08. එවූ හසුනට පිළිතුරක් එන තෙක් හිඳිමි මම මග බලා...



ගලන ගඟුලෙක විසිරෙනා පෙණ කැටිති අමුණා ලියාලා
රොන් උරන රන් සමනළුන් දුන් පාට වත්සුණු තවරලා
කුරුළු මුවගින් ගිලිහෙනා රස මියුරු නාදෙක සඟවලා
එවූ හසුනට පිළිතුරක් එන තෙක් හිඳිමි මම මග බලා

සඳ එළිය පිරි රෑක ඇමිණූ තරු වැලෙක පද රඳවලා
අරලියා මල් පිපී හිනැහෙන මල් වියන යට නැවතිලා
නිසල සිතුවිලි සසල කරනා මඳ පවන් රැල් පීරලා
එවූ හසුනට පිළිතුරක් එන තෙක් හිඳිමි මම මග බලා

සේද මිහිදුම් වළාවෙන් සැරසී හිඳින කඳු යාවෙලා
පිස හමා ආ සුළං රැල්ලට හෙමින් රහසින් කොඳුරලා
හදේ සුපිපුණු පෙම් කුසුම් මකරන්ද මඳ නල රඳවලා
එවූ හසුනට පිළිතුරක් එන තෙක් හිඳිමි මම මග බලා 



No comments:

Post a Comment