භාරතයේ සුන්දර ඒ නමුත් දුක්බර ආදර අන්දරයක් වුනු සලීම් - අනර්කලී කතා පුවත ගැන පොඩ්ඩි අක්කා කාලෙකට උඩදී ලස්සන සටහනක් ලිව්වා. ඒ සටහනට ලස්සන පසු කතන්දර අපේ රවි අයියත්, නීතාත් කමෙන්ට් වලින් එකතු කළා. ඒ කතන්දර පසුබිම් කරගෙන මගේ හිතේ මැවුණු කතාන්දරේ මමත් එදා එතන ලිව්වා. අද මේ පෝස්ට් එකක් විදිහට පළ කරන්නේ එදා මම ඒ ලියපු කතාවයි.
ගඩොලින් ගඩොල බැඳී මා ඉදිරියේ ගොඩ නැගුණු පවුරේ අවසන් ගඩොල තැන්පත් වද්දී හාත්පස පැතිර ගිය ගන අඳුරේ මම මොහොතකට හුදෙකලා වුනෙමි. එහෙත් ඒ විගසම ඔහුගේ සුන්දර සිනහව, ආදරණීය නෙතු යුග මගේ දෑස අභියස මැවී පෙනුණි. ඔහු වෙනුවෙන් වූ ආදරයෙන් හදවත පිරී ඉතිරී යන අතරේ දෙනෙතට නැගුණු කඳුළකුත් සමග මාගේ දෑස් පියවී ගිය බව මට මතකය.
නැවත නෙත් විවර කරනා විට මා හුන්නේ කොහිදැයි එක්වනම සිහියට නගාගත නොහැකි විය. නමුත් එහි හුරුපුරුදු බවක් තිබිණ. ඔව්, මෙය මා කුඩා කළ පටන් මාගේ දෙපයේ ගිගිරි නාදයෙන් රාජකීයයන් පිනවූ උත්සව සභා මණ්ඩපයයි. ඔහුගේ දෙනෙත් දෙස මුල් වරට බලමින් ඔහුගේ දෙපා පාමුලින් ඒ සුවිශේෂී දිනයේ නර්තනය නිමා කෙරුණු ස්ථානයේ මම හිඳ සිටියෙමි. එහෙත් මා මෙතැනට ආවේ කෙසේද? මම සිහිපත් කළෙමි. දෑස් පියවී යන්නට පෙර මා සිටියේ අන්ධකාරයක් තුළ බව මතකය. දෑතත් දෙපයත් රිදුම් දෙන්නට වූ බැවින් මම එදෙස බැලුවෙමි. එකෙනෙහිම මා ගත දැවී පිළිසෙන්නාක් වැනි වේදනාවක් ඇති විය. ඔහුගේ දඟකාර සිනහව ඉදිරියේ ලෙලවූ වළලු මා දෑතේ තව දුරටත් නොවීය. එහි වූයේ යකඩ විලංගු කව දෙකකි. මාගේ නර්තනයෙන් සුවහසක් දනන් සිත් තුටු කරවනා අතරේ මාගේ දෙපය සැරසූ ගිගිරි එහි තව දුරටත් නොවීය. දකුණු පයේ රැඳී තිබූ විලංගුවේ ඇමිණී තිබූ දංවැල් කැබැල්ල ඉවත් කරන්නට උත්සාහ කළද මා අසමත් විය. විලංගු ලා මා වටා ඉදිකළ පවුර බිඳගෙන මා මෙතැනට පැමිණියේ කෙසේද? යළිත් වරක් ඔහු මා මුදාගන්නට සමත් වීද? එහෙත්.. එසේ වුවහොත් මරණ දඬුවමට මුහුණ පෑමට සිදුවන්නේ ඔහුටයි... ඒ සමගම මහා චණ්ඩ මාරුතයක් හමන්නට වූ අතර දැරිය නොහැකි සීතලකින් ගත වෙලී යන්නට විය. මොහොතකින් මා සිටියේ ඔහු ඉදිරියේය.
නිද්‍රා ඔසු මුසු කළ දෙළුම් යුෂ බඳුනෙන් නින්දට වැටුණු ඔහු තවමත් සුව නින්දේය. මගේ මුවග'ට නොඳැනීම සිනහවක් නැගුණි. කැරළි ගැසුණු කෙස් රොද අතරින් අතැඟිලි ගෙන ගිය මම මෘදු ලෙස ඔහුගේ නළල සිපගතිමි. ඒ සමගම ඔහුගේ දෙනෙත් විවර විය. "අනර්කලී!!!" ඔහු මහ හඬින් කෑ ගැසුවේය. ඔහුගේ සිරුර දහදියෙන් තෙත් වී තිබුණි.
මම සිනාසුණෙමි. "මං මෙතන ඉන්නවනේ..."
එහෙත් ඔහුට එය නෑසුණි. "අනර්කලී!!!" ඔහු යළිත් කෑගැසුවේ සයනයෙන් බසිමිනි.
"කුමරුනි, ඔබේ අනර්කලී ඔබ අසළමයි," මම ඔහුගේ දෙපා මුල වැටී පැවසුවෙමි.
එහෙත් ඔහු මා දුටුවේ හෝ ඔහුට මගේ හඬ ඇසුණේ හෝ නැත. ඔහු ඒ මොහොතේ කුටිය තුළට දිව ආ රාජපුරුෂයන් ඇමතුවේය. "කෝ නදීරා?" මුහුණින් මුහුණ බලාගත් රාජ පුරුෂයෝ අනතුරුව බිම බලාගත් හ. "ඇයි නිහඬ? කෝ මගේ අනර්කලී?" ඔහුගේ හඬින් කුටිය දෙවනත් විය.
කුමක් සිදුවන්නේදැයි සිතාගත නොහැකිව මම බලා සිටියෙමි. ඔහු වියරු වැටුණකු මෙන් කුටිය පුරා ඒ මේ අත සැරිසරන්නට විය. හදිසියේම ඔහුගේ දෙනෙත් සන්තූරය මත නතර විය. එහි තත් අතර රඳවා තිබූ කඩදාසිය ඔහු දුටුවේය. ඒ පිළිබඳව මා හට සිහිපත් වූයේද එවෙලේය. ඔහුව නිදිගන්වා හොර රහසේම පිටව යන්නට පෙරාතුව කඳුළු අතරින් අකුරු අමුණා මා ලියූ ලිපිය එය විය. එය දැන් ඇවැසි නැත. මා ඔහු අසළය. "කුමරුනි, ඔය ලිපිය ගැන සලකන්න එපා... මා ගිය ලෙසින්ම නැවත ඔබ අසළට පැමිණ සිටින්නේ, ඔබට නොපෙනේද?"
එහෙත් එයද ඔහුට නෑසුණි. මාගේ ලිපිය තත් අතරින් මුදා ගන්නා අතරේ ඔහුගේ අතැඟිලි වෙවුළනු මම දුටුවෙමි. ලිපිය කියවනා අතරේ යටිතොල විකාගත් ඔහුගේ දෑස් මැලවී යනු මම හොඳින්ම දුටුවෙමි. නැගී සිටින්නට දෙපා වාරු නැතිව ගිය කළෙක මෙන් ඔහු අසළ වූ සන්තූරය මතට වාරු විය. එයින් එහි කම්පනය වූ තත් වලින් නැගුණේ වෙනදා මෙන් මිහිරි රාවයක් නොවුණද නොදැනුවත්වම මාගේ දෙපය රඟන්නට සරසුණි. එහෙත්... පය බැඳි ගිගිරි වෙනුවට හඬ නැංවූයේ විලංගුවේ දම්වැලයි... එයින් නැගි කටුක මූසල නාදය දරාගැනීමට මටද අපහසු විය. ඔහුගේ දෑස් එක එල්ලේ මා වෙත යොමු විය. ඔහුට එය ඇසී ඇත. එතෙක් වේලා මා පැවසූ එකදු වදනක් හෝ නෑසුණද ඔහුට දම්වැලේ හඬ ඇසී ඇත. එහෙත් රාජපුරුෂයන් නිසලය. ඔවුනට එම හඬ කන වැකී නොමැති හැඩකි. මට සියල්ල අවබෝධ විය. මම වහා කුටියේ වූ කැටපත වෙත හැරුණෙමි. මට පිටුපසින් වූ කවුළුවෙන් ගලා ආ ආලෝකය කිසිඳු බාධාවකින් තොරව කැටපත මතට පතිතව ඇත. මා සිටින්නේ මළවුන් අතරය... එසේය... ලෝකයා හමුවේ නදීරා මිය ගොස් ඇත... කිරුළ හිමි රජ කුමරුට පෙම් බැඳීමේ වරඳට අනර්කලී මරණ දඬුවම ලබා ඇත...
"අනර්කලී..." ඔහු මා අමතයි. එහෙත් ඔහුට මා නොපෙනෙන බව දැන් මම දනිමි. එනමුදු මා සිටිනා බව ඔහු දන්නා බව දැනගැනීම මා හට ප්‍රමාණවත්ය. "අනර්කලී.." ඔහු මා වෙත එයි. මෙය සුදුසු නැත... මා සිටිනා තැන ඔහුගේ ලෝකයෙන් බොහෝ ඈතය. මා ඔහු වෙත රැඳී සිටීම ඔහුට හිරිහැරයකි... ඔහුගේ අනාගතයට, ඔහුගෙන් මේ අධිරාජ්‍යය වෙත සිදු විය යුතු මෙහෙයට බාධාවකි... එසේ වුවහොත් මා කළ පරිත්‍යාගයේ අරුතක් නැතිව යනු ඇත... එසේ විය යුතු නැත... මා ඔහු වෙනුවෙන් බලා හිඳිමි... සදාකාලිකව ඔහුට ආදරය කරමි... කෙදිනක හෝ ඔහු මා වෙත ඒමට සූදානම් වූ විටෙක ඔහුගේ ඇමතුම මා හට ඇසෙනු ඇත... එවිට ඔහු කැඳවාගෙන යාමට මම එන්නෙමි... එයින් පෙරාතුව මා ඔහු ඇසුරේ ගැවසුණහොත් ඔහුගේ මෙහෙය නිම වීමට පෙර ඔහුට මා වෙත ඒමට සිතෙනු ඇත... එය සිදු නොවිය යුතුය...... මා අසළටම ආ ඔහු මා වෙත අත දිගු කළේය. එකෙණෙහිම මම ඔහු ඇතුළු අනෙක් පිරිසගේ හිස් මතින් ඉහළ නැගී ඔවුන් දෙස නෙත් යොමා සිටියෙමි. මා සිටියේ ඉහළ කවුළුවේ ජනෙල් පඩිය මතය. ඔහුගේ දුක්බර දෑස් සිතේ සනිටුහන් කරගත් මම එතැනින් නික්ම පළා ගියෙමි. ඈත කඳුකරයේ ඔහු හා එක්ව ගත කරන්නට සිහින මැවූ තුරු ලතා ගං දියඇලි වලින් හෙබි වන ලැහැබකට වී හුන්නෙමි.
විටෙන් විට පැමිණ ඔහුගේ සුව දුක් සොයා බලා ගියෙමි. එහෙත් ඒ කිසි විටෙක මා පැමිණි බවට කිසිඳු සලකුණක් හෝ ඔහු වෙත නොපෑවෙමි. අපගේ පිවිතුරු ආදරයට සීමා බන්ධන පැනැවූ අක්බර් රජුගෙන් පසුව අධිරාජ්‍යයේ බලයට පත් වූ ඔහු සාර්ථකව පාලන කටයුතු කරගෙන යනු දැකීම මා හට මහත් සැනසීමක් විය. එහෙත් ඔහුගේ හදවත දොම්නසින් පිරී ඇති බව වීණා වාදන, නැටුම් ගැයුම් නොමැති මාළිගාවෙන් පැහැදිලි විය. ඔහුගේ සන්තූරය ඔහු යන එන සෑම තැනකම රැගෙන ගියද ඔහුගේ ඇඟිලි තුඩු එහි තත් පිරිමැද්දේ නැත. ඔහු මත්පැනට ලොල් වී ඇති බව මා දැනගත්තේ ඔහු බැලීමට ගිය එක් රාත්‍රියකදීය. එයින් ඔහුව මුදාගැනීමට කළ හැකි සියලු දෑ කළද ඉන් පලක් නොවීය. මා බිඳින බිඳින මත් පැන් බෝතලයක් පාසා ඔහු තව තවත් ගෙන්වා ගත්තේය. වරෙක එම බිඳුනු වීදුරු කැබැල්ලකට ඔහුගේ අත තුවාල වීමෙන් පසු මම එය නවතා දැම්මෙමි. ඔහු මා වෙත එන්නට සූදානම් වන බව මා දැනගත් නමුත් ඔහු එයට සූදානම් වන ආකාරය මා සිත දවාලීය.
අවසානයේ, ඔහු මා අත මුලින්ම ස්පර්ශ කළ දිනයේ පටන් නිශ්චිතවම හතළිස් වසරක් ගෙවුණු දිනයේ මට එම නාදය ඇසුණි. සතළිස් වසරකට පසු ඔහුගේ සන්තූරය යළි පණ ලබා ඇත. මා ඔහුගෙන් වෙන් වූ එම රාත්‍රියේ ඔහු මා වෙනුවෙන් ගැයූ ගීය, එම වාදනය යළි ඇසුණි. එය මා උදෙසා ඔහුගේ ඇමතුම විය. ඔහු මා වෙත ඒමට සූදානම් බව මා අමතා කී අයුරු විය. මම වහා ඔහු සොයා ගියෙමි. සීතල කඳුකරයේ කුඩා කඳුගැටයක් මුදුනේ චිනාර් වෘක්ෂයකට පිට දී ඔහු සන්තූරය වයමින් ගායනා කරමින් සිටියේය. ගිණි මැලය පිටුපසින් හුන් මා දුටු ඔහුගේ මුව'ග නැගි සිනහව මම දුටුවෙමි. පුදුමයකි, එතෙක් කල් මා පය බැඳි දම්වැල් සහිත විලංගුව වෙනුවට එහි වූයේ මිහිරි නාදයෙන් සෙලවෙන ගිගිරි වැලකි. දෑතේ වළළු පිරී තිබුණි. මම ඔහු වෙනුවෙන් රැඟුවෙමි. අපගේ ආදරය වෙනුවෙන් රැඟුවෙමි. ගෙවී ගිය හතළිස් වසර වෙනුවෙන් රැඟුවෙමි. අවසානයේ ඔහු පාමුල දණින් වැටුණෙමි.
එම දෑස තවමත් එලෙසම ආදරණීයය... එම සිනහව තවමත් පෙර ලෙසම සුන්දරය... ඔහු අතක් ඔසවා මා දෑසේ වූ කඳුළු බිඳුවක් පිස දැම්මේය. එදින, ගලෙන් ගල බැඳුනු පවුර පිටුපස අවසන් වරට දෙනෙත් පියාගනිද්දී දෑසට නැගි කඳුළ එම සතළිස් වසර පුරා මගේ දෑසේ මිදී පැවතුණි. අද ඔහුගේ උණුසුම් ආදරය හමුවේ ඒවා නැවතත් උණු කඳුළු බවට පත් වී ඇත. මා ඔහුගේ ලෝකයට යළි පැමිණ ඇත... නැතහොත්, ඔහු මාගේ ලෝකයට පැමිණ ඇත...

මම ලියපු කතන්දර වලින් අදත් මම ආසම කතාවක් ඒක..සලීම් - අනර්කලී පෙම් පුවත..ඊට ප ස්සෙ ඒකෙ වර්තමාන කතාවත් මම ලිව්ව. ස්තූතියි නංගි ආයෙම මතක් කලාට..මේ ඒ පොඩ්ඩිගෙ පෝස්ට් එකට මම ලියපු කමෙන්ට් එකේ අන්තිම කොටස නොහොත් සමාප්තිය...
ReplyDeleteසෙබළුන් නික්ම ගිය ඉක්බිති චිනාර් වෘක්ෂයට පිටදී අසුන්ගත් ජෙහන්ගිර් මත්පැන් ස්වල්පයක් පානය කලේ, සන්තූරය ද වයමින් එදා සතළිස් වසරකට පෙර ඒ අවසන් රාත්‍රියේ ගැයූ ගීය,වසර සතලිසක් ගලේ කෙටූ අකුරක් මෙන් තම සිතෙහි නොමැකෙන සේ ඇඳී තිබුනු ඒ ගීය, තමන් විසින්ම තමා පණ මෙන් ආදරය කල ඈ වෙනුවෙන් ලියැවුනු ගීය ගයන්නට විය.
සැලෙන ගිණි සිළු සේම රඟනා,
කණක තරු දිලිසෙනා නයනා,
නූපුරෙන් නැඟි රජත රාවය,
මත් කරයි මා සවන ලෙලෙනා,
පුළුලුකුල රන් සේල සැලෙනා,
ලැම හසුන් නික්මෙනා විලෙනා,
හදේ රඟනා නිළිය ඒ නුඹ,
මා සිතේ සැමදාම රැඳෙනා,
පිපුණු මානෙල් මලක් විලසා,
පිණි කඳුළු පෙති මතින් ගලනා,
ප්‍රේමයේ නොමැකෙනා සලකුණ,
සොඳුර දුටුවෙමි සුනිල් නෙතිනා,
රත් නෙළුම දිය මතින් පිපෙනා,
පුන් සඳකි නිල් අහස දිලෙනා,
සෙනෙහසේ මල් දමක් ගෙතුවෙමි,
පලඳවන්නට ඔබේ ගෙලටා,
ගිණි මැළයේ ගිණි දළු අතරින් අනර්කලී නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.
ගිණි පුපුරු නංවමින් ඇවිලුනු ගිණි මැළයේ උණුසුම ටිකින් ටික නිවී යමින් තිබිණි.
නිහඬ සන්තූරය මත චිනාර් ගසේ රත් පැහැ පත්‍රයක් පතිත විය,
නිහඬවම චිනාර් ගසට පිටදී සිටි ජෙහන්ගීර් ගේ පියවුණු දෑස මත පතිත හිම පියල්ලක් එහි රැඳෙනු නොහැකිව පොළවට වැටී, ඊට පෙර වැටී තිබුණු ශත සහශ්‍ර සංඛ්‍යාත හිම පියලි වලට එකතු වී සැඟව ගියේය,
අවසන වසර සතළිහකට පසුව......එසේය වසර සතලිහකට පසුව.....ඔවුන් දෙදෙන කාශ්මීරයේ හිම වැටෙනා ශීත සෘතුවේ එක සන්ධ්‍යාවක , රත්පැහැ පත්‍ර ගිනි ඇවිළි කලෙක මෙන් දිලෙන චිනාර් ගසක් සෙවනේදී නැවත වෙන් නොවන සේ එකතු වූහ.
Love definitely could be fulfilled,
But unfulfilled love is love at its purest form,
love for the sake of love,
with nothing expected & nothing gained
Loving someone because there is nothing else to do,
because thats what's expected of you,
because you are helpless to do otherwise ,
because that's the destiny of you,
because you were born for that specific purpose,
Isn't that the purest form of love anyone can imagine?
අයියා ලියපු ඒ ලස්සන වර්තමාන කතාවත් මට මතකයි. පොඩ්ඩි අක්කගෙ පෝස්ට් එකේදි අයියා ලියපු කතාවම තමයි ඇත්තටම මම මේ අනර්කලීගේ පැත්තෙන් ලිව්වේ එදා. අපිට චරිත ආරූඪ වෙන විදිහට ලස්සන කතා ලියලා අපිට කියවන්න දෙනකොට ඉතිං එහෙම ලියවෙනවනේ... :) ගොඩාක් ස්තූතියි අයියේ.
Deleteමේකට කවිකාරත් ලිවුවා නේද වෙනමම කතාවක්.? 'සිවු සියවසක කතාවක්' ද මොකක්ද මන්දා, නම මතක නෑ.. ඒ අර දඩයක්කාරයගෙ කතාව ලියලා මොළේ ඔල්මොරොන්දන් වෙන්ට කලින් කාලෙ.. :-)
ReplyDeleteඔව්වොව්වොව් ලිව්වා තමයි උන්දෑ. මේ තියෙන්නේ. සිව්සියවසක පෙම් කතාවක්. :)
Deleteඒ රසවත් අතීතේ මතක් වෙලා හදවත මොහොතකට නතර වුණා...:)
ReplyDeleteමට ආසයි ඒ කාලෙට ආපහු යන්ට සිත්තමී...හරිම අහිංසක, ආදරෙන් හිත පිරිලා තිබ්බ කාලයක්. ඒත් ගලන ගඟක් නතර කරන්ට බෑලු. ඒ වගේම තමා අපේ ජීවිතෙත් කියලා කවුදෝ පන්ඩිතයෙක් කාලෙකට ඉහතදි කීවලු. :D
ඇත්ත අක්කේ. ඒ කාලේ හරිම ලස්සනයි. අපේ පොඩි කාලේ මතක් කරනවා වාගේ ආයෙ ආයෙත් ආදරෙන් මතක් කරතෑකි. ඔව්, ගලන ගඟක් නතර කරන්න අමාරුයි තමයි. ඒක ඇත්ත. ජීවිතෙත් ගඟක් වගේ තමයි. :)
Deleteමේව කියෙව්වාම මට හරිම නොස්ටැල්ජියාවක් එනව.. අවුරුදු ගාණකට ඉස්සර අපි ලක්නව් ගිහින් අර බාරා ඉමම්බරාවල ඇවිද්ද, මෝගල් ශෛලියේ සොහොන් කොත් පාමුල ඉඳගෙන හිටිය කාලෙට හිතෙන් පියාඹනව.. මට තියෙන්නෙ ඒ වගේ නගරයකට ගිහින් ඒ දේවල් එක්ක බද්ධ වෙලා, එ්වගෙ කොටසක් වෙන උණක්.
ReplyDeleteදැන් අද දවසම පැරණි රසාංග ටිකක් ඇහුවාම හිතෙන් ඉන්න පුලුවන් එහෙට වෙලා..
හ්ම්!! ආයෙමත් මාව ඇවිස්සුවට සිත්තමීට ස්තූතියි
හෑ! උණ කිව්වා? හපොයි හපොයි බෙහෙත් ගන්ට වහාම! දවස් දෙකක් යද්දිත් බැස්සෙ නැත්තං හෙම බ්ලඩ් ටෙස්ට් එකකුත් කරගන්ඩ හොඳද! :P
Deleteස්තූතියි අක්කේ. ඔයා භාත්කණ්ඩේ කරන්න ගිහින් හිටපු කාලෙ ගැන වෙන්න ඇති මං හිතන්නේ ඔය කියන්නෙ. පැරණි රසාංග - ඒ කිව්වෙ පරණ හිංදි ගීත වලට නේද? කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ. පුදුමාකාර නිවුනු රසවින්දනයක් හිතට ගේන්නේ ඒවා.