(පින්තූරයට ලියූ කතාවකි)
පහන් කණුව අසළ පාලම අප දෙදෙනා පළමුවෙන් මුණගැසුණු ස්ථානය විය. එම ශීතල රාත්‍රියේ ද මම මෙලෙසින් ම පාලම් වැටට බර ව පහළින් ගලා බස්නා සැඩ දිය පහර දෙස නෙතු යොමා සිටියෙමි. මා කල්පනා කරමින් සිටියේ කුමක් පිළිබඳව දැයි මා හට මතකයක් නැත. එය එතරම් වැඩකට ඇති යමක් විය නොහැක. කාලාන්තරයක පටන් මා හට කල්පනා කරන්නට වැඩකට ඇති යමක් තිබුණේ නැත. කිසිවෙකුත් නොමැති පාළු මාවතේ මාගේ තනි නොතනියට සිටියේ පහන් කණුව පමණි. ඒ මතක ඇති කලෙක පටන් මාගේ සමීපතම හිතමිත්‍රයා විය. මාගේ මැසිවිලි, නෝක්කාඩු සියල්ල අසා සිටින්නට පහන් කණුවට ඕනෑතරම් වෙලාව තිබිණි. ආලෝක දැල්ල අඩු වැඩි කරමින්, ගස්වමින්, බබළවමින් හෙතෙම මාගේ කතාවලට ප්‍රතිචාර දැක්වීය. ඇතැම් දිනෙක මම කිසිවක්ම නොපැවසූවෙමි. එසේ වුවද පහන් කණුව මා තනි නොකොට මා අසළින්ම සිටියේය. එදින ද මා නිහඬතාවය රැකි දිනයක් විය. එක්වරම කොහේදෝ සිට දිව ආ යුවතියක් පාලම් වැටට නැග පහළට පනින්නට සූදානම් විය. නොපමාව මාගේ බරැති කල්පනා පොදිය ගඟට අත් හැරි මම විගසින් පැන ඇයව අල්වාගතිමි. ඇය සිටියේ ඉකිගසා වැළපෙමිනි. ඇය මා හා පොරබැදුවාය, දබර කළාය, මාගේ අත සපා කන්නට ද උත්සාහ කළාය. නමුදු මා ඈ අතහැරියේ නැත. ඇයද සමගින් මා ද පාලමෙන් පහළට ඇද වැටේදෝයි වරෙක මට සිතිණි. නමුදු කෙසේ හෝ ඈ පාලම වෙතින් මෑත් කොටගෙන පහන් කණුව පාමුලට වෑයමින් කැටුව එන්නට මම සමත් වුණෙමි. ඇගේ වැළපීමේ නිමක් නැත. මම කිසිවක් නොවිමසා ඈ තුරුළු කරගතිමි. මාගේ උරහිසේ හිස හොවා ඇති තරම් වැළපෙන්නට ඉඩ ලබා දෙමින් මම ඈ සන්සුන් වන තුරු ඇගේ හිස අතගෑවෙමි. බොහෝ වේලාවකින් ඉක්බිති ඇගේ මහා වැළපීම ඉකිගසනා හීල්ලීමක් තරමට සමනය වූ පසු මම දෑතින් අල්ලා ඇගේ හිස ඔසවාගතිමි. "ඔයාට අඬන්න වුණ කිසිම හේතුවක් ඔයාගේ ජීවිතේ තරම් වටින්නේ නෑ... ඒ නිසා ඒ කිසිම හේතුවකට ඔයාගේ ජීවිතයට වඩා වැදගත්කමක් දෙන්න එපා..." මම ඇයට පැවසූවෙමි. ඇය හූල්ලමින් මදෙස බලා සිටියාය. "ඔයාගේ කතාව අහගෙන ඉන්න කෙනෙක් ඕනෙ නම් මට කියන්න, මං අහගෙන ඉන්නම්..." ඇය පිළිතුරක් නොදී දෑස් බිමට යොමු කරගත්තාය. "ඔයාට විසඳුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියනවා නම් සමහරවිට ඔයා මට කියන ඒ කතාවෙන්ම ඔයාට උත්තරයක් හොයාගන්න පුලුවන් වෙයි..." මම නැවත පැවසුවෙමි.
අවසන ඇය හිස සැලුවාය. එලෙසින් එදින එම පහන් කණුව පාමුල හිඳගෙන මම ඇගේ කතාව අසා සිටියෙමි. කොතැනකින් පැමිණියාදැයි නොදන්නා යුවතියක තමා ජීවිතයේ එතෙක් කිසිදා දැක නොතිබූ ආගන්තුකයෙකු හට සිය සිය ජීවිතය විවර කරනා අන්දම පහන් කණුව ද අසා සිටියේය. අවසන, ඇගේ අනුවේදනීය කතාන්දරය නිම වූ මොහොතේ කුමක් පවසන්නටදැයි සිතාගත නොහැකිව මා එහි අග මුල ගැටගසාගන්නට උත්සාහ කරන අතරේ, දිගු සුසුමක් පිට කළ ඇය නැගිට සිටියාය. සිය ජීවිතය බේරා, එතෙක් කිසිවෙකුටත් කියාගන්නට නොහැකිව තිබූ ඇගේ කතාන්දරය අසා හිඳීම වෙනුවෙන් මා හට ස්තුති කළ ඇය මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් හැරී නොපෙනී ගියාය.
එදින, එම මොහොතේ සිට, මා එතෙක් ගෙවූ ජීවිතය වෙනස් විය.
පාළම මත හිඳ එතෙක් කල් සිදු කළ තක්කඩිකම් කොළොප්පම් නතර කොට මම පිහිට ඇවැසි වූවන්ට පිහිට වන අන්දම ප්‍රගුණ කරන්නට පටන්ගතිමි.
අද, දැනට මොහොතකට පෙර ද, මෙම පහන් කණුව පාමුළ දී ම මම ඇයව දුටුවෙමි. දොළොස් වසරක් ගෙවී ගොස්, එදා භද්‍ර යෞවනයේ සිටි ඇය මුහුකුරා ගිය තැනැත්තියකව සිටියද මා හට ඈ හඳුනාගන්නට අපහසු වූයේ නැත. නමුදු ඈ මා හඳුනාගත් බවක් පෙනෙන්නට නොවීය. අවම වශයෙන් ඈ මා දුටුවාදැයි යන්න පවා මම නොදනිමි. එදින මෙන් නොව අද ඈ සිටියේ සිනහ පාමිනි. පහන් කණුව පාමුළදී ඈ හා පෙම්වත් හාදුවක් බෙදාගත්තේ ඈ හා අලුත විවාපත් ඇගේ සැමියා බව ඔවුන්ගේ කතාබහෙන් මම වටහා ගත්තෙමි. දොළොස් වසරකට පෙර ගම්මානයෙන් පිටව ගිය ඇය, සීඝ්‍ර දියුණුවකින් නවීකරණය වූ දේශයක පෞරාණික බව සුරැකී තිබුණු මෙම කුඩා ගම්මානයට නැවත පැමිණ සිටින්නේ ඔහු හා මධු සමය ගෙවන්නටය. මා ඔවුන් දෙස බලා සිටියේ සිනහවක් රැඳි මුහුණිනි. ඈ සතුටිනි. බොහෝ සතුටිනි. මා හට එය ප්‍රමාණවත් ය. මඳ වේලාවකින් අතිනත් පටලාගත් ඔවුහු දෙදෙනා මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් හැරී නොපෙනී ගියහ.
ඔවුන් දෙදෙනා දෙසම නෙතු යොමා සිටි මම මඳ සිනහව රැඳි මුහුණින්ම පහන් කණුවේ ආලෝකය දෙස බැලුවෙමි. එය ද මාගේ සිතුවිලි අනුමත කරමින් දීප්තිමත්ව බැබලුනි. "මං ගියාම පාළු දැනෙන එකක් නැද්ද?" මම පහන් කණුවෙන් විමසුවෙමි. එය නැතැයි කියන්නට සිය ආලෝක දැල්ල ගස්වා සිනහවක් පෑවේය. පාලම පහළ පැරණි තොටුපොළ අසල වූ දියසෙවෙලින් වැසී ගොස් තිබූ පැරණි ගල් පුවරුව දෙස මම මඳකට නෙත් හෙලුයෙමි. රදළ පාලකයන්ට එරෙහිව නැගී සිටි සොර දෙටුවෙකු, දිළිඳු ගම්වැසියන්ගේ විරුවෙකු එහි සැතැපී හිඳිනා බව එහි සටහන්ව තිබිණි. මම මඳ සිනහවෙන්ම යළි පහන් කණුව වෙත හැරුණෙමි. "අවුරුදු හාරසීයක්ම මගේ තනියට හිටියාට බොහොම ස්තුතියි, එක එක හැඩේට වෙනස් වෙවී හරි..." මම පහන් කණුව වැළඳගතිමි. "ආයෙ එන්නම් බලලා යන්න, අලුත් අම්මාත් එක්කම..."
ගං දියත්, ඉන් ඔබ්බෙන් වූ මහ සමුදුරත් පිස හමා ආ සුළං රැල්ලේ නුහුරු උණුසුමක් කැටිව තිබිණි. ඒ මා කැඳවනා ඇමතුම බව මම හැඳිනගතිමි. අවසන් වරට පහන් කණුව සිප සමුදුන් මම මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් නොහැරී ම නොපෙනී ගියෙමි.