උඹ ම මේකට නමක් තියාපං අයියෙ... මං දන්නෙ නෑ මේකට තියන්න නමක්...

 


හිතාදර රවි අයියා බොහොම දුර ගමනක් යන්න පිටත් වුණ බව ආරංචි වුණ දවසේ මම ෆේස්බුක් අවකාශයේ තබපු සටහන තමයි මේ:

මට කතන්දර ලියන්න පුලුවන් කියලා මම අඳුනගත්තේ සිංහල බ්ලොග් අවකාශය හින්දා. ඒ ගැන ම‍ම නිතරම කියනවා. පොඩි කුමාරිහාමිගේ වළව්වේ කමෙන්ට් තීරුවල තමයි මං මුලින්ම කතන්දර ලිව්වේ. ඒ වළව්වේ කවිකාර නිළමේ තමයි ඒ කමෙන්ට්-කතන්දර ලියැවිල්ලේ මූලිකයා. ඒක බොහොම සොඳුරු ඉසව්වක් - දැනුමත්, රසවින්දනයත්, සහෝදරත්වයත් පිරුණු තැනක් වුණා. 

ඔහොම කමෙන්ට්වල කතන්දර ලිය ලියා හිටපු මං අන්තිමට මගේම බ්ලොග් අඩවියකුත් පටන්ගත්තා. බ්ලොග් සහෘදයෝ හය දෙනෙක් - ලේඛිකාවෝ පස් දෙනයි, එක ලේඛකයයි - එකතු වෙලා වෙනම බ්ලොග් අඩවියක 'අන්දර මල්දම්' පවා ගෙතුවා.

අද... අද සිංහල බ්ලොග් අවකාශයම දුකින් අඳුරු වුණ දවසක්. ඒ වළව්වේ කවිකාර නිළමේ, අන්දර මල්දමේ අපි එක්ක කතන්දර ගොතපු ලොකු අයියා, සිංහල බ්ලොග් අවකාශයේ 'නිදහස් සිතුවිලි' ලියූ රවි අයියා හදිසියේම යන්න ගිහින්. හිතාගන්න, දරාගන්න හරිම අමාරුයි.

බ්ලොග් අවකාශයෙන් ටික ටික ඈත් වෙලා බ්ලොග් ලියපු වැඩි දෙනෙක් පසුකාලීනව ලිව්වේ ෆේස්බුක් අවකාශයේ. වළව්වට යන පාරත් වැහිලා ගිහින් තිබුණා. ඒත් පැරණි හිතමිතුරුකම් ඈත් වුණේ නැහැ. මගේ ලිවීමේ මුල් ගැඹුරට විහිදුණේ සිංහල බ්ලොග් අවකාශයත්, හැබැහින් මුණගැහෙන්නටත් කලින් අකුරු මතින් බැඳුණු සොඳුරු සිත් ඇති බ්ලොග් සහෘදයනුත් නිසා. රවි අයියා ඇතුළු මා එක්ක අන්දර මල්දම ලියපු සහෘදයින් මට එතනින් හුඟක් විශේෂයි. ඒ නිසා දුක වැඩියි.

මගේ බ්ලොග් අඩවියේ නම හරි දිගයි. මම කමෙන්ට් ලිව්වේත් ඒ නමින්. දවසක් මේ කවිකාර නිළමේ ඒ නම කෙටි කරලා 'සිසිනැකපො' කිව්වා. ඒකට මං රණ්ඩු අල්ලගෙන ආවාම කිව්වා ඒ කිව්වේ 'සිත්තරාට සිත්-බැඳි නැතක් කවි-පබැඳි පොඩි-කෙලී' කියලලු. ඉතින් කොහොමද තරහා ගන්නේ.

මගේ පළ වෙන හැම පොතක්ම ගන්න, හොඳ වගේම අඩුපාඩුත් පෙන්නලා දුන්න, බාගෙට ලියපු පරණ කතන්දර ඉවර කරන්නම් කියලා බොරු පොරොන්දු දුන්න, මගේ අලුත් කතාවටත් කොටසක් ලියන්නම් කියපු එයා යන්න ගිහින් ඉතින්.

හිතාදර රවි අයියාට සුබ ගමන්! 🙏

සුවපත් භව ගමනක් ලැබේවා! 🙏

නොපමාව නිවන් සුවයෙන් සැනසේවා! 🙏

~ සිත්තමී

+++++++++++

ඒ සටහනෙන් පස්සේ කියන්න තව බොහෝ දේවල් මේ ගෙවුණ දවස් කීපය ඇතුළත මගේ මතකයට ආවා. දුර ගමනක් ගිය මගේ තාත්තා ආයෙමත් පුරුදු සද්දෙන් ගේට්ටුවේ අගුල ඇරගෙන එයිද කියලා අවුරුදු තුනක් තිස්සේ මටත් හොරෙන් මග බලාගෙන ඉන්න මගේ හිත, රවි අයියාත් ඇවිත් මේ සහෘදයන් ලියපු සටහන්වලට පුරුදු හිනාවෙන් උත්තරයක් ලියයි කියලා බලාගෙන ඉන්නවා.

පරිවර්තනයක් කරද්දි අමාරුවේ වැටෙන හුඟක් වෙලාවට මං උදව් ඉල්ලන්නේ රවි අයියාගෙන්. එයා තරම් සිංහලයයි, ඉංග්‍රීසියයි එක වගේ ලේඛනයේදී ලස්සනට හසුරුවන්න දන්න බොහොම අල්පයයි මට මුණගැහිලා තියෙන්නේ. මේ දවස්වල කරගෙන යන පරිවර්තනයේදිත් මට ගිය සතියේ අමාරු තැනක් හම්බවුණා. මුලින් ම ඔළුවට ආවේ 'රවි අයියාගෙන් අහලා බලන්න ඕනේ' කියලා. ඉන් පස්සේ තමයි ඉතිරි ටික මතක් වුණේ.

හිතුණ ගමන් එහෙම උදව් ගන්න කෙනෙක් මට නෑ දැන්. 

උඹ - බං කියලා ගමේ වහරෙන් මට කමෙන්ට් කරන්න කෙනෙක් නෑ දැන්. 

'දේශපාලනේ පැත්තක තියලා පරණ කතා ලියලා ඉවරයක් කරාපං අයියෙ' කියලා රණ්ඩු අල්ලන්න කෙනෙක් නෑ දැන්.

මගේ අලුත් පොතක් පළ වුණ ගමන් නුවර සරසවියේ පොත හොයන්න ගිය රස කතා මට කියලා එවන්න කෙනෙක් නෑ දැන්.

අනිත් හැමෝම සැදී පැහැදී බරපතල කමෙන්ට් පළ කරන පෝස්ට් එකක් අස්සේ ඇවිදින් මොකක් හරි විකාරයක් කියලා හිනා වෙලා අපිවත් හිනස්සන්න කෙනෙක් නෑ දැන්.

සිංහල බ්ලොග් අවකාශයේ පායා තිබුණ 'ඉර' අහසේ පේන්න නෑ දැන්.

කවදාවත් ඇහැට නොදැක, අකුරු මතින් ම විතරක් බැඳුන සහෘද හිත්වලත් මිහිරි-මතක විතරක් ම ඉතුරු කළේ කොහොමද ඇත්තට ම? මේ ලියනා අතරෙදි පවා, උගුරේ බරට දැනෙන ඉකිය අතරින්, ඇහේ බොඳ වෙන තරමට නැගෙන කඳුළු අතරින්, අපේ මූණේ පුංචි හිනාවක් අඳින්න පුළුවන් වුණේ කොහොමද ඇත්තට?

එහෙම කරන්න පුළුවන් වැඩි දෙනෙක් නෑ මං හිතන්නේ මේ ලෝකේ.

අහසේ පායපු 'ඉර'ක් වගේ බැබළෙන ආත්මයකට විතරයි එහෙම කරන්න පුළුවන්.

රවි අයියා එහෙම කෙනෙක්.

සුබ ගමන් රවි අයියේ... 🙏

සතුටෙන් සුවෙන් පරිස්සමෙන් සංසාර මගේ පිය නගන්න... 🙏

මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න... 🙏

398. පහන් කණුව (කෙටි කතාව)


 

(පින්තූරයට ලියූ කතාවකි)


පහන් කණුව අසළ පාලම අප දෙදෙනා පළමුවෙන් මුණගැසුණු ස්ථානය විය. එම ශීතල රාත්‍රියේ ද මම මෙලෙසින් ම පාලම් වැටට බර ව පහළින් ගලා බස්නා සැඩ දිය පහර දෙස නෙතු යොමා සිටියෙමි. මා කල්පනා කරමින් සිටියේ කුමක් පිළිබඳව දැයි මා හට මතකයක් නැත. එය එතරම් වැඩකට ඇති යමක් විය නොහැක. කාලාන්තරයක පටන් මා හට කල්පනා කරන්නට වැඩකට ඇති යමක් තිබුණේ නැත. කිසිවෙකුත් නොමැති පාළු මාවතේ මාගේ තනි නොතනියට සිටියේ පහන් කණුව පමණි. ඒ මතක ඇති කලෙක පටන් මාගේ සමීපතම හිතමිත්‍රයා විය. මාගේ මැසිවිලි, නෝක්කාඩු සියල්ල අසා සිටින්නට පහන් කණුවට ඕනෑතරම් වෙලාව තිබිණි. ආලෝක දැල්ල අඩු වැඩි කරමින්, ගස්වමින්, බබළවමින් හෙතෙම මාගේ කතාවලට ප්‍රතිචාර දැක්වීය. ඇතැම් දිනෙක මම කිසිවක්ම නොපැවසූවෙමි. එසේ වුවද පහන් කණුව මා තනි නොකොට මා අසළින්ම සිටියේය. එදින ද මා නිහඬතාවය රැකි දිනයක් විය. එක්වරම කොහේදෝ සිට දිව ආ යුවතියක් පාලම් වැටට නැග පහළට පනින්නට සූදානම් විය. නොපමාව මාගේ බරැති කල්පනා පොදිය ගඟට අත් හැරි මම විගසින් පැන ඇයව අල්වාගතිමි. ඇය සිටියේ ඉකිගසා වැළපෙමිනි. ඇය මා හා පොරබැදුවාය, දබර කළාය, මාගේ අත සපා කන්නට ද උත්සාහ කළාය. නමුදු මා ඈ අතහැරියේ නැත. ඇයද සමගින් මා ද පාලමෙන් පහළට ඇද වැටේදෝයි වරෙක මට සිතිණි. නමුදු කෙසේ හෝ ඈ පාලම වෙතින් මෑත් කොටගෙන පහන් කණුව පාමුලට වෑයමින් කැටුව එන්නට මම සමත් වුණෙමි. ඇගේ වැළපීමේ නිමක් නැත. මම කිසිවක් නොවිමසා ඈ තුරුළු කරගතිමි. මාගේ උරහිසේ හිස හොවා ඇති තරම් වැළපෙන්නට ඉඩ ලබා දෙමින් මම ඈ සන්සුන් වන තුරු ඇගේ හිස අතගෑවෙමි. බොහෝ වේලාවකින් ඉක්බිති ඇගේ මහා වැළපීම ඉකිගසනා හීල්ලීමක් තරමට සමනය වූ පසු මම දෑතින් අල්ලා ඇගේ හිස ඔසවාගතිමි. "ඔයාට අඬන්න වුණ කිසිම හේතුවක් ඔයාගේ ජීවිතේ තරම් වටින්නේ නෑ... ඒ නිසා ඒ කිසිම හේතුවකට ඔයාගේ ජීවිතයට වඩා වැදගත්කමක් දෙන්න එපා..." මම ඇයට පැවසූවෙමි. ඇය හූල්ලමින් මදෙස බලා සිටියාය. "ඔයාගේ කතාව අහගෙන ඉන්න කෙනෙක් ඕනෙ නම් මට කියන්න, මං අහගෙන ඉන්නම්..." ඇය පිළිතුරක් නොදී දෑස් බිමට යොමු කරගත්තාය. "ඔයාට විසඳුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියනවා නම් සමහරවිට ඔයා මට කියන ඒ කතාවෙන්ම ඔයාට උත්තරයක් හොයාගන්න පුලුවන් වෙයි..." මම නැවත පැවසුවෙමි.


අවසන ඇය හිස සැලුවාය. එලෙසින් එදින එම පහන් කණුව පාමුල හිඳගෙන මම ඇගේ කතාව අසා සිටියෙමි. කොතැනකින් පැමිණියාදැයි නොදන්නා යුවතියක තමා ජීවිතයේ එතෙක් කිසිදා දැක නොතිබූ ආගන්තුකයෙකු හට සිය සිය ජීවිතය විවර කරනා අන්දම පහන් කණුව ද අසා සිටියේය. අවසන, ඇගේ අනුවේදනීය කතාන්දරය නිම වූ මොහොතේ කුමක් පවසන්නටදැයි සිතාගත නොහැකිව මා එහි අග මුල ගැටගසාගන්නට උත්සාහ කරන අතරේ, දිගු සුසුමක් පිට කළ ඇය නැගිට සිටියාය. සිය ජීවිතය බේරා, එතෙක් කිසිවෙකුටත් කියාගන්නට නොහැකිව තිබූ ඇගේ කතාන්දරය අසා හිඳීම වෙනුවෙන් මා හට ස්තුති කළ ඇය මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් හැරී නොපෙනී ගියාය.


එදින, එම මොහොතේ සිට, මා එතෙක් ගෙවූ ජීවිතය වෙනස් විය.


පාළම මත හිඳ එතෙක් කල් සිදු කළ තක්කඩිකම් කොළොප්පම් නතර කොට මම පිහිට ඇවැසි වූවන්ට පිහිට වන අන්දම ප්‍රගුණ කරන්නට පටන්ගතිමි.


අද, දැනට මොහොතකට පෙර ද, මෙම පහන් කණුව පාමුළ දී ම මම ඇයව දුටුවෙමි. දොළොස් වසරක් ගෙවී ගොස්, එදා භද්‍ර යෞවනයේ සිටි ඇය මුහුකුරා ගිය තැනැත්තියකව සිටියද මා හට ඈ හඳුනාගන්නට අපහසු වූයේ නැත. නමුදු ඈ මා හඳුනාගත් බවක් පෙනෙන්නට නොවීය. අවම වශයෙන් ඈ මා දුටුවාදැයි යන්න පවා මම නොදනිමි. එදින මෙන් නොව අද ඈ සිටියේ සිනහ පාමිනි. පහන් කණුව පාමුළදී ඈ හා පෙම්වත් හාදුවක් බෙදාගත්තේ ඈ හා අලුත විවාපත් ඇගේ සැමියා බව ඔවුන්ගේ කතාබහෙන් මම වටහා ගත්තෙමි. දොළොස් වසරකට පෙර ගම්මානයෙන් පිටව ගිය ඇය, සීඝ්‍ර දියුණුවකින් නවීකරණය වූ දේශයක පෞරාණික බව සුරැකී තිබුණු මෙම කුඩා ගම්මානයට නැවත පැමිණ සිටින්නේ ඔහු හා මධු සමය ගෙවන්නටය. මා ඔවුන් දෙස බලා සිටියේ සිනහවක් රැඳි මුහුණිනි. ඈ සතුටිනි. බොහෝ සතුටිනි. මා හට එය ප්‍රමාණවත් ය. මඳ වේලාවකින් අතිනත් පටලාගත් ඔවුහු දෙදෙනා මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් හැරී නොපෙනී ගියහ.


ඔවුන් දෙදෙනා දෙසම නෙතු යොමා සිටි මම මඳ සිනහව රැඳි මුහුණින්ම පහන් කණුවේ ආලෝකය දෙස බැලුවෙමි. එය ද මාගේ සිතුවිලි අනුමත කරමින් දීප්තිමත්ව බැබලුනි. "මං ගියාම පාළු දැනෙන එකක් නැද්ද?" මම පහන් කණුවෙන් විමසුවෙමි. එය නැතැයි කියන්නට සිය ආලෝක දැල්ල ගස්වා සිනහවක් පෑවේය. පාලම පහළ පැරණි තොටුපොළ අසල වූ දියසෙවෙලින් වැසී ගොස් තිබූ පැරණි ගල් පුවරුව දෙස මම මඳකට නෙත් හෙලුයෙමි. රදළ පාලකයන්ට එරෙහිව නැගී සිටි සොර දෙටුවෙකු, දිළිඳු ගම්වැසියන්ගේ විරුවෙකු එහි සැතැපී හිඳිනා බව එහි සටහන්ව තිබිණි. මම මඳ සිනහවෙන්ම යළි පහන් කණුව වෙත හැරුණෙමි. "අවුරුදු හාරසීයක්ම මගේ තනියට හිටියාට බොහොම ස්තුතියි, එක එක හැඩේට වෙනස් වෙවී හරි..." මම පහන් කණුව වැළඳගතිමි. "ආයෙ එන්නම් බලලා යන්න, අලුත් අම්මාත් එක්කම..."


ගං දියත්, ඉන් ඔබ්බෙන් වූ මහ සමුදුරත් පිස හමා ආ සුළං රැල්ලේ නුහුරු උණුසුමක් කැටිව තිබිණි. ඒ මා කැඳවනා ඇමතුම බව මම හැඳිනගතිමි. අවසන් වරට පහන් කණුව සිප සමුදුන් මම මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් නොහැරී ම නොපෙනී ගියෙමි.


397. සුළඟ නුඹ කවුරුදැයි දනිමි මම...

 


විඩාබර පිය නගා යන කල

අව් රැසින් ගිනියම් වු මාවතෙක

විගසින් එ සැඩ හිරු රැස්

වසාලන වලාකුළ

කැටුව ආ සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


අඳුරු පැහැ වියළි පත්

මාවතම වසා ගත්

එළි කරනු වස් වෙහෙසෙනා කල 

විසිරි පත් ළඟට කොට

සහය දුන් සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


ජීවිතෙන් පීඩිතව

ඉසිඹු ලන විරාමෙක 

සිහින් සරයෙන් පැමිණ

වා මිණි කිකිණි සොළවා

ගී ගයන සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


396. සසර සැරිසරන තෙක් - 4 (අවසාන) කොටස...

 


"අනේ අසංක මේ දොර අරින්නකෝ!!!" අසංක උඩ විසි වී අවදි විය. නළල තදබල ලෙස වේදනා දෙමින් තිබිණ. සැබැවින් සිදු වූයේ කුමක්ද, සිහිනයෙන් දුටුවේ කුමක්දැයි වෙන් කර හඳුනාගත නොහැකිව ඔහු වැනෙමින් ගොස් ඉදිරිපස දොර විවර කළේය. සුමුදුත්, ගම් ප්‍රධානියාත් එහි සිටගෙන සිටියහ. ඔහුගේ නළලේ වෙලුම්පටි දැක තැතිගත් සුමුදු දෑතේ වූ ගමන් මළු බිම අතහැර දමා ඔහුගේ දෑතින් අල්ලාගත්තාය. "අනේ මොකද මේ කරගෙන තියෙන්නේ?"


"මං එමින් ගමන් නෝනෙට කියැව්වේ පහුනු දොහේ අපේ ඉස්කෝලේ මහත්තයා අල්ලාපු අඩව්ව ගැන..." අසංකට පෙර ගම් ප්‍රධානියා පිළිතුරු සැපයුවේය. "බයවෙන්ඩ කාරි නෑ, ගුරුන්නාන්සේ බෙහෙත් කොළා... ඒ අමාරුවට වෙන්ටැ ඔය හැටි නින්ද යන්ඩත් ඇත්තෙ..."


අසංක ඈ දෙස බලා සිටියේ විශ්වාස කළ නොහැකි තරමේ විශ්මයකිනි. "ඔයා කොහෙද මේ පාන්දර ගියෙ?" ඔහු වදන් ගලපාගෙන ඇසුවේය.


"කොහෙවත් ගියෙ නෑ, ඔයාව බලන්නනේ ආවේ? ඇයි මං ඊයෙ කෝල් කරද්දි කිව්වෙ අද එනවා කියලා?" ඊයෙ? අසංකට එය සිතාගත නොහැකි විය. ඔහු ඊයේ දවසම ගෙවූයේ ඈ සමගම නොවේද? "අනික මේ පාන්දර නෙවෙයි... දැන් දවල් එකොළහත් පහු වෙලා..."


කිසිවක් සිතාගත නොහැකිව ඔහු හිස කැසුවේය. "මට එලාම් එකවත් ඇහුණෙ නෑ... එන්නකො - එන්නකො ගෙට..." ඔහු දොරකඩින් ඉවත් වී ඉඩ ලබා දුන්නේය. "එන්න ආරච්චි මහත්තයෝ..." ඔහු ගම් ප්‍රධානියාටද ආරාධනා කළේය.


"මංනං දැං යන්ඩ ඕනෙ ඉස්කෝලෙ මහත්තයෝ, සුනංගු වෙන්ඩ බෑ... හරි වැඩේ නොවැ වෙලා තියෙන්නේ... අද පාන්දර එළිවෙන ජාමෙ අර වළව්ව ගිනි අරගෙන!"


අසංකගේ දෑස් විසල් විය. ඔහුට සිය දෙසවන් අදහාගත නොහැකි විය. "මොනවා???"


"ඒක නොවැ... මං පොලිසියෙ රාළහාමිලාට දෙගමනක් පණිවිඩ යැව්වා. ඒ එනකල් මහතුංගෙ කඩේ ළඟ බලා ඉන්දැද්දි තමා මේ නෝනෙ ඉස්කෝලෙ මහත්තයා ගැන ආරංචි කොරගෙන ආවේ... වෙන එවන්ට එකෙකුත් නෑ, සේරෝම පන්සල ළඟ රොක් වෙලා..... ඉතිං මංම එක්කගෙන ආවා පරිස්සමට...."


"ගිනි අරගෙන??? වළව්ව???" අසංක තොල් මැතිරුවේය. ඔහුගේ සිත තුළ පෙර දා රැයේ සිදුවීම් එකිනෙක මැවී පෙනෙන්නට විය. පෙර දා රැය? නැතහොත් එය සිහිනයක් පමණද? "ඒ කොහොමද ගිනි අරං තියෙන්නේ?"


"කවුරු දන්නවද? කාටවත් හිතාගන්ඩ බැහැ. අපරාදෙ, වළව්වෙන් බාගයක්ම ඉවරයි..."


"කාටවත් අනතුරක් එහෙම නෑ නේද?" ඔහුට ඔවුන්ගේ හිතවත් මිත්තණියගේ සිරියාවෙන් පිරුණු සිනහව සිහිපත් විය.


ගම් ප්‍රධානියා සිනහවක් පෑවේය. "අනතුරක් වෙන්ඩ එහෙ කවුරුවත් උන්නෙ නැහැ නොවැ මහත්තයෝ... පොලිස් මහත්තුරු එන්ඩ ප්‍රමාද හන්දා මායි ලොකු හාමුදුරුවොයි කෝකටත් ගොඩ වෙලා බැලුවා... ඔහෙ නෑ කවුරුවත් හිටි බවට හෝඩුවාවක්... හැබැයි ඕං දැං මෙතුවක් කාලෙකට ඒ දිහා හැරිලාවත් නොබලාපු ගමේ එවුන්, මායි ලොකු හාමුදුරුවොයි ගොහිං ආවාට පස්සෙ වළව්වෙ වත්තට පැනගෙන අඹ රඹුටං කනවා... තවත් සුනංගු වෙන්ඩ බැහැ ඉතිං... මං ගොහිං එන්නංකො... එන්නං නෝනෙ..." ගම් ප්‍රධානියා පිටව ගියේය.


සුමුදු යළි අසංක වෙත හැරුනාය. "ඔයාට මොකද වුණේ අසංක? මේ මූණත් එක්ක සුදුමැලි වෙලා... ඔයා හොඳින්ද...?"


කිසිවක් නොපවසා ඇගේ මුහුණ දෙස බලා සිටි අසංක ඒ අසළ වූ පුටුවකට බර දුන්නේය. "හීනයක් දැක්කානේ..." ඔහුගේ සිත කුමක්දෝ පැහැදිලි කළ නොහැකි කම්පනයකට ලක්ව තිබුණි. ඒ සිහිනයක්ම පමණක්මදැයි ඔහුට සිතාගන්නට නොහැකි විය. එබැවින් ඒ කිසිවක් සුමුදුට හෙළි නොකරන්නට ඔහු තීරණය කළේය. "දැන් මතකත් නෑ මොනවා පෙනුනාද කියලා..." ඔහු කීවේය.


*****


සුමුදුගේ නමට අමුතු ආකාරයේ පාර්සලයක් තැපෑලෙන් ලැබුණේ අසංක දෙසැම්බර් නිවාඩුවට කොළඹ ගොස් සිටියදීය. ගෙවුණු කාලය මුළුල්ලේ පෑලියද්ද ගම්මානයේ සියල්ල යථා තත්ත්වයට පත්ව තිබූ අතර, ගම්මානයේ දරුවන් බොහොමයක් අසංකගේ මෙහෙයවීමෙන් යළි පාසල් ගමන අරඹා තිබුණි. ඒ පිළිබඳ තෘප්තිමත් සිතින් කොළඹට තදාසන්න ප්‍රදේශයකට ඉල්ලා යැවූ මාරුව ද සාර්ථක වන ලකුණු පෙනෙන්නට තිබුණි. ඔහු පුවත්පතක් බලමින් උද්‍යානයේ හිඳ සිටි බංකුව මතින්ම වාඩි වූ සුමුදු කුහුලින් පිරුණු සිතින් යුතුව එය විවර කළාය. එතුළ සුරක්ෂිතව ඇසිරූ ලිපිගොනුවක් විය. "පත්තරේට ලියවගන්න ඕන වෙච්ච මොනවාහරි වෙන්නැති..." යැයි තමාටම පවසාගනිමින් ඇය එය පෙරළා බැලුවාය. එතුළ වූයේ ඉඩම් ඔප්පුවකි. ඔප්පුවට අදාළ සියලු දේපල සුමුදුගේ නමට පැවරූ බවට වරලත් නීතීඥවරයෙකුගේද අත්සන සහ නිල මුද්‍රාව සහිතව සහතික කෙරුණු නීත්‍යානුකූල ලියැවිල්ලකි. "මේ මොකද්ද මේ...???" ඇය කිසිවක් සිතාගත නොහැකිව එහි පිටු පෙරළන අතරේ ඒ අතරින් ගිලිහී වැටුණු කඩදාසියක් අසංක ඇහිඳගත්තේය. එහි වූයේ සිතුවමකි. සටහන් පොතක කොළයක් මත කාබන් පෑනකින් ඇඳි බෝ මළුවක හිඳ පහන් දල්වන පෙම්වතුන් යුවළකගේ සුන්දර සිතුවමකි. එය දුටු විගස පළමුව අසංකගේ මුවේ කෙළ සිඳී ගියේය. ඒ කුමක්දැයි ඔහු නිසැකවම හඳුනාගත්තේය. අනතුරුව ඔහුගේ හදවත පැහැදිලි කළ නොහැකි අන්දමේ සැනසිලිදායක බවකින් පිරෙන්නට විය. එම සන්ධ්‍යාව සිහිනයක් නොව සැබෑවක් ම බව තහවුරු කරගන්නට ඔහුට වෙනත් සාධක ඇවැසි නොවීය. එය සිහිනයෙනුත් සැබෑවෙනුත් වෙන් වූයේ කොතැනදීදැයි ඔහුට නිශ්චිතවම සිතාගත නොහැකි වූවද, ඒ ගැන තවදුරටත් වෙහෙසීම අත් හැර දමන්නට ඔහු ඒ මොහොතේදී තීරණය කළේය. ඇතැම් දේ ගැන හාරාවුස්සමින් සොයා බලනවාට වඩා ඒවා එලෙසින්ම තිබෙන්නට හැරීම වඩා සුදුසු බවට තමා ම පෙර දිනෙක සුමුදුට පැවසූ වදන්වල සත්‍යතාවය ඔහු ඒ මොහොතේදී පසක් කරගත්තේය.


"මේ අපි දෙන්නාද...?" ලිපිගොණුව පසෙක ලා අසංක අත වූ සිතුවම දෙස එබී බැලූ සුමුදු විමසා සිටියාය.


"ඔව්..." ඔහු ඒ මොහොතේ ඔහු අසළ සිටිනා සුමුදුටද, එම සන්ධ්‍යාවේ උණ පඳුරේ සර-සරය මධ්‍යයේ ඔහු දෙස දෑස් විසල් කරගෙන බලා සිටි සුමුදුටද පිළිතුරු දෙමින් ඈ වැළඳගෙන හිස සිපගත්තේය. "ඒ අපි දෙන්නා තමයි..."


- සමාප්තයි -


395. සසර සැරිසරන තෙක් - 3 කොටස...

 


සිතූ ලෙසින්ම වළව්ව තුළ පැවතුණේ අන්ධකාරයකි. අසංක සාක්කුවේ වූ විදුලි පන්දම පිටතට ගෙන දල්වාගත් අතර, සුමුදු සිය දුරකථනයේ විදුලි පහන ක්‍රියාත්මක කරගත්තාය. විසිත්ත කාමරයේ පසෙකින් අත්තටු ගසන හඬක් ඇසුණි. සුමුදුගේ පහන් එළිය වහා ඒ වෙත යොමු විය. එහි ජනෙල් පඩි මතත්, ගෘහ භාණ්ඩ මතත් අතොරක් නැතිව පිරී සිටියේ පරෙවියන් සහ කොබෙයියන්ය. සුමුදුගේ මුවෙහි ඇඳුනේ සුන්දර සිනහවකි. "අනේ... මේ බලන්නකෝ අසංක..."


නමුත් ඔහුගේ අවධානය යොමුව තිබුණේ වෙනතකය. බිත්තියේ එල්ලා තිබූ පැරණි ඡායාරූප පෙළ වෙත විදුලි පන්දම් එළිය යොමු කරගෙන ඔහු ඒ එකිනෙකක් දෙස බොහෝ උනන්දුවෙන් බලා හිඳින්නට විය. එක්වරම නෙත් කොණට හසු වූ ආලෝකයක් හේතුවෙන් ඔහු හිස හරවා බැලුවේය. විසිත්ත කාමරය මධ්‍යයේ වූ තරප්පු පෙළ ඉහළ ළන්තෑරුමක් අතින් ගෙන හිටගෙන සිටියේ... අසංක සිහිනයෙන් දුටු අවතාරයයි.


ඔහු බිරාන්තව ඈ දෙස ගල්ගැසී බලා සිටින අතරේ, ඔවුන් වෙතට ආලෝකය යොමු වන සේ පහතින් අල්ලාගෙන සිටි ළන්තෑරුම සිය හිසට ඉහළින් ඉදිරියට කර අල්ලාගත් අවතාරය සිනහවක් පෑවාය. එතෙක් පහළින් එල්ල වී තිබූ ආලෝකයෙන් බියකරු සෙවණැලි මතුව තිබූ ඇගේ මුහුණෙහි වූ සිරියාවන්ත සුන්දරත්වය අසංක ඒ මොහොතේදී දුටුවේය. "මං බලාගෙන හිටියේ ඔය ළමයා කොයි වෙලාවේ හරි මාව බලන්න එනකල්..." ඇය බොහෝ සෙයින් වියපත් වූ මහළු කටහඬකින් කතා කළාය. එම හඬින් පුදුමයෙන් හැරී බැලූ සුමුදු අසංකගේ සුරතේ වෙලුනාය. "කවුද ඒ?" ඇය රහසින් මිමිණුවාය. සැබැවින්ම මහළු කාන්තාවක්ද නැතහොත් අවතාරයක්දැයි සිතාගත නොහැකි වූ තැනැත්තිය තරප්පු පෙළ බැසගෙන ඔවුන් වෙත පැමිණියාය. "මම තමයි වළව්වේ පුංචි කුමාරිහාමි..." ඇය තෙපළාය.


ඔවුන් දෙදෙනා විසිත්ත කාමරයේ හිඳුවාගෙන පළතුරුවලින් සංග්‍රහ කළ ඇය දිගු කතන්දරයකට මුළ පිරුවාය. ගජනායක පරම්පරාව බොහෝ ධනවත් වළව් පෙළපතකි. ගම්වාසීන් සමග එතරම් සමීප සම්බන්ධතාවයක් නොපැවැත්වූ වළව්වේ අවසන් ගෘහ මූලිකයාව හිඳ ඇත්තේ හෙක්ටර් ගජනායක ය. ඒ පුංචි කුමාරිහාමිගේ පියාණන්ය. ඇගේ වැඩිමහල් සහෝදරිය මුතු කුමාරිහාමි ය. ඇය ගම්මානයේ සිත්තරෙකු හා පෙම් සබඳතාවයක පැටලී ඇති බව දැන ගැනීමට ලැබීමෙන් පසු වළව්වේ අඳුරු යුගය උදා වී ඇත. වළව්වට කිසිසේත් නොගැලපෙන එම සම්බන්ධය නතර කරන ලෙසින් මව්පියන් සිදුකළ ඉල්ලීම්, ආයාචනා, තර්ජන ගර්ජන කිසිවකට එකඟ නොවූ ඇය ඒ සියල්ල දරාගත නොහැකිව අසනීප වී ඇත. අවසන කෙසේ හෝ මෙහෙකාරියකගේ සහයෙන් එකිනෙකා මුණගැසෙන්නට සමත් වූ මුතු කුමාරිහාමි සහ සිත්තරා ගම්මානයෙන් පැන යන්නට තීරණය කරගත්හ. එතෙක් කඳුළු සලමින් ගෙවූ කාලය නිමා කරගැනීමේ බලාපොරොත්තුවෙන්, කතිකා කරගත් දිනයේදී ඇය ඔහු එනතුරු වළව්ව පිටුපස ගල්තලාව පාමුළ උණ පඳුර අසළ පුරා රැයක් සැඟවී බලා සිටියාය. නමුත් පසුදින ආරංචි වී තිබුණේ ඔහු ඔහුගේ පවුලේ උදවිය කැටුව කිසිවෙකුටත් නොදන්වා ගම්මානයෙන් පිටව ගොස් ඇති බවය. හද පෙලූ වේදනාව ඉවසාගත නොහැකිව මුතු කුමාරිහාමි දිනපතා රෑ ගොම්මනේ උණ පඳුර අසළට වී සිය ප්‍රේමවන්තයා එනතුරු බලා සිටින්නට වූවාය. එක් දිනෙක එතැන සිහිසුන්ව ඇද වැටී සිටි ඇය යළි අවදි නොවීම මරු තුරුළට ගියාය. එය දරා ගත නොහැකි වූ ඔවුන්ගේ මවද හෘදයාබාදයකට ලක්ව එක්තැන් වූවාය. "ඒ හැමදේම වුණේ මං හින්දා... මං හින්දා... මං හින්දා....." මහළු කාන්තාව කතාව නවත්වා දෑතින්ම හිස බදාගෙන වැළපෙන්නට විය.


සුමුදු වහා ඈ හා අසංක හිඳ සිටි සෝපාවෙන් නැගිට මහළු කාන්තාව හිඳ සිටි උස් ඇඳි පුටුව වෙත ගොස් ඇගේ අතින් අල්ලාගත්තාය. ඈ කී සියල්ල අසංක මෙතෙක් කල් ගම්මුන්ගෙන් අසා තිබූ කටකතාවලට තරමක් සමාන වුවද, එම ඛේදවාචකය මෙතරම් සවිස්තරව ඔහු ඇසුවේ පළමු වතාවටය. ඔහුද අසුනේ ඉදිරියට නැඹුරු විය. "ආච්චි අම්මා ඇයි එහෙම කියන්නේ?"


"මං අක්කාගෙයි මගෙයි කාමරේ අස් කර කර හිටියෙ එදා. මගෙ අතට තමයි අහුවුණේ අක්කාට ඒ සිත්තරා ඇඳලා දීලා තිබුණ සිත්තර. මං හිටියේ ඔය පළහිලව් තේරෙන වයසක නෙවෙයි. අක්කා ඒ වෙලාවේ අහළ පහළක නොහිටිය හින්දා මං අම්මාට තමයි ඒ ලස්සන සිත්තර ගිහිං පෙන්නුවේ. මං දැනං හිටියෙ නෑ අක්කා ඒවා හංගලා තිබුණ වගක්. මගේ ඒ මෝඩ වැඩෙන් පස්සෙ තමයි ඒ ඔක්කොම සිද්ද වුණේ. මගේ අක්කාට එහෙම වුණේ. ඉං පස්සේ අම්මත් වැඩි කලක් ජීවත් වුණේ නෑ. මං පිස්සියෙක් වුණා. මට සැරෙන් සැරේ අක්කාව පේන්න ගත්තා. ගමේ මිනිස්සුත් සිහි විකල්ලෙන් ඇවිදින මාව දැකලා මැරිච්ච අක්කය කියලා බය වෙලා තිබුණා. අප්පච්චි තනියම මොනවා කරන්නද. අප්පච්චි මාව අංගොඩ යැව්වා. අවුරුදු ගාණක් එහෙ ඉඳලා මට සනීප වුණා මං හිතන්නේ. ඊට පස්සෙ අප්පච්චි මාව බන්දලා දුන්නා. ඒ මිනිහා ආදරේ කළේ මට නෙවෙයි මගේ දේපළට. අප්පච්චි නැතිවුණාට පස්සේ මට ආයෙ පිස්සුය කියලා බොරු කතා ගොතලා ඒ මිනිහා මාව ආයෙ පිස්සං කොටුවට යවලා ඒ මිනිහා මෙහෙ ඇවිත් මේ දේපළ කාබාසිනියා කරන්න පටන්ගත්තා. මං එහෙන් පැනලා ඇවිල්ලා ඒ මිනිහව බය කරලා එළවලා දැම්මා. එදා ඉඳන් මං මේකේ තනියම ජීවත් වෙනවා..." ඇය දිගු සුසුමක් හෙලුවාය.


"ඒත් ආච්චි අම්මා ගමේ මිනිස්සුන්ගෙන් තවමත් ඈත් වෙලා ඉන්නේ අපරාදෙනේ." සුමුදු පැවසුවාය.


"ගමේ මිනිස්සු මේ වළව්වට කැමති නෑ පුතේ. ඉස්සර හිටංම ඒ කාරණාව එහෙමයි. ඇරත් අර මගෙ මනුස්සයාව මෙහෙන් එළවගත්ත කාලේ මං ගමේ මිනිස්සුන්වත් බය කළා. මේක හොල්මන් පිරිච්ච තැනක් විදිහට ඇඟෙව්වා ආයෙ මේ පැත්ත පළාතේ නො එන්න. මේ ගමේ මිනිස්සු මාව දකින්නවත් කැමති වෙන එකක් නෑ... උන් මට වෛර කරනවා ඇති... මගෙ අක්කා වාගෙම..... මමයි එයාව මරාගත්තේ.... මමයි මගේ අක්කවයි, අම්මවයි දෙන්නවම මරාගත්තේ...... මට කවදාවත් සමාවක් ලැබෙන්නෙ නෑ......" ඇය යළිත් හිසේ අත් ගසාගනිමින් වැළපෙන්නට වූවාය.


"ආච්චි අම්මා එහෙම හිතන්න එපා... සිත්තරානේ බොරු පොරොන්දු දීලා අක්කාව දාලා ගිහින් තිබුණේ....." සුමුදු ඈ අස්වසන්නට උත්සාහ කළාය.


ඇය හිස දෙපසට සැලුවාය. "නෑ... ඒ මනුස්සයා අම්මයි නංගියි එක්ක ගමෙං යන්ඩ ගිහිං තිබුණේ අප්පච්චි ඒ මිනිස්සුන්ට මරණ තර්ජන කරලා... අක්කා එක්ක තියෙන සම්බන්ධෙ නැවැත්තුවෙ නැත්තං ගෙදර මිනිස්සුන්ව මරණවා කියලා..... ඉතිං ඒ මනුස්සයා බය නොවී තියෙයිද? අක්කා සිහි නැතුවම අපිව දාලා යන්න ළං වෙද්දි තමයි අප්පච්චි ඔය විස්තරේ කිව්වේ අක්කාට. ඒ අයව ආපහු ගෙන්නලා දෙන්නං අක්කාට නැගිටින්ඩ කියලයි කිව්වේ... ඒත් අක්කාට ඇහුණෙ නෑ... එයා ගියා..... මාව දාලා ගියා... අපි හැමෝවම දාලා ගියා....." ඉතාමත් හොඳ කල්පනාවෙන් කතාබස් කරමින් සිටිනා ඇය වරින්වර හිසේ අත් ගසාගනිමින් උමතු විලසකින් වැළපෙන්නට පටන්ගන්නේ තවමත් සිත පෙළනා පසුතැවිලි සහගත සිතුවිලි නිසා බව අසංකට සේම සුමුදුටද වැටහුණි. "මං අක්කාගෙ රහස් එළි කළාට පස්සේ එයා දවස් ගාණක් මාත් එක්ක කතා කළේ නෑ... මා එක්ක තරහා වෙලා හිටියා... එයා තාමත් මාත් එක්ක තරහා ඇති..... මට වෛර කරනවා ඇති..... මං මහා පව්කාරියක්! මං මහා පවුකාරියක්! මමයි හරිනං මැරෙන්න ඕනේ..... අක්කා නෙවෙයි..... මමයි - මමයි - මමයි මැරෙන්න ඕනේ...." ඇගේ නොසන්සුන් බව කෙමෙන් වැඩි විය. "ඒත් මට මැරෙන්න බෑ... මට බයයි... මට බයයි..... මේ පව ගැන හිත හිතා මැරුණොත් මට කවදාවත් සැනසීමක් ලැබෙන්නෙ නෑ..... මං කොච්චර අඬ අඬ සමාව ඉල්ලුවත් එයා මා එක්ක කතා කළේ නෑ... එයා මට සමාව නොදීම යන්න ගියා..... මට රෑට නින්ද යන්නෙ නෑ - හැමදාම එයාව පේනවා…..."


එතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි අසංක සුසුමක් හෙලුවේය. ඇගේ සිතට අවශ්‍ය සැනසුම මෙම කතාබහෙන් ඇයට නොලැබෙන බව ඔහුට වැටහුණි. "ආච්චි අම්මා ඇයි මං මෙහෙ එයි කියලා බලාපොරොත්තු වුණේ?" ඔහු කතාව වෙනස් කළේය.


එවර ඇගේ වැළපීම දුරු වී මුහුණ ආලෝකමත් විය. "කාලාන්තරේකින් කවුරුවත් පය නොගහපු ඒ ගෙපැලට කවුරුන්දෝ ඇවිදින් තියෙනවා මං දැක්කේ අහම්බෙන්. ඒ සිත්තරෙක් බව දැක්කාම මට ඉහිළුම් නැතිව ගියා. එතන තමයි මගෙ අක්කාගෙ සිත්තරාගෙ සිත්තරහළ තිබුණෙ. ගමේ ම තියෙන ලස්සනම තැන. එයා සිත්තර ඇන්දෙ, ගමේ ළමයින්ට සිත්තර ඉගැන්නුවෙ එතන ඉඳං. මේ වළව්ව වගේම පාළුවට ගිහිං තිබුණ එතනට මේ තරං කාලෙකට පස්සෙ සිත්තරෙක්ම ආපු එක ගැන මට පුදුමාකාර සන්තෝසයක් දැනුණා. මට නිකමට - නිකමට හිතුණා මගේ අක්කත් ආයෙ ඒවිදෝ කියලා... එතකොට මට එයාගෙන් සමාව අරගෙන නිදහසේ හුස්මක් හෙලන්ඩ පුළුවන් වේවි කියලා හිතුණා....."


"ඒකද මාව බය කරන්ඩ ආවේ?" අසංක එවර ඇසුවේ සිනාසෙමිනි.


"දෙයි හාමුදුරුවනේ, බය කරන්ඩ හිතුවෙ නෑ මං." මැහැල්ලද සිනාසුණාය. "එදා ඔය දරුවා ගල් පොත්ත ළඟ ලිස්සලා වැටෙද්දි මං උන්නෙ ඒ ඉහත්තාවෙ පිච්ච වැලේ මල් කඩ කඩ..."


"එතකොට එදා වැස්ස දවසෙ රෑ මගෙ ජනේලෙ ළඟ හිටගෙන හිටියේ?"


"එදා රෑ විතරක් නෙවෙයි, මං දවස් දෙක තුනක්ම ආවා පුතාව බලන්ඩ. අවුරුදු ගාණකින් නෙව මට අසල්වැසියෙක් ලැබුණේ. ඒ එද්දි ඔය දරුවා ජනෙල් තිරත් වහලා දාලා නිදි මයෙ හිතේ. එදා වැස්ස දවසේ තමා මං ගෙයි එළියක් දැක්කේ. ඒත් ඉතිං එක සැරේට ළාම්පුව නිවා දාලා පිරිත් ඇහෙන්ඩ ගනිද්දි මං දැනගත්තා මට බය වෙලා තමයි කියලා. ගමේ මිනිස්සුන්ගෙන් අහලා තියෙන කටකතා සේරෝම මතක් වෙන්ඩ ඇති නෙවද එවෙලෙ?" ඇය අසංකට සරදම් කරමින් සිනාසුණාය.


"ඔයාට මේ ගමේ බැල්ම හෙලාගෙන ඉන්නවා කියපු ගෑනු ළමයාද මේ එතකොට?" සුමුදුද සිනාසෙමින් මැහළියගේ රැළි වැටුණු සියුමැලි අත පිරිමැද්දාය.


"හ්ම්ම්... ඔය ඉන්නේ ඒ ගෑනු ළමයා තමයි..." අසංක අසුනින් නැගිටගත්තේය. ඔහු තීරණයකට එළැඹ සිටියේය. "අපිට තියෙනවා දැන් කරන්න වැඩක්… ඔයාගෙ ජර්නල් එකෙන් පිටුවක් කඩලා දෙන්නකෝ..." ඔහු සුමුදුගෙන් ඉල්ලා සිටියේය. ඈ යන යන තැන නොවැරදීම රැගෙන යන චාරිකා සටහන් පොතෙන් පිටුවක් හෝ ගැලවීම ඈ අකමැතිම දෑ අතුරින් එකක් බව ඔහු දැන සිටියද මේ මොහොතේදී ඇයද කිසිදු විරෝධයක් නොපා ඔහුගේ ඉල්ලීම ඉටු කර දුන්නාය. සටහන් පොතේ රඳවා තිබූ පෑනද ඇගෙන් ඉල්ලාගත් අසංක මහළු කාන්තාව අසළට අසුනක් ඇදගත්තේය. "අපි චිත්‍රයක් අඳින්නයි යන්නේ..." ඔහු වැඩ ඇරඹුවේය.


ඔහුගේ සුහුරු සුරතින් ගත් පෑන් තුඩින් සුන්දරව නිමැවෙන සිතුවම දෙස පළමුව කුතුහලයෙන්ද, අනතුරුව විශ්මයෙන්ද පිරී ගිය මුහුණින් බලා සිටි පුංචි කුමාරිහාමිගේ නෙත් කඳුලින් තෙත් විය. බිත්තියේ එල්ලා තිබූ ඡායාරූප අතුරින් මුතු කුමාරිහාමිගේ රූපයද, පුංචි කුමාරිහාමිගෙන් වරින්වර අසාගත් සිත්තරාගේ හැඩරුවද එක් කොට ඔහු අඳිමින් සිටි සිතුවමෙහි වූයේ සඳ එළියේ බෝ මළුවක හිඳ පහන් පත්තු කරනා පෙම්වතුන් යුවළකි. දෙදෙනාගේම මුහුණුවල වූයේ බලාපොරොත්තුවලින් දැල්වුණු ප්‍රේමණීය මන්දස්මිතියකි. එක් මොහොතකට හිස එසවූ අසංක, මැහැල්ලගේ අතකින් අල්ලාගෙන සිතුවම දෙසම බලා සිටිනා සුමුදු දෙස බැලුවේය. ඔහුගේ නෙත ගැටුණේ අදහාගත නොහැකි අහම්බයකි. සිතුවමේ ඔහු ඇඳි මුතු කුමාරිහාමිගේ රුව බොහෝ දුරට සුමුදුගේ පෙනුමට සමාන නොවේදැයි ඔහුට සිතුණි. ඒ මොහොතේ හිස ඔසවා ඔහු දෙස බැලූ සුමුදු සිනාසී හිස සලා මන්දැයි දෑසින් විමසුවාය. සුමුදුගේ දෑසද වෙනස්‍ ය, සිනහවද වෙනස් ය; ඔහුද හිස දෙපසට සලා මඳ සිනහවක් පා නැවත හිස නැඹුරු කරගත්තේ එය හුදෙක් සිතුවිල්ලක් පමණකැයි සිතා හිත නිදහස් කරගනිමිනි.


සිතුවම නිම විය. අසංක එය දෑතින්ම පුංචි කුමාරිහාමි වෙත පිළිගැන්වූවාය. ඇගේ රැළි ගැන්වුණු වෙවුළන දෑත් මහත් සෙනෙහසකින් යුතුව ඒ මත දිව ගියාය. "හැබැහින් ඉන්නවා වාගේ…" ඇය මිමිණුවාය. "ඒ දෙන්නා සතුටින්… ආදරෙන්….."


"ඔව්… ඒ දෙන්නාම ආච්චි අම්මාට සමාව දීලා… ඒ දෙන්නා සතුටින්… ආච්චි අම්මාත් සතුටින් ඉන්න ඉතින්……" දයාවෙන් පිරි සිය සැමියා පිළිබඳ හද ඉපිළෙන ආඩම්බරයෙන් යුතුව සුමුදු පැවසුවාය. පුංචි කුමාරිහාමි හිස හරවා ඈ දෙස බැලුවාය. මොහොතක් ඈ දෙසම බලා සිටි පුංචි කුමාරිහාමි මහත් සෙනෙහසින් යුතුව ඈ වැළඳගෙන හිස සිපගත්තාය. අසුනින් නැගී සිටි අසංක අත පය දිගහැර හිරි ඇරගන්නා අතරේ දිගු සැනසුම් සුසුමක් හෙලුවේය. තමා අතින් කලෙක පටන් ඉටු විය යුතුව තිබූ යමක් ඉටු කළා මෙන් වූ සැහැල්ලුවකින් ඔහු තෘප්තිමත්ව සිටියේය.


පුංචි කුමාරිහාමිට සතුටෙන්, සුවෙන් සිටින ලෙසත්, යළි හැකි විටෙක ඈ දකින්නට එන බවත් පවසා අසංකත්, සුමුදුත් ඇගෙන් සමුගෙන නවාතැනට එන්නට පිටත් වූහ. වළව්ව පිටුපසින් උණ පඳුර අසළින් වැටුණු කෙටි මග වඩා ආසන්න වූයෙන් ඔවුන් එදෙසින් ගමන් කළහ. පසුපස මිදුලේ වූ පිච්ච හා රෑ කුමාරි මලින් හාත්පස සුවඳවත් වී තිබුණි. දෙදෙනා ම පසු වූයේ සතුටිනි. අසංක ඉදිරියෙනුත්, ඔහුගේ අත අල්ලාගත් සුමුදු පසුපසිනුත් ගල් තලාව බැස ආහ. පෙරදී කටුක හඬින් සුළඟට ඇඹරුණු උණ පඳුර අද මඳ පවනේ සැනසිල්ලේ නැළවෙනා බවක් අසංකට දැනුණි. සුමුදු ඔහුගේ අතින් අදිනු දැනුණෙන් අසංක හැරී බැලුවේය. ඇය නතර වී උණ පඳුර දෙස අයාගත් දෑසින් බලා සිටියාය. "ඇයි සුදූ...?" අසංක යළි ඈ වෙත පියවරක් තබමින් විමසුවේය.


සුමුදු ඒ විසල් කරගත් දෑසින් ම අසංක දෙස බැලුවාය. ඇගේ දෙතොල් සුදුමැලිව ගොසිනි. "ඒ... අපි දෙන්නා... වෙන්න බැරිද...?"


ඈ තොල් මතුරමින් කී දෙය යාන්තමින් ඇසුණද එය එක්වරම නොවැටහුණෙන් ඔහු ඈ වෙත වඩා ආසන්න විය. "මොකද්ද?"


"හරි පුදුමයි....." ඇය යළිත් තොල් මතුළාය. අනතුරුව සුන්දර සිනහවක් පෑවාය. ඒ සමගම සිහිසුන්ව ඇද වැටුණාය. ඈ අල්ලාගන්නට සූදානම් වූ අසංකගේද පය ලිස්සා ගොස් ගල්පොත්ත වේගයෙන් ඔහුගේ මුහුණ වෙත ඇදී විත් වේදනාබර ඝට්ටනයකින් හැපීමෙන් පසු සියල්ල අන්ධකාර වී ගියේය.


- මතු සම්බන්ධයි -

394. සසර සැරිසරන තෙක් - 2 කොටස...

 


දුරකථනය නාද වන හඬින් සිය කල්පනා දැහැනින් මිදුණු අසංක එය ද අතට ගෙන මිදුලට බැස්සේය. "හෙලෝ?"


"අසංක... කොහොමද ඔයාට...?"


ඔහුගේ මුවෙහි පෙම්වත් සිනහවක් ඇඳී ගියේය. "සුමුදු! කොහෙද ඉන්නේ?"


"මේ දැන් එයාපෝර්ට් එකෙන් එළියට ආවා විතරයි..."


"මට කිව්වෙත් නෑනේ අද එනවා කියලා..."


"ඔයාට කරදර කළේ නෑ ඉතින්. ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ඔෆිස් එකටම එක්ක යනවානේ. අම්මා කිව්වා තාත්තාව එවන්නම් කියලා එහෙට..."


"මදැයි! මටත් කළින් මෙයා මගේ අම්මලාට කතා කරලනේ!"


"එහෙම තමයි ඉතින් හොඳ ලේලිලා වුණාම! ඉන්නකො ඉන්නකො, මං හෙටම එන්නම්කෝ ඔයාව බලන්න ඔහෙ..."


අසංකගේ සිතට මහත් අස්වැසිල්ලක් දැනුණි. හිසේ වෙළුම්පටි බැඳගෙන දිගු ගමනක යෙදෙන්නට මේ මොහොතේදී තමාට හැකියාවක් නොමැති බැවින් ඇගේ පැමිණීම ඔහුට මහත් සහනයක් විය. "අම්මලාව එක්කං එන්න එපා, ඔයා විතරක් එන්න හොඳද? කියන්න මං ළඟදි ඇවිත් යන්න එනවා කියලා."


"ඉතින් මට කියන්නේ, ඔයාම කියන්නකෝ අම්මලාට..."


"හ්ම් හ්ම්, ඔයා ගෙදර ගිහින් කෝල් එකක් ගන්නකෝ, මං කියන්නං එතකොට… ඒක නෙවෙයි, මං කළින් තැන නෙවෙයි දැන් ඉන්නේ, අල්ලපු ගමේ. මෙහෙට කියන්නේ පෑලියද්ද කියලා..." ඔහු එම විස්තර කෙටියෙන් පවසා සිටියේය.


"ඒ මොකද තැන මාරු කළේ? ඉස්කෝලේ අල්ලපු වැටේ ඉඳන් එච්චර දුරකට ගියේ? මට පේන්නෙනම් ඔය කියන ගමේ කෙල්ලෙක්ට හිත ගිහිංද කොහෙද!" සුමුදු මුඛරි ස්වරයෙන් තෙපලුවාය.


අසංක හඬ නගා සිනාසුණේය. "මගේ හිත ගිය එක කෙසේ වෙතත් මට බැල්ම හෙලාගත්තු ගෑනු ළමයෙක්නං ඉන්නවා මෙහෙ..."


"ආන්න දැක්කද! මං කිව්වේ! මටත් ඉන්න බැරුව මෙහෙ තියාගන්නෙ නැතුව යැව්වනෙ-....."


ඉන් එහා ඈ කියූ කිසිවක් අසංකට ඇසුණේ නැත. ඔහුගේ දෙනෙත් යොමුව තිබුණේ පාළු වළව්ව වෙතට ය. එහි අත්වැට අසළ ඔහු පෙර දිනෙකදී දුටු රුව යළිත් ඔහු දුටුවේය. නමුත් එදින මෙන් නොව මෙදින එම රුව අතුරුදන් නොවී එතැනම රැඳී තිබුණි. ඔහු මහත් පුදුමයෙන් එදෙස බලා සිටියදී ඔහුගේ හද ගැස්ම වේගවත් කරවමින් එම රුව අත වනා ඔහුට හඬගැසීය. නොදැනීම දුරකථනය ඔහුගේ සුරතින් ගිලිහී බිම පතිත විය. යළි සිහි එළවාගෙන එය ඇහිඳගෙන කෙළින් වූ මොහොතේ එම රුව තව දුරටත් එහි පෙනෙන්නට නොවීය. ඔහු කෙළ සිඳී ගිය මුවින් යුතුව දුරකථනය යළි කනේ තබාගත්තේය.


"හෙලෝ! හෙලෝ අසංක! හෙලෝ..."


"සුමුදු..." ඔහු අපහසුවෙන් සිය ස්වරය සාමාන්‍ය පරිදි තබාගත්තේය.


"මොකද ඒ වුණේ...? ඇයි ඔයා කතා නැතුව ගියේ...?"


"සිග්නල් අවුලක්ද කොහෙද සුදූ! මෙහෙට වැඩිය සිග්නල් අහුවෙන්නෙ නෑ. මං මේ එළියටත් බැහැලයි කතා කරන්නේ," ඔහු ආයාසයෙන් මඳ සිනහවක් මුව'ගට නගාගත්තේය. "ඉන්ඩකො, ඊළඟ පාර මං හොඳට සිග්නල් අහුවෙන ගහක්වත් හොයාගෙන නැගලම කතා කරන්නංකො..."


"මේ, මං හෙටම එනවා ඔහෙ!" ඇගේ ස්වරයෙහි නෝක්කාඩුව පිරී තිබුණි.


"අදම එන්න බැරිද?" ඔහු එක්වරම විමසුවේය.


"මොකද්ද?"


"මං පාළුවෙන් හිටියෙ මැණික..."


"අනේ..." සුමුදුගේ හඬ නැවතත් දයාබර විය. "දැන් හවස් වෙලානේ මහත්තයෝ... මං හෙට උදේම එන්නං, හොඳද..."


ඔවුන් දෙදෙනා තවත් බොහෝ වේලාවක් දුරකථන පිළිසඳරේ යෙදුණු අතර එය නිම වන තෙක්ම නැවත පාළු වළව්වේ අද්භූත කාන්තාව අසංකට බාධා කරන්නට පැමිණියේ නැත. ඔහු බොහෝ වේලාසනින්ම ඇඳේ වැතිරී දිගු නින්දකට වැටුණේය.


නමුත් එදින රාතියේ ඇය යළිත් ඔහු සොයා පැමිණියාය. සුළඟට පා ව එන දුහුල් රෙදිකඩක් සේ කඳුවැටිය ඔස්සේ පියාඹා ආ ඇය උණ පඳුර අසළදී බිමට බැසගත්තාය. විකල් බැල්ම එල්ලයක් නොමැතිව හාත්පස කරකැවී අවසන අසංකගේ නවාතැන දෙසට යොමු වී නතර විය. දෑසේ වූ වියරු පෙනුම ඇගේ මුව'ගටද එක් විය. මූසල හඬ දෙමින් ඇඹරෙන උණ පඳුර සේ ම වියරු රැඟුමකින් යළි අහසට නැගි ඇය අසුරු සැණෙකින් අසංකගේ කාමරයේ කවුළුව අසළට පැමිණියාය. ඇගේ වියරු සිනහව උල් වූ දසන් දිස් වන තරමට පුළුල් විය. එක්වර ම කන් බිහිරි කරවන තරමේ හූ හඬක් නැගෙන්නට වූ අතර ඇය කවුළුවේ වීදුරුවට තට්ටු කරන්නට පටන්ගත්තාය. අසංක දහදිය වගුරුවමින් අවදි විය. හාත්පස පැතිර තිබූ හිරු එළිය හේතුවෙන් තමා සිහිනයක් දැක ඇති බව ඔහුට සිතුණද කෙමෙන් අඩු වෙමින් යන හූ හඬද, කිසිවෙකු කාමරයේ කවුළුවට තට්ටු කරනා හඬ ද ඒ වනවිටත් ඇසෙමින් තිබුණි. ඔහු සරම කැටි කරගනිමින් ඇඳෙන් නැගී සිටියේය. අසළ මේසය මත වූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බිවු අසංක ඇඳ පොල්ලක් ගලවා අතට ගත්තේය. කවුළුවේ ඝනැති තිර රෙද්ද මෑත් කර බැලීමෙන්ද වැළකුණු ඔහු කාමරයෙන් පිට වී එක එල්ලේම දොරටුව වෙත ගියේය. හඬක් නොනැගෙන සේ දොරේ අගුල විවර කළ අසංක එහි අල්ලුවට අත තබත් ම කවුළුව දෙසින් නැගුණු හඬ නතර විය. අසංක ද නතර විය. මොහොතක නිහැඬියාවකට පසු එක්වරම හූ හඬ වඩා උස් හඬින් ඇසෙන්නට වූ අතර ඒ සමගම දැඩි හඬකින් කවරෙකු හෝ දොරට තඩිබාන්නට විය. තැතිගත් අසංක ඉබේම පසුපසට විසි විය.


"අනේ අසංක මේ දොර අරින්නකෝ!!!"


අසංකගේ අතේ වූ පොල්ල අත ඇරුණි. වහා ඉදිරියට පැන දොර විවර කරගත් ඔහු එහි සිටි සුමුදුව වැළඳගෙන පපුවට තුරුළු කරගෙන හාත්පස නෙත් යොමා නිරීක්ෂණය කළේ ඒ වනවිටත් වේගයෙන් ගැහෙමින් තිබූ හදවතින් යුතුවය.


"මේ මොකෝ? ඔයා කාටද බය වුණේ? අනේ මේ මොකද නළල තුවාළ කරගෙන?"


ඔහුට පිළිතුරක් ගලපාගැනීමටද මඳ වේලාවක් ගත විය. ඒ වනවිට යළිත් වරක් අඩු වෙමින් තිබූ හූ හඬ බල්ලෙකුගේ උඩුබිරුමක් බව වටහාගත් මොහොතේ ඔහු සැනසුම් සුසුමක් හෙලමින් ඈ තවත් තදින් වැළඳගත්තේය. "හීනයක් දැක්කා නෝනේ…"


"හීනයක් දැක්කා??? මේ මහ දවල්???"


"මට දැනුයි ඇහැරුණේ… හොඳටම දවල් වෙලානේ… ඔයා කොහොමද පාර හොයාගෙන ආවේ?"


"මං එනකල් බලං ඉන්න හින්දා මං මහ පාන්දරම පිටත් වුණේ. එනකල් මග දිගට කෝල් කළා කළා, කෝ, ආන්සර් කළායැ!"


"අප්පා, ඒක ඕෆ් වෙලා වෙන්න ඇති. ඒක තමයි එලාර්ම් එකවත් ඇහුණෙ නැත්තෙ… ඉතිං කොහොමද පාර හොයං ආවෙ?"


"ඔයා එහා ගමේ කළිං නතරවෙලා හිටපු තැනට ගිහිං මං මේ ගමට එන හැටි අහගත්තා. මෙහෙට ඇවිත් ඔයා ගැන කිව්වහම අර මාමා එක්කං ආවේ..."


ඈ පෙන්නූ අත හැරී බැලූ අසංක වහා ඈ මුදා හැරියේය. මිදුලේ දකුණු පස සෙවණකට වී සිටගෙන ඔවුන් දෙස හිනැහෙමින් බලා සිටියේ ගම් ප්‍රධානියාය. "මේ නෝනෙ හොඳටෝම මහන්සියෙං මහතුංලෑ කඩේට ගොඩවෙලා මහත්තයා ගැන ආරංචි කොරද්දි මාත් උන්නෙ කඩේ. ඉතිං එක්ක ආවා ඕං පරිස්සමට... අපෙං ඉතිං බාධාවක් නෑ, අපි ගියා එහෙමනං....."


"ආරච්චි මහත්තයට බොහෝම පිං!" අසංක විළියෙන් රත් වූ එක් කනක් පිරිමදිමින් ඔහුට සමුදුන්නේය.


ආගිය තොරතුරු කතාබස් කරමින් හෝරා කිහිපයක් ගෙවූ අසංක හා සුමුදු සන්ධ්‍යාවේදී ගමේ පන්සල වෙත ගියහ. එහිදී ද, අතරමගදී ද හමු වූ සියල්ලන්ටම ඔහු තම බිරිඳ හඳුන්වා දුන්නේය.


"අර මොකද්ද?" වැඳ පුදා අවසන්ව යළි පිටත්ව එන්නට සූදානම්ව පන්සලේ ගේට්ටුව අසළට හොඳින් දිස් වූ වළව්ව පෙන්වමින් සුමුදු විමසුවාය.


"මෙහෙ අය ඕකට කියන්නේ පාළු වළව්ව කියලා… ඔය පන්සලට පහළින් තමයි ඉස්සරහා ගේට්ටුව තියෙන්නේ… පිටිපස්ස අර මං ඉන්න තැන කිට්ටුව ලොකු උණ පඳුර ළඟ. හරි විසාල වත්තක්…"


"අපරාදෙනෙ මෙහෙම තැනක් ඔහොම පාළුවට යන්න ඇරලා තියෙන්නේ…"


"ඔන්න අපේ පුවත්පත් කලාවේදිනියට පත්තරේට ලියන්ඩ කාරණාවක්… 'කාලයේ වැලි තලාවෙන් මැකී යන වළව් උරුමය...' එහෙම දාත හැකි හෙඩිං එක..." අසංක සිනහසෙමින් කීවේය.


"හිනා නෙවෙයි, අපි යං ඒක බලන්න?"


අසංකගේ සිනහව එසැණින් අතුරුදහන් විය. "මේ හැන්දෑවෙ? පිස්සුද? ඊටත් දැං කළුවර වැටීගෙන එන්නේ…"


"ඇයි මොකෝ හොල්මන් ඉඳියි කියලා බයද?" සුමුදු ඇසුවේ කවට සිනහවක් සමගිනි. "කොළඹින් ආපු මං දන්න අසංකනම් ඕවා ගැන විශ්වාස කරන්නෙ නෑ..."


"සමහර දේවල් තියෙනවා, ඒවා ඒ තියෙන හැටියටම තියෙන්න අරින එක තමයි හොඳ. අපි ඒවා ගැන හාරාවුස්සන්න හොඳ නැහැ..." ඔහු මඳින් මඳ තමාටම හගිස්සවාගන්නට උත්සාහ කරමින් සිටි කාරණාවක් එලෙස පැවසුවේය.


"මේ මිනිස්සුත් එක්ක ඉඳලා ඔයාටත් පිස්සු හැදිලද කොහෙද! අර බලන්නකෝ අර අඹ ගස්වල ගෙඩි පිරිලා තියෙන හැටි!" තරමක් වේලා වාද කරගැනීමෙන් පසු සුමුදු තනිවම මාවතට පිවිස වළව්වේ ගේට්ටුව දෙසට යන්නට වූ කල, අසංකට ඈ පසුපස යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වූයේ නැත. අගුළු ලා නොතිබූ ගේට්ටුව සුමුදුගේ අතින් කිරි කිරි හඬින් විවර වද්දී හාත්පස සන්ධ්‍යා එළිය තරමක් පැතිර තිබුණද, පාළු ඉඩම මධ්‍යයේ වූ වළව්ව තුළින් දිස් වූයේ අන්ධකාර ස්වරූපයකි. "අන්න අර අඹ ගෙඩිය කඩලා දෙන්නකෝ අසංක…" ඇය පහත අත්තක වූ අඹ ගෙඩියක් පෙන්වමින් කීවාය. "හරි රස පාටයි!"


"මේ ඔයා හෙටම ආපහු යන්න හරිද?" ඔහු පහත දෙබලකට නැග එය කඩාගන්නා අතරේ කීවේය. "සුමානයක් විතර මෙහෙ හිටියොත් ඔයා මුළු ගමම උස්සගෙන යයි!" ඔහුගේ අතින් ඩැහැගත් අඹය ලෙලිගසා රස බැලූ ඇය ඔහුටද ඉන් කටක් කැව්වාය. ඒ මොහොතේ එක්වරම අමිහිරි හඬක් නගමින් කුමක්දෝ කළු පැහැති ගුලියක් ඔවුන් වෙත පතිත වන්නට මෙන් පැමිණ තටුගසා ඉගිල ගියේය. සුමුදු සිනාසුණාය. "වවුල්ලු! අඹේකට පොරකනවද කොහෙද!" මෙවන් අද්භූත පරිසරයක් තුළදී ඈ එලෙස සැහැල්ලුවෙන් සිනාසෙන්නේ කෙසේදැයි අසංකට සිතාගත නොහැකි විය. ඔහුට මෙහි රැඳී හිඳින්නට සිත් දෙන්නේම නැත. "පුංචි කුමාරිහාමි අඹ ඵල භුක්තිවිඳලා අහවරයිනම් අපි යමුද?"


එක්වරම තුරු හිස් ලෙළවමින් චණ්ඩ සුළඟක් හමා යන්නට විය. වවුලන් සිය ගණනක පමණ කෑගැසීම එකවර නැගෙන්නට විය. සුමුදු අසංකගේ අතින් අල්ලාගත්තාය. "යමු!" ඇය කීවාය. අසංක සූදානම් වූයේ යළි ගේට්ටුව වෙත ඇවිද යන්නට නමුත් සුමුදුගේ පා එසවුණේ වළව්ව දෙසටය. එවර ද අසංකට ඈ පසුපස පිය නගනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත.


- මතු සම්බන්ධයි -

393. සසර සැරිසරන තෙක් - 1 කොටස...

 


අසංක දෑස් විවර කළේ අපහසුවෙනි. නළල මතින් නැගෙන තදබල වේදනාව අතරින් ඔහුට පළමුව දැනුණේ අන්ධකාරය මගහරවමින් පැතිරී යන ළන්තෑරුම් එළියකි. "සිහිය ආවා! සිහිය ආවා!" කවුරුන් හෝ පවසනු ඇසුණි. තමා වටකොටගෙන සිටින්නේ ගම්වැසියන් බව වැටහුණද, එකිනෙකා වෙන් වෙන්ව හඳුනාගැනීමට තරම් එකලස් බවක් ඔහුගේ සිතෙහි නොවීය. වියරු හඬින් සුළඟට ඇඹරෙන සුවිසල් උණ පඳුරේ රළු බර-බර නාදයෙන් හිස පිරී යද්දී අසංක යළිත් දෑස් පියාගත්තේය. ඔහු නැවත අවදි වූයේ පිරිත් හඬක් මධ්‍යයේය. හාත්පස හිරු එළිය පැතිරී තිබුණි. "ඉතිං මහත්තයෝ, දැන් සුවයි නෙවද?" ඔහු අසළ සිටි තැනැත්තා විමසුවේය. "මං ගමේ ගුරුන්නාන්සේ, මතකයි නොවැ?"


"ගුරුන්නාන්සේ..." අසංක සෙමින් තොල් මතුරා සිය නළල අල්ලා බැලුවේය. එය බෙහෙත් ගල්වා වෙළුම් පටියකින් වෙලා ඇති සැටි ඔහුට දැනුණි.


"සිහි නැති වෙච්චි ගමන වැටිලා ඔළුවත් වද්දාගෙන නොවැ ඉතිං! පූරුවෙ පිනකට මේ සේදරසිඤ්ඤොට විගහින් මුළිච්චි වුණේ. නැතිනං මොනවැයිං මොනවා වේවිද කියන්ඩ බැහැ ඕං..." තමා සිහිසුන් වී ඇදවැටුණා නොව, පය ලිස්සා වැටී හිස ගලේ වැදීමෙන් සිහිසුන් වූ බව කියන්නට වුවමනා වුවද, මේ ගම්මුන් තමාගේ බස් පිළිනොගන්නා බව අසංක දැන සිටියේය. "ඒ ගොම්මනේ තනි පංගලමේ අහවල් කාරියකටද ඔය ඉසව්වේ කරක්ගැහැව්වේ?"


නමුත් අසංකට පිළිතුරක් ගලපාගැනීමට ඉඩක් නොතබා සේදර මාමා පිළිතුරු බැන්දේය. "මං අනන්තවත් කීවා ගුරුන්නාන්සේ, ඔය නවාතැන්පොළේ නවතින්ට ආ දොහේම මං ගොහිං කියැව්වා ඔය පරිස්සම් වෙන්ඩ ඕන ඉසව්වක් බව! ඉලන්දාරිකොමට කොරගන්න වැඩ ඔව්වා!" එම ළෙංගතු දෝෂාරෝපණය අසංක අසා සිටියේ මඳ සිනහවකින් යුතුවය. සේදර මාමා ඔහුගේ නවාතැනට ආසන්නතම නිවහනේ පදිංචි අසල්වැසියාය. බොහෝවිට ඔහුට කෑම බීම පවා සැපයෙන්නේද එම නිවසිනි. "ඉතිං හිනාවෙන්ඩ! ඉතිං හිනාවෙන්ඩ! හොඳ වෙලාවට මායි අපේ ලොකු එකායි පැල ඉණි කපං එද්දි දුටුවේ. මුණිං වැටිලා නාහෙනුත් ලේ ගලලා තිවුණු හැටියට මං උන්නේ එතනම කම්මුතුයි කියලා!"


අසංක නිහඬවම කෙළින් වී ඇඳ මත හිඳගත්තේය. ගුරුන්නාන්සේද ඉඳ සිටි අසුනින් නැගිට්ටේය. "හිටින්ටකෝ එහෙමනං... බෙහෙත් කැඳ ඩිංගක් බිව්වාට පස්සෙ යන්ට පුළුවනි..." ඔහු එතැනින් නික්ම ගෙතුළට ගියේය.


කොළඹ නගරයේ ඉපදී හැදී වැඩුණු අසංක පළමු ගුරු පත්වීම සඳහා ඉල්ලුම් කළේ දුරබැහැර ප්‍රදේශයකට ය. පවුල් පන්සල් වී දරුමල්ලන්ගේ බර කරට ගන්නට පෙර එවන් පෙදෙසක දරුවන් වෙනුවෙන් සේවය කිරීම ඔහුගේ සිහිනයක්ව තිබිණ. එබැවින් අසංක මාතලේ දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි මිල්ලෑව කණිටු විදුහලේ චිත්‍ර ගුරුවරයා ලෙසින් පත්ව ආවේ දැනට වසර එකහමාරකට පමණ පෙරාතුව ය. දැන් ඔහුගේ ආදරණීය බිරිඳ ව සිටින සුමුදු ද එකල ඔහුගේ පෙම්වතියව සිටියදී ඒ වෙනුවෙන් ඔහු දිරිමත් කළාය. ඇය පුවත්පත් කලාවේදිනියකි. ඔවුන් හමු වූයේ සරසවියේදී ය. මව්පියන් කවුරුන්දැයි නොදන්නා අනාථ දැරියක ලෙසින් හැදී වැඩී සිටි ඈ පිළිබඳ අසංකගේ මව්පියන් මුළදී දැක්වූවේ දැඩි විරෝධයකි. නමුත් සිය සිත වෙනස් කර නොගත් අසංක අරගල බාධක ගණනාවකින් පසු ඔවුන්ගේ ආශිර්වාදය ඈ වෙනුවෙන් ලබාගන්නට සමත් විය. විවාහයෙන් පසු ඈ ජීවත් වන්නේද ඔහුගේ දෙමාපියන්ගේ නිවහනේ ය. ඈ දැන් තම දෙමාපියනට ආදරණීය ලේලියක නොව දියණියක බඳු බව ඔහු දැන සිටියේය. පසුගිය මස ඇය එක් මසක පුහුණු වැඩමුළුවක් සඳහා විදෙස්ගත වූවාය.


පෑලියද්ද, මිල්ලෑවට යාබදව පිහිටි දුශ්කර ගම්මානයකි. එහි වූ එකම පාසල වැසී ගොස් කලක් ගත වන බවත්, එම ගම්මානයේ දරුවන් මිල්ලෑව පාසලට ඇතුළත් කළද ඔවුන්ගේ පැමිණීම බොහෝ දුර්වල බවත් දැනගැනීමෙන් පසු අසංක එහි ගියේ එම දරුවන් ගැන සොයා බලන්නටය. මුළදී ගම්වාසී වැඩිහිටියන්ගේ එතරම් පිළිගැනීමක් නොමැති බැලුම්වලට, විටෙක සැකමුසු රළු වදන්වලට ලක් වීමට සිදු වුවද, ඒ සියල්ල ඉවසාගෙන ඔහු ගම් ප්‍රධානියාගේ අවසර ඇතිව එම දරුවන්ට සිතුවම් අඳින්නට උගන්නන්නට පටන්ගත්තේය. ඒ හරහා ඔහු ඔවුන් තුළ අකුරු උගන්නට ඇති ඇල්මද වර්ධනය කළේය. කෙමෙන් කල් ගතවද්දී පෑලියද්ද ගම්මානයේ දරුවන්ද, වැඩිහිටියන්ද එක සේ ඔහුට ළෙංගතු වූහ. මිල්ලෑව පාසල අසළ ජනාකීර්ණ පරිසරයක පිහිටි නවාතැන වෙනුවට යාබද පෑලියද්ද ගම්මානයේ නවාතැන් ගන්නට ඔහුට සිතුණේද එම ළෙංගතු බව නිසාවෙනි. නමුත් පිටස්තරයෙකු නතර කරගැනීමට තරම් ඉඩකඩක් තිබූ ගම්මානයේ එකම නිවහන වූ ගම් ප්‍රධානියාගේ නිවසෙහි නවාතැන් ගැනීමටද අසංක කැමති වූයේ නැත. නිරන්තරයෙන් ගම්වැසියන් ගැවසෙන එහි, තම සිතුවම්කරණයට අවශ්‍ය නිදහස නොලැබෙන බව දැන සිටි ඔහු සියල්ලන්ගේ විරෝධය නොතකා කලෙකින් කිසිවෙකුත් වාසය නොකළ, සුවිසල් උණ පඳුර පෙනෙන මානයේ වූ හිමිකරුවෙකු නොමැති කුඩා නිවහන තෝරාගත්තේය. ගම්මානයේ මඳක් ඉහළට වන්නට පිහිටි එහි පසුපස මිදුලට දිස් වූ සුන්දර කඳුකර දර්ශනය බෙහෙවින් ඔහුගේ සිත් ගත්තේය. ඔහු එහි පදිංචියට පැමිණ දැනට සති තුනකි.


ගුරුන්නාන්සේගේ නිවසේ සිට සේදර මාමා සමග යළි නවාතැනට පැමිණි අසංක සිය අතේ ඉතා මහතට බැඳ තිබූ පිරිත් නූල දෙස බලා සිටියේය. සේදර මාමා ඇතුළු අසංකට හිතවත් වූ බොහෝ ගම්වැසියන් විසින් නොයෙක්වර උණ පඳුර ගැනද, ඉන් ඔබ්බෙහි ගල් තලාවට ඉහළ සුවිසල් ඉඩම මැද පිහිටි පාළු වළව්ව ගැනද බොහෝ කතන්දර ඔහුට පවසා ඇත. නමුත් එම කතන්දර එලෙසින්ම පිළිගන්නට ඔහුගේ සිතෙහි සූදානමක් තිබුණේ නැත.


පෑලියද්ද ගමෙහි නවාතැන් ගත් පළමු සතිය ඔහු බොහෝ ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන්, ගම්වැසියන්ගේ ආදර සත්කාර විඳිමින් ගත කළේය. දෙවැනි සතියේදී ද, තමා දෙස කවුරුන් හෝ නිතරම බලා සිටිනා බවට වූ හැඟීම හැරෙන්නට එතරම් සැලකිය යුතු වෙනසක් ඔහුට දැනුණේ නැත. නිවසේ සිටින හූනෙකු, කැරපොත්තෙකු හෝ, වත්තේදී කුරුල්ලෙකු, ලේනෙකු හැරෙන්නට තමා දෙස වෙන කවුරුන් බලන්නටදැයි ඔහු තනිවම සිනාසුණේය. නමුත්, එක් දිනෙක, නිවසේ පසුපස එළිමහනේ තබාගත් අසුනක හිඳ, එතැනට දිස් වන කඳුවැටිය සිතුවම් කරමින් සිටි මොහොතේදී එම හැඟීම ඉතාමත් තදින් දැනෙන්නට වූයෙන් ඔහු හිස හරවා බැලුවේය. අසළ ජම්බු ගහේ අත්තක හිඳ දෝතින්ම ජම්බු ගෙඩියක් වැළැඳගෙන ඔහු දෙස බලාගෙන එය රසවිඳිනා ලේනා දුටු ඔහුගේ මුවෙහි පුළුල් සිනහවක් ඇඳී ගියේය. ලේනාට නියවූ ඔහුගේ දෙනෙත් යළි සිතුවම වෙත යොමු වන්නට පෙර අතරමග එක් තැනකදී නතර විය. ඔහුගේ බැල්ම එල්ල වී තිබුණේ එතැනට යන්තමින් පෙනුණු පාළු වළව්ව වෙතට ය. එතැන හිඳ එක්වරම අතුරුදන් වූයේ මිනිස් රුවක්මදැයි ඔහුට නිශ්චිතවම කිව නොහැකි වුවද, යළි හිස සලා සිය සිතුවම වෙත අවධානය යොමු කරගනිද්දී, පෙරදී වූ සිනහව ඔහුගේ මුවින් අතුරුදන්ව ගොස් තිබුණි.


තුන් වන සතියේදී මහ වැසි ඇද හැලුනි. එම බියකරු රාත්‍රියේ අහස ගුගුරවමින්, අකුණු සැර එල්ල කරමින් ඇද හැලුනු මහ වැස්සේ අසංක ළන්තෑරුමක්ද දල්වාගෙන පසුදිනට නියමිත පාඩම් සටහන් පෙළගස්වමින් සිටියේය. එක්වරම අහස දෙබෑ කරගෙන පතිත වූ අකුණු සැරයකින් හාත්පස එකළු විය. තිගැස්සුණු අසංකගේ දෑස්, වසා තිබූ කවුළුවෙන් එපිටට යොමු විය. එම ක්ෂණික ආලෝක ධාරාව මධ්‍යයේ ඔහුට දිස් වූයේ ඉන් ඔබ්බෙහි බඹ දෙකක තරම් දුරින් සිටගෙන සිටිනා කෙස්වැටිය විහිදාගත් කාන්තා රුවකි. එසැණින් යළි පැතිරී ගිය අන්ධකාරය මධ්‍යයේ කුමන හෝ හේතුවකට ඔහුගේ ළන්තෑරුමද නිවී ගියේය. දැන් දැන් වීදුරු කවුළුව බිඳී විසි වී සීතල දෑතකින් තම ගෙල සිර වී යනු ඇතැයි සිතුණු නිමේශයකට පසු ඇදී ආ මහා ගිගිරුම් හඬින් සිහි එළවාගත් අසංක අත පොවන මානයේ වූ විදුලි පන්දම අතට ගෙන දල්වාගත්තේය. ළන්තෑරුමේ තෙල් සිඳී ගොසිනි. එය යළි දැල්වීමට නොසිතූ ඔහු ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කොට පිරිත් දේශනාවක් සුසර කළේය. සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් ස්පන්ධනය වෙමින් තිබූ හදවත පිරිත් හඬත් සමග යළි යථා තත්ත්වයට පත් වද්දී කවුළුවේ තිර රෙදි වසා දැමූ අසංක ඇඳට ගොඩ වී එසැණින් නින්දට වැටුණේය.


ඔහු උණ පඳුර අසළ ගල්පොත්ත මත ඇද වැටී සිහිසුන් වූයේ එයට පසුදා සන්ධ්‍යාවේදී ය. තමන් ඒ අසළදී කුමක් හෝ දුටුවේද, කුමකට හෝ බිය වූවේදැයි ගුරුන්නාන්සේ පුන පුනා ඇසූ පැණයන්ට ඔහු කිසිවක් නොදුටු බවට පිළිතුරු දුන්නද එය සැබැවින්ම මුසාවක් විය. ඉන් පෙර ගම්වැසියන් අත් දුටු බවට කියැවෙන අද්භූත සිදුවීම් සිනහවෙන් බැහැර කරන ඔහු, තමාද එවන් අත්දැකීමක් ලැබූ බව පවසා සිටින්නට මැළි විය. එය හුදෙක් ඔවුන් විශ්වාස කරනා අන්දමේ අමනුෂ්‍ය බලවේගයක් හේතුවෙන් සිදුවන්නක් නොව, යම් පැහැදිලි කළ හැකි හේතුවක් නිසා සිදුවන දෙයක් පමණක් බව ඔහුට විශ්වාස කරන්නට වුවමනා විය. එදින සන්ධ්‍යාවේ ඔහු ගමේ දරුවන්ට පාඩම් කියා දී යළි නවාතැනට පැමිණෙන මොහොතේ උණ පඳුරේ පැටලී තිබූ කිසිවක් ඔහුගේ නෙත ගැටුණු අතර, ඉන් පෙර කිසිදා ඒ අසළට ගොස් නොතිබූ අසංක එහි ළඟා විය. එය සුදු පැහැති දුහුල් සාලුවකි. එය පැටළුමෙන් මුදාගෙන දිගහැර බලන අතරේ එක්වරම හමා ආ දැඩි සුළඟ හේතුවෙන් එය ඔහුගේ අතින් ගිලිහී කඳුකරය වෙතට පාව ගියේය. ගම්වැසියෙකු එදෙස බලා සිටියානම් එයද පා ව යන හොල්මනක් ලෙසින් සිතන්නට ඉඩ ඇති බව කල්පනා කරමින් සිනාසෙමින් ඔහු යළි සිය නවාතැන බලා ඒමට හැරෙන අතරේ ගල්පොත්ත ඉහළට නෙත් යොමු කළේ නිකමට ය. එහි තුරුවදුලක් මධ්‍යයේ හිඳ ඔහු දෙස බලා සිටියේ... පෙර දින රැයේ ඔහුගේ කවුළුව ඉදිරියේ දිස් වූ කාන්තා රුව ය. ඒ මොහොතේ ගලේ බැඳී තිබූ දියසෙවෙල මත ඔහුගේ පය ලිස්සා ගිය අතර, ගල්පොත්ත වේගයෙන් ඔහුගේ මුහුණ වෙත ඇදී විත් වේදනාබර ඝට්ටනයකින් හැපීමෙන් පසු සියල්ල අන්ධකාර වී ගියේය.


- මතු සම්බන්ධයි -

පින් මහිම වඩා...



සිලි සිලි නද දෙන බෝ මැඩ පාමුල
නළලත බැඳි අත් පියුම දරා
සැදැහැ සිතින් නෙතු සඟල පියා
මිමිණූ බුදු ගුණ පිහිටම වේවා
සසර පුරා - පින් මහිම වඩා

පිතු සෙනෙහෙන් හද ගැබ පුරවා
හද මඬලින් නැගි සිනහව පා
කළණ මිතු දමින් ගුණ නැණ මහිමෙන්
මනුසත් දිවියක අසිරිය සැමටම
පෙන්වූවා - පින් මහිම වඩා 

රට දෑ සමයට බැඳි බැති පෙම්
මැවිසුරු මිනිසෙකි  දුටු තුන්කල්
තුරු ලිය ලෝ සත සම මෙත් පතුරා
බෝසත් ගුණයෙන් අට ලෝ දම් දැන
පිය නැගුවා - පින් මහිම වඩා
හමු වේවා - මුළු සසර පුරා
පියාණෙනී - ඉම දකින තුරා

368. වනස්පතියක් සහ රෝස මලක්...

 


ඒ මහා වනස්පතියෙක්

රූස්ස නුග ගහක්

බොහොම ගරු ගාම්භීරෙට

අණසක පතුරවාගෙන හිටපු

කැලේ හැම ගහකට, වැලකට, මලකටම

රජ්ජුරුවෝ

හැමෝවම බලාගෙන පරිස්සං කරගෙන හිටියා

ඒත් කාටවත් වැඩිය ලං වෙන්න දුන් නෑ

මොකෝ මන්දා

අතේ දුරෙන් තමයි හිටියේ

හුළං හැමුවට ගණං ගත්තෙවත් නෑ

කුරුළු ගීත නෑහුණා වාගේ හිටියා

පුංචි සමනල්ලු ලඟට ආවත් අහක බලාගෙනම හිටියා


ඉතිං ඔන්න දවසක්දා

මේ මහ නුග ගහ පාමුල

පිපුනා පුංචි රෝස මලක්

කියන්න බැරි තරමට ලස්සන


මහ නුග ගහටත් පුදුමයි

මීට කළිං කවදාවත්

මේ තරමට ලං වෙලා

මේ තරං ලස්සන හුරුබුහුටි රෝස මලක්

දැකලාම නෑ


පුංචි රෝස මල නුග ගහ දිහා බැලුවා

නුග ගහත් බලාගෙන උන්නා

රෝස මල ඇස් දෙකෙන් මොනවද කිව්වා

නුග ගහ ඒ කිව්වේ මොකද්ද කියලා දහ අතේ කල්පනා කළා


ඔහොම දවස් ගෙවිලා ගියා

හදිසියේම එක දවසක්

පුංචි රෝස මල නුග ගහ එක්ක හිනා උනා


එදා ඉඳං හැම දේම වෙනස් උනා


දැං ඒ මහ වනස්පතිය

සුළඟ එක්ක එකතු වෙලා නටනවා

කුරුල්ලෝ එක්ක ගී ගයනවා

සමනළ පැටවු එක්ක සෙල්ලම් කරනවා

ඒ පුංචි රෝස මලේ හිනාව ආයෙ ආයෙත් දකින්න


ඒවා බල බල පුංචි රෝස මල හැමදාම

නුග ගහ එක්ක හිනා වෙනවා ලෝබ නැතුව


=================


මේ පැදි පෙළ මං අකුරු කළේ මගේ පුතා ඉපදුණු දවස්වල. ඒ රෝස මලේ හොඳම යාළුවා වුණ නුග ගහ මේ දවස්වල අසනීපෙන්. ඒ වනස්පතියේ හෙවණ ලබන අපිට දරාගන්න පුළුවන් තරමට වඩා අසනීපෙන්. ඒ වනස්පතිය වෙනුවෙන් ආශිර්වාදයත්, ඉක්මන් පූර්ණ සුවයත්, නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායුෂත්, ආදරයත් හිතින් ප්‍රාර්ථනා කරන්න පුලුවන්ද ඔයාලට... මගේ රත්තරන් තාත්තා වෙනුවෙන්... මං වෙනුවෙන්.....

367. කතා රසකැවිල්ලක්...

 


භාග්‍යාවයි ධනංජයවයි අමතක නැති යාළුවන්ට, භාග්‍යාගේ සිතුවිලිවලින් කියවපු කතාන්දරයේ පුංචි කොටසක් ඔන්න ධනංජයගේ සිතුවිලිවලින් අරගෙන ආවා. 😇


ඉන් පෙරද භාග්‍යා බීට්රූට් අලයක් මෙන් රත් පැහැ ගැන්වෙනු ධනංජය ඕනෑතරම් දැක ඇත. එවන් විටෙක කොක් හඬලා සිනාසෙනවා හැරෙන්නට වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නට ධනංජයට සිතී තිබුණේ නැත. නමුත් මෙවර ඔහුට සිතුණේම ඈ බදා වැළැඳ මුව සිපගන්නටය. ඒ, ඈ මෙවර එම සොඳුරුතම පැහැයට හැරුණේ තමා නිසා බව ඔහු වටහාගත් බැවිනි. මුල් කාලයේදී මෙන් ඔහුගේ කමකට නැති දෙපිටකාට්ටු වදන් හමුවේ නැගි අපහසුවට පත් ලැජ්ජාව හේතුවෙන් නොව, ඒ ඔහු නිසාම හටගත් කෝල බව හේතුවෙන් වූ නිසාවෙනි. ඒ හැරෙන්නට පෙර දිනෙක අහම්බයෙන් ගැටුනු එම දෙතොලෙහි රසය ඔහුට තවමත් අමතක නොමැති බැවිනි. 

නමුදු සිය කාමරයේ දොර අල්ලුව කිටි කිටියේ සුරතින් තද කොටගෙන, කතා කරන්නට පටන්ගෙන තිබූ ඇගේ දෑස් දෙස නොසෙල්වී බලා සිටියා විනා ඔහු වදනකුදු දෙඩුවේ නැත. මේ ඔහුගේ ස්වභාවය නොවීය. යුවතියන්ගේ විදුලි කොටනා දෑස් අභියස ඔහු සාමාන්‍යයෙන් මෙලෙස නිසොල්මන් නැත. නමුත් මෙම මායාකාරිය ඔහුව කණපිට හරවන්නට පටන්ගෙන ඇත. අවසන ඇය ම ඔහුට සුබ රැයක් පතා පියගැටපෙළ පහළට දිව ගිය මොහොතේ ඔහු නළලත දොරටුවේ ගසාගෙන කල්පනා කළේ, තමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තම වහළය යටම වෙසෙනා මෙම මුවැත්තිය බියපත් නොකොට ඈ වෙත සමීප වන්නේ කෙසේදැයි කියාය. 

එළැඹුනු විවේකී සති අන්ත සන්ධ්‍යාවේ ධනංජය රූපවාහිනිය ඉදිරියේ හිඳගත්තේ චිත්‍රපටයක් නරඹන්නටය. සිය චිත්‍රපට තැටි එකතුවෙන් ක්‍රියාදාම චිත්‍රපටයක් තෝරාගෙන තැටි ධාවකයට ඇතුල් කළ ඔහු හරිබරි ගැසී සෝපාවේ වැතිරගත්තේය. කඩමණ්ඩියට ගොස් සිටි භාග්‍යා නිවසට ඇතුලු වූයේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා උද්වේගකර සටන් ජවනිකාවක නිරත වෙමින් සිටියදීය. "ශා! බෙන් ඇෆ්ලෙක්!" ඇගේ හඬ ඔහුට පිටුපසින් ඇසුනි. "අනේ මුළ ඉඳන් දාන්නකෝ!"

"තේ හම්බවෙනවානං මුළ ඉඳන් දාන්නං!" ඔහු පවසා සිටියේය.

"හා හා, ගේන්නං ගේන්නං!" භාග්‍යා ගෙන ආ බඩු මලුද ඔසවාගෙන විගසින් මුළුතැන්ගෙය වෙත දිව ගියාය. 

කේතලයේ වතුර උතුරන පමාවෙන් දුම් දමන ඉඟුරු තේ කෝප්පයක්ද රටකජු පිරවූ බඳුනක්ද රැගෙන ඈ පැමිණෙද්දී ඔහු ච්ත්‍රපටය යළි ආරම්භක ස්ථානයට ගෙනැවිත් තිබුණි. තේ කෝප්පය අතට ගනිමින් කෙළින් වී හිඳගත් ධනංජයට ඈ තමා ළඟින් හිඳුවාගන්නට හදිසියේම ආශාවක් පහළ විය. නමුදු ඈ හා ගනුදෙනු කළ යුත්තේ තම හුරුපුරුදු විලාශයෙන් නොවන බව ඔහු මේ වනවිට වටහාගෙන සිටියේය. නිකමට මෙන් ඔහු සෝපාවේ පසෙකට වූවද ඈ ඉතිරි ඉඩෙහි හිඳගනු ඇතැයි විශ්වාසයක් ඔහුට නොවීය. නමුත් මොහොතක් පුදුමයෙන් බලා සිටි ඇය ඔහුද පුදුමයට පත් කරමින් එහි හිඳගත්තාය. ධනංජයගේ හිසෙහි මල් දහසක් පිපුණි. දෑස් රූපවාහිනී තිරය වෙතම යොමු වී තිබුණද තරමක් වේලා ගතවන තුරු ඔහු චිත්‍රපටය නැරඹුවේ නැත. ඔහුගේ සිත බොහෝ සේ කාර්‍යබහුලව තිබුණි. තමා කුමක් හෝ පැවසිය යුතුද? චිත්‍රපටය ගැන? ඈගේ රසැති තේ කෝප්පය ගැන? නැතහොත් ඇගේ සාප්පු සවාරිය ගැන? ඇගේ සිතුවම් ගැන? ඉන්දියානු ගමන ගැන? නමුත් ඔහුගේ මුවට වදන් ගලා එන්නේ නැත.  අවසන, එම චුම්භකාකර්ෂණය තව දුරටත් දරා සිටිය නොහැකි වූ තැන ඔහු ඈ වෙත හොරැහින් බැල්මක් හෙලුවේය. ඈ ද රූපවාහිනියේ නෙතු අලවාගෙනය. රටකජු බඳුනට අතවත් තබා නැත. අවසන රටකජුවල පිහිට පතන්නට තීරණය කළ ඔහු අත දිගු කොට ඇගේ උකුළ මත වූ බඳුනින් රටකජු අහුරක් අතට ගත්තේය. 

භාග්‍යා දැහැනකින් මිදුණාක් මෙන් දෑස් හයා ඔහු දෙස බැලුවාය. "අනේ සොරි. ගන්න ගන්න, ටවුමෙන් දැන් එන ගමන් අරගෙන ආවේ." ඇය බඳුන ඔහු වෙත පෑවාය.

"මේ ඇති, ආයෙ පස්සෙ ගන්නං."

ඉන් අනතුරුව ඇය චිත්‍රපටය ගැනත්, එම නළුවා ගැනත් කතා කරන්නට පටන්ගත්තාය. ඔහු හූමිටි දෙමින් ඈ කියනා සියල්ලට එකඟ වෙමින් මීළඟ වතාවේ තෝරාගත යුත්තේ ප්‍රේම ජවනිකා බහුලව ඇති චිත්‍රපටයක් බව සිතට ගත්තේය.

"ඇයි අද ඔයා රණ්ඩුවෙන්නෙ නැත්තෙ?" ඇය හදිසියේම විමසුවාය.

එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත පැනයක් විය. "හැහ්?"

"අද ඔයා හරි වෙනස්නේ. මං කියන ඔක්කොටෝම හූමිටි දෙනවා."

"ආ... ඒකද..." ඔහු සිනහවක් පෑවේය. "ඔයාගේ අප්පච්චිගෙන් මං ඉගෙනගත්තේ. කුඩම්මා කියන කියන එකට හූම් කියනවා අප්පච්චිත්..."

ඇය නළල රැළි කරගත්තාය. "ඉතින්?"

"ඉතින් මටත් එහෙම කරලා බලන්න හිතුණා!"

ඇය තව මොහොතක් ඔහු දෙස බලා හිඳ "පිස්සුද කොහෙද," යැයි පවසා මඳක් දුරස් වූවාය.

ඔහු වහා සිය ක්‍රමෝපාය වෙනස් කරන්නට තීරාණය කළේය. "ඒක නෙවෙයි, අන්න අර නිළිය ඉන්නවා නේද..." ඔහු චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පෙන්වමින් ඈ ගැන වර්ණනා කරමින් දොඩන්නට විය. ඇය ඔහුගේ බස්වලට හූමිටියකින් හෝ සහයෝගයක් නොදී බුම්මාගෙන නිහඬ වූවාය. එම ඊර්ෂ්‍යාකාර ගැහැනු සිතට තමා මෙතරම්ම ආශක්ත වන බව මෙතෙක් දැන නොසිටියේ මන්දැයි ඔහු මෙනෙහි කළේ ඈනුමක වේශයෙන් සඟවාගත් සිනහවකිනි. එම ඈනුම් සිනහව සඟවාගන්නට එසැවුණු ඔහුගේ වමත නතර වූයේ ඇයට පිටුපසින් සෝපාවේ ඇන්ද මතිනි.

චිත්‍රපටයේ හෝරාවක් ගෙවී යන්නට ආසන්නයේදී චිත්‍රපටයේ ත්‍රාසය උච්ඡතම අවස්ථාවට නැගැ තිබුණි. භාග්‍යා ගල්ගැසුණු ලෙසින් එදෙස බලා සිටියේ රටකජුද නැවත වරක් අමතකව ගිය ලෙසිනි. ධනංජය සෝපා ඇන්ද මත වූ සිය වමත හෙමි හෙමින් ඇගේ උරහිස වටා රැඳවූවේය. භාග්‍යා එක්වරම සිය දැහැනින් මිදුණද සෙලවුණේ නැත. ඇගේ කෝපාන්විත එරැවුමක් ලබන්නට ඔහු සූදානමින් සිටියද, ඇගේ දෑස් රූපවාහිනී තිරයෙන් මිදුණු බව ඔහු දුටුවද, ඈ ඔහු දෙස බැලුවේ නැත. ඉන් දිරි ලැබගත් ධනංජය සිය ග්‍රහණය වඩාත් සුරක්ෂිතව දැනෙන අයුරින් ඇයට මඳක් සමීප විය. "බය වෙන්න එපා, ඔයාගේ වීරයාට මුකුත් වෙන්නේ නෑ..." ඔහු ඇගේ සවනට මිමිණුවේය. අනතුරුව රටකජු ඇට දෙක තුනක් ගෙන ඇගේ මුවට ළං කළේය. සඳළුතලයේ හිඳ රෑ නිදි වරමින් අවුරුදු ඇඳුම් සිතුවම් කළ දා මෙන් ම ඈ මුව විවර කර ඔහුගේ සංග්‍රහය පිළිගත්තාය.

තමා හට මේ දැනෙන්නේ මුල් වරට යුවතියකගේ කැමැත්ත ලැබූ ප්‍රේමවන්ත යෞවනයෙකුට දැනෙනා ප්‍රීතිය විය යුතුයැයි ධනංජය සිතාගත්තේය. හද බැඳි ආදරයකට පෙර යුවතියන් හා වෙනත් අන්දමේ ඇසුරකට හුරුව සිටි ඔහුට මෙබඳු පිවිතුරු හැඟීමක් ඉන් පෙර දැනුණානම් ඒ ද භාග්‍යා නිසාම ය. ශීතල රජයන සිරිපා හිමය පේන මායිමේ පිහිටි ඇගේ නිවහනේදී එම හිමිදිරි උදෑසන ඈ තමාට තුරුළුව නිදා සිටි අන්දම දැකීමෙන් සිතට දැනුණු ආදරය ඔහුට තවමත් මහත් පුදුමයෙකි. හුදු ගනුදෙනුවක ස්වරූපයෙන් සිදු කෙරුණු විවාහය හේතුවෙන් තම ජීවිතයට එකතු වූ මෙම අරුම පුදුම මායාකාරිය තම ජීවිතය උඩු යටිකුරු කරමින් සිටිනා අන්දම ගැනද ඔහු තවමත් පුදුමයෙනි.

කුළුඳුලේ හිත බැඳී ආදරේ
පෙර නොවූ අරුමෙකී ජීවිතේ
නුඹ සොයා පියඹනා සිත මගේ
නවතනූ බැහැ ඉතින් සොඳුරියේ

නන් වනින් පියා සලා සමනලුන් තොසේ
බැලූ බැලූ අතේ පිපී කුසුම් සිනා සැලේ
කුරුළු තුඩ'ග නිබඳ මියුරු ගී කතා ඇසේ
දුටිද නන් සොබා වැනුම් මෙ නුඹ නමින් මැවේ

නෙත් අගින් බලා මිහිරි සිනහ පා මුවේ
තෙලිතුඩින් මවා සිහින පණ පොවන රඟේ
රන් රුවින් දිලෙන තරු මට කුමටදෝ ළඳේ
ගගන එකළු කළ සඳමිණ නුඹ සදා මගේ


366. සාහිත්‍යය හා පරිකල්පනය...


පහුගිය සති අන්තයේ මං හා හා පුරා කියලා බරපතල වැඩක් කළා. මං ඉගෙනගත්ත පාසලේ ආදි ශිෂ්‍ය කමිටුවේ පුස්තකාල අනු-කමිටුවෙන් 'සාහිත සියපත්' කියලා සාහිත්‍යයට සම්බන්ධ ආදි ශිෂ්‍යාවන්ගේ සම්පත් දායකත්වයෙන් මාර්ගගත වැඩසටහන් මාලාවක් කරනවා. ඒකේ මුල්ම වැඩසටහන කළේ අපේ හෙල්මලී අක්කා. දෙවෙනි වැඩසටහන කරන්න ආරාධනා ලැබුණේ මට. මං කතා කළේ 'සාහිත්‍යය සහ පරිකල්පනය' ගැන. ඒ කාරණා දෙක පදනම් කරගෙන මූලික කාරණා කිහිපයක් කතා කරලා මම සාහිත්‍ය ශානර අතරින් පරිකල්පනය වැඩිපුරම යොදාගැනෙන 'ෆැන්ටසි ශානරය' ගැන මම දන්න දේ සහ 'එකෝමත් එක කාලයක' කතා මාලාව ගොඩනගද්දී මුහුණදීපු මගේ අත්දැකීම් එකතුකරගෙන කතා කළා. මේ පහළින් තියෙන්නේ මං ඉදිරිපත් කරපු presentation එක convert කරලා හදපු video එක. පැය එකහමාරක් විතර කතාකරපු ඔක්කොම හෑලි ටික මෙතන නැහැ ඉතින්. ඒ වුණාට දළ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.  




365. Third Person Limited Point of View

 


Third Person Limited Point of View (ප්‍රථම පුරුෂ සීමිත දෘෂ්ඨි කෝණය).

පාසල් කාලයේදී පටන් අසා තිබෙන උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණ අතර මේ නම එතරම් හුරු පුරුදු නැති වුවත්, මෙම ආඛ්‍යාන රටාවෙන් ලියැවුණු කෘතිනම් ඔබ ඕනෑතරම් කියවා ඇති. 

ප්‍රථම පුරුෂ ආඛ්‍යාන රටාවෙන් කෘතියක් රචනා කරන්නට පුළුවන් ආකාර දෙකක් තිබෙනවා; එකක්, සියල්ල දන්නා, සියල්ල දකිනා Third Person Omniscient Point of View, අනිත් එක තමයි මම අද විස්තර කරන්නට බලාපොරොත්තු වන Third Person Limited Point of View. මෙය ඇතැම් තැනක 'Indirect Internal Narrative' ලෙසින්ද හැඳින්වී තිබෙනවා මම දුටුවා. මෙතනදී විශේෂත්වය වන්නේ කතාව ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථම පුරුෂ ආඛ්‍යාන රටාවට අයත් ඔහු, ඇය, ඔවුන් ආදී වශයෙන්, නමුත් තෝරාගත් එක් ප්‍රධාන චරිතයකට (හෝ කිහිපයකට) ඉතාමත් සමීපව වීම. පාඨකයාට දැනගන්නට ලැබෙන්නේ එම දෘෂ්ඨි කෝණයට අයත් චරිතය දකිනා සහ දන්නා දේවල් පමණයි. ඔහුගේ හෝ ඇයගේ දැනුමින් පරිබාහිරව කතා සන්දර්භය තුළ සිදුවන කිසිවක් පාඨකයාට දැනගන්නට ලැබෙන්නේ නැහැ. සෙසු චරිතවල හැඟීම් සහ සිතුවිලිවලට පිවිසෙන්නට පාඨකයාට අවසරයක් ලැබෙන්නේත් ප්‍රධාන චරිතය එම කාරණා නිරීක්ෂණය කරන ආකාරය මත පමණයි. 

මෙම සීමිත බව නිසා කතාන්දරයක කුතුහලය උපරිමයෙන් රඳවාගන්නට විශාල පහසුවක් කතුවරයාට ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන චරිතයට සමීපව කතාන්දරය දිගහැරීමෙන්, එම චරිතය තුළ සිතුවිලි හා හැඟීම් ඝට්ටනය වන අන්දම පුළුල්ව ගෙන හැර පෑමෙන් පාඨකයාට එම චරිත පිළිබඳව ප්‍රබල සහකම්පනයක් දැනෙනවා. එය කතාන්දරය වඩාත් සංවේදීව රසවිඳින්නට පාඨකයාට ප්‍රයෝජනවත් වෙනවා.

Third Person Limited දෘෂ්ඨි කෝණයෙන් ලියවුණු, මට මේ මොහොතේදී සිහිපත් වන දැවැන්තම නිර්මාණයක් තමයි George R. R. Martin ගේ ‘A Song of Ice and Fire’ කතා මාලාව. එහි පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට එක් එක් චරිත විසින් කතාන්දරය ගෙන එන්නේ මේ කියූ දෘෂ්ඨි කෝණයෙන්. පරිච්ඡේදය ආරම්භයේදී එය ගෙන එන්නේ කවරෙකුගේ දෘෂ්ඨි කෝණයෙන්ද කියා සඳහන් කොට තිබෙන නිසා පාඨකයාට පටලැවීමක් සිදුවන්නේ නැහැ. කතුවරයාගේ දැවැන්ත මනඃකල්පිත මවාපෑම තුළ පුළුල් පරාසයක විහිදෙන මේ කතා මාලාවට ඔහු චරිත බොහොමයක දෘෂ්ඨි කෝණ ඈඳාගෙන තිබෙනවා. ඒ සියල්ල සමබරව කතාන්දරය තුළ රඳවාගන්නට තරම් ඔහු අති දක්ෂයෙකු බව අප සියල්ලන්ම දන්නවානේ.

පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මෙම Third Person Limited Point of View යොදාගැනුණු තවත් අවස්ථාවක් තමයි මම පරිවර්තනය කළ Nicholas Sparks කතුවරයාගේ ‘අවසන් ගීතය’ පොත. එහි සිටිනා චරිත බොහොමයක් අතුරින් කතාන්දරය ඉදිරිපත් කෙරෙන්නේ එකිනෙකට වෙනස් චරිත හතරක් හරහා. රොනී - දහ හත් වියැති විප්ලවකාරී සිතුවිලි හා ගතිපැවතුම් ඇති යුවතියක්, විල් - කාරුණික හා ඉවසිලිමත් ගති පැවතුම් ඇති තරුණයෙක්, ස්ටීව් - මුහුකුරා ගිය දැක්මකින් සියල්ල දකිනා රොනීගේ පියා, මාර්කස් - දඩබ්බර ප්‍රචණ්ඩකාරී තරුණයෙක්. මේ එකිනෙකා ගෙන එන පරිච්ඡේද තුළදී ඒ එකිනෙකාගේ සිතුවිලි අභ්‍යන්තරයට එබී බලන්නට පාඨකයාට ඉඩ ලැබෙනවා. එම සිතුවිලි තුළ ඇති විවිධත්වය, එම පරිච්ඡේද තුළදී භාවිතා වන වචනවල මටසිළුටු බව හා ගොරහැඩි බව අතර වෙනස ආදිය මගින් පාඨකයාට ඒ එකිනෙකක් චරිත හා සමපාත වන්නට කතුවරයා ඉඩ ලබා දී තිබෙනවා. මේ එම පරිවර්තනයේ විල්ගේ පරිච්ඡේදයකින් උපුටාගත් එක් ඡේදයක්:

//

විල් සිය ගමන් වේගය වැඩි කරන අතරේ කුඩා දරුවෙකුගේ හැඬීමක් යාන්තමින් ඔහුට ඇසුණි. සෙනග අතරින් මිදී කවය තුළට පිවිසි ඔහු ලාන්ස් වෙතට හැරුණු මොහොතේ එක් වරම කොහේදෝ සිට ගැහැනු ළමයෙකු එතැනට කඩා පාත් විය.

"නවත්තනවා ඕක!" ඇය දෑත් විහිදුවමින් කෑ ගැසුවාය. "ඔය හැමෝම! දැන්මම නවත්තනවා ඕක!"

//

මේ පරිච්ඡේදයට පෙර රොනීගේ සහ ඇගේ පියාගේ පරිච්ඡේද පසු කර පැමිණි නිසා මෙම ගැහැනු ළමයා කවුරුන්ද කියා පාඨකයා දන්නවා. නමුත් විල් තවමත් ඇගේ නම නොදන්නා නිසා, එතෙක් ඔහුගේ පරිච්ඡේද තුළ ඈ හැඳින්වෙන්නේ එම ගැහැනු ළමයා, දම් පැහැ කෙස් රොදක් ඇති ගැහැනු ළමයා ලෙසින්. 

මේ Third Person Limited දෘෂ්ඨි කෝණ ආඛ්‍යාන රටාව එක්ක මගේ තියෙන අත්දැකීම තව දුරටත් පුළුල් වුණේ 'හද වෙණ සත්සර' නවකතාව එක්ක. මේ කතාව, මින් අවුරුදු හතරකට කළින් මං මුළින්ම ලිව්වේ උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන්, කතාකරන භාෂාවෙන්. ඒ කතාකරන භාෂාව ඇතුළේ තිබුණේ බොහොම සැහැල්ලු, ඉංග්‍රීසි - සිංහල මිශ්‍ර වුණු සරල ආඛ්‍යානයක්. කතාවේ ප්‍රධාන කාන්තා චරිතය වුණු අමන්දිගේ චරිත ස්වභාවය අනුව ඇගේ සිතුවිලි ඝට්ටන උත්තම පුරුෂයෙන් ගෙන එන්න වුණේ මට ඒ විදිහට. ඒත් ඒක කෘතියකට සුදුසු බවක් මට දැනුණේ නැහැ. ඒ නිසා මම කතාන්දරය උත්තම පුරුෂයෙන්ම ලිඛිත භාෂාවට ගේන්න උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ, ලියන මට ම එතන දැනුණේ මහා කෘත්‍රිම බවක්. ඒ නිසා ඒ උත්සාහය අත් ඇරලා ආයෙ කාලෙකට පසුව මම කතාන්දරය මුළ ඉඳන් ලියන්න පටන්ගත්තා ප්‍රථම පුරුෂයෙන්, නමුත් ඇගේ සිතුවිලි ඝට්ටනයට හානි නොවෙන විදිහට. එතනදී මගේ අතින් ලියවුණු ස්වභාවයේ වෙනස මට දැනුණා. ඒ ගැන වැඩිදුර විස්තර සොයා බලද්දි තමයි මට අන්තර්ජාලයේ Third Person Limited Point of View යෙදුමත්, ඒ ගැන ලියවිලා තියෙන න්‍යායාත්මක තොරතුරුත් දැනගන්නට ලැබුණේ. ඒ වගේම ඒ ආකාරයෙන් ලියවිලා තිබුණු අනෙකුත් කෘති ගැන සිහිපත් වුණේ. ඉතින් මම 'හද වෙණ සත්සර' මුළු කතාන්දරයම ආපහු ලිව්වා. කතාන්දරයට 'හද වෙණ සත්සර' කියන නම යෙදුවේ ම හදවත තුළ ඇතිවෙන විවිධාකාරයේ කම්පනයන් එක්ක අපි ගැටෙන විදිහ නිරූපණය කරන කතාන්තරයක් නිසා. ඒ නිසා ඒ හැඟීම් සහ සිතුවිලි තාත්විකව පාඨකයා වෙත ගෙන එන එක මගේ යුතුකමක්. කෘතිය දිගහැරෙන්නේ වෙණ වැයුම් එහෙමත් නැත්නම් කොටස් තුනක් ලෙසින්. මුල් කොටස් දෙක කියවෙන්නේ අමන්දිගේ දෘෂ්ඨි කෝණයෙන්. තුන්වෙනි කොටස කියවෙන්නේ ඇගේ හදවත සොරාගත් තැනැත්තාගේ දෘෂ්ඨි කෝණයෙන්. මේ අවුරුද්දේ මුළ පොතක් විදිහට ඔයාලා අතට ලැබුණේ අන්න ඒ කතාන්දරය. එහි සෝදුපත් පරීක්ෂා කරපු Chandika Abeywickrama සොහොයුරා සමග දුරකතනය හරහා ඒ ගැන ඇතිවුණු වාද විවාද සංවාද සමග මගේ ඒ අත්දැකීම තවත් පුළුල් වුණා. මේ එම කෘතියෙන් උපුටාගත් කොටසක්:

//

එම මැටි මෝල් මුහුණ වෙතින් ඉවතට හැරෙනා විටද තමා ඔරවාගෙන සිටි බව ඇයට මතකය. 

"ඔයාට තේරෙනවද මං කියන දේ?"

ඒ හතරබීරි කතා කිසිවක් ඇයට වැටහෙන්නේ නැත. නමුත් නොවැටහෙන බව පැවසුවහොත් ඔහු තවදුරටත් පැහැදිලි කරන්නට පටන්ගනු ඇත. ඒ වනවිටද ඔහුගේ දෙකන් දුම් දමන තරමට රතු වී තිබුණි. ඇගේ මුහුණ දුම් පමණක් නොව ගින්දරද පිට වන තරමට රතු වී තිබුණි. "ඔව්," ඇය පිළිතුරු දුන්නාය.

//

අමන්දිගේ අභ්‍යන්තර සිතුවිලිවලට අනුව එතැන සිටින්නේ හතරබීරි කතා දොඩනා මැටි මෝලෙකි. මෙම කොටස සාමාන්‍ය ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කෙරෙනවාට වඩා සමීප බවක් පාඨකයාටත්, උත්තම පුරුෂයෙන් ඉදිරිපත් කරනවාට වඩා යම් පාලනයක් කතුවරයා ලෙසින් මටත් මෙතනදී ලැබෙන බවක් මට දැනෙනවා.

මෑතකදී මගේ අතින් සයිබර් අවකාශයේ ලියැවුණු 'සිනහ වෙනු මැන වේදනා පිස දා' කතාන්දරයේදීත් පාඨකයාට මේ අත්දැකීම ලැබුණා. එතනදී මුළු කතාන්දරයම ඉදිරිපත් වුණේ භාග්‍යා නමැති තරුණ චිත්‍ර ශිල්පිනියගේ Third Person Limited දෘෂ්ඨි කෝණයෙන්.

//

"මොකද කියන්නේ? කැමතිද?" බංකුවේ අනෙක් පසින් ඇසුණු හඬින් ඇගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. භාග්‍යා හිස හරවා ධනංජය දෙස බැලුවාය. ඔහුද ඈතින් දිස්වන සිරිපා කඳුවැටිය දෙස නෙතු යොමාගත්වනම බර කල්පනාවකය. සේනාධීර පවුල කෑගල්ලේ වත්පොහොසත්කම් ඇති ව්‍යාපාරික පවුලකි. ධනංජය එකම පුත්‍රයාය. ඔහුගේ බාල සොහොයුරිය විවාපත්ව විදෙස්ගතව ඇත. පියා විසින් අධිපතිත්වය දරන ඇඟලුම් ව්‍යාපාරයේ කොළඹ ශාඛාවේ සහය කළමනාකරු ලෙස සේවය කරමින් ධනංජය කොළඹ දිවි ගෙවන්නේ තනිවම ය. එතෙක් කල් භාග්‍යාගේ සිත පැහැරගත් කිසිවෙකුගේ අසළකින්වත් ඔහු තැබිය නොහැක. තළෙලු පැහැ ගත් මුහුණ මැද වූ නාසයේද සුළු ඇදයක් ඇති බව භාග්‍යා දුටුවාය. රැවුල් ගසක් හෝ නොමැති මුහුණේ වූයේ ළදරු පෙනුමකි. ඔහු ඇඳ සිටි දම් පැහැ කමිසය ද ඔහුගේ පෙනුමට නොගැලපෙන බවක් ඇයට හැඟුනි. 

//

කතාව ආරම්භයේදී ඇගේ සිත තුළින් ධනංජය නමැත්තා පිළිබඳව පිළිබිඹු වන මෙම නොපැහැදීම කතාව අවසානය දක්වා ගලා යන අතරේ කෙමෙන් වෙනස් වන අන්දම කොටසින් කොටසට මගේ ආදරණීය පාඨකයන් අත්විඳි ආකාරයත්, අවසානය තෙක් ම ඔවුන් කුතුහලයෙන් පෙලුනු අන්දමත් මම හොඳින්ම දුටුවා. 

ස්තුතියි මේ දිග විස්තරය කියෙව්වාට. මේ බෙදාගත් මගේ ලේඛන අත්දැකීම්වලින් ඔබේ දැනුමට යමක් එකතු වූවානම් එය මට ලොකු සතුටක්. 💗


Some useful links:

https://blog.reedsy.com/guide/point-of-view/third-person-limited/

https://www.helpingwritersbecomeauthors.com/how-to-use-paragraph-breaks/



364. පොඩි ඇඩ් එකක්... :D

 


නුවර බලා දිවෙන ශීඝ්‍රගාමී දුම්රිය පදික වේදිකාව අසල නතර කළ මොහොතේදී මව්පියන්ට වැඳ සමුගත් අමන්දි එයට ගොඩවූවාය. ගමන් ඇරඹූ දුම්රිය ඈතට ඇදී යන අතරේ නැවතුම්පොළේ බලා සිටිනා මව්පියන් දෙස නෙතු යොමා සිටිනා විට ඇගේ සිත පිරී තිබුණේ මිශ්‍ර හැඟීම් සමුදායකිනි. කැදැල්ලක් තුළ මව්පිය තුරුල්ලේ කා බී හැදී වැඩෙනා කුරුලු පැටවුන් දිනෙක කැදැල්ල කෙළවරට පැමිණ එතෙක් දුටු නිල් අහසත්, සෙවණ දුන් මව් ශාකයේ අතු පතරත්, මව්පිය සොයුරු සොයුරියන්ගෙන් යුතු පවුලත් හැරෙන්නට බොහෝ සුවිසල් වූ ලෝකයක් ඇති බව දැකගන්නා සැටි ඇය සිහිපත් කළාය. එම සුවිසල් ලෝකය දැකගන්නට නොඉවසිල්ලෙන් ඔවුන් වැටි වැටී පියාසර කරන්නට තැත් දරනා අන්දම ඇය සිහිපත් කළාය. තමා තටු ගැසිය යුතු කල් එළැඹ ඇත්දැයි, නැතහොත් තවමත් නිසි කල් එළැඹ නැත්දැයි සිතාගත නොහැකිව ඇය දුම්රිය කවුළුවට හිස තබාගෙන වේගයෙන් පසුපසට ඇදී යන ගස් කොළන් සහ මංමාවත් දෙස බලා සිටින්නට වූවාය.

[පිටුව 29]

***

"මෙච්චර සීදේවි දැරිවියෙක් එක්ක එකට වැඩ කරන බවක් පුතා අපට නිකමටවත් කිව්වෙ නැහැනේ?" මව සම්පත් වෙත එල්ල කළ චෝදනාව හේතුවෙන් අමන්දි රත් පැහැ ගැන්වුණද, "එයාගෙ නම සීදේවි නෙවෙයි, අමන්දි!" යැයි ඔහු රථය පදවන අතරේම සුපුරුදු බැරෑරුම් ස්වරයෙන්ම පිළිතුරු දුන්නෙන්ද, නිර්මාල් උගුර යටින් හිනැහෙන හඬ ඇසුණෙන්ද ඇය නැවතත් යථා තත්ත්වයට පත් වූවාය.

"දෝණිගේ ගම් පළාත් කොහෙද?" මව ඇගෙන් විමසා සිටියාය.

"මං ඉන්නේ ඇඹුල්දෙණියේ අම්මේ. කොළඹමයි..." අමන්දි පිළිතුරු දුන්නාය.

"එහෙමනං ඉතිං ගමේ දුවන්ට කියලා වුවමනාවක් නැහැනේ. අපේ පුතාටනං දැන් සති ගාණකින් ගෙදර එන්ට මතක්වුණේ නැහැ. ඒකයි මේ මංම ආවේ ඇවිත් බලලා යන්ට කියලා!"

"එහෙම එන්න ඕනෙ නෑනේ. මං කිව්වනේ මං එනවා කියලා!" සම්පත් පිළිතුරු බැන්දේය.

"අද එයි හෙට එයි කිය කිය සති ගාණක් තිස්සේ බලා ඉඳලා තමයි මේ ආවේ! අප්පච්චිටත් එන්ට හැටියක් තිබුණානං එනවා. ඒත් මාන්සි වෙන්ට හොඳ නැහැනෙ."

"ඉතින් අප්පච්චි මහන්සි වෙන්න ඕනෙ නෑ. අම්මත් මෙහෙම තනියම එන්න ඕනෙ නෑ!" මවගේ මෙම ගමන ගැන සම්පත්ගේ එතරම් කැමැත්තක් නොමැති හැඩය. "එන්න බැරිවුණේ ඉතින් මට වැඩ තිබුණ හින්දානේ. මං හැමදාම දවසට කී සැරයක් කතා කරනවද? පුළුවන් වෙච්ච ගමන් එනවා කිව්වනේ. අර අසිතයාව මට අහුවෙච්චදෙන්කෝ. අම්මාව කෝච්චියට නග්ගනකල් ඌට බැරිවුණා මට පණිවිඩේ දෙන්න!"

ඔහුගේ එම දිගු නෝක්කාඩුව අතරේ සිය ගමන් මල්ල තුළින් පාර්සලයක් අතට ගත් මව හිනැහෙමින්ම එය දිග හැර එහි වූ වැලිතලප කොටස් තුනකට බෙදා නැවතත් ප්‍රවේශමට එතුවාය. "මමයි අසිත පුතාට කිව්වේ උඹට වේලපහින් දන්නන්ට එපාය, මංම ගොහින් ගම රට අමතක වෙලා තියෙන හොරේ හොයාන එන්ට ඕනෙය කියලා!"

"මගෙ හොයාගන්න ඇති හොරයක් නෑ. ඔය මොකද ඔය මට ගෙනාපුවා මේගොල්ලන්ට බෙදන්නේ?" මව වැලිතලප පාර්සල් දෙකක් නිර්මාල් හා අමන්දි අත තබනු දුටු සම්පත් වහා විමසුවේය.

"උඹට මොකවත් ගෙනාවෙ නෑ. මේ ඉතිරි ටික දෙන්නේ උඹේ බෝඩිමේ පහළ ගෙදර අර පොඩි එකාට!"

[පිටුව 73]

***

හදිසි ඇමතුම් අංකය!

ඇයට සිහිපත් විය. හෙමින් සීරුවේ නැවත සිටගත් අමන්දි ගෙවුම් කාඩ්පත ඇතුළත් කොට 119 අංකයට ඇමතුමක් ලබාගන්නට උත්සාහ කළාය. දුරකතනයක් නාද වන හඬක් ඇසුණේ නැත. සියලුම රටවලට ඇත්තේ එකම හදිසි ඇමතුම් අංකයක් නොවේද? ඇය දන්නේ නැත. සියලු හදිසි ඇමතුම් අංක ඇතුළත් කොට විශ්ව විද්‍යාලයෙන් ලබා දී තිබූ කාඩ්පත පවා තිබුණේ ඇගේ ජංගම දුරකතනයේ කවරය තුළය. නිකමට හෝ එදෙස බලා එහි අංකයක් දෙකක් මතකයේ තබාගත යුතුයැයි ඇයට කිසිදාක සිතී තිබුණේ නැත. ඈ දැන සිටියේ ශ්‍රී ලංකාවේ හදිසි ඇමතුම් අංකය 119 බව පමණි. එය දුරකතන කුටිය තුළ හෝ කොතැනකවත් අලවා ඇත්දැයි ඇය පිරික්සා බැලුවාය. දකුණුපස බිත්තියේ කුමක් හෝ දැන්වීමක් අලවා තිබුණද, සිහිසුන් වන්නට ආසන්න තත්ත්වයක සිටි ඇයට ඒ අන්ධකාරය තුළ එය පැහැදිලිව දැකගන්නට හැකියාවක් තිබුණේ නැත. කුටිය තුළ කොතැනක හෝ විදුලි පහනක් ඇති වුවද එය දල්වාගැනීම අනතුරට අත වැනීමක් වනු ඇති බව ඇය දැන සිටියාය. දැන්වීම බිත්තිය මතින් ගලවාගත් ඇය එය දුරකතනයේ අංක පුවරුව වෙතින් නික්මෙන මන්දාලෝකය වෙතට ආසන්න කළාය. සිය අතෙහි වූ කඩදාසිය දෙස බලා සිටිනා අතරේ එතෙක් සිරවී තිබූ කඳුළු කැට ඇගේ දෑසින් කඩා හැලෙන්නට විය. එහි අංක පෙළක නම් මුද්‍රණය වී තිබිණි. නමුත් එම නම් ඉදිරියේ වූ අංක පෙළම කවුරුන් හෝ නොසණ්ඩාලයෙකු විසින් අඳුරු තීන්තයකින් මකා දමනු ලැබ තිබිණි.

[පිටුව 174]

***

ඒ මොහොතේ හමා ආ සුළඟ හේතුවෙන් ඔවුන් අසල වූ ගසේ අතු තාලයකට සෙලවෙන්නට වූ අතර සම්පත් හිස හරවා එදෙස බැලුවේය. එක්වරම අමන්දිගේ උගුරේ සිර වී සිටි සමනලුන් නැවත පහළට බැස පියාසරන්නට පටන්ගත් අතර සම්පත්ට තබා ඇයට හෝ කිසිවක් සිතාගන්නට ඉඩක් ලැබෙන්නට පෙර අමන්දි ඔහු වෙත ළං වී පා ඇඟිලිවලින් එසවී ඔහුගේ කම්මුලකට කුඩා හාදුවක් පිරිනැමුවාය. අනතුරුව නැවත පසුපසට වී වෙව්ලමින් බිම බලා සිටියාය.

ඈ මේ සිදු කළේ කුමක්ද? දැන් ඈ ඔහුගේ මුහුණ බලන්නේ කෙසේද? ඇයට එතැනින් පැන දුවන්නට වුවමනා වුවද සිය දෙපා සොලවාගන්නට නොහැකි විය. එවර ඔහු ඈ වෙත පියවරකින් ආසන්න වූවේය. අමන්දි පොළොව තුළට ගිලා බැස  හෝ සැඟවෙන්නට නොහැකිදැයි ළතැවෙන්නට වූවාය. ඔහු ඇගේ නිකටෙන් අල්ලා හිස ඉහළට එසවූවේය. ඔහු දෙස බලන්නට දිරියක් නොමැති වූවෙන් ඇය දෑස් තද කර පියාගත්තාය.

"අමන්දි..."

එවැනි ස්වරයකින් ඔහු ඉන් පෙර කිසිදා ඈ  අමතා නැත. තමාගේ පපුව ගැහෙනා හඬ ඔහුටද ඇසෙනවා ඇත්දැයි සිතමින් ඇය සන්සුන් වන්නට උත්සාහ කළාය.

"අමන්දි..."

තවදුරටත් එලෙස හිඳින්නට නොහැකි වූයෙන් ඇය දෑස් විවර කළාය.

"ගේට්ටුව ළඟ සෙකියුරිටි බලාගෙන ඉන්නවා..."

අමන්දි අන්දමන්ද වූවාය. එතරම් අපහසුවෙන් ඔහු පවසන්න අසන්නට සිත සූදානම් කරගත් පසු ඔහු කියූ දෙය! ඈ සිදු කළ දෙය ආරක්ෂක නිලධාරියාද දකින්නට ඇත්ද? වස ලැජ්ජාවකි! ඇය හිස හරවා ගේට්ටුව දෙස බැලුවාය.

පුදුමයකි! එහි කිසිවෙකුත් නැත.

එක්වරම ඇගේ වම්පස කම්මුලට ගිනි ඇවිළුණි!

[පිටුව 296]







319. හද වෙණ සත්සර...




පාසල් වියේදී මා ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍යය හදාරමින් විදග්ධ සාහිත්‍යධරයන්ගේ එම අරුමැසි මායාවෙන් වශී වන්නට ඇත. අංකුර මටසිළිටි කවි කතා ලියමින් තුටු වන්නට ඇත. මා ලියනා දෑට පෙම් බැඳි මිතුරු සිත් නිසාවෙන්, ඇගැයුම් පිරිනැමූ ගුරු මව්පියවරුන් නිසාවෙන් විටෙක මාගේ දෑස් දිලිසෙන්නට ඇත. එලෙස මෝදු වූ සාහිත්‍යයට බැඳි ඇල්ම මාගේ සිත පතුළේ අක්මුල් විහිදුවමින් ඇදී යන්නට පටන්ගත්තේ ඉන් බොහෝ වසර ගණනකට පසුව ය.

ඒ මා බ්ලොග්කරණයට පිවිසීමෙන් පසුව ය. ජීවිතයේ මුල්වරට, නොදන්නා සිත් - අකුරට පෙම් බැඳි අපූර්ව වූ සිත් - ඇසුරු කරමින් නිදහසේ මාගේ ඇඟිලි තුඩු අගින් අකුරු ගලාහැලෙන්නට ඉඩ හැරීමෙන් පසුව ය.

මා ගොතනා බොහෝ නිර්මාණවල පළමු පාඨක පෙළ මාගේ බ්ලොග් සහෘදයන් වන ඔබ ය. ඔබගේ අදහස් හා යෝජනා මතින් මා ලද චිත්තප්‍රීතිය මෙතෙකැයි කිව නොහැක. එළැඹෙන 20 වැනිදා, ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් ග්‍රන්ථ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙන 'හද වෙණ සත්සර' කතාන්දරය ද මින් වසර ගණනකට එපිටදී මුළින් ම කියැවූයේ ඔබ ය. එතැනදී එම කතාන්දරය ආදරයෙන් වැළඳගත් ඔබ සැම, මෙය කෘතියක් ලෙසින් එළි දැක්වීමට මා සිත් යොමු කළ පළමු දයාබරත්වයයි.

එකී සමාරම්භය සනිටුහන් කළ ලෙසින්ම, කෘතිය ප්‍රකාශකයන් වෙත භාරදීමට ප්‍රථම කතාන්දරයේ ගුණාත්මක බව හා යථාර්ථවාදී බව සුරකිමින් එය සුමට කරගැන්මට ද මා කිසිදා හැබැහින් නොදුටු මාගේ බ්ලොග් සහෘදයින් වෙතින් ලද සහය කියා නිම කළ නොහැක. ආදරණීය ජනූ අක්කා සහ බුරතීනෝ (බුරම්පි අයියා 😊) එහි ලා වෙසෙසින් සිහිපත් කළ යුතුය.

එසේම, එදා මෙදා තුර මා හා අත්වැල් බැඳගෙන සිටිනා, බ්ලොග් ලෝකයේ මාගේ පවුල ලෙසින් මා සලකන, අන්දර මල්දමේ මා හා එක්ව කතා ගෙතූ රවි අයියා, රන්දිකා අක්කා, (නැවතත්) ජනූ අක්කා, (ආගිය අතක් සොයාගන්නට නැති 😠) අමා සහ පොඩි කුමාරිහාමී සොයුරු සොයුරියන් ද මෙහිදී ආදරයෙන්, සෙනෙහසින් සිහිපත් කරමි.

ඉදින්, 'හද වෙණ සත්සර' එළැඹෙන 20 වැනිදා පටන් ඔබගේ ම වනු ඇත. සැමදා මා වෙත දිගු කෙරෙන ඔබගේ ළබැඳි සහෘදත්වය වෙනුවෙන් මාගේ හද පිරි කෘතඥතාවය පළ කරන අතරේ ම, හැකිනම් පොත ද අතට ගෙන කියවා බලන්නට සෙනෙහෙ සිතින් ඇරයුම් කරමි. 💗💗💗

පෙර ඇණවුම් කිරීම සඳහා පිවිසෙන්න:
https://grantha.lk/handa-wena-sathsara-muditha-lakmini-wendabona-grantha.html








318. නමක් නැති කතාවක්...

කොහොම ලියවෙයිද කියලා තවම දන්නේ නැති, නමක් ගමක් නැති කතාවක සංස්කරණය නොකළ පළමු පරිච්ඡේදය. 😊😊😊



මේක තමයි වෙලාව... ගංගාගේ සිත් කොණක් ඇවිලෙන්නට විය. 

ඈ පසෙකින් සිමෙන්ති බංකුව මත හිඳ සිටිනා සපිරිවරින් ඈ දකින්නට එදින පැමිණි යෝජිත මනාළයා වූ ධනංජය විසින් ඈ හමුවේ දිග හැරි මහා දිග කතාන්දරයට සවන් දීමෙන් අනතුරුව ඇයට හැඟුනේ එලෙසිනි. මේක තමයි වෙලාව...

ඇයට විවාහ වන්නට කිසිදු වුවමනාවක් හෝ අදහසක් හෝ සිත් අහළකවත් නොවීය. විසිහතර හැවිරිදි යුවතියකට විවාහ වන්නට පෙර කරන්නට තවත් බොහෝ දෑ ඇති බව ඇගේ නිගමනය විය. එම ප්‍රඥාවන්ත නිගමනයට එළැඹෙන්නට කලෙකට පෙර ඈ පාසල් වියේදී එක් කඩවසම් ඉලන්දාරියෙකුට සිතින් පෙම් කළ බව සැබෑය. එම පෙම් කුසුම ඇගේ සිත තුළම ඉපිද, විකසිතව අවසන නිහඬව මිලිනව ගිලිහී වැටී යාමෙන් අනතුරුව තවත් ඒක පාර්ශවීය ප්‍රේමයන් ගණනාවක් වරින් වර ඇගේ යොවුන් සිත කොණිති ගසන්නට සමත් වූ බවද සැබෑය. 

අවසන ඈ සිය පළමු ප්‍රේමවන්තයා දැන හඳුනාගත්තේ සරසවි භූමියේදී ය. සිය කැමැත්ත කලා විෂයයන් කෙරෙහි වුවද, පියාණන්ගේ හා සුළු මවුන්ගේ අනුබලය මත උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් හැදෑරූ ගංගා, යාන්තමින් සබරගමු සරසවියේ කෘෂි විද්‍යා පීඨයට පිවිසුම් ලබන්නට සමත් වූවාය.  ඒක පාර්ශවීය ප්‍රේම කතාන්දර ගණනාවකට පසු ඈ පළමුවරට සැබෑ ප්‍රේමයකට මුළ පිරුවේ එහිදී හමු වූ සුනෙත් සමගය. ගංගාගේ ප්‍රියතම හින්දි නළුවාගේ දෑසට සමාන නෙත් යුවළක් ඔහු සතු විය. එනමුදු එය නිමා වූයේ එම නළුවා රඟපෑ සිනමාපටවල මෙන් සුඛාන්තයක් ලෙසින් නොව මහා ඛේදාන්තයක් ලෙසිනි. ඇය ඇගේ කුළුඳුල් ප්‍රේමයට පමණක් නොව සිය සරසවි දිවියට ද සමු දී ගෙදර පැමිණියාය. ඇගේ අත ගෙන ඇවිද ගිය මං මාවත් ඔස්සේ ම ඔහු තවත් එකියකගේ අත ගෙන ඇවිද යන අන්දම දකින්නට නොකැමැති වූ ඇයට නැවත එහි පා තබන්නට සිත එකඟ කරගන්නට නොහැකි විය.

"මොකද කියන්නේ? කැමතිද?" බංකුවේ අනෙක් පසින් ඇසුණු හඬින් ඇගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. ගංගා හිස හරවා ධනංජය දෙස බැලුවාය. ඔහුද ඈතින් දිස්වන සිරිපා කඳුවැටිය දෙස නෙතු යොමාගත්වනම බර කල්පනාවකය. එතෙක් කල් ඇගේ සිත පැහැරගත් කිසිවෙකුගේ අසළකින්වත් ඔහු තැබිය නොහැක. තළෙලු පැහැ ගත් මුහුණ මැද වූ නාසයේද සුළු ඇදයක් ඇති බව ගංගා දුටුවාය. රැවුල් ගසක් හෝ නොමැති මුහුණේ වූයේ ළදරු පෙනුමකි. ඔහු ඇඳ සිටි දම් පැහැ කමිසය ද ඔහුගේ පෙනුමට නොගැලපෙන බවක් ඇයට හැඟුනි. ඇගේ නිහඬ බව හේතුවෙන්දෝ ධනංජය ඈ දෙස බැලුවේය. "ඒක අපි දෙන්නාටම ගැලපෙන විසඳුමක්. මොකද කියන්නේ? කැමතිද?" පිළිතුරක් ගලපාගන්නට පෙර ගංගාගේ සිත නැවතත් අතීතය බලා දිව ගියේය.

මොකද කියන්නේ... කැමතිද... එම වදන් පෙළ ඉන් පෙර ද අයෙකු ඇගෙන් විමසා ඇත. 

විරහ වේදනාවෙන් තැවෙමින් නිවසේ මුළුගැන්වී හූල්ලමින් සිටි ඈ කිසිවෙකුට හෝ විවාහ කර දෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඇගේ පියා දැන සිටියේ නැත. එම හේතුවෙන් ඇරැඹි මංගල යෝජනා සමය අතරතුර මනාළයින් සය දෙනෙක් ඈ දකින්නට පැමිණියහ. ඉන් දෙදෙනෙකු පිළිබඳව සිය අප්‍රසාදය පළ කිරීමෙන් ද, දෑවැදි ප්‍රමාණවත් නොවූ දෙදෙනෙකුගේ හා හේතුවක් ඉදිරිපත් නොකළ තවෙකෙකුගේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වීමෙන් ද අනතුරුව අවසන එක් යෝජනාවක් දෙපාර්ශවයේම කැමැත්තෙන් සම්මත විය. එනමුදු විවාහ මංගල්‍යයට දින පවා නියම ව තිබියදී එකී මනාළයාගේ දුරාචාරී හැසිරීම් පිළිබඳව කන වැකුණෙන් ගංගාගේ පියා එසැණින් සියලු ලකලැහැස්තිවීම් අහෝසි කර දැමුවේය. ගංගා නැවත අධ්‍යාපන කටයුතු සඳහා යොමු වන්නට සිත එකඟ කරගත්තේ ඉන් පසුව ය. මඟුල්තුලා සෙවීමෙන් ඈ තරමටම හෙම්බත්ව සිටි පියාගෙන් මෙවර ඈ කලාව කෙරෙහි යොමු වීම පිළිබඳව විරෝධයක් එල්ල නොවීය. ඉස්කෝලෙක උගන්නන්න හරි යන්න බැරියෑ, ඔහු ඒ පිළිබඳව ගංගාගේ සුළුමවුන් හා පැවසුවේ එලෙසිනි.

රුවන්පුර කලායතනය ඇගේ සියලු බාධක බැමි සුනුවිසුණු කරලන්නට ඇයට මග පෑදූ තෝතැන්න විය. තෙලිතුඩක තැවරුණු නෙක පැහැති වර්ණ සුදු පැහැති කැන්වසය මත තැවරී මතු කරන රටාවන් වෙත බැඳුනු ඇගේ බාල වියේ අමතකව ගිය ප්‍රේමයක් එහිදී දළු ලා, ලියලා යළි වැඩෙන්නට විය. ජීවිතයේ එතෙක් කිසිදා ලබා නොතිබූ තරම් ඇගයීම්, ප්‍රශංසා ඈ වෙතත්, ඇගේ සිතුවම් වෙතත් ගලා එන්නට විය. ඇගේ සිත පුරා නිදහසත් ප්‍රමෝදයත් රජයමින් තිබිණ. අවසන තමා, තමාව සොයාගෙන ඇති බව ඇය වටහාගත්තාය. නව ශිෂ්‍ය කණ්ඩායමේ පළමු සිතුවම් දැක්ම දා එම කලා ලතාවේ සුපිපි කුසුමන් ඉහළම මිළකට අලෙවි විය. අලෙවි නොකරන බවට සටහන් කොට ප්‍රදර්ශනයට පමණක් තබා තිබූ ඇගේ එක් සිතුවමක් මිළදී ගන්නට ම වුවමනා වූ එක් මැණික් ව්‍යාපාරිකයෙක් එයට ඉහළම ලංසුවක් තැබීය. ඇගේ නොසැලෙන විරෝධය හමුවේ අවසන සිතුවම සඳහා ඇයට අදහන්නට නොහැකි තරම් ඉහළ මිළක් යෝජනා කළ ඔහු ද එදින අසා සිටියේ එම වදන් පෙළ ය. මොකද කියන්නේ? කැමතිද?

ඒ රයන් වනිගසූරිය ය. සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාර ආයතනයක අලෙවි කළමනාකාරවරයෙකු වූ ඔහු රුවන්පුර කලායතනයේ දිගුකාලීන හිතවතෙකු මෙන් ම උද්‍යෝගිමත් පාරිභෝගිකයෙකු ද විය. විදේශිකයෙකු මෙන් පැහැපත් පෙනුමකින් යුතු වූ ඔහුගේ ප්‍රතාපවත් පෞරුෂය ගංගාගේ හදවතෙහි අලුත් තානමක් සුසර කරන්නට සමත් වුවද ඇය සිය හැඟුමන් රහසක් ව ම තබාගත්තාය. ඔහු වෙතින් තමා වෙත යොමු වන සුවිශේෂී අවධානයත්, සැලකුමත් ඇගේ නිරීක්ෂණයෙන් බැහැර නොවූවද එය දිගු දුර සම්බන්ධයක් කරා ගෙන යන්නට ගංගා බිය වූවාය. ඔහු අන්‍යාගමිකයෙකි. ඔහුගේ මව විදෙස් කාන්තාවකි. අවාහ විවාහ කටයුතු සම්බන්ධයෙන් එවන් කාරණා පිළිබඳව බරපතලව සලකන සිය පියාගෙන් එවන් සබඳතාවයකට කිසිසේත් අනුමැතියක් නොලැබෙන බව ඇය දැන සිටියාය. එබැවින් ඇය 'මිස්ටර් රයන්' ආමන්ත්‍රණය වෙනස් කරන්නට ලද අවස්ථා සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළාය.

කලායතනයේ ඊළඟ සිතුවම් දැක්ම සඳහා ගංගා සහභාගි වූයේ සිසුවියක ලෙස නොව එම කලා කවයේ උසස් ඩිප්ලෝමාධාරී වෘත්තිමය සාමාජිකාවක ලෙසිනි. එදින ඇය සිය පියාණන්ට හා සුළුමවුන්ට කලායතනයේ ප්‍රධානීන් මෙන් ම රයන් මහතා ද හඳුන්වා දුන්නාය. සිතුවම් දැක්ම නිම වනතුරු පියා කිසිවක් නොපවසා නිහඬව සිටියද යළි නිවස බලා ගිය සැණින් මහා කලබගෑනිය ඇරැඹිනි. රයන් මහතා ගංගා පිළිබඳව දක්වන සුවිශේෂී ඇඟෑලුම්කම පියාගේ අප්‍රසාදයට හේතු වී ඇත. ඔහු පිළිබඳ තම යටි සිත කෙසේ වුවද පියා සැක පහළ කරනා අන්දමේ කිසිවක් ඔවුන් අතර නොමැති බව ගංගා පවසා සිටියේ මහත් විශ්වාසයෙනි. නමුත් පියාට එය ප්‍රමාණවත් නොවීය. ගංගාගේ කලායතන ගමනට වැටකඩුළු බැඳි ඔහු නැවතත් ඇයට මනාළයින් සොයන්නට පටන්ගත්තේය. එතෙක් කලක් ඇහිරී, සිර වී ගෙවූ ජීවිතයට සිතුවම් කලාවෙන් ලැබුණු නිදහසටත්, ඈ හා ඇගේ නිර්මාණ වෙත ලැබුණු ඇගයුම් මතින් ගොඩනැගුණු ආත්ම විශ්වාසයටත් ලොබ බැඳ සිටි ගංගා ඉන් පෙර කිසි කලෙකත් නොවූ ලෙස හිතුවක්කාර ගති පැවතුම් පළ කරන්නට පටන්ගත්තාය; පියා හා සුළුමවුන් සමග නිරන්තර වාදයන්හි පැටලුනාය; ඇයට වඩා දස වසරකින් හා දොළොස් වසරකින් බාල සොහොයුරා හා සොයුරිය සමග ද අඬදබර ඇති කරගත්තාය. ගංගාට එම නිවහනෙන් පිටමං වන්නට වුවමනා විය; ඉන් මිදී සිය නිදහස සොයා යන්නට, තමාගේම කලාගාරයක් අරඹන්නට වුවමනා විය. නමුත් පියාගෙන් ඇගේ එම කැමැත්තට කිසිදු ඉඩක් නොලැබුණෙන් මනාළයින් සෙවීම යළිත් වරක් ඔහුට ම ඇති වන තුරු ඇය සුපුරුදු පරිදි සිය විරෝධය පළ කරමින්, ඇගේ විරෝධයට පෙර අනෙක් පාර්ශවයෙන්ම ප්‍රතික්ෂේප වීම් පළ වූ විට සතුටුවෙමින් කාලය ගෙවී යන්නට ඉඩ හැරියාය.

සියල්ල උඩුයටිකුරු වූයේ එලෙස පැමිණි පස් වෙනි - ආරම්භයේ පටන් ම ගිණියහොත් එකොළොස්වැනි - මනාළයාගේ ආගමනයද නිශ්ප්‍රභා වූ මොහොතේදී ය. ගංගාගේ පියා රෝගාතුර විය. දින ගණනක් රෝහල්ගතව හිඳ දුර්වලව ගිය ගතින්ද සිතින්ද යළි නිවසට පැමිණි පියා දැකීමෙන් සිය හිතුවක්කාරකම් මඳකට පාලනය කරගත් ගංගා ඔහුට උවටැන් කරන්නට සුළු මවුන්ට සහය වූවාය. යළි තරමක ප්‍රාණවත් බවක් ලැබීමෙන් පසු ඔහු යලිත් ගංගා වෙනුවෙන් මනාළයන් සොයන්නට පටන්ගත්තේය. මෙවර පුවත්පත් දැන්වීම්වලින් නොසෑහී ඔහු කපු මහතෙකුද ගෙන්වාගත්තේය. පියා ගිලන් වන්නට තමා ද හේතුවක් වීදැයි සිතින් තැවෙමින් උන් ගංගා නැවත මනාළයන් ප්‍රතික්ෂේප කරන්නට සිත දිරි ගත නුහුණුව තම සිහිනය අත් හැර දමා නන්නාඳුනන නිවසක බිරිඳක, මවක ලෙස අත්තටු හකුළාගෙන සිය ඉතිරි ජීවිත කාලය ම ගෙවන්නට සිදුවනු ඇත්දැයි විස්සෝප වූවාය. එබැවින් ඇය වෙනත් ක්‍රමවේදයක් වෙත යොමු වූවාය. තමාට ප්‍රේමවන්තයෙකු සිටිනා බවටත්, තමාට ඔහු අමතක කළ නොහැකි බවටත් මුසා බස් දොඩමින්, පැමිණෙන මනාළයින් සමග ඇයට තනිව කතාබස් කරන්නට ඉඩ ලැබුණු ඇසිල්ලෙහි එම මංගල යෝජනාව ප්‍රතික්ෂේප කරනා ලෙසින් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නට ගංගා පෙළැඹුනාය. දොළොස්වැනියාද, දහතුන් වැනියාද යෝජනාවට අකැමැති බව පවසා එවූයේ ඇගේ එබස් නිසාද, ඒ හැරෙන්නට තවත් හේතූන් ඇති නිසාදැයි ඈ දන්නේ නැත. ඇයට එය අදාළ ද නැත. මේ වනතුරු සියල්ල එලෙසින් විසඳුනද, ප්‍රේමවන්තයෙකු පිළිබඳ ඇගේ ගජබින්නය හෙළි කළ කල මෙම දහ හතරවැනියා ඉදිරිපත් කළ අරුම පුදුම යෝජනාව හමුවේ දැන් ඈ පත්ව සිටින්නේ මහත් උභතෝකෝටිකයකට ය.

ඇයට වුවමනා නිදහස ලබා දෙන්නට ඔහු සූදානම්‍ ය. කැමති කෙනෙකුන් කැමති පරිදි ඇසුරු කරන්නටත්, ඈ කැමති ඕනෑම දෙයක් කරගන්නටත් ඉඩ දෙන්නට ඔහු සූදානම් ය. අන් ලෙසකින් කිවහොත් තනිකඩ යුවතියක සේ දිවි ගෙවන්නට ඉඩ දෙන්නට ඔහු සූදානම් ය. ඒ වෙනුවෙන් ඈ සිදු කළ යුතු වන්නේ ඔහුට ද එම නිදහස එලෙසින්ම ලබා දීමය. ඒ හැරෙන්නට ඔහුගේ දෙමාපියන් හා ඥාතීන් හමුවේ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටිමින් ඔහු සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන වගකීම් සහගත පුද්ගලයෙකු බව ඔවුනට ඒත්තු ගැන්වීමය. ඔහුගේ පියා අධිපතිත්වය දරන ඇඟැලුම් ව්‍යාපාරය ඔහු නමට පවරන තුරු එම රඟදැක්වීම එලෙසින්ම පවත්වාගැනීමය. එයින් පසුව දික්කසාදයට එකඟ වීමය. වෙනෙකක් තබා ඇගේ පියාගෙන් ලැබෙනා දෑවැද්ද ද ඇයට රිසි සේ ප්‍රයෝජනයට ගන්නට ඉඩ හරින්නට ඔහු එකඟ ය. 

"මට ඔයාගෙ සල්ලි ඕනෙ නැහැ. ඒත් මට, මට ලැබෙන්න තියෙන දේ ලැබෙන්න එපැයි. තාත්තා ලෑස්ති වෙන්නේ බිස්නස් එක ලොකු තාත්තාගේ පුතාට දෙන්න. ඒ මෝඩයාට හරියට එකවුන්ට් එකක්වත් බැලන්ස් කරගන්න බැහැ. ඔයාට වාගෙම මටත් කසාද බඳින්න කිසිම ඕනකමක් නැහැ. ඒත් මං කිව්වෙ, තාත්තා හිතං ඉන්නේ මං කිසිම වගකීමක් දරන්න බැරි මිනිහෙක් කියලා. බිස්නස් එක මගේ අතට ගන්නනං මට කසාද බැඳලා සෙට්ල් වෙලා පෙන්නන්න වෙනවා තාත්තාට. ඔයාට තේරෙනවද ඒක මොන වගේ විකාරයක්ද කියලා? ඒක මට ලැබෙන්න ඕන දේ නේ. ඒවුණාට ඒක ගන්න මට මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න වෙලා තියෙන්නේ දැන්. ඔයාට තාත්තාගෙන් ලැබෙන සල්ලියි, ඔයා කියපු ඔය ආර්ට් වැඩවලින් හම්බවෙන සල්ලියි මදිනං මං මාසෙට තව ගාණකුත් දෙන්නම් ඕනෙනං. මේක මට වගේම ඔයාටත් ගොඩ යන්න පුළුවන් අවස්ථාවක්," ධනංජය නැවතත් කියාගෙන ගියේය. 

මෙලෙසින් දොඩවනා පිරිමියෙකු ගංගා මින් පෙර දැක නැත. රයන්ගේ එක් සිනහවකින්, එක් හිස වැනුමකින් හැඟවෙනා දෑ මොහුගේ වදන් සියයකින් වුවද දැනවිය හැකි වනු ඇත්දැයි ගංගා කල්පනා කළාය.

ඔහු තවත් බොහෝ දෑ හෙළි කළේය. ඔහුගේ සෙල්ලක්කාර නිදහස් ජීවිතය තුළ ඔහුගේ පෞද්ගලිකත්වයට අත පොවන්නට ඇයට කිසිසේත් ඉඩක් ඉතිරි නොවනු ඇත. එබැවින් විවාපත්ව කොළඹ ගිය පසු ද ඈ කැමතිනම් ඔහුගේ නිවසින් බැහැරව, හදිසියකදී පැමිණිය හැකි තරම් ආසන්නයේ නවාතැනක ජීවත් විය හැකි බවද ඔහු පැවසුවේය. 

"ඔයාට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරගන්න. මට මගේ පුරුදු ජීවිතේ ගෙවන්න ඉඩ දෙන්න. අම්මයි තාත්තයි නෑදෑයෝ ඉස්සරහදියි විතරක් මගේ වයිෆ් වගේ ඉන්න. අම්මා කොළඹ එන්නෙ නැහැ. තාත්තාත් බිස්නස් වැඩවලට ආවොතින් මිසක් මගේ ගෙදර ඇවිල්ලාම නැහැ. ඒ හින්දා ඔයා වෙනම හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ළඟපාතක නතරවුණාම ඉතින් ඔයාගේ අප්පච්චිලා එන වෙලාවක එහෙ ඇවිත් ඉන්න බැරියෑ. බිස්නස් එක මගෙ අතට ලැබෙනකල් විතරයි මේ ඔක්කොම. ඊට පස්සෙ ඔයා සම්පූර්ණයෙන්ම නිදහස්."

තම දෙමාපියන්ද, ඔහුගේ දෙමාපියන්ද මුළා කරමින් මෙවැන්නක් සිදු කිරීමෙන් අත් විය හැකි ඉරණම කෙබඳු වනු ඇත්දැයි ගංගා මොහොතක් කල්පනා කරන්නට උත්සාහ කළාය. එය බොහෝවිට වසර දෙක තුනක ගනුදෙනුවක් විය හැක. ඇතැම්විට හතර පස් වසරක ගනුදෙනුවක් විය හැක. කෙසේ හෝ දිනෙක එය දික්කසාදයකින් අවසන් වනු ඇත. තමා ලෝකය හමුවේ දික්කසාද වූ ගැහැනියක ලෙස ඉතිරිවනු ඇත. "මෙහෙම දේකින් පස්සේ..." ගංගා දිගු සුසුමකට පසුව තම හඬ අවදි කළාය. "...පිරිමියෙකුට ලෝකෙට මූණ දෙන්න වෙනවාට වඩා ගෑනියෙකුට ලෝකෙට මූන දෙන්න වෙන විදිහ වෙනස්."

"ඒක මට තේරෙනවා. ඔයා අකමැතිනම් අවුලක් නෑ, මේ කතාව මෙතනින් නවත්තලා අපි ගෙට යමු."

නමුදු එයට කම් නැත. එවිට හෝ පියා ඇගේ ස්වාධීනත්වය අවුරන්නට තැත් කිරීමෙන් වැළකී සිටිනු ඇත. ඇයට තනිවම තම ගමන යා හැකි වැනු ඇත. නමුත් විසඳාගත යුතු තවත් ගැටළු ඇත. "මීට කළින් ආපු එක්කෙනෙක් එක්ක වෙඩින් එක ගන්න දිනත් දාගෙන තියෙද්දි, ඒ මනුස්සයාගේ ඔය වාගේ හැසිරීම් ගැන අප්පච්චිට ආරංචි වෙලා ඒ කසාදෙ එහෙමම නතර වුණා."

"මොන වාගේ හැසිරීම්ද?"

"ඒ මිනිහා බේබද්දෙක්ලු."

ධනංජය සිනහසුනේය. "ආ, ඔය ඉඳහිට ඩිංගක් බිව්වට මං බේබද්දෙක් නෙවෙයි."

"බේබදුකමට වඩා හපන් දෙයක් සල්ලාලකම කියන්නේ!"

"ක්ලබ් යන එකට, නිදහසේ කෙල්ලන්ව ආශ්‍රය කරන එකට ඒ වගේ කැත වචනයක් දාලා තියෙන්නේ මොකද කියන්න මං දන්නෙ නෑ. හරි, මං එහෙම බව ඔයා දන්නවනේ. කෙල්ලෙක්ගේ අකමැත්තෙන් මං එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට මගෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මං වෙන කෙල්ලෝ ආශ්‍රය කරන එක ගැන ඔයාගේ ප්‍රශ්නයක් නැත්තම් අප්පච්චිට දැනගන්න නොතියා ඉන්න එක මහ දෙයක් නෙවෙයි. මේ අපි කතා කරන්නේ කසාදයක් ගැන නෙවෙයි, ගනුදෙනුවක් ගැනනේ. ඔයාටත් මටත් වින්-වින් සිටුවේෂන් එකක් ලැබෙන ගනුදෙනුවක් ගැන. අපේ අම්මයි තාත්තයි මාව බලන්න දක්කගෙන ගිය අටවෙනි මනමාළි ඔයා. කළින් හත් දෙනාගෙන්ම මට මෙහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. මං හිතන්නේ ඔයාටත් ලැබිලා නැහැ. ආයෙ මෙහෙම කතාබහ කරලා බේරගන්න පුළුවන් ගනුදෙනුවක් ලේසියෙන් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? වැඩේ ඉවරවුණාම ඔයත් නිදහස්, මාත් නිදහස්. බිස්නස් එක මගේ අතේ. ඔයාට කැමති කෙනෙක් එක්ක ඔයාගෙ ගමන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව."

ගංගා නැවතත් සුසුමක් හෙලුවාය. මොහුගේ අරුම පුදුම යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් ඇගේ ජීවිතය දැනට පවතිනවාට වඩා එතරම් වෙනසක් වීමට ඉඩක් නැත. මෙතෙක් කල් පැමිණි අනෙකුත් මනාළයින් මෙන් තවත් මනාළයින් ගණනාවක් ඈ බැහැ දකින්නට පැමිණෙනු ඇත. ඒ සියල්ලද පෙර පරිදි ම විකාර සහගත නාඩගමක් විලසින් කෙළවර වනු ඇත. පියා කෙදිනක එම නිශ්ඵල ප්‍රයත්නය අත හැර ඇයට ඇගේ ජීවිතය ඇයට රිසි සේ ගෙවන්නට ඉඩ දෙනු ඇත්දැයි ඇය දන්නේ නැත. එබැවින් ඇය ඊළඟ හුස්ම පොදින් පෙනහළු පුරවාගන්නා අතරේ සිය තීරණය අරගත්තාය. මේක තමයි වෙලාව... "හරි එහෙනං!"

"කැමතිද?"

"ඩීල්!"

ගනුදෙනුව එලෙසින් තහවුරු විය. 



- මතු සම්බන්ධයි -