09. වදන් හරඹ...

Spoonerism කියන්නේ ඉංග්‍රීසි භාශාවේ ව්‍යවහාර වෙන අපූරු වදන් ශෛලියක්. ඒ කියන්නේ අත් වැරදීමකින් වෙන වදන් පෙරළියක්. සිංහල සාහිත්‍යයේත් මේ වදන් පෙරළි හරිම ලස්සනට යෙදිලා තියෙන බව අන්තර්ජාලයේ හොයන අතරෙදි හම්බ වුනා.

ඉතිං ඒ spoonerism, එහෙමත් නැත්තම් පද පෙරළියේ තියෙන විශේෂත්වය තමයි නිවැරදි ආකාරයට තියෙද්දී වගේම පද අනෙක් පැත්තට පෙරලුවාමත් ඒ වාක්‍යයේ තේරුමක් තියෙනවා. ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ හාස්‍යජනක වැකියක් තමයි පද පෙරළියෙන් පස්සේ ලැබෙන්නේ. වේගයෙන් කතා කරනකොට වචන උච්ඡාරණයේ තමයි මේ පෙරළිය ඇති වෙන්නේ. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවේ එන මේ spoonerism වලට අක්ෂර වින්‍යාසය බලපාන්නේ නෑ. මේ උදාහරණය බලන්නකෝ:

පද පෙරළිය: lead of spite (වෛරයේ නායකයා)
නිවැරදි වාක්‍යය: speed of light (ආලෝකයේ වේගය)

මේ අපූරු වාග් විලාශයේ ඉතිහාසය මෙහෙමයි. එංගලන්තයේ නව ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයේ පීඨාධිපති වරයෙකු හා ශිෂ්‍ය නිවාසයේ පාලකවරයා විදියට කටයුතු කරපු විලියම් ඒ. ස්පූනර් (Reverend William Archibald Spooner 1844-1930) පූජකවරයාගේ නමින් තමයි මේ වාග් ශෛලිය බිහි වෙලා තියෙන්නේ. වේගයෙන් කතාබස් කරන කෙනෙකු වූ නිසා නිතරම ඔහු අතින් මේ පද පෙරළි සිදු වෙලා තියෙනවා. ඒවා ඔහු අතින් අතපසු වීමෙන් සිදු වුවත් පසු කාලෙක මේ වාග් ශෛලිය යොදාගෙන පොත් හා ගුවන් විදුලි නාට්‍ය පවා රචනා වෙලා තියෙනවා.

පාසැලේ උසස් පෙළ පන්තියේදී අපිට ඉංග්‍රීසි උගන්වාපු ගුරු මෑණියන් තමයි මේ spoonerism ගැන අපිට මුලින්ම කිව්වේ. ඊට පස්සේ, ඒ වාග් විලාශයේ තිබ්බ අපූර්වත්වය නිසාම තව ඒ ගැන හොයලා බලද්දි හම්බ වුන වෙබ් අඩවියක් ඇසුරින් තමයි මේ විස්තර ඔයගොල්ලන්ට කිව්වේ. spoonerism ගැන අන්තර්ජාලයේ හෙව්වාම ඕන තරම් විස්තර හොයාගන්න පුළුවන්. ඒත් අපේ සිංහල භාෂාවේ තියෙන අපූරු වදන් හරඹ ගැන එහෙම අන්තර්ජාලයේ හොයාගන්න හරි අඩුයි. ඒ ගැන මට ලැබුණ ඒ ලිපිය ලියූ බ්ලොග් අඩවියේ හිමිකරුටත්, ඒ වගේ දේවල් රැකගන්න, බෙදාගන්න උත්සාහ කරන අනෙක් හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා.

මේ තියෙන්නේ මම විස්තර කරපු spoonerism වලට උදාහරණ කිහිපයක්. මේවා අතර, එහි මුල් නිර්මාතෲවරයාගේ පද පෙරළි වගේම පසු කාලයේදී spoonerism සාහිත්‍යයට එකතු වෙච්ච පද පෙරළිත් තියෙනවා:

(මේ උදාහරණ වල මුලින් තියෙන්නේ පද පෙරළිය. දෙවෙනියට දක්වලා තියෙන්නේ නිවැරදි වාක්‍යය.)

fighting a liar - බොරු කාරයෙක් එක්ක සටන් කරනවා
lighting a fire - ගිනි මැළයක් ගහනවා

you hissed my mystery lecture - ඔබ මගේ අභිරහස් දේශනය පිඹලා දැම්මා ('hissed' කියන වචනයේ හරි තේරුම 'පිඹලා දැම්මා' නෙවෙයි. ඒත් ඒකට ගැලපෙන වෙන වචනයක් හොයාගන්න බැරි උනා.)
you missed my history lecture - ඔබ මගේ ඉතිහාස දේශනය මගහැරියා

a blushing crow - ලැජ්ජා හිතුණ කාක්කෙක්
a crushing blow - දරුණු පහරක්

our queer old Dean - අපේ විකාර පීඨාධිපති 
our dear old Queen - අපේ ආදරණීය රැජිණ

you've tasted two worms - නුඹලා පණුවන් දෙදෙනෙකුගේ රස බලා ඇත
you've wasted two terms - නුඹලා වාර දෙකක් අපතේ යවා ඇත

is the bean dizzy? - කඩල ඇටයට පිස්සුද? 
is the Dean busy? - පීඨාධිපති තුමා කාර්යබහුලද?

A well-boiled icicle - හොඳට තැම්බිච්ච අයිස් කූරක්
well-oiled bicycle - හොඳට තෙල් යොදාපු බයිසිකලයක්

shake a tower - කුළුණක් සොලවන්න 
take a shower - නාගන්න

mad banners - පිස්සු බැනර් 
bad manners - නරක පුරුදු

it's roaring with pain - වේදනාවෙන් ගොරවනවා 
it's pouring with rain - මහ වැස්සක් ඇද හැළෙනවා

wave the sails - රුවල් වනන්න
save the whales - තල්මසුන් බේරගන්න

mend the sail - රුවල සකස් කරන්න
send the mail - ලියුම යවන්න

ready as a stock - බඩු තොගයක් වගේ ලෑස්තියි 
steady as a rock - පර්වථයක් වගේ ස්ථාවරයි

no tails - වලිග නැහැ 
toe nails - පයේ නියපොතු

monday war - සඳුදා යුද්ධය
one day more - තව එක දවසයි



(ඉංග්‍රීසි වාක්‍ය සිංහලයට හරවද්දී මගේ අතින් සිද්ද වෙලා තිබ්බ වැරදි පෙන්නලා දීපු රවි අයියාට ගොඩාක් ස්තූතියි :) )



4 comments:

  1. spoonerism
    මේ වචනය පළමු වරට ඇසුවේ. හොඳ පාඩමක්. ඔන්න පාඩම ඉවර වෙනකල්ම කියෙව්වා...

    ReplyDelete
  2. හොඳයි එහෙනං කියන්න බලන්න පාඩමෙන් මොනවද ඉගෙනගත්තේ? :D

    ReplyDelete
  3. පද පෙරලි ගැන මම දැනගෙන හිටියට Spoonerism කියන වචනෙ ඉගෙන ගත්තෙ අද...ස්තූතියි සිත්තමී....:)

    ඔය වගේම සිංහල පද පෙරළි වර්ගයක් තිබුනා...අපි පොඩි කාලෙ බොහොම ජනප්‍රියයි වුනු ඒ තමයි සිංහල තුන් තේරවිළි...අහල තියද ඒ ගැන?

    බුදු කුස්සිය....ඒකතේරවිල්ල ලිහන්නෙ මෙහෙමයි...බුදු නම් මුණි..කුස්සිය නම් පැල...මුණි පැල..පැණි මුල

    කෝටු ඉළක්කය...කෝටු නම් දර...ඉලක්කය නම් මාන...දරමාන ...මරදාන...

    ඔය දෙක විතරයි අනේ මතක තියෙන්නෙ...:( :(

    ReplyDelete
  4. අයියා මං ඒරොප්පෙන් ආවා කියලය හිතුවෙ තුන් තේරවිලි ගැන අහලා තියේද අහන්නෙ? :D අපි පොඩි කාලෙත් එව්වට හරි ආසයි. යාළුවො එක්ක තරඟෙට තුන් තේරවිලි හොයං එන්නේ. මටත් දැන් වැඩිය මතක නෑ. අයියා කියාපු දෙකට අමතරව මෙන්න මේක විතරයි මතක් උනේ:

    පළයන් බස් එක පතහට - පළයන් නම් පෝ, බස් එක නම් රිය, පතහට නම් වළ, පෝ රිය වළ, වාරියපොළ

    ස්තූතියි අයියේ, කමෙන්ටුවටත් පෝස්ට් එකේ වැරදි හදාගන්න මට දීපු උදව්වටත්. :)

    ReplyDelete