28. ඔබ වෙනුවෙන් මගේ පැතුම...


මේ උදාවෙන 2013 අවුරුද්ද 
ඔයගොල්ලෝ හැමෝටමත්, 
ඔයාලගේ ආදරණීයතමයන් හැමෝටමත් 
හිතේ සතුට සැනසුම පිරුණු, 
නිදුක් නිරෝගී බවින් පිරුණු, 
සුන්දර මතක ගොඩාක් ජීවිතයට එකතු කරන 
ලස්සන, වාසනාවන්ත අවුරුද්දක් වේවා! 
ඔයාලා හැමෝගෙම 
ලස්සන සිහින, බලාපොරොත්තු හැම එකක්ම 
මේ අවුරුද්දෙදි ඉටු වේවා! 


27. බීග්ල්ස්ගේ දර්ශනය...


පාසැල් යන කාලයේදී මම බොහොම ආසාවෙන් කියවපු පොත් පෙළක් තමයි 'බීග්ල්ස් පොත් පෙළ' (Biggles Series). ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදා (R.A.F. - Royal Air Force) නිලධාරියෙකු ලෙස සේවය කළ W. E. Johnes විසින් රචනා කරන්නට යෙදුණු මේ පොත් පෙළ ජේම්ස් බිග්ල්ස්වර්ත් (James Bigglesworth) නැමැති රාජකීය ගුවන් හමුදා නිලධාරියා හා ඔහුගේ සගයින් වටා ගෙතුණු අපූරු වික්‍රමාන්විත සිද්ධින් රැගත් පොත් පෙළක්. මෙම පොත් කිහිපයක්ම පී. බී. සේනානායක මහතා දැනට සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා.

මම අද ලියන්නේ Biggles ගැනවත්, ඒ පොත් පෙළ ගැනවත් නෙවෙයි, ඒ කතා මාලාවේ පොත් 101 අතරින් 24 වෙනි කතාව වන 'Spitfire Parade' නැමැති පොතේ එන, බීග්ල්ස් විසින් ඉදිරිපත් කරන අපූරු දර්ශනයක් (Biggles's Philosophy) ගැන කියන්නයි. 

ඒ පොතේ ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි:


When you are flying, everything is all right or it is not all right.
If it is all right there is no need to worry. If it is not all right one of two things will happen. Either you will crash or you will not crash.
If you do not crash there is no need to worry. If you do crash one of two things is certain. Either you will be injured or you will not be injured.
If you are not injured there is no need to worry. If you are injured one of two things is certain. Either you will recover or you will not recover.
If you recover there is no need to worry. If you don't recover you can't worry.

කොයි තරම් අපුරු තර්කයක්ද නේද?



26. නෙළුම් කොළේ උඩදි ගහපු ගිවිසුම...




ගම මැදින් ගලා බසිනා ඔය නිසලව රැළි නගමින් තිබුණි. නිදා සිටි නෙළුම් මල් යාය මැදින් තැනින් තැන මතු වූ කුමුදු මල් සඳ එළියේ හිනැහෙමින් තිබුණි. ඇය, පිණි බිඳු රැඳුණු නෙළුම් පතක් මතට වී අහසේ මුදුන්ව බැබළෙනා සඳ දෙස බලා සිටියාය. ස්වභාවයෙන්ම විසල් වූ ඇගේ දෙනෙත් යුග කඳුලින් පිරී ගොස් තිබුණි. එහෙත්, කඳුලින් පිරී ගියද එම දෑස් පසු වූයේ නො ඉවසිල්ලෙනි. සති ගණනාවකට පසුව හමුවන ඔහු දැකගැනීමේ නො ඉවසිල්ලෙනි. එහෙත්...

එක් වරම ඇසුණු 'ටොක්' හඬත් සමග තමා හිඳ සිටි නෙළුම් පත පැද්දී යනු ඇයට දැනුණි. මුව'ගට සිනාවක් නැගුණද ඇය නොසෙල්වී සිටියාය. ඒ සමගම ඇගේ හිසට ඉහළින් කරණමක් ගසා අහසට නැගි ඔහු ඈ ඉදිරියේ ජල තලය මතින් අතුරුදන් වූවේය. ඇසිල්ලක් ගතවන්නටත් පෙර නැවතත් දියෙන් මතු වූ ඔහු ඈ වෙත ජයග්‍රාහී බැල්මක් හෙලුවේය. ඇයට සිනහව වළක්වාගත නොහැකි විය. ඔහු සැමදාමත් එලෙසමය. දඟකාරය. ආදරණීයය. හැම විටම තමාව පුදුමයට පත්කරන්නට සූදානම්ය. එහෙත්... ඇගේ මුහුණ යළිත් මැළැවිණි.

ඔහුද නෙළුම් පත මතට ගොඩ වී ඈ අසළින් හිඳගත්තේය. "මොකෝ මේ?"

ඇය නිහඬව ඉවත බලා සිටියාය.

"මං පරක්කු උනාද?"

ඇයට තවත් නිහඬව සිටිය නොහැකි විය. "මොකද ඔයා දැං හැමදාම දවාලට පහළ කුඹුර පැත්තෙ යනවයි කියන්නේ?"

"මම??? නැහ්! කවුද කියන්නේ?"

"කවුරු කිව්වත් කතාව ඇත්තනේ?"

"මං හැමදාම යන එකක් නෑ, ඔහෙ හිතුණහම ගිහිං එනවා..." 

"ඕක මොකද දවල්ටම හිතෙන්නේ? මං දන්නවා රාළ මාමට කුඹුරට ඇඹුල අරං එන්නෙ උන්දැගෙ දෝණියන්දෑ හරිම හැඩකාරයි කියලා. එයාව බලන්න නේද යන්නේ?" ඇය හිතේ තිබූ සංතාපය පැනයක් ලෙසින් පිට කළාය.

"ඈ???"

"බොරුවට ඇහුන් නෑ වගේ ඉන්න එපා. මං නිකංම නිකං ලිඳේ ඉන්න ගෙම්බියෙක් නෙවෙයි!"

"හක හක හක හක... බක බක බක බක..." ඔහු මහ හඬින් සිනාසෙන්නට විය. "ඉතිං මං කිව්වද එහෙමයි කියලා?"

"යන්න මෙතන බොරු නොකර..." ඇය නැවතත් කඳුළු සලන්නට පටන්ගත්තාය. "මං දන්නවා ඔයාට රාළ මාමගෙ දුවට හිත ගිහිං කියලා!"

ඔහු වහා ඇගේ මුහුණට එබුණේය. "අඩේ... ඔයා අඬනවද?" ඔහුගේ මුහුණේ තිබුණේ සිනහවකි. ඒ දුටු ඇගේ හැඬීම වැඩි විය. "අනේ හරි හරි ඉතිං... ඕකට ඔය හැටි අඬන්න ඕනයැ? මං විහිළුවක්නෙ කළේ..." ඔහු නුහුරු ලෙස ඇගේ කඳුළු පිස දැම්මේය. විසල් දෑසින් ඔහු දෙස බලා සියතින්ම කඳුළු පිසදාගත් ඇය දිගු සුසුමක් හෙලුවාය. "ඔයාට ඉරිසියා හිතුණද?" ඔහු නැවතත් ඇගේ දෑසට එබෙමින් ඇසුවේය.

"මට?" ඇගේ පලා පැහැති දෙකොපුල් වලට ලා රත් පැහැයක් එක් විය. "නැහ්!"

"එහෙනං මෙතන පොළොවෙ හැපෙන්න හැදුවේ?"

"මං අහලා තියෙනවා ඔය මනුස්ස දුවලා ගෙඹි කුමාරයන්ට හරි මනාපයි කියලා..."

"හැබෑට? කවුද ඔයාට කිව්වේ?"

"අපෙ අත්තම්මා තමයි මට කිව්වේ... මීට හත්මුතු පරම්පරා හතකට උඩදී උන්නු ගෙඹි කුමාරයෙක්ට හාද්දක් දීලා ඔය මනුස්ස දුවක් එයාව මනුස්සයෙක් කළාලු..."

"නෑ!!! ඔය ඇත්තමද? ඉතිං හොඳයිනේ..."

ඔහු දෙස නොරුස්සනා බැල්මක් හෙලූ ඇය ගස්සා ඉවත බලාගත්තාය. "හහ්! හිතේ ඇති මෙතන මනුස්ස දුවලගෙං හාදු ගන්න!!!"

"හක හක... බක බක... හක හක... බක බක... ඔය මං කිව්වේ... ඔයාට ඉරිසියයි තමයි!!!" ඔහු නැවතත් ජයග්‍රාහී විලාසයෙන් සිනාසුනේය.

"වැඩේමයි ඉරිසියා කරන්න... හැබැයි ඔයා ඔය මට හිනාවෙන්නෙ මනුස්ස ජාතියෙ හැටි නොදැන..."

"හරි හරි, ඒ ගොල්ලො හාදු දෙන්නෙ ඉතිං ගෙඹි කුමාරයන්ටනේ... මං ඉතිං කුමාරයෙක්යැ?"

"කවුද දන්නේ කුමාරයෙක්ය කියලා හිතලා හාදුවක් දුන්නොත් එහෙම?"

"ඔය පරණ කාළේ කතන්දර වල ඔහොම තිබ්බට දැං ඔය වගේ ඒවා වෙන්නෙ නැතුව ඇති..."

"ඔහොම හිතලා අපේ සීයගෙ මාමා කෙනෙකුත් ගියාලු මනුස්ස දුවක් ඉන්න ගේක ලිඳ ගාවට. ඒ ළමයා හැම තිස්සෙම මිදුලෙ බංකුව උඩට වෙලා ගෙඹි කුමාරයෙකුයි මනුස්ස දුවකුයි ඉන්න පොතක් කියව කියව ඉන්නවලු. සමහර විට අර පරණ කතාව වෙන්ඩැති. අපේ මේ මුත්තව දැකලා ලිඳ ලඟට බෝලයක් අරං ඇවිත් අත ඇරලා අපේ මුත්තා දිහා බලං උන්නලු... මුත්තාටත් ඉතිං දුක හිතිලා ලිඳට පැන්නලු බෝලෙ අරං දෙන්ඩ හිතාගෙන. කොහෙ, මුත්තාට ආයෙ ලිං කටෙං ගොඩ එන්ඩ ලැබිලා නෑ, එච්චරට ගැඹුරු ලිඳක්ලු..."

"අපොයි!"

"අනික, ඔයා කියනවා දැං ඔහොම ඒව වෙන්නෙ නෑලු. අන්න උඩහ වළව්වෙ පොඩි මැණිකෙටත් ගෙඹි කුමාරයෙකුට හිත ගිහිල්ලලු!!!"

"බොරු!!! ඔයා කොහොමද දැනගත්තෙ?"

"ඔයා ඉතිං කුඹුරු ගානෙයි වතු ගානෙයි රස්තියාදු ගහනකොට අපි ඉතිං මෙහෙට වෙලා ඉන්න එපැයි. අද ඔයට ආපු ගමේ අය කතා වෙනවා මට ඇහුණා ඔය ගැන..."

"කවුද හැබෑටම මේ අපි නොදන්න ගෙඹි කුමාරයා, පොඩි මැණිකෙගෙ හිත වැටිච්ච..." ඔහු කල්පනා කරන්නට විය.

"එව්වා අපි දන්නෙ නෑ... තව ටික කාලෙකින් ඇහෙයි රාළ මාමගෙ දෝණියන්දෑත් ගෙඹි කුමාරයෙකුට හිත වැටිලා කියලා..." ඇගේ මුහුණ යළිත් අඳුරු විය.

"ඉතිං නරක් වෙලා තියෙයි..." ඔහුගේ සරදම් වල කෙළවරක් නැත.

ඇයට නැවතත් ඉවසාගත නොහැකි තරමට දුකක් දැනුණි. "කමක් නෑ, ඔයා කැමති එහෙමනං ඒ විදිහට කරන්න... මං කවුද ඔයාව නවත්තන්න..." ඇය නෙළුම් පතේ කෙළවරට ගොස් සඳ එළිය වැටුනු ජල තලය මත දිස් වූ සිය ඡායාව දෙස බලා සිටියාය. කම්මුල දිගේ රූරා වැටුණු කඳුළු බිඳුවකින් එම ඡායාව කැලැතුනු දිය මත බොඳව ගියේය.

ඇයට පිටුපසින් 'ජබොඃ' හඬක් ඇසුනි. ඔහු යන්නට යයි. ඇයට සමු නොදීම ඔහු යන්නට යයි. තමා ඉක්මන් වූවා වැඩි යැයි එක් වරම ඇයට සිතුණි. ඇය වහා ආපසු හැරුණාය. එහෙත් ඔහු පෙනෙන්නට නැත. නෙළුම් පත මත තමා හුදෙකලා වී ඇත. තම ජීවිතයද හුදෙකලා වනු ඇත. වදනින් ප්‍රකාශ කර නැති වුවද, මෙතෙක් කල් අතින්වත් අල්ලා නැති වුවද තමා ඔහුට ප්‍රේම කරන බව ඇය දනියි. එසේම, ඔහුද තමාට ප්‍රේම කරනු ඇති බව ඈ සිතා සිටියාය. එහෙත් එය වැරදිය. එය තමාගේ සිතුවිල්ලක් පමණක් වී ඇත. ඇය ඉහළ අහස දෙස බැලුවාය. සඳ වළාවකට වැසෙන්නට ආසන්නව ඇත. එක්වරම, දිය කඳ දෙබෑ කරමින් ඔහුගේ රුව මතු විය. ඇය තිගැස්සී පසුපසට පිම්මක් පැන්නාය. ඔහුද හති දමමින් නෙළුම් පත මතට ගොඩ විය. ඇය ඔහු දෙස බලා සිටියාය. ඔහු සිය අතේ වූ යමක් ඈ වෙත දිගු කළේය. ඔහුගේ දෑසේ අමුතු බැබලීමක් තිබුණි. "මේක... ඔයාට..."

ඔහුගේ දෙනෙත් වෙතින් සිය දෙනෙත් මෑත් කරගත් ඇය ඔහුගේ අත දෙස බැලුවාය. එය වී ඇට එකට අමුණා කුඩා මල් ගවසා සෑදූ කදිම මාලයකි. සිය දෑස් අදහාගත නොහැකි වූ ඇගේ මුව විවර විය. "මං මේකට වී ඇට එකතු කරගන්න තමයි කුඹුර දිහාවේ ගියේ." ඇගේ දෑසින් යළිත් කඳුළු හැලෙන්නට විය. "දැං මොකද අඬන්නේ?"

"සතුටට..." මුව විවර කරගත හැකි වූ සැනින් ඇය කීවාය.

"අනේ මන් දන්නෙ නෑ, සතුටටත් අඬනවා, දුකටත් අඬනවා..." ඔහු දෑතින්ම මාලය ගෙන ඇගේ ගෙල පැලඳුවේය. "තාමත් මාව සැකද?"

නැතැයි කීමට ඈ හිස සැලුවේ බිම බලාගෙනය. "මට දුකයි කළිං ඒ විදිහට කතා කළාට..."

ඔහු ඇගේ දෑතින් අල්ලාගත්තේය. ඒ ඔහු ඇගේ දෑතින් අල්ලාගත් ප්‍රථම අවස්ථාව විය. දෙදෙනාගේම හදවත් එක ලෙස ගැහෙන්නට විය. "ඔයා මාව බඳිනවද?"


25. ආදර හසුන...



"හැබෑද කොළුවෝ අර අත්තම්මා කියන කතාව? මේ දෑවුරුද්දකට විතර පස්සේ ගමේ ඇවිදිං උඹ ආයෙ හිටි හැටියේ දුවන්ට හදනවය කියන්නේ?"

සීයගෙ කටහඬට මං ගැස්සිලා හැරිලා බැලුවා. "ආහ්, සීයේ, මං ලඟට එනකල්ම දැක්කෙ නෑනේ.."

"හුම්, හුම්... මං දුටුවා මං දුටුවා මහා බරපතල කල්පොනාවක නෙවැ ගිලිලා උන්නේ..." සීයා කිව්වේ ඉස්තෝප්පුවේ ඇඳි පුටුවට බර දෙන ගමං. එ ලඟින්ම ඉස්තෝප්පුවේ කණුවකට හේත්තු වෙලා පඩියක් උඩ වාඩි වෙලා හිටපු මං කතාවක් නැතිවම ඈත පේන කඳු යාය දිහා බලාගෙන හිටියා. "මොකද බං... කියහං. අපෙං උඹට මොකවත් අඩුවක් හෙම උනාද? ගමේ කවුරුවත් හිත රිදෙන මොකවත් කීවද? මේ තකහනියේ ගෙදර දුවන්ට හදන්නේ? ඇවිදිං කී දොහයිද ගත උනේ?"

"අනේ සීයලගෙංවත්, ගමේ මිනිස්සුන්ගෙංවත් මට වරදක් උනේ නෑ... ඒත්........ ඒත්....... අනේ ඒත් මට මේ ටෙලිෆෝන් පණිවිඩයක් ගන්න තියෙනවා සීයේ..." අන්තිමේදී මං ඔන්න ඔහෙ කමක් නෑ කියලා හිතේ තෙරපි තෙරපි තිබ්බ ප්‍රශ්නේ සීයට කියලා දැම්මා.

"මෙහෙ මොන ටැලිපෝංද දරුවෝ? ඔය ලයිට් හිටං මේ කන්ද හරියට ආවේ බොහොම මෑතකදි වෙච්චි. ඕනෙමනං මහ ටවුමෙ තැපැල් කන්තෝරුවේනං තියෙනවා මයෙ හිතේ ටැලිපෝන් පෙට්ටියක්. ඒත් එහෙ යන්ට හැතැප්ම තුන හතරක්ම පයිං ගාටන්ට එපායැ... මොකෝ උඹට මේ හදිසියෙ එහෙම උවමනාවක් ආවේ? කෝ උඹ අර මුල් දොහේ අතේ තියාන තනියෙං කියව කියව උන්නු ගඩොල් කැටේ?"

ඔන්න ඒ ගමනනං මට ඩිංග වෙන්න තද උනා. "ගඩොල් කැටයක් වෙන්නෙ කොහොමද සීයෙ ඒක, හොඳ බ්ලැක්බෙරි ෆෝන් එකක්නේ..."

"මක් කිව්වා?"

මං මේ කතා කරන්නේ සීයා එක්ක නේද කියලා මතක් වෙච්ච හන්දා ආපහු මං මාතෘකාවට බැස්සා. "හැතැප්ම තුන හතරක් නෙවෙයි සීයේ මං හැතැප්ම දහ පහළොවක් හරි ඇවිදින්නං, ඒත් මට මේ ටෙලිෆෝන් පණිවිඩේ දීගන්න විදිහක් නෑනේ..."

"අර මක්කෙයි?"

"මට නොම්බරේ මතක නෑ..."

සීයා මං දිහා ටිකක් වෙලා බලා උන්නේ මං කතා කරන්නේ හොඳ සිහියෙන්ද කියලා දැනගන්න වගේ. "දැං කාටද ඔය තකහනියේ ටැලිපෝන් කරන්ට තනන්නේ?"

ඔන්න සීයා ඉතිං කෙළින්ම ඇහුවේ මට උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නේ. "නෑ... මේ... මගෙ..." මං තතනන්න ගත්තා.

"ඔව් ඔව්... උඹෙ..." සීයා පුටුවෙනුත් ඉස්සරහට නැමිලා මයෙ දිහා ඔලොක්කුවට වගේ බලාගෙන කිව්වා.

"නම කිව්වට සීයා දන්නෙ නෑ.."

"නම කීවට දන්නෙ නැති එක හරි, ඒ උනාට උඹෙ කවුද කියලා කියහංකෝ ඉතිං අපටත් දැනගන්ඩ එක්කලා..." මං ඉතිං ගොත ගහනකොට සීයා කතාව හිතාගෙනත් ඉවරයි.

"මම්... මං මේ... මේ... මං යාළු වෙලා ඉන්න ගෑණු ළමයට සීයේ..."

"හුම්, තතන තතනා කියාගෙන එන කොට මං දැනගත්තා... කොළුවෝ, මං අවුරුදු තිස් අටක් තිස්සේ උඹ වාගෙ කොල්ලෝ කුරුට්ටෝ ආණ්ඩු මට්ටු කොරලා තමයි පෙන්ෂොන් ගියෙ..... හුම්, ඉතිං දැං මොකෝ පුරස්නේ? ඔය කෙළී හන්දා මේ අපිව දාලා දුවන්ට තනන්නේ?"

"ඇයි මං සීයට කිව්වේ, මට එයාට කෝල් එකක් ගන්න විදිහක් නෑ. එයාගෙ ෆෝන් නම්බර් එක මට මතක නෑ..."

"හරි මිනිහෙක් නෙව... කරකාරෙට ගන්ඩ ඉන්න කෙලීගෙ නමවත් මතකද උඹට?" සීයා ආයෙත් ඔලොක්කුවට හිනාව.

"මගෙ ෆෝන් එකේනේ ඒ නොම්බරේ සේව් කරලා තිබ්බේ... හයියෝ වෙච්ච දෙයක්... මේ හරියට සිග්නල් අහු වෙන්නෙ නෑනේ අර මහ ගල හින්දා... ඉතිං මං පෙරේදා කන්ද උඩහට ගියා උඩහට සිග්නල් තියෙයි කියලා හිතලා... ඒත් හරි ගියෙ නෑ... සුමනෙයත් හිටියා ගෙදර. මං ඉතිං කෝල් එකක් ගන්න වද වෙන තරම දැකලා ඒකා ඩිංගකට ඉල්ලුවා බලන්නං කියලා... ඌත් ටවුමෙ වැඩ කරන එකා හන්දා, ෆෝන් ගැන යමක් කමක් දන්න එකා කියලා මං දුන්නා ඌට ෆෝන් එක... හයියෝ ඒකා මාව කෑවනේ... මං ඩයල් කරන්න ලෑස්ති වෙච්ච නම්බර් එක උගෙ අතින් බ්ලොක් වෙලා... සඳමාලිගෙ නොම්බරේ... ඉතිං මක් කරන්නද... මාත් මේ අළුත් ෆෝන් එක අරං වැඩි කාලයක් නෑ... ඔය නොම්බර බ්ලොක් කිරිලි, අන්බ්ලොක් කිරිලි මං දන්නෙ නෑ... දත්මිටි කකා ඒක හරිග්ගස්සන්න හදද්දි මගේ අතිං නම්බර් එක ඩිලීට් වෙලාම ගියානේ..." ඒ හෑල්ල කියාගෙන ගිහිං මං අත්දෙකේ ඔළුව ගහගත්තා.

සීයා ටිකක් වෙලා කතාවක් නැතිව හිටියේ මං කියාපුවැයිං වැඩි හරියක් සීයට තේරුණේ නැති හන්දා කියලා මට තේරුණා. ඒත් ඒක සීයට තේරෙන විදිහකට කියාගන්න මට තේරුණේ නෑ. සීයා ඕන විදිහකට හිතාගත්තුදෙං කියලා මාත් සද්ද නැතුව හිටියා.

ටික වෙලාවකට පස්සේ සීයා ලොකු හුස්මක් පිටකරනවා ඇහුනා. "දැං ඔය කෙලීට කතා කරගන්ට විදිහක් ඇත්තෙම නැද්ද?"

"නෑ සීයේ, මගෙ ෆෝන් එකේ නොම්බරේ සේව් කරලා තිබ්බේ, මට මතක නෑ ඒක."

"උඹට උඹලයෙ ගෙදර නොම්බරේ මතකද?"

"ඔව්, 351/7"

"ඒ නොම්බරේ නෙවෙයි බොල, ටැලිපෝන් නොම්බරේ."

මං කල්පනා කළා. පොඩි කාලේ ඉස්කෝලේ යද්දී හදිසියකට ගෙදරට කතා කරන්න ඕන උනොත් කියලා පාඩං කරගත්තු නොම්බරේ තාමත් මතකයි වගේ. "ඔව්, මතකයි..."

"හුම්, ඉතිං ඕකට කතා කොරලා කියහං ඒ දැරිවිට පණිවිඩයක් දෙන්න කියලා උඹ පරිස්සමෙං ආවය, මෙහෙව් අකරතැබ්බයක් උනාය කියලා..."

"අපොයි සීයේ ඒකනං කරන්න බෑ..."

"අර මොකෝ?" සීයා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"තාම අපි දෙන්නා ගැන ගෙවල් වලට කියලා නෑ..." මං මිමිණුවේ බිම බලාගෙන.

සීයා විදුහල්පතිකම කරන කාලේ තිබ්බ තේජස තාම එහෙමමයි. මගේ කතාව අහලා සියා හිනාවෙන්න ගත්තම මං ඇත්තටම පුදුම උනේ ඒකයි. "හෙහ් හෙහ් හෙහ්, උඹ හිතාන ඉන්නේ ඉතිං ඔය ගැන උඹලයෙ අම්මල අප්පච්චිල දන්නෙම නැතය කියලද?" මං සීයා දිහා බලාගෙන උන්නේ මොනවා කියන්නද හිතාගන්න බැරුව. "උඹ දැං විස්ස විද්‍යාලේ යන එකා වෙච්චි, මොකෝ ඔහොම එව්වා ආනන්තරීය පාපකර්මය? ඇරත් උඹෙ අම්මයි අප්පච්චියි හිටං පයිරු පාසානං පටං ගත්තේ ඔය බිමේදී නෙව..."

"ඒ උනාට පළවෙනි අවුරුද්දවත් ඉවර වෙනකල් අපි ගෙදරට නොකියා ඉමු කියලා කතා කරගෙන ඉන්නේ, ආයෙ විභාගේ එහෙම මොනවාහරි උනොත් එව්වත් මේක පිටිං යවයි. සීයා දන්නවනේ අපෙ අප්පච්චිගෙ හැටි. සඳමාලිගෙ අම්මයි තාත්තයිත් ටිකක් නීති දාන උදවිය. අපෝයි එයිට හපං එයා මට දාන්න එන නීති!" ඒ ගැන මතක් වෙලා මට ආයෙම හීල්ලුනා.

"හුම්, මොනවද දැං ඒ කෙළී උඹට දාන නීති?" සීයා ඇහැව්වේ බුලත් කෙළ පාරක් මිදුලට විදින ගමං.

"මට හැමදාම කැම්පස් එන්ඩලු, කොණ්ඩෙ හරියට පීරන්නලු, වැද්දෙක් වගේ රැවුල වවාගෙන ඉන්න එපාලු, ලෙක්චර්ස් කට් කරන්න එපාලු, ගෙදරට අපි ගැන කියනකල් කොහෙවත් ඇවිදින්න එන්න බෑලු, රෑට නාලා පීනසේ හදාගන්න එපාලු, වෙලාවට කෑම කන්නලු, නැත්තං ගැස්ට්‍රයිටිස් හැදෙයිලු, අරකලු, මේකලු.... වෙලාවකට මට ඇති වෙනවා සීයේ"

"ඉතිං දැං ඔය කියලා තියෙන එකක්වත් වැරදිද?"

"ඒ උනාට...."

"වැරදිද මං අහන්නේ?"

"වැරැද්දක් නෑ, ඒ උනාට එයා මගෙ නිදහස ගැනත් හිතන්න ඕනෙනේ..."

"නිදහස නෙවෙයි බං, ඒ කෙල්ල උඹට හොඳක් කරන්නයි ඔය හැටි දේවල් කියන්නේ... අම්මා අප්පච්චිටවත් වෙලාවකට ආණ්ඩු මට්ටු කොරන්ඩ බැරි උඹට ඔය වාගෙ කෙළි පැටික්කියෙක් හදි ගැහුණු එකනං බොහොම අපූරුයි..."

"සීයනං කියයි..." මම මිමිණුවේ අහක බලාගෙන. අන්තිමට පැමිණිලි කාරයට හුළං... නඩුත් හාමුදුරුවංගෙ බඩුත් හාමුදුරුවංගෙ... මං දත්මිටි කකා කල්පනා කළා.

"දැං ඔය පොළොවෙ හැපි හැපී ගෙදර දුවන්ට හැදුවෙ ඔය දැරිවි හන්දා නේද? මේ හැටි දොස් කීවට නැතුවත් බෑ නේද?" ඔන්න සීයා ආයෙම මට සවුත්තුව දානවා. ඒත් ඉතිං සීයා කිව්ව එකේ ඇත්තක් නැත්තෙම නෑ. එයා කියන දේවල් සතේකට ගණං නොගෙන මං ලෙක්චර්ස් කට් කරළා යාළුවො එක්ක රස්තියාදුවෙ ගියහම බැන බැන නෝට්ස් ලියලා දෙන්නෙත් එයාමනේ. කඩචෝරු කාලා කාලා බත් නොකා ඉන්න හැදුවම අලි බත් මුලකුත් උස්සං ඇවිත් හුස්ම ගන්න බැරි වෙනකල් අනලා කවන්නෙත් එයාමනේ. ඇස් දෙක රතු වෙනකල් මට බැනලා බැනලා අහක බලාගෙන අඬද්දී මගේ එක පුංචි විහිළුවකින් ආයෙත් හිනාවෙලා මාත් එක්ක යාළු වෙන්නේ මගෙ සඳාමනේ. අනේ ඒත් දැං මගෙං පණිවිඩයක් නැතුව ඒ කෙල්ල හොඳටම දුකෙං ඇත්තේ.

"කොළුවෝ..." සීයගේ කටහඬින් ආයෙත් මගේ කල්පනාව බිඳුනා. "ඕකට ඔය හැටි විස්සෝප වෙන්න කාරි නෑ. උඹ ඒ දැරිවිට කියලනේ ආවේ ගමේ යනවා කියලා.. ඉතිං තේරුං ගන්නෙ නැතෑ මෙහෙදි ඔය පහසුකං ඒ හැටි හොඳට වැඩ කොරන්නෙ නෑ කියලා..."

"කළිං දවසෙනං කිව්වා තමයි ගමේ එනවා කියලා. ඒත් එතකොටත් ආයෙ අර බණ දේසනාව පටංගත්තා. පරිස්සමෙන් යන්න... ගෙදරින් වතුර අරං යන්න මගදි බොන්න... ගමේදි කූඩැල්ලො ඉඳියි... ඇයි අනේ එයා හිතං ඉන්නෙ මං පොඩි එකෙක් කියලද... මං තද වෙලා ෆෝන් එක තිබ්බා... ආයෙ එන්න කළිං කතා කරන්නත් බැරි උනා. මගදි රිං කරලා තිබ්බා මට ඇහුනෙ නෑ කෝච්චියෙ සද්දෙට... ආයෙ ගන්න හැදුවත් සිග්නල් තිබ්බෙ නෑ... කොහොම හරි අර රණ්ඩුවෙන් පස්සෙ එයාට කතා කරන්න උනේම නෑ... බය වෙලා ඇති මං ඇත්තටම තරහ වෙලා කියලා..."

"හ්ම්...." දිග හුස්මක් හෙලපු සීයා ඇඳි පුටුවේ හොඳට දිගෑදිලා හාන්සි උනා. ඊට පස්සෙ හෙමින් සීරුවේ පරන කතාවක් මතක් කරනවා වගේ කතා කරන්න පටන්ගත්තා. "කොළුවෝ, මේ අහගං. උඹෙ අත්තම්මා මට බහ දීලා උන්නු කාලේ මං රාජකාරි කොළේ දකුණු පළාතේ, බොහොම පිටිසර ඉස්කෝලෙක... ඒ කාලේ ඔයි වාගේ අතේ ගෙනියන ටැලිපෝන් තිහා අර මේසේ උඩ තියෙන එව්වා උනත් තිබ්බේ එහෙමත් තැනක. හදිසි පණිවිඩයක් යවාගන්ට තිබුනේ ටැලිගරැං විතරයි. නිතර දෙවේලේ ගමේ යන්ඩ හැටියකුත් නෑ, ගමනාගමනේ බොහොම දුස්කරයි... මාස හයකට වංගියක් තමා මං ඒ ඇත්ති බලන්ඩ ගියේ... ඕං බොරුනං අහලා බලහං ගිහිං..." ගෙයි ඇතුළට ඔළුව හරෝලා සීයා කිව්වා. ඊලඟට බුලත් කෙළ පාරක් එහෙම ගහලා ආයෙමත් කතාව පටංගත්තා. "අපි කතාබහ කොළේ දරුවෝ ලියුං කරදහි වලිං. මං සුමානෙට දෙක තුන ගානේ එව්වා උඹලයෙ අත්තම්මට ලියුං. උන්දෑ දවසට එක ගානේ ලියලා සතියෙ අන්තිමට පියුං උන්නැහෙට දෙනවා තැපැල් කරන්ට කියලා. ලියුං ගනුදෙනුවේ රහ උඹලටවත් උඹලයෙ අම්මලා අප්පච්චිලටවත් විඳින්න ඉඩක් ලැබුනේ නෑ දරුවෝ. ඔය තාස්සනේ දියුණුවත් එක්කලා ඒ ඔක්කෝම අබාවෙට ගෙහුං. දැං හිතිච්ච ගමං 'හලෝ' ගාන්න විතරයි නෙව තියෙන්නේ. ඒක බැරි වෙච්චි හැටියේ ඉතිං පොළොවේ පස් කන්ට තනනවා. ඒ කාලේ ආදරවන්තයිං ගාව තිබ්බ ඉවසීම කෝ දැං උං ලඟ. පොඩ්ඩ ඇත්තං හැකේ මුල් කොරගන්නවා. ඊලඟට බැන අඬගාගෙන ගහමරාගන්නවා..." සීයා ඩිංගකට කතාව නවත්තලා හුස්මක් ගත්තා. මං ඒ කාලේ රජ කතා අහං උන්නාටත් වඩා ආසාවෙං කටත් ඇරං සීයා දිහා බලාගෙන ඉන්නවා.

"උඹට කියන්ඩ පුතේ, උඹලයෙ අත්තම්මා හරි කවිකාරි නෙව. හැම ලියමනේම නොවැරදීම කවියක් තියෙනවා. වතාවක් ඉස්කෝලේ සංවත්සර උත්සව කාලෙකදි මට ඩිංගක් අතපහු උනා ලියුං යවන්ඩ එක සුමානයක් විතර. ඒ ගමන උන්දෑ එව්වා තව ලියමනක්. ඒකේ තිවුණේ කවි පංතියක් විතරමයි. එව්වා බොහොම වටින මතක සටහන් පුතේ. මං එවාපුවයි, උන්දෑ එවාපුවයි ඔක්කෝම උඹලයෙ අත්තම්මා තවම පරිස්සං කොරං අරන්තියාගෙන ඉන්නවා, වෙලාවක ඉල්ලගෙන බලහං. ඔය තාස්සනෙයි, එක එක විච්චූරණයි මත උඹලයෙ ජීවිත ගොඩනගන්ඩ එපා. එව්වා උඹලා යටතේ තියාගනිල්ලා." සීයා කතාව ඉවර කළේ පරණ මතක වලින් පිරුණු දිලිසෙන ඇස් දෙක ඈත කඳු වලල්ල දිහාවට යොමාගෙන.

එදා හවස මං සීයලාගේ ගෙදර මිදුලේ අරලිය ගහ යට ඉඳගෙන මගේ ආදරවන්තියට ලියන පළවෙනි ආදර හසුන ලියන්න පටන්ගත්තා.




24. ගමන...



"දෝණී... ඔන්න අපි දැං පාලම උඩින් යන්න හදන්නේ... හයියෙං මගෙ අත අල්ලං ඉන්න හොඳේ..."

"නෑ, තාත්තා මගේ අත අල්ලගන්න..."

"ඉතිං ඒ දෙකේ වෙනසක් නෑනෙ..."

"ඇයි නැත්තේ? මං තාත්තගෙ අතිං අල්ලං ඉද්දි මාව වැටෙන්න ගියොත් මට තාත්තගෙ අත අත ඇරෙන්න පුළුවං. ඒත් තාත්තා මගෙ අතිං අල්ලං හිටියොත් මට බය නෑ. මොකද, මං දන්නවා තාත්තා මගේ අත කවදාවත් අත ඇරෙන්න දෙන්නෙ නෑ කියලා..." 

~ පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙනි

23. බැංකු පොත...

එකෝමත් එක රටක හිටියා තරුණ දුවෙකුයි අම්මා කෙනෙකුයි. ඉතිං මේ දුව විවාහ වෙන දවසේ අම්මා එයාට දුන්නා බැංකු පොතක්. දීලා කිව්වා දුවට එයාගේ සහකරුවත් එක්ක ගෙවන අළුත් ජීවිතේදී සිද්ධ වෙන හැම සතුටු අවස්ථාවකදිම ඒ බැංකු ගිණුමේ කීයක් හරි තැන්පත් කරන්න කියලා. ඒ එක්කම බැංකු පොතේ ඒ තැන්පත් මුදල ලඟින් ඒ සතුටු අවස්ථාව ගැන වචනයක් දෙකක් ලියලා තියන්න කියලත් කිව්වා. ඒ අවවාදේ ඒ තරම් බරක් පතලක් තේරුණේ නැති උණත් දුව අම්මගේ කීම පිළිගත්තා.

ඉතිං මේ අළුත විවාහ වුන තරුණ යුවළ බොහොම ආදරෙන් සතුටින් කල් ගත කරන්න පටන් ගත්තා. තරුණියත් එයාගේ සැමියාත් තරුණියගේ අම්මා දීපු මංගල තෑග්ග ඒ උපදෙස් අනුවම පාවිච්චි කළා. ඔහොම ටිකින් ටික කාලෙ ගත උනා. මේ දෙන්නට දරුවෙකුත් ලැබුණා. ටිකෙන් ටික, නොදැනීම මේ දෙන්නා අතර පුංචි පුංචි ආරවුල් ඇති වෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ ආරවුල් දුර දිග ගිහින් අන්තිමට මෙච්චර කලක් සතුටින් ආදරෙන් හිටපු මේ යුවළ වෙන් වෙන්න තීරණය කළා. මේ බව ඒ තරුණිය තමන්ගේ අම්මාට ඇවිත් කිව්වා. එතනදි කිසිම විරුද්ධත්වයක්වත් අවවාදයක්වත් පළ නොකර ඒ අම්මා මෙන්න මෙහෙම තමන්ගේ දුවට කිව්වා.

"ඒක ඉතිං ඔයාලා දෙන්නගේ තීරණයක්නේ. මං ඒකට මුකුත් කියන්නෙ නෑ. ඒත් ඔය දෙන්නා වෙන් වෙනවනම් එහෙම කරන්න කළිං එක දෙයක් කරන්න ඕනේ. අර බැංකු පොතේ තියන ඔක්කොම සල්ලි ආපහු අරන් ඒ ටික වියදම් කරන්න. ඔයාලා වෙන් වෙනවනම් ඒ ගිණුම තියං ඉඳලා වැඩක් නෑනේ."

අම්මාගේ අදහසට එකඟ වෙච්ච තරුණිය බැංකු පොතත් අරං ගියා බැංකුවෙන් සල්ලි ගන්න. මුදල් ලබාගන්න පෝලිමේ ඉන්න ගමන් එයා නිකමට ඒ පොතේ පිටු එකින් එක පෙරළලා බැලුවා. හැම තැන්පතු මුදලක් යටින්ම පුංචි පුංචි දේවල් ලියලා තියෙනවා එයා දැක්කා. තමන්ම ලියපුවා එතන තිබුණත් එයාට ඒවා ආයෙත් කියවන්න හිතුණා. මුලම පේළිය අම්මගෙන්.

'සුභ අනාගතයකට ඔයාලා දෙන්නටම අම්මගෙන් සුභ පැතුම්!'

ඊලඟ පේළිය, 'අපි බැඳලා මාසයයි. එයා මට ලස්සන ඇඳුම් ගොඩක් අරන් දුන්නා.'

ඊලඟ පේළිය, 'අද එයාගේ උපන් දිනය. අපි දෙන්නා අද කඳුකරයට යනවා නිවාඩුවකට.'

පේළියෙන් පේළිය කියවගෙන ගිය එයා පෝලිමෙන් අයින් වෙලා පුටුවක වාඩි උනා. 'අද අපේ පළවෙනි සංවත්සරය. මං එයාට ගොඩාක් ආදරෙයි.'

ඇස් දෙකේ කඳුළු පිරීගෙන එන බව එයාට තේරුණා. 'අද අපේ ජීවිතේ සතුටුම දවස. මං අම්මා කෙනෙක් වෙන්න යන බව දොස්තරලා කිව්වා.'

'අද මගේ උපන් දිනය. එයා මාව ගොඩාක් පුදුම කළා. මං ගොඩාක් වාසනාවන්තයි මේ වගේ මහත්තයෙක් ලැබෙන්න.'

ඔහුගෙන් වෙන් වන අදහස එයාගෙ හිතෙන් ඒ වෙන කොට තුරන් වෙලා තිබුණේ.

'අපිට පුතෙක් ලැබුණා. අපි දෙන්නම ගොඩක් සතුටින්.' ඒ වාක්‍යයත් එක්ක තමයි ඒ පොතේ වැඩිම මුදලක් තැන්පත් වෙලා තිබ්බේ. තවත් පොත කියවන්න පමා නොවුණු ඒ තරුණිය ඉක්මණින්ම තමන්ගේ සැමියා සොයාගෙන ගියා. ඒත් ඔහු ලඟදි වැඩි වෙනසක් පෙන්නන්නේ නැතුව එයා මෙහෙම කිව්වා.

"අම්මා කිව්වා අපි වෙන් වෙන්න යන නිසා මේ බැංකු ගිණුම තවත් තියං ඉන්න එපා කියලා, මේකේ තියන සල්ලි ඔක්කොම අරන් අපි වෙන් වෙන්න කළිං වියදම් කරන්න කිව්වා."

"ඉතිං ඔයාම ඒක කරන්න, ඇයි මට කියන්නේ?" ඇයව ගනන් නොගෙනම ඔහු කිව්වා.

"පුතාට ටිකක් සනීප මදි වගේ, මං එයා ලඟ ඉන්න ඕනේ. මේක විතරක් මට කරන අන්තිම උදව්ව විදියට කරන්න බැරිද? අනික මේකේ අපි දෙන්නගෙම සල්ලිනෙ තියෙන්නේ."

කොහොම හරි අන්තිමේදී සැමියා ඒක කරන්න කැමති උනා. මුදල් ගන්න පෝලිමේ ඉන්න ගමන් එයාටත් එයාගේ බිරිඳට කරන්න හිතුණ දේම කරන්න හිතුණා. කොහොමහරි ඒක කියවගෙන යද්දී එයාට සිද්ධ උන දේවල්ම මෙයාටත් සිද්ධ උනා. අතීතයේ සුන්දර මතකයන් ආපහු එකින් එක එයාට මැවිලා පේන්න පටන් ගත්තා. එයා ගෙදර යන කොට බිරිඳ හිටියේ මුළුතැන් ගෙය අස් කර කර. අඩි ශබ්ධය ඇහිලා එයා හැරිලා බැලුවා. සැමියාගේ මුහුණ දුටුව එයා හැම දේම තේරුම් ගත්තා. එයාගේ දෑසින් කඳුළු වැටෙන්න ගත්තා. එයා ලඟට ආපු සැමියා ආදරෙන් එයාව තුරුළු කරගත්තා.



"අපි කවදාවත් වෙන් වෙන්නේ නෑ."

"ඔව්, හැමදාටම අපි අපේමයි."

ඒ තරුණ යුවලට හරි මාර්ගය තේරුම් ගන්න උදව් වුන අම්මාව බලන්න ඒ දෙන්නා පුංචි පුතත් එක්ක එවෙලේම පිටත් උනා. ඉන් පස්සේ ආයි කවදාවත් ඒ දෙන්නා අතර පුංචිම පුංචි නෝක්කාඩුවකට වඩා දෙයක් ඇති උනේ නෑ. හැම දෙනාම සතුටින් ජීවිතේ ගත කළා.

~ පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙනි

21. හදවත සපුරා පවසමි ඉඳුරා...

කතන්දරේ කියන්න කළින් පොඩි දෙයක් තියෙනවා කියන්න. අපේ පොඩි කුමාරිහාමිගේ වළව්ව ගැන නොදන්න කෙනෙක් මේ සිංහල බ්ලොග් අවකාශයේ නැතුව ඇති මං හිතන්නේ. මං දැනට ටික කාලෙක ඉඳලා ඒ වළව්වේ රැඳිලා ඉන්නේ. පොඩ්ඩි අක්කා කියන හෘදයාංගම ආමන්ත්‍රණයෙන් මං කතා කරන පොඩි කුමාරිහාමිගේ ආදරණීය පිළිගැනීමත් දිරිගැන්වීමත් නිසා එතන මට මගේම තැනක වගේ ලෙංගතු බවක් දැනුණේ. එතනදි මට හම්බ උනු අනිත් යාළුවෝ හැමෝගෙන්මත් ලැබුණේ ඒ වගේම ධෛර්යයක්. මං බ්ලොග් එකක් නොලියපු පහුගිය අවුරුද්දක දෙකක කාලයේදී මගේ ලියන්න තියෙන ආසාව පිරිමැහුනේ පොඩ්ඩි අක්කගේ වළව්ව නිසා. එයා ලියපු නිර්මාණාත්මක ලිපි වලට මං කමෙන්ට් වලින් කතන්දර එකතු කළා. ඒ වගේ අවස්ථාවක් මට දීපු එක ගැන පොඩ්ඩි අක්කාට කොහොම ස්තූති කරන්නද කියලා මං දන්නෙ නෑ. ඒ වගේම ස්තූතියක් හිමි වෙන්න ඕනේ රවි අයියටත්. රවි අයියා තමයි මුළින්ම වළව්වේ ඒ වගේ කතා ලියන්න ගත්තේ. ඒවා දැකලා තමයි මටත් එහෙම ලියන්න හිතුණේ. මුල්ම කාලෙදී මං ඇත්තටම එතන ලිව්වේ පොඩ්ඩි අක්කගේ ලිපි වලට රවි අයියා එකතු කරපු කතන්දර වලට ඈඳෙන කොටස්. පස්සෙ කාලෙදි තමයි මං වෙනමම කතන්දර ලියන්න ගත්තේ.

මේ කියන්න යන කතාන්දරයත් මම ඒ පොඩ්ඩි අක්කගේ ලිපියකට කමෙන්ට් වලින් එකතු කරපු කතාන්දරයක්. එතන දැම්මට වඩා පොඩි සංශෝධන කීපයක් එකතු කරලා තියෙනවා. ඒවා මෙහෙම ආපහු මගේ බ්ලොග් එකේ දාන්න අවසරය දුන්නාට ස්තූතියි පොඩ්ඩි අක්කේ.

                                                  ***





වළ ගොඩැලි ගහන ගුරු පාරේ ගැස්සෙමින් පැද්දෙමින් ඇදී යන ගැල් පෙරහැරකි. මල් ලියකමින් සැරසුණු දෙවන ගැල තුළ වූයේ අළුත විවාපත් වූ මනාල යුවලයි. පෙරමුණේ වූ ගැල තුල මනාලයාගේ මව් පියන්ද, පසුපසින් වූ සෙසු ගැල් තුළ මනාලයාගේ බාල සොයුරා ඇතුළු ඥාතීන් පිරිසද, මනාලියගේ මව්පියන් විසින් ලබාදෙන ලද දායාදයන්ද විය.

මනාලියගේ දෑස් යොමුව තිබුණේ උකුල මත වූ තම දෑත් වෙතය. සැබැවින්ම කිවහොත් වම'තේ පැලැඳ හුන් රන් මුදුව වෙතය. දෙපෝයකට පෙර සිය බාල සොයුරියන් හා වෙල් ඉපනැල්ලේ ඇවිද ගොස් කටත් මුහුණත් දම් පැහැ ගැන්වෙන තුරු දැං බෝවිටියා රස බලා වැහි මන්දාරමේ නිවෙසට දුව ආ මොහොතේ අත්තම්මාගෙන් ලැබූ තරවටුව ඇයට සිහිපත් විය. "අනේ අනිච්චං, දීගෙක යන්ඩ ඉන්න ලමිස්සියෙක් නේද මේ?" ඇය අන්දමන්දව බැලුවේ සිය මව දෙසය. "දරුවො, අනිද්දා දිහාට කාණ්ඩයක් එනවා, ඔය නැටිල්ල පැත්තක තියලා අර කපු ඔසරිය හෙම අරං මැදලා කරලා ලෑස්ති වෙලා හිටියනං..." මව කීවේ එපමණකි. එළැඹුණු දිනට පසුදා ඔවුහු පැමිණියහ. බුලත් හෙප්පුව දෝතින් දරා ඔහු අභියසට ගිය ඇය හෙමිහිට දෑස් පියන් ඔසවා බැලුවාය. එදින ඈ ඔහු දෙස බැලූ පළමු සහ අවසාන වතාව එය විය. ඇගේ සිත තුළ සිටි සිහින කුමරාගේ රුව ඔහු අසළකවත් නොවීය. ගෙවී ගිය දින සති පුරා ඈ බලා සිටියේ වැඩිහිටියන් ඇගෙන් කැමැත්ත අකැමැත්ත විමසන තුරුය. ඇගේ අකැමැත්ත ප්‍රකාශ කිරීමටය. එහෙත්...

දෙතුන් වරක් හඬගෑ මවගේ ඇමතුම ඇසී ඇය මව සොයා යන විට ඈ සිටියේ බරැ'ති සාරියක් ඇඳ මත අතුරා එහි හැඩ බලමිනි. දොර රෙද්ද අතරින් එබුණු ඈ දුටු මව හිස වනා ඈ ලඟට කැඳවූවාය. "මේක හොඳද බලන්න දූ."

"මොකද්ද අම්මා මේ?"

"මගේ මගුල් සාරිය. ඇයි මතක නැද්ද, අර සාලෙ පින්තූරෙ තියෙන්නෙ..."

"ඔව්මයි, මට අඳුනගන්න බැරි උනා..." ඇයද ඇඳ අසල බිම දණගසාගෙන එහි රේන්ද සැරසිලි මතින් අතැ'ඟිලි ගෙන ගියාය.

"ඔයාටත් මේක ලස්සනට තියෙයි." මව ඈ දෙස බලා කීවේ ආදරයෙනි.

"මට?" ඇගේ දෑස් විසල් විය.

"ඔව්... දැං ඔයාගෙ කසාදෙටත් ලෑස්ති වෙන්න එපැයි..."

"මං කාවද බඳින්නේ?"

"ඇයි අර එදා මෙහෙ ආවෙ ඒ උදවිය?"

ඇගේ මුහුණ හැකිළුනි. "අනේ අම්මා... මම ඒ මනුස්සයට කැමති නෑ..."

"ඒ මොකද? මොකද්ද ඒ ළමයගෙ අඩුපාඩුව? කච්චේරියෙ වැඩ කරන්නේ, දැන උගත් කමයි, හැදිච්ච කමයි අඩුවක් නෑ ඒ ළමයගෙ. කේන්දරත් හොඳ හැටි පෑහෙනවා... ලබන මාසෙට නැකත් බලලත් ඉවරයි ළමයෝ..."

"අනේ, මගෙං අහන්නෙත් නැතුව?"

"වැදගත් පවුල් වල හැදිච්ච ගෑණු ළමයි අම්මා අප්පච්චිගෙ කීමට පිටිං යන්නෙ නෑ... ඇරත් ඔයා ඒ ගැන වචනයක්වත් කිව්වෙ නැති නිසා අපි කොහොමත් හිතුවෙ අකමැත්තක් නැතුව ඇති කියලා..."

තමා ඒ ගැන වචනයක්වත් නොකීවේ තමාගේ හැදිච්ච කම නිසාම නොවේද? වැඩිහිටියන් අසන තෙක්ම තමා ඒ ගැන කියන්නට බලා සිටියේ වැදගත් පවුලක සිරිත එයයැයි තමා සිතූ නිසා නොවේද. තමා ඔහුව දුටුවේද එකම එක් දිනක් පමණි... ඇයට හැඬුම් එන්නට විය.

"හ්ම්, හ්ම්, ඔය මදෑ. පවුලෙ ලොකුම ගෑණු දරුවා වෙච්චි, නංගිලාට ආදුරුසයක් වෙන්ඩ එපැයි..." කතාව නිමා කළ මව ඇයව මංගල සාරිය සමග තනි කොට කාමරයෙන් පිටව ගියාය.

පසු දින ඇගේ වැඩිහිටියන් ඔහුගේ ගම් රටවල් බලා ගියේ කරත්තයක් පුරවා බඩු පටවාගෙනය. ඇගේ වැඩිමහළු නැගණියන් දෙදෙනාද ඒ සමග ගිය අතර ඇය බාල නැගණිය හා නිවසේ තනි විය. බලාගත් අත බලා සිටිනා අක්කණ්ඩිය තම සෙල්ලම් වලට ඈඳා ගැනීමට ගත් කිසිඳු උත්සාහයක් සාර්ථක නොවූ තැන තනිවම දොඩමින් සෙල්ලම් කරන්නට වූ නැගණිය දෙස බලා හිඳිද්දී ඇගේ දෑසට යළිත් කඳුළු ගලා එන්නට විය. නිවසේ උදවිය යළි පැමිණියේ බොහෝ රෑ බෝ වීය. කිසිවෙකුත් ඈ හා ගමන් විස්තරය කියන්නට පෙළඹුනේ නැති අතර, ඒ පිළිබඳව විමසා සිටින්නට ඈ තුළද උවමනාවක් නොවීය. නැගණියන් දෙදෙනා හෝ තමා හා යමක් පවසාවියැයි ඈ තුළ සුළු බලාපොරොත්තුවක් වුවද ඔවුන්ද ඈ මග හැර තමන්ගේම කතාවක නිරත වූහ. 'ඒ දෙන්නත් එයාට කැමති නැතුව ඇති... මට ඒ වගේ තැනකට යන්න වෙනවට ඒ දෙන්නටත් දුක ඇති...' ඇය තනිවම කල්පනා කළාය. ඉතිරි දින කිහිපය ඈ ගෙවා දැමුවේ දංගෙඩියට නියම වූ සිරකාරියක ලෙසිනි.

කරත්ත රෝදය ගලක් මතින් ඇදී ගියෙන් ගැස්සුණු ඇය යළි පියවි ලෝකයට ආවාය. තමා වෙතටම යොමු වී ඇති දෙනෙතක රශ්මිය වැදීමෙන් තම දකුණු පස කම්මුල රත් පැහැ ගැන්වීගෙන එන බව ඇයට දැනුණි. ඇය යටැසින් එම මුහුණ දෙස බැලුවාය. එතෙක් වේලා කරත්තය පැද්දෙන තාලයට නැලැවෙන ඇගේ දකුණු කනේ පැලැඳි රන් තෝඩුව වෙත යොමු වී තිබූ ඔහුගේ දෑසද ඒ මොහොතේ ඈ වෙත යොමු විය. ඔහු පෑ හෘදයාංගම සිනහවෙන් ලැජ්ජාවට පත් ඇය යළිත් බිම බලාගත්තාය. එදින උදෑසන පෝරුව අසළදී එම මුහුණ ඈ දුටුවේ දෙවන වතාවටය. රැකියාවෙන් පමණක් නොව පෙනුමෙන්ද සාම්ප්‍රදායික ලිපිකරුවෙකුම වන් වූ ඔහුගෙන් දිස් වූයේ බැරෑරුම් වැඩිහිටියෙකුගේ තලත්තෑනි ස්වභාවයකි. මුල් දිනයේ හරි හැටි දැක බලාගන්නට නොහැකි වූ ඔහුගේ මුහුණ දෙස ඇය වඩාත් උවමනාවෙන් බැලුවාය. තමා සිතූ තරම් වරදක් එහි නැත. සැබැවින්ම, ජාතික ඇඳුම හැඳ සිටි ඔහු වෙතින් මුල් දින නොදුටු අපූර්වත්වයක් දිස් විය. උත්සවය නිමා වන තෙක් කාලය පියාඹා ගියේ ඇයටත් නොදැනීමය. සිය පවුලේ උදවියගෙන් සමුගන්නා මොහොතේ, ඈ කිසි දිනෙක නො එලඹේවායි පැතූ මොහොතේ, තම හදවත පැලී යනු ඇතැයි ඇයට සිතුණි. අම්මාගේත්, අප්පච්චිගේත් දෙපා නැමැද හැඬූ කඳුලින් යුතුව ඔවුන්ගේ ආශිර්වාදය ලබාගෙන නිමවූ සැණින් ඈ වෙත දිව විත් සිරුරේ එල්ලුනු නැගැණියන් තිදෙනාගෙන් ඈ සමුගත්තේ මහත් අපහසුවෙනි. වැළඳගැනීම්, සිපගැනීම්, රහස් කෙඳිරිලි, අවවාද, නෝක්කාඩු සියල්ලම නිම වී තමා නැගණියන්ගෙන් සමු ගෙන පැමිණෙන තෙක් ඉවසීමෙන් පසෙකට වී බලා සිටි ඔහුද ඔවුන් තිදෙනාගේ හිස් අතගා යමක් පවසනු ඈ කඳුළු අතරින් බලා සිටියාය.

"දැං අහක බලාගෙන හිටියට මොකද, පෝරුව උඩදිනං මයෙ දිහා කන්න වගේ බලං හිටියෙ..." කන ලඟින්ම ඇසුණු එම වදන් පෙළින් ඇය තිගැස්සී ගියාය. අනතුරුව විළියෙන් රතු වූ මුහුණින් යුතුව ඉදිරිය බැලුවේ ගැල පදවන්නාටද ඔහුගේ වදන් ඇසුණේදැයි දැන ගැනීමටය. එහෙත් ඔහු කිසිවක් නෑසුණ ලෙසින් සිය කටයුත්තේ නිරත වෙයි. ඇය නැවතත් ඔහු දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ වූවේ කවට සිනහවකි. තමා සැබැවින්ම ඔහු කී අයුරින් හැසිරුණේද? වස ලැජ්ජාවකි. එසේම මේ ඔහු තමා අමතා කළ පළමු ප්‍රකාශය බවද ඇයට සිහිපත් විය. දිනය පුරාම ඔහුගේ කටහඬ ඇසුණද, ඒ තමනට සුභ පතන්නට ආ නෑදෑ හිතමිතුරන් හා කතාබස් කිරීමේදී පමණක් විය. තමන් අමතා කළ මුල්ම ප්‍රකාශය මෙවන් සරදමක් වීමෙන් ඇය මඳක් උරණ වූවාය. ඒ සමගම කරත්ත රෝදය තරමක් විශාල වලක වැටී ගොඩ ආවේය. ඈ නොවැටී සිටියේ ඉතා අපහසුවෙනි.

"පාර හොඳටම සවුත්තු වෙලා නේද මාමේ?" ඔහු ගැල පදවන්නාගෙන් එසේ අසමින් ඈ සිටි අසුනට මාරු වූවේය.

"ගන්ඩ දෙයක් නෑ පුංචි මහත්තයෝ, සේරෝම හේදිලා - " ගැල් කරුවාට කතාව අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැත. පිටුපස ගැල දෙසින් ඇදී ආවේ මහා සිනා හඬකි. "පොඩ්ඩක් ඉවසං ඉන්ඩෝ - තව ටික දුරා...යි..." ගැල් කරුවාද පිටුපස හැරී බලා සිනාසෙමින්ම යළිත් ඉදිරියට හැරුණේය.

ඇගේ මුහුණ යළිත් විළියෙන් බර විය. "යන්ඩ අතනට..." ඇය බිම බලාගෙනම ඇසෙන නෑසෙන හඬින් කීවාය.

"ඇයි? ආයෙ වැටෙන්ඩ ගියොත් මං අල්ලගන්නං."

"අර පිටිපස්සෙ කට්ටිය කෑ ගහනවා..."

"ඒ ගොල්ලො කෑගැහුවට මොකද? උන්ට ඔළුවෙ අමාරුව..."

"යන්ඩ අතනට..." ඇය යළිත් ඉල්ලා සිටියාය.

දෙතොල් තද කර පියාගත් ඔහු සිය පුරුදු අසුන වෙත ගියේය. යළිත් පිටුපස ගැල වෙතින් මහා සිනාහඬක් ඇසුණි. "අයියෙ මොකෝ??? එළෙව්වදෝ???"

ඔහු ඔරවාගත් මුහුණින්ම කරත්තය පිටුපස අව් වැසි ආවරණයට සවි කොට ඇති පැලැල්ල ඇද දැමුවේය. පසු පස ගැල වෙතින් කෑ කොස්සන් සිනා හඬත් හූ හඬත් නැගී එන්නට විය. ඇයට ඔහු පිළිබඳව දුක සිතුණි. ඔහු තමාගේ විවාහක සැමියා නොවේද. තමා අසළින් හිඳ යෑමට ඔහුට සෑම අයිතියක්ම ඇත. සිය නෑදෑ හිතවතුන්ගේ කොළොප්පම් ඔහුට ඉවසිය හැකිනම් තමා ඒ පිළිබඳව කලබල වූයේ ඇයි. ඇයට තමා පිළිබඳවම කෝපයක් පහළ විය. ඇය සෙමින් ඔහු දෙස බැලුවාය. "තරහද?" ඔහු ඈ දෙස වරක් බලා කට කොණකට සිනාවක් නගා නැවත ඉවත බලාගත්තේය. ඔහු තමා පිළිබඳව කළකිරී ඇත. මෙලෙසින් ඔහුගේ නිවසට යා නොහැක. ඔහුගේ මව්පියන් කුමක් නොසිතාවිද. ඇගේ හදවත බියෙන් තැතිගෙන ගැහෙන්නට විය. එම තැතිගැන්මත් සමගම ඇය ඔහු හිඳ සිටි අසුනට මාරු වූවාය. ඔහු පුදුම වී ඈ දෙස බැලුවේය. "තරහා ගන්න එපා." ඇය බිම බලාගෙනම මිමිණුවාය. එහෙත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. සිනහවකින් එළිය වැටී තිබූ ඔහුගේ පිටුපස පැලැල්ලේ හිඩැස් අතරින් දිස් වූ ආකාශය වෙත යොමු වී තිබුණි. එම සිනහව ඇගේ සිත සැනසෙන්නට ප්‍රමාණවත් විය.

මඳ වේලාවකින් හොඳින් හරි බරි ගැසී ඈ දෙසට හැරුණු ඔහු අසුනේ ඇන්ද මතින් සිය සුරත තබාගත්තේය. "ඉතිං... මට කියන්න ඔයා ගැන..." ඔහු ඉල්ලා සිටියේය.

"මොනවද මං ගැන කියන්නෙ?" සබකෝලය මඳින් මඳ පළවා හරිමින් සිටි ඇය පෙරට වඩා කුළුපග ලීලාවකින් කතා කළාය.

"හැම දෙයක්ම..."

"ම්...." ඇය මඳක් කල්පනා කළාය. "...මගේ නම සෙව්වන්දි. මගෙ වයස විසි එකයි. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. මගේ ගම - "

එම තොරතුරු සියල්ලක්ම ඒ වන විටත් දැන සිටියද ඔහු ඇයට බාධා නොකර අසා සිටියේය. එම කතා බහ බොහෝ දුර ඇදී ගියේය. ගැල ගැස්සී යන වරක් පාසා ඔවුන්ගේ උරහිස් එකිනෙක ස්පර්ශ වූ අතර නැවතත් ගැල් රෝදය වළක වැටුණු මොහොතක අසුනේ ඇන්ද මත වූ ඔහුගේ සුරත ඇගේ උරහිස වටා තදින් වෙළී ගියේ ආරක්ෂාකාරී හැඟීමකින් යුතුවය. සැබැවින්ම එම ශක්තිමත් සුරතෙන් ඇයට සුරක්ෂිත බවක් දැනුණි. තමා ආගන්තුක නිවෙස තුල හුදෙකලාව අසරණ වනු ඇතැයි එතෙක් ඈ තුළ පැවැති බිය කෙමෙන් කෙමෙන් දුරු වන්නට විය. ගමනාන්තයට ලඟා වන තෙක් ඔහුගේ සුරත ඇගේ උර මතම රැඳී තිබුණි.

නතර කළ ඔවුන්ගේ ගැල පසු කොට වත්ත තුළට ඇතුල් වන සෙසු ගැල් වෙතින් නැවතත් සමච්චල් සිනා හඬ ඇදී ආවේය. නව යුවළට ගැලෙන් බැසීමට අවසර ලැබුණේ මනාලයාගේ මව පිච්ච මල් සහිත වතුර වීදුරුවක් සමග ආලින්දයේ සූදානම් වූවාට පසුවය. රතිඤ්ඤා හඬ කන් බිහිරි කරවමින් දසත පැතිරෙද්දී කරත්තයෙන් බට ඔහු ඇයටද ඉන් බැසීම සඳහා සහය වූවේය. එය තම නිවෙස මෙන්ම පැරණි, තරමක් විශාල නිවහනක් බව ඇය දුටුවාය. සිනාමුසු මුහුණින් පෙර මග බලා සිටි ඔහුගේ මව දුටු ඇගේ නෙතට කඳුලක් උනා ආවේ ඇගේ මව සිහිපත් වීමෙනි. මේ වන විට ඔවුන් තමා නැති පාළුවෙන් කල් ගෙවනවා විය යුතුය. පොල් තෙල් පහන දල්වා, කිරිබත් කැපීමෙන් අනතුරුව කෙළින්ම රාත්‍රී ආහාර ගැනීමට සිදු වූයේ හිරු බැස ගොස් ඒ වන විටත් හෝරා තුනක් පමණ ගතව ගොස් තිබූ නිසාවෙනි.

"එළියෙ සංගීත මඩුවක්ද?" ආහාර ගන්නා අතරවාරයේදී ඇය ඔහුගෙන් විමසා සිටියේ මිදුලේ වූ මණ්ඩපය තුලින් ඇසෙන්නට වූ බෙර නාද හා ඒ වටා එක් රොක් වෙමින් සිටි අමුත්තන් පිරිස නිසාය.

"හ්ම්... අපේ ගමේ මඟුලක් උනහම ඔහොම තමයි..." ඔහු පිළිතුරු දුන්නේය.

"එහෙනං අද නිදාගන්න වෙන්නෙත් නෑ," ඇය කීවේ මහත් වෙහෙසකාරී බවකිනි. උදෑසන සිට බරැති ආභරණ වලින් සැරසී හිඳීමට සිදු වීමද, දීර්ඝ වූ ගැල් ගමනද නිසා ඇය හෙම්බත්ව සිටියාය.

"අද කොහොමත් නිදාගන්ට වෙන්නෙ නෑ තමා!" ඔහු ඇඟට පතට නොදැනී දුන් පිළිතුරෙන් රතුව ගිය මුහුණ පිඟාන වෙතම යොමාගත් ඇය ඉන් අනතුරුව නිහඬවම සිටියාය.

ආහාර ගෙන අවසන්ව ඔවුන් දෙදෙනා හිඳ සිටි තැනට පැමිණි ඔහුගේ මව මනමාලියගේ හිස අතගාමින් තම පුතු අමතා කතා කළාය. "ලොකු පුතේ, මේ දරුවට මහන්සිත් ඇති. උදේ ඉඳංම මෙහෙමනේ. උඩට එක්කං ගියානං. ඇඟපත හෝදගෙන, ඇඳුම් හෙම මාරු කරගෙන ආයෙ ඕනනම් එන්න බැරියෑ පහළට."

"අපි උඩට යන්න කියලා තමයි හිත හිත හිටියේ අම්මේ. මෙයාට විතරක් නෙවෙයි, අච්චර දුර කරත්තෙ ඇවිත් මටත් මහන්සියි." ඔහු පිළිතුරු දුන්නේය.

මවගෙන්ද, සංගීත මණ්ඩපයේ ගීතයක් ඇරඹීමට සූදානම්ව සිටි අප්පච්චීගෙන්ද සමුගෙන ඔවුහු මිදුලේ සාදයට රැස්ව සිටි හිතවතුන්ගෙන් අපහසුවෙන් ගැලවී උඩු මහළ වෙත ගියෝය.

ඔහුගේ තුදුස් හැවිරිදි බාල මලණුවන් කාමරයට එබෙන විට එතුල සිටියේ ඈ පමණි. තෙත කොණ්ඩය පිසදමමින් සිටි ඇය ඔහු දැක සිනහවක් පෑවාය. "ආ මේ ඉන්නේ... අපි අහරෙ හැමතැනම හොයනවා... කෝ මනමාල මහත්තයා?" ඔහු කාමරය තුළට පිවිසෙමින් ඇසුවේය.

"අයියා පල්ලෙහාට ගියා මල්ලි නාගෙන එන්න..."

"එහෙනං ඔයා යං සිදුවක් කියන්න..."

"අනේ බෑ මල්ලි, මහන්සියි..."

"මේ, ඔන්න මං අක්කට රහසක් කියන්න අක්කා මොනවද මට දෙන්නෙ?"

"මොකද්ද රහස?"

"අපෙ අයියා ගැන..."

"අයියා ගැන?" ඇය පුදුමයෙන් යළිත් ඇසුවාය.

"ඔව්... ඉතිං කියන්න මට මොනවද දෙන්නෙ?"

ඇය කණ්ණාඩි මේසය මත වූ සිය වළල්ලක් රැගෙන ඔහු වෙත පෑවාය.

"ඒයියා, මට මොකටද ගෑණු ළමයි දාන වළලු. කමක් නෑ, මේ මුල්ම වතාව හන්දා මං අක්කට නොමිලේම රහස දෙන්නංකෝ. ඔන්න ආයෙනම් බෑ හරිද?"

"හරි ඉතිං මොකද්ද රහස?"

"අපේ අයියා තේ බොන්න හරිම ආසයි. හැබැයි සීනි නැතුව තමයි බොන්නෙ."

"ඇත්තමද?"

"ඇත්තමයි!" පොඩි එකා පැවසුවේ අවංක මුහුණකිනි.

ඇය නිහඬව කල්පනාවක ගැලුණාය. "ආ, ඔහෙ හිටපිය! උඹ අහු වෙනකං තමයි මං හිටියෙ!" එක් වරම ඇසුණු කටහඬින් ඇගේ කල්පනාව බිඳ වැටුණි. හැරී බැලූ ඇය දුටුවේ වැඩිමහල් සොයුරාගේ අතට හසු වූ සිය කන බේරාගැනීමට ඇඹරෙන මලණුවන්ය. "මොනවද අර කරත්තෙ එන ගමං කිය කිය කෑ ගැහැව්වෙ? කොහෙන්ද ඕවා ඉගෙනගත්තෙ?"

"බණ්ඩාර අයියලානෙ කෑ ගැහැව්වෙ.. මං මොකවත් කිව්වැයි?" පොඩි එකාගේ මුහුණ බෙරි වී ඇත.

"ඔය මල්ලිට යන්න අරින්නකෝ, පව්නේ..." ඇගේ බසින් ඔහු සොයුරාගේ කන අතහැරියේය.

"අක්කා විතරයි හොඳ.. අපරාදෙ මට - "

"දුවන්නයි කිව්වෙ මෙතනිං මගෙං ගුටි නොකා!!!" මිමිණීම නැවැත්වූ පොඩි එකා එසැණින් අතුරුදහන් විය.

දොර වසා දමා සිනාසෙමින් පැමිණි ඔහු අතේ වූ උණු වතුර බඳුන මේසය මතින් තැබුවේය. "මොනවද මිනිහා කියන්නෙ?"

"මුකුත් නෑ." ඇය ඔහු මේසය මතින් තැබූ උණු වතුර බඳුන දෙස බැලුවාය. "අරකෙ මොනවද?"

"අම්මා දුන්නා උණු වතුර, තේ බොන්න ඕනනං කියලා."

ඇයට ඔහු පුදුම කරවන්නට අවස්ථාව ලැබී ඇත. "මං තේකක් හදන්නද?"

"නිකං තේකක් තිබ්බනං හොඳයි. ඔය මේසෙ උඩම ඇති තේකොළ එහෙම." ඔහු නැගිට සඳළුතලය වෙත ඇරුණු කවුළුව වෙත ගියේය. ඈත කඳු පෙළ මතින් නැගී ආ සඳ නිල් අහස එළිය කරමින් බැබළෙමින් ඇත. ඇය විගසින් තේ කෝප්පයක් සාදා ඔහු වෙත ගෙන ආවාය. ඇයට සිනහවක් පා කෝප්පය අතට ගත් ඔහු ඉන් උගුරක් පානය කළේය. එසැනින් ඔහුගේ මුහුණ වෙනස් විය. ඇගේ මුහුණද වෙනස් විය. "ඇයි?" ඇය ඇසුවාය. හිස වනා සිනාසුණු ඔහු කෝප්පය ඔසවා අඩිය දෙස බැලුවේය. "ඇයි රස නැද්ද?" ඇය දෑස් විසල් කරගෙන ඇසුවාය.

"නැහ්, ඔයා බොන් නැද්ද?"

"මං මේ වෙලාවට තේ බොන් නෑ."

"හ්ම්," ඔහු කට පිච්චෙන අතරම තේක බීගෙන බීගෙන ගියේය. "කවුද කිව්වෙ මං සීනි බොන්නෙ නෑ කියලා, මල්ලිද?" ඔහු හිස් කෝප්පය ඈ අතට දෙන ගමන් ඇසුවේය.

"ඔව්," ඇය මඳ අස්වැසිල්ලක් ලබමින් පිළිතුරු දුන්නාය.

"අහුවෙච්චදෙංකො ඕකව මට!" ඔහු දත්මිටි කෑවේය.

"අනේ ඇයි, මල්ලිට බණින්න එපා..."

"හයියෝ, ඔයත් අහු වෙනවනේ මේ පෝරිසාදයාගෙ ගැට වලට."

"මල්ලි මට බොරුද කියලා තියෙන්නෙ?"

"බොරු නේන්නං! මෙහෙ ඉන්නවනං ඔන්න මස්සිනා පොඩ්ඩගෙ තරම දැනගෙන ඉන්න වෙයි. ආයෙ එහෙම සීනි නැතුව තේ හදන්න එපා හරිද?"

"අනේ ඉන්න එහෙනං මං තව එකක් හදලා දෙන්නං..." ඇය පැවසුවේ මහත් සිත් තැවුලෙනි.

"නෑ නෑ දැං ආයෙ එපා," ඔහු ඇගේ අතින් අල්ලා ඇයව නවත්වාගත්තේය. පහළ මිදුලේ සංගීත සාජ්ජය ජයටම කෙරීගෙන යන හඬ ඇසුණි. "ඔයාට මහන්සියි නේද?" ඔහු ඇසුවේය. ඇය විඩාබර සිනහවක් පෑවාය. "එන්ඩකො, යං එළියට." ඔහු සඳළුතලයට යොමුව තිබූ දොර විවර කරගෙන පිටතට ගියේය. ඇයද ඔහු පසුපසින් එහි ගියාය. කඳු තලය පිටුපසින් දිස් වන පුර පෝය හඳ මනස්කාන්ත දර්ශනයක් විය. පහළින් පෙනුන වෙලද සඳ එළියෙන් නැහැවී ගොස් තිබූ අතර ඉන් ඔබ්බෙහි වූ පන්සලේ දාගැබ කිරි සුදු පැහැයෙන් බැබළෙන අපූරුව ඇගේ සිත වසඟ කළේය.

"හඳ හරිම ලස්සනයි නේද?" ඇගේ මුහුණේ ඉරියව් පිරික්සමින් සිටි ඔහු ඇසුවේය.

"ඔව්, පෝයනෙ."

"ගිය පෝය දවසෙත් මං ඔයාව දැක්කා..." ඔහු රහසක් හෙළි කළේය.

"ඒ කොහෙදිද?" ඇය පුදුම වී ඇසුවාය.

"මං ඔයාව බලන්න ආවා.. ඔයගොල්ලන්ගෙ ගමේ...."

"බොරු..." ඇය අවිශ්වාසයෙන් යුතුව කීවාය.

"ඇත්ත. පන්සලට වෙලා මං බලං හිටියා ඔයා එනකල්."

"ඉතිං කතා නොකළේ?"

"ඒක හොරෙන් ආව ගමනක්නේ. ඉතිං කොහෙ කතා කරන්නද?"

"ඉතිං ඇයි එහෙම ආවෙ?"

"නිකං..." ඔහු මඳක් නිහඬව සිටියේය. අනතුරුව සත්‍යය හෙළි කළේය. "එදා ඔයගොල්ලන්ගෙ ගෙදර කට්ටිය එන දවසෙ මං හිතං හිටියේ ඔයත් එයි කියලා. පස්සෙයි දැනගත්තේ සිරිතෙ හැටියට මනමාලි එහෙම එන්නෙ නෑ කියලා. ඒත් මට ඔයාව දකින්නම ඕන උනා, ඒ නිසා පෝය දවසෙ පන්සලට ආවා."

ඇය විස්මයෙන් දෑස් විසල් කරගෙන ඔහු දෙස බලා සිටියාය. "එතකොට එදා රෑ කොහෙද හිටියෙ?"

"පන්සලේ." ඔහු සිනාසී පිළිතුරු දුන්නේය.

ඇය කුමක් සිතන්නටදැයි නොදැන සුසුමක් හෙලුවාය. "ඉතිං ගෙදරට එන්න තිබ්බනේ? ඒ වෙද්දි මේ ඔක්කොම තීන්දු වෙලානෙ තිබ්බේ."

"ගෙදර ඇවිත් ඔයාගෙ ආඩම්බර බලන්න!" ඔහු සමච්චල් හඬින් කීවේය. "මුල් දවසෙ මගෙ දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ තියෙන ආඩම්බර කමට!" ඇය පසුතැවිලි සහගත මුහුණින් බිම බලා සිටියාය. "ඔන්න ඔයාට ඇත්තම කියන්න මට මේ මගුල එපා කියලා මං හිටියේ එදා ඔයාගෙ නංගිලා දෙන්නා එක්ක කතා කරනකල්." ඔහු තවත් රහසක් හෙළි කළේය.

ඇය වහා හිස එසවූවාය. "නංගිලා දෙන්නා??? මොනවද ඒගොල්ලො කිව්වේ?"

ඔහු හඬ නගා සිනාසුණේය. "ඇයි මොකද, හිතං හිටියේ ඔත්තුකාරයෝ හම්බුනේ ඔයාට විතරයි කියලද?"

"මට කිව්වෙවත් නෑනේ එ දෙන්නා ඔහොම කතාවක්."

"ආ, ඒවට මං පගාව දීලා තියෙන්නෙ."

"මොනවද ඒ ගොල්ලො කිව්වෙ?"

"කිව්වා... ම්...... අක්කට ගස් නගින්න පුළුවං කිව්වා..." ඇය දෑතින්ම ඇරුණු මුව වසාගත්තාය. "තව... කැලේ ඇවිද ඇවිද ඉන්න ආසයි කිව්වා... පොතක් අතට ගත්තොත් වෙන වැඩක් ගැන සිහියක් නෑ කිව්වා... වැස්සෙ තෙමෙන්න, මඩේ නටන්න ආසයි කිව්වා........ තව....." ඇගේ මුහුණ දුටු ඔහු නැවතත් සිනාසුණේය. "මොකද බොරුද?"

"ඉතිං ඕවා අහලද එපා වෙලා හිටපු මඟුල ඕනෙ උනේ?"

"නැත්තං???" ඔහු යළිත් සිනාසුණේය.

පොතකින් හෝ මෙතෙක් කල් හමු වී නොතිබූ මෙම අරුම පුදුම සැමියා පිළිබඳව ඇය පුදුමයෙන් කල්පනා කරමින් "මං අල්ලගන්නංකො දෙන්නව ගෙදර ගියාම!" යැයි ඇය මිමිණුවාය.

සිනාසුණු ඔහු කතාව වෙනස් කළේය. "ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා, යමුද?"

"කොහෙද?"

"වෙලෙන් එගොඩහ."

"හෙට යං."

"දැං තමයි ලස්සන, හඳ පායපු වෙලාවට."

"ඉතිං කොහොමද දැං යන්නෙ, රෑ වෙලානේ?"

"හඳ එළිය ඇති ඔය ටික යන්න."

"පල්ලෙහා සෙනග බලයි අපි මේ රෑ කොහෙ යනවද කියලා."

"ඉතිං කවුද ඉස්සරහෙන් යන්නෙ. මෙතනින් පැනලා යමු." ඔහු සඳළුතලය අසළ වූ විසල් කොස් ගස පෙන්නුවේය.

"ගහ දිගේ?"

"ඔව්. ගහ දිගේ බිමට බැහැලා තාප්පෙට නැගලා පනිමු." මේ කතා කරන්නේ තමා හා විවාහ වූ, බැරෑරුම් වැඩිහිටි බවකින් යුතු කච්චේරියේ ලියන මහත්මයාමදැයි ඇයට මොහොතකට සැකයක් ඇති විය. "මොකද කියන්නේ? යංද?" ඔහු නැවතත් ඇසුවේය.

"මේ පැත්තට කවුරුවත් ආවොත්?"

"කවුරු එන්නද? ඔක්කොමල්ලා ඉස්සරහා මිදුලෙ. මේ වෙලාවට මේ පැත්තට කවුරුවත් එන්නෙ නෑ." ඔහු සඳළු තලයේ කෙලවරට ගොස් පා වහන් යුවල ගලවා බිමට දමා කොස් ගසට ගොඩ විය. "මගෙ පස්සෙන් එන්න."

ඇයද ඔහු අනුගමනය කරමින් පැලැඳ සිටි සෙරෙප්පු කුට්ටම බිමට දමා ප්‍රවේශමෙන් අත්තකට ගොඩ විය. එවන් ක්‍රියා සැබැවින්ම ඇයට නොපුරුදු නොවීය. එහෙත් ඇයට අදහාගත නොහැකි වූවේ තම සැමියාද එවන් දෑ වලට අනුබල දීම පිළිබඳවය. කොස් ගසෙන් බිමට බැස තාප්පය වෙත දිව ගිය දෙදෙනා එහි උස සිතින් මැන බැලූහ. දෙදෙනාගේම පාවහන් තාප්පයෙන් පිටට විසි කළ ඔහු ඇයට තම දණහිස මත නැගී තාප්පය මත හිඳ අනිත් පැත්තට පනින ලෙස සන් කළේය. ඔහු පැවසූ ලෙසින් තාප්පයට නැගගත්තද ඇයට ඉන් බැස ගැනීම අසීරු විය. ඉක්මණින්ම තාප්පයට නැගී අනිත් පසට පැනගත් ඔහු ඇයට නොබියව පනින ලෙස කීවේය. මේ වන විට තම සැමියා කෙරෙහි පූර්ණ විශ්වාසය ගොඩනගාගෙන සිටි ඇය දෑස් වසාගෙන ඔහු වෙත පැන්නාය. තණබිස්සේ පෙරළී ගිය දෙදෙනා දණිපණි ගා නැගිට දුහුවිලි පිසදමාගෙන පාවහන් පැලඳ ගත්තෝය.

"අළුත ගෙනා මනමාලි තාප්පෙ උඩ නැගලා ඉන්නවා කවුරුවත් දැක්කනං තමයි වැඩේ," ඇගේ අත රැගෙන වෙල් යාය දෙසට දිව යන අතරේ ඔහු කීවේය.

"අනේ එහෙනං අපි ආපහු යං..." මඳක් පසුබෑ ඇය ඉල්ලා සිටියාය.

"යං යං, මං නිකං කිව්වේ." ඔහු ඇගේ අතින් අල්ලාගෙනම නියර දිගේ ඇවිද ගියේය. සඳ රැසින් නැහැවුනු වෙල් යාය ඉතාම සුන්දරව දිස් විය.

"ගොඩක් දුරද?"

"අර පේන්නෙ වෙලෙන් එහා ලන්දක්. අන්න ඒක මැද්දෙ ලස්සන විලක් තියෙනවා. එතනට තමයි අපි යන්නෙ..."

"අනේ මේ රෑ ඔය ලඳු අස්සෙ යන්න බෑ, සත්තුත් ඇති..." ඇය ආපසු අතින් ඇද්දාය.

"බය වෙන්න එපා, මෙතන මං නිතර එන තැනක්."

වෙලෙන් එගොඩ වූ ඔවුහු ලන්ද මැදින් වැටී තිබූ අඩිපාර ඔස්සේ පියමං කොට එළිමහනකට පිවිසියෝය. ඔවුන්ගේ දෑස අභියස වූයේ පූර්ණ චන්ද්‍රයාගේ ඡායාව වැටී, ලෙල දෙන දිය රැළි මත පිපුණු කුමුදු මලින් පිරී ගිය විලකි. ඒ අසළ වූ ගල් තලාව මත ඇයට හින්දවුනේ ඉබේමය.

"අනේ අපේ ගමේ නෑනේ මෙච්චර ලස්සන තැනක්!" ඇය සිහිනෙන් දොඩවන්නියක සේ මිමිණුවාය.

"හඳ පිරිච්ච පෝය දාට තමයි මෙතන මෙච්චර ලස්සන," ඔහුද ඈ අසළින් වාඩි වෙමින් කීවේය.

"මං හරිම ආසයි මේ වගේ ලස්සන තැන් දකින්න." ඇය ඔහු දෙස ස්තූති පූර්වකව බලමින් කීවාය.

"ඒකනෙ මං මේ රෑම එක්ක ආවේ."

"ගෙදර හිටියනං අර සාජ්ජෙත් එක්ක කනක් ඇහිල්ලේ ඉන්ඩ නෑ."

"ඔයා සංගීතෙට ආස නැද්ද?"

"ආසයි. ඒත් අද මේ මහන්සි වෙලා ඉන්න අස්සේ එච්චර සද්දෙ තියෙන කොට හරි අමාරුයි."

"ඒක හරි." ඔහු දෙපයින් දිය කැලැත්තුවේය.

"එපා, මාළු නිදි ඇති."

"ඔයාටත් හිතෙන ඒවා." ඔහු සිනාසුණේය.

"මෙතන පුරුදු තැනක් කිව්වෙ - හැමතිස්සෙම එනවද?" මඳ නිහැඬියාවකට පසු ඇය ඇසුවාය.

"හැම පෝයටම වගේ එනවා."

"කා එක්කද?"

"තනියම."

"තනියම?"

"ඔව්, ඇයි?"

"ඒ ඇවිත් මොකද කරන්නේ?"

"ඔහේ හඳ දිහා බලාගෙන ඉන්නවා. සමහර දවසට මෙතනම නින්ද යනවා."

"ගෙදර අය බය වෙන් නැද්ද?"

"මුලම වතාවෙනං බය වෙලා හැම තැනම හොයන්න ගිහිං තිබ්බා. එතකොට මං අපෙ මල්ලිගෙ වයසෙ විතර ඇති. රෑ තිස්සෙ මේ කැලෑව අස්සෙ හිටියෙ කිව්වහම අප්පච්චි මාව කෝටු මස් කළේ නැති ටික විතරයි."

විලේ එහා ඉවුරේ සිටි මැඬියෙක් 'ටොක්' හඬින් දියට පැන්නේය. රැළි නැගී බොඳ වී ගිය සඳේ ඡායාව යළිත් එක් වී දිය තලය නිසල විය. ඇය ඈනුමක් හැරියාය. "නිදි මතද?" ඔහු ඇසුවේය. අනතුරුව ඇගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොසිට ඇගේ හිස ගෙන සිය උරහිසේ සතපවාගත්තේය. ඇයද සිය හිමියන්ගේ උණුසුමේ ගැලී ඔහුගේ හදවතේ රිද්මයට කන් දුන්නාය. ඔහු සෙමින් ඇගේ හිස අතගාන්නට පටන් ගත්තේය. "අපි අද මෙතනද ඉන්නෙ?" ඇය නිදිබර හඬින් විමසුවාය.

"කොහොමද හොඳ?"

"මෙතන හොඳයි." ඇය මුහුණ මඳක් ඔසවා ඔහු දෙස බලා මඳ සිනහවක් පෑවාය.

ඈ වෙතින් මඳකට මිදුණු ඔහු විලට බැස කුමුදු මල් කිහිපයක් නෙලාගෙන දිය බේරෙන දෑත දෙපයින් යුතුව යළි ගොඩට ආවේය.

"ඔය මොකටද?" ඇය ඇසුවාය.

"ඉන්ඩකො ඔහොම." ඔහු එකින් එක මල් රැගෙන ඇගේ හිසේ පැලැඳුවේය. අනතුරුව පොඩි එකෙකු මෙන් සිනාසුණේය. ඇගේ හදවත ජීවිතයේ මෙතෙක් කල් නොලැබූ මිහිරියාවකින් පිරී යන්නට විය. වෙහෙස පළවා හැරි ඇයද ඔහු හා සිනාසුණාය.

"සෙව්වන්දි..." ඔහු මුල් වරට ඇගේ නමින් ඇමතුවේය. එම ඇමතුම තුළ ගැබ්ව තිබූ විස්තර කළ නොහැකි හැඟීම් සමුදාය එම මොහොතේ ඔහුගේ දෙනෙත තුළින්ද ඇය දුටුවාය. "මට ආදරෙයිද?"

ඇය විසල් වූ දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය. තමා ඔහුට අකැමැත්තෙන් සිටි සැටිත්, උදෑසන පෝරුව අසළදී ඔහු වෙතින් දුටු වෙනසත්, ගමන මුළුල්ලේ ඔහු හා කළ කතාබහත්, කාටත් හොරෙන් ඔහු තමා දකින්නට පැමිණ පන්සලේ රාත්‍රිය ගෙවූ දිනයත් ඇගේ මනසට එකින් එක යළි ඇතුල් විය. ඇගේ කැමැත්තක් නොවිමසාම වැඩිහිටියන් විසින් තීන්දු කෙරුණ මෙම විවාහය පෝරුව මතදී අතැඟිලි බැඳ චාරිත්‍රානුකූලව තහවුරු වී ඇත, නීත්‍යානුකූලව සටහන් වී ඇත. ඒ සියල්ල සිදු වූයේ එකිනෙකා කෙරෙහි බැඳුණු ආදරයකින් තොරව නොවේද. ඔහු මෙතරම් ආදරණීය, ප්‍රේමණීය පුද්ගලයෙකුයැයි ඇය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. තම අවංක කුළුඳුල් ආදරය තම සැමියා වෙත මෙලෙසින් පුද කරන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්දැයි ඇයට සිතුණි. ඇගේ විසල්ව තිබූ දෑසට කඳුළු උනා ආවේය. "ආදරෙයි...." ඇය යළිත් තම වමතේ පැලැඳි මුදුව දෙස බලා සිහින් හඬින් කීවාය.


 

ඔහු ඇගේ නළලත සිපගත්තේය. විල් ඉවුරේ වූ විසල් තුරු බඳ වටා එතී ගිය ලතා මඬුළු සඳ එළියේ හිනැහෙනු ඇය දුටුවාය. සඳුගේ තනියට මෙන් කුඩා තරුවක් ඈත අහසේ දිලිසුණි. රැහැයියන්ගේ හඬ පරදා ඇසෙන මැඬියෙකුගේ නාදයටත්, මඳක් ඈතින් එයට ලැබුණු පිළිතුරු නාදයටත් ඇය කන් දී සිටියාය.

"ගෙඹි ජෝඩුවක් කෑ ගහනවා, ඇහෙනවද?" ඔහු ඇගේ කනට කොඳුරා ඇසුවේය.

"හ්ම්, මාත් අහගෙන හිටියෙ." ඇයද එම ස්වරයෙන්ම පිළිතුරු දුන්නාය.

ඇගේ නළලතට සිය නළලත හේත්තු කරගත් ඔහු යළිත් එම හඬට කන් දී සිටියේය. "දන්නවද ඒ කියන්නෙ මොනවද කියලා?"

"ම්හ්," ඇය හිස සෙමින් සෙලවූවාය.

"පිරිමි සතා අඬගහනවා ගෑණු සතාට."

"ඒ ඇයි?" එසේ විමසුවද ඇය පිළිතුර දැන සිටියාය.

ඒ බව දත් ඔහු ඇයට පිළිතුරක් නොදී ඇගේ කම්මුලකට දිගු ආදරණීය හාදුවක් දුන්නේය. මොහොතින් මොහොත ඇගේ සිත තුළට එතෙක් කිසිදා නොපිවිසි හැඟීම් සහ සිතුවිලි ගලා එන්නට විය. මෙය ආදරයද? නැතහොත් නුහුරු පරිසරයක ලබන මෙම නුහුරු අත්දැකීමේ කැටි වූ මිහිරියාවද? එසේත් නැතිනම් මංගල රාත්‍රියට මුහුණ දීමට පෙර යුවතියකගේ සිත තුළ ඇති වන කැළඹීමද? ඇයට වැටහීමක් තිබුණේ නැත. "සද්දෙ නැවතිලා." ඇය මඳ අස්වැසිල්ලක් ලබාගන්නා අටියෙන් කීවාය.

"ඔව්," ඔහු ඇගේ මුහුණ තමා වෙත හරවාගත්තේය. "ඒ දෙන්නා හම්බ වෙන්න ඇති."

සඳ වළාවකින් වැසී හාත්පස අඳුරේ ගිලී ගියේය.

20. පිපාසය...


පෙලෙනෙමි පිපාසයෙන්
ලිවීමේ කුමක් හෝ
ඇති නමුත් ඇති තරම්
අදහසුත් සිතුවිලිත්
නොමැත මට ඉසිඹුවක්
ගලපා ලියන්නට
පවස සන්සිඳුවාගන්නට...


19. උපමාවෙක රැඳුනු රහස...


තුරු පත අද්දර රැඳි පිණි බිඳුවක
හිරු කිරණින් පිබිදෙන මල් කැකුළක
රෑ අහසේ දිලෙනා තනි තරුවක
රහස රැඳුනු මුව අද්දර මදහස

දිය පතුලේ දිලෙනා මිණි කැටයක
දාහය නිවනා හිරිපොද වැස්සක
නිසල සමුදුරේ දියඹේ ගැඹුරක
රහස රැඳුනු සුන්දර නිල් නෙතු යුග

තුරු හිස් සිඹ හමනා මඳ පවනක
ගලනා ගං දිය නැගෙනා රැල්ලක
සුළඟට අත වනනා නිල් ගොයමක
රහස රැඳුනු සිත් බඳනා මුහුළස

වදනට නැගි සුන්දර උපමාවෙක
සරි කළ නොහෙනා සොඳුරු හදවතක
වැයෙනා රාවය මියුරු මියැසියක
පබැඳූ කවියා ඔබමය හිමි සඳ 


18. ඔබේ ජීවිතය සම්පූර්ණද...?


දිනක් දර්ශනවාදය උගන්වන එක් මහාචාර්යවරයෙක් පංති කාමරයට පැමිණ මේසය මත භාණ්ඩ කීපයක් තැබුවා. සිසුන් පැමිණ පංතිය ආරම්භ වූ විට ඔහු කතාවක් නැතිවම ලොකු භාජනයක් අරගෙන එය ගොල්ෆ් පන්දු වලින් පිරෙව්වා. ඊට පස්සේ සිසුන්ගෙන් ඇහැව්වා භාජනය පිරිලාද කියලා. සිසුන් එකඟ වුනා. ඊට පස්සේ බොරළු කැට පෙට්ටියක් අරගෙන මහාචාර්යතුමා ඒ බොරළු කැට අර භාජනයට හැලුවා. භාජනය ටිකක් සෙලෙව්වාම ඒ බොරළු කැට ගොල්ෆ් පන්දු මැදින් ඉඩ තියෙන තැන් වලට ගිහින් වැටුණා. එයා සිසුන්ගෙන් ආයෙත් ඇහැව්වා භාජනය පිරිලද කියලා. එවරත් සිසුන් ඔළුව වැනුවා පිරිලා කියලා. ඊට පස්සේ වැලි පිරුණ පෙට්ටියක් අතට ගත්ත මහාචාර්ය තුමා ගොල්ෆ් පන්දු, බොරළු කැට දමාපු භාජනයට වැලිත් දැම්මා. ඉතිරි වෙලා තිබුණු හැම හිඩැසක්ම වැලි කැට වලින් පිරිලා ගියා. ආයෙත් වතාවක් එයා කලිං ප්‍රශ්නයම සිසුන්ගෙන් ඇහැව්වා. හැම දෙනාම එක හඬින් 'ඔව්' කියලා කිව්වා. ඒ ගමන මේසය යටින් කෝපි කෝප්ප දෙකක් අතට ගත්තු මහාචාර්ය තුමා ඒ භාජනයට කෝපි වත් කළා. වැලි කැට අතරට කෝපි ගලාගෙන ගියා කිසිම බාධාවක් නැතිව. සිසුන් පිරිස හිනා වුනා. හිනා හඬ යටපත් වෙන කොට මහාචාර්ය තුමා කතා කළා.

"මේ භාජනයෙන් පෙනෙන්නේ ඔයාලගේ ජීවිතය. මේ ගොල්ෆ් පන්දු තමයි ඔයාලගේ ජීවිතයේ වැදගත්ම දේවල් - ආගම, පවුල, දරුවන්, නිරෝගී බව,  හිත මිතුරන්, ඔයාලා දැඩි කැමැත්තක් දක්වන දේවල් - වෙන කිසිම දෙයක් නැති වුනත් ඔයාලගේ ජීවිතය සම්පූර්ණ කරවන දේවල්. ඊලඟට මේ බොරළු කැට තමයි ඔයාලගේ රැකියාව, නිවස, යාන වාහන වගේ අනෙක් වටිනා දේවල්. වැලි කැට කියන්නේ අනිත් පුංචි පුංචි දේවල්. වැලි කැට මුලින් මේ භාජනේට දැම්මනම් බොරළු කැට වලටවත් ගොල්ෆ් පන්දු වලටවත් ඒකේ ඉඩක් නැතුව යනවා. ජීවිතයත් එහෙමයි. ඔයාලගේ කාලයත් ශ්‍රමයත් ඒ පුංචි පුංචි දේවල් වලට වැය කළොත් ඔයාලට වැදගත් වෙන දේවල් වලට ජීවිතේ ඉඩක් නැතුව යනවා. ඔයාලගේ සතුටට හේතු වෙන ඒ සමීපතම දේවල් වලට මුල් තැන දෙන්න. දරුවන් සමග සෙල්ලම් කරන්න, නිරෝගී බව ගැන සැලකිලිමත් වෙන්න - ඇත්තෙන්ම වැදගත් වන ගොල්ෆ් පන්දු වලට මුල් තැන දෙන්න. මුල් තැන දෙන්න ඕන දේවල් හඳුන ගන්න. අනිත් හැම දේම වැලි කැට විතරයි."

මේ වෙලාවෙදී අත එසවූ එක් සිසුවෙක්, කෝපි වලින් පෙන්නුවේ මොනවාදැයි විමසුවා. මහාචාර්යතුමා මඳ සිනාවක් පාලා මෙහෙම කිව්වා. "ඒ ගැන අහපු එක ගැන මම සතුටු වෙනවා. ඒකෙන් පෙන්නන්නේ ඔයාලගේ ජීවිතය කොයි තරම් සම්පුර්ණයි කියලා හිතුණත් මිතුරෙක් එක්ක කෝපි කෝප්පයක් රස විඳින්න වෙලාවක් හොයාගන්න බැරි කමක් නෑ කියලයි."

~ පරිවර්තනය කළේ email ලිපියක් ඇසුරෙනි

17. මගේ දිවමන් කවි පෙළයි ඔබ ~ ඔබේ ජීවන සිතුවමයි මම...


තෙලිතුඩෙන් නෙක රටා මවනා
නිසල තල රූ සසල කරනා
සිතුම් නෙක පැහැයෙන් සරසනා
ඔබයි මා හද දිනූ සිත්තරා

පන්හිඳෙන් කවි ගී පබඳිනා
සඳැස් නිසඳැස් කතා ලියනා
මිහිරි ලෝකෙක සිහින මවනා
මමයි ඔබ ලොව කිවිඳි සැමදා

සිතුම් සියොතුන් දසත සරනා
කලා සමුදුරු රළ තරංගා
සොඳුරු ලෝකෙක සිරිය මවනා
මා ඔබේ ඔබ මගේ වූවා

මගේ දිවමන් කවි පෙළයි ඔබ
ඔබේ ජීවන සිතුවමයි මම
පන්හිඳෙන් ඇඳි සිතුවමයි ඔබ
තෙලිතුඩෙන් ලියු කවි පෙළයි මම

Painting is poetry that is seen rather than felt, 
and poetry is painting that is felt rather than seen.  
~Leonardo da Vinci

16. ගංගාවේ ගීතය...
















ඝනැති මහ තුරු වනය පසු කර
සෙමින් ඒ මග ගෙවා යන සඳ
දැනුණි සා පවසත් වෙහෙස බව
සිතුවෙමි ඉසිඹුවක් ගන්නට
මදක් ඉඳගෙන ගිමන් හරිනට
සොයන අතරේ ඉඩක් හිඳිනට
ඇසෙන මේ හඬ කුමක්දැයි මට
ගලා යන දිය රළක හඬ වෙද
සොයා යමි හඬ ඇසෙන අත වෙත
සොඳුරු දිය පහරක් දකින ලෙස

දිස් වෙනා මා දෑස අභියස
සිනාසෙන දිය කොමල ළදැරිය
හෙමින් ගල් මත ඇදී යන හැඩ
ගලේ රළු බව සුමට කරමින
දෝත පුරවා දිය ලබා මම
දියේ සිසිලෙන් සැනසිලා සිත


ගැඹුරු නැත ඒ පුංචි ළදැරිය
විසල් නැත සුරතල් හඬක් ඇත
සිනා සලමින් බලා මා දෙස
නොනැවතී සිය ගමන යන හැඩ
පතුලෙ ඇත තිරිවාන දිලිසෙන
දෙපස තණ මත පිණි විසුරවන
සරු පසට තෙතමනය එක් කර
කිඳුරු දිය රළ නොනැවතී යන

කොයිද ඔබ මේ යන්නෙ හනිකට
අසන්නට සිතුණෙන් අසමි මම
ලැබුණු පිළිතුර ඇගෙන් පැනයට
කියා දුන්නා ජීවිතය මට

'
මගේ අරමුණ සයුරු තෙරමය
සොයා යමි මම මගේ අරමුණ
කොතෙක් බාධක පෙරට ආවද
නොනැවතී ගමනේ යෙදෙමි මම
යන පමණකින් නොයමි එද මම
දෙපස සරු කරමින් ඇදෙමි මම
ලොවට සිරි බෙදමින් ගලමි මම
අරමුණට යමි ලොවට වැඩ කර
'


15. සොල්දාදුවෙකුගේ ගීතය...

මේ සටහන මගේ සිත් ගත් විදේශීය චිත්‍රපටයක් ගැන. 'Ballad of a Soldier' නමින් 1959 වසරේදී තිරගත වෙලා තියෙන ඒ චිත්‍රපටය රුසියානු සොල්දාදුවෙකු වටා නිර්මාණය වුන රුසියානු චිත්‍රපටයක්. එය සැබෑ චරිතයක් පසුබිම් කරගෙන ගොඩනැගුණු නිර්මාණයක්ද කියලානම් මම කියන්න දන්නේ නෑ.

දෙවන ලෝක යුධ සමය පසු බිම් කරගත් කතා තේමාවක් වුනත් මේක එක එල්ලේම යුධ චිත්‍රපටයක් කියන්න බෑ. මිනිස් හදවත් තුළ ඇතිවන මානුෂීය හැඟීම් බැඳීම් වලට තමයි මේ කතාන්දරය තුළ මුල් තැන ලැබිලා තියෙන්නේ.

චිත්‍රපටය ආරම්භ වෙන්නේ ගුරු පාර දිගේ ඈතට නෙත් යොමාගෙන ඉන්න මැදිවියේ ගැමි කාන්තාවකගෙන්. ඈ මග බලා සිටින්නේ යුධ පෙරමුණට ගිය තම පුතු එන තුරු බව අපට පසුබිම් කථනයෙන් ඇහෙනවා. ඒ චිත්‍රපටය මා රූපවාහිනියේ දුටුවේ උපසිරැසිත් සමග නිසා රුසියානු චිත්‍රපටයක් උනත් රසවිඳින්න අපහසුවක් උනේ නෑ. ඉතිං ඒ මවගේ දර්ශනයෙන් පස්සේ පෙන්නුවේ ඉතාම තරුණ වියේ ඉන්න සොල්දාදුවෙක් තනිවම සතුරු ප්‍රහාරයක් වළක්වලා ඔහුගේ ඉහළ නිලධාරියාගෙන් ප්‍රශංසා ලබන විදිය. ඉහළ නිලධාරීන් මේ නිර්භීත තරුණ සොල්දාදුවාට පදක්කම් පිරිනමන්න ලෑස්ති උනත් අල්යෝෂාට, ඒ තරුණ සොල්දාදුවාට, උවමනා වෙන්නේ ගමට ගිහින් තමන්ගේ අම්මව බලලා කැඩිලා තියෙන ගෙදර වහලේ හදලා දීලා එන්න නිවාඩුවක්. ඉතින් ඉහළ නිලධාරීන් ඔහුට දින හයක නිවාඩුවක් ලබා දෙනවා.


ඒ එන ගමනේ ඔහුට හමු වන විවිධාකාරයේ මිනිසුන්, දුම්රියේ රහසේ යන ගමන, ඔහු ආදරයෙන් බැඳෙන හැටි, දුම්රිය මග හැරී ට්‍රක් රථයක යන්නට සිදු වීම, එය මඩේ එරුණ විට මඩ නාගෙන එය ගොඩට ගන්නට සිදුවීම, ඔහු එන තෙක් ඔහුගේ දුම්රියේ හමු වූ හිතවතිය ෂූරා මග බලා සිටීම, මුලදී තමා මේ යන්නේ තම පෙම්වතා හමු වීමට බව පවසන ෂූරා, අවසානයේ තමාට පෙම්වතෙකු නැති බවත් තමා යන්නේ නැන්දා හමු වීමට බවත් පැවසීම, ඈ මුලින් එලෙස පැවසුවේ ඔහු ගැන ඇති වූ බය නිසා බවත්, දැන් බය නැති බවත් පැවසීම... මේ සියල්ලක්ම රිදී තිරයේ සිත්තම් කර ඇති අපූරුව ඉතාමත් සංවේදීය. ෂූරාව ප්‍රවේශමෙන් නැන්දණියගේ ගමට ඇරලවන අල්යෝෂාට ඇගේ ලිපිනයවත් හරි හැටි අහගන්නට නොලැබෙන්නේ ගමට යාමට ඇති දුම්රිය අද්දන්නට වූ නිසාය. ඇගේ අවසාන ප්‍රකාශයෙන් ඈ තමාට ආදරය කරන බව පැවසූ බව අල්යෝෂාට පසක් වන්නේ ඒ ගමන අතරතුරේදීය. තමා ඇයට සිය ආදරය තවමත් ප්‍රකාශ කර නොමැති බව සිහිපත් වන අල්යෝෂා දුම්රියෙන් බැස නැවත ඈ සොයා යන්නට හැදුවද ඔහුට දුම්රියෙන් බැසගන්නට ඉඩක් ලැබෙන්නේ නැත. 

ඒ වන විට අල්යෝෂාට නිවාඩුවෙන් ඉතිරිව ඇත්තේ තවත් දින එකහමාරක් පමණි. ඔහු නැග සිටි ගම බලා යන දුම්රිය මැදිරියේ සිටි පවුල සමග ඔහු කතාවට වැටේ. යුද්ධය හේතුවෙන් උන් හිටි තැන් අහිමිව සිටි ඔවුන් තැනින් තැනට යමින් ජීවත් වන බව ඔවුන් පවසයි. අල්යෝෂා නිවාඩුවට යන ගමන්දැයි එයින් එකෙකු අසයි. 'ඔව්, අද අම්මා එක්ක ඉඳලා ආයෙත් හෙට උදේම යනවා. හෙටින් මගේ නිවාඩුව ඉවරයි,' අල්යෝෂා පිළිතුරු දෙයි. 'අනේ පවු,' පැනය විමසූ තැනැත්තිය දුක් වෙයි. 'දුක් වෙන්න එපා පුතා, ඔයාට අද රෑට ඔයාගේ අම්මත් එක්ක ඔයාගෙම ගෙදර වහළ යට ඉන්න ලැබෙනවානේ,' මහළු මිනිසෙකු පවසයි. ඔවුන් රැගත් දුම්රිය පාලමක් මතදී බෝම්බ ප්‍රහාරයකට ලක් වන්නේ මේ වෙලාවේදීය. කෙසේ හෝ අල්යෝෂාට එම රාත්‍රිය ගත කරන්නට වන්නේ දුම්රිය තුළ සිර වූවන් පිටතට ගන්නට උදව් වෙමින් එම ස්ථානයේමය. අනතුරුව විපතට පත් වූවන් බේරාගැනීමට පැමිණි බෝට්ටු වල නිලධාරීන්, පළමුව ගෙන යන්නේ කුඩා ළමුන් හා කාන්තාවන් බවත් අනෙක් පිරිසට පැය දෙකක් එහි හිඳීමට සිදු වන බවත් පවසයි. ඒ අසන අල්යෝෂා පහුරකින් ගම බලා පිටත් වී අතරමගදී ට්‍රක් රථයකට ගොඩ වෙයි. ට්‍රක් රියේ පිටු පස නැගී එන ඔහු දකින ගම් වැසි කාන්තාවන් ඔහුගේ මවට ඒ බව පවසයි. මුළු ගම්මානයේම එවේලේ හිඳින්නේ කාන්තාවන් පමණි. සියලුම පිරිමින් යුධ පෙරමුණේය. ඔවුන් වෙනුවට තිරිඟු යායන් අස්වද්දමින් ගෙවල් දොරවල් රැක බලාගන්නේ ඔවුන්ගේ බිරින්දෑ වරුන්ය. පුතු ආ බව අසන අල්යෝෂාගේ මව තිරිඟු යාය මැදින් ගිනි අව්වේ දිව එන දසුන ඉතාමත්ම හැඟීම් බරය. මවගේත් පුතුගේත් හමු වීම, විනාඩි ගණනක් යන තෙක් කතා කරගත නොහැකිව එකිනෙකා වැළඳගෙන හිඳීම, පුතු වට කරගෙන යුධ පෙරමුණේ සිටින තම හිමිවරුන්, පුතුන් ගැන අසන අනෙක් කාන්තාවන්ව මව වළක්වන ආකාරය, තම නිවාඩුව අවසන් බවත් තමා ආපසු යා යුතු බවත් පවසද්දී මවගේ ප්‍රතිචාරය යුධ පෙරමුණේ විරුවන්ගේ නිවැසියන්ගේ තත්ත්වය අපට යළිත් මතක් කර දෙනවා. යුධ පෙරමුණේ අභීත විරුවෙකු වුවත්, තම මව සෙවණේ හිතූ තරම් වේලාවක් රැඳෙන්නට ඉඩ නොලැබෙන ශෝකයෙන් ඔහු මව වැළඳගෙන හඬා වැටෙන ආකාරය අපගේ දෙනෙතටද කඳුලක් එක් කරනවා. දිවි හිමියෙන් තම රට වෙනුවෙන් තම යොවුන් විය කැප කළ ඒ තරුණයා නැවත ට්‍රක් රතයට නගිද්දී මව මෙසේ කියනවා: 'අල්යෝෂා, ඔයා එනකල් මං මග බලං ඉන්නවා. ඔයාගෙ තාත්තනං ආයෙ ආවෙ නෑ, ඒත් ඔයා එන්නම ඕනේ. මං බලං ඉන්නවා...' 'මං අනිවාර්යෙන්ම ආයෙත් එනවා අම්මා...' ඒ අල්යෝෂාගේ පිළිතුරයි. ඔහු රැගත් ට්‍රක් රථය ඈතට ඇදී යන තුරු ඔහුගේ මවත්, අනෙක් කාන්තාවනුත්, අපත් දෑස් දල්වා බලා හිඳිනවා. අනතුරුව අපට ඇසෙන්නේ (උපසිරැසි වලින් පෙනෙන්නේ) මෙයයි: 'අල්යෝෂා ගැන අපට කියන්නට තියෙන්නේ එම කතාවයි. අම්මාට දුන් පොරොන්දුව ඉටු කරන්නට නොහැකි වුනත් ඔහු රට වෙනුවෙන් දුන් පොරොන්දුව අකුරටම ඉටු කළා. තරුණ අල්යෝෂා සැබෑ යුධ වීරයෙකු, නියම රුසියානු සොල්දාදුවෙකු ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.'

එය සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයක්දැයි මා දන්නේ නැත. නමුත් යුධ බිමේ ඛේදවාචකයන් දැක්වෙන චිත්‍රපට වලට වඩා ඒ හා සබැඳියවුන්ගේ ජීවන යතාර්ථය ඉතාමත් සංවේදී ලෙසින් නිරූපණය වුනු මේ කතාන්දරය මගේ සිත තදින් කම්පනය කළා. ප්‍රධාන චරිතයන් වූ අල්යෝෂාගේ හා ෂූරාගේ චරිතයන් රඟ පෑ තරුණයා හා තරුණිය එවකට දහ නව හැවිරිදි වියේ පසු වූ ආධුනිකයන් වූවා. ඔවුන් දෙදෙනා ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා මෙසේ පවසා ඇති බව මට අන්තර්ජාලයෙන් හමු වූවා: 'අපි ලොකු අවධානමක් ගත්තා ආධුනිකයන් දෙන්නෙක් චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට අරගෙන. ගොඩක් දෙනෙක් ඒ වගේ කාලෙක එහෙම දෙයක් කරන්නේ නෑ. ඒත් අපි ඒ දේ කළා, ඒ වගේම අපිට පසුතැවෙන්න කිසිම හේතුවක් උනේ නෑ. ඔවුන් දෙදෙනා චිත්‍රපටයට ඉතාම හොඳ සාධාරණයක් ඉටු කළා. ඒ තමයි තාරුණ්‍යයේ සොඳුරු නිරායාසාත්මක බව.'


14. සදාතනික මතකය...


රූපයක්, සිනහවක් හෝ මතකයේ රැඳුණු කියමනක්
රඳවයි අපේ ආදරණීයයන්
සදාකල් අප මතකයේ...
නෙක අයුරින් අපට සමීප කරවයි
හිරු බැස යන සැන්දෑව කොපමණ වරක්
ගෙවී ගිය අතීතයේ අප ඔවුන් හා ගත කළ
ඒ සොඳුරු මතකයන් සිහිපත් කරවනු ඇත්ද...
ඇස ගැටෙන මලක් හෝ ගිම්හාන ආකාසය
කොපමණ වරක් ඒ ගෙවී ගිය සොඳුරූ දිනයන්
නැවත අප වෙත කැඳවාගෙන එනු ඇත්ද...
එය සැබෑවකි,
මතකය විශ්මයජනකය,
අපේ ආදරණීයයන් අප වෙත රඳවා ගැනීමට එයට හැකිය...
හදවතින්ද ආත්මයෙන්ද
සැමදා ඔවුන් අප සමගමයි...


~ Marjorie Frances Ames ගේ Ever Close In Mind And Heart නිර්මාණයේ සිංහල පරිවර්තනයයි