47. ආයෙනං ගෙරෙව්වට මං නෙවෙයි බය වෙන්නෙ...



ගුගුරමින් අහස් කුස
අඳුරු වී දස අතම
වැටෙන වැහි පොද සමග
පොර බදන කුඩ කබල
වීසි කර පැත්තකට
තෙමි තෙමී මව විගස
දිව ගියේ මග වෙතට
සොයා පොඩි දුවණියව 

අනේ මේ ගෙරවිල්ල
නවතින්නෙ නැද්ද අද
මගෙ පුංචි කෙලි පොඩ්ඩ
බය වෙලා අඬනවද
ගෙදරදී මං ලඟම
යන්නෙ නෑ එලෙව්වට
ගෙරවිල්ලෙ මහ හඬට
බයයි මගෙ පොඩි කෙල්ල

මව ඔහොම එන අතර
පොඩි දෝණි එයි පෙරට
ඇගෙ මුහුණෙ බයක් නැත
දෑස් දිලිසේ යසට

මව බලා ඉන්නවා
පුදුම වී නෙත් අයා
අද දෝණි බය නැතුව
හිනා වී ඉන්නවා

ලඟට ආ පොඩි දෝණි
ආදරෙන් තුරුළු කර
යන අතර අම්මා ඒ
විස්තරය අහනවා

අම්මෙ මං අද තමයි
දැක්කෙ ගෙරවිල්ලෙ හැටි
ආයෙනං ගෙරෙව්වට
මං නෙවෙයි බය වෙන්නෙ

අම්මා හරි පුදුම වී
ඒ රහස ගැන අසයි
ආයෙමත් විදුලියක්
දෝණි හිනැහී බලයි

අන්න අම්මේ ආයෙ
මගෙ ෆොටෝ එක ගත්තා
මේ ටිකට මගෙ ෆොටෝ
මහ ගොඩක් අරගත්තා
ඔන්න අම්මත් ඉතිං
හිනා වීලා ඉන්න
දෙන්නාම ඉන්න කොට
ෆොටෝ එක එයි හොඳට


~ ඊමේල් පණිවිඩයක තිබුණ ලස්සන කතාන්දරයක් ඇසුරෙනි...


46. අතරමං වූ කවි සිත...



කුරුළු ගී හඬ නෑසෙනා ඝන කැලෑ ලැහැබක් මැද්දෙදී
දිය බිඳක් නෙත නොගැටෙනා මහ සමුදුරෙක රැළි අතරෙදී
සුළං රැල්ලක් හමා නො එනා ගිරි ශිඛර හිස් මුදුනෙදී
මලක් නොපිපෙන තැනිතලාවෙක පන්හිඳට ඉඩකඩ මදී 



45. ඇහුම්කන් දුනිමි මනරම් දියඇල්ලකට...



ගලා යයි එක් ගංගාවක්
අඳුරු කැලෑවක් මැද්දෙන්
ගුප්ත අන්ධකාරයක් මැද්දෙන්
විටෙක අතුරුදන් වෙමින්
තවත් තැනෙකින් මතු වෙමින්
මූසල හෝ හෝ හඬක් නගමින්
වැළපෙමින් 
රොස් පරොස් බස් දොඩමින්
ඇදී යයි ඒ ගංගාව
නිමක් නැති ගමනක...

දැනුණද වෙහෙස
නොමැත ඉසිඹුවක් නවතින්නට
විහඟුන්ට කන් දෙන්නට
මල් සුවඳ විඳින්නට
සමනළුන් හා හිනැහෙන්නට
නොමැත ඉසිඹුවක් 
ගමනේ රස විඳින්නට...

බැඳලිය නොහුණු වේගයකින්
ඇදි ඇදී යයි ඒ ගංගාව
ලොවට පෙනෙන්නට
ලොව සතුටු කරන්නට
මහා දිය ඇල්ලකින්
ඇද හැලෙන්නට...


44. ගණිත විනෝදය...02


ඕන්න එකෝමත් එක රටක මුදලාලි කෙනෙක් හිටියලු. මේ මුදලාලි ලඟ තිබුණලු පඩි හතරක්, කිලෝ 1 ඉඳන් කිලෝ 40 වෙනකල් ඕනම කිලෝ ගණනක් කිරන්න පුළුවන්. කිලෝ භාග ගණන් බෑ. ඉතින් මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. 

1. මේ පඩි හතරේ එක එකක බර කීයද? 

2. ඒ මුදලාලි කිලෝ 1 ඉඳන් කිලෝ 40 වෙනකල් බර මැනගන්නේ කොහොමද? (උත්තරේට කිලෝ එකේ ඉඳන් කිලෝ හතළිහ වෙනකල් වෙන වෙනම බර මනින විදිහ ලියලා පෙන්නන්න ඕනේ.)

ප්‍රශ්න දෙකටම හරි උත්තර මුළින්ම දෙන කෙනාට තෑග්ගක් තියෙනවා. :)


43. එන්න අළුත් සිහින දකින්නට...


මිහි මත දිලි තරු කැට නමින් මා ලියූ සටහනෙන් කියැවුනු ඒ සුන්දර සිනමා සිත්තමේ එන තවත් ලස්සන ගීතයක් ගැන මට අදත් කතා කරන්න හිතුණා. ඒ එහි නිල වෙබ් අඩවියෙන්ම සියලුම ගීත වල පද රචනා හා ඉංග්‍රීසි පරිවර්තන මට හමු වූ නිසා.

අර අපූරු චිත්‍ර ගුරුවරයා සිසුන් හමුවට එන මුල්ම මොහොත මතකද? අර අපූරු ගීතය? මට ඒකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අන්න ඒ ගීතය විතරක් දාලා මං මේ සිනමා සිත්තම ගැන කතා කරන එක නවත්තන්නම්. අනෙක් ගීතත්, ඒ චිත්‍රපටය ගැන වැඩිපුර තොරතුරුත් ඒ නිල වෙබ් අඩවියෙන් ඔයගොල්ලන්ටම බලාගන්න පුළුවන්.




අන්න බලන්න, ඒ ගහක්ද?
නැතිනම් ලෝගුවක් පොරවාගත් කෙනෙක්ද?
අර වහිනවද? එහෙමත් නැතිනම්
වතුර පයිප්පය වහන්න අහසට අමතක වෙලාද?

ලෝකය කියන්නේ ඔබ එය දකින ආකාරයටයි
එය පවතින්නේ ඔබේම ඇස තුළයි

එනිසා මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න
අළුත් සිහින දකින්නට...

ඇයි මාළුන්ට පියාඹන්න බැරි?
හිතන්න...
ඉර හැමදාම නානවාද?
නැතිනම් හිසකෙස් විතරක් තෙමාගෙන 
අපට පෙනෙන්නට බොරුවට සිටිනවාද?

මේ තාරුකා, සැබවින්ම බැබළෙනවාද?
නැතිනම් තරහින් එකිනෙකා හා බැණගන්නවාද?

මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න
අළුත් සිහින දකින්නට...

හිස පිරෙන තෙක් පාඩම් කරන්නේ කුමටද?
අන්තිමේදී මොනවද මතක තියෙන්නේ?
ඒ වෙනුවට විවර කරන්න ඔබේ මනසේ දොරගුළු 
නොබියව පියාසරන්න

මා ඔබ සමගයි
ඔබ මා සමගයි

ඔබත් මමත් අපි සැවොම එක් වී
විනෝද වෙමු

ඇයි මේ ලොව මෙතරම් වර්ණවත්
කිසිදා කල්පනාකර තිබේද ඒ ගැන?

මෙතරම් අපූරු අන්දමින් වර්ණ තෝරාගෙන
කවුරුන් හෝ මේ ලොව සරසා ඇත
අපගේ විශ්වය ඉතාමත් සුන්දරයි
මෙහි නිර්මාණකරුවා සැබැවින්ම කලා කරුවෙකුම විය යුතුයි

මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න, එන්න, එන්න
අළුත් සිහින දකින්නට...