74. විභාගය...

හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! මෙන්න අවුරුදු තෑග්ගට කට්ටියටම ඉඳගෙන කියවන්න මගේ මඤ්ඤමක්. :D


ජීවිතය එක්තරා අන්දමක විභාගයකි. විවිධාකාර විෂය කරුණු ඇසුරින් සැදුම්ලත් විවිධාකාර ගැටළු ඒ තුළ අන්තර්ගතය. ඇතැම් ගැටළු බොහෝ පහසුය - ඒවා විසඳීම විනෝදාත්මකය, වින්දනීයය. ඇතැම් ගැටළු වෙහෙසකරය - විසඳීමට කල් ගත වේ. තවත් ඇතැම් ගැටළු නොමග යවන සුළුය - ගැටළුව එක් අන්තයකට දිව ගියද පිළිතුර ඇත්තේ තවත් අන්තයකය.

එලෙස එක් එක් අන්දමේ ගැටළු වලට පිළිතුරු ලබා දිය යුතු අන්දමද එකිනෙකට වෙනස්ය. ඇතැම් ගැටළුවකට පිළිතුරු වන්නේ විකල්ප කිහිපයක් අතුරින් තෝරාගත්තකි. ඇතැමකට හිස් තැන් පිරවිය යුතු වේ. තවත් ඇතැම් ගැටළුවකට පිළිතුර වන්නේ දීර්ඝ රචනාවකි. සෛද්ධාන්තික මූලධර්ම ඇසුරින් විසඳිය යුතු ගැටළුද ඇත. අපිළිවෙලට ඇති කරුණු කිහිපයක් නිසි පිළිවෙලට සකස් කිරීම, රටා හඳුනා ගැනීම, නොගැලපෙන දෑ ඉවත් කිරීම පිළිතුරු දීමේ තවත් ආකාර කිහිපයකි.

මෙහිදී පෙර උගත් දෑ පිළිතුරු වශයෙන් සැපයීමට මෙන්ම අළුතින් සිතා බලා පිළිතුරු සැපයීමටද සිදු වේ. ඇතැම් විට මෙම ආකාර දෙකම සංකලනය කොට නිර්මාණාත්මක හැකියාව හා පරිකල්පන ශක්තියද උපයෝගී කර ගැනීමට සිදු වේ. ඇතැම් විට පිළිතුරු සැපයීමට ලැබෙන්නේ සීමිත කාලයක් පමණි. ඇතැම් විට උපකාරක මූලාශ්‍ර ඇසුරින් පිළිතුරු සැපයීමට ඉඩ ලැබේ. ඇතැම් ගැටළු අනිවාර්යයෙන් විසඳිය යුතුය. ඇතැම් ගැටළු අතුරෙන් කිහිපයක් පමණක් විසඳා අනෙක් ගැටළු මගහැර යා හැක.

නමුත් මේ සෑම ගැටළුවකටම විසඳුමක් කොතැනක හෝ සැඟවී ඇත.

එම විසඳුම් සොයා යන ගමන් මග තීරණය කරන්නේ ඔබ විසින්මය. මෙම ගමන් මගේ ඇවිද යනවාද, හති දමමින් දිව යනවාද නැතහොත් විසඳුම් ඔබ දෝතටම පතිත වන තුරු එකම තැන නැවතී බලා සිටිනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබමය. ඔබට ඇවැසිනම් ඉදිරියේ ඇති මාවත ඔස්සේ දෑස් මානයේ පෙනෙනා විසඳුම් බාර ගනිමින් නීරස ගමනක පිය මැන යා හැක. නැතහොත් විසඳුම් සෙවීම පසෙක ලා මග දෙපස තුරු අතු පත් මල් ගඩා ගෙඩි කඩමින් හෝ අන් අය මාවතේ කොතෙක් දුර ගොස් ඇත්දැයි විපරම් කරමින් හෝ ගමන් කළ හැක. එසේත් නැතිනම් ඔබ ගමන් කරනා මග දෙපස ඇති මල් වල සුවය විඳිමින්, ඒවා තව තවත් සුවඳවත් වන්නට දිය පොහොර දමමින්, තුරු හිස් වල සැඟවී සිටින කුරුල්ලන්ගේ ගී අසමින්, විටෙක මාවතෙන් මඳක් බැහැර වී විවේක සුව විඳිමින් ගමන් කළ හැක. එම මල් පඳුරු අතර, තුරු පත් අතර, කුරුළු ගී තුළ ඔබ නොසිතනා ආකාරයේ අපූරු විසඳුම් සැඟවී තිබීමට ඉඩ ඇත. 

කෙසේ හෝ අවසානයේදී විභාගය අවසන් වේ. ඇතැමෙක් මෙම විභාගයෙන් සමත් වේ; ඇතැමෙක් අසමත් වේ.

“Life, he realize, was much like a song. In the beginning there is mystery, in the end there is confirmation, but it's in the middle where all the emotion resides to make the whole thing worthwhile.”
― Nicholas Sparks, The Last Song



4 comments:

  1. මේ දරුවා කියා ඇති දේ මාඤ්ඤමිකය.. කරුණාකර පැහැදිලි සරල සිංහලෙන් බ්ලොග් ලියන්නේනම් මැනවි.. :-D

    ReplyDelete
    Replies
    1. යහපති බුරභිධාන උතුමාණනි! මින් මතු මෙම ටීකාව ලියන්නා බඳු සරල සුගම බස් වහරෙන් පමණක් වියුණු සටහන් රචනා කරනා බවට මාගේ සුරතේ චුල්ල අංගුලිකාවෙන් ලබාගත් රුහිරු බිඳු ශීර්ෂ මස්තකයේ තවරා පියා මෙසේ ශපත කරනෙමි! :D

      Delete
  2. කිව්වහම මොකෝ බුරා මේ ඇත්තිට මේ මෑතකදි ඔලුව කොහේහරි වැදුනු ගතියක් තියෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ, මගෙ ඔළුව වැදුණා ගිහිං අර නිල් පාට ඩෙනිමක් ඇඳං දුවන බදුලු කෝච්චියක! :P

      Delete