39. සොඳුරු මිනිසෙකු ගැන සොඳුරු පොතක්...

මේ මා කියවූ ආදරණීයතම පොතකින් උපුටාගත් කොටස් කීපයක සිංහල පරිවර්තනයන්... පොත The Notebook... ලිව්වේ Nicholas Sparks...



...මාගේ කිසිඳු විශේෂත්වයක් නොමැත, ඒ බව මම හොඳින්ම දනිමි. මම සාමාන්‍ය සිතුවිලි ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කළ සාමාන්‍ය පුද්ගලයෙක්මි. මගේ නමට වෙන් වූ ස්මාරක කිසිවක් නොමැති අතර මගේ නාමය ඉක්මණින්ම අතීත මතකයන්ගෙන් තුරන්ව යනු ඇත. නමුත් මගේ මුළු හදවතින්ම සහ ආත්මයෙන්ම මම කෙනෙකුට ආදරය කළෙමි. එය මට සෑම විටම ප්‍රමාණවත් වනු ඇත...

...ඔහු නෙත් කොණෙන් ඈ දෙස බලා සිටියේය. දෙවියනේ, එයා හරිම ලස්සනයි, ඔහු සිතුවේය. ඇතුළතින් ඔහුගේ හද රිදුම් දුන්නේය. රෑ කෑම වේල අතරතුර සිදු වූ යමක් නිසා ඔහුගේ හද රිදුම් දුන්නේය. සරලවම, ඔහු නැවතත් ආදරයෙන් බැඳී ඇත. ඈ අසළ වාඩි වී සිටි එම මොහොතේ ඔහු එය තේරුම් ගත්තේය. ඇගේ මතකය සමග පමණක් නොව ජීවමාන ඈ සමගද ඔහු නැවතත් ආදරයෙන් බැඳී ඇත. නමුත්, එසේම, තමා කිසිදා ඇයට ආදරය කිරීම නවතා නොතිබූ බවද ඔහු ඒ සමගම තේරුම් ගත්තේය...

...මගේ හදවත කවියෙකු විසින් ඇද බැඳ ගත් අතර, එය සැමදාටම ඔහුගේම, ඔබගේම වී තිබූ බව මට වැටහුණි. වල්ගා තරු මත නැගී යන, ගං දිය මෙන් රැළි නගන ආදරයක් පිළිබඳව පැන විමසීමට මා කවුරුන්ද? අප අතර වූයේ එවැනි ආදරයකි. අදද අප අතර ඇත්තේ එවැනි ආදරයකි...

...අප එක්ව ගත කළ දිවිය ඉතාම සොඳුරුය, මේ අවධියේදී මම ඒ ගැන වැඩියෙන් සිතමි. ඇතැම් විට මා දෑස් පියාගත් විට හිස කෙස් තැනින් තැන අළු පැහැයට හැරී ඇති ඔබ ආලින්දයේ පුංචි එවුන් අත්පොඩි තලනා අතර ගිටාරය වයනා අයුරු මට මැවී පෙනේ. දිගින් දිගටම වැඩ කිරීමෙන් ඔබේ ඇඳුම් කිලිටි වී ඇත, ඔබ වෙහෙසට පත්ව ඇත. නමුත් ඔබට විවේක ගන්නා ලෙස මා පවසද්දී සිනාසෙන ඔබ, 'මං ඒක තමයි දැං කරන්නේ,' යැයි පවසයි. ඔබ දරුවන් කෙරෙහි දක්වන ආදරය ඉතාමත් අපූර්ව හා වචනයෙන් කිව නොහැකි අන්දමේ උත්තරීතර බැඳීමකින් යුක්ත වෙයි. 'ඔයා හිතනවාටත් වඩා හොඳ තාත්තා කෙනෙක් ඔයා,' දරුවන් නින්දට ගිය පසු මම ඔබට පවසමි...

...මා ඔබට ආදරය කරන හේතු කිහිපයක්ම ඇත. ඔබ හදවතින්ම ආශා කළ විවිධ දෑ එයින් ප්‍රධානයි. ජීවිතයේ බොහෝ සොඳුරු දෑ ඒ හා සමග බැඳී තිබුණි. ආදරය, කවි, පීතෘත්වය, මිතුදම, සුන්දරත්වය, සොබා දහම. ඔබ එම දේවල් අපගේ දරුවන්ටද කියා දීම ගැන මම සතුටු වෙමි. ඔවුන්ගේ ජීවිතය එමගින් වඩාත් සාර්තක වූ බව මට සහතිකය. ඔබ ඔවුනට කෙතරම් සුවිශේෂී කෙනෙකුදැයි ඔවුන් මට කියයි. ඔවුන් එසේ පවසන සෑම විටකම ලෝකයේ වාසනාවන්තම ගැහැණිය මා බව මට සිතේ...

...ඔබ මගේ ආදරවන්ත සැමියා මෙන්ම මගේ හොඳම මිතුරාද වෙයි. ඔබ තුළ සිටිනා එම පුද්ගලයන් දෙදෙනාගෙන් මා වඩාත් ප්‍රිය කරන්නේ කවරෙකුටදැයි මම නොදනිමි. මට අප එක්ව ගෙවූ ජීවිතය තරමටම ඔවුන් දෙදෙනාවම වටින්නේය...

...ඔබ තුළ මා දුටු වටිනාම, එසේම සුන්දර හා ඉතා ශක්තිමත් දෙයක් ඇත. ඒ ඔබේ කාරුණික බවයි. මා ඔබ දෙස බලනා විට ඔබ තුළින් මා දකින්නේ එයයි, සැම දෙනාම ඔබ තුළින් දකින්නේ එයයි. කාරුණික බව. මා දන්නා සමාව දීමේ ඉහළින්ම සිටින සාමකාමීම, එසේම ඉවසිලිවන්තම තැනැත්තා ඔබයි. දෙවියන් ඔබ සමග සිටිනවා, ඔහු ඔබ හා සිටිය යුතුයි, මන්ද, මා දුටු දේව දූතයෙකුට වඩාත්ම සමානකම් කියන තැනැත්තා ඔබයි...

...මා ඔබට ආදරේ බවත්, සැමදා ආදරය කරන බවත් තේරුම් ගන්න. කුමක් සිදු වුවද, මා හට ගත කළ හැකි හොඳම ජීවිත කාලයක් මා ගත කර ඇති බව තේරුම් ගන්න. ඔබ හා ගෙවූ කාලය. ඔබ මෙම ලිපිය සුරැකිව තබා ගතහොත්, මා මේ ඔබට ලියනා දෑ විශ්වාස කරන්න. ඔබ කොතැනක සිටියද, මෙය කොතැනක තිබුණද, මම ඔබට ආදරය කරමි. මෙය ලියන මොහොතේ මම ඔබට ආදරය කරමි, ඔබ මෙය කියවන මොහොතේ මම ඔබට ආදරය කරමි. මගේ දයාබර හිමියණි, මම ඔබට ඉතාමත් දැඩි සේ ආදරය කරමි. ඔබ අදටත්, හැමදාටමත් මගේ සිහිනයයි...



පිදුම - මේ කියමන්හි යතාර්ථය සැමදා මා හට පසක් කරනා මගේ ආදරණීය හිමියන්ට... මගේ සොඳුරු සිත්තරාට...


11 comments:

  1. පොත කියවන්න හිත හදාගන්න බැරිවුනේ සිත්තමේ සොඳුරු බව නිසා
    (ගොඩක් වෙලාවට පොත සිනමා සිතුවමට වැඩිය ලස්සනයි..එතකොට පොතේ චිත්ත රූප කාබාසිනියා කරපු සිනමා සිතුවම ගැන තියෙන්නෙ කල කිරීමක්)

    ලස්සන උපුටාගැනීමක් සිත්තමී..පුළු පුළුවන් වෙලාවට පොත පිළිවෙලට පරිවර්ථනය කරන්න බැරිද?..පොඩ්ඩි කරනවා වගේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත රූ. මමත් කියවපු හුඟාක් පොත් වලින් හැදුණු සිනමා කෘති ඇත්තටම පොතට අසාධාරණයක් කරලා තිබුණ අවස්ථා බොහොමයි. Nicholas Sparksගේම 'A Walk to Remember' පොතෙන් හැදුණ චිත්‍රපටයේත් ඒ අඩුව තිබුණා. ඒක මට තදින්ම දැනුණේ කාල වකවානුවේ වෙනසත් එක්කයි. ඒත් මට හිතෙන හැටියට මේකට එහෙම වෙලා නෑ. පොත වගේම සිනමා නිර්මාණයත් මගේ හදවතේ ගැඹුරුම තැනට කතා කරන්න සමත් උනා. ඇත්තම කිව්වොත් පොතේ අවසානයට වඩා සිනමා නිර්මාණයේ අවසානය හදවතට තදින්ම දැනුණා.

      පරිවර්තනය කරන්න නේද? :) මට එහෙමනම් කොටස් කීපයකම කොටු කොටු තමයි දාන්න වෙන්නේ. :D

      ගොඩාක් ස්තූතියි රූ කොමෙන්ටුවට...

      Delete
  2. //සරලවම, ඔහු නැවතත් ආදරයෙන් බැඳී ඇත. //
    සරලව හදවතක් කතා කර ඇත.

    මම ආසම 'සොඳුරු' මිනිසෙකුගේ 'සොඳුරු' පොතක මතකයක් ඔයා අවුස්සලා.

    'පිදුම' ඇස්වලට කඳුලු ගෙනාවා.

    ඔය දෙන්නාගේ ආදරයත් මේ විදියේ සොඳුරු එකක්ම වේවා සිත්තමී!!!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි පොඩ්ඩි අක්කේ. ඔයාගෙයි ඔයාගෙ අහවලාගෙයි (අනේ මෙයාට මීට වඩා ලස්සන නමක් දාන්නකෝ) කතාන්දරයත් පරම්පරා ගණනාවක් යනකල් කතා කරන්න පුළුවන් inspirational love story එකක්ම වේවා! :)

      Delete
  3. තරහ අවසර..පොඩි දෙයක් කියන්න ඕන නඟේ...

    / වල්ගා තරු මත නැගී යන, ගං දිය මෙන් රැළි නගන ආදරයක් පිළිබඳව පැන විමසීමට මා කවුරුන්ද? අප අතර වූයේ එවැනි ආදරයකි. අදද අප අතර ඇත්තේ එවැනි ආදරයකි… /

    මේ ටික Notebook පොතේ තියෙන්නෙ මෙහෙමයි...

    / Who was I to question a love that rode on shooting stars and roared like crashing waves? For that is what it was between us then and that is what it is today. /

    මෙහෙම ලිව්වනම් මොකද ඒ ටික?.....:)

    රාත්‍රියෙහි අහස ඒකාලෝක කරමින් දැල්වෙන මිහිබට තරුවක් මෙන් දිදුලන ආදරයක්.මුහුදෙහි රල නඟන ඝෝෂාව මෙන් අපරිමිත වූ ආදරයක්, ඔබ සහ මම අතර පැවතියේ එවන් ආදරයකි. පවතිනුයේද එවන් ආදරයකි. එවන් වී අනුපමේය අදරයක් පිළිබඳ සැක පහල කල හැක්කේ කෙලෙසකද? එසේ කිරීමට මම කවුරුන්ද?

    ReplyDelete
    Replies
    1. හරියටම පරිවර්තනයක් කරන්න ඕනේ කොහොමද කියලා අයියා පෙන්නලා දීලා තියෙනවා. කොයි තරම් ලස්සනද අයියගේ ඒ පරිවර්තනය. මම වචන ටික විතරයි පරිවර්තනය කරලා තියෙන්නේ. අයියා කළා වගේ සම්පූර්ණ තේරුම අරගෙන, පරිවර්තනය වෙන භාෂාවේ ලස්සන ඇතුල් කරලා ලියන එක තමයි හරි විදිහ. මට තව ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා. කියාගන්න බැරි තරම් ස්තූතියි රවි අයියේ හැමදාම මේ දෙන උපදෙස්, ගුරුහරුකම් වලට. :)

      Delete
    2. ඔන්න මං නං විරුද්ධයි.....

      මෙහෙමයි.. එකක අදහස අරං ඒ අදහ්ස වෙන භාෂාවකින් කීමට කියන්නෙ අනුවර්තනය කියලා නේද? මට හිතෙන්නේ රවිගෙ එක අනුවර්තනයක්... මේ දිග නම තියන කෙනාගෙ එක තමා පරිවර්තනයට කිට්ටු...

      පරිවතනයකදී, ආඛ්‍යාන ශෛලිය පවා මුල් කෘතියට අනුව පවත්වාගත යුතුයි කියලා ගාමිණි වියන්ගොඩ මහත්තයා කියලා තිබ්බ මතකයි...

      රවිගෙ භාෂාව භාවිතය ලස්සනයි.. නමුත් අපි ඒ එකතු කරන්නේ මුල් කෘතියේ නැති ලස්සනක්...

      Delete
    3. තිසරව සාදරයෙන් පිළිගන්නවා මේ කවි පොතට... :)

      පරිවර්තනය සහ අනුවර්තනය වෙනස ගැන මට ඒ හැටි ලොකූ අදහසක් නෑ. මම දන්නා තරමින් අනුවර්තනයකදී කතා තේමාව පමණක් පසුබිම් කරගෙන චරිත, සමාජ පසුබිම, කාල වකවානුව ඔය ඕනෑම දෙයක් වෙනස් කරලා ලියන්න පුළුවන්. පරිවර්තනයකදී ඒ නිදහස නෑ. නමුත්, රවි අයියා මේ දක්වලා තියෙන කොටසේ මගේ පරිවර්තනය නිකම්ම වදන් වල පරිවර්තනයක් විතරයි. ඒ වගේ පරිවර්තන සාමාන්‍යයෙන් සාර්ථක නෑ. කියවනකොට රසයක් දැනෙනෙන්නේ නෑ. මට දැනෙන තරමට රවි අයියා ලියපු කොටසෙන් පරිවර්තනයේ රීති කඩ වෙලා නෑ. ඒ මට හිතෙන හැටි. දන්නෙ නෑ මම හරියටම. ගාමිණී වියන්ගොඩ මහත්මයා පැවසූ බවට ඔබ දක්වලා තියෙන කරුණනම් සාධාරණයි.

      /*නමුත් අපි ඒ එකතු කරන්නේ මුල් කෘතියේ නැති ලස්සනක්...*/

      මම මගේ සටහනට යොදාගෙන තියෙන්නේ මුල් කෘතියෙන් තැනින් තැන උපුටගත්තු කොටස් කීපයක්නේ. ඒත් මුළු පොතම, දැහැන් ගත වෙලා කියවගෙන යද්දි මේ කොටස හමුවෙන්නේ ලියමනකදි. ඒ වචන ඇතුළෙන් අපිට දැනෙන්නේ ඇත්තටම රවි අයියා මේ කියලා තියෙන අන්දමේ සෞන්දර්යයක්.

      /*මේ දිග නම තියන කෙනාගෙ එක තමා පරිවර්තනයට කිට්ටු...*/

      බ්ලොග් අවකාශයේ මගේ යාළුවෝ මට කතා කරන්නේ සිත්තමී කියන නමින්. වළව්වේ පොඩි කුමාරිහාමි තමයි මට ඒ නම දැම්මේ මීට අවුරුදු දෙකකට විතර කළින්. ඔයාටත් අවසර තියෙනවා මට ඒ නමින් කතා කරන්න. :)

      ගොඩාක් ස්තූතියි තිසර ඔබේ කමෙන්ටුවට. සමහරවිට රවි අයියාටත් මේකට මොනවාහරි එකතු කරන්න තියෙයි. :)

      Delete
    4. තිසර..මට හිතෙන්නෙ මෙහෙමයි. පරිවර්තනයකදි ලේඛකයා කියන්න හදපුදේ, ඔහු අදහස් කරපුදේ හැකිතරම් දුරට පාඨකයට හැඟෙන විදිහට පරිවර්තනය කිරීමයි පරිවර්තකයගෙ වගකීම. ඉහත ඡේදයෙ Rode on a shooting star කියල ලේඛකයා ලිව්වම ඒක " උල්කාපාතයක් මත නැඟීගිය ආදරයක් " කියලයි හරියටම වචනෙන් වචනෙ පරිවර්තනය කලොත් ලියවෙන්නෙ. ඒත් එහෙම කිව්වම ලේඛකයා අදහස් කලදේ ගම්‍ය වෙනවද?....මට හිතෙන්නෙ නෑ කියල. උල්කාපාතයක් සැනෙකින් නිවී යනව වගේම රාත්‍රී අහසේ ඝනාන්ධකාරය එක් සැණෙකින් දුරු කරල දුටු කෙනෙකුට කිසිදිනක මතකයෙන් බැහැරව නොයන ආලෝකයක් ගෙන දෙනව හාත්පස ඒකාලෝක කරල. මම හිතන්නෙ මෙතන Nicholas Sparkes අදහස් කලේ ඒකයි. ...ඇලීට නෝවාගෙ ආදරය දැනෙන්නෙ හැඟෙන්නෙ අන්න එහෙම....

      එතකොට උල්කාපාතයක කතාවක් කිව්වම ඒ චමත්කාරය එහෙම්මම ලැබෙන්නෙ නෑ පාඨකයට. ඔහුට හෝ ඇයට ඒ විඳීම ඒ Genuine Feeling එක ලැබෙන්නෙ නෑ. ඒත් ඉරබටු තරුවක ආලෝකය කියල කිවම අපෙ ඇඟට දැනෙනව මේ කියන්නෙ මොකක්ද කියල..මම එහෙම යෙදුවෙ අන්න ඒ නිසා..:)

      අනික් උපමාව තමයි මම හිතන්නෙ මෙතන වඩාම ප්‍රබල...මුහුදු වෙරළක ඇහෙන රළ බිඳෙන ඝෝෂාව මොහොතකට මතක් කරගන්න.ඒ ඝෝෂාව හැමවේලේම තියනව. නිරන්තරයෙන්..අනවරතව....අපිට නොදැනුවත්මම අපේ මුළු ජීවිතේම වහගෙන තියෙන්නෙ ඒ ඝෝෂාවෙන්,,ඇලිට නෝවාගෙ ආදරය දැනෙන්නෙ අන්න ඒ වගේ...

      Delete
  4. අනේ හරිම ලස්සනයි...සිත්තරාට දුන්නු 'පිදුම' ඊටත් ලස්සනයි. මේ පොත කියවල නැහැනේ තාම මම...


    PS:
    // දෙවියනේ, එයා හරිම ලස්සනයි//
    හෆ්පා මටත් ඔහොම හිතෙනවා අනේ මෙයාව දැක්කම...*sigh...*swoons

    ReplyDelete
    Replies
    1. මේ පොත කියවලා නෑ කිව්වා??? හපොයි අමා අක්කේ වහාම කියවන්න, වහාම කියවන්න!

      පුදුම බයකින් ඔයාගෙ ලින්ක් එකනම් ඇරියේ ඔන්න. නළුවානං හැඩයි තමා. මගේ යාළුවෙක් ඔය මනුස්සයට වහ වැටුනේ උන්දෑ Young Hercules රඟපාපු කාලේ ඉඳං. එයාගෙ හැඩම පෙනුම මමනං දැක්කේ ඔය පෝස්ට් එකේ උඩින්ම මම දාලා තියෙන්නේ, නෝවාගේ අන්න ඒ කාලේ චරිතයට පණ දෙද්දි. හැබැයි ඉතිං මගේ ප්‍රියතම නළුවාවනම් පරද්දලා නෑ. :)

      Delete