32. අමරණීය පෙම් පුවතක නූතන සංස්කරණය...

කතාවට වස්තු බීජය පොඩි අක්කාගෙන්. මේ බරසාර, මහප්‍රාණ මාතෘකාව රවි අයියාගෙන්. දෙන්නටම තැන්ක් යූ! :)



පබෝධාගේ සිත දැනට සතියක පමණ කාලයක් පුරා තිබුණේ මහා දෙගිඩියාවකය. මාමා කෙනෙකුගේ දැන හැඳිනුම්කම මත ගෙන ආ මංගල යෝජනාවක මනමාලයා හා ඔහුගේ පවුලේ උදවිය සතියකට පෙරාතුව පැමිණි එම දිනය පිළිබඳව, යාබද වෙල් යායට මුහුණලා පිහිටි සිය කාමරයේ වූ කවුළුවෙන් එබීගෙන ඇය නැවතත් මෙනෙහි කළාය.
දොර රෙද්ද මෑත් කරගෙන බුලත් හෙප්පුව රැගෙන මව සමග එන අතරේ බිමට යොමුව තිබූ ඇගේ දෑස් යාන්තමින් මඳක් එසවුණේ අමුත්තන් දෙස බැලීමටය. අප්පච්චි හිඳ සිටි අසුන අසළින්ම හිඳ සිටි තරුණයා දෙස ඇය මඳක් ඕනෑකමින් බැලුවාය. ඔහු ඉතා කඩවසම්ය. පැහැපත්ය. ඇගේ හදගැස්ම මොහොතකට වේගවත් වූයේ ඔහුගේ රුවින් යුතු ඇගේ ප්‍රියතම පැරණි හින්දි නළුවෙකු සිහිපත් වීමෙනි. ඔහු අසළින් අසුන්ගෙන සිටින්නේ මව්පිය යුවළ විය යුතුය. ඒ අසළ අසුනේ ඇගේ මාමාද, එයින් එහා කවුළුව අසළ වූ අසුනේ තවත් අමුත්තෙක්ද විය. එම රුව දුටු විගස ඈ අතේ වූ බුලත් හෙප්පුව බිම නොවැටී බේරුණේ අනූ නවයෙනි. ඔහු කඩවසම් නැත. සැබැවින්ම නැත. අනෙක් තරුණයා තරම් පැහැපත්ද නැත. එහෙත් ඔහුගේ දෙනෙත... එවන් දෑසක් ඇයට මින් පෙර හමු වී තිබුණේ ඈ කියවූ පොත් පත් තුළ හමු වූ ඈ පෙම් බැඳි චරිත තුළින් පමණි. "දෝණි මේ පැත්තට," යැයි අම්මා ඇයව යොමු නොකරන්නට ඇගේ පා මුලින්ම එසවුණේ ඔහු සිටි දෙසටය.
තමා බැලීමට ආ මනාලයා මුලින් දුටු කඩවසම් තරුණයා බවත්, අනෙක් තැනැත්තා ඔහුගේ වැඩිමහල් සොහොයුරා බවත් ටික වේලාවක් ගත වන විට ඇයට වැටහුණි. පැනයක් ඇසූ විට පිළිතුරු දෙමින් කතා බහට සුළු වශයෙන් දායක වූ ඇය කෑම මේසය පිළියෙල කිරීම සඳහා මව නැගී සිටි විට ඈ හා මුළුතැන්ගෙට ඇදී ගියාය.
"දුව ඒ ළමයට කැමතිද?" බත් දීසියට බත් බෙදන අතරේ මව ඇසුවාය.
"මන්දා, එහෙම කොහොමද එක පාරට කියන්නේ?" පබෝධා අලස ලෙසින් පිළිතුරු දුන්නාය.
"ඇයි ඒ ළමයා හොඳ පෙනුමයිනේ? ඔයාට හොඳට ගැලපෙනවා. කේන්දරත් හොඳටම ගැලපුන නිසානේ ඒ උදවියට මෙහෙ එන්න කිව්වේ. නම ජයනාත් ද කොහෙද.."
"ඒවයිං විතරක් කොහොමද අම්මා ගැලපීම නොගැලපීම හොයන්නේ..." ඇගේ සුපුරුදු තර්ක විතර්ක වාද ඇරඹෙන්නට වූයෙන් මව බෙදූ බත් දීසිය ඈ අතට දී සාලයේ මේසය මතින් තබන්නට කීවාය.
දිවා ආහාරය නිම වී අල්ලාප සල්ලාපයේ යෙදෙන අතර එක්වරම මාමා පැවසූ කරුණකින් පබෝධා ලැජ්ජාවෙන් රතු වී ගියාය.
"දැං ඉතිං තීරණයක් ගන්න මේ දෙන්නගේ කැමැත්ත අකමැත්ත විතරයිනෙ ඕන... කැමති නැද්ද ටිකක් කතාබහ කරලා අඳුරගන්න?" අම්මා මාමා සමග කුමක් හෝ පවසා ඇතැයි ඇය කල්පනා කළාය.
"ඒක තමයි මාත් මේ පොඩි පුතාට කිව්වේ..." මනමාලයාගේ පියාද කීවේය.
වැඩිහිටියන්ගේ ආරාධනාවෙන් නැගී සිටි ජයනාත් දෑත් කලිසම් සාක්කු තුල රුවාගෙන පබෝධා දෙස බැලුවාය. ලැජ්ජාවෙන් නැගී සිටි ඇය බිම බලාගෙනම දොරටුව වෙත ගියාය.
සුන්දර වෙල්යායකට මායිම් වූ ඔවුන්ගේ වත්තේ ඈ නිතර රැඳී සිටීමට ප්‍රිය කළේ එම වෙල් යාය හොඳින් දිස් වන මිදුලේ වම් පසයි. එහෙත් දොරින් එළියට බට සැණින් ජයනාත් ඇවිද ගියේ ඔවුන්ගේ මෝටර් රථය නවතා තැබූ දකුණු පසටය. එබැවින් ඇයද නිහඬවම ඔහු පසුපස ඇවිද ගියාය. මෝටර් රථයට හේත්තු වී දෑත් බැඳගත් ඔහු ඈ දෙස බැලුවාය. "ඉතිං?"
"ඉතිං..." ඔසරි පොට දෑතින් අඹරවමින් ඇයද සිහින් හඬින් මිමිණුවාය.
"ඔයා පබෝධා නේද?" ඇය හිස සැලුවාය. "මම ජයනාත්."
"අම්මා කිව්වා..."
"ඔයා ටීච් කරනවා නේද?"
"ඔව්, සාහිත්‍යය උගන්නන්නේ... මේ ලඟ ගමේ ඉස්කෝලේ..."
"හොඳ එකකට ට්‍රාන්ස්ෆර් වෙන්න බැලුවෙ නැද්ද?"
"මේකෙ නරකක් නෑ, මමත් පොඩි දවස් වල ඉගෙනගත්ත ඉස්කෝලෙනේ..."
"හ්ම්, අපි මැරි කළාම ඔයා කැමතිද අපේ බිස්නස් වලට ජොයින් වෙන්න?"
අපි මැරි කළාම? අපොයි දෙයියනේ... මෙයා හිතලා තියෙන දුර! තාම මේකට මං කැමතිද නැද්ද කිව්වෙවත් නෑ... "මං ළමයින්ට උගන්නන්න තමයි ආස, බිස්නස් වැඩ මට එච්චර තේරෙන්නෙ නෑ..."
"පුරුදු වෙන්න පුළුවන්නෙ ඉතිං... අපේ හෙඩ් ඔෆිස් එකේ ඉන්නවා මිස් අමන්දා, මගෙ සෙකට්‍රි... ඔයාට එයත් එක්ක මුලදි එකතු වෙලා වැඩ ඉගෙනගන්න පුළුවන්... ඊට පස්සේ මැනේජ්මන්ට් එකට ගන්න පුළුවන් ඔයාව..."
පබෝධා ඔහු දෙස බලා සිටියේ කුමක් කියන්නටදැයි නොදැනය. එම මුහුණ දෙස බලා සිටින්නට ආසා සිතේ. ඇගේ ප්‍රියතම පැරණි හින්දි නළුවා කතාකරන, සිනාසෙන විලාසය ඇගේ දෑස් ඉදිරිපිට මැවී පෙනෙනා ලෙසකි. ඔහුගේ මුඛරි කතාවද අසා සිටින්නට ප්‍රියය. එහෙත් ඔහු කී කිසිවක් ඇයගේ සිතට ධාරණය වූයේ නැත. බිස්නස් යනු ඈ කතාබහකට මාතෘකා කරගැනීමට කිසිසේත්ම පෙළඹෙන මාතෘකාවක් නොවීය.
"ඔයාට මේ කාර් එක දෙන්න පුළුවන් යූස් කරන්න.." තමා හේත්තු වී සිටි වාහනයට තට්ටුවක් දමමින් ඔහු කීවේය. එයින් පියවි ලෝකයට ආ පබෝධා ඔහුගේ කතාවට නැවතත් අවධානය යොමු කළාය. "ඔෆිස් යන්න එන්න.. ඔයාට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද?"
"බෑනේ..."
"ඉගෙන ගන්න පුළුවන්නේ... බැරිම උනොත් මං ඩ්‍රයිවර් කෙනෙකුත් දෙන්නම්කෝ... මේ වෙහිකල් එක ගොඩක් ලේඩීස්ලා පාවිච්චි කරනවා, පුරුදු වෙන්න අමාරු නෑ..." අනතුරුව ඔහු රථ වාහන පිළිබඳව තවත් මොනවාදෝ කියාගෙන ගියේය. අවසානයේ ඔහුගේ කතාව නිමා වූ විට ඇය දිගු සුසුමක් හෙලුවාය. "ඉතිං කියන්න ඔයා කැමතිද?"
පබෝධා වහා හිස එසවූයේ තමා ඔහුට කැමතිදැයි ඔහු අහන බව සිතාය. නමුත් ඔහු සිය දෑස් රථය වෙත යොමු කළ විලාසයෙන් ඔහු අසන්නේ ව්‍යාපර සම්බන්ධයෙන් බව ඇයට වැටහුණි. "මං කැමති ටීචිං ජොබ් එකට. ළමයි එක්ක වැඩ කරනකොට මට ලොකු සතුටක් දැනෙනවා..."
ඔහු මුව උල් කර සුසුමක් පිට කළේ වෙහෙසකර බවක් පාමිනි. 'කියවපුවා ඔක්කොම අපරාදේ කියලා හිතෙන්න ඇති...' පබෝධාගේ මුව'ගට සිහින් සිනාවක් නැගුණි.
"ඕ කේ... ෆයින්..." ඔහු රථයේ ඉදිරි දොර විවර කර කැසට් යන්ත්‍රය පණ ගන්වා අසුනකින් හිඳගත්තේය... "යූ හෑව් අ සීට්.." ඔහු ඇයට රථයේ පිටුපස දොර ඇර දුන්නේය.
"නෝ තෑන්ක්ස්..." ඇය ඔහු පණගැන්වූ සංගීතයට මදක් කන් දුන්නාය. මහා ගෝෂාකාරී නාදයකි. ගීතයේ භාෂාව කුමක්දැයි පවා ඇයට හඳුනාගත නොහැකි විය. ඔහුගේ ගීත රසවින්දනය තම රසවින්දනය හා කොහෙත්ම නොගැලපෙන බව ඇය තේරුම් ගත්තාය. "ඔයා නිකන් ඉන්න වෙලාවට මොනවද කරන්නේ?"
"නිකන් ඉන්න කාටද වෙලා තියෙන්නේ පබා?"
ඔහුගේ ඇමතුමෙන් ඇය රතු වී ගියාය. "මම පබෝධා..."
"මං දන්නවා. ඇයි ඔයාගෙ යාළුවෝ ඔයාට එහෙම කතා කරන්නෙ නැද්ද?"
"ම්.. ගොඩාක් ලඟම යාළුවොනං පබා කියලා කතා කරනවා..."
"ඉතිං මාත් එහෙම එක්කෙනෙක් කියලා හිතන්න පුළුවන්නේ?"
"මට පබෝධා කියලම කියන්නකෝ, එහෙම හොඳයි..." ඇය එසේ පැවසුවේ ඔහුගේ සිත රිදේදැයි බියෙනි.
"ඕකේ ඔකේ, අයි අන්ඩර්ස්ටෑන්ඩ්.. සෝ පබෝධා... ඔයා ඇහැව්වේ මගේ හොබීස් ගැනද?"
"ඔව්."
"ම්... කම්පියුටර් ගේම්ස් ගහනවා, මූවීස් බලනවා, එක්සසයිස් කරනවා..."
"එක්සසයිස් කරනවා? ඒක හොබී එකක්යැ?" පබෝධාට නො අසා සිටීමට බැරි විය.
"වයි? ඉට්ස් අ හෙල්දි හොබී නො.. මම ජිම් යනවා, නැත්තං කොහොමද මෙහෙම ඉන්නේ?"
පබෝධාට සිනහ පහළ විය. "හරි හරි, ඉතිං තව මොනවද?"
"තව... තව ඉතිං මියුසික් තමයි..."
"මේ වගේ මියුසික්ද?" ඇය රථයේ තැටි වාදකය වෙත හිස යොමු කරමින් ඇසුවාය.
"ඔව්, ගොඩක් වෙලාවට. බලන්නකෝ තියෙන එනර්ජි එක... ඒ උනාට අපෙ අයියා ඉන්නවා නේද? එයාට මේ සින්දු පේන්න බෑ... අයියා අහන්නෙ ක්ලැසිකල්, ස්ලෝ ඒවා තමයි..."
"මාත් එහෙමයි..." තමා මුලින්ම දුටු ඔහුගේ දෑස සිහිපත් කරගන්නට උත්සාහ දරමින් පබෝධා කීවාය. ඒ මොහොතෙන් පසු කිසි විටෙක ඔවුන් දෙදෙනාගේ දෑස් එකට නොගැටුණු අතර දෙදෙනාම හිතාමතා එය මග හැරි බව පබෝධාට දැනුණාය.
ජයනාත් වහා සංගීතය නතර කළේය. "රියලි? කියන්න එපැයි කළිං, මං මේක ඕෆ් කරනවනේ..."
"ඒකට කමක් නෑ..." පබෝධා සිනහවක් පෑවාය. "අපි යමුද අර පැත්තට, ඒ පැත්තේ බංකු තියෙනවා ඉඳගන්න." ඇය මිදුලේ අනෙක් පස වෙත අත දිගු කළාය.
"ඕ කේ..." ජයනාත්ද නැගී සිටියේය. දෙදෙනා එදෙසට යන විට වෙල්යායට මුහුණ ලා ඉදි කර තිබූ බංකුවක් මත ඔහුගේ සොහොයුරා හිඳගෙන සිටියේය. ඔවුන් දෙදෙනා ලඟටම එන තුරු ඔහු ඔවුන්ව දුටුවේ නැත.
"මොකෝ අයියේ? ඔතන ඉඳගෙනත් කවි ලියනවද?" ජයනාත්ගේ හඬ ඇසී සොහොයුරා කලබලයෙන් නැගිටින අතරේ යළිත් වරක් පබෝධාගේ දෑස් ඔහුගේ දෑස් හා ගැටුණි. හැඩකාර මනමාලයා ඉදිරියේ නොදැනෙන තිගැස්මක්, කම්පනයක් ඔහුගේ සොයුරා ඉදිරියේදී දැනෙන්නේ මන්දැයි ඇයට වටහාගත නොහැකි විය. ඒ අතර මේ අසන්නට ලැබුණු කරුණ... කවි ලිවීම... එය ඇගේද ප්‍රියතම විනෝදාංශයයි.
", මල්ලි.. මං ලඟටම එනකල් දැක්කෙ නෑනේ... මං මේ මිදුලට පොඩ්ඩක් ආවා ඇතුලේ කම්මැලියි..." එම කටහඬ ඉතා ගැඹුරුය. මන්දස්වරයෙන් වැයෙන සංගීතයක් බඳුයැයි පබෝධාට සිතිණ. මනමාලයා කෙතරම් හැඩකාර වුවද ඔහු වෙත තිබූ සෑම දෙයක්ම සාමාන්‍යය. කෙල්ලන් වසඟයට ගත හැකි පෙනුමේ, කතාබහේ, සිනහවේ සිට ඇඳුම පැලඳුමද, ගමන බිමනදද සාමාන්‍යය. ඇයට හමු වී ඇති බොහෝ පිරිමින් තුළ ඈ ඒවා අඩු වැඩි වශයෙන් දැක ඇත. එහෙත් මොහු වෙත ඇත්තේ අමුතුම අන්දමේ වෙනස් බවකි. එම වෙනස ඇගේ හදවතේ තත් කම්පනය කරන්නට සමත් වී ඇත.
"ලස්සන විව් එක නේද... අයියා ආසම විදිහෙ පැත්තක්..." වෙල්යාය දෙස බලා ජයනාත් කීවේය.
"හ්ම්..."
"පබෝධා දන්නවද, මේ අපේ අයියා කුසල් මාර ලස්සන කවි ලියනවා..., චිත්‍රත් අඳිනවා..." ජයනාත් පබෝධා දෙසට හැරී කීවේය.
"ඇත්තද?"
"එහෙනං ඔය දෙන්නා ඔහොම ඉන්නකෝ, මං ඇතුලට යනවා." කුසල් නිවෙස වෙත යාමට හැරුණේය.
"නෑ නෑ, අයියා ඉන්න..." ජයනාත් වහා ඔහුගේ කර වටා අතක් දමාගත්තේය. "බලන්නකෝ, පබෝධා කැමතිත් නෑනේ මං අහන ජාතියේ සින්දු වලට..." ඔහු බංකුව මත හිඳගත්තේ සොයුරාද සමගිනි. "එන්න පබෝධා," ඔහු ඇයටද බංකුව පෑවේය. අර්ධ කවාකාර විසල් බංකුව මත තිදෙනාටම පහසුවෙන් හිඳගැනීමට ඉඩකඩ තිබුණි. "මෙයා කැමතිත් අයියා කැමති ජාතියේ ඒවටමලු."
"එහෙමද?" සොයුරන් දෙදෙනාට මඳක් ඈතින් ඈ අසුන් ගන්නා අතරේ කුසල් ඈ දෙස බැලුවාය. අඳුරු අහසක දිලෙන තරු දෙකක් වන් වූ එම දෑසින් තමා වෙත විදුලි සැර නිකුත් වන බවක් පබෝධාට දැනුණි. ඇය බිම බලාගත්තාය.
එවිටම ජයනාත්ගේ ජංගම දුරකථනය නාද වන්නට විය. "එක්ස්කියුස් මී." ඔහු දුරකථනයද රැගෙන නැගිට මිදුලේ කෙළවරට ඇවිද ගියේය. පබෝධා නැවතත් සිය ඔසරි පොට අඹරන්නට පටන්ගෙන තිබුණි.
"නංගිත් කවි වලට කැමතියි නේද?"
පබෝධා දෑස් විසල් කරගෙන ඔහු දෙස බැලුවාය. "කොහොමද දන්නේ?"
"ඉස්කෝලේ සාහිත්‍යයනෙ උගන්නනවා කිව්වේ.."
ඇය රතු වී බිම බලාගත්තාය. "මං චිත්‍ර වලටත් ආසයි. අඳින්නනම් බෑ, ඇඳපුවා බලන්න ආසයි... මං මේ ලඟදි පත්තරේ කියෙව්වා ලිපියක් චිත්‍ර කලාවයි සාහිත්‍යයයි ගැන හරි ලස්සන විදිහකට එකට ගලපලා ලියලා තියෙනවා"
කුසල් ඈ දෙස බැලුවේය. "පන්හිඳ පත්තරේද?"
"ඔව්. අයියත් ඒ ලිපි කියවනවද?"
කුසල් පුළුල් සිනහවක් පෑවේය. ඔහු එලෙස සිනාසෙනවා ඈ දුටුවේ පළමු වතාවටය. "ඒ ලිපි කියවන මට හම්බුණ මුල්ම කෙනා ඔයා තමයි.."
"ඒවා ලියන්නෙ අයියද?"
උරහිස් හැකිලූ ඔහු ඒ තමා බව නිහතමානීව පිළිගත්තේය. දුරකථන සංවාදය නිමා කළ ජයනාත් එතැනට ආවේය. "ඉතිං පබෝධා," ඔහු ඔවුන් දෙදෙනා අතරින් ඉඳගත්තේය. "ඔයාගෙ නැද්ද හොඳ යාළුවො එහෙම බැඳපු නැති?"
"ම්.. ඉන්නවා, ඇයි?"
"නෑ මේ අපෙ අයියට..."
"ජයනාත්!" කුසල් අවධාරාණාත්මක හඬකින් කීවේය.
"මං හිතුවෙ අයියා මෙලහකට බැඳලා ඇති, නැත්තං බඳින්න කෙනෙක්වත් ඇති කියලා..." පබෝධා පුදුමයෙන් කීවාය.
"අපොයි මෙයාට කවුරුවත් හොයන එක ලේසි නෑ.." එවර ජයනාත් කීවේ සොයුරාගේ පිටටද පහරක් ගසමිනි.
"යමංකෝ ගෙදර.." කුසල් මිමිණුවේය.
පබෝධාට සිනහ පහළ විය. පෙනුමෙන්, ගතිගුණ වලින් හා රුචි අරුචිකම් වලින් කෙතරම් වෙනස් වුවද මෙම සොහොයුරන් දෙදෙනා එකිනෙකාට ඉතාමත් සමීප බව ඇයට අවබෝධ විය. "ඉතිං අයියාට කළිං මල්ලි බඳින්න හදන්නේ?" ඇය ඇසුවාය.
"මෙයාට හරියන අය හොයාගන්න කොට මාත් නාකි වෙලා ඉඳියි. අම්මලා මෙයාට බල කරලා කරලා බැරිම තැන තමයි ඔය මට හොයන්ඩ ගත්තේ."
"ඉතිං අයියා මොන වගේ කෙනෙක්වද හොයන්නේ?" පබෝධා ඇසුවාය.
"හරියන කෙනා හම්බ වෙන කාලෙට හම්බ වෙන්නෙ නැතැයි," එසේ කියමින් කුසල් නැගිට්ටේය. "මං ගෙට යනවා එහෙනං..." ඔහු ආපසු හැරී නොබලාම ඉස්තෝප්පුව කෙළවරින් නිවෙසට ඇතුල් විය.
කවුළුවෙන් ඉවත බලා සිටිනා අතරේ එම බංකුව නැවතත් ඇගේ දෑසට ලක් විය. එදින ඔවුන් පිටව ගිය වහාම එකතු කර තිබූ පැරණි පත්තර ලිපි එකතුවම ඇදගෙන එකින් එක නැවතත් කියැවූ අයුරු ඇය සිහිපත් කළාය. අන්වර්ථ නාමයකින් එම අපූරු ලිපි ලියන්නා කෙදිනක හෝ හමු වීම ඇගේ එක් සිහිනයක්ව තිබූ අතර ඔහු මෙතරම් තරුණ වියේ පසුවන්නෙකැයි ඇයට කිසිදා සිතී තිබුණේ නැත.
"දෝණි..." අම්මාත්, අප්පච්චිත්, මාමාත් තිදෙනම එක්වරම ඇගේ කාමරයට ඇතුල් වූහ. "දැංවත් මේකට උත්තරයක් දෙන්න ළමයෝ..." අම්මා ඈ අසළින් ඇඳ මත හිඳගත්තාය.
"දැං සුමානයක් වෙන්ඩත් ආවා, ඒ පැත්තෙනුත් උත්තරයක් නෑ. මාමා හෙට යනවා එහෙ, ඉතිං මේ පැත්තෙං උත්තරේ අරං යන්ඩ එපැයි..." අප්පච්චිද කීවේය.
"කැමැත්ත හරි අකමැත්ත හරි ඕන එකක් කමක් නෑ දුවේ, කියන්න... හැබැයි අකමැති වෙන්න හේතුවක්නං නෑ ඒ කටයුත්තේ..." මාමාද එක් කළේය.
"එදා හැන්දෑවේ ඉඳං මං මේ ළමයගෙන් වචනයක් ගන්න බලනවා, කෝ ඒ ගැන කටක් හොල්ලන් නෑනේ..." අම්මා නැවතත් කීවාය.
පබෝධා පත්ව සිටියේ මහත් අසීරු තත්ත්වයකටය. දැන් එහි උපරිම අවස්ථාවට එලැඹ ඇත. ඇගේ දෙමාපියන්ට සිටි එකම දරුවා තමා වූ බැවින් සිය විවාහය ඔවුන් සොයා දෙන්නෙකු සමගින් සිදු කෙරෙනු ඇති බව ඇය ඔවුනට පොරොන්දු වී සිටියේ කිසිදු පසුතැවිල්ලකින් තොරවය. මෙම යෝජනාව පැමිණියේද එලෙසිනි. එහෙත් දැන් එම යෝජනාව නිසාම ඇගේ සිත වෙනෙකෙකු සොරාගෙන ඇත. මනාලයාගේම සොයුරා විසින් සොරාගෙන ඇත.
"මං ජයනාත්ට කැමති නෑ..." ඇය අවසානයේදී සෙමින් මිමිණුවාය.
"ඉතිං ඕක කළින්ම කිව්වනං ඉවරනේ. අපි කිව්වනේ, දූගෙ අකමැත්තෙන් මේ කිසිදෙයක් අපි කරන්නෙ නෑ කියලා..." පියා ඇගේ හිසද අතගාමින් කීවාය.
"මං එහෙනං හෙට ගිහිං මේ ගැන කියන්නං නේද, කෙළිංම අකමැති බව නොකියා මං වෙන මොකක් හරි කියන්නංකෝ..." මාමාද හිඳ සිටි පුටුවෙන් නැගී සිටියේය.
"ඒ උනාට..." පබෝධා ඇසෙන නෑසෙන හඬින් යළිත් එක් කළාය. "... මං එයාට අකමැති මං එයාගෙ අයියට කැමති නිසා..."
"???" මාමා නැවතත් ඉඳගත්තේය. අම්මා කම්මුලේ අතක් තබාගත්තේය. පියාගේ නළල රැළි විය.
"ඒ ළමයනං ඔය දෙවෙනි පුතා තරං ලොකු තානාන්තරේක නෙවෙයි, පත්තර කන්තෝරුවකද කොහෙදනේ රස්සාව කරනවා කිව්වේ..."
"අනික පබා බලන්න, එයා අර මල්ලිගෙ අයියා කියලවත් කියන්න පුළුවන්ද පෙනුමෙං? ඔයාට ගැලපෙන්නෙ නෑ දරුවෝ එහෙම කෙනෙක්..."
"ඒ උනාට මං කැමති එයාගෙ විදිහට..." පබෝධා නැවතත් මිමිණුවාය.
"බෑ, බෑ මේක කරන්න බෑ. ඔයාව බලන්න ආවේ ජයනාත්. ඔයා එයාට කැමතිද නැද්ද කියලා විතරක් කියන්න. මාමා කොහොමද ඕවා ගිහිං කියන්නේ ඒ මිනිස්සුන්ට?" පබෝධා නිහඬය. "මල්ලි, ඉස්සෙල්ලා කතාකරගත්තු විදිහට ගිහිං කියන්න හෙට... මේ මොන කෝලමක්ද!" අප්පච්චී එසේ පවසා බර අඩි තබමින් කාමරයෙන් පිට විය.
මාමා ඈ වෙත ආවාය. "අකමැති බව කියන්නද දුවේ?" පබෝධා යාන්තමින් හිස සෙලවූයේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. මාමාද, ඔහු පසුපසින් අම්මාද කාමරයෙන් පිටව ගියෙන් පබෝධා නැවත වරක් සිය සිතුවිලි අතර හුදෙකලාව අතරමං විය. ඇගේ තනියටදෝ කඳුළු බිඳු එකින් එක උනා එන්නට විය.
පසුදින රාත්‍රියේ මාමා හදිසියේම නැවතත් එහි ආවේය. "මල්ලි හදිසියෙම? දීපංගොඩ ගියාද?" කතාබහට මුලපුරමින් අප්පච්චි ඇසුවේය. අම්මාද ඔවුන් සමග එකතු වී සිටියෙන් මැද සාලයේ හිඳගෙන ලූනු සුද්ධ කරන අතරේ පබෝධා ඔවුනගේ කතාවට කන් දී සිටියාය.
"ගියා ගියා අයියේ, එහෙ ඉඳං තමයි මේ කෙළිංම ආවේ.. තාම ගෙදරවත් ගියෙ නෑ..."
"ඒ මොකෝ ඒ හැටි හදිසියෙන්? ඒ උදවිය මොකද කිව්වේ? දොස් කිව්වද?"
"මොන දොස්ද අක්කේ, මාව දැක්ක හැටියේ ඉඳගන්න කියලා මහ පුදුම කතාවක් තමයි කිව්වේ... පොඩි පුතා කිව්වලු එයාට පබා දෝණි ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා කියලා, ඒක ඇහිච්ච ලොකු පුතාගෙ මූණේ ලොකු හිනාවක් ඇඳුනලු... ඒ ලොකු එකාට මගුල් හොයන්න ඒ මහ දෙන්නා විඳපු දුකක්! කවුරු කැමති උනත් ඒකගෙ කැමැත්ත ගන්න බෑලු... දැං ඔන්න මල්ලි මෙහෙම කිව්වහම අයියා කිව්වලු 'මං ඒ ළමයට කැමතියි' කියලා... මේක අපිට කියාගන්නෙ කොහොමද කියලා හිත හිත ඒ උදවිය ඉඳලා තියෙන්නේ... කෝකටත් කියලා දෝණිගෙ කේන්දර කොපිය ලොකු පුතාගෙ එකටත් බැලෙව්වලු. ෂුහ්! පොඩි පුතාගෙ එකටත් වඩා හොඳට ගැලපෙනවලු..." පබෝධාගේ මවත් පියාත් මුහුණින් මුහුණ බලාගත් හ.
"ඉතිං මල්ලි කිව්වද අපේ දෝණි කියපු කාරණේ?"
"නෑ නෑ, මං ඒවා කියන්න ගියෙ නෑ, මෙහෙ උත්තරේ අරං එන්නං කියලා ආවා..."
"හ්ම්... එහෙම කරපු එක හොඳයි... කෝ මේ කෙල්ල... දෝණී..."
අප්පච්චිගේ හඬගෑම ඇසුණු පරක්කුවෙන් මතු වූ ඇගේ මුහුණේ වූ සිනහවෙන් සියල්ල අවබෝධ කරගත් වැඩිහිටියෝ තිදෙන සිනාසෙන්නට පටන් ගත් හ.

21 comments:

  1. හරිම ලස්සනයි..සුරංගනා කතාවක් වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ. :) සුරංගනා කතාවක් වගේ කිව්වෙ, කතාව නිකම් අතාත්විකයි වගේද?

      Delete
    2. අ.පො. ස. ( සාමාන්‍ය පෙල ) විභාගය - 2013 දෙසැම්බර්.

      සිංහල භාෂාව - 11

      ප්‍රශ්න අංක 3.

      ඔයා කවි විතරක් ලියන්න අනේ. අර වාගෙ මෝඩ කතන්දර ලියන්න එපා! ; D

      ඉහත ප්‍රකාශය කවුරුන් විසින් කාට කුමක් අරභයා කුමන අවස්ථාවකදී ප්‍රකාශ කරන ලද්දක්ද? ( ලකුණු 10 )

      Delete
    3. සිත්තමී විසින් පොඩි කුමාරිහාමිනේ හට එක්තරා කරුණු පැහැදිලි කිරීමකදී සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතේ ලියා දන්වා ප්‍රකාශ කරන ලදි! :P

      Delete
  2. කතාව බලන්නේ දෙවෙනි පාරට. ඒත් අර මුලින් කියවනකොට දැනුනු රසය තාම එහෙමමයි සිත්තමී. මමත් කැමති කෝසල වගේ අයට. වැඩිය ලස්සනට පේන, කලබලකාරයින්ට මමත් කැමති නෑ.:)

    කතාව ගොඩාක්ම හිතට ලංවෙන්නේ ඒ හන්දත් වෙන්ට ඇති.


    රවිගේ බරසාර මහප්‍රාණ මාතෘකාව නරකම නෑ.:D:D

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි පොඩ්ඩි අක්කේ. කෝසල නෙමෙයි අනේ, මේ කතාවෙ ඉන්නෙ කුසල්නේ. :)

      Delete
    2. අය්යෝ මේ දවස්වල හිතේ ඉන්නෙම 'කොසෝ' අනේ. ලංකාවේ පෙන්නන ටෙලිඩ්‍රාමා එකක් කම්පියුටරේ බලනවා මේ දවස්වල 'ඉඳුවරී' ද මොකක්ද කියලා. ඒකේ ගෑනු ලමයෙක් කොච්චරවත් 'අනේ මගේ කොසෝ' කියනවා ඇහිලා ඇහිලා මගේ හිතෙත් දැන් ඉන්නේ එයා හී හී...

      Delete
    3. කොසෝ? ඒ නම ඇහුණම මං හිතුවේ ජපන් නාට්ටියකවත් ඉන්න එක්කෙනෙක්ද කියලා, හරියට රූසෝ වගේ. :) මමනං මේ දවස් වල බලන එකම නාට්ටිය සුජාත දියණී විතරයි. ඒත් දැන් කොටස් කීපයක්ම මග ඇරුණා. ඒකත් ඉවර වෙන්න ලඟයිලුනේ. :(

      Delete
    4. @ පොඩ්ඩි,

      කොසෝ නෙවෙයි බං...කොල්ලගෙ නම කොසොල්....අර කෙල්ල පානක් එහෙම පත්තුකරල කියන්නෙ " අනේ මගෙ කොසොල් " කියලයි.....කොසෝ.....huh…

      Delete
    5. දේස දීපංකරේ ඉන්න මේ ගොල්ලො දන්නවනෙ බොලේ මෙහෙ යන නාට්‍ය ගැන අපිට වැඩිය! :)

      Delete
    6. @ සිත්තමී,

      එතන වැඩේ මේකයි නංගි..ලංකාවෙ ඉන්දැද්දි මම බැළුවෙ තෝරාගත් ටෙලි චිත්‍රපට කීපයක් විතරයි. ඔය බහුතරයක් රටේ නැති විසිවිත්තර බලන්ට වෙලාවක් තිබ්බෙත් නෑ....උවමනාවක් තිබ්බෙත් නෑ.මම හිතන්නෙ ඔයාටත් වෙලා තියෙන්නෙ අන්න ඒක.

      දුරු කතර ආහම ඒ තත්වය වෙනස් වෙනව...වෙලාවත් තියනව ඕන හැටිය..අනික බහු රූ කෝලං උනත් පෙන්නන ඔක්කොම පැල් බැඳගෙන බලනව ඒ සුට්ටං වෙලාවෙ හරි ලංකාවෙ ඉන්නවය කියල හිතාගෙන...:)

      Delete
  3. හෙහ්, හෙහ්..හරිම ලස්සන කතාව නඟේ...

    කතාව කියවද්දි මට මතක් උනා අඩේ මමත් මේකට අනුගාමී කෘතියක් ( Sequel ) ලිව්වය නේද කියල...පස්සෙ ඇද්ද පරණ පයිල් සැට් එක...මම ලියපු කතාව ඉවර කරල තියෙන්නෙ මේන්න මෙහෙමයි...:) :)

    The yardstick of perfect love is not how long you can spend together chatting non-stop but how long you can spend together in total silence comfortable with each other with nothing more than an occasional smile,

    ReplyDelete
    Replies
    1. "We sit silently and watch the world around us. This has taken us a lifetime to learn. It seems only the old are able to sit next to one another and not say anything and still feel content. The young, brash and impatient, must always break the silence. It is a waste, for silence is pure. Silence is holy. It draws people together because only those who are comfortable with each other can sit without speaking. This is the great paradox."
      ~ 'The Notebook' by Nicholas Sparks

      ස්තූතියි රවි අයියේ :)

      Delete
    2. / This has taken us a lifetime to learn. /

      අම්මප මේ යකා තමයි යකා..මම කිව්වෙ මේ නිකොලොස් ගොයිය...මූ කියන්නෙ අමූලික ඇත්ත නෙව....වැඩේ ලයිෆ් ටයිම් එකක් ගත වෙන්ට ඕන එව්ව මේකා හරියටම අද කියන එක නෙව....

      උඹට කියන්ට සිත්තමියෙ ඔය අපෙ ලොක්කියි මායි ඔන්න ඔය කෙරේමෙ අනුගමනය කොරනව බොහොම හොඳට...

      විසේසයෙං මෙහෙම වෙලාවට...ඔන්න උන්දැ එනව මම ඉඳගෙන පොතක් පතක් කියවන තැනට වේවැල් පුටුවකුත් උස්සාන...

      " මේ ඔයාට මම කියන්ටමයි හිටියෙ..අර ෆ්‍රෙන්ච් කෝනර් එකට ලස්සන බැගී ටොප්ස් ඇවිල්ලලු...හෙට උදේම…….."

      මම නැඟිටල එයාගෙ තොලට ඇඟිල්ලක් තියනව.....

      " ෂ්ෂ්ෂ්ෂ්..........."

      එයා ඔන්න ඇස් දෙකත් ලොකු කරගෙන මා දිහා බලාගෙන ඉන්නව..මම නැඟිටල යනව මගෙ පුස්තකාල කාමරේට...ගන්නව Note Book පොත..ඔය අදාල කොටස මම අන්ඩර්ලයින් කරලයි තියෙන්නෙ...පොත ගෙනල්ල බොහෝම ගැඹුරු හඬින් ඒ කොටස කියවනව...

      "We sit silently and watch the world around us. This has taken us a lifetime to learn. It seems only the old are able to sit next to one another and not say anything and still feel content. The young, brash and impatient, must always break the silence. It is a waste, for silence is pure. Silence is holy. It draws people together because only those who are comfortable with each other can sit without speaking. This is the great paradox."

      " කවුද දැං ඔය ඔහොම කියන්නෙ? "

      " මෙහෙම කියන්නෙ නිකොලොස් ගොයිය..මයෙ අතීසාර මිත්තරයෙක්……. "

      " කොහෙ මනුස්සයෙක්ද?..."

      " මිනිහ ඇවිල්ල ඇමරිකන් කාරයෙක්…"

      " ආ, එහෙනං ඇත්ත වෙන්න ඇති..හරි හරි...දැං කවද වෙනකල් ඔය නිකොලොස් කියන හැටියට ඉන්ට ඕනද? "

      " ම්ම්..වැඩි කාලයක් ඕන නෑ...ෆ්‍රෙන්ච් කෝනර් එකේ අර මොනවද ටොප්ස් ඉවර වෙනකල් නිස්සබ්දව හිටියම ඇති……"

      " හුහ්........."

      Delete
  4. ගොඩාක් ලස්සනයි අක්කියෝ...ඇත්තටම.ඉරණම්කාරයට කො‍හොම හරි මුණ ගැහෙනවලුනේ.හදවත් ලස්සන කපල් එකක්!

    ReplyDelete
  5. හ්ම්ම්... මේ වගේ කථා ඇත්තටම සිද්ධ වෙනවා නම් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියේවි .. ඒත් අද වෙනකන් මම මෙහෙම ලස්සන කථාවක් ඇත්තට වෙනවා දැකලා නෑ .. මොනව උනත් කථාව නම් ලස්සනයි යාලු :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු. :)

      බලාපොරොත්තුව නැති කරගන්න එපා...

      Delete
  6. රවි ගේ කථාවේ ලින්ක් එකෙන් ඇවිත් කිවෙව්වා. රස වින්ඳා, බොහෝම ස්තූති

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝම ස්තූතියි, කතාව කියවලා රස වින්දාටත්, ඒ ගැන කියලා කමෙන්ට් කළාටත්. :)

      Delete