18. ඔබේ ජීවිතය සම්පූර්ණද...?


දිනක් දර්ශනවාදය උගන්වන එක් මහාචාර්යවරයෙක් පංති කාමරයට පැමිණ මේසය මත භාණ්ඩ කීපයක් තැබුවා. සිසුන් පැමිණ පංතිය ආරම්භ වූ විට ඔහු කතාවක් නැතිවම ලොකු භාජනයක් අරගෙන එය ගොල්ෆ් පන්දු වලින් පිරෙව්වා. ඊට පස්සේ සිසුන්ගෙන් ඇහැව්වා භාජනය පිරිලාද කියලා. සිසුන් එකඟ වුනා. ඊට පස්සේ බොරළු කැට පෙට්ටියක් අරගෙන මහාචාර්යතුමා ඒ බොරළු කැට අර භාජනයට හැලුවා. භාජනය ටිකක් සෙලෙව්වාම ඒ බොරළු කැට ගොල්ෆ් පන්දු මැදින් ඉඩ තියෙන තැන් වලට ගිහින් වැටුණා. එයා සිසුන්ගෙන් ආයෙත් ඇහැව්වා භාජනය පිරිලද කියලා. එවරත් සිසුන් ඔළුව වැනුවා පිරිලා කියලා. ඊට පස්සේ වැලි පිරුණ පෙට්ටියක් අතට ගත්ත මහාචාර්ය තුමා ගොල්ෆ් පන්දු, බොරළු කැට දමාපු භාජනයට වැලිත් දැම්මා. ඉතිරි වෙලා තිබුණු හැම හිඩැසක්ම වැලි කැට වලින් පිරිලා ගියා. ආයෙත් වතාවක් එයා කලිං ප්‍රශ්නයම සිසුන්ගෙන් ඇහැව්වා. හැම දෙනාම එක හඬින් 'ඔව්' කියලා කිව්වා. ඒ ගමන මේසය යටින් කෝපි කෝප්ප දෙකක් අතට ගත්තු මහාචාර්ය තුමා ඒ භාජනයට කෝපි වත් කළා. වැලි කැට අතරට කෝපි ගලාගෙන ගියා කිසිම බාධාවක් නැතිව. සිසුන් පිරිස හිනා වුනා. හිනා හඬ යටපත් වෙන කොට මහාචාර්ය තුමා කතා කළා.

"මේ භාජනයෙන් පෙනෙන්නේ ඔයාලගේ ජීවිතය. මේ ගොල්ෆ් පන්දු තමයි ඔයාලගේ ජීවිතයේ වැදගත්ම දේවල් - ආගම, පවුල, දරුවන්, නිරෝගී බව,  හිත මිතුරන්, ඔයාලා දැඩි කැමැත්තක් දක්වන දේවල් - වෙන කිසිම දෙයක් නැති වුනත් ඔයාලගේ ජීවිතය සම්පූර්ණ කරවන දේවල්. ඊලඟට මේ බොරළු කැට තමයි ඔයාලගේ රැකියාව, නිවස, යාන වාහන වගේ අනෙක් වටිනා දේවල්. වැලි කැට කියන්නේ අනිත් පුංචි පුංචි දේවල්. වැලි කැට මුලින් මේ භාජනේට දැම්මනම් බොරළු කැට වලටවත් ගොල්ෆ් පන්දු වලටවත් ඒකේ ඉඩක් නැතුව යනවා. ජීවිතයත් එහෙමයි. ඔයාලගේ කාලයත් ශ්‍රමයත් ඒ පුංචි පුංචි දේවල් වලට වැය කළොත් ඔයාලට වැදගත් වෙන දේවල් වලට ජීවිතේ ඉඩක් නැතුව යනවා. ඔයාලගේ සතුටට හේතු වෙන ඒ සමීපතම දේවල් වලට මුල් තැන දෙන්න. දරුවන් සමග සෙල්ලම් කරන්න, නිරෝගී බව ගැන සැලකිලිමත් වෙන්න - ඇත්තෙන්ම වැදගත් වන ගොල්ෆ් පන්දු වලට මුල් තැන දෙන්න. මුල් තැන දෙන්න ඕන දේවල් හඳුන ගන්න. අනිත් හැම දේම වැලි කැට විතරයි."

මේ වෙලාවෙදී අත එසවූ එක් සිසුවෙක්, කෝපි වලින් පෙන්නුවේ මොනවාදැයි විමසුවා. මහාචාර්යතුමා මඳ සිනාවක් පාලා මෙහෙම කිව්වා. "ඒ ගැන අහපු එක ගැන මම සතුටු වෙනවා. ඒකෙන් පෙන්නන්නේ ඔයාලගේ ජීවිතය කොයි තරම් සම්පුර්ණයි කියලා හිතුණත් මිතුරෙක් එක්ක කෝපි කෝප්පයක් රස විඳින්න වෙලාවක් හොයාගන්න බැරි කමක් නෑ කියලයි."

~ පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙනි

2 comments:

  1. අඩේ මේ කතාවල් බොට ඕන ඕන විදිහට වෙනස් කොරන්ට ඔට්ටු නෑ හොඳද?.....ඕකෙ ඔරිගිනල් කතාවෙ තියෙන්නෙ කෝපි කෝප්ප දෙකක් නෙවෙයි බොල විස්කි වීදුරු දෙකක්.......හෙහ්, හෙහ්,

    කතාව වහාම සංසෝදනේ කරපං මෙන්න මෙහෙම...කොහොමද?

    මහාචාර්යතුමා මඳ සිනාවක් පාලා මෙහෙම කිව්වා. "ඒ ගැන අහපු එක ගැන මම සතුටු වෙනවා. ඒකෙන් පෙන්නන්නේ ඔයාලගේ ජීවිතය කොයි තරම් සම්පුර්ණයි කියලා හිතුණත් මිතුරෙක් එක්ක හවසට පොඩි අඩියක් ගහල ලාවට සිංදුවක් කාරිය මුමුණල ජීවිතේ හරියටම රස විඳින්ට වෙලාවක් හොයාගන්න බැරි කමක් නෑ කියලයි." :) :) :)

    ReplyDelete
  2. හැබෑට අයියෙ? ඔරිමජිනල් එකේ තිබ්බෙ එහෙමද? ඒ කියන්නේ මට ඊමේලෙ එවාපු එකා තමයි ඕක කරලා තියෙන්නේ. ඉන්ඩකො බලන්න ලියුං පෙට්ටිය අවුස්සලා කවුද මේක මෙහෙම වෙනස් කරලා තියෙන්නෙ කියලා. :)

    ස්තූතියි රවි අයියේ ප්‍රතිචාරයට. :)

    ReplyDelete