වැහි පොද පොද වැටෙනවා
සීත සුළං හමනවා
පාසැල් යන්නට කම්මැලි
ටිකිරි තවම නිදනවා
'චූටි පුතේ පරක්කුයිනෙ'
අම්මා අඬ ගසනවා
කම්මැලි හිත තව ගුලි වී
නිදන්නටම හදනවා
'යන්නෙ නැද්ද ඉස්කෝලේ'
අප්පච්චී අසනවා
ඇස් දෙක බාගෙට වහගෙන
ටිකිරි හොරට නිදනවා
'මටනං බෑ පොඩි මල්ලී
පරක්කුයිනෙ මං යනවා'
අක්කා ටිකිරිව දමලා
හනිකට පාසැල් යනවා
'කෝ කෝ කෝ නැගිටින්නකො'
අම්මා තව කියනවා
බේරෙන්නට බැරිම තැනදි
ඇඹුල් මූණ නැගිටිනවා
'අනේ අම්මෙ වහිනවානෙ
තෙමුණොත් ලෙඩ හැදෙනවා
ඒ හින්දා අද විතරක්
මං ගෙදරම ඉන්නවා'
'මේ මොන බොරු කතාවක්ද
හීනි පොදක් වැටෙනවා
ඒ උනාට අනිත් ළමයි
හැමෝම ඉස්කෝලෙ යනවා'
පොඩි පුතාගෙ කෙඳිරි ගෑම
අප්පච්චිට ඇහෙනවා
'ලෑස්ති වෙන්නයි කිව්වේ'
ටිකිරි ඇඳෙන් බහිනවා
දනි පනි ගා ලෑස්ති වී
කලබලයෙන් දුවනවා
ඉස්කෝලේ පටන් අරන්
පන්සිල් පද ඇහෙනවා
බෑග් එකත් එල්ලාගෙන
ටිකිරි හිටං ඉන්නවා
සීනුව ආයෙත් වැදුනම
පංතිය වෙත දුවනවා
ටීච නම් පොතත් අරගෙන
ළමයි ලකුණු කරනවා
පමා වෙච්ච ටිකිරි දැකල
ඉඳගන්නට කියනවා
'ළමයි ගෙදර වැඩ කළාද'
හැමෝම ඔව් කියනවා
ටිකිරි දිව හපං පොත් ටික
උඩු යටිකුරු කරනවා
'අනේ ටීච හරි වැඩේනෙ
මට පොත අමතක වෙලා
සත්තයි මං ඊයෙ රෑම
ඔක්කොම වැඩ ටික කළා'
'පොත් හැදුවේ කොයි වෙලේද'
ටීච ඉතිං අහනවා
'අද උදේනෙ' ටිකිරි නැගිට
බිම බලාන කියනවා
'ඒක තමයි මම කියන්නෙ
කළින් දවසෙ රෑ වෙලා
නිදියගන්න කළිං ඕනෙ
පොත් බෑගය අස් වෙලා'
'අදට ඉතිං ඉඳගන්නකො
ආයෙ ඔන්න නෑ සමා'
ටීච සැරෙන් කීව විටදි
ටිකිරි හොරෙන් හැංගුණා
දවස ඔහොම ගත වෙලා
පාඩම් වැඩ නිම වෙලා
ගෙදර යන්න හනි හනිකට
ළමුන් මගට පිවිසුනා
තවමත් පොද වැටෙනවා
ළමයින් කුඩ ඉහලනා
මඩ වළවල් මග ඇර ඇර
හනිකට ගෙදරට යනා
ටිකිරි හැමට පසු වෙලා
පොද වැස්සේ තෙමෙමිනා
වට පිට සිරි බල බලා
හෙමිහිට පා තබ තබා
'මොකද දරුවො කුඩේ නැද්ද'
සර් කෙනෙක් අහනවා
'තියෙනව සර්' කියූ ටිකිරි
කුඩේ ඉහල ගන්නවා
වට පිට මට පේන්නෙ නෑ
මැලවුන හිත හිතනවා
නිල් අහසත් පේන්නෙ නෑ
මුරණ්ඩු හිත කියනවා
කවුරුත් ලඟ පේන්නෙ නෑ
ඇස් වට පිට හොයනවා
පොද වැස්සට ආස හිතිලා
කුඩේ නැවත නැමෙනවා
වෙනද වාගෙ අව්වත් නෑ
අද හරි ලස්සන දවසක්
අහසේ නිල් අඩු උනාට
නැහැ කැත කළු වැහි කළුවක්
ගුරු පාරේ මඩ වළවල්
කොච්චර ගැඹුරුද බලනා
ටිකිරිගෙ සුදු සපත්තු දෙක
මඩ පාටට හැරවුනා
වැහි පින්නෙන් නෑවී ගිය
ගස් වල අතු සොලවනා
වැහි දිය මදිවට පිණි දිය
දඟ ටිකිරිව නෑව්වා
වෙල මැද්දේ පොඩි වස්සෙක්
පොද වැස්සට තෙමෙනවා
ඒ දැක දුක හිතුණ ටිකිරි
කඹේ ලිහලා දුවනවා
ඇළට උඩින් ගුරු පාරේ
පාලම් වැට දිස් වෙනා
වෙනදා අයියලා රැස් වෙන
පාලම අද හිස් වෙලා
ටිකිරි බොහොම සතුටු වෙලා
දුවලා පාලමට ගියා
වැටට උඩින් එබී බලා
වතුර පාර දෙස බැලුවා
පොද වැස්සෙන් දිය පිරිලා
ඇළ සතුටින් ගලනවා
පුංචි පුංචි මාළු පැටව්
උඩ පැන පැන නටනවා
විනාඩි පැය ගත උනා
ටිකිරි තවම වැට උඩා
ඇළට වැටෙන වැහි පොදයෙන්
නැගෙනා රැළි ගනිමිනා
පස්ස පැත්ත රත් උනා
හොඳ පාරක් හම්බුනා
කවුද බොලේ බලන විටදි
අම්මා දත් මිටි කනා
'මොකද ඔතන කරන්නේ
පාරත් අමතක වෙලා
දැං වෙලාව දන්නවාද'
ඇහුවා ටිකිරි බස්සලා
මග දිගටම දොස් කිය කිය
අතින් ඇදන් ගිහිල්ලා
ගෙදර ගිහින් බත් කව කව
අම්මා තවත් බණිනවා
'අප්පච්චී ආවහාම
දෙන්නම් අද ඉල්ලලා
කෝටු පාර දඟ කළාට
දවල් ගෙදර නෑවිල්ලා'
'බෑ කියද්දි මාව යවලා
ආයෙත් මට බණිනවා
අප්පච්චී ආවම මම
ඒ ඔක්කොම කියනවා'
'යන්න කිව්වෙ ඉස්කෝලෙට
ආයෙ දවල් ගෙදර එන්න
අතන මෙතන වැටවල් උඩ
කිව්වේ තෙමි තෙමි ඉන්නද'
'ඉතිං ගෙදර එන ගමංනෙ
පාලම ලඟ නැවතුනේ
ටිකක් වෙලා බලං ඉඳලා
ආපහු මම එනවනේ'
'යසයි ඉඳපු ටික වෙලාව
බඩගිනිවත් දැනුනෙ නැද්ද
මඩ වළවල් වලත් පැනලා
දිය වෙන්නම වැස්සෙ තෙමිලා'
උත්තරයක් දෙන්න කළිං
අලි හචිමක් පිට උනා
එක පිට එක හචිං ගිහිං
ටිකිරි ඉතිං ලෙඩ උනා
හරි ම අගේ ඇති කවි පෙළක්නේ. සේරම ලස්සන ම ලස්සනයි. මැවිලා පේනවා.
ReplyDeleteමං වැඩියෙම කැමති මේ කවි දෙකට
'අනේ ටීච හරි වැඩේනෙ
මට පොත අමතක වෙලා
සත්තයි මං ඊයෙ රෑම
ඔක්කොම වැඩ ටික කළා'
'අප්පච්චී ආවහාම
දෙන්නම් අද ඉල්ලලා
කෝටු පාර දඟ කළාට
දවල් ගෙදර නෑවිල්ලා'
ගොඩාක් ස්තූතියි අක්කා! :D
Delete