368. වනස්පතියක් සහ රෝස මලක්...

 


ඒ මහා වනස්පතියෙක්

රූස්ස නුග ගහක්

බොහොම ගරු ගාම්භීරෙට

අණසක පතුරවාගෙන හිටපු

කැලේ හැම ගහකට, වැලකට, මලකටම

රජ්ජුරුවෝ

හැමෝවම බලාගෙන පරිස්සං කරගෙන හිටියා

ඒත් කාටවත් වැඩිය ලං වෙන්න දුන් නෑ

මොකෝ මන්දා

අතේ දුරෙන් තමයි හිටියේ

හුළං හැමුවට ගණං ගත්තෙවත් නෑ

කුරුළු ගීත නෑහුණා වාගේ හිටියා

පුංචි සමනල්ලු ලඟට ආවත් අහක බලාගෙනම හිටියා


ඉතිං ඔන්න දවසක්දා

මේ මහ නුග ගහ පාමුල

පිපුනා පුංචි රෝස මලක්

කියන්න බැරි තරමට ලස්සන


මහ නුග ගහටත් පුදුමයි

මීට කළිං කවදාවත්

මේ තරමට ලං වෙලා

මේ තරං ලස්සන හුරුබුහුටි රෝස මලක්

දැකලාම නෑ


පුංචි රෝස මල නුග ගහ දිහා බැලුවා

නුග ගහත් බලාගෙන උන්නා

රෝස මල ඇස් දෙකෙන් මොනවද කිව්වා

නුග ගහ ඒ කිව්වේ මොකද්ද කියලා දහ අතේ කල්පනා කළා


ඔහොම දවස් ගෙවිලා ගියා

හදිසියේම එක දවසක්

පුංචි රෝස මල නුග ගහ එක්ක හිනා උනා


එදා ඉඳං හැම දේම වෙනස් උනා


දැං ඒ මහ වනස්පතිය

සුළඟ එක්ක එකතු වෙලා නටනවා

කුරුල්ලෝ එක්ක ගී ගයනවා

සමනළ පැටවු එක්ක සෙල්ලම් කරනවා

ඒ පුංචි රෝස මලේ හිනාව ආයෙ ආයෙත් දකින්න


ඒවා බල බල පුංචි රෝස මල හැමදාම

නුග ගහ එක්ක හිනා වෙනවා ලෝබ නැතුව


=================


මේ පැදි පෙළ මං අකුරු කළේ මගේ පුතා ඉපදුණු දවස්වල. ඒ රෝස මලේ හොඳම යාළුවා වුණ නුග ගහ මේ දවස්වල අසනීපෙන්. ඒ වනස්පතියේ හෙවණ ලබන අපිට දරාගන්න පුළුවන් තරමට වඩා අසනීපෙන්. ඒ වනස්පතිය වෙනුවෙන් ආශිර්වාදයත්, ඉක්මන් පූර්ණ සුවයත්, නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායුෂත්, ආදරයත් හිතින් ප්‍රාර්ථනා කරන්න පුලුවන්ද ඔයාලට... මගේ රත්තරන් තාත්තා වෙනුවෙන්... මං වෙනුවෙන්.....

6 comments:

  1. ඔයාගේ රත්තරන් තාත්තාට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සිත්තමී.

    ReplyDelete
  2. පියාට ඉක්මන් පූර්ණ සුවයත්, නිදුක් නිරෝගී සුව පිරි දීර්ඝායුෂත් පතමි.

    ReplyDelete
  3. Best wishes for a speedy recovery

    ReplyDelete
  4. ඒ අපූරු තාත්තට ඉක්මනටම සුව වේවා.

    ReplyDelete
  5. What a beautiful analogy!

    Sending lots of love on your way and Good health and happiness to your dad.

    ReplyDelete
  6. මගේ තාත්තා වෙනුවෙන් ආශිර්වාදය පැතූ ඔයාලා හැමදෙනාටම ගොඩාක් පින්! 🙏

    ReplyDelete