208. හංස විල...

හංසයින් පිරි විල මැදින් ඔරුව පැද යන නෝවා සහ ඇලී. චිත්‍රපටයෙන් උපුටාගත් දර්ශනයකි.

"ඔන්න අපි ආවා," ඉවුර අසළ වූ ගස් කිහිපයක් අතරින් ඔරුව ගෙන යන අතරේ නෝවා කීවේය.

ඇලී වටපිට බැලුවද කිසිවක් නොදුටුවාය. "කෝ කොහෙද?"

"මෙතන," සැඟවී තිබූ විවරයක් මුවා කරගෙන සිටි පෙරළී ගිය විශාල ගසක් වෙත ඔරුව යොමු කරමින් ඔහු කීවේය. ඔහු ඔරුව ඒ වටා ගෙන ගියේය. ඉහළින් වූ අතු වලින් බේරීමට දෙදෙනාටම හිස් පහත් කරගැනීමට සිදුවිය. "ඇස් වහගන්න," ඔහු කෙඳිරුවේය. සිය දෑත් මුහුණ වෙත ගෙනයමින් ඇලී ඔහුට කීකරු වූවාය. ඇයට ගං දියේ හඬද ඇසුණු අතර එයින් ඉවතට ඔහු ඔරුව ගෙන යන ආකාරයද දැනුණේය. "හරි," අවසානයේ හබල් ගෑම නතර කළ ඔහු කීවේය. "දැං ඇස් අරින්න පුළුවං."

බ්‍රයිසස් අතු ගංගාවේ දියෙන් සැදුම් ලත් කුඩා ඇළක් මධ්‍යයේ ඔරුව නැවතී තිබුණි. එතරම් විශාල නොවූ එය යාර සියයක පමණ පළලින් යුක්ත විය. ඉන් මොහොතකට පෙර එය සිය දර්ශන පථයෙන් ඈත් වී තිබුණේ කෙසේදැයි ඇලී පුදුම වූවාය. එය ඉතාමත් මනස්කාන්ත විය. තුන්ද්‍රා හංසයින් සහ කැනේඩියානු පාත්තයන්ගෙන් එය වැසී ගොස් තිබුණි. ඔවුන් දහස් ගණනක් එහි විය. ඇතැම් තැන්හි ජලය නොපෙනෙන තරම් එකිනෙකාට ලං වී එම පක්ෂීහු දිය මත ඔබ මොබ සැරිසැරූහ. ඈතින් සිටි හංස රෑන් දිස් වූයේ හිම කුට්ටි මෙනි. "අනේ, නෝවා," අවසානයේදී ඇය මෘදු හඬින් තෙපළාය, "හරිම ලස්සනයි." දිගු වේලාවක් යන තෙක් ඔවුහු නිහඬව වාඩි වී කුරුල්ලන් දෙස බලා සිටියහ. දින කිහිපයකට ඉහතදී බිත්තර තුළින් එළියට ආ පාත්ත පැටවුන් රංචුවක් වැඩුණු පාත්තයින් පසු පස යන්නට තැත් කරන අයුරු නෝවා ඇලීට පෙන්වුවේය. නෝවා දිය මත ඔරුව ගෙන යන අතරේ අවට කුරුල්ලන්ගේ නදින් පිරී ඉතිරී ගොස් තිබුණි. බොහෝ කුරුල්ලන් ඔවුන්ව නොසලකා හැරීය. ඔවුන් නිසා කරදරයට පත් වූ බව ඇඟවූයේ ඔරුවට ඉඩ දී ඉවත් වන්නට සිදු වූ කුරුල්ලන් පමණි. ඇලී පහත් වී ආසන්නයේ සිටි කුරුල්ලන් අල්ලා බැලුවාය. ඔවුන්ගේ පිහාටු වල සුසිනිඳු බව ඇගේ අතැඟිලි වලට දැනුණි. නිවසෙන් පිට වන විට රැගෙන ආ පාං කැබලි බෑගය අතට ගත් නෝවා එය ඇලීට දුන්නේය. ඒවා කුරුල්ලන් වෙත විසි කළ ඇය ඔවුන් ආහාර ගැනීමට කවාකාරව පෙළ ගැසී පිහිනන අයුරු බලා සිනාසුණාය.

ඈතින් ගෙරවිලි හඬ ඇසෙන තෙක්ම ඔවුහු එහි සිටියහ. ගෙරවිලි හඬ ඇසුණේ යන්තමින් වුවද එය ප්‍රබල විය. එය පිටත් වීමට සුදුසු වේලාව බව ඔවුන් දෙදෙනාටම වැටහුණි. ඔරුව නැවතත් අතු ගංගාව වෙත ගෙන ආ නෝවා පෙරටත් වඩා වේගයෙන් ආපසු පැදීමට පටන් ගත්තේය. ඇලී ඒ වන විටත් තමා දුටු දෙයින් විස්මයට පත්ව සිටියාය.

"නෝවා, ඒ ගොල්ලෝ මොනවද මෙහෙ කරන්නේ?"

"දන්නෙ නෑ. උතුරෙ ඉඳන් එන හංසයොනම් හැම සීත කාලෙටම මටාමස්කීට් ඇළට යනවා. මේ සැරේ ඒගොල්ලෝ මෙහෙට ඇවිල්ලා වගේ. ඇයි කියලනම් දන්නෙ නෑ. සමහර විට මුළින් ආපු හිම කුණාටුව නිසා වෙන්න ඇති. සමහරවිට ඒකෙන් ඒගොල්ලන්ට පාර වරදින්න ඇති. ඒ උනාට එයාලා පාර හොයාගනියි කොහොමහරි."

"ඒ ගොල්ලෝ මෙහෙ නතරවෙන්නෙ නැද්ද?"

"මං හිතන්නේ නෑ. ඒ ගොල්ලෝ හදිසියට ඇවිත් තියෙන්නේ, මෙතන නෙවෙයි එයාලගේ තැන. සමහරවිට පාත්තයෝ ඉන්න පුළුවං සීත කාලේ මෙහේ, ඒත් හංසයෝ ටික යයි මටාමස්කීට් වලට."

අඳුරු වළාකුළු එක එල්ලේ ඉහළට පාවී එන අතර නෝවා වඩාත් වේගයෙන් ඔරුව පැදෙව්වේය. ඉක්මණින්ම වර්ෂාව කඩා හැලුණි. මුලදී මඳ වැස්සක්ව පැවැති එය අනතුරුව ධාරානිපාත වර්ෂාවක් බවට පත් විය. අකුණක්... නිහැඬියාවක්... අනතුරුව ගෙරවිල්ල. එවර එය වඩා උස් හඬින් ඇසුණි. හැතැප්ම හයකට හෝ හතකට හෝ ඈතින් විය යුතුය. නෝවා වඩාත් වේගයෙන් හබල්ගාන්නට වූ අතර වැස්සද තව තවත් දරුණු විය. විශාල වැහි බිංදු. වැස්ස... සුළඟත් සමග වැස්ස... දරුණුවත් ප්‍රචණ්ඩවත් ඇද හැලුනි... නෝවා නොනවත්වා ඔරුව පැද්දේය... අහසත් සමග තරග කළේය... වැස්සට තෙමෙමින්... තමාටම ශාප කරගනිමින්... සොබාදම් මෑණියන්ට පරදිමින් සිටියේය... වර්ෂාව වඩාත් දරුණුව ඇද හැලුනි.


~ My favorite scenery from one of my favorite books/movies: The Notebook by Nicholas Sparks






15 comments:

  1. තවත් කතවක් නේද අගෙයි අක්කේ....!

    ReplyDelete
    Replies
    1. මේක The Notebook පොතෙන් පොඩි කොටසක පරිවර්තනයක් විතරයි මල්ලි. කාලෙකට කළින් 'පොත් කියවන අය' මූණුපොතේ සමූහයට දාපු සටහනක් එහෙමම අරන් මෙතන ඇලෙව්වා.

      Delete
  2. හ්ම්ම් නෝට්බුක් මාත් බැලුවා. ඒකෙ නළුවටත් මම කැමතියි ඉස්සර. යන්ග් හර්කියුලිස් ටත් හිටියේ එයා නේද

    ReplyDelete
  3. The Note Book.

    හ්ම්ම්....
    පොත නම් කියෝලා නැහැ.. ෆිල්ම් එක නම් බැලුවා , නෝවා ඊටපස්සේ මම ආසා නළුවෙක් උනා. සංවේදී දර්ශන සහ දෙබස් තිබුනේ නේද?

    ReplyDelete
    Replies
    1. පොතත් කියවන්න ලිඛිතා. පොතේ තියෙන ගොඩාක් ඡේද මට හරිම සමීපයි, සංවේදියි. ස්පාර්ක්ස්ගේ අනිත් පොත් වලින් හදපු චිත්‍රපටවලට වඩා පොතට මම කැමති වුණාට, මේකෙදිනම් පොතටයි චිත්‍රපටයටයි දෙකටම එක වගේ ආදරෙයි.

      Delete
  4. අන්න ඒ වගේ හන්ස විලක් ඝ ඉන්න මාත් හරිම ආසයි... කතාව කියවන් යනකොට මාත් එතන හිටිය වගේ...
    මේ කතාව ලියන්න පටන්ගමු අක්කේ... හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. මේක අර 'ෆ්ලොස් නදිය අසබඩ', 'නමක මහිම' වගේ සම්පූර්ණයෙන් පරිවර්තනය කරලා පළ කරන්න අමාරුයි නංගි, මෑත කාලීන නිර්මාණයක්නේ. මමත් හරිම කැමති මේ කතුවරයා ඒ වගේ හිතට සමීපව, දර්ශන මැවිලා පෙනෙන විදිහට විස්තර ලියන විදිහට.

      Delete
  5. ලස්සනට ලියලා.. මං ඒ හංසයෝ එක්ක හිටියා වගේ හැඟීමක් තියෙන්නේ.. කොහොමත් Nam icholas Sparks ගේ කතා ලස්සනයි

    ReplyDelete
  6. බොහොම අගෙයි හරි අපූරුවට ලියලා !

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කේ. ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ කවි පොතට. :)

      Delete
  7. හරිම ලස්සනයි අක්කේ. මම දැන් කාලෙකට කලින් ඔයා ගෙ කතා දෙකමත් කියෙව්වා. දැන් අලුතින් ලස්සනම ලස්සන කතාවක් ලියමු නේද.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නංගි. අලුත් කතාවක් ලියන්නත් ඕනෙ. එතකල් මෙන්න මේ පැත්තට ගිහින් එන්නකෝ. අන්දර මල්දම. මේ මමයි මගේ බ්ලොග් යාළුවො පිරිසකුයි ලියපු කතා එකතුවක්.

      Delete