මේ සටහන මගේ සිත් ගත් විදේශීය චිත්‍රපටයක් ගැන. 'Ballad of a Soldier' නමින් 1959 වසරේදී තිරගත වෙලා තියෙන ඒ චිත්‍රපටය රුසියානු සොල්දාදුවෙකු වටා නිර්මාණය වුන රුසියානු චිත්‍රපටයක්. එය සැබෑ චරිතයක් පසුබිම් කරගෙන ගොඩනැගුණු නිර්මාණයක්ද කියලානම් මම කියන්න දන්නේ නෑ.
දෙවන ලෝක යුධ සමය පසු බිම් කරගත් කතා තේමාවක් වුනත් මේක එක එල්ලේම යුධ චිත්‍රපටයක් කියන්න බෑ. මිනිස් හදවත් තුළ ඇතිවන මානුෂීය හැඟීම් බැඳීම් වලට තමයි මේ කතාන්දරය තුළ මුල් තැන ලැබිලා තියෙන්නේ.
චිත්‍රපටය ආරම්භ වෙන්නේ ගුරු පාර දිගේ ඈතට නෙත් යොමාගෙන ඉන්න මැදිවියේ ගැමි කාන්තාවකගෙන්. ඈ මග බලා සිටින්නේ යුධ පෙරමුණට ගිය තම පුතු එන තුරු බව අපට පසුබිම් කථනයෙන් ඇහෙනවා. ඒ චිත්‍රපටය මා රූපවාහිනියේ දුටුවේ උපසිරැසිත් සමග නිසා රුසියානු චිත්‍රපටයක් උනත් රසවිඳින්න අපහසුවක් උනේ නෑ. ඉතිං ඒ මවගේ දර්ශනයෙන් පස්සේ පෙන්නුවේ ඉතාම තරුණ වියේ ඉන්න සොල්දාදුවෙක් තනිවම සතුරු ප්‍රහාරයක් වළක්වලා ඔහුගේ ඉහළ නිලධාරියාගෙන් ප්‍රශංසා ලබන විදිය. ඉහළ නිලධාරීන් මේ නිර්භීත තරුණ සොල්දාදුවාට පදක්කම් පිරිනමන්න ලෑස්ති උනත් අල්යෝෂාට, ඒ තරුණ සොල්දාදුවාට, උවමනා වෙන්නේ ගමට ගිහින් තමන්ගේ අම්මව බලලා කැඩිලා තියෙන ගෙදර වහලේ හදලා දීලා එන්න නිවාඩුවක්. ඉතින් ඉහළ නිලධාරීන් ඔහුට දින හයක නිවාඩුවක් ලබා දෙනවා.
ඒ එන ගමනේ ඔහුට හමු වන විවිධාකාරයේ මිනිසුන්, දුම්රියේ රහසේ යන ගමන, ඔහු ආදරයෙන් බැඳෙන හැටි, දුම්රිය මග හැරී ට්‍රක් රථයක යන්නට සිදු වීම, එය මඩේ එරුණ විට මඩ නාගෙන එය ගොඩට ගන්නට සිදුවීම, ඔහු එන තෙක් ඔහුගේ දුම්රියේ හමු වූ හිතවතිය ෂූරා මග බලා සිටීම, මුලදී තමා මේ යන්නේ තම පෙම්වතා හමු වීමට බව පවසන ෂූරා, අවසානයේ තමාට පෙම්වතෙකු නැති බවත් තමා යන්නේ නැන්දා හමු වීමට බවත් පැවසීම, ඈ මුලින් එලෙස පැවසුවේ ඔහු ගැන ඇති වූ බය නිසා බවත්, දැන් බය නැති බවත් පැවසීම... මේ සියල්ලක්ම රිදී තිරයේ සිත්තම් කර ඇති අපූරුව ඉතාමත් සංවේදීය. ෂූරාව ප්‍රවේශමෙන් නැන්දණියගේ ගමට ඇරලවන අල්යෝෂාට ඇගේ ලිපිනයවත් හරි හැටි අහගන්නට නොලැබෙන්නේ ගමට යාමට ඇති දුම්රිය අද්දන්නට වූ නිසාය. ඇගේ අවසාන ප්‍රකාශයෙන් ඈ තමාට ආදරය කරන බව පැවසූ බව අල්යෝෂාට පසක් වන්නේ ඒ ගමන අතරතුරේදීය. තමා ඇයට සිය ආදරය තවමත් ප්‍රකාශ කර නොමැති බව සිහිපත් වන අල්යෝෂා දුම්රියෙන් බැස නැවත ඈ සොයා යන්නට හැදුවද ඔහුට දුම්රියෙන් බැසගන්නට ඉඩක් ලැබෙන්නේ නැත.
ඒ වන විට අල්යෝෂාට නිවාඩුවෙන් ඉතිරිව ඇත්තේ තවත් දින එකහමාරක් පමණි. ඔහු නැග සිටි ගම බලා යන දුම්රිය මැදිරියේ සිටි පවුල සමග ඔහු කතාවට වැටේ. යුද්ධය හේතුවෙන් උන් හිටි තැන් අහිමිව සිටි ඔවුන් තැනින් තැනට යමින් ජීවත් වන බව ඔවුන් පවසයි. අල්යෝෂා නිවාඩුවට යන ගමන්දැයි එයින් එකෙකු අසයි. 'ඔව්, අද අම්මා එක්ක ඉඳලා ආයෙත් හෙට උදේම යනවා. හෙටින් මගේ නිවාඩුව ඉවරයි,' අල්යෝෂා පිළිතුරු දෙයි. 'අනේ පවු,' පැනය විමසූ තැනැත්තිය දුක් වෙයි. 'දුක් වෙන්න එපා පුතා, ඔයාට අද රෑට ඔයාගේ අම්මත් එක්ක ඔයාගෙම ගෙදර වහළ යට ඉන්න ලැබෙනවානේ,' මහළු මිනිසෙකු පවසයි. ඔවුන් රැගත් දුම්රිය පාලමක් මතදී බෝම්බ ප්‍රහාරයකට ලක් වන්නේ මේ වෙලාවේදීය. කෙසේ හෝ අල්යෝෂාට එම රාත්‍රිය ගත කරන්නට වන්නේ දුම්රිය තුළ සිර වූවන් පිටතට ගන්නට උදව් වෙමින් එම ස්ථානයේමය. අනතුරුව විපතට පත් වූවන් බේරාගැනීමට පැමිණි බෝට්ටු වල නිලධාරීන්, පළමුව ගෙන යන්නේ කුඩා ළමුන් හා කාන්තාවන් බවත් අනෙක් පිරිසට පැය දෙකක් එහි හිඳීමට සිදු වන බවත් පවසයි. ඒ අසන අල්යෝෂා පහුරකින් ගම බලා පිටත් වී අතරමගදී ට්‍රක් රථයකට ගොඩ වෙයි. ට්‍රක් රියේ පිටු පස නැගී එන ඔහු දකින ගම් වැසි කාන්තාවන් ඔහුගේ මවට ඒ බව පවසයි. මුළු ගම්මානයේම එවේලේ හිඳින්නේ කාන්තාවන් පමණි. සියලුම පිරිමින් යුධ පෙරමුණේය. ඔවුන් වෙනුවට තිරිඟු යායන් අස්වද්දමින් ගෙවල් දොරවල් රැක බලාගන්නේ ඔවුන්ගේ බිරින්දෑ වරුන්ය. පුතු ආ බව අසන අල්යෝෂාගේ මව තිරිඟු යාය මැදින් ගිනි අව්වේ දිව එන දසුන ඉතාමත්ම හැඟීම් බරය. මවගේත් පුතුගේත් හමු වීම, විනාඩි ගණනක් යන තෙක් කතා කරගත නොහැකිව එකිනෙකා වැළඳගෙන හිඳීම, පුතු වට කරගෙන යුධ පෙරමුණේ සිටින තම හිමිවරුන්, පුතුන් ගැන අසන අනෙක් කාන්තාවන්ව මව වළක්වන ආකාරය, තම නිවාඩුව අවසන් බවත් තමා ආපසු යා යුතු බවත් පවසද්දී මවගේ ප්‍රතිචාරය යුධ පෙරමුණේ විරුවන්ගේ නිවැසියන්ගේ තත්ත්වය අපට යළිත් මතක් කර දෙනවා. යුධ පෙරමුණේ අභීත විරුවෙකු වුවත්, තම මව සෙවණේ හිතූ තරම් වේලාවක් රැඳෙන්නට ඉඩ නොලැබෙන ශෝකයෙන් ඔහු මව වැළඳගෙන හඬා වැටෙන ආකාරය අපගේ දෙනෙතටද කඳුලක් එක් කරනවා. දිවි හිමියෙන් තම රට වෙනුවෙන් තම යොවුන් විය කැප කළ ඒ තරුණයා නැවත ට්‍රක් රතයට නගිද්දී මව මෙසේ කියනවා: 'අල්යෝෂා, ඔයා එනකල් මං මග බලං ඉන්නවා. ඔයාගෙ තාත්තනං ආයෙ ආවෙ නෑ, ඒත් ඔයා එන්නම ඕනේ. මං බලං ඉන්නවා...' 'මං අනිවාර්යෙන්ම ආයෙත් එනවා අම්මා...' ඒ අල්යෝෂාගේ පිළිතුරයි. ඔහු රැගත් ට්‍රක් රථය ඈතට ඇදී යන තුරු ඔහුගේ මවත්, අනෙක් කාන්තාවනුත්, අපත් දෑස් දල්වා බලා හිඳිනවා. අනතුරුව අපට ඇසෙන්නේ (උපසිරැසි වලින් පෙනෙන්නේ) මෙයයි: 'අල්යෝෂා ගැන අපට කියන්නට තියෙන්නේ එම කතාවයි. අම්මාට දුන් පොරොන්දුව ඉටු කරන්නට නොහැකි වුනත් ඔහු රට වෙනුවෙන් දුන් පොරොන්දුව අකුරටම ඉටු කළා. තරුණ අල්යෝෂා සැබෑ යුධ වීරයෙකු, නියම රුසියානු සොල්දාදුවෙකු ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.'
එය සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයක්දැයි මා දන්නේ නැත. නමුත් යුධ බිමේ ඛේදවාචකයන් දැක්වෙන චිත්‍රපට වලට වඩා ඒ හා සබැඳියවුන්ගේ ජීවන යතාර්ථය ඉතාමත් සංවේදී ලෙසින් නිරූපණය වුනු මේ කතාන්දරය මගේ සිත තදින් කම්පනය කළා. ප්‍රධාන චරිතයන් වූ අල්යෝෂාගේ හා ෂූරාගේ චරිතයන් රඟ පෑ තරුණයා හා තරුණිය එවකට දහ නව හැවිරිදි වියේ පසු වූ ආධුනිකයන් වූවා. ඔවුන් දෙදෙනා ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා මෙසේ පවසා ඇති බව මට අන්තර්ජාලයෙන් හමු වූවා: 'අපි ලොකු අවධානමක් ගත්තා ආධුනිකයන් දෙන්නෙක් චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට අරගෙන. ගොඩක් දෙනෙක් ඒ වගේ කාලෙක එහෙම දෙයක් කරන්නේ නෑ. ඒත් අපි ඒ දේ කළා, ඒ වගේම අපිට පසුතැවෙන්න කිසිම හේතුවක් උනේ නෑ. ඔවුන් දෙදෙනා චිත්‍රපටයට ඉතාම හොඳ සාධාරණයක් ඉටු කළා. ඒ තමයි තාරුණ්‍යයේ සොඳුරු නිරායාසාත්මක බව.'



යුද්ධය වීරත්වයට නංවන බටහිර චිත්‍රපට අතරේ යුද්ධයේ කෲරත්වය, අමානුෂිකත්වය පිළිබිඹු කරන චිත්‍රපට තියෙන්නෙ අතලොස්සක් විතරයි. ඔයා කියන මේ චිත්‍රපටය බැළුවද කියල නම මතක නෑ..ඒත් මේ නම් වල නම් මොකක්දෝ අහල පුරුදු ගතියක් තියනව...ෂූරා...අලෝෂ්යා....
ReplyDeleteමේ තවත් අනුවේදනීය යුද්ධයේ නිරර්ථක භාවය ගැන කියන චිත්‍රපටයක්.....All Quiet On The Western Front……………..බටහිර පෙරමුණ නිහඬයි.......
මේ චිත්‍රපටයෙ අවසන් ජවනිකාව ඇහැට කඳුලක් නිරායාසයෙන්ම ගෙනෙනව.
පෝල්..ඒ තමා කථා නායකය..පලමුවන ලෝක යුද්ධයෙ තරුණ ජර්මන් සොල්දාදුවෙක්...යුද්ධය ඔන්න අවසන් අදියරට ඇවිල්ල...ජර්මනිය යටත් වෙන්න ඔන්න මෙන්න...හැමෝම බොහොම සන්තෝසෙන් ඉන්නෙ කවදද ගම රටවල් බලා යන්නෙ කියල....
පෝල් ඉන්න බංකරයෙ ළඟම ගහක අත්තක වහල නයිටිංගේල් කුරුල්ලෙක් අපූරු ගීතයක් ගයනව....පෝල් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්...එයා බංකරේ ඇතුලට වෙල කොලේක අර කුරුල්ලව අඳිනව....පෝල් මොන තරම් ඒ කාර්යයට සමවැදිල හිටියද කියනව නම් කුරුල්ලව වදාත් හොඳින් බලා ගන්න නොදැනිම බංකරෙන් එලියට ඔලුව දානව.
ඩීං!!!!!!!!!
බටහිර පෙරමුණ නිහඬ බව බිඳීගියේ ඒ වෙඩි හඬිනි. දුර සිට වෙඩි තබන්නකු ( Sniper ) විසින් තබන ලද එම වෙඩි පහර හිසටම වැදුනු පෝල් කරකැවී බංකරය තුලටම යලි පතිත වූයේය. ඒ වනවිටද ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී තිබිණි.ඔහුගේ හිස අසලම වූයේ ඔහු අඳිමින් සිටි නයිටිංගේල් කුරුල්ලාගේ අඩක් නිමැවුණු සිතුවමයි. ඔහුගේ හිසින් ගලා ආ උණුසුම් රුධිරය කුරුළු සිතුවම රත් පැහැ ගන්වමින් ගලා ගියේය.
කඳු වල්ලෙහි හැපී දෝංකාර දුන් වෙඩි හඬ අවසන නෑසී ගියේය.අඩක් නිමැවුණු කුරුළු සිතුවමක් මතට රුහිරු බිඳු පතිත වන හඬ පමනක් ඉතිරි විය.
බටහිර පෙරමුණ යළි නිසල වී ඇත…….. All Quiet on the western front again !!!!
අනිත් චිත්‍රපටය ගැන ඔත්තුවට ස්තූතියි අයියේ. සොල්දාදුවෙකුගේ ගීතය මගේ හිතට දැනුණු තරම ගැන කියන්න මට ඇත්තටම තේරෙන්නෙ නෑ. ඒක මම බලලා තියෙන්නේ එකම එක වතාවයි, ඒ මීට අවුරුදු දෙකකට උඩදි. ඒත් එදා ඒ දැනිච්ච අමුත්ත ඒ ගැන මතක් කරද්දි අදටත් මට දැනෙනවා. දවස් හයක නිවාඩුවක් අරන් ගෙදර එන්න හිතාගෙන ඇවිල්ලා අම්මගෙ මූණ බලලා ආයෙත් අනිත් අතට යන්න උනාම...
ReplyDeleteමම පහුගිය දවස් වල කියෙව්වා නැපෝලියන් බොනපාට්ගේ කාලේ කතාන්දරයක් 'Innocent Soldier' කියලා. ගොවිපොළක අතවැසියෙක් විදිහට හිටපු හමුදාවට බැඳෙන වයසවත් පිරිච්ච නැති අවුරුදු දාසයක දරුවෙක්, අනිවාර්ය හමුදා සේවයට නියම වෙච්ච ඒ ගොවිපොළේ අයිතිකාරයාගේ පුතා වෙනුවට බලෙන්ම හමුදාවට බන්දවන තැනින් තමයි කතාව පටන්ගෙන තියෙන්නේ. ඒ අහිංසක සොල්දාදුවාගේ දෘෂ්ටි කෝණයෙන් ලියවිච්ච ඒ කාලේ යුධ යතාර්ථය පෙන්නුම් කරන තවත් ඉහළ පෙළේ නිර්මාණයක් ඒ පොත.
ගොඩක් ස්තූතියි අයියගේ ප්‍රතිචාරයට. :)