85. යාළුවෝ...



යාළුවෝ... අපේ ජීවිත වලට තදින්ම බලපාන පිරිසක්. සමහර වෙලාවට පවුලේ අයටත් වඩා අපිට සමීප වෙනවා. ලේ නෑ කමක් නැතත් හෘදයාංගම සහෝදරත්වයකින් බැඳෙනවා. ඒ එක්කම අපිව නරක පාරේ ඇදගෙන යන යාළුවෝ ඉන්නත් පුළුවන්. මේ දෙගොල්ලන්ම ගැන අපේ බුදු දහමේ හරි අපූරුවට විස්තර වෙලා තියෙනවා - කල්‍යාණ මිතුරන් හතර දෙනෙක් ගැනත්, පාප මිත්‍රයන් හතර දෙනෙක් ගැනත්. මම අද කියන්න යන්නේ ඕන්න ඔය අට දෙනා ගැන. කවියෙන් ඔන්න හොඳද. අහගෙන ඉන්ඩලාකෝ.

කල්‍යාණ මිතුරන් හතරදෙනා


උපකාරක මිත්‍රයා: 

දෙමව්පියන් සේ රැකවරණය දී - සැමදා පිහිටට එයි
උපකාරය සොයනා මොහොතකදී - මග නොහැරම කර දෙයි
මෙවන් මිතුරු දන ඇසුරු කරන්නට - පෙර පින් තිබිය යුතුයි
දිවි මග සරු වී වාසනාව ලැබ - මිතු දම් තව දළු ලයි

සමාන සුඛ දුක්ඛ මිත්‍රයා:

විශ්වාසය මත රැඳෙනා නෑ කම - මොහු අඩු නැතිව රකියි
සියලු රහස් රැක සිත සන්සුන් කර - අවංක කම රජයයි
දුකත් සැපත් එක ලෙසටම සලකන - කිසි දා පිටු පා නොයයි
මිතු දම වෙනුවෙන් දිවි වුව කැප කර - මිතු දම සදා රකියි

අත්ථක්ඛායී මිත්‍රයා:

පාප සිතින් ඔබ නිති මුදවාගෙන - දැහැමි මගට යොමවයි
මෙවන් මිතුරු දන ඇතිනම් ඔබ හට - නිති පින් දම් රැස් වෙයි
මිතුරු සිතින් ඔබ යහ මග යවනට - විටෙක තදින් කියතෙයි
මේ මිතු දම ඔබ නිසි ලෙස රැක්කොත් - පරලොව සුගතියෙ යයි

අනුකම්පක මිත්‍රයා: 

මිතුරු තොමෝ විපතට පත් වූ කළ - නිති ලඟින්ම හිඳිතෙයි
සිත සනසා ඔවදන් බස් දී - අත් නොහැරම සෙත සලසයි
ගුණ වයනා විට තව තව පසසා - මිතුරු නාමෙ රැක දෙයි
නරකක් කී විට එහි දොස් දක්වා - තම මිතුරා රැක ගයි

පාප මිත්‍රයන් හතරදෙනා


අඤ්ඤදත්තුහර:

අත වන වන විත් යමක් රැගෙන යන
සුළු දෑ දී ලොකු දෙයක්ම පතමින
විපතට පත් කළ පිටු පා සැඟවෙන
තම වාසිය පමණක් තකනා දන

වචී පරම:

ඊයේ කීවානම් පිහිටට එන
දැන්නම් බැහැ පසුවට කල් දමමින
ඵලක් නොමැති දේ පමණක් දීමෙන
ඕනෑ වූ විට මග හරිනා දන

අනුප්පියභාණි:

වැරදි වැඩට නිති අනුබල දීමෙන
හොඳ වැඩටද ඒ ලෙසින්ම කියමින
ඇති තැන මුහුණට ගුණ වරුණා කර
නැති තැන දොස් පවසා තුටු වන දන

අපාය සහායක:

මිතුරා වරදට පොළඹා තුටු වන
සුරාවෙ සූදුවෙ මිතුරා ගිල්වන
බියකුරු ලෝකෙට මිතුරා ගෙන යන
අපායෙ මාවත නිසි ලෙස දත් දන

තේරුණාය ඔය ළමයින්ට? ඒ එක්කම ධම්ම පදයෙන් කියලා දෙන මෙන්න මේ පාඩමත් ජීවිතේට බොහෝම වටිනවා. 

ධම්ම පදයෙන්:
චරංවේ නාධිගච්ජෙය්‍ය - සෙය්‍යං සදිස මත්තනෝ
ඒකචරියං දල්හං කයිරා - නත්ථි බාලෝ සහායතා

අර්ථය:
ඇසුරු කරන්නට කිසිවෙකු නොමැති කළ
නොයන් දුදන ඇසුරට කිසිදා කෙලෙස
කලණ මිතුරු ඇසුරක් නැතිනම් අසළ
තනිව හිඳුම යහපත් බව දැනගන්න


මේ යාළුවො ගැන වැඩියෙන් විස්තර දැනගන්න ඕනෙනං මේන්න ගිහින් කියවන්ඩකෝ:
හොඳ යාළුවෝ
නරක යාළුවෝ







5 comments:

  1. මම මේ තාම අර හොඳ යාලුවෝ හතර දෙනාගෙන් මාව වැටෙන්නේ මොන ගොඩටද කියලා හොයනවා...:P

    ReplyDelete
    Replies
    1. ඔයා ඇවිල්ලා වැටෙන්නේ ඒ හතර දෙනාගෙන් දෙකහමාර වෙනි ගොඩට! :D :D :P

      Delete
  2. මගේ නම් අදහස මිතුරන් ආශ්‍රයේදී අපි දක්ෂ වෙන්න ඕනේ මිතුරාව හඳුනාගන්න. නැත්තම් අපිට හිතාගන්න බෑ මේ ඉන්නේ පාප මිත්‍රයෙක්ද, නැත්තම් කල්‍යාණ මිත්‍රයෙක්ද කියල. මොකද කවුරුත් අපිට තෝරලා දෙන්නේ නැහැ හොඳ/නරක මිත්‍රයෝ.

    අනිත් එක සමහර මිනිස්සු මට හම්බෙලා තියෙනවා තමන් අනුන්ට පාප මිත්‍රයෙක් වෙලා, අනුන්ගෙන් කල්‍යාණ මිත්‍රකම බලාපොරොත්තු වෙනවා. ඒක නම් අන්තිම අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඔයා කියලා තියෙන දේට සම්පූර්ණයෙන්ම එකඟයි උපේක්ෂා. ඒ දක්ෂකම තියෙන්න ඕනේ අපි ලඟ. ඒ නැත්තං හොඳ යාළුවෝ අපිටත් නොදැනිම අපෙන් ඈ වෙලා යයි, නරක යාළුවොත් එක්ක නොදැනිම අපි නරක පාරේ යයි. ඒ දක්ෂකම නැත්තම් අපි රැවටෙනවා. තදින්ම විශ්වාස කරපු යාළුවෝ ගැන තිබ්බ විශ්වාසේ බිඳිලා ගියාම, මහා හිස් හැඟීමක් දැනෙනවා. ආයෙ යාළුකමක් ඕනෙත් නෑ, තරහක් හිතේ තියාගන්නෙත් නෑ - ඒක මහා හිස් සම්බන්ධයක්.

      දෙවෙනියට කියලා තියෙන කාණ්ඩේ අයත් ඉන්නවා තමයි. මට හම්බවෙලා ඉන්න යාළුවෝ අතර එහෙම අය නැතුව ඇති සමහරවිට, මොකද මට ඒගොල්ලන්ගෙන් එහෙම දෙයක් දැනිලා නෑ. ඒත් දන්නවද, වෙලාවකට මට හිතෙනවා මම ඒ වගේ කෙනෙක්ද කියලා. ඇයි මං දන්නෙ නෑ එහෙම හිතෙන්නේ, ඒත් සමහර වෙලාවට ඒ වගේ වරදකාරී හැඟීමක් හිතට එනවා.

      ස්තූතියි කමෙන්ට් එකට. ඔයා යාළුවෝ ගැන ලියලා තිබ්බ පෝස්ට් එකත් මම කියෙව්වා. :)

      Delete
  3. මටත් ඔය හැම ජාතියේම මිතුරෝ ඉන්නවා.සමහරවිට මම නොදැනුවත්ව හරි තවත් යාළුවන්ට මමත් එහෙම වෙලා තියෙන්න පුළුවන්.
    කොහොම වුනත් යාලුවෝ කියන්නේ ඇතුවත් බැරි හැබැයි ඊටත් වඩා කොහෙත්ම නැතුවත් බැරි ජාතියක්.

    ReplyDelete