209. පැංචාගේ රස කතා...

දෑතේ තීන්ත තවරාගෙන දඟකාර සිනහවක් පා සිටින පැංචෙකුගේ සේයාරුවකි.

පැංචා සහ මං සාලයේ වෙසක් කූඩු සාදමින්. සීයා රූපවාහිනිය බලමින්. එක් වරම විදුලිය විසන්ධි වේ.

සීයා: ලයිට් ගියානේ.

පැංචා: එහා ගෙදරට ගියාද දන්නෙ නෑ.


*****

ආච්චි පැංචාව දොයි කරමින්.

ආච්චි: බුද්ධං සර...ණයි පුතු හට
          ධම්මං සර...ණයි පුතු හට
          සංඝං සර...ණයි පුතු හට -

පැංචා: ආච්චී... 'නයි පුතු' කියන්නෙ මොකද්ද?


*****

පැංචා සහ මං සාලයේ. පැංචාගේ පියතුමා ඉගෙනගත් විශ්වවිද්‍යාලය පිළිබඳ වැඩසටහනක් රූපවාහිනියේ විකාශය වනු ඇසේ.

මං: පුතේ අන්න තාත්තිට කියන්න තාත්තිගෙ කැම්පස් එක ටීවී එකේ පෙන්නනවා කියලා.

පැංචා: (සාලයේ සිට ගෙදරටම ඇසෙන්න කෑ ගසාගෙන දිව යමින්) තාත්තී... අන්න තාත්තිගෙ පැම්පස් එක ටීවී එකේ පෙන්නනවා...


*****

පැංචා: මං ආවෙ කොහෙන්ද?

මං: රෝස කැලෙන්නෙ.

පැංචා: නෑ නෑ... මං - ආ...වෙ - කොහෙන්ද?

මං: රෝස කැලෙන් තමයි ඉතිං.

පැංචා: නෑ... මං ආවෙ කොහෙන්ද? (අම්මාට තේරෙන හැටියකට පැනය අසාගන්නට බැරි වීමෙන් මූණ නාලු වී ඇත.)

මං: අම්මිගෙ බඩෙන්නේ.

පැංචා: හ්! මං එග් (egg) එකකින් නෙමෙයිද ආවෙ?


*****

මං පැංචාව නාවන තැනට පැමිණ සිත්තරා මොකද්දෝ විකාරයක් කියා ගියේය. එයට කෝප ගැන්වී මං කුටු කුටු ගානා අතර...

පැංචා: තාත්ති මොන මගුලක්ද කියනවා.

මං: (කොහෙන් අහුලාගත්තාදැයි සිතාගත නොහැකිව තැති ගැන්වී තරවටු මුහුණින්) චූටි බබාලා එහෙම කියන්නෙ නෑ!

පැංචා: ඇයි ඒ?

මං: ඒවා නෝටි කතා. එහෙම කියන්න හොඳ නෑ.

ටික දිනකට පසු. මං කුස්සියේ වැඩක. පැංචා සිත්තරා සමග කාමරයේ. සිත්තරා දුරකතනයෙන් හිතවතෙකු සමග කතා කරන හඬ ඇසේ. එක්වරම පැංචා කුස්සියට දුවගෙන එයි.

පැංචා: අම්මී... මගුලක් කියන්න හොඳ නැත්තේ චූටි බබාලා විතරද?

මං: බබාලයි ලොකු අයයි කවුරුත් කියන්න හොඳ නෑ.

පැංචා: තාත්ති දැං කිව්වනේ!


*****

නැන්දා: (මං සහ සිත්තරා දෙදෙනාම සිටිනා තැනකදී පැංචා සමග කතා කරමින්) බබා වැඩියෙන්ම ආදරේ අම්මිටද තාත්තිටද?

පැංචා: (අප දෙදෙනාගේම මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලා) ආච්චිට!


*****

මං: බබා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?

පැංචා: මං ලොකු වුණාම මංම වෙන්න තමයි කැමති.


*****

පැංචා සහ මං හිඳ සිටි සැටි පුටුව වෙත අමුතු සතෙක් බිම දිගේ ඇවිදගෙන එයි. අප දෙදෙනාම දෙපා උඩට ගෙන හූ තියන්නට සූදානම් වුණෙමු. ඒ මොහොතේදී මා ඒ මොකෙකුදැයි අඳුනාගත් අතර ඌද මොකක් හෝ ඉදිරි මාර්ගයේ ඇති අනතුරක් ගැන ඉව වැටී වමට කපා සීයාගේ කාමරය වෙත ගොස් අතුරුදහන් විය.

පැංචා: ඒ මොකෙද්ද ඒ?

මං: ඒ කැරපොත්තෙක්නේ, මකුළුදැල් ගොඩක් පටලවගෙන.

පැංචා: ඒ මොකද ඒ කැපෝ මකුළුදැල් පටෝගෙන යන්නේ.

මං: එයාටත් ලස්සන ඇඳුමක් ඇඳලා බලන්න ආස හිතෙන්න ඇති.

පැංචා: ඒ මොකටද ලස්සන ඇඳුමක් අඳින්නෙ? මගුල් ගෙදරක යන්නද?

මං: (සිනාව විකාගෙන) ආ, ඒක වෙන්න ඇති එහෙනං. මගුල් ගෙදරක යනවා වෙන්න ඇති ඒ කැපෝ.

පැංචා: සීයගේ කාමරේද මගුල් ගෙදර තියෙන්නෙ? 

මං: වෙන්න ඇති නේද? එයා සීයගෙ කාමරේටනෙ ගියෙ.

පැංචා: එතකොට මොකද අනිත් කැපෝලා එහෙ ගියෙ නැත්තෙ?

මං: අනිත් කැපෝලට මගුල් ගෙදරට එන්න කියන්න නැතුව ඇති.

පැංචා: ඒ මොකද අනිත් කැපෝලට මගුල් ගෙදර එන්න කියලා නැත්තෙ?


මගුල් ගෙදරට ආරාධනා නොලැබූ අනිත් කැපෝලා ගැන දුක සිතී පැංචා මූණ බෙරි කරගත්තෙන් මම වෙන කතාවක් පටන්ගත්තෙමි.


*****


තවත් රස කතා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. :D

20 comments:

  1. "Out of the mouths of the babes" කියන්නෙ නිකංයැ...:) පොඩි එවුන්නං කියල වැඩක් නෑ. මගෙ මෙහෙ එපාට්මන්ට් එක ෂෙයාර් කරගෙන ඉන්න යාලුවගෙ පොඩි එවුන් දෙන්න නිවාඩුවට ලංකාවට ගිහිල්ල මාර පාලුවකින් මම ඉන්නෙ...:(

    මේ අද උදේ මම මලීගෙ බ්ලොග් එකේ දාමු කමෙන්ට් එකක්.

    Floor polish red...that is definitely one of the most unforgettable memories from my childhood days. The brilliant red when the polish is still fresh....

    Ronuk or Cardinal the brand names as I remember...Of course we had no electric polishers back then. Appachchi bought a hard coir brush with a long handle from "Laksala" for polishing.

    I can still hear my unending laughter sitting on that brush holding on to my dear life as my Punchi Mama ran from one end of our rather large living area polishing the floor...Oh dear those were the days....

    (Note - I had to sit on the brush to give some weight, so the polishing would be done properly)

    And there is a connected story too. Once I told about how we polished during my younger days to my Sister's son. he was mo more than 3/4 years old then. When next his mother was using a polisher that little rascal threw a tantrum literally rolling on the floor saying he wants to sit on the polisher too like his Mama heh..heh..

    And you know what?... I was blamed ""මේ අයිය තමයි ඔක්කොම කරන්නෙ...මීට පස්සෙ ඔය පරණ එව්ව කියනවනම් මගෙන් අහල ඉන්ට කලින්.." That was the injunction issued by his Mother...heh, heh What to do? poor me...

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර තාමත් පොලිෂ් කරල බිම මදින්නෙ ඔය කියාපු බුරුසුවෙන් තමා. චූටි කාලෙ මාව හරි නංගිව හරි තියාගෙන අපෙ තාත්තයි අයියයි ඕක එහෙට මෙහෙට තල්ලු කරනවා මටත් මතකයි. :D

      Delete
  2. දවසක් අපේ යාලු අයියා කෙනෙක්ගේ පුතෙක් අහු වුනා කතාවට.අපේ "සුදු" එක්ක මෙන්න දෙබස

    සුදු : ඔයා කොහෙන්ද ආවේ ?

    පොඩි එකා : අම්මගේ බඩෙන්

    සුදු : නැහැ ඔයාව ගෙනාවේ කඩෙන්.

    පොඩි එකා : මම ආවේ අම්මගේ බඩෙන්.ඔයාලාගේ බබා තමයි සතොසෙන් ගේන්නේ.

    ආයේ අපේ ගල්කිස්සේ තාත්තලාගේ ඉස්සරහා ගෙදර ඉන්නවා අවුරුදු තුනක විතර හුරතල් පොඩි කෙල්ලෙක්.එදා අපේ "සුදු" පොඩි ඔලුවේ කැක්කුමක් හැදිලා නිදාගෙන ඉන්න කොට මෙයා ඇවිත් තාත්තාගෙන් අහලා "තාත්තේ සුදු කෝ" කියලා.(අපි තාත්තා කියන නිසා එයා කියන්නෙත් තාත්තා කියලා,සමහර වෙලාවට සියා කියනවා) ඉතින් තාත්තා කියලා එයා නිදි කියලා.ඊට පස්සේ එයා ගිහින් "පස්සේ එන්නම්" කියලා. දෙවැනි වතාවේ එයා ඇවිත් ඉන්න කොට අපේ සුදුත් නැගිටලා සාලෙට ඇවිත්.එතකොට තාත්තා සුදුගෙන් අහලා දැන් "කොහොමද පුතේ" කියලා. සුදු පොඩි එක්කෙනා දැක්කම කියලා තාත්තාට "මෙච්චර වෙලා හොඳ වෙලා තිබ්බේ දැන් නම් වැඩි වේවි" කියලා.විහිලුවට.එතකොට ඒ පොඩි එකී කියලා "එහෙම වැඩි වෙන්න බැහැනේ" කියලා.

    පොඩි උන්ගේ කතා නම් කියලා වැඩක් නැහැ.මල් හතයි.

    ReplyDelete
    Replies
    1. අපේ පැංචා දන්න කඩේ තමයි 'සර්කල් කඩේ'. හිතාගන්න පුළුවන්ද ඒ මොකේටද එහෙම කියන්නෙ කියලා? කීල්ස් එකට. ඒකේ අර තියෙන රවුම් හිනා මූණෙන් තමයි බබා ඒ කඩේ මතක තියාගෙන ඉන්නේ. :D

      Delete
  3. වැඩියම ආදරේ අම්මටද තාත්තාටද කියන හැම එකාම අහන ගොං ප්‍රශ්ණෙට පැංචා සුපිරි උත්තරයක් දීලා.

    මං දන්න පොඩි එකෙක් "ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියන ප්‍රශ්ණෙට දීපු උත්තරේ "ආතා කෙනෙක්" කියන එකයි.

    ReplyDelete
  4. හි..හි.. අනේ හරිම ශෝක්.... පොඩි සිත්තරා එක්ක කතා කරලා බේරෙන්න බෑ වගේ නේද ...

    ReplyDelete
    Replies
    1. නංගිට මතකයිනෙ එදා නෙළුම් යායෙදි එයා දඟ කරපු හැටි. වෙලාවකට සිත්තර පැංචා නෙවෙයි සූත්තර පුංචා වගේ තමයි වැඩ. :D

      Delete
  5. පොඩි බබාලා බබාලා කරන්න බෑ නේද.. lol...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. එයා අපේ ලොකු අප්පච්චි වගේ තමයි වෙලාවකට. :D

      Delete
  6. නියම කථා ටික. පැන්චා හොඳ මීටර් එකක් වගේ. ඔහුට හොඳ අනාගතයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ වයසේ පොඩි අය කවුරුත් ඔහොම තමයි මං හිතන්නේ, හරි කතා පෙට්ටි. :D

      Delete
  7. කියල වැඩක් නෑ අක්කෙ පොඩි උං එක්ක ඉන්නකොට හිනා කාල මැරෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. හුරතල් තාලෙට පණ්ඩිත කතා කියන හැටි! :D

      Delete
  8. ෂෝක් අප්පා...හරි හුරතල්. පැන්චන් ගේ කටවල් ගැනනම් ඉතින් කියල වැඩක් නෑ. ගොඩක් වෙලාවට අපි කියන ඒවම තමයි එයාලා වෙලාව බලලා අනිත් පැත්තට කියන්නේ

    ReplyDelete
  9. I don't like this blog theme because the scroll button can't be used because of the popout menu card.

    ReplyDelete
    Replies
    1. Thanks for letting me know ayya. But I tried with both Chrome and Firefox browsers. The scroll bar and its buttons are displayed without any disturbance. What is the browser you use?

      Delete