43. එන්න අළුත් සිහින දකින්නට...


මිහි මත දිලි තරු කැට නමින් මා ලියූ සටහනෙන් කියැවුනු ඒ සුන්දර සිනමා සිත්තමේ එන තවත් ලස්සන ගීතයක් ගැන මට අදත් කතා කරන්න හිතුණා. ඒ එහි නිල වෙබ් අඩවියෙන්ම සියලුම ගීත වල පද රචනා හා ඉංග්‍රීසි පරිවර්තන මට හමු වූ නිසා.

අර අපූරු චිත්‍ර ගුරුවරයා සිසුන් හමුවට එන මුල්ම මොහොත මතකද? අර අපූරු ගීතය? මට ඒකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අන්න ඒ ගීතය විතරක් දාලා මං මේ සිනමා සිත්තම ගැන කතා කරන එක නවත්තන්නම්. අනෙක් ගීතත්, ඒ චිත්‍රපටය ගැන වැඩිපුර තොරතුරුත් ඒ නිල වෙබ් අඩවියෙන් ඔයගොල්ලන්ටම බලාගන්න පුළුවන්.




අන්න බලන්න, ඒ ගහක්ද?
නැතිනම් ලෝගුවක් පොරවාගත් කෙනෙක්ද?
අර වහිනවද? එහෙමත් නැතිනම්
වතුර පයිප්පය වහන්න අහසට අමතක වෙලාද?

ලෝකය කියන්නේ ඔබ එය දකින ආකාරයටයි
එය පවතින්නේ ඔබේම ඇස තුළයි

එනිසා මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න
අළුත් සිහින දකින්නට...

ඇයි මාළුන්ට පියාඹන්න බැරි?
හිතන්න...
ඉර හැමදාම නානවාද?
නැතිනම් හිසකෙස් විතරක් තෙමාගෙන 
අපට පෙනෙන්නට බොරුවට සිටිනවාද?

මේ තාරුකා, සැබවින්ම බැබළෙනවාද?
නැතිනම් තරහින් එකිනෙකා හා බැණගන්නවාද?

මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න
අළුත් සිහින දකින්නට...

හිස පිරෙන තෙක් පාඩම් කරන්නේ කුමටද?
අන්තිමේදී මොනවද මතක තියෙන්නේ?
ඒ වෙනුවට විවර කරන්න ඔබේ මනසේ දොරගුළු 
නොබියව පියාසරන්න

මා ඔබ සමගයි
ඔබ මා සමගයි

ඔබත් මමත් අපි සැවොම එක් වී
විනෝද වෙමු

ඇයි මේ ලොව මෙතරම් වර්ණවත්
කිසිදා කල්පනාකර තිබේද ඒ ගැන?

මෙතරම් අපූරු අන්දමින් වර්ණ තෝරාගෙන
කවුරුන් හෝ මේ ලොව සරසා ඇත
අපගේ විශ්වය ඉතාමත් සුන්දරයි
මෙහි නිර්මාණකරුවා සැබැවින්ම කලා කරුවෙකුම විය යුතුයි

මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න, එන්න, එන්න
අළුත් සිහින දකින්නට...



4 comments:

  1. හරිම අපූරුයි සිත්තමී...නැරඹිය යුතුම සිතුවම් පටයක් නම් තමා අනිවාර්යයෙන්ම..

    පොඩි දරුවො හැමෝම ඇතුලෙ ඉන්නව පරිකල්පන ශක්තියෙන් අනූන සුන්දර Alter Ego එකක්. බහුතරයකට වෙන්නෙ ඒ පරිකල්පනය උපන්ගෙයිම මියයන එක. හුඟක් වෙලාවට ඒ අපරාදෙ කරන්නෙ දෙමව්පියන් ඇතුලු වැඩිහිටියො...

    රාත්‍රි අඳුර කැටිගැහුනු මිදුලෙ කෙලවර රට දෙල් ගහ වටේ කැරකෙන කණාමැදිරි දෙන්නෙක් තමන් දිහා බලා ඉන්න යකෙකුගෙ ඇස් කියල හිතල ඇස් තද කරල පියාගන්න දරුවගෙ ඒ පරිකල්පනය අවදි කරවන එක වැඩිහිටියන්ගෙ යුතුකම. " මෙන්න මෙහෙ එන්න ළමයො විකාර නැතුව..." ඒ හැකියාව උපන්ගෙයිම මරල දාන්න හොඳම විදිහ

    අහසෙ එකිනෙකා පසුපස හඹායන වළාකුළු දෙකක හාවෙක් පස්සෙ පන්නන නරියෙක් දකින්නෙ ඒ පරිකල්පන ශක්තිය. " මොන නරියොද අහසෙ?....ගෙට එනවද විකාර කියවන්නෙ නැතුව.... " එතනින් ඉවරයි ඒ හැකියාව.

    දෙමව්පියො වැඩිහිටියෙක් නැත්නම් ලමා මනසේ සුන්දරත්වය හඳුනන හොඳ ගුරුවරයෙකුට පුළුවන් අනාගත නිර්මාණ කරුවෙකුට මුල් පියවර තියන්න අත අල්ලගෙන උදව් කරන්න.

    දන්නවද මම පොඩි කාලෙ මට ඔය වැඩේට උදව් කලේ කවුද කියල?....පොත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ කමෙන්ටුවට. :)

      /*පොඩි දරුවො හැමෝම ඇතුලෙ ඉන්නව පරිකල්පන ශක්තියෙන් අනූන සුන්දර Alter Ego එකක්.*/

      සහතික ඇත්ත. සිත්තරාගෙ සිත්තර පන්තියට එන චුට්ටං බට්ටිච්චො අතරෙත් ඉන්නවා මේ වගේ කීප දෙනෙක්. මං දවසක එයාලා ගැනත් ලියන්නයි හිතන් ඉන්නේ. අපිට හිතාගන්නවත් බැරි අර්ථකථන ඒගොල්ලෝ තමන් අඳින සිත්තර වලට දෙන්නේ. :D :D :D

      /*දන්නවද මම පොඩි කාලෙ මට ඔය වැඩේට උදව් කලේ කවුද කියල?....පොත්...*/

      හ්ම්, අපි හුඟ දෙනෙකුට පොත් වලින් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ එක්කම මං කියන ඕන වැල්වටාරමක්, විකාර කතාවක් අහන් ඉන්න වෙලාව තිබ්බ, මං වෙනුවෙන් වෙන් වෙච්ච ලොකු කනක් තිබ්බ මගේ ආච්චිත් මං ඇතුලේ ඉන්න මේ අමුතු ජීවියාට පණ දෙන්න ලොකු දායකත්වයක් දුන්නා. මගේ ආච්චි ගැනත් මං ලියනවා දවසක. ඒක හැබැයි මං හිතං ඉන්නවට වඩා බොහොම අමාරු වැඩක්.

      Delete
  2. වර්ණ සැනකෙළියට මම බයයි ... ඒ නිසා මම මොනොක්‍රෝම් ලෝකයක් ඇතුලෙම ඉන්න හිත හදාගෙන ඉවරයි ... !!
    අපූරු ලිපියක් සිත්තමී :)

    ReplyDelete
    Replies
    1. හරි, වර්ණ සැණකෙළියට බයයි කියමුකෝ. ඒ උනාට ඔයාගෙ ලෝකයට පාට පාට සමනළුන්ට එන්න ඉඩ අරින්න. පාට පාට මල් වලට ඔයාගේ ලෝකේ පිපෙන්න ඉඩ දෙන්න. පාට පාට කුරුල්ලන්ට ඔයාගෙ ලෝකේ නිදහසේ පියාඹන්න ඉඩ දෙන්න. පාට පාට මාළුන්ට ඔයාගේ ලෝකේ දිය පාරවල් ලස්සන කරන්න ඉඩ දෙන්න.

      ඔයා දන්නෙම නැතුව මොනෝක්‍රෝම් ලෝකෙන් එළියට ඒවි. වර්ණ වලට ආදරේ කරාවි. ඔයා පාට පාට හීන දකින්නට පටන්ගනීවි.

      Believe me... Just believe me..... :)

      Delete