158. නුඹ ගැන මා නොලියු කවිය...

සිතුවිලි සිතූ අපේ දත් දොස්තර නෝනා මේ ළඟදි හරිම ලස්සන කතාන්දරයක් ලිව්වා. ඒක මම ලඟකදි කියවපු හුඟාක්ම ලස්සන කතාන්දරයක්. ඒ සොඳුරු සටහන කියෙව්වට පස්සේ මට ඉඳහිට හැදෙන ලෙඩක් ආයෙමත් හැදුණා. ඉස්සර පොඩි කුමාරිහාමිගේ වළව්වේ වැඩ කරන කාලෙදිත් මට ඔය ලෙඩේ නිතර හැදුණා. ඒ කතාව කියෙව්වට පස්සේ මට ඒකට තව කතාන්දරයක් ලියනකල් වෙන කිසි වැඩක් හරියට කරගන්න බැරි විදිහේ ලෙඩක්. ඉතිං ටික දවසක් ගිහිල්ලා මං ඒ ලෙඩේ සනීප කරගෙන ඒ ලිපියට කමෙන්ට් එකකින් කතාවක් එකතු කළා. ඒ දවස් වල මං අර ෆ්ලොස් ගඟේ නඩුවක හිර වෙලා හිටිය හින්දා ඔන්න දැන් තමයි ඒ කතාව මෙතන ලියන්නේ. එතන ලිව්වට වඩා පොඩි පොඩි සංශෝධන ටිකක් තියෙනවා. අර උපුටා දක්වලා තියෙන කවි දෙක තනිකරම සිතූගේ නිර්මාණ දෙකක්. තනි කතාවක් විදිහට රසවිඳින්න ලේසි වෙන්න සිතූගේ අවසරත් අරගෙන මේ ලිපිය අතරට එකතු කළා. ගොඩාක් ස්තූතියි සිතූ!

රස විඳින්නකෝ එහෙනම් - 'කිසි දිනෙක මල් පිපෙනු බැරි තැන' (විහඟගේ ඇසින්)...



සිය කුළුඳුල් කවි පොතෙහි සෝදුපත් ගොන්න මත වූ නැවී ගිය, නැවුම් පාරවල් ඔස්සේ දෙතුන් තැනෙකින් ඉරෙන්නට ලංව තිබූ දුර්වර්ණ කඩදාසිය මත විහඟ හිස තබාගත්තේය. සෝදුපත් කියැවීම පසෙක ලා ඇඳ යට සඟවා අමතක වන්නට ඉඩ හැර තිබූ පොත් පත්තර ගොන්න අවුස්සන්නට තමාට සිතුණේ මන්දැයි නැවත නැවතත් කල්පනා කරමින් ඔහු හදවතින් නැගී හිසෙන් පිට වන්නට තැත් දරන වේදනාව එම කඩදාසියට ආරෝපණය කරන්නට මෙන් දෙතුන් වරක් නළලත ඔසවා යළි යළිත් ඒ මත හිස ගසාගත්තේය.

" සති පතා කවි පිටුවෙ නුඹ ලියු
කවි පේළි මම දකිනවා

නුඹේ මිතුරන් එ'කවි කියවා
හරි අගෙයි යැයි කියනවා

ඒත් මම නම් තාම කැමතිම
නුඹ එදා මට නොකී කවියට
මගේ ගැන නුඹ නොලියූ කවියට..."

ඈ ලියූ එකම කවිය එය විය. ඔහු ඒ බව හොඳින්ම දනියි. එය ලියැවුණේ ඔහුටය. ඉන් පසු ඇය යළි කිසිදාක කවි ලිව්වේ නැත. එම අතීතය අමතක මතක අතර අතරමං කරන්නට සිදුවීමෙන් පසුව වුවද ඇය තවත් කවි ලියන්නට නැත. ඒ බව නිසැකවම දැන සිටීමට තරම් ඔහු ඈ ගැන දැන සිටියේය. ඔහු ඒ බව දන්නා බව ඇයද දන්නා බව ඔහුට සැකයක් නැත. ඒ තරමටම ඇයද ඔහු ගැන දැන සිටියාය. එය සොඳුරු අතීතයකි. එම අතීතය කිසිදා අමතක නොවන, අමතක කළ නොහැකි සොඳුරු කවියකි.

ඔවුනට වෙන් වන්නට සිදු වූයේ ඔහුගේවත් ඇගේවත් වරදක් නිසා නොව, කුල මානය හිස දරාගත් මව්පියන්ගේ අකැමැත්ත නිසාය. උවමනානම් මව්පියන්ගේ විරෝධතාවය නොසලකා ඇයව විවාහ කරගැනීමට වුවද ඔහු සූදානමෙන් සිටියද ඇය එයට එකඟ වූයේ නැත. මුළදී ඔවුන් දෙදෙනාට සහයෝගය දුන් ඇගේ දෙමව්පියන් පවා ඔහුගේ මව්පියන්ගේ විරෝධතාවය හේතුවෙන් පසුව අකමැත්ත පළ කරන්නට විය. එබැවින් අවසානයේදී ඔවුන් දෙදෙනා තීරණයකට එළැබුණි. එය සියල්ලන්ගේම යහපතට හේතු වන බවට හැඬූ කඳුළින් ඈ පැවසූ වදන් විශ්වාස කරන්නට උත්සාහ කරන බවට ඔහු පොරොන්දු විය.

දැන් ඇය කොතැනක කෙලෙසින් සිටිනවාදැයි ඔහු දන්නේ නැත. උවමනානම් හොයා බලන්නට හැකි බවද ඔහු නොදන්නේ නැත. නමුත් එමගින් සිය අගුළු ලා සිටින හදවත එම යදම් බිඳී යන තරම් වැරෙන් ගැහෙන්නට පටන් ගනීදෝයි යන බිය හේතුවෙන් ඔහු එසේ කරන්නට උත්සාහයක් පවා දැරුවේ නැත.

එළැඹෙන වසරේ ඔහු විවාහ වීමට නියමිතය. ඒ ඔහු මව්පියන් හා කතාබස් නොකර ගෙවුණු සති කිහිපයෙන් අනතුරුව එළැඹි නින්දත් අවදියත් අතර වෙනස හඳුනාගත නොහැකිව ගෙවුනු මාස කිහිපයෙන්ද අනතුරුව ගෙවුණු තවත් වසර ගණනාවකට පසුව, මව්පියන්ම ඔහු වෙනුවෙන් සොයා දුන් තැනැත්තියකි. තරමක් දුරින් ඔහුගේ ඥාති සොයුරියකි. ඇගේ වරදක් නැත. ඔහුගේ උදාසීන මුහුණට මද සිනහවක් නංවන්නට ඈ සමත් වූ දා ඈ ගැන අකමැත්තක් නැති බව ඔහු සිය මව්පියන්ට පැවසුවේය. ඉන් දෙතුන් මසක ඇවෑමෙන් ඔහුගේ නිදිගත් පන්හිඳ යළි අවදි විය. ඔහුගේ හදවත වෙනත් තානමකින් සුසර කරන්නට සමත් වූ ඈ වෙනුවෙන් ලියැවුණු එම කවිය ඔහුගේ කවි පොතේ මුල්ම කවිය ලෙසින් සෝදුපත් අතර මුදුණෙන්ම වැජඹෙමින් තිබුණි.

ඔහු හිස එසවුවේය.

එම නව තානමින් ලඟා විය නොහැකි ස්වර පරාසයක් ඔහුගේ ජීවිතයේ ඇත. දුහුවිලි මකුළු දැල් ගත පුරා දවටාගනිමින් ඔහු අතීත අමතක මතක ගොන්න ඇඳ යටින් පිටතට ඇද්දේ සිය කුළුඳුල් කවි පොතට සිය ජීවිතයේ සෑම ස්වරයක්ම ඇතුලත් කළ යුතු බවට දැනුණු ඕනෑකම හේතුවෙනි. අමතක කරන්නට උවමනාවෙන්, එනමුදු විසි කරන්නට හෝ ගිනි තබන්නට ලෝබ කමින් සඟවාගෙන සිටි එම කඩදාසිය රඳවා තිබුණේ කුමන පොත තුළද යන්න පවා ඔහුට හොඳින් මතක තිබුණි.

ඈ වෙනුවෙන් එතෙක් නොලියූ කවිය ඔහු එම මොහොතේදී ලීවේය.

"කන්ද උඩ
හුදෙකලා තණ බිමෙ
අලුත් වැස්සට
මල් පිපී ඇත

ඒත් එහි එක
කෙළවරක මල්
පිපී නැති එක
හිස් තැනක් ඇත

ඒ කිසි දිනෙක මල්
පිපෙනු බැරි තැන

කාලෙකට පෙර
ඔබ සිටිය තැන......"

කවි පොත වෙනුවෙන් එතෙක් සිතාගත නොහැකිව තිබූ නමද කිසිදු වෙහෙසක් නොදරාම ඔහු සටහන් කළේය.

ඔහුගේ හදවත ආදරයත්, විරහවත්, සන්තාපයත්, සැනසීමත් මුසු වූ සැනසිලිදායක රිද්මයකින් වැයෙන්නට පටන් ගත්තේය.





9 comments:

  1. එහෙම නෙමෙයි බං..නොලියූ කවිය අපි මෙහෙම ලියමු....:)

    කාලෙකට පෙර මගේ හදවත,
    රිදුනු ලෙස ඈ නෙතු දකින සඳ,
    අද රිදෙනවා චාර්වක දත,
    යන්ට ඕනෑ හමුවන්ට ඇය,

    අතේනම් සත පහක් වත් නැත,
    එහෙත් එදවස අපේ සෙනෙහස,
    නාමයෙන් ඉල්ලාසිටිමි මම,
    ණයට දත ගලවා දමන ලෙස,

    පලි - හොඳ ආරංචියක් තියනව කියන්ට..ඔය නෝනා බ්ලොග් ලියන අයගෙ සහ එයාලගෙ හිතවතුන්ගෙ දත් නොමිලේ ගලවනවලු. මාත් හිතං ඉන්නෙ මේ පාර නිවාඩුවට ආවම අපේ අහල පහල දත් නරක්වෙච්චි ඔක්කොමලත් එකතු කරගෙන වෑන් එකක් කතා කරගෙන යන්ට එතුමී හම්බවෙන්ට...හෙහ්,හෙහ්,

    පපලි - ඔය නෝනා අර අපූරු කතන්දරේ ලියන කාලෙ ඒ සිහියෙං ඉඳගෙන මිනිස්සුංගෙ දත් ගලවන්ට ගිහිල්ල මහ විනාසයක් කරල තියනව. ඒ ගැන වෙනම ලියන්නංකො....:)

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ්.... සිතූ මෙන්නෝ.......

      පලි - නොමිලේ දත් ගලෝනවා විතරය? දත් පුරෝගන්ට සුද්ද කරගන්ට එහෙම බැරිය?

      පපලි - හා, මෙන්න මෙයා තව බොනට් එකකට වැඩේ දෙන්ඩ යන්නෙ! :P

      Delete
    2. රවී තුමා:

      ඔව් ඉතින් ඔය බ්ලොග් ලියන උන්දැලාගේ සහ ඔවුන්ගේ හිතවතුන් උදෙසා මම විශේෂ පැකේජයක් එහෙමත් ලේස්ති කරලයි තියෙන්නෙ. ආයෙ ඔය හිරි වට්ටන්න එහෙම කරදර වෙන්නෙ මොකටද නේද? එක පාරින්ම දත් ටික බඩට යන්න ෂොට් එක දෙන්නයි තියෙන්නෙ.

      මොකද්ද අප්පේ ඒ විස්තරේ? ලියමුකෝ බලන්න එහෙනම්...

      සිත්තමී අක්කා: ඒ ක්‍රමේට දත් ටික සුද්ධ කරලා දෙන්නම් එහෙනම්.. කමක් නෑ නේ?

      Delete
  2. ගොඩක් ලස්සන කතාවක් අක්කේ.. මගෙ කතාවෙන් කියන්න හදපු දේ පොඩ්ඩක්වත් වෙනස් කරන්නෙ නැතුව ඔයා කතාව ලියලා තියෙනවා.. :) ඒකට ගොඩාක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ඔයාටයි මං ස්තූති කරන්න ඕන සිතූ. මේ වගේ එකක් ලියන්න හිතක් පහල වෙන විදිහේ ලස්සන කතාවක් ලිව්වටත්, ඒකට මං ලියපු එක ඔයාගෙ කවිත් එක්කම මෙතන පළ කරන්න අවසර දුන්නටත්. :)

      Delete
  3. මට තියෙන ලෙඩේ මේතාක් කාටවත් හැදිලා තියෙන බවවත් මම අහලා නැති එකක්. ඒක රහස් රෝගයක්. මම මුල්ම වතාවට ඒක සිත්තමීට හෙලි කරනවා. කාටවත් කියන්න හෙම එපා.

    කෙනෙක්ව කරකවලා අතෑරියාම වෙන දේ දන්නවා නේද? රවුම් පඩිපෙලකින් බැහැලා කෙලින් යනකොට දැනෙන අමාරුව හිතාගත හැකි නේද? මට අන්න ඒක වෙනවා පද්‍ය කියවලා ගදය කියවනකොට. ඒකට හේතුව කොයි දේත් බොක්කෙන් කිරීමයි.

    උදාහරණයක් විදියට:

    "කන්ද උඩ
    හුදෙකලා තණ බිමෙ
    අලුත් වැස්සට
    මල් පිපී ඇත

    ඒත් එහි එක
    කෙළවරක මල්
    පිපී නැති එක
    හිස් තැනක් ඇත

    ඒ කිසි දිනෙක මල්
    පිපෙනු බැරි තැන

    කාලෙකට පෙර
    ඔබ සිටිය තැන......"

    දැන් ඔන්න පටන් ගන්නවා කවි නොවන හරිය. ඒත් අර තාලය එහෙමමයි...

    කවි පොත වෙනුවෙන්
    එතෙක් සිතාගත
    නොහැකිව තිබූ නමද
    කිසිදු වෙහෙසක් නොදරාම
    ඔහු සටහන් කළේය.

    ඔහුගේ හදවත
    ආදරයත්, විරහවත්,
    සන්තාපයත්, සැන
    සීමත් මුසු වූ
    සැනසිලිදායක
    රිද්මයකින් වැයෙන්නට
    පටන් ගත්තේය.

    ReplyDelete
    Replies
    1. දැන් මෙහෙ අවුරුදු උත්සව වල තියෙනවනේ කෝටු රේස් කියලා එකක්. මං දන්නෙ නෑ ඉස්සරත් තිබ්බද කියලා, මංනං මුල් වතාවට දැක්කෙ මේ අවුරුද්දෙ තමයි. අයියටත් කෝටු රේස් දිව්වා වාගෙ වැඩක් තමයි වෙලා තියෙන්නේ!

      හොඳ වෙලාවට ඒ කවියෙන් පස්සේ පොඩි වාක්‍ය දෙකයි තියෙන්නේ. තාලයක් දාගත්තත් අවුලක් නෑ. අර මුල් කවිය කියෝලා ඉතිරි ටික කියවගත්තෙ කොහොමෙයි? :D

      හරි හරි, මං ඔය ලෙඩේ ගැන කාටවත් කියන්න යන්නෙ නෑ. කටේ කෙළ බිඳක් හෙලන්නෙ නෑ ඔන්න. ;)

      Delete
  4. හරිම අපූරුවට ලියලා තියනවා...බොහොමත්ම රස වින්දා...

    ReplyDelete