ගම මැදින් ගලා බසිනා ඔය නිසලව රැළි නගමින් තිබුණි. නිදා සිටි නෙළුම් මල් යාය මැදින් තැනින් තැන මතු වූ කුමුදු මල් සඳ එළියේ හිනැහෙමින් තිබුණි. ඇය, පිණි බිඳු රැඳුණු නෙළුම් පතක් මතට වී අහසේ මුදුන්ව බැබළෙනා සඳ දෙස බලා සිටියාය. ස්වභාවයෙන්ම විසල් වූ ඇගේ දෙනෙත් යුග කඳුලින් පිරී ගොස් තිබුණි. එහෙත්, කඳුලින් පිරී ගියද එම දෑස් පසු වූයේ නො ඉවසිල්ලෙනි. සති ගණනාවකට පසුව හමුවන ඔහු දැකගැනීමේ නො ඉවසිල්ලෙනි. එහෙත්...
එක් වරම ඇසුණු 'ටොක්' හඬත් සමග තමා හිඳ සිටි නෙළුම් පත පැද්දී යනු ඇයට දැනුණි. මුව'ගට සිනාවක් නැගුණද ඇය නොසෙල්වී සිටියාය. ඒ සමගම ඇගේ හිසට ඉහළින් කරණමක් ගසා අහසට නැගි ඔහු ඈ ඉදිරියේ ජල තලය මතින් අතුරුදන් වූවේය. ඇසිල්ලක් ගතවන්නටත් පෙර නැවතත් දියෙන් මතු වූ ඔහු ඈ වෙත ජයග්‍රාහී බැල්මක් හෙලුවේය. ඇයට සිනහව වළක්වාගත නොහැකි විය. ඔහු සැමදාමත් එලෙසමය. දඟකාරය. ආදරණීයය. හැම විටම තමාව පුදුමයට පත්කරන්නට සූදානම්ය. එහෙත්... ඇගේ මුහුණ යළිත් මැළැවිණි.
ඔහුද නෙළුම් පත මතට ගොඩ වී ඈ අසළින් හිඳගත්තේය. "මොකෝ මේ?"
ඇය නිහඬව ඉවත බලා සිටියාය.
"මං පරක්කු උනාද?"
ඇයට තවත් නිහඬව සිටිය නොහැකි විය. "මොකද ඔයා දැං හැමදාම දවාලට පහළ කුඹුර පැත්තෙ යනවයි කියන්නේ?"
"මම??? නැහ්! කවුද කියන්නේ?"
"කවුරු කිව්වත් කතාව ඇත්තනේ?"
"මං හැමදාම යන එකක් නෑ, ඔහෙ හිතුණහම ගිහිං එනවා..."
"ඕක මොකද දවල්ටම හිතෙන්නේ? මං දන්නවා රාළ මාමට කුඹුරට ඇඹුල අරං එන්නෙ උන්දැගෙ දෝණියන්දෑ හරිම හැඩකාරයි කියලා. එයාව බලන්න නේද යන්නේ?" ඇය හිතේ තිබූ සංතාපය පැනයක් ලෙසින් පිට කළාය.
"ඈ???"
"බොරුවට ඇහුන් නෑ වගේ ඉන්න එපා. මං නිකංම නිකං ලිඳේ ඉන්න ගෙම්බියෙක් නෙවෙයි!"
"හක හක හක හක... බක බක බක බක..." ඔහු මහ හඬින් සිනාසෙන්නට විය. "ඉතිං මං කිව්වද එහෙමයි කියලා?"
"යන්න මෙතන බොරු නොකර..." ඇය නැවතත් කඳුළු සලන්නට පටන්ගත්තාය. "මං දන්නවා ඔයාට රාළ මාමගෙ දුවට හිත ගිහිං කියලා!"
ඔහු වහා ඇගේ මුහුණට එබුණේය. "අඩේ... ඔයා අඬනවද?" ඔහුගේ මුහුණේ තිබුණේ සිනහවකි. ඒ දුටු ඇගේ හැඬීම වැඩි විය. "අනේ හරි හරි ඉතිං... ඕකට ඔය හැටි අඬන්න ඕනයැ? මං විහිළුවක්නෙ කළේ..." ඔහු නුහුරු ලෙස ඇගේ කඳුළු පිස දැම්මේය. විසල් දෑසින් ඔහු දෙස බලා සියතින්ම කඳුළු පිසදාගත් ඇය දිගු සුසුමක් හෙලුවාය. "ඔයාට ඉරිසියා හිතුණද?" ඔහු නැවතත් ඇගේ දෑසට එබෙමින් ඇසුවේය.
"මට?" ඇගේ පලා පැහැති දෙකොපුල් වලට ලා රත් පැහැයක් එක් විය. "නැහ්!"
"එහෙනං මෙතන පොළොවෙ හැපෙන්න හැදුවේ?"
"මං අහලා තියෙනවා ඔය මනුස්ස දුවලා ගෙඹි කුමාරයන්ට හරි මනාපයි කියලා..."
"හැබෑට? කවුද ඔයාට කිව්වේ?"
"අපෙ අත්තම්මා තමයි මට කිව්වේ... මීට හත්මුතු පරම්පරා හතකට උඩදී උන්නු ගෙඹි කුමාරයෙක්ට හාද්දක් දීලා ඔය මනුස්ස දුවක් එයාව මනුස්සයෙක් කළාලු..."
"නෑ!!! ඔය ඇත්තමද? ඉතිං හොඳයිනේ..."
ඔහු දෙස නොරුස්සනා බැල්මක් හෙලූ ඇය ගස්සා ඉවත බලාගත්තාය. "හහ්! හිතේ ඇති මෙතන මනුස්ස දුවලගෙං හාදු ගන්න!!!"
"හක හක... බක බක... හක හක... බක බක... ඔය මං කිව්වේ... ඔයාට ඉරිසියයි තමයි!!!" ඔහු නැවතත් ජයග්‍රාහී විලාසයෙන් සිනාසුනේය.
"වැඩේමයි ඉරිසියා කරන්න... හැබැයි ඔයා ඔය මට හිනාවෙන්නෙ මනුස්ස ජාතියෙ හැටි නොදැන..."
"හරි හරි, ඒ ගොල්ලො හාදු දෙන්නෙ ඉතිං ගෙඹි කුමාරයන්ටනේ... මං ඉතිං කුමාරයෙක්යැ?"
"කවුද දන්නේ කුමාරයෙක්ය කියලා හිතලා හාදුවක් දුන්නොත් එහෙම?"
"ඔය පරණ කාළේ කතන්දර වල ඔහොම තිබ්බට දැං ඔය වගේ ඒවා වෙන්නෙ නැතුව ඇති..."
"ඔහොම හිතලා අපේ සීයගෙ මාමා කෙනෙකුත් ගියාලු මනුස්ස දුවක් ඉන්න ගේක ලිඳ ගාවට. ඒ ළමයා හැම තිස්සෙම මිදුලෙ බංකුව උඩට වෙලා ගෙඹි කුමාරයෙකුයි මනුස්ස දුවකුයි ඉන්න පොතක් කියව කියව ඉන්නවලු. සමහර විට අර පරණ කතාව වෙන්ඩැති. අපේ මේ මුත්තව දැකලා ලිඳ ලඟට බෝලයක් අරං ඇවිත් අත ඇරලා අපේ මුත්තා දිහා බලං උන්නලු... මුත්තාටත් ඉතිං දුක හිතිලා ලිඳට පැන්නලු බෝලෙ අරං දෙන්ඩ හිතාගෙන. කොහෙ, මුත්තාට ආයෙ ලිං කටෙං ගොඩ එන්ඩ ලැබිලා නෑ, එච්චරට ගැඹුරු ලිඳක්ලු..."
"අපොයි!"
"අනික, ඔයා කියනවා දැං ඔහොම ඒව වෙන්නෙ නෑලු. අන්න උඩහ වළව්වෙ පොඩි මැණිකෙටත් ගෙඹි කුමාරයෙකුට හිත ගිහිල්ලලු!!!"
"බොරු!!! ඔයා කොහොමද දැනගත්තෙ?"
"ඔයා ඉතිං කුඹුරු ගානෙයි වතු ගානෙයි රස්තියාදු ගහනකොට අපි ඉතිං මෙහෙට වෙලා ඉන්න එපැයි. අද ඔයට ආපු ගමේ අය කතා වෙනවා මට ඇහුණා ඔය ගැන..."
"කවුද හැබෑටම මේ අපි නොදන්න ගෙඹි කුමාරයා, පොඩි මැණිකෙගෙ හිත වැටිච්ච..." ඔහු කල්පනා කරන්නට විය.
"එව්වා අපි දන්නෙ නෑ... තව ටික කාලෙකින් ඇහෙයි රාළ මාමගෙ දෝණියන්දෑත් ගෙඹි කුමාරයෙකුට හිත වැටිලා කියලා..." ඇගේ මුහුණ යළිත් අඳුරු විය.
"ඉතිං නරක් වෙලා තියෙයි..." ඔහුගේ සරදම් වල කෙළවරක් නැත.
ඇයට නැවතත් ඉවසාගත නොහැකි තරමට දුකක් දැනුණි. "කමක් නෑ, ඔයා කැමති එහෙමනං ඒ විදිහට කරන්න... මං කවුද ඔයාව නවත්තන්න..." ඇය නෙළුම් පතේ කෙළවරට ගොස් සඳ එළිය වැටුනු ජල තලය මත දිස් වූ සිය ඡායාව දෙස බලා සිටියාය. කම්මුල දිගේ රූරා වැටුණු කඳුළු බිඳුවකින් එම ඡායාව කැලැතුනු දිය මත බොඳව ගියේය.
ඇයට පිටුපසින් 'ජබොඃ' හඬක් ඇසුනි. ඔහු යන්නට යයි. ඇයට සමු නොදීම ඔහු යන්නට යයි. තමා ඉක්මන් වූවා වැඩි යැයි එක් වරම ඇයට සිතුණි. ඇය වහා ආපසු හැරුණාය. එහෙත් ඔහු පෙනෙන්නට නැත. නෙළුම් පත මත තමා හුදෙකලා වී ඇත. තම ජීවිතයද හුදෙකලා වනු ඇත. වදනින් ප්‍රකාශ කර නැති වුවද, මෙතෙක් කල් අතින්වත් අල්ලා නැති වුවද තමා ඔහුට ප්‍රේම කරන බව ඇය දනියි. එසේම, ඔහුද තමාට ප්‍රේම කරනු ඇති බව ඈ සිතා සිටියාය. එහෙත් එය වැරදිය. එය තමාගේ සිතුවිල්ලක් පමණක් වී ඇත. ඇය ඉහළ අහස දෙස බැලුවාය. සඳ වළාවකට වැසෙන්නට ආසන්නව ඇත. එක්වරම, දිය කඳ දෙබෑ කරමින් ඔහුගේ රුව මතු විය. ඇය තිගැස්සී පසුපසට පිම්මක් පැන්නාය. ඔහුද හති දමමින් නෙළුම් පත මතට ගොඩ විය. ඇය ඔහු දෙස බලා සිටියාය. ඔහු සිය අතේ වූ යමක් ඈ වෙත දිගු කළේය. ඔහුගේ දෑසේ අමුතු බැබලීමක් තිබුණි. "මේක... ඔයාට..."
ඔහුගේ දෙනෙත් වෙතින් සිය දෙනෙත් මෑත් කරගත් ඇය ඔහුගේ අත දෙස බැලුවාය. එය වී ඇට එකට අමුණා කුඩා මල් ගවසා සෑදූ කදිම මාලයකි. සිය දෑස් අදහාගත නොහැකි වූ ඇගේ මුව විවර විය. "මං මේකට වී ඇට එකතු කරගන්න තමයි කුඹුර දිහාවේ ගියේ." ඇගේ දෑසින් යළිත් කඳුළු හැලෙන්නට විය. "දැං මොකද අඬන්නේ?"
"සතුටට..." මුව විවර කරගත හැකි වූ සැනින් ඇය කීවාය.
"අනේ මන් දන්නෙ නෑ, සතුටටත් අඬනවා, දුකටත් අඬනවා..." ඔහු දෑතින්ම මාලය ගෙන ඇගේ ගෙල පැලඳුවේය. "තාමත් මාව සැකද?"
නැතැයි කීමට ඈ හිස සැලුවේ බිම බලාගෙනය. "මට දුකයි කළිං ඒ විදිහට කතා කළාට..."
ඔහු ඇගේ දෑතින් අල්ලාගත්තේය. ඒ ඔහු ඇගේ දෑතින් අල්ලාගත් ප්‍රථම අවස්ථාව විය. දෙදෙනාගේම හදවත් එක ලෙස ගැහෙන්නට විය. "ඔයා මාව බඳිනවද?"


සිත්තමීගේ මම දැකපු ලස්සන කමෙන්ට් එකක් මේක. ආපහු මාව අතීතයට අරන් ගිහින් දෙනෙත් තෙත් කලා.
ReplyDeleteලස්සනයි සිත්තමී...හරිම සරල, ආදරේට හරි ආදරේ හිතෙන ආදරයක් ගැන ඔයා ලියලා....:)
ගොඩාක් ස්තූතියි පොඩ්ඩි අක්කේ. ඒ ස්තූතිය ඔයා දාපු මේ කමෙන්ට් එකට විතරක් නෙවෙයි. මුළින්ම ඔයාගෙ වළව්වේ කමෙන්ට් තීරයේ කතා ලියන්න මට ඉඩ දුන්නටත්, ඒවා කියවලා මාව තව තවත් දිරිමත් කළාටත්, මේ කතාව වළව්වේ ලියපු දවසේ දීපු පැසසුමටත් එක්කමයි. :) ආදරේට ආදරේ කරන අයට මං හරිම ආදරෙයි. :) :) :)
Deleteඔන්න බොල සිත්තමියෙ උඹෙ කතාවට කමෙන්ට් එකක් ලියන්ට පටන් ගත්තය කියමුකො...හරිය?....ඉතිං හැමදෑමත් මට කමෙන්ට් ලියද්දි වෙන සන්තෑසිය උඹ දන්නවය කියලත් කියමුකො..හරිය?...ඒ කියන්නෙ උඹේ කතාවට වඩා මයෙ කමෙන්ට් එක දිග වෙනවය කියලත් කියමුකො හරිය?...ඉතිං මක්කද කොරන්නෙ කියල මම දහ අතේ කම්පනා කලාය කියලත් කියමුකො , හරිය?....අන්තිමට මෙහෙම තීරණය කලාය කියලත් කියමුකො? හරිය?...ඒ කොහොමෙයි අයියෙ..කියල උඹ ඇහුවයි කියලත් කියමුකො හරිය?......ඉතිං මෙහෙමයි උත්තරේ.....මම ඒ ලියපු ටීකාව දැම්ම වෙනම පෝස්ට් එකක් හැටියට මගේ බ්ලොග් එකේ...
ReplyDeleteමෙන්න ඒක හරිය?
හරියට හරිය, හරිය? ඔන්න ඒකට මගේ ඉස්තූතිය, හරිය? :D :D :D
Delete