දුරකථනය නාද වන හඬින් සිය කල්පනා දැහැනින් මිදුණු අසංක එය ද අතට ගෙන මිදුලට බැස්සේය. "හෙලෝ?"
"අසංක... කොහොමද ඔයාට...?"
ඔහුගේ මුවෙහි පෙම්වත් සිනහවක් ඇඳී ගියේය. "සුමුදු! කොහෙද ඉන්නේ?"
"මේ දැන් එයාපෝර්ට් එකෙන් එළියට ආවා විතරයි..."
"මට කිව්වෙත් නෑනේ අද එනවා කියලා..."
"ඔයාට කරදර කළේ නෑ ඉතින්. ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ඔෆිස් එකටම එක්ක යනවානේ. අම්මා කිව්වා තාත්තාව එවන්නම් කියලා එහෙට..."
"මදැයි! මටත් කළින් මෙයා මගේ අම්මලාට කතා කරලනේ!"
"එහෙම තමයි ඉතින් හොඳ ලේලිලා වුණාම! ඉන්නකො ඉන්නකො, මං හෙටම එන්නම්කෝ ඔයාව බලන්න ඔහෙ..."
අසංකගේ සිතට මහත් අස්වැසිල්ලක් දැනුණි. හිසේ වෙළුම්පටි බැඳගෙන දිගු ගමනක යෙදෙන්නට මේ මොහොතේදී තමාට හැකියාවක් නොමැති බැවින් ඇගේ පැමිණීම ඔහුට මහත් සහනයක් විය. "අම්මලාව එක්කං එන්න එපා, ඔයා විතරක් එන්න හොඳද? කියන්න මං ළඟදි ඇවිත් යන්න එනවා කියලා."
"ඉතින් මට කියන්නේ, ඔයාම කියන්නකෝ අම්මලාට..."
"හ්ම් හ්ම්, ඔයා ගෙදර ගිහින් කෝල් එකක් ගන්නකෝ, මං කියන්නං එතකොට… ඒක නෙවෙයි, මං කළින් තැන නෙවෙයි දැන් ඉන්නේ, අල්ලපු ගමේ. මෙහෙට කියන්නේ පෑලියද්ද කියලා..." ඔහු එම විස්තර කෙටියෙන් පවසා සිටියේය.
"ඒ මොකද තැන මාරු කළේ? ඉස්කෝලේ අල්ලපු වැටේ ඉඳන් එච්චර දුරකට ගියේ? මට පේන්නෙනම් ඔය කියන ගමේ කෙල්ලෙක්ට හිත ගිහිංද කොහෙද!" සුමුදු මුඛරි ස්වරයෙන් තෙපලුවාය.
අසංක හඬ නගා සිනාසුණේය. "මගේ හිත ගිය එක කෙසේ වෙතත් මට බැල්ම හෙලාගත්තු ගෑනු ළමයෙක්නං ඉන්නවා මෙහෙ..."
"ආන්න දැක්කද! මං කිව්වේ! මටත් ඉන්න බැරුව මෙහෙ තියාගන්නෙ නැතුව යැව්වනෙ-....."
ඉන් එහා ඈ කියූ කිසිවක් අසංකට ඇසුණේ නැත. ඔහුගේ දෙනෙත් යොමුව තිබුණේ පාළු වළව්ව වෙතට ය. එහි අත්වැට අසළ ඔහු පෙර දිනෙකදී දුටු රුව යළිත් ඔහු දුටුවේය. නමුත් එදින මෙන් නොව මෙදින එම රුව අතුරුදන් නොවී එතැනම රැඳී තිබුණි. ඔහු මහත් පුදුමයෙන් එදෙස බලා සිටියදී ඔහුගේ හද ගැස්ම වේගවත් කරවමින් එම රුව අත වනා ඔහුට හඬගැසීය. නොදැනීම දුරකථනය ඔහුගේ සුරතින් ගිලිහී බිම පතිත විය. යළි සිහි එළවාගෙන එය ඇහිඳගෙන කෙළින් වූ මොහොතේ එම රුව තව දුරටත් එහි පෙනෙන්නට නොවීය. ඔහු කෙළ සිඳී ගිය මුවින් යුතුව දුරකථනය යළි කනේ තබාගත්තේය.
"හෙලෝ! හෙලෝ අසංක! හෙලෝ..."
"සුමුදු..." ඔහු අපහසුවෙන් සිය ස්වරය සාමාන්‍ය පරිදි තබාගත්තේය.
"මොකද ඒ වුණේ...? ඇයි ඔයා කතා නැතුව ගියේ...?"
"සිග්නල් අවුලක්ද කොහෙද සුදූ! මෙහෙට වැඩිය සිග්නල් අහුවෙන්නෙ නෑ. මං මේ එළියටත් බැහැලයි කතා කරන්නේ," ඔහු ආයාසයෙන් මඳ සිනහවක් මුව'ගට නගාගත්තේය. "ඉන්ඩකො, ඊළඟ පාර මං හොඳට සිග්නල් අහුවෙන ගහක්වත් හොයාගෙන නැගලම කතා කරන්නංකො..."
"මේ, මං හෙටම එනවා ඔහෙ!" ඇගේ ස්වරයෙහි නෝක්කාඩුව පිරී තිබුණි.
"අදම එන්න බැරිද?" ඔහු එක්වරම විමසුවේය.
"මොකද්ද?"
"මං පාළුවෙන් හිටියෙ මැණික..."
"අනේ..." සුමුදුගේ හඬ නැවතත් දයාබර විය. "දැන් හවස් වෙලානේ මහත්තයෝ... මං හෙට උදේම එන්නං, හොඳද..."
ඔවුන් දෙදෙනා තවත් බොහෝ වේලාවක් දුරකථන පිළිසඳරේ යෙදුණු අතර එය නිම වන තෙක්ම නැවත පාළු වළව්වේ අද්භූත කාන්තාව අසංකට බාධා කරන්නට පැමිණියේ නැත. ඔහු බොහෝ වේලාසනින්ම ඇඳේ වැතිරී දිගු නින්දකට වැටුණේය.
නමුත් එදින රාතියේ ඇය යළිත් ඔහු සොයා පැමිණියාය. සුළඟට පා ව එන දුහුල් රෙදිකඩක් සේ කඳුවැටිය ඔස්සේ පියාඹා ආ ඇය උණ පඳුර අසළදී බිමට බැසගත්තාය. විකල් බැල්ම එල්ලයක් නොමැතිව හාත්පස කරකැවී අවසන අසංකගේ නවාතැන දෙසට යොමු වී නතර විය. දෑසේ වූ වියරු පෙනුම ඇගේ මුව'ගටද එක් විය. මූසල හඬ දෙමින් ඇඹරෙන උණ පඳුර සේ ම වියරු රැඟුමකින් යළි අහසට නැගි ඇය අසුරු සැණෙකින් අසංකගේ කාමරයේ කවුළුව අසළට පැමිණියාය. ඇගේ වියරු සිනහව උල් වූ දසන් දිස් වන තරමට පුළුල් විය. එක්වර ම කන් බිහිරි කරවන තරමේ හූ හඬක් නැගෙන්නට වූ අතර ඇය කවුළුවේ වීදුරුවට තට්ටු කරන්නට පටන්ගත්තාය. අසංක දහදිය වගුරුවමින් අවදි විය. හාත්පස පැතිර තිබූ හිරු එළිය හේතුවෙන් තමා සිහිනයක් දැක ඇති බව ඔහුට සිතුණද කෙමෙන් අඩු වෙමින් යන හූ හඬද, කිසිවෙකු කාමරයේ කවුළුවට තට්ටු කරනා හඬ ද ඒ වනවිටත් ඇසෙමින් තිබුණි. ඔහු සරම කැටි කරගනිමින් ඇඳෙන් නැගී සිටියේය. අසළ මේසය මත වූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බිවු අසංක ඇඳ පොල්ලක් ගලවා අතට ගත්තේය. කවුළුවේ ඝනැති තිර රෙද්ද මෑත් කර බැලීමෙන්ද වැළකුණු ඔහු කාමරයෙන් පිට වී එක එල්ලේම දොරටුව වෙත ගියේය. හඬක් නොනැගෙන සේ දොරේ අගුල විවර කළ අසංක එහි අල්ලුවට අත තබත් ම කවුළුව දෙසින් නැගුණු හඬ නතර විය. අසංක ද නතර විය. මොහොතක නිහැඬියාවකට පසු එක්වරම හූ හඬ වඩා උස් හඬින් ඇසෙන්නට වූ අතර ඒ සමගම දැඩි හඬකින් කවරෙකු හෝ දොරට තඩිබාන්නට විය. තැතිගත් අසංක ඉබේම පසුපසට විසි විය.
"අනේ අසංක මේ දොර අරින්නකෝ!!!"
අසංකගේ අතේ වූ පොල්ල අත ඇරුණි. වහා ඉදිරියට පැන දොර විවර කරගත් ඔහු එහි සිටි සුමුදුව වැළඳගෙන පපුවට තුරුළු කරගෙන හාත්පස නෙත් යොමා නිරීක්ෂණය කළේ ඒ වනවිටත් වේගයෙන් ගැහෙමින් තිබූ හදවතින් යුතුවය.
"මේ මොකෝ? ඔයා කාටද බය වුණේ? අනේ මේ මොකද නළල තුවාළ කරගෙන?"
ඔහුට පිළිතුරක් ගලපාගැනීමටද මඳ වේලාවක් ගත විය. ඒ වනවිට යළිත් වරක් අඩු වෙමින් තිබූ හූ හඬ බල්ලෙකුගේ උඩුබිරුමක් බව වටහාගත් මොහොතේ ඔහු සැනසුම් සුසුමක් හෙලමින් ඈ තවත් තදින් වැළඳගත්තේය. "හීනයක් දැක්කා නෝනේ…"
"හීනයක් දැක්කා??? මේ මහ දවල්???"
"මට දැනුයි ඇහැරුණේ… හොඳටම දවල් වෙලානේ… ඔයා කොහොමද පාර හොයාගෙන ආවේ?"
"මං එනකල් බලං ඉන්න හින්දා මං මහ පාන්දරම පිටත් වුණේ. එනකල් මග දිගට කෝල් කළා කළා, කෝ, ආන්සර් කළායැ!"
"අප්පා, ඒක ඕෆ් වෙලා වෙන්න ඇති. ඒක තමයි එලාර්ම් එකවත් ඇහුණෙ නැත්තෙ… ඉතිං කොහොමද පාර හොයං ආවෙ?"
"ඔයා එහා ගමේ කළිං නතරවෙලා හිටපු තැනට ගිහිං මං මේ ගමට එන හැටි අහගත්තා. මෙහෙට ඇවිත් ඔයා ගැන කිව්වහම අර මාමා එක්කං ආවේ..."
ඈ පෙන්නූ අත හැරී බැලූ අසංක වහා ඈ මුදා හැරියේය. මිදුලේ දකුණු පස සෙවණකට වී සිටගෙන ඔවුන් දෙස හිනැහෙමින් බලා සිටියේ ගම් ප්‍රධානියාය. "මේ නෝනෙ හොඳටෝම මහන්සියෙං මහතුංලෑ කඩේට ගොඩවෙලා මහත්තයා ගැන ආරංචි කොරද්දි මාත් උන්නෙ කඩේ. ඉතිං එක්ක ආවා ඕං පරිස්සමට... අපෙං ඉතිං බාධාවක් නෑ, අපි ගියා එහෙමනං....."
"ආරච්චි මහත්තයට බොහෝම පිං!" අසංක විළියෙන් රත් වූ එක් කනක් පිරිමදිමින් ඔහුට සමුදුන්නේය.
ආගිය තොරතුරු කතාබස් කරමින් හෝරා කිහිපයක් ගෙවූ අසංක හා සුමුදු සන්ධ්‍යාවේදී ගමේ පන්සල වෙත ගියහ. එහිදී ද, අතරමගදී ද හමු වූ සියල්ලන්ටම ඔහු තම බිරිඳ හඳුන්වා දුන්නේය.
"අර මොකද්ද?" වැඳ පුදා අවසන්ව යළි පිටත්ව එන්නට සූදානම්ව පන්සලේ ගේට්ටුව අසළට හොඳින් දිස් වූ වළව්ව පෙන්වමින් සුමුදු විමසුවාය.
"මෙහෙ අය ඕකට කියන්නේ පාළු වළව්ව කියලා… ඔය පන්සලට පහළින් තමයි ඉස්සරහා ගේට්ටුව තියෙන්නේ… පිටිපස්ස අර මං ඉන්න තැන කිට්ටුව ලොකු උණ පඳුර ළඟ. හරි විසාල වත්තක්…"
"අපරාදෙනෙ මෙහෙම තැනක් ඔහොම පාළුවට යන්න ඇරලා තියෙන්නේ…"
"ඔන්න අපේ පුවත්පත් කලාවේදිනියට පත්තරේට ලියන්ඩ කාරණාවක්… 'කාලයේ වැලි තලාවෙන් මැකී යන වළව් උරුමය...' එහෙම දාත හැකි හෙඩිං එක..." අසංක සිනහසෙමින් කීවේය.
"හිනා නෙවෙයි, අපි යං ඒක බලන්න?"
අසංකගේ සිනහව එසැණින් අතුරුදහන් විය. "මේ හැන්දෑවෙ? පිස්සුද? ඊටත් දැං කළුවර වැටීගෙන එන්නේ…"
"ඇයි මොකෝ හොල්මන් ඉඳියි කියලා බයද?" සුමුදු ඇසුවේ කවට සිනහවක් සමගිනි. "කොළඹින් ආපු මං දන්න අසංකනම් ඕවා ගැන විශ්වාස කරන්නෙ නෑ..."
"සමහර දේවල් තියෙනවා, ඒවා ඒ තියෙන හැටියටම තියෙන්න අරින එක තමයි හොඳ. අපි ඒවා ගැන හාරාවුස්සන්න හොඳ නැහැ..." ඔහු මඳින් මඳ තමාටම හගිස්සවාගන්නට උත්සාහ කරමින් සිටි කාරණාවක් එලෙස පැවසුවේය.
"මේ මිනිස්සුත් එක්ක ඉඳලා ඔයාටත් පිස්සු හැදිලද කොහෙද! අර බලන්නකෝ අර අඹ ගස්වල ගෙඩි පිරිලා තියෙන හැටි!" තරමක් වේලා වාද කරගැනීමෙන් පසු සුමුදු තනිවම මාවතට පිවිස වළව්වේ ගේට්ටුව දෙසට යන්නට වූ කල, අසංකට ඈ පසුපස යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වූයේ නැත. අගුළු ලා නොතිබූ ගේට්ටුව සුමුදුගේ අතින් කිරි කිරි හඬින් විවර වද්දී හාත්පස සන්ධ්‍යා එළිය තරමක් පැතිර තිබුණද, පාළු ඉඩම මධ්‍යයේ වූ වළව්ව තුළින් දිස් වූයේ අන්ධකාර ස්වරූපයකි. "අන්න අර අඹ ගෙඩිය කඩලා දෙන්නකෝ අසංක…" ඇය පහත අත්තක වූ අඹ ගෙඩියක් පෙන්වමින් කීවාය. "හරි රස පාටයි!"
"මේ ඔයා හෙටම ආපහු යන්න හරිද?" ඔහු පහත දෙබලකට නැග එය කඩාගන්නා අතරේ කීවේය. "සුමානයක් විතර මෙහෙ හිටියොත් ඔයා මුළු ගමම උස්සගෙන යයි!" ඔහුගේ අතින් ඩැහැගත් අඹය ලෙලිගසා රස බැලූ ඇය ඔහුටද ඉන් කටක් කැව්වාය. ඒ මොහොතේ එක්වරම අමිහිරි හඬක් නගමින් කුමක්දෝ කළු පැහැති ගුලියක් ඔවුන් වෙත පතිත වන්නට මෙන් පැමිණ තටුගසා ඉගිල ගියේය. සුමුදු සිනාසුණාය. "වවුල්ලු! අඹේකට පොරකනවද කොහෙද!" මෙවන් අද්භූත පරිසරයක් තුළදී ඈ එලෙස සැහැල්ලුවෙන් සිනාසෙන්නේ කෙසේදැයි අසංකට සිතාගත නොහැකි විය. ඔහුට මෙහි රැඳී හිඳින්නට සිත් දෙන්නේම නැත. "පුංචි කුමාරිහාමි අඹ ඵල භුක්තිවිඳලා අහවරයිනම් අපි යමුද?"
එක්වරම තුරු හිස් ලෙළවමින් චණ්ඩ සුළඟක් හමා යන්නට විය. වවුලන් සිය ගණනක පමණ කෑගැසීම එකවර නැගෙන්නට විය. සුමුදු අසංකගේ අතින් අල්ලාගත්තාය. "යමු!" ඇය කීවාය. අසංක සූදානම් වූයේ යළි ගේට්ටුව වෙත ඇවිද යන්නට නමුත් සුමුදුගේ පා එසවුණේ වළව්ව දෙසටය. එවර ද අසංකට ඈ පසුපස පිය නගනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැත.
- මතු සම්බන්ධයි -

ඔහෙ පලයං
ReplyDeleteමෙන්න කොටස් දෙකක්....................!
තවම වචනයක් වත් කියෙව්වේ නැහැ . නිදහසේ කියවන්න ඕන. comment එක නොදා බැරි වුනා surprised නිසා
🥰😁💗
Delete+++++++
ReplyDeleteස්තූතියි. මම නං කීප සැරයක් කියෙව්වා.😁🙏💐👌
ReplyDeleteමොකෝ, ඒ වළව්වෙ ගස් බෙණේක ඔහෙගෙ නෑදෑයෙක්වත් ඉන්නවැයි? 😊
Deleteහැපෝ.. දෙවෙනි කොටස දැක්ක ගමං දුවල දුවල ඇවිත් රාජකාරි වෙලාව වගයි හොල්මන් කතාවක් වගයි අමතක කරලා පණ්ඩිතයා වගේ කියෙව්ව. දැන් තනියෙං කියුබිකල් එකේ ඉන්න බයයි! ඒ මදිවට ඔපීසිය එහාපැත්තෙ ගස් වකාරෙ බයානක සද්දත් ඇහෙනව. නිරුපද්‍රිතව ගෙදර යාගත්තොත් ලොකු දෙයක් අද!
ReplyDeleteබයගුල්ලි! 🥰🥰🥰
Deleteඔය කිව්වට මං ඊට හපං 🤭🤭🤭
අම්මෝ..............ඒ මොකක්ද ඒ වුනේ
ReplyDeleteසිත්තමී ඒ පාර හොල්මනක් ගෙනත්
thank you ආයෙත් ඉක්මනටම ආවට
අපි බයවෙයි හොල්මං වලට...........................පුහ්
දවල් කියවන එක හොඳයි වගේ කොයි එකටත්
නෑ ....බයට හෙම නෙවෙයි
මාත් මේක උදේට, දවල්ට පෝස්ට් කරන්නේ ඒකයි, රෑට හොල්මනට ඩියුටිනේ 😄😄😄
Deleteමට ඒ කාලේ කියවපු කතාවක් මතක් වුනා සතුට පත්තරේ . වලව්වක කතාවක් මයි ඒකත්. ඉවර වුනේ අමුතුම විධිහකට දෙවන ලෝක යුද්ධේ සම්බන්ධ කරලා .
ReplyDeleteඑහෙමද? මං ආසයි ලෝක යුද්ධ කතා කියවන්න. මේ කතාව මං මුළින්ම ලිව්වේ පොඩි කුමාරිහාමිගේ වළව්වේ එයා ලියපු කතාවකින් inspire වුණ කමෙන්ට් කතාවක් හැටියට. පස්සෙ තමයි චරිත වෙනස් කරලා, ටිකක් දික් කරලා මෙහෙම ලිව්වේ.
Delete😕
ReplyDelete