා.
"ඉතිං එච්චරද කිව්වෙ? වෙන කියවන්ඩ ඕපදූප තිබ්බෙ නැද්ද දෙන්නට???" මං ඇහැව්වා.
විජේ අයියා මායිම අද්දර අන්දර ගස් පෙළ ළඟටම ආවා. "ඇයි, තව කියන්ට මොකවත් හෙම තියෙනවද?"
ඔලොක්කුවට කටත් ඇද කරලා ඇහැව්වෙ මගෙ කටින් අල්ලගන්ට. මං අහුවෙයි ඔව්වට, හුහ්! "මොළේ හොඳ නැද්ද මන්දා! මේ විජේ අයියෙ, යන්ඩ ආපු ගමන යනවද මගෙ පාඩුවේ මේ වැඩේ කරගන්ඩ දීලා!"
"බයවෙන්ඩ එපා බං, මං උඹලයෙ අම්මටවත් අක්කටවත් කියන්නෙ නෑ. වික්‍රම මලයා හොඳ ඉලංදාරියා, ඒකා ඊයෙ කියපු එව්වා උඹ දන්නවනං....." විජේ අයියා කතාව නතර කළේ මගේ පපුව උගුර අද්දරටම ගෙනල්ලා. මං ගැන ඊයෙ මොනවද එයා කියලා තියෙන්නේ? කෝ මෙයා අගේ කර කර ඉන්නවනෙ ඉතුරු ටික කියන්නෙ නැතුව! එදා මං එයා දීපු ලොසිංජරවලට කරපු වැඩෙත් කිව්වද දන්නෙ නෑ. මං මතක ඇති කාලෙක ඒ තරං නපුරු වැඩක් කරලා නෑ, කෙනෙක්ගේ හිත හිතාමතා රිද්දන්න. මට කොහොම එහෙම නපුරු හිතක් පහළ වුණාද මන්දා ඒ වෙලාවේ.
"මොනවද කිව්වෙ?" මං ඇහැව්වේ නාහම ඉන්ඩ බැරි වෙච්චි හන්දා. ඇහෙන නෑහෙන තරමෙන් පිට වෙච්ච ඒ වචන දෙක මට ආපහු ඇදගන්ඩ හිතුණේ විජේ අයියගේ මූණේ ඇඳිච්ච විරිත්තිල්ල හින්දා.
"උඹ ගැනනං කිව්වේ ඉතිං පාර පෙන්නුව බව විතරයි. ඇයි දැං කිව්වෙ වෙන මොකවත් කියන්ඩ දෙයක් නැහැයි කියලා?" මං අහක බලාගෙන හයියෙං හයියෙං අතුගාන්ඩ ගනිද්දි අයියා ආයෙත් කතා කරනවා ඇහුණා. "ඒ ඇරෙන්න ඉතිං ඒකගෙ ගමේ විස්තර කීවා. සිත්තර කරුමාන්තෙ ගැන විස්තර කිව්වා. ඒකගෙ ගුරුන්නාන්සෙගෙ දෝණියන්දැගෙ වරුණාව කියෙව්වා....."
ගුරුන්නාන්සෙගෙ දෝණියන්දැගෙ වරුණාව! එහෙමත් එක්කෙනෙක් ඉන්නවද එයාගෙ කතන්දරේ! වර්ණනා කරන්ඩ තරං එක්කෙනෙක් එතකොට එහෙනං!
"හුම් හුම්, මට එහෙනං සුනංගු වෙනවා. මං ගොහිං එන්නංකො. උඹට මගෙං මොකවත් උදව්වක් හෙම ඕනනං කියාපංකො ඈ? මට මතක නැතුවායැ උඹ ඒ දවස්වල මට කොරාපු උදව්!"
මට විජේ අයියා ඒ කියන එව්වා ඇහුණේ බාගෙට. ගුරුන්නාන්සේගෙ දෝණියන්දැ! හැඩකාරියෙක් වෙන්ඩ ඇති. නැතිනං ඔය හැටි වරුණනා කරන්නෙ මොනවද. මං ආයෙ ඔළුව උස්සලා බලද්දි විජේ අයියත් යන්ඩ ගිහිං. මං මිදුලෙ ඉතිරි ටික උඩිං පල්ලෙං අතුගාලා දාලා ගෙට ගියා.
- මතු සම්බන්ධයි -

“Too easy to get = Just as easy to forget.”
ReplyDelete― Mandy Hale
Nothing in the world is worth having or worth doing unless it means effort, pain, difficulty… I have never in my life envied a human being who led an easy life. I have envied a great many people who led difficult lives and led them well.
Delete― Theodore Roosevelt
සුපුරුදු පරිදිම නියමයි. දවසට එක ගානෙ දිගටම දානව නං තවත් නියමයි :)
ReplyDeleteඉෂ්ටූටියි බෂ්ෂෝ! එහෙම දාන්ඩ තමා හිතාගෙන ඉන්නේ. කතාන්දරේ ලියලා ඉවරයි. කොටස් දහයක විතර පොඩි කතන්දරයක්. :)
DeletePudumai, meya e sere dawasin dawasa kathawa dala menna ?
ReplyDeleteමාසෙකට වඩා කල් අරගෙන සද්ද නැතුව හිටියේ මේක ලියලා ඉවර කරගන්න ගීතිකා. ඉතිං ලියලා ඉවරයි, දැං හැමදාම කොටස ගානේ කියවන්ඩ පුළුවං ඔයාලට. :)
Deleteමොනවාද අනේ ඇඹරැල්ලා උයන දවසෙම අලත් උයන්නේ ?සිත්තර අයියා අක්කලාගේ ගෙදරින් කන එක හොඳයි මේ ගෙදරින් කන්නේ නැතුව.
ReplyDeleteඇඹරැල්ලා කැඩුවේ පහුවදාට උයන්ඩ ළමයා. අල සුද්ධ කරන්නේ ඔය දවසේ රෑට කන්ඩ. අනිත් එක, ඒ දෙකම එක දවසේ කන්ඩ බැරි මොකෝ? ඔයා මේකට කමෙන්ට් කරද්දි හතරවෙනි කොටසත් දාලා ඉවරයි ඊයේ. අද පස් වෙනි එකත් දානවා, නොවැරදීම දෙකම කියවන්ඩ, හොඳද? :)
Delete/"මොකද බොලං උඹ ඔය කෙක්කෙන් දමලා අනින්ඩ වාගෙ ඕක උරුක් කොරං ඉන්නෙ?"/
ReplyDeleteගෑණු ළමිස්සියො පුරුස පක්සෙ උදවිය එක්ක කතා කරද්දි ඉදල්, කොහු. ඉළපත් එහෙම උරුක් කොරාන කතා කරන එක නරකයි කියල ඒ දවස්වල අපෙ අත්තම්ම කියනව.
මේ ඊයෙ පෙරෙයිද අර "තෝඩු" ටෙලි චිත්‍රපටිය බලද්දි ඒකෙ ඉන්න ආච්චි කෙනෙකුත් මිණිබිරීට වගපල කිව්ව ඉදලක් අරං කොල්ලෙක් එක්ක කතා කලාය කියල...:)
එහෙම එකක් අයියා මේ කියනකල් මං දැනං හිටියෙ නෑ. කවුරු වුණත් අමුත්තෙක් ගෙට එනකොටනං කොසු ඉදල් අතේ තියාගෙන ඉන්න හොඳ නෑ කියලානං අහලා තියෙනවා. ඒ වුණාට මේක මේ ඉතිං කෙක්කක්නේ.
Deleteහුහ්.. ඒ ඉතින් එහෙම කියන්නේ උන් කරන කියන දේවල් වලට ඉත්තේරුවෙම්ම අතේ තියෙන දේකින් දමල අනින්න හිතෙන හින්දනේ!
Deleteමම නම් කියන්නේ කිණිසි දෙකක් එහෙම ඉනේ ගහගෙන, කිරි කපන පිහියෙන් බෙල්ල කහ කහ තමයි කතාකරන්න ඕනේ.. එතකොට කුක්කෝ වගේ දමනය වෙනවා. නැද්ද?
ආන්න ඒකනං හොඳ අදහස ලිඛිතෝ! :D :D :D
Delete