එය ඉල් මස එක් අඳුරු සන්ධ්‍යාවකි. සුපුරුදු වේලාව මදක් පසු වී මම කාර්යාලයෙන් පිටතට බැස්සෙමි. වටින් ගොඩින් අඳුරු වැටීගෙන එමින් තිබුණද උදෑසන නිවසින් පිට වද්දී ගන්නට ඕනෑමයයි සිතාගෙන ආ ද්‍රව්‍ය කිහිපයක් මිළදී ගැනීම සඳහා මා නුගේගොඩට යා යුතු විය. එවන් දිනෙක කොහුවල බස් නැවතුමේ නතර නොවී පා ගමනින්ම නුගේගොඩ වෙත පැමිණීම මගේ සිරිතයි. සුපුරුදු ගමන් මග ඔස්සේ ඔසු සලද පසු කොට නුගේගොඩ බෝ ගහ වෙත එමින් සිටි මම විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් කුමක් හෝ ලියූ පුවරු කිහිපයක්ද බිම රඳවා ඒ අසළ පොත් සලකුණු අලෙවි කරමින් සිටිනු දුටුවෙමි. ඔවුන්ගේ සගයන් පිරිසක් පාරෙන් අනෙක් පස නෝ ලිමිට් සාප්පුව අසළද සිටිනු දුටු බව මා හට මතකය. ඔවුන්ව පසු කර මා බෝ ගස වෙත ඇවිද ආවේ හයි ලෙවල් පාර හරහා මාරු වීම පිණිසය. මා එතැනට ලඟා වන විටද පදික මාරුව අසළ කොළ පාට සංඥාව වැටී තිබෙනු දුටු මම යුහුසුළුව කහ ඉර මතින් පාර මාරු වී සමරකෝන් ස්ටූඩියෝව අසළින් යළි පදික වේදිකාවට ගොඩ වුනෙමි. කර මත වූ අත් බෑගයද මදක් සකසාගත් මම තැපැල් කන්තෝරුවෙන් පාරෙන් අනෙක් පස වූ වෙළඳ සැල බලා යාමට පය එසවීමි.
ඩෝං!!!!!!
නොදැනීම මගේ දෑත් ඉහළට එසවී දෙකන් වැසුනි. මොහොතක් එතැනම ගල් වූ මා තත්පර දෙකක් හෝ තුනක් එතැනම එලෙසම හිඳින්නට ඇත. මා එතෙක් අසා තිබූ විශාලතම හඬ අපේ ගම් ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා ගිය දිනයේ නැගුණු හඬය. මෙයද එවැන්නක් විය යුතුයැයි එම ගල් ගැසී සිටි තත්පර කිහිපය තුළ මම කල්පනා කළෙමි. එම තත්පර කිහිපය තුළ එම හඬ ගැන සිතුවා හැරෙන්නට මා වටා ලෝකයේ කුමක් සිදු වීදැයි මාගේ දෙනෙතට හසු වූයේ නැත. ට්‍රාන්ස්ෆෝමරයක්. ඔව්. හඬ නැගුණේ පිටුපසින් බව දැනුණද මා එදෙසට හිසවත් හැරවූයේ නැත. මා දෑත් පහළ හෙලා යළි ගමනාරම්භ කරන්නට පය එසවූවා පමණි...
ඩාං!!!!!!!
දකුණු පස ඉහළින් විසි වී ආ පුවරුවක් මාගේ හිසේ වැදී වම් අතද සූරාගෙන බිම ඇද වැටුණි. එය ෆ්ලෝරසන්ට් විදුලි පහනින් ආලෝකවත් වන ලෙස සැකසූ නාම පුවරුවක බිඳී ආ කොටසක් බව මම දුටුවෙමි. හිස අල්ලාගෙන තවත් මොහොතක් මා එලෙසම හිඳින්නට ඇත. මා අසළම සිටගෙන සිටි තැනැත්තෙක් මා වැටේදෝයි සිතා අල්ලාගන්නට මෙන් ඉදිරියට ආවද මා හොඳින් බව අතක් ඔසවා ඔහුට පැවසුවෙමි. මහා හඬෙන් පිරී තිබූ මගේ සිත අවට ලෝකය වෙත යොමු වූයේ ඉන් අනතුරුවය. මම යළි පා එසවීමි.
එය ට්‍රාන්ස්ෆෝමරයක් නොවනා බව මම දැනගතිමි.
නමුත් මා එක් මොහොතකට හෝ පිටුපසට හිස හැරවූයේ නැත. දැකිය හැකි දසුන මා හට දරාගත හැකි වනු ඇතිදැයි මා තුළ විශ්වාසයක් තිබුණේ නැත.
සිහිනෙන් ඇවිදින්නියක පරිද්දෙන් මම ඇවිද ගියෙමි. පල්ලිය, මා යාමට සිතා සිටි වෙළඳ සල ඇතුළු කඩ පේලිය, දුම් රිය පාරද පසු කොට මම ඇවිද ගියෙමි. නමුත් ඒ කිසිවක් මගේ දෑසට හෝ සිතට ඇතුළු වූයේ නැත. මොහොතකට පෙර ඇසුණු මහා හඬින් මගේ මොළය හිරිවැටී ගොස් තිබුණි. එසේ නමුත් ඉතාමත් කලාතුරකින් දකින්නට ලැබෙන අප නිවස අසළටම යන බස් රියේ අංකය ඒ අතුරින් මගේ මනස විනිවිද ගියේය. බොහෝ වේලාවකට පෙර කොහුවල බස් නැවතුම පසු කොට ගොස් තිබූ එය නුගේගොඩ රථ වාහන තදබදයේ නතර වී තිබුණි. එය දුටු මොහොතේ මා හට මව්පියන් දුටුවා වැනි හැඟීමක් ඇති වූයේ ඇයිදැයි නොදනිමි. මම එයට ගොඩ වී හිඳගතිමි. එහි වූ සියල්ලෝම බලා සිටියේ මා පසු කර ආ දෙසය. ගින්නක් ඇති වී තිබූ බව ඔවුන්ගේ කතා බස් වලින් මට වැටහුණි. නමුත් එක් මොහොතකට හෝ මම පසුපස නොබැලුවෙමි. මා අසුන්ගෙන තිබුණේ මා බස් රියේදීම දැනහඳුනාගත් සමීප මිතුරියක අසළින් වුවද, ඈ මා අමතමින් සිටි බව මා හට දැනුණද මා සිටියේ කිසිවක් සිතාගැනීමට හෝ කතා කරගැනීමට හැකි තත්ත්වයක නොවීය. අවසානයේදී බස් රථය ගමන් ඇරඹීය. මම අත් බෑගය තුළින් ජංගම දුරකථනය අතට ගෙන නිවසේ අංකය සටහන් කළේ වෙව්ලන අතැඟිලි වලිනි. පුදුමයකට මෙන් ඇමතුම සම්බන්ධ විය. මවගේ කටහඬ ඇසුණු මොහොතේ එතෙක් මාගේ සිත තුළ සිර වී සිටි කඳුළු පිට පැන්නේය. මා ඈ සමග කතා කළේ ඉකි බිඳිමිනි.
ඒ 2007 වසරේ නොවැම්බර් 28 වනදා ය. එදින උදෑසනද ඊ පී ඩී පී නායක ඩග්ලස් දේවානන්ද හිටපු අමාත්‍ය වරයාගේ නාරාහේන්පිට කාර්යාලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වාර්තා වී තිබුණි. නුගේගොඩ නෝ ලිමිට් සාප්පුව අසළ බෝම්බය පුපුරා ගියේ එදිනම සවස 5.55 ට පමණය. 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ එම ප්‍රහාරයෙන් දහම් පාසලේ මා හට සිප් සතර ඉගැන්වූ අයියා කෙනෙකුද, මාස කිහිපයකින් ඔහුගේ අත ගන්නට බලා සිටි ඔහුගේ පෙම්වතියද මෙලොව හැර ගොස් තිබුණි.
එම අන්ධකාර සන්ධ්‍යාවෙන් පසු සත් වසරකට අධික කාලයක් ගෙවී ගොස් ඇත. එවැනි තව බොහෝ සිදු වීම් ඒ අතර අසන්නට දැකින්නට ලැබිණ. මා අත් දුටුවේ එම බිහිසුණු ත්‍රස්තවාදයේ අංශු මාත්‍රයක් පමණක් බව මම දනිමි. මෙයට වඩා බොහෝ ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දුන් පිරිස් ගැන එම තිස් වසර පුරා අප අසන්නට දකින්නට ඇත. එම රුදුරු ත්‍රස්තවාදයෙන් බැට කෑ පිරිස අතර සිංහලයන්ද, ද්‍රවිඩයන්ද, මුසල්මානුවන්ද හිඳින්නට ඇත. ත්‍රස්තවාදය ත්‍රස්තවාදයක් වූයේ එය මනුෂ්‍යත්වයට එරෙහි වූ නිසාය. තමන් මෙන්ම ලෙයින් මසින් සැදි මිනිසුන්ව කපා කොටා මරා දමන්නේත්, මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වූ ජලය ලබා දෙන සොරොව් වසා දමන්නේත්, අසරණ නිරායුධ මිනිසුන් පලිහක් ලෙස යොදාගන්නේද මනුෂ්‍යත්වයට එරෙහි වූ ත්‍රස්තවාදීන්ය.
අවසානයේ එම අඳුරු යුගය නිමා විය. ශ්‍රී ලංකාවට නිදහස උදා විය. එයට උර දුන් පිරිස් බොහෝය. දේශපාලනික වශයෙන් එයට නායකත්වය ලබා දුන් උදවියට සේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වල සේවය කළ සියලු දෙනා හටද, ඔවුන්ගේ පවුල් වල උදවිය ඇතුළු හද පත්ලෙන්ම ඔවුන් හට ආශිර්වාදය පිරිනැමූ සෑම කෙනෙකුටම එම නිදහස අපහට ලබා දී සය වසරක් සපිරෙන මෙම මොහොතේදී මාගේ ගෞරව භක්තිය පිරි නමමි.
එසේම, ඔවුන් දිවි හිමියෙන් අපට දිනා දුන් නිදහසේ ගෞරවය සුරකිමි. ත්‍රස්තවාදීන් හට මම රණ විරුවන් යැයි නොකියමි. අපගේ රණ විරුවන් වෙනුවෙන් ගොඩ නැගුණු ස්මාරක ත්‍රස්තවාදය පිටු දැකීමට ඔවුන් සිදු කළ මෙහෙය අනුස්මරණය කිරීමට ගොඩ නැගූ ස්මාරක විනා ද්‍රවිඩ ජාතිකයන්ගේ සිත් රිදවාගැනීම් වලට හේතුවක් ලෙසින් නොදකිමි. ඒකීය ශ්‍රී ලංකාවක් වශයෙන් අප හට, අපේ දරු පරපුර හට, ත්‍රස්තවාදයෙන් නිදහස් කර දුන් මව්බිම, දේශපාලන ඕනෑ එපාකම් හමුවේ බෙදා වෙන් කරන්නට ගන්නා උත්සාහයන්ට එරෙහි වෙමි. සිංහල බෞද්ධ උරුමය සුරැකී ඇති එකම රට වන ශ්‍රී ලංකාවේ එම උරුමය එලෙසින්ම ආරක්ෂා කරගනිමින්, ඒකීය රටක පුරවැසියන් ලෙස සහජීවනයෙන් ජීවත් වන්නට අපේක්ෂා කරනා සියලු දෙනා සහෝදරත්වයෙන් අගයමි.

මටත් හොඳට මතකයි ඔය සිදුවීම. අපේ ගෙවල් පැත්තේ ළමයෙක් දෙන්නෙකුත් නුගේගොඩදී ඔය බෝම්බෙට අහුවෙලා මැරුණා.
ReplyDeleteඅයියට මතකද රාජගිරියෙ ආයුර්වේද හන්දිය් බෝම්බෙ? බෝම්බෙත් එක්ක වෙඩි හුවමාරුවකුත් ගියා. ඒක වෙද්දි මම ඉස්කෝලෙ යන කාලෙ. එදා උදේ තමයි අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ තිබ්බේ. සාමාන්‍යයෙන් හවසක තියෙන උත්සවේ එදා අපේ ඉස්කෝලේ තිබ්බෙ උදේ. නැත්තම් ඔය වෙලාවේ අපේ ඉස්කෝලේ ළමයිනුත් සෑහෙන්න ඒ හරියේ ඉන්න ඉඩ තිබ්බා. එදා ඒ වෙලාවේ මගේ නැන්දා කෙනෙක් ඒකට අහු වුනා. එයාගේ ජීවිතේනම් බේරුණා. ඒත් එයාගේ ඇඟ ඇතුළේ තාමත් වෙඩි උණ්ඩ තියෙනවා. ඒවා අයින් කරන්න විදිහක් නෑලු.
Deleteතව මහ බැංකු බෝම්බෙ මතකද? ඒ කාලෙදි ඒකට අහු වුනා මගේ යාළුවෙකුගෙ තාත්තා කෙනෙක්. ඒ අංකල්ගෙ අතක් නෑ දැන්. තව මම අඳුරන අංකල් කෙනෙක් ඉන්නවා ඒ වෙද්දි මහ බැංකුවෙ වැඩ කරපු. එයාගෙ අත ඇතුළේ තාමත් වීදුරු කටු තියෙනවා. අපි සාමාන්‍යයෙන් ලියන විදිහට අත මේසේ උඩ තියාගෙන ලියන්න බෑ ඒ අංකල්ට දැන්. එයා පොත් ලියනවා, අත උස්සගෙන වැලමිටට විතරක් බර දීලා තමයි ටයිප් කරන්නේ.
මේ මම දන්න සිදුවීම් කීපයක් විතරයි. :(
මම ඔය කාලෙ වැඩ කරපු සමාගමේ කාර්යාලය තිබ්බෙ නුගේගොඩ නාවල පාරෙ.ඔය සිද්ධිය මටත් හොඳටම මතකයි. ඔය වගෙ සිද්ධියකට මුහුණ දුන්නහම ඒ තිගැස්ම,සන්ත්‍රාසය සෑහෙන කාලයක් යනකල් හිතේ රැඳිල තියනව. සමහරවිට මුළු ජීවිත කාලෙටම...:(
ReplyDeleteතාමත් ලඟ පාතින් රතිඤ්ඤා සද්දයක් ඇහුනත් මාව ගල් ගැහිලා යනවා... :(
Deleteමොනම හේතුවකටවත් ආපසු හැරිලා බැලුවේ නෑ කියුවම දැණුනු කම්පනය ගැන හිතා ගත හැකි.
ReplyDeleteඇත්ත කල්‍යාණ මිත්‍ර. ඒක ලොකු කම්පනයක්. :(
Deleteසාදරෙන් පිළිගන්නවා මේ කවි පොතට. :)
බෝම්බ නැවතූ සැමට පින්දෙමි
ReplyDeleteගරු කරමි දුන් නායකත්වය
රට රකින්නට පණ උනත් දෙමි
හොරා කන්නට පතන ඉඩ හැර
200% ක් එකඟයි.
Deleteඒත් එක කට්ටියක් හොරා කන බව අපිට පෙනෙද්දි අනිත් කට්ටිය ලෑස්ති වෙන්නෙ මොකටද කියලත් අවධානයෙන් ඉන්න වෙනවා. සමහරවිට තරාදියේ අනිත් පැත්තේ බර වැඩි වෙන්න පුළුවන්.
ස්තූතියි මේ පැත්තෙ ආවාට. ඔබවත් සාදරෙන් පිළිගන්නවා. :)