ඔබේ යැයි ඔබ සිතන්නෙහිය
මහ පොළොව ඔබට අජීවී වස්තුවක් පමණි
නමුත් මම දනිමි
සෑම ගලක්ම, ගසක්ම, සෑම සත්වයෙක්ම
ජීවයකින්, ප්‍රාණයකින් හා නාමයකින් යුතු වන බව
ඔබ මිනිසුන් යැයි සිතන්නේ
ඔබ මෙන්ම සිතන පතන අය පමණි
නමුත් ඔබ අමුත්තෙකුගේ පා සටහන් පසු පස ගියහොත්
ඔබ නොදන්නා බවවත් ඔබ නොදන්නා බොහෝ දෑ ඔබ දැනගනු ඇත
ඉරිඟු කරල් හරිත පැහැයෙන් පීදීගෙන එන කාලයේදී
සඳට හඬගාන වෘක හඬ ඔබ අසා තිබේද?
සිනාසෙන කැලෑ බළලාගෙන්
සිනාසෙන්නේ ඇයිදැයි අසා තිබේද?
කඳුකරයේ සෑම නාදයකින්ම ඔබට
ගී ගැයීමට හැකිද?
සුළඟේ හමා එන සෑම පැහැයකින්ම
සිතුවම් කිරීමට ඔබට හැකිද?
එන්න වනයේ සැඟවුණු මාවත් දිගේ දිව යන්න
එන්න හිරු එළියේ ඉදුණු ගඩා ගෙඩි රස විඳින්න
එන්න ඔබ වටා ඇති මේ සුව පහසුව විඳගන්න
මොහොතකට, එහි වටිනාකම කෙතරම්දැයි අමතක කරන්න
වැහි කුණාටුවත් ගංගාවත් මගේ සොයුරන්ය
කොස්වා ලිහිණියන් හා දිය කාවන් මගේ මිතුරන්ය
කිසිදා නිමා නොවෙනා එකම කවයක
ඉරිඟු කරල් හරිත පැහැයෙන් පීදීගෙන එන කාලයේදී
සඳට හඬගාන වෘක හඬ ඔබ අසා තිබේද?
උකුස්සෙකුගෙන් ඔහු සැඟව සිටියේ කොහිදැයි අසා ඇත්ද?
කඳුකරයේ සෑම නාදයකින්ම ඔබට
ගී ගැයීමට හැකිද?
සුළඟේ හමා එන සෑම පැහැයකින්ම
සිතුවම් කිරීමට ඔබට හැකිද?
සයිකැමෝර් ගස කොතෙක් උස යන්නේදැයි ඔබ දන්නවාද?
ඔබ එය කපා දැමුවහොත් ඒ රහස ඔබ දැනගන්නේ නැත
ඉරිඟු යාය හරිත පැහැයෙන් දිලෙන කාලයට
හඳට හඬගාන වෘක හඬද ඔබට ඇසෙන්නේ නැත
අප සුදු වුවද තඹ පැහැ වුවද
අපි කඳුකරයේ සෑම හඬක්ම හඳුනන්නෙමු
ඒ සෑම නදකින්ම ගී ගයන්නෙමු
සුළඟේ හමා එන සෑම පැහැයකින්ම
සිතුවම් කිරීමට ආසාවෙන් සිටින්නෙමු
ඔබට මහ පොළොව අයිති කරගත හැකිය
එහෙත්, සුළඟේ පැහැයෙන් සිතුවම් කිරීමට
ඉගෙන ගන්නා තෙක්ම ඔබ
මහ පොළොවේ පමණක් හිමි කරුවා වනු ඇත
~ 'Pocahontas'
කාටූන් චිත්‍රපටයේ 'Colours of the Wind' ගීතයේ සිංහල පරිවර්තනයයි

පොකහොන්ටාස් ගැන කියද්දි මට මතක් වෙන්නෙ තවත් ඒ වගේම සුප්‍රසිද්ධ රතු ඉන්දියානුවෙක්....සියැට්ල්..ඔහුගේ සුප්‍රසිද්ධ කතාව...
ReplyDelete'' අපගේ ඉඩම් ඔබට විකුණන ලෙස ඔබ අපෙන් ඉල්ලා සිටියි....එහෙත් සොහොයුර...ඔබට විකිණීමට මේ මහ පොළව අපට අයිති නැත. මෙහි වසන සියලු සත්වයෝ..ගහ කොල ඇල දොල අපේ සහෝදරයෝය..මහ පොලව අපේ මෑණියෝය. සහෝදරයින් මෑණියන් මුදලට විකුණන්නේ කෙලෙසකදැයි මට කරුණාකර පහදා දෙන්න..එය මට නොතේරේ..... ''
ඔව් අයියේ, මේ කාටූන් එක මම මුලින්ම බැලුවේ ඕ ලෙවල් පන්තියෙදී. ඒ කාලෙ අපිට සිංහල සාහිත්‍යයටයි, ඉංග්‍රීසි සාහිත්‍යයටයි දෙකටම මේ රතු ඉන්දියානු නායක සියැටල්ගේ ලියමන ගැන ඉගෙනගන්න තිබ්බා. මම පුදුම ආසාවෙන් කියවපු කතාවක්. පොකහොන්ටස්ගේ තාත්තව මට පෙනුනේ සියැටල් නායක තුමා වගේ. අපේ අම්මවත් මං ඔය කාටූන් එක බලන්න ටීවී එක ඉස්සරහට ඇදං ආවේ ඔය සියැටල් ගැන කියලා කියලා තමයි. :D ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට රවි අයියේ.
ReplyDeleteකාටුන් අතාරින්නෙ නැතුව බලපු මට මේක මිස් වෙලා තියෙන්නෙ කොහොමද??
ReplyDeleteරවී අයිය කිව්ව වගේ මේකෙ පළවෙනි පද ටික කියවද්දිම මටත් මතක් වුනේ සියැටල්ම තමයි....
බලන්න බලන්න. මම තාමත් වැඩියෙන්ම ආදරේ කරන ඩිස්නි කාටූන් මූවි එක මේක. හරිම ලස්සන කතාවක් අක්කේ, අනිවාර්යෙන්ම බලන්න. :)
ReplyDeleteඔයා අනිත් බ්ලොග්වල දමන කමෙන්ට් කියවල මං හොයල තියෙනව ඔයා බ්ලොග් එකක් ලියනවද කියල.ඉතින් අහම්බෙන් වගෙ මේ බ්ලොගය මුණ ගැහුණම හරි සතුටු හිතුණ..
ReplyDeleteකාටූන් එක ගැන කියනව නම් මං මේක බැලුව වගෙත් මතකයක් තියෙනව.පද ටික කියවද්දි නම් රවී අන්කලුයි,ජනූ අක්කයි කියල තියෙන විදියටම මට මතක් වුණේ සියැටල් වොෂින්ටන් රජයට ලියාපු ලියමන!
ගොඩාක් ස්තූතියි වර්ෂා. ඔයාගෙ කමෙන්ට් එක දැක්කාම මට දැනිච්ච සතුට ඔයා දන්නවද? ඔයාට කළින් මේ පෝස්ට් වල කමෙන්ට් කරපු අයියලා අක්කලා හතර දෙනාම මං ආයෙත් ලියන්න පටන්ගත්තු බව මමම දන්නලා මෙතනට ආපු, ඒ දවස් වල ඉඳන්ම මගේ ලඟින්ම හිටපු මගේ හොඳම යාළුවෝ. ඔයා තමයි මාව හොයාගෙනම මෙතනට ඇවිත් කමෙන්ට් එකක් දාපු මුල්ම කෙනා. මට ගොඩක් සතුටුයි. ඔයාව මමත් කීප තැනකදිම දැකලා තියෙනවා මතකයි. ඒත් ඔයාගෙ බ්ලොග් එකටනම් ගියෙ ඔන්න අද තමයි. චූටි නංගෙක් නේද. හෙමින් සැරේ ඒවා කියවලා කමෙන්ට් කරන්නම්කෝ හොඳද. :)
ReplyDeleteඔව්, රතු ඉන්දියානුවන් සහ පරිසරයට ආදරය කිරීම ගැන කතා කරද්දී සියැට්ල් නායකතුමාව මතකයට නැගෙනවාම තමයි. ඒ කාලේ අපි සාමාන්‍ය පෙළ කරද්දි සිංහල පොතේ තිබුණා ඒ ලිපිය 'මිහිමඬලේ ගීතය' කියලා. පළවෙනි පාඩම. ඔයාලගෙ දැන් සිලබස් එකේනම් නැතුව ඇති මම හිතන්නේ.