90. ආඩම්බර රතු රෝස...


එක ලස්සන උදෑසනක වනාන්තරයක් ඇතුළේ රෝස මලක් පිපුණා. ඒ වනාන්තරයේ හැම ජාතියකම ගහ කොළ, වැල්, පැලෑටි හැදුණා. ඉතිං මේ රෝස මල වට පිට බලද්දි ලඟ තිබුණ පයින් ගහක්, "කොච්චර ලස්සන මලක්ද, අනේ මටත් මේ වගේ වෙන්න පුළුවන්නං," කියලා කිව්වා. ඒක ඇහුණ තවත් ගහක්, "සහෝදරයා, දුක් වෙන්න එපා. හැමෝටම හැම දේම ලබාගන්න බෑනේ," කියලා පයින් ගහට කිව්වා.

මේ කතාබහ ඇහුණ රෝස මල තනියම කල්පනා කරන්න පටන් ගත්තා. "මේ කැලේ ලස්සනම පැලේ මම වෙන්නැති," එයා මිමිණුවා.

ලඟ හිටපු සූර්ය කාන්ත මලට ඒක ඇහුණා. "ඇයි ඔයා එහෙම කියන්නේ?" සූර්ය කාන්ත ඇහුවා, "මේ කැලේ ලස්සන පැල ගොඩාක් තියෙනවා, ඔයා එයින් එක්කෙනෙක් විතරයිනේ."

"හැමෝම මං දිහා බලාගෙන මගේ ලස්සන ගැන කියනවා," රතු රෝස මල ආඩම්බරෙන් කිව්වා. ඊලඟට ලඟ තිබ්බ පතොක් පඳුරක් පෙන්නලා මෙහෙම කිව්වා, "අර බලන්න අර කටු පිරිච්ච පඳුර කොච්චර කැතද කියලා!"

මුලින් රෝස පඳුරේ ලස්සන ගැන කියපු පයින් ගහට ඒක ඇහුණා. "ඇයි එහෙම කතා කරන්නේ රතු රෝස? කාටද ලස්සන කැත ගැන එහෙම කතා කරන්න පුළුවං? ඔයාගෙ ඇඟෙත් කටු තියෙනවනේ." පයින් ගහ කිව්වා.

ආඩම්බරකාර රතු රෝස පඳුර තරහෙන් පයින් ගහ දිහා බැලුවා. "මං හිතුවේ ඔයා ටිකක් හරි ලස්සන මොකද්ද කියලා අඳුරන කෙනෙක් කියලා. ඔයා කොහෙත්ම ඒ ගැන දන්නෙ නෑ! ඔයා කොහොමද මගේ මේ පුංචි කටු අර පතොක් ගහේ කැත කටු වලට සමාන කරන්නේ?"

"මොන තරං ආඩම්බරකාරයෙක්ද," වනාන්තරයේ ගස් එහෙම හිතුවා.

රෝස පඳුර පතොක් පඳුර ගාවින් අහකට යන්න හැදුවත් එයාට හෙලවෙන්නවත් බැරි උනා. රෝස පඳුර හැමදාම පතොක් පඳුර දිහා බල බල හිත රිදෙන දේවල් කිව්වා, "මේ වගේ පැලේකින් මොකද්ද ඇති වැඩේ. අපෝ, මේ වගේ පැලයක් ගාවට වෙලා ඉන්න වෙච්ච එක මොන දුකක්ද."

ඒ කිසි දේකින් දුක් නොවිච්ච පතොක් පඳුර රෝස පඳුරට කරුණු තේරුම් කරන්න උත්සාහ කළා. "මේ ලෝකේ පහළ වෙච්ච කිසිම දෙයක් තේරුමක් නැතිව පහළ වෙලා නෑ, හැම දේකටම තේරුමක්, පරමාර්ථයක් තියෙනවා."

වැහි කාලය ගෙවිලා ගියා. පරිසරය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තා. වනාන්තරයේ ජීවත් වෙන එක බොහොම අමාරු වුනා. ගහ කොළ වලටත් සතුන්ටත් වතුර ඕනෑ උනත් වැස්සක් ලැබුණේ නෑ. රතු රෝස මලත් ටිකෙන් ටික මැලවෙන්න ගත්තා. දවසක් මේ රතු රෝස මල දැක්කා පුංචි කුරුල්ලෝ ඇවිත් පතොක් පඳුරට හොටෙන් ඇනලා ආපහු බොහොම ප්‍රාණවත්ව ඉගිලිලා යනවා. මේක තේරුම් ගන්න අමාරු වෙච්ච නිසා රෝස පඳුර කුරුල්ලන් ඒ කරන්නේ මොකද්ද කියා පයින් ගහෙන් විමසා සිටියා. ඒගොල්ලෝ පතොක් පඳුරෙන් වතුර ලබාගන්න බව පයින් ගහ හෙළි කළා.

"ඉතිං කුරුල්ලො එහෙම ඇන්නම පතොක් ගහට රිදෙන්නෙ නැද්ද?" රෝස පඳුර ඇහැව්වා.

"රිදෙනවා, ඒත් තමන්ට උදව් කරන්න පුළුවං කම තියෙද්දිත් ඒ පුංචි කුරුල්ලෝ වතුර නැතුව අසරණ වෙනවට පතොක් පඳුර කැමති නෑ," පයින් ගහ ගෞරවයෙන් උත්තර දුන්නා.

රතු රෝස බොහොම පුදුම උනා. "පතොක් පඳුරේ වතුර තියෙනවද?"

"ඔව්, ඔයාටත් ඒ වතුර අරගන්න පුළුවං. ඔයා පතොක් පඳුරෙන් උදව් ඉල්ලුවොත් කුරුල්ලෝ ඔයා ලඟට වතුර අරං එයි."

තමන්ගේ අතීත හැසිරීම ගැන ලැජ්ජාවට පත් වෙච්ච රෝස මල මුලදී පසුතැවිල්ලෙන් නිහඬව හිටියත් අන්තිමේදී පතොක් පඳුරෙන් උදව් ඉල්ලුවා. කරුණාවෙන් ඉල්ලීම පිළිගත්ත පතොක් පඳුර කුරුල්ලන්ට ඒ බව දැන්නුවා. තමන්ගේ හොටෙන් වතුර අරන් ආපු පුංචි කුරුල්ලන් රෝස පඳුරේ මුලට වතුර ඉස්සා. අළුතෙන් ලැබුණ ප්‍රාණයත් එක්ක රෝස පඳුර අළුත් පාඩමකුත් ඉගෙනගත්තා. ආඩම්බරකම් අත් ඇරිය රෝස පඳුර ආයෙ කවදාවත් පෙනුමෙන් විතරක් කිසි කෙනෙක්ව මනින්න ගියේ නෑ.


~ පරිවර්තනය සඳහා උපුටාගත්තේ http://www.4minutesperday.com වෙබ් අඩවියෙන්








2 comments:

  1. Very Interesting ....very interesting indeed. Being self critical is not easy by any means and not many can make up their minds to do it objectively. You have done it frankly sans any inhibitions at all.

    Just joking , Madam OK? Please don't try to bludgeon me over the head with a mortar ..you get me? ..heh,heh,

    ReplyDelete
    Replies
    1. Oh Thaaank you for the nice comment. You've got the point verrry correctly. (I'm still looking for something better than a mortar... something big... heavy... sharp... terrible... horrible... ugly.... stinky. If I couldn't find, I will make one for you. Yes, definitely. Just for you. You just wait! :P)

      Delete