135. ෆ්ලොස් නදිය අසබඩ - 4 - නැන්දලා මාමලාගේ පැමිණීම

එය පාස්කු සතිය වූ අතර ටුලිවර් වරුන් පවුලේ සාදයක් පවත්වන්නට සූදානම් වූහ. එයට විශේෂයෙන්ම හේතු වූයේ ටොම් ව නව පාසැලකට යැවීම පිළිබඳව ටුලිවර් මහත්මියට සිය සොයුරියන්ගේ අදහස් දැනගැනීමට උවමනා වීමය. ඇගේ සොයුරියන් තිදෙනාම විවාහක වූ අතර, නමින් ග්ලෙග් මහත්මිය, පුලට් මහත්මිය සහ ඩීන් මහත්මිය වූහ. මෙවර ඩීන් මහත්මියට ආරාධනය කිරීමට ටුලිවර් මහත්මිය එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. "එයා හරිම ඉරිසියයි," ඇය කීවාය, "හැම තිස්සෙම මගෙ අහිංසක දරුවන්ගෙ වැරදි හොයනවා."

"ඔව්, ඔව්, මං දන්නවා," ටුලිවර් මහතා කීවේය, "ඒත් එයාටත් එන්න කියන්න. මට ලඟඳි ඩීන් මස්සිනා එක්ක කතා බහ කරන්නත් බැරි උනා. මාස හයකින් විතර අපි හම්බ උනේ නෑනේ. එයා මොනවා කිව්වත් මොකද? එයාගෙ ලූසී තරම්ම අපේ දරුවො දෙන්නා හොඳයි."


එබැවින් ග්ලෙග් පවුල, පුලට් පවුල මෙන්ම ඩීන් පවුලද සාදයට ආරාධනා ලැබූහ. පළමුවෙන්ම පැමිණියේ ග්ලෙග් පවුලය. ටුලිවර් මහත්මිය ඇතුළු සොයුරියන් පිරිස සැබැවින්ම සුන්දරත්වයට උරුමකම් කී පවුලකට අයත් විය. ග්ලෙග් මහත්මිය පැමිණ ටුලිවර් මහත්මියගේ ඇඳි පුටුවේ අසුන් ගත් විට, පනස් හැවිරිදි කතක් වශයෙන් ඇයට ඇත්තේ ඉතාම සුන්දර මුහුණක් හා සිරුරක් නොවනා බව කිසිවෙකුට පැවසිය නොහැකි විය. නමුත් ටොම් හා මැගී ඒ කිසිවක් ගැන සැලකුවේ නැත. ඔවුන්ගේ ග්ලෙග් නැන්දා සෑම විටම සෑම දෙයක්ම විවේචනය කළාය. ඇයට කිසිවෙකු ගැන පැවසීමට කිසිදු යහපත් දෙයක් නොතිබූ අතර, ඇගේ මුහුණේ ඉරියව් වල ඇති අප‍්‍රසන්න බව නිසාම ළමුන් දෙදෙනා ඈ වෙතින් සුන්දරත්වයක් දුටුවේ නැත. මෙදින, ඇය නරක හාස්‍ය රසයක් සිය හැසිරීමට එක් කරගෙන ඇති බව පෙනෙන්නට තිබූ අතර, එය දවස ගත කිරීමට එතරම් ප‍්‍රසන්න වාතාවරණයක් සැලසූවේ නැත.


වාසනාවකට මෙන්, ඇයට කිසිවක් පවසන්නට ඉඩක් ලැබෙන්නට පෙර, පිටතින් කරත්තයක හඬ ඇසෙන්නට වූ අතර ටුලිවර් මහත්මිය සිය පුලට් සොයුරිය පිළිගැනීම පිණිස වහා පිටතට දිව ගියාය. සිය සොයුරිය වූ පුලට් මහත්මිය සමග උඩු මහළට යාමටත්, ඇගේ හිස් වැස්ම හොඳින් නිරීක්ෂණය කරන අතරේ ඇඳුම් පැළඳුම් ගැන කතාබහ කිරීමටත් ටුලිවර් මහත්මිය බෙහෙවින් ආශා කළාය. මෙම බොළඳ ක‍්‍රියාව, නිරන්තරයෙන් ග්ලෙග් මහත්මියගේ ගර්හාවට ලක් විය. 


තමා විසින් ලබා දෙන ලද ඉවත දමන ඇඳුමින් මැගීව සරසන්නට එකඟ නොවීමට තරම් ටුලිවර් මහත්මිය ආඩම්බර වීම ග්ලෙග් මහත්මියට නුරුස්සන්නක් විය. ඉඳ හිට මිලදී ගෙන දෙන සපත්තු කුට්ටමක් හැරුණු කොට එම දරුවාට වෙනත් කිසිවක් අළුතෙන් මිලට ගෙන දීම අපරාධයක් ලෙසින් ඇය සැලකුවාය. එහෙත් මෙම කාරණාව සම්බන්ධයෙන් කෙසේ හෝ ඇය සිය සොයුරිය පිළිබඳව සිතා සිටි අන්දම සැබැවින්ම නිවැරදි නොවීය. මන්ද යත්, ග්ලෙග් නැන්දා විසින් ලබා දෙන ලද පිදුරු තොප්පියක් හා වර්ණ ගල්වන ලද සේද ගවුමක් මැගීට ඇන්දවීමට ටුලිවර් මහත්මිය වරක් දැඩි උත්සාහයක යෙදුණු බැවිනි. එහෙත් ඇය අසාර්ථක විය. ගවුම දැඩි කෘතිම වර්ණ ගන්ධයකින් යුතු වූ බවට පැමිණිලි කළ මැගී එය හැඳි පළමු ඉරිදාවේම එහි ඉදිරිපස පුරා හොදි හලා ගත්තාය; එම සැලැස්මේ සාර්ථකත්වය දුටු ඇය ඉන් පසුව හිස් වැස්ම දියෙන් පිරී තිබූ අශ්ව ඔරුවට අත හැරියාය. එය පැලැඳ සිටිනා විට ඇය මහළු කාන්තාවක් ලෙසින් දිස් වන බව පවසමින් ටොම් සිනාසුණු බැවින් ඇයට එවැන්නක් කිරීමට සිතීම පුදුමයක් නොවීය.


පුලට් නැන්දාද තෑගි වශයෙන් ඇඳුම් ලබාදුන් නමුත් ඒවා මැගී මෙන්ම ඇගේ මවද සතුටට පත් කිරීමට සමත් වීය. සිය සොයුරියන් අතුරින් ටුලිවර් මහත්මිය වඩාත් අගය කළේ පුලට් මහත්මියව ය. මැගී සහ ටොම්ද පුලට් නැන්දාට ලැදි වූ අතර එයට ප‍්‍රධානතම හේතුව වූයේ ඇය ඔවුන්ගේ ග්ලෙග් නැන්දා මෙන් නොවීමය. පුලට් මහත්මිය සෑම විටම ටුලිවර් දරුවන් ඇගේ ඩීන් සොයුරියගේ දරුවා වූ ලූසී තරම් පියකරු නොවීම සම්බන්ධයෙන් අනුකම්පා කළ නමුත්, ලූසීට කිසිදු විශේෂත්වයක් නොදැක්වීමටද වග බලා ගත්තාය. සැබැවින්ම, සොයුරියන් සිව් දෙනා අතුරින් කෙට්ටුම සහ පැහැයෙන් අඳුරුම පෙනුමකින් යුතු වූ ඩීන් හට එවැනි දරුවෙකු ලැබීම පුදුමයක් විය. ඈ දකින  ඕනෑම කෙනෙකු සිතනු ඇත්තේ ඇය ටුලිවර් මහත්මියගේ දරුවෙකු බවය. එසේම මැගීගේ පෙනුම, ඇගේ සාමාන්‍ය පෙනුමට වඩා දෙගුණයක් අඳුරු බවකින් යුතුව ඈ ලූසී අසළදී සිටිනා විට දිස් විය.


සිය ඥාති සොයුරිය පිළිගැනීමට ටොම් සමග මිදුලේ සිට පැමිණි මොහොතේද ඇගේ පෙනුම එසේම විය. නොසැලකිල්ලෙන් සිය හිස්වැස්ම ගලවා දමා කැරලි රහිත අවුල් වූ හිස කෙසින් යුතුව ඉක්මන් ගමනින් පැමිණි මැගී සිය මව අසළට වී සිටි ලූසී වෙත ආවාය. ඔවුන් දෙදෙනා රළු, අඳුරු, පමණට වඩා වැඩුණු බලූ පැටවෙකු සහ සුදු පූස් පැටවෙකු මෙන් දිස් වූහ. මැගීට හාදුවක් දීම පිණිස ලූසී රෝස කැකුළක් බඳු වූ සිය හුරුබුහුටි කුඩා මුව දිගු කළාය. ඇගේ සෑම දෙයකම පිළිවෙලක් විය - කොරල් පබළු වැළකින් සැරසුණු කුඩා රවුම් ගෙල; කෙළින් පිහිටි කුඩා නාසය; තමාට වඩා අවුරුද්දකින් පමණක් වැඩිමහල්, නමුත් අඟල් ගණනාවකින්ම තමන්ට වඩා උස් වූ මැගී දෙස ලැජ්ජාව මුසු සතුටකින් බලා සිටිනා ඇගේ රතු දුඹුරු පැහැති දෑසට මනා ලෙස ගැලපුණු, ඇගේ හිසකෙස් කැරළි වලට වඩා මඳක් අඳුරු වූ පැහැදිලි කුඩා ඇහි දෙබැම.


"ලූසී!" ඇයට හාද්දක් දීමෙන් අනතුරුව මැගී එක්වරම කතා කළාය. "ඔයා අපිත් එක්ක ටික දවසක් ඉන්නවා නේද?"


නමුත් ලූසීට පිළිතුරක් දීමට ඉඩක් ලැබෙන්නට පෙර ග්ලෙග් නැන්දා මහ හඬින් කතා කළාය: "හනේ හනේ! නැන්දලා මාමලා ඇවිත් ඉන්න බව නොදැක මේ ළමයි මෙහෙමත් හැසිරෙනවද? මංනං පොඩි කාලෙදි එහෙම හැදුණෙ නෑ."

"ගිහිං ඔයාලගෙ නැන්දලා මාමලාට කතා කරන්න මගෙ දරුවනේ," කලබලයට පත් ටුලිවර් මහත්මිය කීවාය. මැගීට කාමරයට ගොස් හිස පීරාගන්නා ලෙසටද පැවසීමට ඇයට උවමනා වූ නමුත් ඇයට ඒ සඳහා ඉඩක් ලැබුනේ නැත. 


"මගෙ පැටවුනේ, ඔයගොල්ලො ඉක්මනට ලොකු වෙලානේ. ඒත් මං හිතන්නේ දුවගෙ කොණ්ඬේ තව ටිකක් අඩු උනානං හොඳයි," පුලට් නැන්දා ඔවුන්ගේ හිස් මතින් ඔවුන්ගේ මව දෙස බලා කීවාය. "එතකොට එයාගෙ හමට ටිකක් එළිය වැටෙයි, නේද ඩීන් අක්කේ?"


"මංනං හිතන්නෙ නෑ," දෙතොල් තදින් පියාගෙන මැගී දෙස විවේචනාත්මක බැල්මක් හෙලමින් ඩීන් මහත්මිය පිළිතුරු දුන්නාය.


එම මොහොතේ මැගී භයානක තීරණයක් ගත්තාය. නමුත් එය ක‍්‍රියාත්මක කිරීමට පළමුව ඩීන් නැන්දා ලූසීව ඔවුන් හා නතර කිරීමට කැමතිදැයි දැනගැනීමට ඇයට උවමනා විය; ඇය ඔවුන් බැලීමට ලූසීව කැඳවාගෙන එන්නේ ඉතාම කලාතුරකිනි. අකැමැත්ත පළ කිරීමට විවිධ හේතු ඉදිරිපත් කළ ඩීන් මහත්මිය අවසානයේදී ලූසීගෙන්ම අකැමැත්ත ලබා ගැනීමට උත්සාහ ගත්තාය. 


"ඔයා අම්මා නැතුව ඉන්න කැමති නෑ නේද ලූසී?" ඇය ඇසුවාය.


"අනේ අම්මා, මං ඉන්නංකෝ," කුඩා ගෙල වටා මුළුමණින්ම රෝස පැහැ ගැන්වෙද්දී ලූසී පැකිලෙමින් කීවාය.


"අන්න හරි ලූසී! එයා හිටපුදෙං නෝනා, එයා හිටපුදෙං!" ප‍්‍රබෝධමත් පෙනුමකින් හා තරබාරු සිරුරකින්ද, මුඩු හිසකින් හා රතු වන් උඩු රැුවුලකින්ද යුතු වූ ඞීන් මහතා කීවේය. ශාන්ත ඔග්ස් හි ඔහුට වඩා උසස් ලෙස පිළිගැනුණු වෙනත් අයෙකු නොවීය. සුප‍්‍රසිද්ධ මෝල්-හිමි, නැව්-හිමි ව්‍යාපාරයක් වූ ගෙස්ට් සහ සමාගමේ ඉහළ තනතුරක් දැරූ ඔහු වසර කිහිපයක් ගත වීමට මත්තෙන් එහි හවුල්කරුවෙකු වනු ඇති බව මිනිසුන්ගේ විශ්වාසය විය.


"මැගී," සිය දියණියට හිස වනා ලඟට කතා කරමින් ටුලිවර් මහත්මිය කීවාය. "දැම්මම ගිහින් කොණ්ඩෙ පීරගෙන එන්න. මං කිව්වනෙ ඔයාට මාර්තා ලඟට ගිහිං මිසක් මෙතනට එන්න එපා කියලා."


"අයියේ, එන්න මාත් එක්ක," මවට කීකරු වී සාලයෙන් පිටව යන අතරේ අසළ සිටි සිය සොයුරාගේ කමිස අතින් අදිමින් මැගී කීවාය. ටොම්ද ඉතාම කැමැත්තෙන් ඈ පසුපසින් ගියේය. "උඩට යං මාත් එක්ක," දොරින් පිට වූ විගස ඇය සිය සොයුරාට කීවාය. "කෑමට කළින් මට කරන්න වැඩක් තියෙනවා."

"කෑම වෙලාවට කළින් මුකුත් කරන්න දැං වෙලාවක් නෑ," ටොම් කීවේය.


"අපෝ මේ වැඩේට  ඕන තරම් වෙලාව තියෙනවා - එන්නකො."
මැගී පසුපසින් ඔවුන්ගේ මවගේ කාමරය වෙත ගිය ටොම්, ඇය නොපමාව ලාච්චුවක් වෙත ගොස් එතුළින් විශාල කතුරක් පිටතට ගන්නා අයුරු බලා සිටියේය.


"ඒක මොකටද?" ඔහු කුතුහලයෙන් විමසුවේය.


සිය ඉදිරිපස කෙස් රොදක් ඉදිරියට ඇදගෙන නළල ඉදිරියෙන් එය 'සරස්' ගා කපා දැමීමෙන් ඇය පිළිතුරු ලබා දුන්නාය.


"ඒයි මැගී! ඔයාට බැණුං අහගන්න වෙයි!" පුදුමයට පත්ව සිටි ටොම් මුරගෑවේය. "ඔයා තව නොකපා හිටියොත් හොඳයි!"


සරස්! ටොම් කතා කරගෙන යන අතරේ කතුර නැවතත් හඬ නැගුවේය. එය මහත් විනෝදජනක ක‍්‍රියාවක් බව නොසිතා සිටීමට ටොම්ට අපහසු විය. මැගීගේ පෙනුම විකාරයක් වනු ඇත!
 

"මෙන්න අයියේ, පිටිපස්සේ ටික කපන්න," තම නිර්භීත බව පිළිබඳව කුල්මත් සිතින් හා පටන්ගත් ක‍්‍රියාව ඉක්මණින් අවසන් කිරීමේ උවමනාවෙන් යුතුව මැගී කීවාය.

"ඔයාට බැණුං අහන්න වෙයි, දන්නවද," මඳ පැකිලීමකින් යුතුව කතුර සිය‘තට ගනිමින් ටොම් නැවතත් කීවේය.


"ඒකට කමක් නෑ, ඉක්මණට!" අඩිය සෙමින් පොළොවේ ගසමින් මැගී කීවාය. ඇගේ දෙකොපුල් බොහෝ සෙයින් රතුව තිබුණි.




කලූ හිසකෙස් ඉතාම ඝන බවින් යුතු විය - ටොම්ගේ වයසේ වූ කොළුවෙකුට එයටත් වඩා විනෝදජනක කටයුත්තක් තිබිය නොහැක! එය පෝනියෙකුගේ වලිගය කපා දමන්නාක් මෙනි! හොඳින් කතුරට හසු කරගත් කෙස් වැටිය එක් වරක් හුරුබුහුටි ලෙසින් කැපී යයි, අනතුරුව තවත් වරක් සහ තවත් වරක්! දිගු කෙස් තීරු එක මත එක බිම පතිත විය. එක් එක් පැත්තෙන් එක් එක් ප‍්‍රමාණයෙන් හිස කෙස් කැපී යද්දී සැහැල්ලූ හා නිදහස් සිතින් යුතුව මැගී බලා සිටියාය.

"හයියෝ මැගී," සිනහව වළක්වාගත නොහැකිව සිය දණහිස් වලට තට්ටු කරන අතරේ ඈ වටා උඩ පනිමින් ටොම් කීවේය. "ඔයානං හරිම විකාරයක් වගේ!"


මැගී එක්වරම කලබලයට පත් වූවාය. ඇය මුලින් කල්පනා කළේ කරදරකාරී කොණ්ඩයෙන් සහ ඒ පිළිබඳව නැගෙන කරදරකාරී විවේචන වලින් ගැලවීම පිළිබඳව පමණි. නමුත් දැන්, ටොම් ඇයට සිනාසෙන්නට පටන්ගත් විට තත්ත්වය වඩා වෙනස් බව ඇයට වැටහුණි. ඇය කණ්ණාඩිය දෙස බැලූ අතර, එතෙක් රත් පැහැ ගැන්වී තිබූ ඇගේ මුහුණ සුදුමැලි වී දෙතොල් වෙවුලන්නට පටන්ගත්තේය.
 

"මට හිනාවෙන්න එපා අයියේ," කෝපයෙන් නැගුණු කඳුළු වලින් යුතුව ඇය ආවේගශීලී හඬකින් කීවාය. අඩි පොළොවේ හැප්පූ ඇය කේන්තියෙන් ඔහුව තල්ලූ කළාය.

"ඒයි, ගිනි බෝම්බෙ!" ටොම් කීවේය. "ඔයා මොකටද එහෙනං  ඕක කපලා දැම්මෙ? මං පහළට යනවා. කෑම සුවඳ දැනෙනවා."


මැගී සෑම දිනකම පාහේ ලබන අත්දැකීමක් වූ නැවත නිවැරදි කළ නොහැකි සිදුවීමක අමිහිරි වාතාවරණය තුළ ඇයව හුදෙකලා කොට ටොම් ඉක්මන් ගමනින් තරප්පු පෙළ බැස ගියේය. සිදු වූ දේ සිදු වී අවසන් බවත්, එය ඉතාම අනුවණ ක‍්‍රියාවක් බවත්, ඇගේ කොණ්ඩය පිළිබඳව පෙරටත් වඩා දරා සිටින්නට අපහසු කතා පැන නැගෙනු ඇති බවත් ඇය පැහැදිලිව වටහාගත්තාය. කැටපත ඉදිරියේ හිඳ හඬමින් ඇය තමාට රාත‍්‍රී කෑම මේසයට සහභාගි විය නොහැකි බවත්, එහිදී ඇගේ නැන්දලාගේ අවඥාසහගත වදන් සහ මුහුණු වලට මුහුණ දිය නොහැකි බවත්, ඒ අතරේදී සිය සොයුරාත්, ලූසීත්, මේසයේ කටයුතු පිළියෙළ කරන සේවිකාව වූ කෙසියාත්, ඇතැම් විට ඇගේ පියා සහ මාමාවරුත් ඇයට සිනාසෙනු ඇති බවත් ඇය කල්පනා කළාය. ඇයට හඬනවා හැරෙන්නට වෙන කළ හැක්කේ කුමක්ද?

"මැගී, පුංචි නෝනා, පහළට එන්න කිව්වා," මේ මොහොතේ එසේ කියමින් ඉක්මන් ගමනින් කාමරය තුලට පිවිසියේ කෙසියාය. "දෙයියනේ! මේ මොනවද කරලා තියෙන්නේ? මේ තරං භයානක දෙයක් මං කවදාවත් දැකලා නෑ."


"යන්න කෙසියා; මට කෑම  ඕනෙ නෑ," මැගී කීවාය. "මං එන්නෙ නෑ."

"හොඳයි එහෙමනං, මට මෙතන නතර වෙලා ඉන්න වෙලාවක් නෑ. මට මේසෙ ගැන බලන්න යන්න තියෙනේවා," කෙසියා කීවේ නැවත පිටව යන අතරතුරේදීය.

"මැගී, මෝඩ කෙල්ල," ඉන් විනාඩි දහයකට පසු කාමරයට එබෙමින් ටොම් කතා කළේය. "ඇයි ඇවිල්ලා කෑම කන්නෙ නැත්තෙ? රස ජාති ගොඩාක් තියෙනවා, අම්මා කිව්වා ඔයාට එන්න කියන්න කියලා. කස්ටඩ් තියෙනවා - තව කජු, වයින් එහෙමත් තියෙනවා."

මැගී සැබැවින්ම දැඩි කුසගින්නකින් පෙළුනු බැවින් ඇයට මෙය ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. ඇගේ විසිරුණු කෙස් අතුරින් නැගී සිටි ඇය සෙමින් පහත මාලය කරා බසින්නට වූවාය. කෑම කාමරය වෙත ගිය ඇය හිස්ව තිබූ තම අසුන වෙත ගියාය. එහෙත් එහි හිඳගත් සැනින් ආපසු උඩුමහළට දිව යන්නට ඇයට සිතුණි.
 

ඇය දැකීමෙන් තිගැස්සුණු හඬක් මුවින් පිටකළ ටුලිවර් මහත්මියගේ අතේ තිබූ හොදි පිරුණු හැන්ද මේස රෙද්ද පුරා හොදි විසිරුවමින් නැවත බඳුන තුළට වැටුණි. සෑම දෙනාම ඇය දෙස බලන අතරේ සුදු පැහැති හිස කෙසින් හා කරුණාවන්ත පෙනුමකින් යුතු ග්ලෙග් මාමා කතා කළේය, "මෙන්න! මේ කවුද මේ ගෑණු ළමයා? මං අඳුරන්නෙ නෑනේ. ඔයා පාරෙ ඉඳලා එක්කං ආපු කෙනෙක්ද කෙසියා?"

"එයා තනියම කොණ්ඩෙ කපාගෙන," නිහඬව සිනාසෙමින් ටුලිවර් මහතා පහත් හඬින් ඩීන් මහතාට පැවසුවේය. "මේ වගේ පුංචි නෝනා කෙනෙක්ව වෙන දැකලා තියෙනවද?"


"බලන්නකෝ පුංචි නෝනා, ඔයා හරිම විහිළුවක් වෙලානේ," පුලට් මාමා කී අතර එය ඔහුගේ ජීවිත කාලය තුල ඔහු පැවසූ වඩාත්ම හිත් රිදවන ප‍්‍රකාශය වන්නට ඇත.


"මොන ලැජ්ජාවක්ද!" ග්ලෙග් නැන්දා කීවාය. "තමුංගෙම කොණ්ඩෙ කපාගන්න ගෑණු ළමයින්ට වේවැල් පාර දීලා පානුයි වතුරයි විතරක් කන්න බොන්න දෙන්න  ඕනේ."


"හරි හරි," විසුළු ස්වරයෙන් ග්ලෙග් මාමා කීවේය. "එයාව හිරේ යවන්න  ඕනේ. එහෙදි එයාගෙ ඉතුරු කොණ්ඩෙ ටිකත් කපලා දායි!"


මැගීට දැනුණේ තමා දෝෂාරෝපණ අත්වැල් ගායනයකට සවන් දී සිටින්නාක් මෙනි. වේදනාවෙන් බර වූ හදවතින් යුතුව අසුනින් නැගී සිටි ඇය සිය පියා වෙත දිව ගොස් ඔහුගේ උරහිසේ මුහුණ සඟවාගෙන මහ හඬින් හඬන්නවට විය.
 

"ඔන්න ඔන්න මගේ පුංචි කෙල්ල," ඇය වටා දෑත යවමින් පියා කරුණාවන්ත හඬින් කතා කළේය. "ඒවා ගණං ගන්න එපා; කොණ්ඩෙ ඔයාට කරදරයක්නං ඔයා ඒක කපලා දාපු එක හරියටම හරි. අඬන්න එපා; තාත්තා ඔයාගෙ පැත්තෙනේ."

මිහිරිතම මෘදු වදන්! ඇගේ පියා මෙලෙස ‘ඇගේ පැත්ත අරගත්‘ අවස්ථා කිසිවක් ඇය කිසිදා අමතක කළේ නැත; ඒවා සිය හදවතේ තැන්පත් කරගත් ඇය වසර ගණනාවකට පසුව වුවද ඇගේ පියා සිය දරුවන් පිළිබඳව නොතැකූ බවක් අන්‍යයන් පවසද්දි ඒ පිළිබඳව සිහිපත් කළාය.


එලෙස එදින තව දුරටත් බැණුම් හා සමච්චල් වලින් මැගී ගැලවුණු අතර, ඉක්මණින්ම සිය කරදර අමතක කර දමා ඇයද, ටොම් හා ඔවුන්ගේ ඥාති සොයුරිය වූ ලූසීද සතුටින් මිදුලේ සෙල්ලම් කරමින් සිටියෝය.



- මතු සම්බන්ධයි -




8 comments:

  1. ඔය "මතු සම්බන්ධයි" කියන වචන දෙක තියනවා නේද ..?




    ඔහෙ තිබුණාවෙ ඉතිං මොනව කරන්ඩද.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, ඒක නැතුව මේ කතාව ලියන්න විදිහක් නෑනේ. :)

      Delete
  2. දිගටම කියවන්න ආස හිතෙන කතාවක්... ඊලඟ කොටසත් ඉක්මනින් දාන්නකෝ...

    ReplyDelete
  3. නෑදෑකමේ නම් පොඩි අවුලක් තියනව ගොයියෝ....අම්මගෙ සහෝදරියො ඇවිල්ලා නැන්දල නෙවෙයි නේද? එක්කො ලොකුඅම්මල නැත්නම් පුංචි අම්මල..

    මම උපකල්පනය කරනව එහෙම ලියන එක අපහසු හින්ද ඔයා චේතනාන්විතවම නැන්දල කියල ලිව්වයි කියල...:)

    ReplyDelete
    Replies
    1. මේ වතාවෙදිනං අයියගේ උපකල්පනය තමයි හරි. ලියන මට කොහොම වෙතත් කියවන අයට ඒක අපහසුවක් වෙයි කියලා මට හිතුණා. කොහොමද මාතෘකාව 'ලොකු අම්මලා - පුංචි අම්මලා සහ මහප්පලා බාප්පලාගේ පැමිණීම' වුනානං.:D

      ස්තූතියි අයීයේ. :)

      Delete
  4. මේ මොකද මූණයි නමයි විතරක් අලෝලා? කෝ කමෙන්ට් එක?

    ReplyDelete