සිතූ ලෙසින්ම වළව්ව තුළ පැවතුණේ අන්ධකාරයකි. අසංක සාක්කුවේ වූ විදුලි පන්දම පිටතට ගෙන දල්වාගත් අතර, සුමුදු සිය දුරකථනයේ විදුලි පහන ක්‍රියාත්මක කරගත්තාය. විසිත්ත කාමරයේ පසෙකින් අත්තටු ගසන හඬක් ඇසුණි. සුමුදුගේ පහන් එළිය වහා ඒ වෙත යොමු විය. එහි ජනෙල් පඩි මතත්, ගෘහ භාණ්ඩ මතත් අතොරක් නැතිව පිරී සිටියේ පරෙවියන් සහ කොබෙයියන්ය. සුමුදුගේ මුවෙහි ඇඳුනේ සුන්දර සිනහවකි. "අනේ... මේ බලන්නකෝ අසංක..."
නමුත් ඔහුගේ අවධානය යොමුව තිබුණේ වෙනතකය. බිත්තියේ එල්ලා තිබූ පැරණි ඡායාරූප පෙළ වෙත විදුලි පන්දම් එළිය යොමු කරගෙන ඔහු ඒ එකිනෙකක් දෙස බොහෝ උනන්දුවෙන් බලා හිඳින්නට විය. එක්වරම නෙත් කොණට හසු වූ ආලෝකයක් හේතුවෙන් ඔහු හිස හරවා බැලුවේය. විසිත්ත කාමරය මධ්‍යයේ වූ තරප්පු පෙළ ඉහළ ළන්තෑරුමක් අතින් ගෙන හිටගෙන සිටියේ... අසංක සිහිනයෙන් දුටු අවතාරයයි.
ඔහු බිරාන්තව ඈ දෙස ගල්ගැසී බලා සිටින අතරේ, ඔවුන් වෙතට ආලෝකය යොමු වන සේ පහතින් අල්ලාගෙන සිටි ළන්තෑරුම සිය හිසට ඉහළින් ඉදිරියට කර අල්ලාගත් අවතාරය සිනහවක් පෑවාය. එතෙක් පහළින් එල්ල වී තිබූ ආලෝකයෙන් බියකරු සෙවණැලි මතුව තිබූ ඇගේ මුහුණෙහි වූ සිරියාවන්ත සුන්දරත්වය අසංක ඒ මොහොතේදී දුටුවේය. "මං බලාගෙන හිටියේ ඔය ළමයා කොයි වෙලාවේ හරි මාව බලන්න එනකල්..." ඇය බොහෝ සෙයින් වියපත් වූ මහළු කටහඬකින් කතා කළාය. එම හඬින් පුදුමයෙන් හැරී බැලූ සුමුදු අසංකගේ සුරතේ වෙලුනාය. "කවුද ඒ?" ඇය රහසින් මිමිණුවාය. සැබැවින්ම මහළු කාන්තාවක්ද නැතහොත් අවතාරයක්දැයි සිතාගත නොහැකි වූ තැනැත්තිය තරප්පු පෙළ බැසගෙන ඔවුන් වෙත පැමිණියාය. "මම තමයි වළව්වේ පුංචි කුමාරිහාමි..." ඇය තෙපළාය.
ඔවුන් දෙදෙනා විසිත්ත කාමරයේ හිඳුවාගෙන පළතුරුවලින් සංග්‍රහ කළ ඇය දිගු කතන්දරයකට මුළ පිරුවාය. ගජනායක පරම්පරාව බොහෝ ධනවත් වළව් පෙළපතකි. ගම්වාසීන් සමග එතරම් සමීප සම්බන්ධතාවයක් නොපැවැත්වූ වළව්වේ අවසන් ගෘහ මූලිකයාව හිඳ ඇත්තේ හෙක්ටර් ගජනායක ය. ඒ පුංචි කුමාරිහාමිගේ පියාණන්ය. ඇගේ වැඩිමහල් සහෝදරිය මුතු කුමාරිහාමි ය. ඇය ගම්මානයේ සිත්තරෙකු හා පෙම් සබඳතාවයක පැටලී ඇති බව දැන ගැනීමට ලැබීමෙන් පසු වළව්වේ අඳුරු යුගය උදා වී ඇත. වළව්වට කිසිසේත් නොගැලපෙන එම සම්බන්ධය නතර කරන ලෙසින් මව්පියන් සිදුකළ ඉල්ලීම්, ආයාචනා, තර්ජන ගර්ජන කිසිවකට එකඟ නොවූ ඇය ඒ සියල්ල දරාගත නොහැකිව අසනීප වී ඇත. අවසන කෙසේ හෝ මෙහෙකාරියකගේ සහයෙන් එකිනෙකා මුණගැසෙන්නට සමත් වූ මුතු කුමාරිහාමි සහ සිත්තරා ගම්මානයෙන් පැන යන්නට තීරණය කරගත්හ. එතෙක් කඳුළු සලමින් ගෙවූ කාලය නිමා කරගැනීමේ බලාපොරොත්තුවෙන්, කතිකා කරගත් දිනයේදී ඇය ඔහු එනතුරු වළව්ව පිටුපස ගල්තලාව පාමුළ උණ පඳුර අසළ පුරා රැයක් සැඟවී බලා සිටියාය. නමුත් පසුදින ආරංචි වී තිබුණේ ඔහු ඔහුගේ පවුලේ උදවිය කැටුව කිසිවෙකුටත් නොදන්වා ගම්මානයෙන් පිටව ගොස් ඇති බවය. හද පෙලූ වේදනාව ඉවසාගත නොහැකිව මුතු කුමාරිහාමි දිනපතා රෑ ගොම්මනේ උණ පඳුර අසළට වී සිය ප්‍රේමවන්තයා එනතුරු බලා සිටින්නට වූවාය. එක් දිනෙක එතැන සිහිසුන්ව ඇද වැටී සිටි ඇය යළි අවදි නොවීම මරු තුරුළට ගියාය. එය දරා ගත නොහැකි වූ ඔවුන්ගේ මවද හෘදයාබාදයකට ලක්ව එක්තැන් වූවාය. "ඒ හැමදේම වුණේ මං හින්දා... මං හින්දා... මං හින්දා....." මහළු කාන්තාව කතාව නවත්වා දෑතින්ම හිස බදාගෙන වැළපෙන්නට විය.
සුමුදු වහා ඈ හා අසංක හිඳ සිටි සෝපාවෙන් නැගිට මහළු කාන්තාව හිඳ සිටි උස් ඇඳි පුටුව වෙත ගොස් ඇගේ අතින් අල්ලාගත්තාය. ඈ කී සියල්ල අසංක මෙතෙක් කල් ගම්මුන්ගෙන් අසා තිබූ කටකතාවලට තරමක් සමාන වුවද, එම ඛේදවාචකය මෙතරම් සවිස්තරව ඔහු ඇසුවේ පළමු වතාවටය. ඔහුද අසුනේ ඉදිරියට නැඹුරු විය. "ආච්චි අම්මා ඇයි එහෙම කියන්නේ?"
"මං අක්කාගෙයි මගෙයි කාමරේ අස් කර කර හිටියෙ එදා. මගෙ අතට තමයි අහුවුණේ අක්කාට ඒ සිත්තරා ඇඳලා දීලා තිබුණ සිත්තර. මං හිටියේ ඔය පළහිලව් තේරෙන වයසක නෙවෙයි. අක්කා ඒ වෙලාවේ අහළ පහළක නොහිටිය හින්දා මං අම්මාට තමයි ඒ ලස්සන සිත්තර ගිහිං පෙන්නුවේ. මං දැනං හිටියෙ නෑ අක්කා ඒවා හංගලා තිබුණ වගක්. මගේ ඒ මෝඩ වැඩෙන් පස්සෙ තමයි ඒ ඔක්කොම සිද්ද වුණේ. මගේ අක්කාට එහෙම වුණේ. ඉං පස්සේ අම්මත් වැඩි කලක් ජීවත් වුණේ නෑ. මං පිස්සියෙක් වුණා. මට සැරෙන් සැරේ අක්කාව පේන්න ගත්තා. ගමේ මිනිස්සුත් සිහි විකල්ලෙන් ඇවිදින මාව දැකලා මැරිච්ච අක්කය කියලා බය වෙලා තිබුණා. අප්පච්චි තනියම මොනවා කරන්නද. අප්පච්චි මාව අංගොඩ යැව්වා. අවුරුදු ගාණක් එහෙ ඉඳලා මට සනීප වුණා මං හිතන්නේ. ඊට පස්සෙ අප්පච්චි මාව බන්දලා දුන්නා. ඒ මිනිහා ආදරේ කළේ මට නෙවෙයි මගේ දේපළට. අප්පච්චි නැතිවුණාට පස්සේ මට ආයෙ පිස්සුය කියලා බොරු කතා ගොතලා ඒ මිනිහා මාව ආයෙ පිස්සං කොටුවට යවලා ඒ මිනිහා මෙහෙ ඇවිත් මේ දේපළ කාබාසිනියා කරන්න පටන්ගත්තා. මං එහෙන් පැනලා ඇවිල්ලා ඒ මිනිහව බය කරලා එළවලා දැම්මා. එදා ඉඳන් මං මේකේ තනියම ජීවත් වෙනවා..." ඇය දිගු සුසුමක් හෙලුවාය.
"ඒත් ආච්චි අම්මා ගමේ මිනිස්සුන්ගෙන් තවමත් ඈත් වෙලා ඉන්නේ අපරාදෙනේ." සුමුදු පැවසුවාය.
"ගමේ මිනිස්සු මේ වළව්වට කැමති නෑ පුතේ. ඉස්සර හිටංම ඒ කාරණාව එහෙමයි. ඇරත් අර මගෙ මනුස්සයාව මෙහෙන් එළවගත්ත කාලේ මං ගමේ මිනිස්සුන්වත් බය කළා. මේක හොල්මන් පිරිච්ච තැනක් විදිහට ඇඟෙව්වා ආයෙ මේ පැත්ත පළාතේ නො එන්න. මේ ගමේ මිනිස්සු මාව දකින්නවත් කැමති වෙන එකක් නෑ... උන් මට වෛර කරනවා ඇති... මගෙ අක්කා වාගෙම..... මමයි එයාව මරාගත්තේ.... මමයි මගේ අක්කවයි, අම්මවයි දෙන්නවම මරාගත්තේ...... මට කවදාවත් සමාවක් ලැබෙන්නෙ නෑ......" ඇය යළිත් හිසේ අත් ගසාගනිමින් වැළපෙන්නට වූවාය.
"ආච්චි අම්මා එහෙම හිතන්න එපා... සිත්තරානේ බොරු පොරොන්දු දීලා අක්කාව දාලා ගිහින් තිබුණේ....." සුමුදු ඈ අස්වසන්නට උත්සාහ කළාය.
ඇය හිස දෙපසට සැලුවාය. "නෑ... ඒ මනුස්සයා අම්මයි නංගියි එක්ක ගමෙං යන්ඩ ගිහිං තිබුණේ අප්පච්චි ඒ මිනිස්සුන්ට මරණ තර්ජන කරලා... අක්කා එක්ක තියෙන සම්බන්ධෙ නැවැත්තුවෙ නැත්තං ගෙදර මිනිස්සුන්ව මරණවා කියලා..... ඉතිං ඒ මනුස්සයා බය නොවී තියෙයිද? අක්කා සිහි නැතුවම අපිව දාලා යන්න ළං වෙද්දි තමයි අප්පච්චි ඔය විස්තරේ කිව්වේ අක්කාට. ඒ අයව ආපහු ගෙන්නලා දෙන්නං අක්කාට නැගිටින්ඩ කියලයි කිව්වේ... ඒත් අක්කාට ඇහුණෙ නෑ... එයා ගියා..... මාව දාලා ගියා... අපි හැමෝවම දාලා ගියා....." ඉතාමත් හොඳ කල්පනාවෙන් කතාබස් කරමින් සිටිනා ඇය වරින්වර හිසේ අත් ගසාගනිමින් උමතු විලසකින් වැළපෙන්නට පටන්ගන්නේ තවමත් සිත පෙළනා පසුතැවිලි සහගත සිතුවිලි නිසා බව අසංකට සේම සුමුදුටද වැටහුණි. "මං අක්කාගෙ රහස් එළි කළාට පස්සේ එයා දවස් ගාණක් මාත් එක්ක කතා කළේ නෑ... මා එක්ක තරහා වෙලා හිටියා... එයා තාමත් මාත් එක්ක තරහා ඇති..... මට වෛර කරනවා ඇති..... මං මහා පව්කාරියක්! මං මහා පවුකාරියක්! මමයි හරිනං මැරෙන්න ඕනේ..... අක්කා නෙවෙයි..... මමයි - මමයි - මමයි මැරෙන්න ඕනේ...." ඇගේ නොසන්සුන් බව කෙමෙන් වැඩි විය. "ඒත් මට මැරෙන්න බෑ... මට බයයි... මට බයයි..... මේ පව ගැන හිත හිතා මැරුණොත් මට කවදාවත් සැනසීමක් ලැබෙන්නෙ නෑ..... මං කොච්චර අඬ අඬ සමාව ඉල්ලුවත් එයා මා එක්ක කතා කළේ නෑ... එයා මට සමාව නොදීම යන්න ගියා..... මට රෑට නින්ද යන්නෙ නෑ - හැමදාම එයාව පේනවා…..."
එතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි අසංක සුසුමක් හෙලුවේය. ඇගේ සිතට අවශ්‍ය සැනසුම මෙම කතාබහෙන් ඇයට නොලැබෙන බව ඔහුට වැටහුණි. "ආච්චි අම්මා ඇයි මං මෙහෙ එයි කියලා බලාපොරොත්තු වුණේ?" ඔහු කතාව වෙනස් කළේය.
එවර ඇගේ වැළපීම දුරු වී මුහුණ ආලෝකමත් විය. "කාලාන්තරේකින් කවුරුවත් පය නොගහපු ඒ ගෙපැලට කවුරුන්දෝ ඇවිදින් තියෙනවා මං දැක්කේ අහම්බෙන්. ඒ සිත්තරෙක් බව දැක්කාම මට ඉහිළුම් නැතිව ගියා. එතන තමයි මගෙ අක්කාගෙ සිත්තරාගෙ සිත්තරහළ තිබුණෙ. ගමේ ම තියෙන ලස්සනම තැන. එයා සිත්තර ඇන්දෙ, ගමේ ළමයින්ට සිත්තර ඉගැන්නුවෙ එතන ඉඳං. මේ වළව්ව වගේම පාළුවට ගිහිං තිබුණ එතනට මේ තරං කාලෙකට පස්සෙ සිත්තරෙක්ම ආපු එක ගැන මට පුදුමාකාර සන්තෝසයක් දැනුණා. මට නිකමට - නිකමට හිතුණා මගේ අක්කත් ආයෙ ඒවිදෝ කියලා... එතකොට මට එයාගෙන් සමාව අරගෙන නිදහසේ හුස්මක් හෙලන්ඩ පුළුවන් වේවි කියලා හිතුණා....."
"ඒකද මාව බය කරන්ඩ ආවේ?" අසංක එවර ඇසුවේ සිනාසෙමිනි.
"දෙයි හාමුදුරුවනේ, බය කරන්ඩ හිතුවෙ නෑ මං." මැහැල්ලද සිනාසුණාය. "එදා ඔය දරුවා ගල් පොත්ත ළඟ ලිස්සලා වැටෙද්දි මං උන්නෙ ඒ ඉහත්තාවෙ පිච්ච වැලේ මල් කඩ කඩ..."
"එතකොට එදා වැස්ස දවසෙ රෑ මගෙ ජනේලෙ ළඟ හිටගෙන හිටියේ?"
"එදා රෑ විතරක් නෙවෙයි, මං දවස් දෙක තුනක්ම ආවා පුතාව බලන්ඩ. අවුරුදු ගාණකින් නෙව මට අසල්වැසියෙක් ලැබුණේ. ඒ එද්දි ඔය දරුවා ජනෙල් තිරත් වහලා දාලා නිදි මයෙ හිතේ. එදා වැස්ස දවසේ තමා මං ගෙයි එළියක් දැක්කේ. ඒත් ඉතිං එක සැරේට ළාම්පුව නිවා දාලා පිරිත් ඇහෙන්ඩ ගනිද්දි මං දැනගත්තා මට බය වෙලා තමයි කියලා. ගමේ මිනිස්සුන්ගෙන් අහලා තියෙන කටකතා සේරෝම මතක් වෙන්ඩ ඇති නෙවද එවෙලෙ?" ඇය අසංකට සරදම් කරමින් සිනාසුණාය.
"ඔයාට මේ ගමේ බැල්ම හෙලාගෙන ඉන්නවා කියපු ගෑනු ළමයාද මේ එතකොට?" සුමුදුද සිනාසෙමින් මැහළියගේ රැළි වැටුණු සියුමැලි අත පිරිමැද්දාය.
"හ්ම්ම්... ඔය ඉන්නේ ඒ ගෑනු ළමයා තමයි..." අසංක අසුනින් නැගිටගත්තේය. ඔහු තීරණයකට එළැඹ සිටියේය. "අපිට තියෙනවා දැන් කරන්න වැඩක්… ඔයාගෙ ජර්නල් එකෙන් පිටුවක් කඩලා දෙන්නකෝ..." ඔහු සුමුදුගෙන් ඉල්ලා සිටියේය. ඈ යන යන තැන නොවැරදීම රැගෙන යන චාරිකා සටහන් පොතෙන් පිටුවක් හෝ ගැලවීම ඈ අකමැතිම දෑ අතුරින් එකක් බව ඔහු දැන සිටියද මේ මොහොතේදී ඇයද කිසිදු විරෝධයක් නොපා ඔහුගේ ඉල්ලීම ඉටු කර දුන්නාය. සටහන් පොතේ රඳවා තිබූ පෑනද ඇගෙන් ඉල්ලාගත් අසංක මහළු කාන්තාව අසළට අසුනක් ඇදගත්තේය. "අපි චිත්‍රයක් අඳින්නයි යන්නේ..." ඔහු වැඩ ඇරඹුවේය.
ඔහුගේ සුහුරු සුරතින් ගත් පෑන් තුඩින් සුන්දරව නිමැවෙන සිතුවම දෙස පළමුව කුතුහලයෙන්ද, අනතුරුව විශ්මයෙන්ද පිරී ගිය මුහුණින් බලා සිටි පුංචි කුමාරිහාමිගේ නෙත් කඳුලින් තෙත් විය. බිත්තියේ එල්ලා තිබූ ඡායාරූප අතුරින් මුතු කුමාරිහාමිගේ රූපයද, පුංචි කුමාරිහාමිගෙන් වරින්වර අසාගත් සිත්තරාගේ හැඩරුවද එක් කොට ඔහු අඳිමින් සිටි සිතුවමෙහි වූයේ සඳ එළියේ බෝ මළුවක හිඳ පහන් පත්තු කරනා පෙම්වතුන් යුවළකි. දෙදෙනාගේම මුහුණුවල වූයේ බලාපොරොත්තුවලින් දැල්වුණු ප්‍රේමණීය මන්දස්මිතියකි. එක් මොහොතකට හිස එසවූ අසංක, මැහැල්ලගේ අතකින් අල්ලාගෙන සිතුවම දෙසම බලා සිටිනා සුමුදු දෙස බැලුවේය. ඔහුගේ නෙත ගැටුණේ අදහාගත නොහැකි අහම්බයකි. සිතුවමේ ඔහු ඇඳි මුතු කුමාරිහාමිගේ රුව බොහෝ දුරට සුමුදුගේ පෙනුමට සමාන නොවේදැයි ඔහුට සිතුණි. ඒ මොහොතේ හිස ඔසවා ඔහු දෙස බැලූ සුමුදු සිනාසී හිස සලා මන්දැයි දෑසින් විමසුවාය. සුමුදුගේ දෑසද වෙනස් ය, සිනහවද වෙනස් ය; ඔහුද හිස දෙපසට සලා මඳ සිනහවක් පා නැවත හිස නැඹුරු කරගත්තේ එය හුදෙක් සිතුවිල්ලක් පමණකැයි සිතා හිත නිදහස් කරගනිමිනි.
සිතුවම නිම විය. අසංක එය දෑතින්ම පුංචි කුමාරිහාමි වෙත පිළිගැන්වූවාය. ඇගේ රැළි ගැන්වුණු වෙවුළන දෑත් මහත් සෙනෙහසකින් යුතුව ඒ මත දිව ගියාය. "හැබැහින් ඉන්නවා වාගේ…" ඇය මිමිණුවාය. "ඒ දෙන්නා සතුටින්… ආදරෙන්….."
"ඔව්… ඒ දෙන්නාම ආච්චි අම්මාට සමාව දීලා… ඒ දෙන්නා සතුටින්… ආච්චි අම්මාත් සතුටින් ඉන්න ඉතින්……" දයාවෙන් පිරි සිය සැමියා පිළිබඳ හද ඉපිළෙන ආඩම්බරයෙන් යුතුව සුමුදු පැවසුවාය. පුංචි කුමාරිහාමි හිස හරවා ඈ දෙස බැලුවාය. මොහොතක් ඈ දෙසම බලා සිටි පුංචි කුමාරිහාමි මහත් සෙනෙහසින් යුතුව ඈ වැළඳගෙන හිස සිපගත්තාය. අසුනින් නැගී සිටි අසංක අත පය දිගහැර හිරි ඇරගන්නා අතරේ දිගු සැනසුම් සුසුමක් හෙලුවේය. තමා අතින් කලෙක පටන් ඉටු විය යුතුව තිබූ යමක් ඉටු කළා මෙන් වූ සැහැල්ලුවකින් ඔහු තෘප්තිමත්ව සිටියේය.
පුංචි කුමාරිහාමිට සතුටෙන්, සුවෙන් සිටින ලෙසත්, යළි හැකි විටෙක ඈ දකින්නට එන බවත් පවසා අසංකත්, සුමුදුත් ඇගෙන් සමුගෙන නවාතැනට එන්නට පිටත් වූහ. වළව්ව පිටුපසින් උණ පඳුර අසළින් වැටුණු කෙටි මග වඩා ආසන්න වූයෙන් ඔවුන් එදෙසින් ගමන් කළහ. පසුපස මිදුලේ වූ පිච්ච හා රෑ කුමාරි මලින් හාත්පස සුවඳවත් වී තිබුණි. දෙදෙනා ම පසු වූයේ සතුටිනි. අසංක ඉදිරියෙනුත්, ඔහුගේ අත අල්ලාගත් සුමුදු පසුපසිනුත් ගල් තලාව බැස ආහ. පෙරදී කටුක හඬින් සුළඟට ඇඹරුණු උණ පඳුර අද මඳ පවනේ සැනසිල්ලේ නැළවෙනා බවක් අසංකට දැනුණි. සුමුදු ඔහුගේ අතින් අදිනු දැනුණෙන් අසංක හැරී බැලුවේය. ඇය නතර වී උණ පඳුර දෙස අයාගත් දෑසින් බලා සිටියාය. "ඇයි සුදූ...?" අසංක යළි ඈ වෙත පියවරක් තබමින් විමසුවේය.
සුමුදු ඒ විසල් කරගත් දෑසින් ම අසංක දෙස බැලුවාය. ඇගේ දෙතොල් සුදුමැලිව ගොසිනි. "ඒ... අපි දෙන්නා... වෙන්න බැරිද...?"
ඈ තොල් මතුරමින් කී දෙය යාන්තමින් ඇසුණද එය එක්වරම නොවැටහුණෙන් ඔහු ඈ වෙත වඩා ආසන්න විය. "මොකද්ද?"
"හරි පුදුමයි....." ඇය යළිත් තොල් මතුළාය. අනතුරුව සුන්දර සිනහවක් පෑවාය. ඒ සමගම සිහිසුන්ව ඇද වැටුණාය. ඈ අල්ලාගන්නට සූදානම් වූ අසංකගේද පය ලිස්සා ගොස් ගල්පොත්ත වේගයෙන් ඔහුගේ මුහුණ වෙත ඇදී විත් වේදනාබර ඝට්ටනයකින් හැපීමෙන් පසු සියල්ල අන්ධකාර වී ගියේය.
- මතු සම්බන්ධයි -

ඈ ......ඒ පුංචි කුමාරිහාමිගේ හොල්මන නෙවෙයිද එතකොට
ReplyDeleteඑයා ජීවත් වෙන බව ගමේ උදවිය දන්නේ නැද්ද
ප්‍රස්න .........ප්‍රස්න
ගම්මු හිතං ඉන්නේ පාළු වළව්වක් කියලනේ ඉතින් 😊
Deleteහොල්මනකට බැරියැ හොල්මනක් නෙවී වගේ රඟපාන්න, හා බොරුද? 😊😊
++++++++
ReplyDelete😭
Deleteමතු සම්බන්ධයි හින්දා කමක් නෑ. ඊළඟ පාර බලමුකෝ.
ReplyDeleteඊළඟ පාර සමාප්ත කරලා දාන්න ඕනේ එහෙමනං 😁
Deleteඈ හොල්මන් කතාව රහස් පරීක්ෂක කතාවක් වුනා?😮😁
ReplyDeleteරහස් පරීක්ෂකයා තමා හොල්මන! 🤭
Deleteහොල්මන් කතාව එක රැයින් පුනරුත්පත්ති කතාවක් වුණානේ සාන්ත! ඔහොම යං ඔහොම යං. ඊළඟට ඩිටෙක්ටිව් වෙලා ආයෙ හොරර් වෙයිද දන්නෙත් නෑ මුං දෙන්නා ගල්පොත්ත උඩ රූටලා වලකජ්ජ ගැහුවොත්!
ReplyDeleteළමයි ටික ලෙක්චරේ ඉවරවෙලා හෝල් එකෙන් ගියාම ස්මාට්බෝඩ් එකේ දාගෙන අද කොටහ කියෙව්වෙ.. එච්චරට ගෙදර යනකං ඉවසන්න බෑ ඊළඟ කෑල්ල දැක්කම..)
මේ, සෙල්ලං නෙවෙයි හොඳේ. මං මේ කමෙන්ට් එකට දැන්
Deleteතුන් සැරයක් උත්තර ලියලා පබ්ලිශ් කළා. ඒ ඔක්කොම බහිරවයා ගිලලා. බැරි වෙලාවත් ඔය ස්මාට්බෝඩ්ඩෙකට පිටුපාලා හිටගන්න එපා හොඳද. මේ කතාවේ ඉන්න හොල්මන් ඔක්කොම ඕකට වැහිලා ඇත්තේ. 😮😮😮
හෑ.. ඒකට නං සෑහෙන්න බය හිතුණා සාන්ත. මුන්දැලා කතාව අස්සෙං ඇවිත් ෆෑන්බේස් එකට වැහෙනවද දන්නෑ!
Deleteනෑ, ස්මාට්බෝඩ්, ස්මාට්ෆෝන් වගේ එව්වට තමා වැහෙන්නෙ 😕
Deleteඅලුත් කතාවක් පටන් ගත්තද. I missed the fun 😊.
ReplyDeleteඉස්සෙල්ලම පරණ කතාවට කමෙන්ට් එකක් දාලා එන්නම්.
😊💗
Delete"ඔව්… ඒ දෙන්නාම ආච්චි අම්මාට සමාව දීලා… ඒ දෙන්නා සතුටින්… ආච්චි අම්මාත් සතුටින් ඉන්න ඉතින්……" That's the best part 👍.
ReplyDelete"ඒ... අපි දෙන්නා... වෙන්න බැරිද...?" ඔව් ඔය දෙන්නා තමයි ඒ!
(හැබැයි ඉතින් තැන් තැන් වල සිහිය නැතුව ඇද වැටෙන්නෙ නැතුව වැඩේ ඉවර කරගන්න 😁).
අපි බලමුකෝ අසංක නැගිටලා මොන වගේ උත්තරයක් දෙයිද කියලා 😊
Deleteෆුල් අවුල්. පුනරුප්පත්තියක්ද ? බ්‍රයන් වයිස් ව ගෙන්වන්න වෙයි වගේ
ReplyDelete