පසුදින ජෝ හුදෙකලාව තම නවාතැනේ කවුළුවෙන් පිටතට නෙතු යොමාගෙන හිඳගෙන සිටියේය. මඳවෙලාවකින් කිසිවෙකු දොරට තට්ටු කරන හඬක් ඇසුණි. විගසින් දොර වෙත හැරුණු ජෝ එදෙස මොහොතක් බලා සිටියේය. අනතුරුව නැගිට විත් ඔහු දොරටුව විවර කළේ බලාපොරොත්තු දැල්වුණු දෑසිනි. නමුත් එවිගසින්ම ඔහු යළිත් බලාපොරොත්තු කඩ වූ මුහුණින් ඉවතට ඇවිද ගියේය. දොරටුවෙන් නවාතැන තුළට කඩාවැදුණේ ඔහුගේ කාර්යාල ප්‍රධානි හෙනසි මහතා ය.
"අයිසෙ ජෝ, ඒක ඇත්තද: තමුසෙට හැබෑවටම ඒ විස්තර හම්බවුණාද?" ඔහු නොඉවසිල්ලෙන් ඇසුවේය.
ජෝ දෑත් සාක්කු තුළ රුවාගෙන හෙනසි මහතා වෙත හැරුණේය. "මොන විස්තරද?"
"අර කුමාරිකාවගෙ කතාන්දරේ - අර අති විශේෂ වාර්තා ලිපිය: ඒක හරිද?"
"නෑ," ජෝ හිස දෙපසට වනමින් ඉවතට හැරුණේය. "මට ඒක කරගන්න බැරිවුණා."
"මොකා? ඒත් එහෙම වෙන්න බෑනේ!"
"කෝපි හරි මොනවාහරි බොනවද?"
හෙනසි මහතා ජෝ වෙත ඇඟිල්ලක් උරුක් කළේය. "ජෝ, මගෙන් ඒක හංගන්න ලෑස්ති වෙන්න එපා."
"කවුද මොනවත් හංගං ඉන්නේ?"
"තමුසෙ!"
ජෝ තම මේසය මත වූ කිසිවක් එහා මෙහා කරමින් කාර්යබහුලව සිටියේය. "මට තේරෙන්නෙ නෑ සර් මේ මොනවද කියන්නෙ කියලා?"
"මං තමුසෙ හිතං ඉන්නවට වඩා දේවල් දන්නවා ජෝ: ඉස්සෙල්ලාම තමුසෙ මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඔට්ටු ඇල්ලුවා කුමාරිකාව ගැන විශේෂ ලිපියක් ලියනවා කියලා; ඊළඟට තමුසෙ අන්තරස්දාන වුණා; ඊටත් පස්සෙ මට තානාපති කාර්යාලෙ ඉන්න මගේ ඔත්තු කාරයෙක්ගෙන් ආරංචි වුණා කුමාරිකාව අසනීපෙන් නෙවෙයි, එයා නගරෙ පුරා ඇවිදිනවා කියලා."
"අනේ මං දන්නෑ ඔබතුමා මොනවිදිහේ පුවත්පත් සංස්කාරකවරයෙක්ද කියලා? ඔය කනට ඇහෙන තුට්ටු දෙකේ ඕපදූප ඔක්කොම ඔබතුමා විශ්වාස කරනවද?"
"නැතුව? ඒ විතරක් නෙවෙයි: ගඟේ බෝට්ටු සාදෙක මහ ගාලගෝට්ටියක් වෙලා තියෙනවා - " හෙනසි මහතාට සවන් දී සිටින අතරේ මිහිරි මතක ආවර්ජනය හේතුවෙන් ජෝ ගේ දෑස් බැබළෙන්නට විය. "- කොහෙන්දෝ මන්දා රටකින් ආපු රහස් නිලධාරීන් අට දෙනෙක් අත් අඩංගුවට අරගෙන. ඊට පස්සෙ හදිසියෙම කුමාරිකාවට සනීප වෙලා. ඉතිං ඔය ඔක්කොම කෑලි එකට එකතු කළාම පිංතූරෙ ලස්සනට හැදෙනවනේ! මේ, ඔහොම අගේ කර කර ඉඳලා කතන්දරේ ගාණ ඉස්සුවා කියන්නෙ එහෙම නෑ, තේරුණාද? ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුවක්, අපි ඒ ගාණට එකඟ වුණා!" හෙනසි මහතා කතා කරන අතරේ ජෝගේ මේසය වෙත ගොස් ඒ මත ඇති දෑ අවුස්සන්නට විය. "කෝ මිනිහෝ, කොහෙද කොහෙද, පෙන්නනවකෝ මට: කෝ කතන්දරේ?"
"මං එහෙම එකක් ලිව්වෙ නෑ." ජෝ හෙනසි මහතා පසු කර කුඩා මේසය වෙත ගොස් වයින් වීදුරුවක් වත් කරන්නට පටන්ගත්තේය.
"එහෙනං මොකද තමුසෙ-"
හෙනසි මහතාගේ කතාවට බාධා කරමින් ඒ මොහොතේදී මහ හඬින් දොරටුව විවර කරගෙන නවාතැන තුළට කඩා වැදුණේ අර්වින් ය. "ජෝ!" ඔහුගේ අතේ විශාල ලියුම් කවරයක් විය. "මේ බලනවා ඕයි මේවා දිහා!"
"අර්වින්." ජෝ අවධාරණාත්මක හඬින් ඔහු ඇමතුවේය.
අර්වින් හෙනසි මහතා වෙත ගියේය. "හලෝ හෙනසි මහත්තයා, ෂා, ඔබතුමාත් නියම වෙලාවට ඇවිත් තියෙන්නේ." "අර්වින්!" ජෝ වඩාත් දැඩි හඬින් ඔහු ඇමතුවේය. නමුත් මිතුරාගේ තර්ජනාත්මක හඬ වටහා නොගත් අර්වින් දිගටම කතා කරන්නට සූදානම් විය: "මේ බලන්නකො-" ඔහු ලියුම් කවරය විවර කරන්නට සූදානම් වනවාත් සමගම ජෝගේ අතේ වූ වයින් වීදුරුව අර්වින්ගේ සිරුර පුරා හැළී ගියේය. අර්වින් කෝපයෙන් යුතුව වහා ජෝ වෙත හැරුණේය. "ඒ මොකටද එහෙම කළේ?"
"මොකක්?" ජෝ පුදුමයෙන් මෙන් කතා කරන අතරේ අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරා ගත්තේය. "තමුසෙනෙ මගේ කාමරේට කඩං වැදිලා මෙතන බඩු පෙරලන්න ගත්තේ!"
"කවුද බඩු පෙරළුවේ?"
"තමුසෙනේ. ඇයි ඕයි මතක නැද්ද, මං ඒ ගැන මීට කළිනුත් තමුසෙ එක්ක කතා කළා?"
"ජෝ, බලනවා මගෙ කලිසම දිහා!"
ජෝ අර්වින්ගේ අතින් ඇදගෙන නාන කාමරය දෙසට යන්නට විය. "ඔව් ඔව්, මේ පැත්තට ඇවිත් ඕක වේලගන්නවා අර්වින්."
නමුත් එයට විරෝධය පෑ අර්වින් ඔහුගේ ග්‍රහණයෙන් මිදුණේය. "ඕන නෑ. මේ ඒක නෙවෙයි, තමුසෙ හෙනසි මහත්තයාට කිව්වද ස්මිත් ගැන?"
"අර්වින්." ජෝ අනතුරු ඇඟවූවේය.
මිතුරන් දෙදෙනාගේ කෝලහාලය දෙස සැකමුසුව බලා සිටි හෙනසි මහතා කුතුහලයෙන් ඔවුනට සවන් දී සිටියේය. "ස්මිත්?"
"හප්පා! හෙනසි මහත්තයෝ-" අර්වින් ජෝ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "අර්වින්!" ජෝ යළිත් අනතුරු ඇඟවූවේය. අර්වින් හෙනසි මහතා වෙත යන්නට පටන්ගත්තේය. "මේ බලන්නකෝ-" ජෝ පය දිගු කර අර්වින්ගේ ගමනට බාධා කළ අතර ඔහු පය පැකිළී ඇද වැටුණේය.
"අයියෝ අර්වින්," ජෝ අහිංසක හඬින් කීවේය. "ඔය බලාපංකො ඉතිං ආයෙත්."
අර්වින් දුම් දමමින් නැගිටගත්තේය. "ජෝ. මේ අහපං-" ඔහු මිතුරාට පහර දීමට සූදානම් විය.
නමුත් ජෝ විගසින් ඔහු වළක්වාගත්තේය. "හරි හරි, ඕක පස්සෙ බැරියැ; තමුසෙ කොහොමටත් මෙහෙ ආවා කළිං වැඩියි. දැං ගෙදර ගිහිං රැවුළවත් බාගනිංකෝ!"
අර්වින් සිය රැවුළ අතගෑවේය. "රැවුළ?"
"ඔව්, එහෙම බැරිනං අඩු ගානේ මායි හෙනසි මහත්තයයි කතා කරලා ඉවර වෙනකල් කට පියාගෙන හිටපං."
හෙනසි මහතා සිය හිස් වැස්ම පැළඳගනිමින් ඔවුන් වෙත ආවේය. "තමුසෙලා දෙන්නා මොකටද මේ ලෑස්ති වෙන්නේ?" ඔහු සිය දෑත් ඉණ මත තබාගත්තේය. "කවුද ස්මිත් කියන්නේ?"
ජෝ වහා පිළිතුරු දුන්නේය. "ඒ අපිට ඔය පාරෙදි හම්බවෙච්ච මිනිහෙක්; ඔබතුමාට උගෙන් වැඩක් නෑ."
ඒ මොහොතේදී හෙනසි මහතා අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "මොනවද අර්වින් මට පෙන්නන්න හැදුවේ?" ඔහු එය විවර කරන්නට සූදානම් විය.
ජෝ වහා එය ඔහුගෙන් උදුරාගත්තේය. "ආ, ඔය අර්වින්ගේ නැට්ටුක්කාරියොන්ගෙ පින්තූරනේ; ඔබතුමා මෙහෙම ඒවට කැමති නෑ." නමුත් හෙනසි මහතාගේ සැකමුසු බැල්ම හමුවේ ඔහු මුවට සිනහවක් නගාගත්තේය. "ආ එක්කෝ ඕනමනං බලමු ඉතිං," ඔහු කවරය විවර කරන්නට මෙන් සූදානම් වූවේය.
නමුත් හෙනසි මහතා නොඉවසිල්ලෙන් ඔහු වැළැක්වුවේය. "කතාව වෙන පැත්තකට හරවන්න හදන්න එපා අයිසෙ! තමුසෙ ඊයෙ මගේ ඔෆිස් එකට ආපු වෙලාවේ-"
"හරි, මං දන්නවා, ඊයෙ දවල් මං හිතං හිටියේ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා, ඒත් මං හිතං හිටියා වැරදියි! එච්චරයි ඉතිං; මට ඒ කිව්ව විදිහේ කතන්දරයක් ලියාගන්න බැරි වුණා." හෙනසි මහතාට පිටුපසින් සිටි අර්වින්ගේ මුව පුදුමයෙන් විවර විය.
"හරි එහෙනං," හෙනසි මහතා පිටව යාමට සූදානම් විය. "අද තියෙනවා අර ඊයෙ අවලංගු වෙච්ච පුවත්පත් සාකච්ඡාව. ඒ වෙලාවටම, එතනම. ඒකටවත් ගිහිං මොනවාහරි ලියාගන්නවා." දොර වෙත ඇවිද ගිය හෙනසි මහතා ආපසු හැරී ජෝ වෙත ඇඟිල්ල උරුක් කළේය. "මතක තියාගන්නවා තමුසෙ මට තව ඩොලර් පන් සීයක් ණයයි දැන්!"
"මගේ පඩියෙං කපාගන්න, සතියකට පණහ ගානේ." ජෝ ඔහු දෙස නොබලා පිළිතුරු දුන්නේය.
"හිතන්න එපා මං එහෙම නොකරයි කියලා!" හෙනසි මහතා පිටව ගියේය.
එතෙක් වේලා තුෂ්නිම්භූතව බලා සිටි අර්වින් ජෝ දෙස බැලුවේය. "ඕයි, මොකද වුණේ? අපිට හෙනසි උන්නැහේට වඩා ගෙවන්න කැමති කෙනෙක් හම්බවුණාද?"
"අර්වින්..." ජෝ තැතනුවේය. "මං, මං දන්නෙ නෑ මේක උඹට කොහොමද කියන්නෙ කියලා, ඒත්-"
"ඔහොම හිටපං පොඩ්ඩක් මං වාඩි වෙනකල්." අර්වින් අසළ පුටුවක් මතින් හිඳගත්තේය.
"මේකයි, ඔය පින්තූරත් එක්ක ලියවෙන්න තිබ්බ කතාව ගැන කියනවනං: එහෙම කතාවක් නෑ."
"මො-මොකක්?"
ජෝ තවත් වයින් වීදුරුවක් වත් කරගත්තේය. "මං කිව්වෙ, මං එහෙම එකක් ලියන්නෙ නෑ."
ජෝ දෙස මොහොතක් වේලා බලා සිටි අර්වින් අවසානයේදී සිය මිතුරාගේ සිතැඟි අවබෝධ කරගත්තේය. "මේ, හරි, අර - මේ, පින්තූර ටික මාර ලස්සනට ආවා බං. උඹ අඩු ගානේ මේ ටික හරි පොඩ්ඩක් බලාපං." ඇඳ වෙත ගිය අර්වින් ඒ මත කවරයෙන් ගත් ඡායාරූප එකින් එක ඇතිරුවේය. ඒ අසළට පැමිණි ජෝ වෙත ඔහු එක් ඡායාරූපයක් ඔසවා පෙන්නුවේය. "කොහොමද මේක?"
ජෝද මඳ සිනහ රැඳි මුහුණින් එය අතට ගෙන බැලුවේය. අනතුරුව ඔහු ඇඳ මතින් තවත් ඡායාරූප කිහිපයක් අතට ගත්තේය. "හෙහ්, එයාගෙ පළවෙනි සිගරට් එක!" ඔහු ඉන් එකක් දෙස බලමින් හිනැහුණේය.
"ආ ඔව්, රොකා අවන්හළේදි ගත්ත එක," අර්වින්ද එයට එබෙමින් කීවේය.
ජෝ ඊළඟ ඡායාරූපය දෙස බැලුවේය. "මෙන්න, සත්‍යයේ මුහුණත ළඟ." ඊළඟ ඡායාරූපය දුටු මොහොතේදී ඔවුන් දෙදෙනාම හඬනගා සිනාසුණෝය. එහි වූයේ කුමරිය සහ මාරියෝගේ නර්තනයයි. ජෝ ඇඳ මතින් තවත් ඡායාරූපයක් අතට ගත්තේය. "මෙන්න මේක තමයි මං ලිපියේ ප්‍රධාන පින්තූරෙ විදිහට දාන්න හිතං හිටියේ," ඔහු එය අර්වින්ට පෙන්වමින් කීවේය. එහි වූයේ ඈන් කුමරිය ප්‍රාර්ථනා පවුර දෙස බලා හිඳිනා දසුනකි. "'ප්‍රාර්ථනා ඉටු වන පවුර අභියස,'" ඔහු තමා සිතා සිටි සිරස්තලයද ඉදිරිපත් කළේය.
"ජෝ, ඒක නියමයිනේ!" අර්වින් සතුට පළ කළේය. "ඒක උඩින්ම දාලා ඊළඟට මේ එකින් එක එයාගෙ ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනා විදිහට එකතු කරන්න පුළුවන්, නේද?"
"හ්ම්."
අර්වින් තවත් රූපයක් අතට ගත්තේය. "මේ, මේක මං වෙන ලිපිගොණුවකින් හොයාගත්තේ: 'කුමරිය පොලිසිය පරීක්ෂා කරමින්'."
"ඔව්, ඒත්-"
අර්වින් තවත් ඡායාරූපයක් ජෝ අතට ලබා දුන්නේය. එහි වූයේ ස්කූටර වික්‍රමයෙන් පසු අත් අඩංගුවට ගැනුණු කුමරිය හා පොලිස් නිලධාරීන්ගේ රූපයකි. "එතකොට මේක: 'පොලිසිය කුමරිය පරීක්ෂා කරමින්'. කොහොමද ඒක?"
දෙදෙනාම යළිත් සිනාසුණෝය. "නියමයි, නියමයි," ජෝ කීවේය.
අර්වින් ඊළඟ ඡායා රූපය මිතුරා අතට දුන්නේය. එහි වූයේ කුමරිය පුටුවක් මතට නැග ගිටාරය ඔසවා රහස් සේවා නිලධාරියාට පහර දෙන අන්දම ය. "ෂහ්!" ජෝගේ මුහුණ විශ්මයෙන්ද ප්‍රීතියෙන්ද බැබළෙන්නට විය.
"ඒක නියමයි නේද?"
"ආයෙත් අහලා! මාර පින්තූරයක්නේ!"
ඔවුන් දෙදෙනා හඬ නගා සිනාසෙමින් එයට ගැලපෙන සිරස්තල යෝජනා කරන්නට විය. අර්වින් සිය මිතුරා අවසානයේදී ලිපිය ලියන්නට සිත එකඟ කරගෙන ඇති බව සිතන්නට වූ මොහොතේදීම ජෝගේ මුහුණෙන් එළිය අතුරුදහන්ව ගියේය. අර්වින්ගේද සිනහව වියැකී ගියේය. "මොනවද බං ජෝ," ඔහු මිතුරා උනන්දු කරවන්නට උත්සාහ කළේය. "මේ කුමාරිකාවක්නේ. ඔය හැටි හිතන්න දෙයක් තියෙනවැයි." නමුත් ජෝගේ සම්පූර්ණයෙන්ම අඳුරුව ගිය මුහුණ දෙස බලමින් අර්වින් අවසානයේදී හිස දෙපසට වැනුවේය. "උඹෙනං ඔළුව හොඳ නෑ!"
"ඔව්, මං දන්නවා," ජෝ කීවේය. "ඒත් මේ, අහපං, උඹට ඔය පින්තූර විකුණගන්න ඕනෙනං මට උඹව නවත්තන්න බෑ. උඹට හොඳ ගාණක් හොයාගන්න පුළුවං වෙයි."
"ඔව් මොකද නැත්තෙ!" නුරුස්නා හඬින් එසේ පැවසූ අර්වින් ඇඳ මතින් ඡායා රූප ගොන්න එකතු කරගන්නට විය.
"උඹ සාකච්ඡාවට යනවද?" ජෝ ඇසුවේය.
"උඹ යනවද?"
"නොගිහිං බෑනේ. රස්සාවෙ වැඩක්නේ."
"ඒක හරි." ඡායාරූප ගොන්න ලියුම් කවරය තුළට දමාගත් අර්වින් දොරටුව වෙත ගොස් සිය තෙත් වූ කලිසම දෙස බලා ජෝ වෙත එරෙව්වේය. "හම්බවෙමු එහෙනං," ඔහු පිටව ගියේය.
***
තානාපති කාර්යාලයේ විශාල ශාලාව පුරා වාර්තාකරුවන් හා ඡායාරූපශිල්පීන් රැස්ව සිටියෝය. ජෝ සහ අර්වින් ද එහි ඇතුළු වූහ. ශාලාවේ ඉදිරිපස වූ වේදිකාව මතට පැමිණි අයෙක් පිරිසට නිහඬවන ලෙස සංඥා කළේය. "නෝනාවරුනි මහත්වරුනි: කරුණාකර ඉදිරියට පැමිණෙන්න," ඔහු නිවේදනය කළේය. ඉදිරියේ සීමාව දක්වා තිබූ තාවකාලික වැට ආසන්නයට සියල්ලන්ම රැස් වූ අතර ජෝ සහ අර්වින්ද පිරිස අතරින් රිංගා ගොස් ඉදිරි පෙළ දකුණු කෙළවරට ආසන්නව සිටගත්තෝය. ඒ මොහොතේදී වේදිකාව මතට පැමිණි පරිනායකවරයා කුමරියගේ පැමිණීම නිවේදනය කර සිටියේය. මොහොතකින් ඈන් කුමරිය තානාපතිවරයාද, වියර්බර්ග් ආදිපාදවරියද, ජනරාල්වරයාද, ඒ පසුපසින් තවත් පිරිසක්ද පිරිවරාගෙන ඇතුළු කුටියක සිට වේදිකාව වෙත සැපත් වූවාය. ඈ දැකීමෙන් ජෝ මඳ සිනහවක් පෑවේය. වේදිකාව ඉදිරියට පැමිණි කුමරිය ඒ මධ්‍යයේ වූ ප්‍රභූ අසුන ඉදිරියේ සිටගත්තාය.
තානාපතිවරයා ඈ ඉදිරියට පැමිණියේය. "රාජකීය උත්තමාවියනි: ප්‍රවෘත්ති ආයතන නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින මහත්ම මහත්මීන්," ඔහු පිරිස වෙත අත දිගු කරමින් හිස නමා ඇයට පැවසුවේය. ඔවුන් දෙස බැලූ මඳ සිනහ පාමින් හිස යාන්තමින් ඉහළ පහළ යවමින් පිරිස සිසාරා දෙනෙත් ගෙන ගියාය. ඉදිරිපස කෙළවරක සිටගෙන සිටි ජෝ දැකීමෙන් තිගැස්සුණු ඇගේ මුහුණේ වූ සිනහව එක්වරම මැකී ගියේය. ඒ මොහොතේදී තානාපතිවරයා ඇයට හිඳගන්නට සංඥා කළෙන් සිත එකඟ කරගත් කුමරිය අසුනේ වාඩි වී යළිත් ජෝ දෙස බැලුවාය. ජෝ ද ඈ දෙසම බලාගෙන සිටියාය. මොහොතකින් සිය හිස පරිනායකවරයා වෙත හැරවූ කුමරිය ඔහු වෙත හිස සැලුවාය.
හිස නවා ඇගේ නිහඬ විධානය පිළිගත් පරිනායකවරයා කතා කළේය: "නෝනාවරුනි මහත්වරුනි, රාජකීය උත්තමාවිය ඔබලාගේ පැනයන්ට පිළිතුරු දීමට සූදානම්."
"පළමුවෙන්ම උත්තමාවියනි," ඉදිරිපස වම් කෙළවරේ සිටි එක් තලතුනා මාධ්‍යවේදියෙක් හඬ අවදි කළේය, "ඔබතුමියට රෝගාතුර බවින් අත්මිදී ඉක්මන් සුවය ලැබීමට හැකිවීම ගැන අප හැමදෙනාගේම සතුට ප්‍රකාශ කරන්නට මම කැමතියි."
අනෙක් කෙළවරේ සිටි ජෝ වෙත ඉක්මන් බැල්මක් හෙලූ කුමරිය යළිත් වහාම තලතුනා මාධ්‍යවේදියා දෙස බැලුවාය. "බොහොම ස්තූතියි," ඇය සිනහමුසු මුහුණින් තෙපළා ය.
"උත්තමාවියනි," පිරිස අතරින් තවත් අයෙක් කතා කළේය, "ඔබතුමිය විශ්වාස කරනවාද සමූහාණ්ඩුව යුරෝපයේ ආර්ථික ගැටළුවලට ගැලපෙන විසඳුමක් බව?"
"යුරෝපයෙ සබඳතාවයන් වඩාත් ඉහළ නංවන ඕනෑම විසඳුමකට මගේ කැමැත්ත ලැබෙනවා," කුමරිය පිළිතුරු දුන්නාය.
"ජාතීන් අතර මිත්‍රත්වය කුමන ආකාරයකින් තිබිය යුතු බවද ඔබතුමියගේ අදහස?"
"ඒ ගැන මගේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා-" ඇය ප්‍රශ්නය විමසූ තැනැත්තා වෙතින් දෙනෙත් මෑත් කරගෙන ජෝ දෙස බැලුවාය. "-හරියටම මිනිසුන් අතර සබඳතාවයන් ගැන මං විශ්වාස කරනවා වගේම." පෙර සූදානම් වූ පිළිතුරුවලට පරිබාහිර යමක් ඇගේ මුවින් පිට වූයෙන් වේදිකාව මත වූ අනෙක් පිරිස මුහුණින් මුහුණ බලාගත්තෝය.
මෙවර හඬ අවදි කළේ ජෝ ය. "මම කියන්න කැමතියි, මං - මගේ පුවත් සේවා ආයතනය - වෙනුවෙන්, ඔබතුමියගේ විශ්වාසයට කුමන ලෙසකින්වත් අසාධාරණයක් සිදු නොවෙනු ඇතැයි අපි විශ්වාස කරනා බව," ඔහු මඳ සිනහ රැඳි මුවින් ඈ දෙස බලාගෙනම පැවසුවේය.
ඈන් කුමරියගේ මුහුණේ මහත් සැනසිලිදායක සිනහවක් ඇඳී ගියේය. "ඔබෙන් එවැනි ප්‍රකාශයක් අහන්න ලැබීම ගැන මට හරිම සතුටුයි," ඇය කීවාය.
"ඔබතුමිය සංචාරය කළ නගර අතුරින් වඩාත්ම ඔබතුමියගේ සිත්ගත්තේ කුමන නගරයද?" සභාවෙන් තවත් පැනයක් ඉදිරිපත් විය.
ඈන් කුමරිය ඒ වනවිටද සිටියේ ජෝ දෙස බලාගෙන ම ය. ඇගේ පිළිතුර පමා වූයෙන් ඉදිරියට නැමුණු ජනරාල්වරයා ඇයට පෙර සූදානම් වූ පිළිතුර සිහිපත් කළේය: "හැම නගරයක්ම..."
කුමරිය අවසිහියෙන් මෙන් සිය මතකයේ තැන්පත්ව තිබූ වදන් පෙළ දොඩන්නට වූවාය. "හැම නගරයක්ම මගේ සිත් ගත්තා... ඒවාටම ආවේණික වුණ විශේෂ හේතු නිසා. ඇත්තටම මට අමාරුයි ඒ අතරින්-" ඒ මොහොතේදී ඈ නතර විය. ඇගේ මුහුණේ මෘදු මඳහසක් ඇඳී ගියේය. "රෝමය; හැම අතින්ම මගේ වඩාත්ම සිත්ගත් නගරය රෝමය." වේදිකාව මත උන් පිරිස යළිත් වරක් නොසන්සුන්තාවයට පත්ව උනුන් දෙස බලාගන්නා අතරේ කුමරිය ජෝ දෙස බැලුවාය. "මේ නගරයේදී මම අහපු, දැකපු, විඳපු හැමදෙයක්ම, මගේ මතකයේ රැඳිලා තියෙයි, මම ජීවත් වෙනකල්ම."
"ඔබතුමිය මෙහෙදී අසනීපවුණා වුණත්?" තවත් අයෙකු විමසුවේය.
"එහෙම වුණත්," කුමරිය පෙර ස්වරයෙන්ම තහවුරු කළාය.
ඉන් අනතුරුව පරිනායකවරයා ඡායාරූප ගැනීම සඳහා අවසර ලබා දුන්නේය. ඡායාරූප ශිල්පීන් තාවකාලික වැටෙන් ඉදිරියට රැස් වූ අතර අසුනින් නැගී සිටි කුමරිය වේදිකාව ඉදිරියට පැමිණියා ය. අනෙකුත් ඡායාරූප ශිල්පීන් අතරින් ඉඩක් ලබාගත් අර්වින් ඈ ඉදිරියට පැමිණ සිය ලයිටරය අතට ගෙන කුමරිය වෙත සිනහවක් පා එහි යතුරක් ක්‍රියාත්මක කළේය. මුළදී කුමරිය ඔහුගේ සිනහවට ප්‍රතිචාර දක්වමින් සිනාසුණද ඔහුගේ ලයිටරය සැබැවින්ම කැමරාවක් බව වැටහුණු මොහොතේදී ඇගේ සිනහව අතුරුදහන් විය. අර්වින්ගේ මුහුණේ සිනහව දිගටම රැඳී තිබූ අතර චකිතයට පත් කුමරිය ජෝ දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ වූ සුරක්ෂිත බව තහවුරු කෙරෙන මඳ සිනහවෙන් සිත සැහැල්ලුවට පත් කරගත් කුමරිය යළිත් සිය සිනහව මුවගට නගාගත්තාය.
ඡායාරූප ගැනීම අවසන් කර ශිල්පීන් යළිත් තාවකාලික වැටෙන් පසුපසට ගිය මොහොතේ ජනරාල්වරයා සාකච්ඡාව නිමා කෙරෙනා බව හඟවමින් මාධ්‍යවේදීන්ට සමු දුන්නේය. නමුත් ඒ මොහොතේදී කුමරිය කතා කළාය: "මං කැමතියි මාධ්‍යවේදී මහත්ම මහත්මීන්ව මඳක් මුණගැහෙන්න." ඇය වේදිකාවේ පියගැටපෙළ බැස එන අතරේ ආදිපාදවරිය හා ජනරාල්වරයාද ඈ පසුපසින් එන්නට සූදානම් වුවද ඔවුන් නතර කළ කුමරිය තනිවම පිරිස ඉදිරියට පැමිණියාය. වම් කෙළවරේ සිට මාධ්‍යවේදීන් එකිනෙකා හා කතාබස් කරමින් මඳ සිනහවෙන් යුතුව ඔවුනට අතට අත දෙමින් කෙමෙන් දකුණු පසට ඇවිද ආ කුමරිය අර්වින් ඉදිරියට පැමිණියාය.
"අර්වින් රැඩෝවිච්, සී. ආර්. ඡායාරූප සේවා ආයතනය," අර්වින් තමා හඳුන්වා දුන්නේය.
"කොහොමද ඔබට?" ඔහුට අතට අත දෙන අතරේ කුමරිය කීවාය.
සිය කබා සාක්කුව තුළින් කවරයක් පිටතට ගත් අර්වින් එය ඈ වෙත පෑවේය. "මේ ඔබතුමියගේ රෝම සංචාරයේ අනුස්මරණ ඡායාරූප කිහිපයක් පිළිගන්වන්න මට අවසර."
එය විවර කර යාන්තමින් එහි වූ රූපයක් දෙස බැලූ කුමරිය තම මුවේ ඇඳී ගිය සිනහව සඟවාගත්තාය. කවරයේ ඉහළින්ම වූයේ ඇය ගිටාරයෙන් රහස් සේවා නිලධාරියාට පහර දුන් ඡායාරූපයයි. "ඔබට බොහොමත්ම ස්තූතියි." ඔහුට ස්තූති කළ කුමරිය ඉන් අනතුරුව ජෝ වෙතට හැරුණාය.
"ජෝ බ්‍රැඩ්ලි, ඇමරිකානු පුවත් සේවය," ජෝ තම සම්පූර්ණ අනන්‍යතාවය හෙළි කළේය. ඔවුන් දෙදෙනා අතට අත දෙන අතරේ ජෝ හෘදයාංගම මඳ සිනහවකින් යුතුව ඈ දෙස බලා සිටියේය. කුමරිය මහත් වෑයමකින් තම හැඟීම් පාලනය කරගෙන සිටියාය. "මට හරිම සතුටුයි, බ්‍රැඩ්ලි මහත්මයා," ඇය කීවාය.
ජෝගෙන් අනෙක් පස වූ මාධ්‍ය වේදියා දෙස බැලීමට කුමරියට මඳ වේලාවක් ගත විය. ඉදිරිපස පේළියේ අවසන් තැනැත්තා සමගද කතාබස් කළ කුමරිය ආපසු හැරී වේදිකාවේ පියගැට පෙළ නැග ගියා ය. ඇය යළිත් ඔවුන් වෙත හැරී සිනහවක් පෑ මොහොතේදී මාධ්‍යවේදීහු අත්පොළසන් දී ඈ වෙනුවෙන් ඔවුන්ගේ සතුට පළ කළ හ. පිරිස සිසාරා බැල්මක් හෙලූ ඇගේ දෑස යළිත් වරක් ජෝ වෙත නතර විය. එවර ඇගේ දෑසට එතෙක් අපහසුවෙන් යටපත් කරගෙන සිටි සන්තාපය මුසු විය. ඔහු දිරිමත් කරවනසුලු මඳ සිනහවක් පාමින් යාන්තමින් හිස සලා සිය සමුගැනීමේ ආචාරය ඈ වෙත පුද කළේය. යළිත් වරක් මඳ සිනහවකින් මුව සරසාගත් ඈන් කුමරිය ඔවුනට පිටු පා සිය නිලධාරීන්ද කැටුව රාජකීය ලීලාවෙන් ඇවිද ගොස් ඇතුළු කාමරයේ දොරටුව අසළින් නොපෙනී ගියා ය.
ඈ පිටව යන දෙස බලා සිටි ජෝගේ දෙතොල් තදින් පියවී තිබුණි. අනෙක් මාධ්‍යවේදීන් පිටව යන්නට පටන්ගත් පසුද ඔහු එලෙසම නොසෙල්වී බලා සිටියේය. ඔහු හා අවසානය තෙක්ම රැඳී සිටි අර්වින්ද, වේදිකාව දෙස ඇසි පිය නොහෙලා බලා සිටිනා සිය මිතුරා දෙස මොහොතක් බලා සිට පිටවීමේ දොරටුව දෙසට ඇවිද ගියේය.
තාවකාලික වැට අසළ හුදෙකලාව සිටගෙන සිටි ජෝ, කුමරිය අවසන්වරට දර්ශනය වූ දොරටුව දෙස හැඟීම් රාශියක් කැටි වූ බැල්මෙන් බලා සිටියේය. බොහෝ වේලාවක් එලෙස හිඳීමෙන් අනතුරුව අවසානයේදී ආපසු හැරුණු ජෝ සෙමෙන් සෙමින් පිටවීමේ දොරටුව කරා ඇවිද ආවේය. දෑත් සාක්කු තුළ රුවාගෙන බර අඩි තබමින් සෙමින් ඇවිද එන අතරේ විශාල ශාලාව තුළින් ඇසුණේ ඔහුගේ අඩි ශබ්ධයේ දෝංකාරය පමණි. දොරටුව අසළදී මොහොතකට නතර වූ ජෝ ආපසු හැරී දිගු ශාලාව කෙළවර හිස් වේදිකාව දෙස මඳ වේලාවක් බලා සිටියේය. අනතුරුව ආපසු හැරී දොරටුවෙන් පිටව නික්ම ගියේය.
- සමාප්තයි -
දැන් අහන්න, ඇස් දෙක පියාගෙන, මේ සින්දුව:
"That's how it is with me
And you'll always be
The only love I ever knew
I'll forget many things in my life time
But my darling I won't forget you."