299. වෛර(ස)ය...




ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව මතින් බොහෝ වේලාවක් පුරා වේගයෙන් සැරිසැරූ කාර්ල්ගේ දෑත් මඳ ඉසිඹුවක් ලබාගත්තේය. ඔහු කට කොණකට නැගුණු සිනහවකින් - නැත එය වියරු විරිත්තීමකි, වසරකට එපිටදී ඔහුගේ ලෝකය ම සුනුවිසුණු වී ගොස් ඝන අන්ධකාරයකින් වැසී ගිය පසු තමා සිනාසුණු දිනයක් ඔහුට මතක නැත - විරිත්තීමකින් යුතුව අසුනේ පසුපසට බර වී දෑත් හිස මත බැඳගත්තේය. තවත් හෝරා කිහිපයක ඇවෑමෙන් මෙය අවසන් වනු ඇත. ඔහුගේ මාස ගණනක මහන්සියේ ප්‍රතිඵලය සයිබර් අවකාශයට මුදාහැරෙනු ඇත.

කාර්ල් ස්වාධීන මෘදුකාංග ඉංජිනේරුවෙකි. ක්ෂේත්‍රයේ ජනප්‍රියව ඇති අන්දමට 'ෆ්‍රීලාන්සර්' කෙනෙකි. ඒ ලෝකයා හමුවේ ඔහුගේ ප්‍රතිරූපය විය. නමුත්, ලෝකයාට විවර නොකෙරුණු ඔහුගේ රහස් ජීවිතය තුළ ඔහු සයිබර් අවකාශය තුළ අදිසි විවරයන් සොයා යන සොර දෙටුවෙකු විය. එනමුදු මෙතෙක් කලක් ඔහුට එය හුදු විනෝදාංශයක් පමණක් විය. කිසිදු විනාශකාරී කටයුත්තක් උදෙසා මෙතෙක් තම ප්‍රාගුණ්‍යය මෙහෙයවා නොතිබූ කාර්ල් වරෙක තම හැකියාවෙන් රාජ්‍ය බුද්ධි අංශයටද සහය වී ඇත. නමුත් එම අවකාශයේ ඇති අතිශය සීමා සහිත බව හේතුවෙන් ඔහු එක් ව්‍යාපෘතියකින් ම එම භාරදූර වෘත්තියට සමු දී සිය සුපුරුදු සැහැල්ලු ස්වාධීන ජීවිතයට පිළිපන්නේය.

ඔහු නීතිරීතිවලට යටත්වන්නට, රාමුවක් තුළ කොටුවන්නට පුරුදු වූවෙකු නොවී ය. බාල වියේ පටන් ඔහු ජීවත් වූයේ ස්වාධීන ව ය, නිදහස් ව ය. හරිත මිටියාවතක් හරහා සුළඟට එරෙහි ව දිව යන වල් වැදුණු අශ්වයෙකු සේ අයාළේ - එසේම නිදහසේ - සැහැල්ලුවෙන් ජීවිතය ගෙවමින් සිටි කාර්ල්ගේ ජීවිතය එක් දිනෙක, නොසිතූ මොහොතක එක් සොඳුරු බන්ධනයක පැටලින. වීණා එම හැල්මේ දිව ගිය තුරඟාගේ හිස මත හිඳ ගී වයන්නට පටන්ගත්තාය. සිය නිමක් නැති ධාවනය මඳකට නතර කළ කාර්ල් එම වැයුම අසා හිඳින්නට පුරුදු වූවේය. ඇගේ බසින් ඇගේ නමේ අරුත ඈ කියා දුන් ලෙසින් ම ඇය වීණාවක් වූවාය. එතෙක් කිසිදු බන්ධනයකට යටත් නොවූ කාර්ල්ගේ ජීවිතය ඇගේ වීණාවේ සප්ත ස්වර අතර සදාතනිකව ම බැඳී ගියේය. 

එතැන් පටන් ඔහුගේ මුළු ලොව ම බවට පත් වූයේ වීණායි. බාල වියේදී ම මව්පියන් සමග ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයේ පදිංචියට පැමිණ සිටි ඇය පවුලේ එක ම දරුවා වූවාය. එක ම සරසවියේ පරිගණක අංශයේ සහ කලා අංශයේ විද්‍යාර්ථීන් දෙදෙනෙකු වූ ඔවුන් හට ඇගේ මවුපියන්ගෙන් විරෝධයක් එල්ල නොවීය. ඔහුගේ පාර්ශවයෙන් විරෝධය පාන්නට හෝ කැමැත්ත ලබා දෙන්නට හෝ කිසිවෙකුත් නොවීය. කාර්ල් සහ වීණා විවාහ වූහ. සොඳුරු යුග දිවියක් ගෙවූහ. කාර්ල් ඈ හා ගෙවෙනා එම දිවියෙන් පරිපූර්ණ තෘප්තියක් අත්වින්දේය. නමුත් ඈ හට එය ප්‍රමාණවත් නොවිණි. ඇයට තුන්වැන්නෙකු උවමනා විය. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන ඔහුට ඈ අහිමි විය. කාර්ල් හුදෙකලාව, අසරණව දින ගණනක් පුරා හඬා වැළපුනේය. එම දීර්ඝ වැළපුමෙන් ඉක්බිති ඔහු ඈගේ මතක සටහන් සියල්ලෙන් ඈත් වී පලා ගියේය. නුහුරු නුපුරුදු අඳුරු නගරයක, පාළු නවාතැනක හුදෙකලා වී ලෝකයට වෛරය පතුරුවන්නට සිතාගත්තේය.

එතෙක් කල් ඔහුගේ සිත පෙලූ වෛරය, පරිගණක වෛරසයක්ව සයිබර් අවකාශයට එක් වන්නට සූදානම් ය. ඔහු තමා නිමැවූ පිසාචයාගේ හැඩ බැලුවේය; තව තවත් බිහිසුණු බව එයට එක් කළේය. අවසන යළිත් වරක් තෘප්තිමත් සිතින් සිය නිර්මාණය දෙස බලාගෙන විරිත්තුවේය. අනතුරුව අවසන් බොත්තම ඔබා සිය පිසාචයා මුදා හැර දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත්තේය.

ඔහු සෑදූ පිසාචයා ගම් දනව් සිසාරා පියාඹා ගොස් තුන්වැන්නන් සොය සොයා බිය වැද්දුවේය; ගිල දැම්මේය. දත් විලිස්සමින්, ගොරවමින් ඔවුන් පසුපස හඹා ගියේය. පිසාචයාට බිය වූ තුන්වැන්නන් යටි ගිරියෙන් හඬා වැළපෙන අන්දම දැක පිසාචයාගේ මුවගේ හුරු පුරුදු වියරු විරිත්තීමක් ඇඳී ගියේය. හැඩපළු ගෙතුණු රැවුලින් හා හිසකෙසින් යුතු තමාගේ වර්තමාන පෙනුමද පිසාචයාගේ රුදුරු පෙනුමට බොහෝ සෙයින් සමාන වූ බව කාර්ල් ඒ අතරේ සිතුවේය. පිසාචයා තවත් ගොදුරක් වෙත හැරුණි. මේසයක් මත සිනහවෙමින් හිඳ සිටි තුන්වැන්නා වෙත වූයේ බෙහෙවින් හුරු පුරුදු පෙනුමකි. පිසාචයා ඔහු වෙත ළ‍ං විය. අඳුරු දුමාරයක් පැතිරෙන්නට විය. හැඩි දැඩි අතක් දුමාරය මැදින් තුන්වැන්නා වෙත ඇදී ආවේය. වීණාගේ වේදනාබර විළාපයත් සමගින් කාර්ල් හති දමමින් අවදි විය.

ඔහු සිටියේ පරිගණකය ඉදිරියේ අසුන මතය. කුසගින්නේ අරගල කරනා උදරය සුපුරුදු කෙඳිරිය අරඹා ඇත. නින්ද නොයෑමෙන් පෙළෙනා තමා වෙත ඉඳහිට අවේලාවේ ළඟාවන කුකුළු නින්ද යළිත් වරක් තමා වෙත පැමිණෙන්නට ඇති බව කාර්ල් වටහාගත්තේය. නමුත් පුදුමයනම්, මතක ඇති කාලයකින් සිහිනයක් දැක නැති ඔහුට කිසිදා අමතක නොවන අන්දමේ සිහිනයක් පෙනීමයි. ඔහු තවමත් හති දමමිනි. අසළ මේසය මත වූ වතුර බෝතලය ගෙන එක හුස්මට බී අවසන් කළ කාර්ල් සිය මුහුණ දෑතේ හොවාගත්තේය. මොහොතක් එලෙස සිටි ඔහු දෑතේ ඇඟිලි අතරින් සිය පිසාච වෛරසයේ නිමැවුම් කේතය දෙස බැලුවේය. එය තවමත් එලෙසමය. තවමත් සයිබර් අවකාශයට එකතු වී නොමැත. ඒ මොහොතේ ඔහුගේ මුවින් පිට වූ වෙහෙසකර සුසුම තුළ යම් සැනසුමක් ද ගැබ්ව නොතිබිණියැයි ඔහුට කිව නොහැක.

කාර්ල් අසුනින් නැගිට සිටියේය. මාස ගණනාවකට පසු පළමුවරට ඔහුගේ අඳුරු නවාතැනින් පිටත පිරිසිදු වාතාශ්‍රයට පා තැබුවේය. ඔහුට වීණා මුළින් ම හමු වූ නගරය බලා පිටව ගිය කාර්ල් එතැන් පටන් ඔවුන් දෙදෙනා එක්ව මිහිරි මතක බෙදාගත් සෑම තැනකම ඇවිද ගියේය. 

පුරා සතියකට පසු ඔහු නැවත සිය නවාතැන වෙත පැමිණියේය. යළි පරිගණකය ඉදිරියේ හිඳගත් ඔහු එහි තමා නිමවමින් සිටි වෛරසයේ කේත සටහන් සියල්ල මුළ සිට අගට පිරික්සමින් වෙනස්කම් කළේය. පිසාචයා වෙනුවට වෛරසයට ආදරණීය මුහුණුවරක් ලබා දුන්නේය. ඒ වෙනුවෙන් ඔහු යොදාගත්තේ ඔහු සතුව තිබූ වීණාගේ ආදරණීය ම ඡායාරූපයයි. 

තවත් මසක ඇවෑමෙන් එය නිම විය. සයිබරය පුරා සැරිසරමින් ළමා වීඩියෝපට තුළට රිංගා ඒ අතරමැදින් තිරය පුරා පැතිරී ළමුන් බිය වද්දන්නට තැනූ තම වෛරී සහගත වෛරස පිසාචයා පළවා හැරි කාර්ල් ඒ වෙනුවට වීණාට, ඇගේ ආදරයට, යළි පණ දුන්නේය. තමා වෙනුවෙන් පමණක් වෙන්ව තිබූ ඇගේ ආදරය ලෝකයට මුදා හැරියේය. 

ඔහුගේ දත්ත ගබඩා අතර තිබූ ඇගේ ළයාන්විත නැළවිලි ගී ස්වරය මුසු කොට, ඩිජිටල් තිරය හරහා ඒ ඉදිරියේ බොහෝ වේලා රැඳී ඉන්නන් හට සිය ආදරණීයතමයන් සිහිපත් කරවමින් ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කළ යුතු බවට ඔවදන් ලබා දෙන ආදරණීය වෛරසයක් ඔහු අතින් බිහි විය. 

එය එලෙසින් නිමා කොට ඔහු දිගු ගමනකට සූදානම් වූවේය. ඒ වනවිට යළි ශ්‍රී ලංකාව බලා පිටව ගොස් සිටි වීණාගේ මව්පියන් භාරයේ වූ, කිසිදු වග විභාගයකින් තොරව තමා ඔවුනට ම භාරකාරීත්වය ලබා දුන්, ඇගේ සෙනෙහස තමාගෙන් උදුරාගෙන අහිමි කළ තුන්වැන්නා - මෙතෙක් ඇහැටවත් දැක නොතිබූ ඔවුන්ගේ ආදරයේ සංකේතය - බලන්නට යන්නට කාර්ල් අවසානයේදී හිත හදාගෙන සිටියේය. 

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු රැගත් ගුවන් යානය ළඟා වන මොහොතේ, වසරකට අධික කාලයකට පසු කාර්ල්ගේ මුවග වියරු විරිත්තීමක් වෙනුවට, සැහැල්ලු මන්දස්මිතියක් රැඳී තිබුණි. ඔහුගේ හදවතේ වීණා වෙනුවෙන් වූ අමරණීය ආදරයත්, ආගන්තුක තුන්වැන්නා වෙනුවෙන් ලබා දෙන්නට නියමිත වූ පීතෲ ස්නේහයත් සුරැකිව රැඳී තිබුණි. 

ඔහු ලෝකයට මුදා හළ ආදරණීය වෛරසය ඩිජිටල් තිරය මත මව් ස්නේහයද, ආදරයද පතුරවමින් සැරිසරමින් තිබුණි.

*****

Facebook සමූහයක කෙටිකතා තරගයක් උදෙසා ලබා දී ඇති පින්තූරයට ලියූ කතාන්දරයකි. පෙර සටහනේ පළ කළ 'වියපත් නොවූ ප්‍රේමය' එම තරගයේ පළමු වටයට මා ඉදිරිපත් කළ කතාවයි. අවසාන වටයට පළ කළ කතාන්දරය ඉතා සුළු වෙනස්කම් කිහිපයකින් අනතුරුව මෙලෙස පළ කරමි. :)



298. වියපත් නොවුණු ප්‍රේමය...




ගුණදාස සිය උපන් ගමට යළි පය තැබුවේ අවුරුදු ගණනාවකට පසුව ය. මහ පාළම අද්දර බස් නැවතුම්පොළෙන් බැසගෙන තේ කහට උගුරක් බොන්නට හෝ පමා නොවී ඔහු විගසින් සිය ගම්මානය වෙත පිවිසෙන ගුරු පාර වෙත පා තැබුවේ ඈ දකින්නට ඇති නොඉවසිල්ල නිසා ම ය. වෙල් ඉපනැලි පිසගෙන හමා එන සුළං රැල්ලෙන් දැනුණු උණුසුම් පිළිගැනීමෙන් ඔහුගේ හේ බා ගොස් තිබූ ගත මඳ අස්වැසිල්ලක් ලැබුවද එම පිළිගැනීම එලෙසින්ම ගම්මුන්ගේ සිත් තුළ ද ඇත්දැයි ඔහුට එතරම් විශ්වාසයක් තිබුණේ නැත. කාරි නැත. වෙන කවුරුන් කෙලෙසින් ප්‍රතිචාර දැක්වුවද ඈ ඔහු එන තෙක් බලා සිටිනා බව ඔහු දනියි. ඇළ පාර හා සමාන්තරව දිවෙනා ගුරු පාර ඔස්සේ පිය මැන යන අතරේ ගුණදාසගේ සිත නිතැතින් ම අතීතයට දිව ගියේය.

"මොකද ඔය ළමයට ඔහොම ගහන්නේ???!!!" තමා වට කරගෙන ගුටිබැට දෙමින් සිටි පෝරිසාද නඩය බිම පෙරළා නැගී සිටින්නට වෙර දරමින් සිටි ගුණදාස එය අමතක කර දැමුවේ එම හඬ කන වැකීමෙනි. "ලැජ්ජ නැද්ද තනි එකෙක් වට කරගෙන ඔහොම තඩිබාන්ඩ!!!" ඔහුගේ සිතුවිලි සේ ම ඔහු වට කර උන් පිරිසගේ අත් පා ද එසැණින් නතර වූ හැඩකි. ඔහු මෙන් ම ඔවුන්ද ඈ දෙස දෑස් දල්වා බලා සිටියේ එක සේ පුදුමයෙනි. "දුවන්ඩයි කිව්වෙ මං ලොකු ඉස්කෝලෙ මහත්තයාට කියන්ඩ කළිං!!!"

ලීලා. ඇය පාසලට අලුත පත් වී ආ විදුහල්පතිවරයාගේ දියණියයි. දෙසතියකට පෙරාතුව පාසලට ඇතුළත් වූ ඈ වෙත බැලූ බැල්මට කැපී පෙනෙන සුන්දරත්වයක් නොවූවද කුමක්දෝ සිත් ඇදගන්නසුලු බවක් ඇගේ පෞරුෂත්වය තුළ විය. පොර බදන කොළු රැළ අභියස දෑත් ඉණෙහි තබාගෙන බලා සිටි ඈ පිටුපසින් සිසුවියන් පස් හය දෙනෙකුගෙන් යුතු පිරිවරක් විය. ගුණදාස මත නැගී සිටි එවුන් එකා දෙන්නා ඔහු වෙතින් ඉවත්ව නැගිට පසෙකට වන අන්දම ඔහුට දැනුණි. ඔහුටද, ඔහු හා පොර බැදි ඔහුගේ ම සගයන්ටද වඩා වසරකින් බාල වූ ඈ හමුවේ එම කොළු රැළ දමනය වූ හැටි පිළිබඳව පුදුමයෙන් කල්පනා කරමින් ගුණදාස හිස ඔසවා කෙළින් වී හිඳගත්තේය. ගතම ඇදුම්කමින් දැනෙන වේදනාව පසෙක ලා ඔහු සූදානම් වූයේ නැගී සිටින්නටය. නමුත් ඒ මොහොතේ ලීලාගේ පිරිවර අතරින් මතුව ඔහු වෙත ළං වූ සිරිමලී හේතුවෙන් ඔහු එලෙස ම හිඳගෙන වේදනාබර මුහුණකින් යුතුව සිය පාවහන් රහිත දෙපය අතගාන්නට විය. "ඔයාට තුවාළද?" සිරිමලී ඇසෙන නෑසෙන හඬින් විමසුවාය. කනට ඇසෙන්නට වදනක් පවසාගන්නට බැරි, හරි හැටි මුහුණ බලා කතා කරන්නට දන්නේ නැති සිරිමලී හා ඔහුට කිසිදු ගනුදෙනුවක් නොතිබුණද, මේ මොහොතේ ඔහු ඇගේ සමාගමය මහත් අභිරුචියෙන් පිළිගත්තේ ඈ වෙත කලක පටන් බැලුම් හෙලමින් සිටිනා පියදාසගේ ඇහේ කටු අන්නවන්නට ම ය. "ඔව්, මං හිතන්නේ කකුල කැඩිලා..." ඔහු පිළිතුරු දුන්නේය.

"තොගෙ කකුල නෙවෙයි කඩන්ඩ තිබුණේ....." සිතූ පරිදි ම පියදාසගේ කඩාපැනීමද, අනිත් සගයන් ඔහුද ඇදගෙන එතැනින් ඉවත්ව යන හඬද ගුණදාසට ඇසුණි.

"දැං මොකද ඔය ගුටි ඇනගැනිල්ලට කාරණාව?" ගුණදාස කෙල්ලන් මැද තනි වූ පසු ඔහුගේ ගැලවුම්කාරිය විමසා සිටියාය.

සැබෑ හේතුව කියන්නට බැරිය. මුල් ගුරු නිළ නිවසේ අඹ ගසට පොලු ගැසීමද, එමගින් නිවසේ උළු කැට හතරක් කඩා දැමීමද යන චෝදනාව මත පෙර දිනයේ පියදාස ප්‍රමුඛ නඩය දඬුවම් ලැබූ බව ඈ පමණක් නොව මුළු පාසල ම දන්නා බව ඔහු දන්නේය. නමුත් එම වීරක්‍රියාව යෝජනා කළ, පොලු ගැසීමෙන් බිම පතිත වූ පළමු අඹ ගෙඩිය ම ඩැහැගෙන එතැනින් අතුරුදහන් වූ තමා එයට කිසි සේත් සම්බන්ධ බවක් කොළු නඩය ඇර වෙන කිසිවෙකුත් දන්නේ නැත. ඔහු පිළිබඳව කළ පැමිණිලි ඔප්පු කරන්නටද කොළුවන්ගෙන් කිසිවෙකුත් සමත් වූයේද නැත. එබැවින් ඔහු පිළිබඳව ඇති නිකැළැල් ප්‍රතිරූපයට හානි කරගත යුතු නැත. "ඔය මං උන්ගෙ පෝරිසාදකංවලට උඩගෙඩි දෙන්නෙ නැහැයි කියලනේ. ඊයෙ අඹ කඩාපු එක ගැන ලොකු ඉස්කෝලෙ මහත්තයාට කිව්වෙ මංය කියලයි උං හිතාන ඉන්නේ..."

ලීලා අමුතු සිනහවක් පෑවාය. ඒ මොහොතේදී විවේක කාලය අවසන් වන සීනුව නාද වූයෙන් ඇය කියන්නට ගිය කුමක් හෝ ගිලගත් බව ගුණදාස දුටුවේය. "සිරිමලී එහෙනං ඔය අලි බබාලාව නළවලා එන්ඩකෝ. අපි යන්නං..." ඇය ආපසු හැරී අනෙක් කෙල්ලන්ද සමග කනිෂ්ඨ ශ්‍රේණි ශාලාව වෙත ඇවිද යන අතරේ සිරිමලීද ඔහුව තනිකොට විගස ඔවුන් වෙත දිව ගියාය.

වැට මායිමේ සෙරෙප්පු අඩි සමග සටහන්ව තිබූ පාවහන් රහිත අඩි සටහන් පියාගේ නිරීක්ෂණයට හසුවන්නට පෙර තමා මකා දැමූ බව ලීලා ගුණදාස හා පැවසූවේ ඉන් කලකට පසුවය.

ජ්‍යෙෂ්ඨ විභාගයට පෙර ම පාසල් ගමනට සමු දී සිටි ගුණදාස ඒ වන විට ටවුමේ ගරාජයක අත් උදව්කරුවෙකු ලෙසින් සේවය කරමින් සිටියේය. ඉගෙනුමට එතරම් ලැදියාවක් නොදැක්වූ ඔහු, සෑම වාරයකදීම පන්තියේ අන්තිමයා නොවී සිටීමට මහත් වෙහෙසක් දරමින් ගෙවනා නිශ්ඵල උත්සාහය, දෑතේ කර්මාන්තයක් ඉගෙනීමට යෙදවීම වඩාත් උචිත වේ යැයි ඔහුගේ පියා හට පවසා සිටියේද විදුහල්පතිවරයා ම ය. තමා පිළිබඳ එතුමාගේ සිතෙහි යම් අපැහැදීමක් වෙතොත් එය දුරු කරගැනීමට ඔහුගේ බස් එලෙසින් ම පිළිපැදීම සුදුසුයැයි සිතූ ගුණදාස මහත් ප්‍රීතියෙන් එම යෝජනාවට එකඟ වූවේය. ලීලා ඒ වනවිට ජ්‍යේෂ්ඨය සමත්ව විශ්ව විද්‍යාලට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටියාය. ඒ මොහොතේ ඔවුන් සිටියේ මහ කන්නයේ ගොයම් නෙළීමෙන් අනතුරුව, වෙළ ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණේ දහවල් බත සප්පායම් වෙමිනි. ඒ, මුළු ගම්මානය ම සතුටින් පසු වූ මොහොතකි.

"ඔය දුරුරටවල ගියහම අපිවත් අමතක වෙලා යාවි..." ගුණදාස බරක් පතලක් නොමැති හඬකින් කීවද, ඈ ගම්මානයෙන් පිටව යන්නට සූදානම් වන බව ඇසූ දා පටන් ඔහු කල් ගෙවූයේ මහත් විස්සෝපයකිනි.

"නැතුව ඉතිං... අලුතෙන් මතකෙ තියාගන්ඩ එව්වා මුණගැහෙනකොට පරණ එව්වා අමතක වෙනවා තමා..." ඇයද ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නාය.

"ගෙදර ඉඳං යන්ඩ පුළුවන් දුරක එකක් හොයාගත්තානං ඉවරයිනේ..."

"අප්පච්චිටනේ මාව ගෙදරින් එළවගන්ඩ ඕන වෙලා තියෙන්නේ..."

"අර මොකෝ?"

"අප්පච්චිට ආරංචි වෙලා..."

"මොනවද?"

"මං අවුරුදු ගාණකට කළිං වැට මායිමේ අඩි සටහන් වගයක් මකපු විත්තිය..."

ගුණදාසගේ මුව විවර විය. "ඒ කොහොමෙයි ඒක ආරංචි වුණේ?"

"මං කිව්වනේ..."

ගුණදාසගේ විවර වූ මුව යළි වැසුණි. "මොළේ හොඳ නැතුවද?"

"නැත්තං ඉතිං මං කොහොමද අප්පච්චිලාට තේරුං කරන්නේ මට මේ ගමේ දාලා යන්ඩ බැරි තව අය ඉන්න වග..." ඇගේ වදන් හමුවේ ඔහුගේ මුවින් එතෙක් වේලා සිර කරගෙන සිටි බවක් ඔහු ම නොදත් දිගු සුසුමක් පිට විය.

බොහෝ දිගු නිහැඬියාවකට පසු ඔහු යළි හඬ අවදි කළේය. "අප්පච්චිට කියන්ඩ දෝණියන්දැව ගෙදර තියාගන්ඩ බැරිනං මට දෙන්ඩය කියලා, මං බලාගන්නං කියලා..." ඔවුන් දෙදෙනා එකිනෙකා වෙත ඇති ඇඟෑළුම්කම එළි පිට හැඟවූ පළමු අවස්ථාව එය විය. නමුදු, වදනින් නොකීවද තමා ඇයටත්, ඈ තමාටත් මහත් සේ ස්නේහවන්ත බව ඔහු දැන සිටියේය. ඔහු පාසැලේ සිටි කාලයේදී මෙන් නොව දැන් ඔවුනට නිතර මුණ ගැසෙන්නට අවකාශයක් ලැබෙන්නේද නැත. ඔවුන් යළි මුණගැසුණේ ඈ ගම්මානයෙන් නික්ම යන්නට පෙර සතියේ එළැඹි පොහොය දිනයේදීය. එදින ගමේ පන්සලේ පූජා පිංකම් මධ්‍යයේ, සියල්ලන්ගේ ම නෙත්වලට වසන් වී ඔවුහු දෙදෙනා එක්ව පහනක් දැල්වූහ. "මොනවද හිතුවෙ?" දෑස් පියා වැඳගෙන හුන් ලීලා යළි දෑස් විවර කළ මොහොතේදී ගුණදාස ඇසුවේය.

"මං ආයෙ ගමේ එනකල් කාගෙන්වත් ගුටි නොකා ඉන්ඩ ලැබේවා කියලා... මං නෑනෙ බේරගන්ඩ..."

ඔහු සිනහවක් පෑවේය. "එහෙදිත් ඔය එක එකාව බේරගන්ඩ ගිහිල්ලා දැපනෙ දාගන්නවා එහෙම නෙවෙයි!"

"වැඩේමයි දැපනෙ දාගන්ඩ... අර අපේ පස්සෙන් ඇවිදිං එක එක්කෙනා අතේ එවාපු ලොසිංජර කොළ ගාණ එහෙම මං ගැනලා කියන්නං ඕනෙනං... එහෙම උවමනාවක් ආවොත් කියලා මං එව්වා හොඳ පරිස්සමෙං අරං තියාගෙන ඉන්නේ එකක්වත් අඩු නැතුව..."

ඈ පිටව යන්නට පෙර රාත්‍රියේ ඔහු ඈ සොයා මුල් ගුරු නිළ නිවාස භූමියට හොරෙන් ඇතුළු විය. "යමු මා එක්ක..." ඔහුගේ රහස් ඇමතුම අසා ඈ සිය කාමරයේ කවුළුව විවර කළ සැණින් ඔහු කෙඳිරුවේය.

"කොහෙද?" ඇය මහත් පුදුමයෙන් විමසුවාය.

"ගමෙන් යමු..."

"කොහෙටද?"

"දන්නෙ නෑ... කොහෙ හරි... ඔයා මාව දාලා මෙහෙන් ගියොත් මට ඔයාව සදහටම නැති වෙයි කියලා මට හිතෙනවා..."

ඇය මොහොතක් ඔහු දෙස කවුළුවේ ගරාදි අතරින් බලා සිටියාය. "මං එන්නං..." ජීවිතයේ පළමු වතාවට ඇගේ හඬ වෙව්ළුම්කනු ඔහුට ඇසුණි. ඔහු බලා සිටියදීම කවුළුව වසා දැමූ ඇය මොහොතකින් බෑගයක්ද අතැතිව නිවසේ පිටුපස දොරින් මතු විය. නිහඬවම තාප්පය වෙත දිව ගිය දෙදෙනා ඉන් පැන ගුරුපාර ඔස්සේ ඇවිද ගියේද නිහඬව ම ය. අන්ධකාර අහසේ තරු කැට පමණක් ඔවුනට තනි රැක්කෝය. මුල් පියවර කිහිපය තුළදී ගුණදාසගේ හදවත වේගයෙන් උඩ පනිමින් සිටියේ ජයග්‍රාහී හැඟීමෙනි. අනතුරුව එළැඹියේ සතුටත්, සෙනෙහසත් මුසු වූ උත්තරීතර ප්‍රේමවන්තයෙකුගේ සිතුවිලිවලින් ඔහුගේ සිත අරක්ගත් පියවර කිහිපයයි. එනමුදු, ගම්මානයෙන් පිටමංවන ප්‍රධාන ගුරු පාරට සේන්දු වුණු මොහොතේ පටන් තබන අඩියක් පාසා තම හදවත බොහෝ සෙයින් බර වන බව ගුණදාසට දැනෙමින් තිබුණි. අවසන ඔහු, ගම්මානයේ විහාරය වෙත දිවෙන අරලියා තුරු පෙළකින් සැදි අතුරු මාවත අද්දර නතර විය. එතෙක් වළාවකට ඔබ්බෙන් සැඟවී සිටි සිහින් හඳ පළුව ඉන් එබිකම් කර ඔවුන් දෙස බලා හිඳින්නට විය. එම සිහිල් සඳ එළියෙන් සිත එක්තැන් කරගත් ගුණදාස ඔවුනට ඉහළින් තුරු හිස් අතර ගැවසි නිදා සිටිනා අරලියා මල් පොහොට්ටු දෙස බලා හිඳින්නට විය.

"ඇයි මෙතන නැවතුනේ?" ලීලා විමසුවාය.

ගුණදාස බරැති සුසුමක් පිට කළේය. "ඔයා ඉගෙනගන්න යන්න..." ඔහු ඇගේ නෙත් දෙස බලාගෙන කීවේය. "මං ඔයාව ඒකෙන් වළක්වන එක වැරදියි..." ඇය නෙතු අයා බලා සිටියාය. "මං ඉගෙනගන්න එක අතරමග නවත්තලා දාලා ගරාජ්කාරයෙක් වුණා කියලා මං ඔයාවත් ඒ තත්ත්වෙට ඇදලා දාන එක වැරදියි..." ඔහු ඇගේ හිස මතින් සුරත තැබුවේය. "හෙට පාන්දර එහෙම සුබ ගමනක් යන්න තියෙද්දි මං මේ කතා කරපු ගමන් ආවට ඔයාට ගොඩක් පින්... මගේ හිතේ අමාරුවට එහෙම ඇවිත් කතා කළාට ඒක වැරදියි..." පපුව තුළ රිදුම් දෙන මහා වේදනාව මැඩගන්නට ඔහු දිගු සුසුමක් ගත්තේය. "ඔයා යන්න... ගිහින් හොඳට ඉගෙනගන්න..." ඇගේ දෑසේ දිලිසෙමින් තිබූ කඳුළු බිඳු දෙකක් තරු කැට දෙකක් ලෙසින් බිමට කඩා හැලුනි. "අඬන්න එපා ඉතිං..." ඔහු නුහුරු ලෙසින් ඇගේ දෙකොපුල් පිරිමැද කඳුළු පිසදැමුවේය. "ඔය අවුරුදු තුන හතර නිකම්ම ගෙවිලා යන්නෙ නැතෑ... මං ඉවසං ඉන්නං එතකල්... ඒ ඉවර වෙලා ලොකු නෝනා කෙනෙක් වෙලා එනකොට මේ ගරාජ්කාරයාව එපා වෙලා තිබ්බෙ නැත්තං අපි එතකොට බලමුකෝ..." ඇය ඔහුගේ උරහිසේ හිස හොවාගත්තාය. ඇගේ කඳුලින් සිය කමිස කර තෙමී යන අතරේ ඇගේ හිස් මුදුණත් කම්මුලත් සිපගත් ඔහු මහත් විරියකින් තමා පාලනය කරගෙන ඈ වෙතින් ඈත් වූවේය. "යමු ගෙදර..." ඔහු මුළු ගමන පුරා ඇගේ අත අල්ලාගෙන ම සිටියේය. නැවත යළි කෙදිනක ඇගේ අත අල්ලාගැනීමට ඉඩක් ලැබේදැයි ඔහු දැන සිටියේ නැත.

පසුවදා ඇය ගම්මානයෙන් පිටව ගියාය.

කාලය පියාඹා සිව් වසරක් ගෙවී ගියේය. ලීලා යළි ගමට පැමිණියාය.

ලොකු නෝනාට ගරාජ් කාරයා එපා වී තිබුණේ නැත. නමුත් ඔහු තම බෑණා කරගැනීමට ඇගේ මව්පියන්ගේ කිසිදු අදහසක් තිබුණේ නැත. ඔවුහු ඇයට මනමාළයෙකු සෙවූහ. ලීලාගේ සමාජ තරාතිරමට සරිලන 'ලොකු මහත්තයෙකු' ඔවුන්ගේ තෝරාගැනීම විය. ගුණදාස සේවය කළ ගරාජයට නුදුරු පාවහන් වෙළඳසැලක හිමිකරුවෙකු හා ලීලාගේ විවාහය සිදු කිරීමට තීන්දු විය.

ගුණදාස තම අයිතිය වෙනුවෙන්, තම ආදරය වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කළේය. නමුදු ලීලාගේ පියාණන්ට ඔහුගේ යුධ ප්‍රකාශවලට හෝ ලීලාගේ ශෝක ප්‍රකාශවලට හෝ සවන් දීමේ උවමනාවක් නොවීය. ඔහුගේ තීරණය අවසාන තීරණය විය.

ලීලාගේ යෝජිත මනාළයා ඇයද, ඇගේ මවුපියන්ද කැටුව ප්‍රධාන නගරයේ සංදර්ශනයක් නරඹන්නට යමින් සිටි මොහොතක අරලියා ගසින් සෙවණ වූ මංසන්ධියේදී ගරාජයේ සිට යළි නිවස බලා එමින් සිටි ගුණදාස මුණගැසුණි. රථයේ ඉදිරිපස හිඳගෙන සිටි විදුහල්පතිවරයා දැක ඒ කවුරුන්ගේ වාහනයදැයි හඳුනාගත් ගුණදාසගේ පාපැදිය එහි නොගැටී බේරුණේ අනූ නවයෙනි. ඔහුට නොදැනීම දත්මිටි කැවින. නමුත් ගුණදාසව නොහඳුනනා මනාළයා ගුණදාසට බැණ වදින්නට විය. "ඔහොමද මිනිහො පාරෙ යන්නෙ? හොඳ වෙලාවට මං නවත්තගත්තෙ. නැත්තං එහෙම-"

පාපැදියෙන් බැසගත් ගුණදාස එය පසෙකට කර නවත්වා, මෝටර් රථය වෙත පැමිණ රියදුරු අසුන අසළින් පහත් වූයේ දන්නා සුද්ධ සිංහල වදන් සියල්ල භාවිතා කොට රියදුරුටත් ඔහුගේ මාමාණ්ඩියටත් ඇමතීමටය. නමුත් ඒ මොහොතේ පසුපස අසුනේ හිඳ සිටි ලීලා දුටු ඔහුගේ දෑස් විසල් විය. ඈ ගම්මානයට යළි පැමිණි දා පටන් හරි හැටි වදනක් හෝ දෙඩීමට අවකාශයක් නොලැබීමෙන් තමා මෙතරම් සිත් තැවුලින් පසු වන අතරේ ඈ මෙලෙස ඔහුගේ එදිරිවාදීන් සමග සවාරි ගැසීම පිළිබඳව ඔහුගේ සිතේ ඇති වූයේ කෝපයකි. "දැන් ලොකු ලොකු වාහනවල නේද ගමන් යන්නෙ?" ඔහු රළු හඬින් ඈ ඇමතුවේය.

ඈ නිහඬව අසරණ දෑසින් ඔහු දෙස බලා සිටියදී විදුහල්පතිවරයා කතා කළේය. "ගුණදාස, මෙතන ප්‍රශ්න ඇති නොකර තමන් යන්න ආපු ගමන යනවා..."

"ඔව්, මං මීට අවුරුදු ගාණකට කළින් යන්න ආපු ගමන එහෙම ම ගියානං ඉවරයි! ලීලා!" ඔහු යළිත් ඈ ඇමතුවේය. "එදා මෙතනදි නතර වෙච්ච ගමන - ඒක අද යනවා... බැහැලා එනවා යන්න..."

එවර රියදුරු අසුනේ සිටි ප්‍රතාපවත් දේහධාරියා ගුණදාසව තල්ලු කරගෙන රථයේ දොරටුව විවර කරගෙන බිමට බැස්සේය. "තමුසෙ කාටද ඔය කතා කරන්නෙ ඕයි??? තමුසෙ කවුරු කියලද හිතාගෙන ඉන්නේ???"

"මං කවුද කියලා අහගන්නවා අර ඇතුළේ ඉන්න අයගෙන්!!! ලීලා!!!" ගුණදාස බෙරිහන් දුන්නේය. "බැහැලා එනවා කිව්වාම අහලා!!!" නමුත් ඈ වෙනුවට රථයෙන් බැස්සේ විදුහල්පතිවරයාය.

"ගුණදාස! අපිට නීතිය අතට ගන්න ඉඩ තියන්න එපා. මේ ගමේ ඉන්න, මගෙන් ඉගෙනගත්ත දරුවෙක් නේද කියලා මං මෙච්චර කල් ඉවසගෙන හිටියේ. ඒත් මෙහෙම කරදර කරන්න එනවනං මට තමුන් ගැන පොලිසියට කියන්න සිද්ධ වෙනවා!!!" අනතුරුව ඔහු අනෙකා වෙත හැරුණි. "නිශ්ශංක පුතා, නගින්න කාර් එකට. අපි යමු!"

ගුණදාස ඔහු වෙත හැරී ක්‍රෝධයෙන් දරදඬු වූ මුහුණෙන් යුතුව දෑත් එකතු කළේය. "සර්! මං පුළුවන් හැම විදිහකටම සර්ට පැහැදිලි කරලා දෙන්න හැදුවා. ඒත් සර්ට ඇහුම්කන් දෙන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ... මං මේ අන්තිම වතාව්ට ඉල්ලන්නේ... එක වතාවකට - එකම එක වතාවකට ලීලාගෙන් අහන්න එයාගෙ කැමැත්ත... පිං සිද්ධ වෙයි - එකම එක වතාවකට අහන්න... තමුන්ගෙ දුවගෙ හිතේ සතුට ගැන හිතනවානං අහන්න ලීලාගෙ කැමැත්ත මොකද්ද කියලා..."

නමුත් එයට පිළිතුරු බැඳීමට විදුහල්පතිවරයාට ඉඩක් ලැබුණේ නැත. ගුණදාසගේ කමිස කරෙන් අල්ලාගත් නිශ්ශංක ඔහුව මෝටර් රථයේ බඳට තද කරගත්තේය. "ඒ ගොල්ලෝ කරන්න ඕනෙ මොනව්ද නැත්තෙ මොනවද කියලා තමුසෙ කියලා දෙන්න ඕනෙ නෑ මිනිහෝ! තමුසෙ වගේ අම්බරුවෝ-"

ඉවසීමේ සීමාව කෙළවර වූ ගුණදාස සුරත මිටි මොළවා අනෙකාගේ මුහුණට ප්‍රහාරයක් එල්ල කළේය. ගුටි කෙළියක් ඇරඹුණි. ලීලා රථයෙන් බැස්සාය. පියා ඇයට සොයා දුන් මනාළයා අතොරක් නැතිව ඇගේ ප්‍රේමවන්තයාට පහර දෙන අයුරුද, ගුණදාසද ඔහුට නොදෙවෙනිව ප්‍රතිප්‍රහාර එල්ල කරන අයුරුද ඈ මොහොතක් බලා සිටියාය. ඈ හැඬුවේ නැත. ගෙවුණු දින ගණනාව පුරා හඬා වැළපෙමින් කල් ගෙවූ ඇයට තවත් හඬන්නට කඳුළු ඉතිරිව තිබුණේ නැත. ඇය ගුණදාසව ආවරණය කරගනිමින් ඔවුන් දෙදෙනා අතරට පා තැබුවාය. නිශ්ශංකගේ ඊළඟ මුෂ්ටි ප්‍රහාරය එල්ල වූයේ බලාපොරොත්තු රහිත මොහොතක ඔවුන් මැදට පැමිණි ලීලාගේ හිසටය. එම ප්‍රහාරයේ වේගය දරාගත නොහැකිව ඇය විසි වී ගොස් ගුණදාසගේ බයිසිකලයද පෙරළාගෙන ඇද වැටුණාය. ඇගේ හිස ඒ අසළ වූ ලයිට් කණුවේ වැදී පැලී ලේ ගලන්නට විය. එම බියකරු දසුන දැකීමෙන් අනතුරුව සිදු වූ කිසිවක් ගුණදාසට මතක නැත.

නඩුව අවසානයේ, හදිසි කෝපය මත පැන නැගුණු ආරවුලක් හේතුවෙන් නිශ්ශංක විජේනායක නමැති පාවහන් වෙළඳසැල් හිමිකරු දැඩි සත්කාර ඒකකයේ ගත කළ දින දෙකක කාලයකින් පසුව මිය ගිය බවත්, මිනීමැරුම් චෝදනාව යටතේ රත්නායක මුදියන්සේලාගේ ගුණදාස නැමැත්තා ජීවිතාන්තය තෙක් සිර දඬුවමට යටත් වූ බවත් තීන්දු වනු ඔහුට ඇසුණි.

ජීවිතාන්තය තෙක් ලැබූ සිර දඬුවම තිස් වසරකට පසු නිමා වේ යැයි ඔහු බලාපොරොත්තු වූයේ නැත. යහපත් කල්ක්‍රියාව හේතුවෙන්, පසුගිය නිදහස් දිනයේ ජනාධිපති සමාව ලැබූ සිරකරුවන් අතරට එකතුවන්නට ඔහුද වාසනාව ලැබුවේය. ඔහුට ඈ බලන්නට යා හැකි වනු ඇත; ඇගෙන් සමාව ඉල්ලා සිටින්නට හැකි වනු ඇත; ඇගේ සොහොන් කොතට හෝ අවසන් ගෞරව දක්වා ඇගෙන් සමුගත හැකි වනු ඇත.

එම අවාසනාවන්ත සිද්ධිය සිදු වූ මංසන්ධියේ අරලියා සෙවණ යට ඔහු මඳකට නතර වූවේය. ඈ බලන්නට හිස් අතින් යා නොහැකිය. ඔහු ඇගේ කම්මුල සිපගත් එම රාත්‍රියේ සඳ එළියේ රටා මැවූ අරලියා ගස සොයාගත් ගුණදාස එදින රාත්‍රියේ නිදා සිටි පරිද්දෙන් ම හැකිලී සිටි මල් පොහොට්ටුවලින් යුතු කිණිත්තක් කඩා ගත්තේය. ඇයද නොපිපී ම මිලිනව ගිය අරලියා මලකි. එයද රැගෙන ඔහු ඉන් මඳක් ඔබ්බෙන් වූ අතුරු පාරෙන් හැරී නිසල සුසාන භූමිය වෙත පා එසැවූවේය.

ඈ කොහිද...? ඔහු හාත් පස නෙත් යොමමින් පරම්පරා ගණනක සොහොන් කොත් පිරික්සමින් ඇවිද ගියේය... ඈ නිදා සිටින්නේ කොහිද...? වසර ගණනකින් පාවහන් පහසක් නොලැබ ගොරෝසුව ගිය ඔහුගේ දෙපයට කටු පඳුරුවලින් හානියක් නොවීය... එවැනි වේදනා තව දුරටත් ඔහුට දැනුණේ නැත... හදවතින් ලබන්නට හැකි උපරිම වේදනාව ලැබූවෙකුට ශාරීරික වේදනාවක් දැනෙන්නේම නැති තරම් බව ඔහු පසක් කර සිටියේය... ඔහුගේ සුරතේ අරලියා පොහොට්ටු කිණිත්ත සුරැකිව රැඳී තිබුණි...

සුසාන භූමිය තුළ තමා හුදෙකලා නොමැති බව ඔහු මොහොතකින් දුටුවේය. සුදු ඇඳුමින් සැරසුණු වයෝවෘද්ධ මහල්ලෙක් සොහොන් කොතක් අසළ නැමී ඒ අවට තණ පඳුරු ඉවත් කරමින් සිටියි. ගුණදාස ඒ වෙත යන්නට පා එසවූවේය. සොහොන් කොත අසළ තැන්පත් කර තිබූ මල් සහ ඉටිපන්දම් දෙස බලමින් ඒ වෙත ළඟා වූ ගුණදාස යළිත් මහල්ලා දෙස බැලුවේය. ඔහුගේ පා හඬ ඇසීමෙන්දෝ ඔහු හැරී බැලුවේය. ඒ කවුරුන්දැයි ඔහු හඳුනාගත්තේ ඒ මොහොතේදීය. ඒ විදුහල්පතිවරයායි. ගුණදාසගේ හදවත මොහොතකට නතර විය. එසේනම්... ඔහු ඒ සිටින්නේ ලීලාගේ සොහොන් කොත අසළ විය යුතුය...

"ලොකු ඉස්කෝලෙ මහත්තයා....." ගුණදාස මිමිණුවේය. මහල්ලා දෑස් කුඩා කර බලා සිටියා පමණි. ගුණදාසද නිහඬව ම දෙදණ නමා පහත් වී තම අත වූ පොහොට්ටු කිණිත්ත සොහොන අසළින් තැන්පත් කළේය. අනතුරුව සිය පෙම්බරියගේ ආදරණීය සිනහව සිහිපත් කොටගෙන දෑස් පියාගෙන දෑත් එකතු කොට වන්දනා කළේය. ඉදිරි අත්භවයන්හිදී හෝ ඔහුටත් ඇයටත් එක් වන්නට පින් ලැබේවා යන්න ඔහුගේ එක ම පැතුම විය.

"ඔය දරුවා අපේ හාමිනේගෙන් ඉගෙනගෙන තියෙනවද?"

ගුණදාසගේ නෙත් එක් වරම විවර විය. ඔහුගේ දෑස් යොමු වූවේ සොහොන් කොතේ වූ නම හා දින වකවානු වෙතට ය. එහි වූයේ ලීලාගේ මවගේ තොරතුරුය. ගුණදාස සුටුස් ගා නැගිටගත්තේය. විදුහල්පතිවරයා තවමත් ඔහු දෙස විමතියෙන් බලා සිටියි. "ලීලා කෝ?" ගුණදාස ඇසුවේය.

"ලීලා?"

"ඔව්? මං එයාව බලන්න ආවේ..."

"මේ..... ගුණදාසද...?" විදුහල්පතිවරයා අපහසුවෙන් බස්තමට බර දී නැගිට සිටින අතරේ විමසුවේය. ඔහුට සහය වන්නට හෝ ගුණදාසට සිහියක් තිබුණේ නැත.

ඔහු අවසිහියෙන් මෙන් හිස සැලුවේය. "ලීලා කෝ සර්...?"

විදුහල්පතිවරයා බස්තමට බර දී සුසාන භූමියේ පිවිසුම දෙසට පා ඔසවන්නට විය. "අර ඉන්නේ ඉස්කෝලේ..."

"ඉස්කෝලේ???" ඇගේ සොහොන් කොත ඉදි කෙරුණේ පාසැල් භූමිය තුළද? ඇතැම්විට ඈ මිය යන විට ඇගේ පියා පාසලේ විදුහල්පතිවරයා වූ බැවින් එසේ සිදු කරන්නට ඇත. ගුණදාසද ඔහු හා සෙමින් ඇවිද යන්නට විය.

"වෙනදාට සති අන්තෙට එද්දි ලීලාත් එනවා මෙහෙ... අද ඔන්න ඔය කලාපෙන් කවුදෝ එනවා කියලා නතර වුණා....."

ගුණදාස හිටිවනම නතර විය. තමාට පිටු පා බස්තම අනිමින් හෙමින් ඇවිද යන විදුහල්පතිවරයා දෙස මොහොතක් තුෂ්ණිම්භූතව බලා සිටි ගුණදාස අනතුරුව ඔහුව පසු කර හැල්මේ දිව යන්නට විය. ඇය... තවමත්... ජීවතුන් අතර...... තිස් වසරක් පුරා ඔහු සිතා සිටියේ ඈ එදා නො එන ගමන් ගිය බවයි... තමා අතින් නිශ්ශංකගේ දිවි තොර වූයේද ඒ නිසාවෙනි... නමුත් ඇය ජීවතුන් අතරය..... ඒ බව දැන සිටියානම් - ඒ බව දැන සිටියානම් - ඔහු හිරෙන් පැන විත් හෝ ඈ බලා සැනසෙනු නියතය.....

අරලියා ගස් මංසන්ධිය වෙත පැමිණි ගුණදාස නතර විය. තමා විදුහල්පතිවරයා අතරමග හැර දමා දිව යාම සුදුසු නැත. එය එතුමන් කෙරෙහි තවමත් සිත පතුළේ ඇති ගෞරවයට කෙරෙනා හානියක් වන්නා සේ ම, ගුණදාසව නොහඳුනනා ගම්මුන් බොහොමයක් මැද එලෙස පිස්සෙකු මෙන් දිව යාම, මෙතෙක් කලක් සිපිරි ගෙදර ගත කර පැමිණි තමාට ජීවිතයේ ඉතිරි කාලය මානසික රෝහලක ගත කරන්නට සිදු වීමට හේතුවක් වන්නටද බැරි නැත. ඔහු ආපසු හැරී විදුහල්පතිවරයා වෙත පැමිණියේය. ඔහුගේ මන්දගාමී ගමනින් ගුණදාසද ඔහු හා ඇවිද යන්නට පටන්ගත්තේය.

අවසන, මුල් ගුරු නිළ නිවාසය වෙත ළඟා වන විට ගුණදාසගේ හදවත ඔහු හැර දමා කිහිප ගමනක් ලීලා මුණ ගැසෙන්නට ගොස් පැමිණෙන්නට තරම් වේගයකින් ගැහෙමින් තිබූ අතර ඔහුගේ සුරතේ තවත් අරලියා කිණිත්තක් විය. මෙවර එහි පිරී පැවතුණේ නිදා සිටිනා පොහොට්ටු නොව, සුන්දරව පිපී හිනැහෙන මල් ය. ඔහුගේ නිරුවත් පා සටහන්, විදුහල්පතිවරයාගේ පාවහන් ලූ පිය සටහන් අසළින් මුල් ගුරු නිළ නිවස මිදුලේ තෙත පස් මත සටහන්ව තිබුණි...




297. දිවිය පසු කර ගලන කාලය...

දැරියන් තිදෙනෙකුගේ රූ රැගත් සිතුවමකි. රූපය අන්තර්ජාලයෙනි.


පණස් වසරකට පෙරාතුව ඔවුන් තිදෙනා සොයුරි-බන්ධනයේ දිවුරුම් දුන්නේ අයිලින්ගේ නිවස පිටුපස මිදුලේදීය. එය, තිදෙනාගෙන් වැඩිමහල් දැරිය වූ අයිලින්ගේ ම අදහසක් විය. දොළොස් වැනි විය පසු කරමින් දහතුන් වැනි වියට එළැඹෙමින් සිටි ඔවුහු සිය මව්වරුන්ගෙන් උරුම වූ මාවෝ කබා යාන්තමට පිරෙන තරමට වැඩුණු සිරුරුවලින් යුතු වූහ. එකල, අනෙකුත් බොහෝ සම්ප‍්‍රදායන් මෙන්ම දිවුරුම් සොයුරි බන්ධනයද පිළිගැනුණේ කිසිදු සෙතක් ලබා නොදෙන වැඩවසම් යුගයෙන් පැවත ආ උරුමයක් ලෙසිනි. එබැවින්, විපරම් දෑස්වලින් ගැලවී හිඳිනු පිණිස අයිලින්ගේ බාල සොයුරු සොයුරියන් නිවසින් පිටතට කැටුව යන ලෙසට අසල්වැසියෙකුගේ දියණියකට අල්ලස් ගෙවීමටද ඔවුනට සිදු විය. පොළට කැටුව ගොස් උක් දඬු මිලට ගෙන දුන් විට ඒවායේ එක් කොණක සිට අනෙක් කොණට සපා නිම කිරීම පිණිස ඔවුනට සැලකිය යුතු වේලාවක් ගත වනු ඇත. මෙයි සිය පියාගේ පෙට්ටගමෙන් අල වර්ගයකින් සෑදූ මධ්‍යසාර පානයක් හොරෙන් රැගෙන විත් තිබූ අතර, ඔවුන් තිදෙනාම එම සැර පානයෙන් බිඳ බැගින් පානය කිරීමෙන් අනතුරුව එය පොළොව මතට වත් කෙරූහ. "දෙව් ලොවත්, මහ පොළොවත් අපගේ ඉදිරි ජීවිතයේ මෙම සමාරම්භය පිළිබඳ සාක්ෂි දරනු ඇත." ලේ ඥාතිත්වය අභිබවා ගිය දිවුරුම් සොයුරු බන්ධනයන්ට එළැඹුණු මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ කථා රැගත් පැරණි නවකතාවලින් උපුටාගත් ප‍්‍රතිඥාවක් අයිලින් කියැවූවාය. මෙයි සහ ලාන් ඇගේ වදන් පුනරුච්චාරණය කරමින් ඔවුන්, ඒ මොහොතේ පටන් දිවුරුම්-සොයුරියන්, දිනෙක තිදෙනා ම මේ මිහිතලය හැර යන මොහොත උදාවන තෙක්ම දුකේදීත් සැපේදීත් එක්ව හිඳිනා බවට ප‍්‍රතිඥා දුන්හ.

පසුව, ඔවුහු ඡායාරූපයක් ගැනීම පිණිස නගරයේ වූ එකම ඡුායාරූප ශිල්පියා වෙත ගියහ. ඔවුන් සැරසී සිටියේ හඳ මෙන් සුදු පැහැති බ්ලවුස, ගෙතූ කොණ්ඩ කරල් අග බැඳුණු සුදු පැහැති පීත්ත පටි සැරසිල්ල සහ මෘදු පැහැති මල් මෝස්තරයෙන් සැරසුණු කලිසම්වලින් යුතු ඔවුන් සතු ඉස්තරම් ම ඇඳුම්වලිනි. හතළිස් වැනි වියට ආසන්න තනිකඩයෙකු වූ ඡායාරූප ශිල්පියා ආලෝකය ලබා දෙන ලාම්පු සකසන අතරේ දැරියන් තිදෙනා මහත් උද්යෝගයෙන් සිනහ සලනා දෙස බලා සිටියේය. ඔවුන්ගේ මුහුණුවල වූ, ඔවුන් තවමත් නොදන්නා කුමක්දෝ කරුණක් අරභයා ඔහුගේ සිත සසල වී තිබිණ. මුද්‍රණය කළ අවසාන ඡුායාරූපයේ කෙළවරක ඔහු හැඩැති අත් අකුරෙන් පෞරාණික කාව්‍ය ඛණ්ඩයක් උපුටා සටහන් කළේ එහෙයිනි: "දිවිය පසු කරමින් ගඟක් මෙන් හැල්මේ ගලා යන කාලය ගැන නොදත් අහිංසක මල් කැකුළු." මහත් සේ ලැජ්ජාවට පත් වුවද, ඡුායාරූප ශිල්පියාට සත්‍යය හෙළි කරන්නට මැළි වූ දැරියෝ තම දිවුරුම් සොයුරි බන්ධනය පිළිබඳව ලියැවුණු ඔහුගේ වදන් පෙළ නොදුටුවා සේ සිටියෝය.

ඉන් වසර නවයකට පසු, ඔහු සතුව තිබූ ජර්මනියේ නිෂ්පාදිත කැමරා යන්ත‍්‍ර සාක්ෂි ලෙස ගනිමින් එම ඡායාරූප ශිල්පියා ධනවාදීන්ගේ ඔත්තුකරුවෙකු ලෙසින් අත් අඩංගුවට ගැනුණි. එම නගරයේ තරුණ රතු භතයින්ගෙන් මිය යනතුරු පහර කෑමේ දඬුවම ලැබූ පළමු තැනැත්තා ඔහු විය. ඒ වනවිට මෙයි සහ ලාන් දෙදෙනාම සිය පළමු දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටියහ. ඔවුන් දෙදෙනාට සාපේක්ෂව තමාගේ ජීවිත ගමනේ මන්දගාමී බව පිළිබඳව නොසන්සුන්ව සිටි අයිලින්ද, ඈ එතරම් දන්නා හඳුනන්නේ නැති මනාලයෙකු සමග, ඔහු හා ආදරයෙන් බැඳීමට තමාට වසර ගණනාවක් ගත වනු ඇති බව දැන සිටියද, විවාහ දිවියට එළැඹෙන්නට තීරණය කළාය. ඒ මඟුල් කපුවා රැගෙන ආ පළමු විවාහ යෝජනාව නොවූවා සේම, වටිනාම විවාහ ගිවිසගැනීමේ ත්‍යාග ප‍්‍රමාණය පිරිනමන්නට සූදානම්ව සිටි පවුලද නොවීය. නමුත්, පැරණි කියමනක පැවසෙනා පරිද්දෙන් ම නිසි වේලාවට පැමිණෙන තැනැත්තාට ඉන් පෙර පැමිණි උදවියද අභිබවා යෑමේ හැකියාවක් ඇති බව එහි දී ද සනාථ විය.

විවාහය දින උදෑසන, ඇගේ දිවුරුම් සොයුරියන් දෙදෙනා ඈ හැඩ ගන්වන අතරේ, පුදුමයකට මෙන් ඇයට සිහිපත් වූයේ වසර ගණනාවකට ඉහතදී ඡායාරූපයට පෙනී සිටීමට පෙර ඇගේ නිකටින් අල්ලා මුහුණේ කෝණය සකස් කළ ඡායාරූප ශිල්පියාගේ දිගු අතැඟිලිවල මෘදු ස්පර්ශයයි. දෑස් පියාගත් කල ඇයට, අති දීප්තිමත්ව දැල්වෙමින් තිබූ ලොකු කුඩා විදුලි පහන් ආලෝකය ඔහුගේ එසැවුණු දෑතින් ආවරණය වී ලැබුණු සෙවණෙන් දැනුණු සිසිලස ඒ මොහොතේ දී ද දැනෙන්නාක් මෙන් විය. ඔහු එදින ඔවුන්ගේ ඡායාරූපයේ ලියූ සටහන මතකදැයි ඇය අනෙක් දෙදෙනාගෙන් විමසා සිටියාය. එසේම, ඔහු පැවසූ පරිද්දෙන්ම ඔවුනට නොදැනීම කාලය ඔවුන් පසු කොට පියාඹා ගොස් ඇති බවද ප‍්‍රකාශ කළාය. නව මාතෲත්වයේ දීප්තියෙන් බැබළෙමින් සිටි මෙයි සහ ලාන්, ඇගේ බොළඳ භාවාත්මක කල්පනා පිළිබඳව සිනහ පළ කළහ. ඇයට ජීවිතයේ මගහැරුණු තැන් එදින රාත‍්‍රියේදී සොයාගත හැකි වනු ඇති බව මෙයි සිය සුපුරුදු මුඛරි හඬින් ම ප‍්‍රකාශ කළ අතර, රත් පැහැයට හැරුණු ලාන් ද කෝල සිනහවකින් එය අනුමත කළාය. එක් මොහොතකට, ඇගේ දිවුරුම් සොයුරියන්ට නොවැටහුනු ගුප්ත පාළුවකින් අයිලින්ගේ සිත ඇළලී ගියේය.

ඇගේ යොවුන් වියේ ඇඳුම් කැඩුම් කිහිපයක්ද සමග එම ඡායාරූපයද ට‍්‍රන්ක පෙට්ටියක් තුළ සැඟව ගියේය. ඇගේ විවාහ දිවිය තුළදී එය විවර කෙරුනේ ඉතාමත් කලාතුරකින් වූ අතර ඊළඟ වතාවේදී එය විවර වූයේ අයිලින්ගේ දෑතින් නොව ලිස්බන් සිට ගිම්හාන නිවාඩුවට පැමිණි ඇගේ දහ හතර හැවිරිදි මිනිබිරිය වූ යිංගේ දෑතිනි. එම දැරියන් කවුරුන්දැයි සිය මිත්තණියගෙන් විමසන අතරේ ඡායාරූපය පසෙක තැබූ යිං, ට‍්‍රන්ක පෙට්ටියෙන් ගත් බ්ලවුසයක් ඇඳ හැඩ බැලූවාය. සඳේ සුදු පැහැයෙන් යුතුව තිබූ එම සේද ඇඳුමද ඒ වනවිට පණස් වසරකට පෙරාතුව ගත් ඡායාරූපය මෙන් ම කහ පැහැයෙන් දුර්වර්ණව තිබුණි. නමුත් දැරිය එම පැරණි විලාසිතාවට අයත් වස්ත‍්‍රයෙන් කුල්මත්ව සිටියාය. රත්-කහ පැහැයකින් වර්ණ ගන්වා තිබූ තම කෙස් කළඹ මධ්‍යයෙන් දෙකට බෙදා ගොතන්නට උත්සාහ කළද කැරළි ගැන්වී තිබූ කෙස් රොද ඇයට අවනත නොවූ නිසාවෙන්, කිහිප වරක් උත්සාහ කිරීමෙන් අනතුරුව එය අතහැර දැමූ යිං දැති කිහිපයක් කැඞී ගොස් තිබූ කැස්බෑ ලෙලි පනාවක් අතට ගත්තාය.

තමාද අනෙක් දැරියන් දෙදෙනාද හොඳම මිතුරියන්ව සිටි බව පමණක් පැවසූ අයිලින් සිය මිනිබිරියගේ සිනහවට ලක් වන්නට සිදු වේයැයි බියෙන් දිවුරුම් සොයුරි බන්ධන චාරිත‍්‍රය පිළිබඳව කිසිවක් නොකීවාය. සැබැවින්ම, ඇය සිය අතීතය පිළිබඳව මිනිබිරිය හා කතාබස් කරනා බොහෝ විට එසේ ඇගේ සිනහවට ලක් වන්නට අයිලින්ට සිදු විය. ඡායාරූපය නැවතත් අතට ගත් යිං එය හොඳින් පරීක්ෂා කළාය. "හරි ෂෝක්!" ඇය කෙනෙකු බලූ පැටවෙකු පිළිබඳ කතා කරනා අන්දමේ ස්වරයකින් ප‍්‍රකාශ කළාය.

ඇගේ මිනිබිරිය පැමිණ සිටින්නේ කතන්දර අසන්නටනම් ඇයට ඕනෑතරම් කතන්දර කියා දෙන්නට අයිලින් ඕනෑම මොහොතකදී සූදානම් ය. නමුත්, යිං රැගෙන විත් තිබූ මහේශාක්‍ය පෙනුමින් යුත් ගොඩනැගිලි, ගාම්භීර ප‍්‍රතිමා, සුදු පැහැති බෝට්ටු නවතා ඇති නිල් පැහැති වරායන් සහිත විදෙස් නගරය පසුබිම් කරගත් ඡායාරූප දෙස බලමින් යිංගේ බාල වියේ මිතුරු මිතුරියන් විස්මයෙන් පසසද්දී උදාසීනව ප‍්‍රතිචාර දැක්වූ සිය මිනිබිරිය වෙත ඇයගේම කතන්දර ඕනෑ තරම් ඇති බව අයිලින් දැන සිටියාය. පස් වසරකට පෙර අයිලින්ගේ සැමියා මිය යාමෙන් පසුව, ඇගේ එකම පුත‍්‍රයා පෘතුගාලයට සංක‍්‍රමණය වන්නට තීරණය කර තිබුණි. ඒ පිළිබඳ ඇගේ අදහස ඔහුට කිසිසේත් වැදගත් නොවන බව දැන සිටි අයිලින් කිසිදු විරෝධයක් නොපා ඔහු ඉල්ලා සිටි මුදල ලබා දුන්නාය. ඔවුන්ගේ එකම දියණිය හදාවඩාගැනීම පිණිස තමාට බාර දී යන මෙන් ඉල්ලා සිටින්නට ඇයට උවමනා වුවද, යිං විදෙස් රටකට පිටව යෑමට කෙතරම් උනන්දුවෙන් ආශාවෙන් බලා සිටියාද යන්න වටහාගත් අයිලින් එම අදහස අත් හැර දැමුවාය.

නොබෝ කලෙකින්ම ඇගේ පුත‍්‍රයා කතා කොට දැනුම් දුන් අන්දමට යිං ඔවුන්ගේ අවන් හළේ හොඳ අත් උදව්කාරියක බවට ඒ වනවිට පත්ව සිටියාය. එසේම ඈ පෘතුගීසි බස ඉගැනීමෙන් අනතුරුව ලේඛන හා කාර්යාල කටයුතු සඳහා ඇගෙන් මනා සහයෝගයක් ඇගේ දෙමාපියන් හට ලැබී තිබුණි. දිනෙන් දින දියුණු වන අවන් හළ වෙනුවෙන් ඈ සිදු කරනා කැප කිරීමට ත්‍යාගයක් වශයෙන් සෑම ගිම්හාන කාලයකදීම දෙසතියක නිවාඩුවක් සඳහා ඇයට සිය මිත්තණිය වෙත පැමිණීමට ඉඩ ප‍්‍රස්තාව ලැබී තිබුණි. එම කාලය තුළදී තම ඡායාරූප පැරණි මිතුරන්ට සහ අසල්වැසියන්ට පෙන්වමින් සිය අලුත් ජීවිතය පිළිබඳව නිහඬ පුරාජේරුවක නියැලීමට අමතරව, සැරසිලි මැහුමෙන් අලංකාර කෙරුණු, අතින් නිම කළ මේස රෙදි සහ අත්පිස්නා මිළට ගැනීමද ඇගේ රාජකාරියක් විය. වසර දහස් ගණනක් පුරා එම පළාත ඒ සඳහා ප‍්‍රසිද්ධියක් ඉසිලූ අතර නිසි අවබෝධයකින් යුතුව නිවැරදි තැන සොයා ගියහොත් අදටද ඉතාමත් අඩු මිළට ඒවා ලබා ගැනීමට හැකියාව ඇත.

ජීවිතය හොඳින් ගෙවෙනා බවත්, ව්‍යාපාරය ඉන් පෙර කිසිදාටත් වඩා සාර්ථකව සිදු කෙරෙනා බවටත් සෑම ගිම්හානයකදීම යිං සිය මිත්තණියට දැනුම් දුන් අතර, ඈ වාර්තා කරනා දෙයට අමතරව කිසිවක් නොවිමසිය යුතු බව අයිලින් දැන සිටියාය. දැරියට කතන්දර කියන්නට උවමනා වූ විට අයිලින් ඉතා උනන්දුවෙන් ඇගේ බස් අසන්නට සැදී පැහැදී සිටියද, යතාර්ථයත් පරිකල්පනයත් අතර රේඛාව බොඳව පෙනෙනා වයසක පසු වූ යිං ඉතා රසවත් යැයි සිතමින් කියූ බොහෝ දෑ මිත්තණියට නීරස විය. නමුත් ඒ බව නොපෙන්වා සිටින්නට අයිලින් ප‍්‍රවේශම් වූවාය.

යිංගේ නිවාඩුව අවසන් වන්නට ආසන්න එක් දිනෙකදී ඇය අයිලින් ඇගේ දිවුරුම් සොයුරියන් සමඟ සිටිනා ඡායාරූපයේ විශාලනය කරන ලද පිටපතක් රැගෙන ආවාය. මුද්‍රණාලයේ උදවිය එය පරිගණක මෘදුකාංග භාවිතයෙන් වඩාත් සුන්දරව පෙනෙන සේ සැකසූ බව යිං පැහැදිලි කළාය. දුඹුරු පැහැයේ ළා - තද වර්ණ සංයෝජනයෙන් හැඩ ගන්වා තිබූ ඡායාරූපයේ වූ දැරියන් තිදෙනාගේ සිනහවේ වූයේ ඔවුන් ම පමණක් දත් අභිරහසක මායාවෙන් සෙසු ලෝකයෙන් සැඟවගත් බව හඟවනා ස්වප්නමය භාවයකි. එය කුමකටදැයි අයිලින් විමසා සිටි අතර, එය ඔවුන්ගේ අවන් හළේ ප‍්‍රධාන තලයෙන් වෙන් කරගත් කොටසක නව සැරසිලි සඳහා බව යිං දැනුම් දුන්නාය. ඒ වෙනුවෙන් ඈ ඇගේ මිතුරන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලාගෙන එකතු කරගත් තවත් පැරණි ඡායාරූප ඇති බවද, මුද්‍රණාලය මගින් තවත් දිනක් හෝ දෙදිනක් ඇතුළත එම රූප ද සකසනු ඇති බවද යිං හෙළි කළාය.

අයිලින් ඡායාරූපය දෙස බලා සිටියාය. ගල් බංකුවක් මත හිඳගෙන සිටි ඇය ඡායාරූප ශිල්පියා උපදෙස් දුන් අන්දමට දෙපා ඒ මතට ගෙන දෑතින් දණහිස් වැළඳගෙන සිටියාය. කවුරුන් හෝ කතා කරනා ලෙසින් මඳක් ඉහළට දෑස් යොමු කර සිටිනා ලෙසට ඔහු පවසා සිටියද, කතා කරන්නේ කවුරුන්දැයි ඔහු කීවේ නැත. මෙයි සහ ලාන් ඇයට පිටුපසින් හිටගෙන ඇගේ උරහිස් මතින් එක් අත බැගින් තබාගෙන, අනෙක් අත් ඔවුන් තිදෙනා ම බලා සිටිය යුතු වූ දෙසට යොමු කරගෙන සිටියහ. ඒ සියල්ලම උස්ව නැංවුණු කුඩා වේදිකාවක් මත සිදු කෙරුණු අතර පසුතලයේ වූ, පණස් වසරකට පෙරදී ද වර්ණ ගෙවී ගොස් තිබූ උණ පඳුරුවලින් සහ දිය ඇල්ලකින් සමන්විත තිර රෙද්ද මෙම නව මුද්‍රණයේ බොහෝ සෙයින් නොපෙනී ගොස් තිබුණි. ඒ ගැන දැන සිටි අයිලින්ගේ දෑසට පමණක් එය යාන්තමින් හසු කරගත හැකි විය. එනමුදු, බොහෝ කල් අමතකව ගොස් තිබූ බොහෝ දෑ එම විශාලනය කරන ලද නව මුද්‍රණයද සමගින් නැවතත් මතුපිටට නැංවී තිබුණි: යාන්තමට පිළිස්සී තිබුණද ඡායාරූපයේ ඒ බවක් පෙනෙන්නට නොමැති ඇගේ ගෙතූ කොණ්ඩ කරලේ වක් ගැසුණු කෙළවරට හේතු වූයේ රත් කළ අඬුවකින් කලබලයෙන් කෙස් කැරළි ගන්වාගන්නට ගත් උත්සාහය ය; ඔවුන්ගේ ඉහළ බොත්තම් කාසවල රැඳවී තිබුණු පිච්ච මල් පොහොට්ටු ලබා දුන්නේ ඔවුන්ගේ වයසේ ම පසු වූ, ලැජ්ජාශීලී සිනහවකින් යුතු වූ මෙයිගේ අසල්වැසි පිරිමි ළමයා ය. සිය මවගේ ගෙවත්තේ පිපුණු මල් මෙයි වෙත පිළිගැන්වීම ඔහුගේ පුරුද්දක්ව තිබුණද, එම සුවඳැති ත්‍යාගයන්ගේ ආධාරයෙන් ඔවුන් අතර සැලකිය යුතු අන්දමේ හිතවත් කමක් ගොඩනැගෙන්නට පෙර ම, ඔහුගේ වැන්දඹු මව පිට පළාතක තැනැත්තෙකු හා විවාහ වූයෙන් ඔහුට නගරයෙන් පිට වී යන්නට සිදු විය. තිදෙනාගෙන් සුන්දර ම දැරිය වූ ලාන්ගෙන්, ඉවත නොබලා සිටිනා ලෙසට ඡායාරූප ශිල්පියාට එක් වතාවක් නොව දෙවතාවක් ම ඇයැද සිටින්නට සිදු විය. නමුත් රූපය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට ඇය කැමරා කාචය හමුවේ ලැජ්ජාවෙන් ඉවත බලන්නට සූදානම් වන බව පෙනෙනු ඇති වුවද, ඡායාරූප ශිල්පියා ඉතාමත් සූක්ෂම අන්දමින් ඇගේ දෑස් ඉවතට යොමු වීමට පෙර ඡායාරූපය ගැනීමට සමත් වී ඇත.

"මේක හදන්න කීයක් විතර ගියාද?" නව මුද්‍රණය සිදු කර තිබූ රෙදිකඩ මතින් අතැඟිලි ගෙන යමින් අයිලින් විමසුවාය.

යිං ලබා දුන් පිළිතුර අයිලින්ගේ මහත් පුදුමයට හේතු වූ අතර, එතරම් මුදලක් වියදම් කළද එම රූපය පෙරදී තිබුණාටද වඩා පැරණි ස්වභාවයක් උසුළන බව ඇය ප‍්‍රකාශ කළාය.

"ඉතිං එහෙම තමයි මට ඕන වුණේ."

"ඔයා මේක මෙහෙම හදවන්න කළින් අම්මලාගෙන් අහලා බැලූවද?"

"ඒ මොකටද?" යිං ඇසුවාය. "අපේ අමුත්තන්ට ඕන වෙලා තිබ්බේ මෙහෙම දෙයක් තමයි කියලා මං කිව්වාම අම්මලා කොහොමත් මේකට කැමති වෙනවා. ඒ නැතත් අම්මලා කොහොමත් කියන්නේ කඩේ දවසක මට අයිති වෙනවා කියලානේ. ඉතිං දැන්ම ඉඳන්ම කඩේ ගැන මං තීරණ ගත්තාම මොකද වෙන්නේ?"

වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව තම මිනිබිරියට දේශනයක් පවත්වන්නට අයිලින්ට සිතුණද, යිං සිය දෑස් කරකවා මිත්තණියගේ යල් පැන ගිය නිශ්ඵල ප‍්‍රඥාවට සිනාසීමෙන් පමණක් එයට ප‍්‍රතිචාර දක්වනු ඇති බව ඇය දැන සිටියාය. "මට තේරෙන්නෙ නෑ ඔයාලගෙ කෑම කඩේට එන කාටවත් කෑම කන ගමන් ඔය අවුරුදු ගාණකට උඩදි ගෑනු ළමයි කාණ්ඩයක් ගත්ත පින්තූරයක් දිහා බලං ඉන්න ඕන වෙන්නෙ ඇයි කියලා."

"ඔයාලා තුන් දෙනා ම හරිම පොඩියි, අහිංසක පාටයි. හරිම චීන පෙනුමයි."

"අපි ඔය පින්තූරෙ ගත්තෙ ඔය කොහෙවත් ඉන්න පිට දේසක්කාර යක්කු රැළකට විනෝදයක් සපයන්න නෙවෙයි," අයිලින් ශෝකයෙන් පීඩිතව කීවාය.

"ඒ වුණාට ඉතිං කමක් නෑනෙ, නේද?" යිං පැවසුවාය. "එතකොට ආච්චි අම්මාගෙ යාළුවෝ - ඔයා එයාලට මේ ගැන කියන්නෙ නෑ නේද? ඒගොල්ලෝ මාව හොයාගෙන ඇවිල්ලා සල්ලි ඉල්ලයිද දන්නෙ නෑ."

එවැනි දෑ ගැන කරදර වීමට තරම් තම මිනිබිරිය තවමත් ළාබාල වැඩි නොවේදැයි කල්පනා කරන අතරේ අයිලින් තමා එම වයසේදී භුක්ති විඳි තරම් සිහින දැකීමේ අවකාශයක් තම මිනිබිරියට නොමැති වීම පිළිබඳව දුක් වූවාය. තමා මිතුරියන්ට රහස හෙළි නොකරන බව අයිලින් පැවසුවද යිංගේ මුහුණේ වූයේ අවිනිශ්චිත බවකි.

"ඒත් බැරි වෙලාවත් ආච්චි අම්මාට අමතක වුණොත්," ඇය කීවාය. "මං දන්නවානේ වයසක උදවියගේ හැටි. ඔන්න අද පොරොන්දුවක් දෙනවා, ඒත් ඊළඟ දවසෙදි ඒක එහෙම පිටින්ම අමතකයි. මොකද ඔයගොල්ලන්ට ඕන තරං වෙලාව තියෙනවනේ කියව කියව ඉන්න. ඉතිං හැම ඕපදූපයක්ම හැමෝම එක්ක කියවනවා."

"මට එයාලව ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ."

"ඒගොල්ලො මැරිලද?"

නගරයෙන් බැහැරව විසුවද ඔවුන් දෙදෙනා ම පදිංචිව සිටියේ හෝරා දෙකක බස් ගමනකින් පහසුවෙන් ගෙවා යා හැකි දුරක ය. එසේ වුවද අයිලින් තම සැමියාගේ අභාවය පිළිබඳව ඔවුනට දැන්වූවේ නැත. ඔවුන්ද ඇගෙන් එවැනි අහිමිවීම් පිළිබඳ පුවත් සඟවා තබාගන්නට ඇතැයි යන්න ඇයට අවබෝධ වූවේ ඒ මොහොතේදීය. ඒ වනතුරු ඈ සිතා සිටියේ කෙතරම් දුරක සිටියද ඔවුන් තිදෙනා අතර සිදුවන මරණයක ආරංචිය නිසැකවම අනෙක් දෙදෙනා සොයා යනු ඇති බව ය. තමා එලෙස අන්ධ විශ්වාසයක එල්බගෙන සිටියේ මන්දැයි අයිලින් කල්පනා කරන අතරේ ඈ දෙස අනුකම්පා සහගත බැල්මකින් බලා සිටි යිං ඇගේ මිතුරියන් ඈ අසළදී මරුමුවට පත් වූවාදැයි නැවතත් විමසා සිටියාය. ඔවුන් දැනටත් හොඳ ශරීර සුවයෙන් පසු වනු ඇති බවටත්, එකම ගැටළුව ඔවුන් තව දුරටත් එකිනෙකා හා කතාබස් නොකිරීම පමණක් බවත් අයිලින් පිළිතුරු ලෙස පැවසූවාය. නමුත් ඒ මන්දැයි යිං විමසා සිටියාය. කරුණු කාරණා සිද්ධ වූවේ එලෙසින් බවත්, පණස් වසරක් තරම් දිගු කාලයක් තුළදී සියල්ල එක ලෙස පවත්වාගැනීම අපහසු බවත් අයිලින්ගේ පිළිතුර විය.

නමුත් යිං එයින් සෑහීමකට පත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. "මොන විදිහේ කරුණු කාරණා සිද්ධ වුණත් එහෙම යාළුකම් නැති වෙන්නෙ නෑනේ," ඇය කීවාය. අන්තර්ජාල දුරකථන සබඳතා, උපන්දින සුබපැතුම්පත් හුවමාරු, සහ එක්ව ගතකරන නිවාඩු දින සමග සමීප මිතුරු සබඳතා පවත්වාගෙන ගිය මිතුරන් කිහිප දෙනෙකු යිංටද විය. සෑම ගිම්හාන කාලයකදීම, ඇය තමා උපයාගත් මුදලින් මිලට ගත්, යුරෝපයේ විලාසිතා ලෙසින් ඈ හඳුන්වා දුන් ඇඳුම් සහ පාවහන් එම මිතුරන්ට තෑගි කළාය.

කෙතරම් ඉහළ තත්ත්වයෙන් පැවැතුණු මිත‍්‍රත්වයක් වුවද උදාසීන මධ්‍යස්ථභාවයකට පත් කරවීමට සමත් කුඩා කණස්සලුවලින් ජීවිතය පිරී ඇත - ඊළඟ කෑම වේල සූදානම් කිරීම, මාරු කරන්නට - සෝදන්නට ඇති ළදරු ඇඳුම්, සතුටු කරන්නට අපහසු අනෙක් පාර්ශවයේ නෑදෑයන් සහ කාර්යාල ප‍්‍රධානීන්, රෝග පීඩාදී මේ සියල්ලකගෙන්ම ජීවිතය ගොඩ ගැසී ඇහිරී ඇත. ඒ සියල්ල හැරුණු කොට ඡායාරූප ශිල්පියා පැවසූ තමන් පසු කර හැල්මේ දිව යන කාලයද එයට වගකිව යුතුය. නමුත් යිං එක් දෙයක් පිළිබඳව නිවැරදිය. කරුණු කාරණාවල සුළු සුළු වෙනස්කම් හේතුවෙන් දිවුරුම්-සොයුරි බන්ධනයක් බිඳී යන්නේ නැත. "කාලෙකට උඩදි යමක් සිද්ධ වුණා," අවසානයේදී අයිලින් හෙළි කළාය. "මං මහ නරක විහිළුවක් කළා. ඉන් පස්සේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මා එක්ක යාළුකම් තියාගන්න කැමති වුණේ නෑ."

"තුන්-කට්ටුවක් කියන්නේ යාළුකමක්වත් හරියට තියාගන්න බැරි, සමාව දීමක් ගැන දන්නේ නැති කණ්ඩායමක්නේ. යාළුවො කාණ්ඩෙකට ඒ ගාන හරියන්නේ නෑ," යිං කීවාය. "ඒක මොන විදිහේ විහිළුවක්ද?"

"මට ඔයාගේ තාත්තාව ලැබෙන්න කළින් ඒ දෙන්නාටම දරුවො ලැබුණා - පුතෙකුයි, දුවෙකුයි. ඉතිං මං නිකමට කිව්වා ඒ දෙන්නා ලොකු වුණාම කසාද බන්දන්න කතා කරලා තිබ්බානං හරි කියලා," අයිලින් කීවාය. "ඒක මං නිකමට කිව්වේ, විහිළුවක් හැටියට."

"එහෙනං ඉතිං ඒ පවුල් දෙකෙන් එකක් ඒක ඇත්තට බාරගන්න ඇති. ඒක ඇත්තට ටිකක් මෝඩ විහිළුවක්නං තමයි. ඒත් ඉතිං ඔහොම පොඩි විහිළුවක් හින්දා යාළුකම් අත් අරින එකනං ඊටත් වඩා මෝඩයි. ඉතිං ආච්චි අම්මාට වරද පටවගන්න ඕනෙ නෑ, ආච්චි අම්මාගේ වැරැද්දක් නෑනේ," යිං කීවාය. සිය මිනිබිරියගෙන් එවැනි සුරක්ෂිත සැනසුමක් දනවන වදන් අයිලින් ඉන් පෙර අසා නොතිබුණි. එවැන්නක් ඈ වෙතින් බලාපොරොත්තු විය හැකිව තිබුණේ ඈ තමා ගැන හෝ සිය මවුපියන් ගැන පවසනා විටෙකදී පමණි. "මේ මෝඩ තීරණ ගන්න මෝඩ මිනිස්සු හිටියේ නැත්තං මේ ලෝකේ කිසි ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ ඇත්තට," යිං එකතු කළාය.

නමුත් වැදගත්ම කාරණාවනම්, එය අයිලින් පැවසුවේද, ඇගේ දිවුරුම්-සොයුරියන් එය භාරගත්තේද විහිළුවක් ලෙසින් නොවීම ය. එක් දිනෙක පරතරයක් ඇතිව ඉපැදුණු දරුවන් දෙදෙනා සිය මවුවරුන් සේ ම සුන්දර වූහ. එම පවුල් ත‍්‍රිත්වයට ඉදිරියේදී තවත් දරුවන් එකතු වනු ඇති වුවද පළමු දරුවන් දෙදෙනා සුවිශේෂී විය. ඔවුන්ගේ මවුවරුන් අතර වූ දිවුරුම්-සොයුරි බන්ධනය වඩාත් තහවුරු කරන්නට දරුවන් අතර විවාහයක් සිදු කිරීමට වඩා උචිත වෙනත් දෙයක් තිබේද? එම දරුවන් දෙදෙනා කෙළි සෙල්ලම් කරනා සගයෙකුට, සොයුරෙකුට - සොයුරියකට වඩා බැඳීමකින් එකිනෙකා වෙත සෙනෙහස දක්වනු ඇත. එවැනි ආදරයකින් හැදී වැඩෙනු ඇත. ළදරුවන් දෙදෙනා වෙනුවෙන් නාම මාත‍්‍රිකව හෝ එවැන්නක් පිළියෙල කෙරුණු මොහොතේ ඇගේ එම සිතුවිලි වඩාත් සනාථ විය; එය අයිලින් ම යෝජනා කිරීම නිසා මෙයි සහ ලාන් වඩාත් සතුටට පත්ව සිටියෝය. ඇයට එම අවස්ථාවේදී හුදෙකලාවක්, පිටස්තර බවක් දැනේදෝයි ඔවුන් දෙදෙනා කණස්සල්ලෙන් පසු වූ බව ඇයට වැටහී තිබුණි. එබැවින් එම මවුවරුන් දෙදෙනාටද වඩා බලවත් උද්‍යෝගයකින් ඇය එම කුඩා උත්සවය සඳහා ආහාර පිළියෙල කළාය. තිදෙනාගෙන් කිසිවෙකුගේවත් සැමියන් උත්සවයට සහභාගි වූවේ නැත. ස්ත‍්‍රීන්ගේ අවිහිංසක මනෝ විකාරයක් ලෙසින් ඔවුන් එය නොතකා හැර තිබුණි. සැමියන් තිදෙනා අතර හොඳ මිතුරු සබඳතාවයක් ගොඩනැගී තිබූ නමුත් බිරින්දෑවරුන් නිසා නොවන්නට ඔවුන් අතර එවන් මිත‍්‍රත්වයක් ගොඩනැගෙන්නට හේතුවක් නැත. එසේම ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුත් දිවුරුම්-සොයුරියන් පිළිබඳ රහස දැන සිටියේද නැත.

"මොකද්ද වුණේ ඉතිං?" යිං විමසුවාය. "පවුල් දෙකෙන් එකක් පස්සෙ අදහස වෙනස් කරගත්තාද?"

"මහ අපරාධයක් සිද්ධ වුණා," අයිලින් කීවාය. "කොල්ලා අතින් වෙච්ච අත් වැරැුද්දකින් කෙල්ල මැරුණා."

යිංගේ මුවින් අදහාගත නොහැකි බවක් දනවන සිහින් රාවයක් පිට වූ නමුත් ඉක්මනින්ම ඇගේ කම්පනය දුරු වී මහත් උනන්දුවකින් මුහුණ පිරී ගියේය. "ඒක කොයි කාලෙද වුණේ? ඇයි එයා එහෙම දෙයක් කළේ? එතකොට ඒගොල්ලන්ට වයස කීයද?"

"ඔයාට වඩා ටිකයි ලොකු," අයිලින් කී අතර, ඒ සමගම එවන් සංසන්දනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇගේ සිතේ පසුතැවිල්ලක් ඇති විය. "එතකොට ඒගොල්ලන්ට දාසයයි වයස. ඒ දෙන්නා තනියම චාරිකාවක් ගිහිල්ලා. අත්වැරදීමකින් අර දරුවා අතින් කෙල්ලගේ හුස්ම හිර වෙලා."

යිං විදෙස් හුරුවකින් විස්මයට පත් රාවයක් පිට කළාය. "ඒක කොහොමද අත් වැරැද්දක් වෙන්නේ? ඔන්න ගඟට තල්ලූ වුණානං ඒක බැරි වෙලා වුණා කියන්න පුළුවන්. ඒත් මේ හුස්ම හිර කරන එක? එහෙම දෙයක් අත් වැරැද්දකින් වෙන්නෙ කොහොමද?"

අයිලින් හිස දෙපසට වැනුවාය. එම යෞවනයාගෙන් විමසන්නට තරම් දෙයක් ඒ මොහොතේදී ඉතිරිව තිබුණේ නැත. ඔහු අතින් යෞවනියගේ ඇඳුම ඉරී ගොස් තිබූ ආකාරයම ප‍්‍රමාණවත් සාක්ෂි සපයා තිබුණි. එම දරුවන් දෙදෙනා මුළු ජීවිතයම ගත කළේ ඔවුන් අතර නියම වී තිබූ විවාහය පිළිබඳව දැනුම්වත් ව ය. ස්වභාවිකවම යෞවනයා තුළ යම් බලාපොරොත්තු ගොඩ නැගී තිබෙන්නට ඇත. නමුත් යෞවනිය එයට විරෝධය පා සටන් කොට ඔහුගේ මුහුණද, දෑත්ද සූරා තිබිණ. යෞවනයා තුළ ඒ මොහොතේදී සිටි නාඳුනන සත්ත්වයාගේ හදිසි නොහික්මුණු ස්වභාවයට ඈ බිය වන්නට ඇත.

"එයා ඒ ගෑනු ළමයාට බලහත්කාරකම් කළාද?"

යිං එය විමසූ සරල සැහැල්ලූ විලාශය පිළිබඳව අයිලින්ගේ සිත කැළඹුනි. දහ හතර වැනි වියේදී අයිලින් සහ ඇගේ දිවුරුම්-සොයුරියන් හට නම් ජීවිතය හමුවේ ඇති එවන් කුරිරුකම් පිළිබඳව එතරම් අවබෝධයක් තිබුණේ නැත. "එයා ඒ දැරිවිට කරදරයක් කරන්න හිතන්න නැතුව ඇති," අයිලින් ඔහු වෙනුවෙන් කතා කළාය. ඇය පෙර පටන් ම එම පිරිමි දරුවාට බොහෝ සෙයින් ආදරය කළාය. ඔහුට වඩා සය වසරකින් බාල වූ ඇගේ පුත‍්‍රයා හට ඔහු ඉතාමත් හොඳ වැඩිමහළු සොහොයුරෙකුව සිටි අන්දම ඇයට අමතක නැත. එම නින්දිත මිනී මැරුම ගැන පුවත් පත් පිරී ගිය වකවානුවේ ඒ කිසිවක් වටහා ගන්නට තරම් වයසක් තම පුතුට නොවීම ගැන අයිලින් ආත්මාර්ථකාමී සැනසීමක් අත්වින්දාය.

"ඒත් ඒ කොල්ලා එයාව මැරුවානේ. ඔන්න මෙහෙමයි වෙන්න ඇත්තේ මං කියන්නේ. එයාට මේ ගෑනු ළමයාව ඕනෙ වුණා, එයත් එක්ක එකතු වෙන්න ඕන වුණා. ඒත් ඒ ගෑනු ළමයා කැමති වුණේ නෑ. ඉතිං කොල්ලාට තමුංව පාලනය කරගන්න බැරි වුණා," යිං කීවාය. "එයාට මරණ දඬුවම හම්බවුණාද?"

අයිලින් එසේ බව හඟවන්නට හිස සැලූවාය.

"එයාගෙ අතින් වරදක් වෙන්න ඇති. ඒත් මරණ දඬුවම ලබන්න තරම් වරදක්ද මන්දා ඒක," යිං සිය අදහස ප‍්‍රකාශ කළාය. "ඒත් ඉතිං මේ චීනෙනේ. මෙහෙදි කියන්නේ 'ජීවිතයට ජීවිතයක්' කියලනේ."

මෙයිගේ පුත‍්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ලෙසට අයිලින් ලාන්ගෙන් ඇයැද සිටි මොහොතේ ඇගේ පිළිතුර වූයේද එය ම ය. 'ජීවිතයට ජීවිතයක්.' අයිලින්ගේ දෑස් මග හරිමින් ලාන් පවසා සිටියේ එලෙස ය. තමන්ගේ දියණියට අනාගතයක් නොමැති කල, තමා මෙයිගේ පුත‍්‍රයාගේ අනාගතය පිළිබඳව සිතන්නේ කුමකටදැයි ඇය වැඩිදුරටත් විමසා සිටියාය. පිළිතුරක් දීගත නොහැකි වූ අයිලින් නිහඬව ම කළු පැහැති රාමුවක් යොදා තිබූ දැරියගේ ඡායාරූපය ඉදිරියේ හඳුන් කූරු කිහිපයක් දල්වා ඇගේ දෙමාපියන්ගේ හදවත් සුවපත් කර දෙන ලෙසට ප‍්‍රාර්ථනා කර සිටියාය. ඡායාරූපයේ සිටි දැරියට ලාන්ගේ සුන්දර මුහුණුවරද, ලැජ්ජාශීලී සිනහවද උරුම වී තිබූ අතර, එම අවාසනාවන්ත සිදුවීමේදී දැරියගේ බලවත් විරෝධයට හේතු වූයේ ඔවුන් කිසිවෙකුත් නොදත් වෙනත් පිරිමි දරුවෙකුදැයි අයිලින්ගේ සිතෙහි පළමුවරට සැකයක් ඉපැදිණි.

මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසු උසාවිය ඉදිරියේදී සිදු වූ සියල්ලට ම වගකිව යුත්තේ අයිලින් බවට මෙයි ඇගේ මුහුණට ම කෑගසා ප‍්‍රකාශ කළාය. ඇය අයිලින්ට එලෙස චෝදනා කරන අතරේ නඩුවෙන් ජයග‍්‍රහණය කළද තව දුරටත් සිය දිවුරුම්-සොයුරියන් හා බෙදාගන්නට කිසිවක් ඉතිරිව නොතිබූ ලාන් ඉවත බලාගෙන විගසින් එතැනින් නික්ම ගියාය. අයිලින් ඔවුන් දෙදෙනා දුටු අවසන් අවස්ථාව එය විය. එම පවුල් දෙක ම නගරයෙන් පිටව ගිය බව ඔවුන් පිටව ගොස් බොහෝ කලකට පසුව ඇගේ සැමියා ඇයට දන්වා සිටියේය. අනතුරුව ඇයට හුදෙකලාව තම වේදනාව විඳ ගැනීමට නිදහස ලබා දෙමින් ඔහු ඔවුන්ගේ පුත‍්‍රයා සමග පිටුපස මිදුලේ අලසව කෙළි දෙලෙහි යෙදිමින් බොහෝ වේලා ගත කළේය.

යළිත් දිවුරුම්-සොයුරියන්ගේ ඡායාරූපය දෙස හොඳින් බලා සිටි යිං, මිය ගිය දැරියගේ මව හා මිනීමරු පුත‍්‍රයාගේ මව කවුරුන්දැයි විමසා සිටියාය. "ආච්චි අම්මාගෙ යාළුවන්ගෙන් කොයි එක්කෙනා අනිත් එක්කෙනා එක්ක වැඩියෙන් තරහයිද මන්දා."

"ඔයා හිතන තරං ඒ දෙන්නා අතර තරහක් නෑ," අයිලින් කීවාය. ඇය මෙයිට පුත‍්‍රයෙකුත් තමාට දියණියකුත් ණය බව ලාන් දස වසරකට පෙරදී ඇයට ලියා එවූවේ ඔවුන්ගේ සබඳතාවය යළි අලූත් කරගැනීමට යෝජනා කරමින් අයිලින් ඇයට යැවූ ලිපියට පිළිතුරක් වශයෙනි. තමාගේ නිදොස් බව දක්වන්නට අයිලින් කුමන හේතුවක් ඉදිරිපත් කළද ඔවුන් තිදෙනා අතරින් එක ම ණයකාරිය වන්නට සිදු වූයේ ඇයට ය. "ඒ දෙන්නා ම වැරැද්ද පැටෙව්වේ මට," ඇය කතාව අවසන් කළාය.

අයිලින්ගේ මිතුරියන් එලෙසින් සිතීම සැබැවින් ම විකාරයක් බවත්, තමාට කිසිදු අදාළත්වයක් නැති සිදුවීමක වගකීම අයිලින් බාරගැනීම පිස්සුවක් බවත් යිං පවසා සිටියාය. හිස දෙපසට වැනූ අයිලින් දැරිය සමග වාද නොකර නිහඬ වූවාය. ඇගේ වයසටත් වඩා දැනුම් සම්භාරයක් ඈ උකහාගෙන ඇති බව සැබෑ වුවද, ආදරය සේ ම වෛරයද හේතු ප‍්‍රත්‍යයන් මත ඇති වෙන්නක් නොව කෙනෙකුගේ දැනුමෙන් පරිබාහිර වූ යම් බලවේගයකින් කරනා කොළොප්පමකින් ඇති වන්නක් බව වටහා ගැනීමට තරම් ඈ ළාබාල වැඩි විය. මෙයිගේ සහ ලාන්ගේ දරුවන් අහිමි වීම ම පමණක් මෙම වෛරය නොසිඳී තැබීමට තරම් හේතුවක් නොවනා බව අයිලින් දැන සිටියාය. එම විවාහය යෝජනා කළේ අයිලින් ය; එයටත් පෙර, දිවුරුම්-සොයුරි-බන්ධනය ඇති කරගැනීමේ යෝජනාවද ඇයගේ ම ය. යිං තව දුරටත් සිය මිත්තණිය හා වාද කිරීමේ උවමනාවෙන් පසු වුවද, තමාට නොවැටහෙන දෙයක් පිළිබඳව තර්ක කරන්නට ඇයට අනුබල ලබාදීමට තරම් මානසික තත්ත්වයක් ඒ මොහොතේ අයිලින් වෙත නොවීය. සැමියෙකු සොයාගන්නට උනන්දුවක් නොමැති තරමට ම ඇය සිය ළමා විය සහ තම දිවුරුම්-සොයුරියන් වෙත බැඳී මුරණ්ඩු සිතින් පසු නොවුනානම්, එම වකවානුව වන විට ඇයද විවාහ වී මෙයි හා ලාන් සමග ම මවු පදවිය ලබන්නට ඉඩ තිබුණි. එසේ වූවානම් ලාන්ගේ දියණිය හා විවාහ යෝජනාව සිදු කෙරෙන්නේ ඇගේ පුත‍්‍රයාට වන්නට ඉඩ තිබිණ. දැරියගේ කැමැත්ත හෝ අකැමැත්ත කවරක් වුවද අයිලින්ගේ පුත‍්‍රයා එම පවුල් ත‍්‍රිත්වය මෙවන් ඛේදවාචකයකට ඇද දමන්නට හෝ නොදමන්නට ඉඩ තිබිණ. යිං වෙනුවට ඇගේ නම රැගත් වෙනත් දැරියක් ඇගේ මිනිබිරිය වන්නට ඉඩ තිබූ අතර ඇය ඇතැම්විට මෙම ග‍්‍රාමීය නගරයේ ජීවිතය ගෙවන්නට සතුටු වන්නට ඉඩ තිබිණ. යිං වටා ඇති සෑම දෙයක්ම, කෙතරම් සජීවීව හා තාත්විකව පෙනෙන්නට තිබුණද, පණස් වසරකට පෙර එම වසන්ත සන්ධ්‍යාවේදී ජීවිතාන්තය තෙක් පැවතෙනා සොයුරි-බන්ධනයක් පිළිබඳ මනෝ මායාවක් අයිලින්ගේ සිතට නොනැගෙන්නට, ඒ සියල්ල වෙනස් වී තිබිය හැකි බව ඇය මෙම දැරියට වටහා දෙන්නේ කෙසේද?

බොහෝ වේලා බලා හිඳීමෙන් පසු යිං අදහස අත් හැර දැමූ බවක් පෙනුණි. "හරි එහෙනං, ඔය කියන තරම් ම ඒගොල්ලන්ට ආච්චි අම්මාව පේන්න බැරිනං ඒගොල්ලන්ගේ මේ පින්තූරේ අපේ කඩේ එල්ලන එකමයි හොඳ. ඒගොල්ලො දන්නෙත් නැතුව ඒගොල්ලෝ දිහා කට්ටිය බලං ඉන්නවානෙ එතකොට," ඇය කීවාය.

පණස් වසරකට පෙරාතුව ඡායාරූප ශිල්පියාගේ ඉඩ ඇහිරුණු කුටිය තුළදී කාලය නතර වූ ලෙසකින් ඔවුනට බිත්තියේ හිඳ අනේක විධ නන්නාඳුනනා විදේශිකයන්ගේ දෑස් තුළට සිනහ පාන්නට හැකි වනු ඇති බව අයිලින් කල්පනා කළාය. ඇගේ දිවුරුම්-සොයුරියන් ඇගේ දෙනෙතට ඉනූ කඳුළු දකින්නට පෙර ඇය ඔවුන් තිදෙනාගේ සේයාරුව රැගත් පෝස්ටරය වෙතින් ඉවතට හැරුණාය.


Yiyun Li විසින් රචිත Sweeping Past නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි.


296. තෙලිතුඩෙන් ලියැවුණු කවිය සහ පන්හිඳෙන් ඇඳි සිතුවම...

මගේ සිත්තරා ඇඳි සිත්තමකි :)


සිලි සිලි නදින් කොඳුරමින් නැලැවෙන
තුරු හිස් පිස හමා එන මඳ පවනැල්ල
හරිත පැහැ මුසු සිහිල් ගොම්මනේ
හෙමි හෙමින් ඇද හැලෙන මල් වැස්ස
සියොත් ගී රාවයෙන් කුල්මත්ව හිනැහෙන
කැලෑ මල් සුවඳින් පිරී ගිය වන ලැහැබ
ගලින් ගලට ඇද හැලෙමින් මුමුණමින්
පෙණ සිනහා නගමින් ගලා බසිනා සීත දිය දහර
වැහි බිඳු රැඳුනු සියපත් සුපිපුණු 
විල් තෙර අද්දර විසල් තුරු සෙවණෙක
ළන්තෑරුම් එළියක උණුහුම ගැල්වුණු
ගෙපැලක පිළ මත හිඳ
මේ සොඳුරු වසන්ත සිහිනය
සිතුවමට නගනා සිත්තරා කවුරුන්ද...




295. බලාපොරොත්තුවේ හඬ...



'ලබ් ඩබ් - ලබ් ඩබ්'
'ඔහෑ - ඔහෑ - ඔහෑ'
'ගුඩුස්'
'හිහිහි හෙහහ්'

'අම්මම්-මම් මම්'
'අම්මා'
'ලන්වන් පාතයි තමනලයා'
'මම අම්මාට ගොඩාක් ආදරෙයි'

'අම්මේ අද ටීච මට ගුඩ් බෝයි කිව්වා'
'හැපි බර්ත්ඩේ අම්මේ'
'අම්මා කෑවද?'
'මාත් අම්මාට උදව් වෙන්නං?'

'අම්මේ මං ආවා'
'අම්මේ බඩගිනියි'
'අම්මේ අද ෆීස්?'
'අම්මේ මං යනවා'

'හෙලෝ... අම්මේ...'

ඒ සියල් බලාපොරොත්තු මතින්
වැයේ තවමත් ඇගේ හද
'ලබ් ඩබ් - ලබ් ඩබ්'
නැත
'මගේ පුතු - මගේ පුතු'
රාවයෙන්.........

294. කතන්දර හතරක්...


දිනක් ඇත් ගාලක් අසළින් ඇවිද යන මිනිසෙක් එහි ඇතුන් කූඩු තුළ දමා හෝ යදමින් බැඳ දමා හෝ නොමැති බවත්, ඒ වෙනුවට එක් පාදයකට ගැටගැසූ ලණු පොටකින් පමණක් එහි රැඳී සිටිනා බවත් නිරීක්ෂණය කළේය. ඔහු දුටු අන්දමට එම ලණු පොට පහසුවෙන් ම බිඳ දමන්නට ඇතුන්ගේ ශක්තිය ප්‍රමාණවත් ය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. ලණු පොට බිඳ පළා යනවා තබා එකදු ඇතෙකු හෝ එවැන්නක් කරන්නට උත්සාහයක්වත් දරන්නේ නැත.

පුදුමයට පත් මිනිසා ඇත් ගොව්වාගෙන් ඒ පිළිබඳව විමසා සිටියේය. ඇත්ගොව්වාගේ පිළිතුර වූයේ මෙවැන්නකි: "මේ ඇත්තු පුංචි පැටව් කාලෙදි අපි ඔය තරමේම ලණුවකින් තමයි උන්ව ගැටගහලා තිබ්බේ. ඒ කාලෙදි කොච්චර දැඟළුවත් ඔය ලණුව උන්ට කඩාගන්න බෑ. ලොකු වුණාට උන් තාමත් හිතං ඉන්නේ තාමත් උන්ට ඒ ලණුව කඩාගන්න බැරි වෙයි කියලා. ඉතිං උන් ඕක කඩං පැනලා යන්න උත්සාහයක්වත් කරන්නේ නෑ."


***



වසර සිය ගණනකට පෙර ඉතාලියේ එක් පුංචි නගරයක විසූ අසරණ වෙළෙන්දෙක් මුදල් පොළියට දෙන්නෙකුගෙන් විශාල ණයක් ලබාගෙන තිබුණි. අප්‍රසන්න පෙනුමකින් යුතු මහල්ලෙකු වූ ණය හිමියා වෙළෙන්දාගේ තරුණ දියණිය පිළිබඳ සිත් පහළ කරගෙන සිටියේය. ඔහු වෙළෙන්දාට ලබා දුන් ණය උපයෝගී කරගෙන ඔහුගේ දියණිය විවාහ කරගැනීමට උපායක් සෙවීය.

වෙළෙන්දා සහ දියණිය හමු වූ ණය හිමියා යෝජනාවක් ඉදිරිපත් කළේය. සමාන හැඩයෙන් යුතු කළු හා සුදු ගල් කැට දෙකක් දැමූ මල්ලක් තුළින් වෙළෙන්දාගේ දියණිය එක් ගලක් අතට ගත යුතුය. එය කළු ගල් කැටය වුවහොත් ණය මුදල කපා හැරෙනු ඇති අතර වෙළෙන්දාගේ දියණිය ණය හිමියා හා විවාහ විය යුතුය. එය සුදු ගල් කැටය වුවහොත් එවිටද ණය මුදල කපා හැරෙනු ඇති නමු දියණිය ඔහු හා විවාහ විය යුතු නැත.

දියණිය එකඟ විය. ණය හිමියා ගල් බොරළු පිරි මාවතට නැවී සුදුසු ගල් කැට දෙකක් සොයන්නට විය. විමසිල්ලෙන් එදෙස බලා සිටි වෙළෙන්දාගේ දියණිය ඔහු අතට ගෙන මල්ල තුළට දැම්මේ කළු ගල් කැට දෙකක්ම බව දුටුවා ය. මල්ල තුළින් එක් ගල් කැටයක් අතට ගන්නා ලෙස ණය හිමියා ඇයට පැවසුවේය. අපට පෙනෙනා අන්දමට ඈ හමුවේ ඇති විකල්ප තුනකි:

  • මල්ල තුළින් ගල් කැට ගැනීම ප්‍රතික්ෂේප කර පියාගේ ණය බරින් නිදහස් වීමේ අවස්ථාව අහිමි කිරීම.
  • ගල් කැට දෙකම මල්ල තුළින් පිටතට ගෙන ණය හිමියාගේ වංචාව හෙළි කොට ඔහු තරහ කරගැනීම.
  • සත්‍යය දැන දැන ම, එය කළු ගලක් වනු ඇති බව දැන දැන ම, ගල් කැටයක් පිටතට ගෙන පියා ණය බරින් නිදහස් කිරීම පිණිස තම නිදහස කැප කිරීම.

නමුත් ඇය අපට වඩා වෙනස් අයුරින් සිතන්නියක වූවාය.

මල්ල තුළට අත දැමූ ඇය එක් ගලක් පිටතට ගත්තාය. නමුත් 'අතපසුවීමකින්' එය ඈ අතින් ගිලිහී මාවතේ ඇති අනෙක් ගල් කැට හා මුසු විය. ඇය ණය හිමියා වෙත හැරුණාය: "අනේ බලන්නකෝ, මගේ අතින් ඒක වැටුණානේ. කරුණාවන්ත ඔබතුමා සමාවෙලා ඔය මල්ලේ ඉතිරි වෙලා තියෙන ගල පොඩ්ඩක් බලන්නකෝ. එතකොට අපිට දැනගන්න පුළුවන් මං එළියට ගත්තේ මොන ගලද කියලා," යැයි පැවසුවාය.

මල්ලේ ඉතිරිව තිබුණේ කළු ගල් කැටයකි. තම වංචාව හෙළිදරව් වනවාට අකමැති වූ ණය හිමියා ඈ අතට ගෙන ඇත්තේ සුදු ගල් කැටය බව පිළිගෙන වෙළෙන්දාටද, දියණියටද නිදහස ලබා දුන්නේය.


***



දිනක් ගෙම්බන් රංචුවක් වනයක් හරහා ගමන් කරමින් සිටිනා අතර ඉන් දෙදෙනෙකු ගැඹුරු වළකට ඇද වැටුණි. වළ වටා රැස් වූ අනෙක් ගෙම්බන් එය බොහෝ ගැඹුරු බවත් ඔවුන් දෙදෙනාට කෙසේවත් ගොඩ ආ නොහැකි බවත් හඬ ගා පවසන්නට වූහ. 

නමුත් වළට වැටුණු ගෙම්බන් දෙදෙනා හැකිතාක් උත්සාහ කරමින් ඉහළට පනින්නට වෙර දැරූහ. ඔවුන් කොතෙක් උත්සාහ කළද වළ වටා රැස්ව සිටියවුන්ගෙන් ඔවුන් හට ලැබුණේ දුර්මුඛ හඬවල් පමණි. අවසානයේදී උත්සාහය අත් හළ එක් ගෙම්බෙකු වළ ඉහළ සිටින්නන්ගේ බසට අවනතව මිය යන්නට සූදානම්ව වළ පතුලේ නිසොල්මන් විය. නමුත් අනෙකා නොනැවතී හැකිතාක් ඉහළට පනින්නට උත්සාහ කළේය.

අවසානයේදී ඔහුගේ උත්සාහය සාර්ථක විය.

වළ වටා රැස්ව සිටි අනෙක් ගෙම්බන් මහත් පුදුමයෙන් ඔහු හා කතාබස් කරන්නට සූදානම් විය. නමුත් ඔහු සිනාමුසුව සිටියා පමණි. එම ගෙම්බාගේ කන් නෑසෙන බවත්, වළ වටා සිටි පිරිස කෑගසමින් තමාට ඔල්වරසන් නගනා බව සිතමින් ඔහු වඩ වඩාත් උත්සාහ කළ බවත් එම අනෙක් ගෙම්බන් දැනගත්තේ පසුව ය.


***



මිනිසෙකුට දළඹු කෝෂයක් හමු විය. ඔහු දිනෙන් දින එය නිරීක්ෂණය කළේය. එක් දිනක් එහි කුඩා විවරයක් මතු විය. එතුළ සිටි සමනළයා එම කුඩා විවරය තුළින් පිටතට එන්නට මහත් අපහසුවෙන් දඟලමින් උත්සාහ කරන අන්දම ඔහු බලා සිටියේය. එක් මොහොතකදී සමනළයා වෙහෙසට පත් වූ කලෙක මෙන් නිසොල්මන් වූ අයුරු ඔහු දුටුවේය. 

මිනිසා සමනළයාට උදව් කිරීමට තීරණය කළේය. ඔහු කැපුම් තලයක් අතට ගෙන ඉතාමත් සීරුවෙන් කෝෂයේ වූ විවරය තව දුරටත් විශාල කළේය. සමනළයා ඉතා පහසුවෙන් ඉන් පිටතට පැමිණියේය. නමුත් එම සමනළයාගේ සිරුර ඉදිමුණු ස්වභාවයක් ගත් අතර පියාපත් කුඩා හැකිළුණු, රැළි වැටුණු ස්වභාවයකින් යුතු විය. ඔහු පියාපත් විදා හැර පියාසලන්නට සූදානම් වන තෙක් මිනිසා බලා සිටියේය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. එම සමනළයා මුළු ජීවිත කාලය පුරාවටම පියාසරන්නට නොහැකිව ඉදිමුණු සිරුරකින් හා හැකිළුණු කුඩා පියාපත්වලින් යුතුව ඒ මේ අත ඇවිදිමින් සිටියේය. 

මිනිසා සමනළයාට උදව් කළේ කාරුණික සිතින් වුවද, සමනළයාගේ ජීවිතයේ සාර්ථක පැවැත්මට එම කෝෂය තුළින් ස්වභාවිකව ම ලබා දුන් ප්‍රතිරෝධයත්, අරගලයත් අත්‍යවශ්‍ය වූ බව ඔහුට අවබෝධ වූයේ පසුව ය.





පරිවර්තනය සඳහා උපුටාගැනීම The 10 Most Inspirational Short Stories I’ve Heard වෙබ් අඩවියෙනි.





293. How many deaths will it take till 'they' know... That too many people have died...?



How many roads must a man walk down
Before you call him a man?
Yes, ’n’ how many seas must a white dove sail
Before she sleeps in the sand?
Yes, ’n’ how many times must the cannonballs fly
Before they’re forever banned?
The answer, my friend, is blowin’ in the wind
The answer is blowin’ in the wind...

How many years can a mountain exist
Before it’s washed to the sea?
Yes, ’n’ how many years can some people exist
Before they’re allowed to be free?
Yes, ’n’ how many times can a man turn his head
Pretending he just doesn’t see?
The answer, my friend, is blowin’ in the wind
The answer is blowin’ in the wind...

How many times must a man look up
Before he can really see the sky?
Yes, ’n’ how many ears must one man have
Before he can hear people cry?
Yes, ’n’ how many deaths will it take till he knows
That too many people have died?
The answer, my friend, is blowin’ in the wind
The answer is blowin’ in the wind...

~ Bob Dylan, 1963



292. සිත්තමක ලියැවුණු කවිය...09 (අවසාන කොටස)



පහුවදා පාන්දර මමත් අම්මා එක්කම කුකුළා හඬලන්ඩත් කළියෙං නැගිටගත්තා. නැගිටගත්තා කිව්වාට මට අමුතුවෙං ඇහැරෙන්ඩ දෙයක් තිබ්බෙ නෑ. හැන්දෑවෙ ඉඳං වෙච්චි දේවල්වලට නින්ද මගෙ අහලකටවත් ආවෙ නෑ. වික්‍රම දීපු ඒ කඩදහියේ රෝල් කරලා තිබුණේ සිත්තර දෙකක්. එකක් හරි ලස්සන මුහුදක ඈත ක්ෂිතිජයට උඩින් ආකාසෙ වටකුරුවට බැබළෙන හඳයි තරු කැටයි. හඳේ ඡායාව මුහුදෙ හරි අපූරුවට රැළි අතරට වැටිලා. සිත්තරේ පහළට වෙන්ඩ එක පැත්තක කළු ගලක් උඩ ඒ හඳ එළියට දිලිහෙන මුතු කැටයක්. ඒ මුතු කැටේ වට කරගෙන නට නට ඉන්නෙ කණාමැදිරියො රංචුවක්. බලා ඉන්ඩ හරි ලස්සන සිත්තරයක්. අනිත් සිත්තරේ උන්නෙ මම. බලං හිටියා වාගෙම ඇඳලා. සඳාලාට දීලා තිබ්බ ඒවා වාගෙ නෙවෙයි, පාටත් කරලා. මං හැබෑවට ඉන්නවාට වඩා හැඩයි ඒ සිත්තරේ. කොහොම ඇන්දාද කියලා මට හිතාගන්ඩ බැහැ. සඳාගේ සිත්තරේ ඇඳලා තිබ්බ හැටි මං දැක්කානේ. ඒ බලාගෙනම ඇඳලාත් එච්චර වෙනස්කම් තිබුණේ. මං කෝකටත් අම්මාට හඳ පානේ සිත්තරේ විතරක් පෙන්නලා මගෙ රූපේ අල්මාරිය ඇතුළේ හැංගුවා. පස්සෙ පෙන්නන්ඩ බැරියැ. ඊට හපං මේ හැන්දෑවේ කතා කරලා තියෙන කාරණාව. මාව පල්ලෙහා ගෙදරට පිටත් කරලා මෙතන මට මඟුල් කතා කරලා! අම්මා ඉතිං ඒ විස්තර කියලා මගෙං ඇහැව්වා මගේ කැමැත්ත අකමැත්ත. ඒත් මගේ හිත සන්තෝසෙන් උඩ පනින අතරේ හිතේ එක කොණක් මොකද්දෝ කටු පඳුරක පැටලිලා වාගේ කණස්සල්ලකින් පිරිලා ගිහින් වග මට දැනුණා. ඒ හින්දා මං එක සැරේම කැමතියි කියන්ඩ ගියෙ නෑ. හිතලා බලලා පස්සෙ කියන්නං කියලා තමයි කිව්වේ. ඒ ඔක්කෝමත් හරි, අපේ ගෙයි බිත්තියෙන් අඩි විස්සක් තිහක් එපිටින් එයා නිදං ඉන්න බව හිතෙද්දි... නින්ද යයිද මට. එයාට නින්ද යන්ට ඇත්ද දන්නෙ නෑ. එක්කො එයත් මං වාගෙ ඇහැරගෙන කල්පනා කරනවද දන්නෙ නෑ. අම්මයි මායි නිදාගන්නෙ ගෙයි අනිත් පැත්තෙ කාමරේ. ඉස්සරහා කාමරේට ගිහිං ජනේලෙ ඇරගත්තානං කෙළින්ම අක්කලාගෙ ගේ පේනවා. ඊට කෙළින්ම තියෙන්නේ අක්කලාගෙ ගෙයි ඉස්තෝප්පු කාමරේ ජනේලෙ. ඒ වුණාට මං එහෙම කරන්ඩ ගියෙ නෑ. අම්මා දැක්කොත් එහෙම. ඊටත් වඩා, එයා ජනේලෙ ඇරගෙන හිටියොත් එහෙම මං මෙහෙ ජනේලෙ අරිනවා දකීවි. ඒ හින්දා ඕන නෑ කියලා මං හිත හදාගෙන හිටියා.

අම්මා වෙනදා වාගෙම කඩේට දාන්ඩ ඉඳි ආප්පයි හැලපයි හදන අතරේ මං කිරි හොද්දට පොල් මිරිකන්ඩ පටංගත්තා. වටිංගොඩිං එළිය වැටීගෙන එද්දි හදිසියෙම කුස්සියේ දොරෙං එබුණෙ විජේ අයියා. "අදනං ගොරෝ ගොරෝ වහීද මන්දා! මේං වදේ මේකිත් අද කුකුළාටත් කළිං ඇහැරලා!" මං එයාට ඔරෝලා අහක බලාගත්තා. "වෙනදාටත් අම්මා මෙතන තනියෙං නහිද්දි නරක ඇති දෝණියන්දැට ඇවිත් මේ වැඩට උදව් වුණානං?"

"ඔහෙ පාඩුවෙ ඉන්ඩ දියං පුතේ, අද හරි ඔය ඇවිත් ඉන්නවා මදෑ!" කවදාවත් නැතුව අම්මා අද මගෙ පැත්තට කතා කළා. 

"ඒක හැබෑව!" විජේ අයියාගෙ ඔලොක්කු හිනාවට මට ආයෙමත් ඔරවලා බලන්ඩ හිතුණත් මං ඔහෙ මගෙ පාඩුවෙම හිටියා.

"අර දරුවා පිටත් වුණාද?" ඒ ගමනනං මං කන් දෙකම ඒ පැත්තට හරවගත්තා. එයා කොහොමද එහෙම යන්නෙ කියන්නෙවත් නැතුව?

"තව නෑ අම්මෙ, මං මේ ආවෙමත් ඒකමයි. මලයට මොනවාහරි කාලා යන්ඩ හදන්ඩ කියලා කුසුමෙ ලෑස්ති වුණේ. ඒත් කුසුමෙට ඩිංගක් සනීප නැතුවා වාගේ. අම්මාට පුළුවනිද මොනවාහරි මලයාට උදෙංම කාලා යන්ඩ ලෑස්ති කරන්ඩ?"

"අපොයි මොකෝ බැරි? මේ ඉඳි ආප්ප ටික තැම්බුණාම අරං එන්නංකො පහළට. කිරි හොද්දයි සම්බෝලෙයි ලෑස්ති කරලා ගත හැකි ඉක්මනින්ම. මොකද ලොකු කෙලීට?"

"ඔය පොඩි කැරකිල්ලක් ඇල්ලුවා. වමනෙත් ගියා. සමහරවිට ඊයේ මෙයා උයාපුවා කාලාද දන්නෙත් නැහැ ඉතිං!" විජේ අයියා එහෙම කියලා බක බක ගාලා හිනාවෙන්ඩ ගත්තා. 

"ඉන්නවකො! ආයෙ තේකක්වත් හදලා දෙන්නෙ නැහැ අයියාට මංනං ඔන්න!" මං සුද්ද කර කර හිටපු ළුූණු ගෙඩියෙං විජේ අයියාට දමලා ගැහැව්වා.

"අනේ තියාගනිං උඹේ තේක! මට ඕන නෑ, අන්න අරුන්දැට පුළුවන්නං ඇවිත් තේකක් හදලා දියං. අක්කණ්ඩි උදේම ලැහැස්ති වුණේ ඉඹුල් කිරිබත් හදන්ටය කියලා. දැං ලබු කිරිබත්වත් උයාගන්ට බැරි ගාණට අන්න ඇඳට වැටිලා ඉන්නවා….. අම්මේ, මං යනෝ!" විජේ අයියා එහෙම කියාගෙන යන්ඩ ගියා.

"අක්කාට මොකද අම්මෙ?" මං වෙන අය ගැන හිතන්ට කළියෙං අක්කා ගැන හිතුවා. නැත්තං අම්මා වුණත් වැරදියට හිතන්ඩ බැරි නැහැ. "වෙද මාමා ළඟට එක්කං යන්ඩ වෙයිනෙ?"

"ඔය අජීර්ණෙකට නෙවෙයි දෝණි, ඔහොම වෙනවා බැන්දාට පස්සෙ..." අම්මාගෙ මූණේ අමුතු හිනාවක්.

"ඒ මොකෝ?"

"උඹට තේරෙයි පස්සෙ. දැං තේ ජෝග්ගුවක් හදාගෙන ගිහිං පල්ලෙහාට දීලා වරෙං හොඳ කෙල්ල වාගේ..."

ඉබ්බංව දියේ දැම්මාම වුණත් ඇන්නෑවේ කියන්ඩ ඕනෙ. නැත්තං හොඳ නෑ. "මං මේ සම්බෝලෙ කොටලා ඉවරවෙලාම යන්නං..."

"ඕක කොටත හැකි මට, මේ ටික බාලා ඉවරවුණහම. අර කේතලේ පැහිලා ඇති, තේ ඩිංගක් හදං ගිහිං අක්කාටත් මොකද කියලා බලාගෙන වරෙං විගහට, මේ ටික කඩේට දාලා එන්ඩත් එපැයි පුතේ..."

මං ඉතිං තේ ජෝග්ගුවක් හදාගෙන පල්ලෙහාට අරං ගිහින් අක්කගෙයි අයියාගෙයි කෝප්පවලටයි, තව කෝප්පෙකටයි වත් කළා. ඔහෙ නෑ කවුරුවත් පේන්ඩ. මං අනිත් දෙක ඉස්සරහා මේසේ උඩින් වහලා තියලා අක්කාගෙ කෝප්පෙත් අරං කාමරේට ගියා. අක්කා නිදි. "අක්කෙ, මේං තේ..."

අක්කා ඇස් දෙක පිහදාලා නැගිට්ටා. "ඔයා තේත් හැදුවද?"

"ඔව්. මොකෝ වුණේ? අයියා ඇවිත් කිව්වා අසනීපයි කියලා?"

"ඔය දැං ටික දවසක ඉඳං පොඩි කැරකිල්ලක් දැනෙනවා. ඒක හරි යයි... අයියලා තේ බිව්වද?"

"පේන්ඩ හිටියෙ නෑ කවුරුවත්, මං අර ඉස්සරහෙන් වහලා තිබ්බා..."

"ආ, ළිඳට යන්ඩ ඇති මං හිතන්නේ..."

"අම්මා මට විගහට එන්ඩ කිව්වා ඉඳි ආප්ප ටික කඩේටත් දාලා එන්ඩ එපැයි. මං යන්නද එහෙනං?"

"හා, මං එන්නං උඩහට අම්මාට උදව් වෙන්ඩ..." අක්කාත් නැගිට්ටා.

මං උඩහට ගිහිං අම්මා කඩේට ගෙනියන්ඩ වෙං කරලා තිබ්බ පාර්සල් ටික විගහට පෙට්ටියෙ අඩුක් කරගෙන ගීතා අක්කලාගෙ කඩේට දුවලා ආවා.  මං එද්දි කට්ටිය කෑමට වාඩි වෙලා. මාත් පිඟානක් බෙදාගෙන මේසෙ එහාපැත්තේ බිත්තිය ළඟ පුටුවකින් ඉඳගත්තා. 

කාලා බීලා ඉවර වෙලා කට්ටිය මිදුලට බැස්සා. විජේ අයියාත් වික්‍රම එක්ක පන්සලට යන්ඩ ලෑස්ති වෙලා. අම්මා මගදි කන්ඩ හැලප වාගයක් වික්‍රමගේ අතට දුන්නා. එයා අම්මාටයි අක්කාටයි වඳිනවා බලං ඉන්දැද්දි මගෙ නාහෙ දැවිල්ල ඇල්ලුවා. මට එයා ගමට පය තියපු මුල්ම දවස මතක් වුණා. එදා හිටං අපි දෙන්නා අතරේ ඇති වෙච්ච ආරෝවල් මතක්වුණා. මං ඉස්තෝප්පුවේ කණුව බදාගෙන අහක බලාගෙන හිටියා.

"මුතූ..." අම්මායි, අක්කායි, අයියායි මිදුලෙ බලං ඉන්දැද්දි වික්‍රම මගෙ ළඟට ඇවිල්ලා. ඒත් මට තාම හිතට හයියක් නෑ එයා දිහා බලන්ඩ. "උදේට කෑවා මදිවද දැං නියපොතු විකන්නේ?" මං නියපොතු විකන්ඩ පටංගෙන කියලා මට දැනුනෙත් එතකොටයි. හපන්ඩ ඇති නියපොත්තකුත් නෑ. මං අත පහළ දැම්මා. "සිත්තරේ බැලුවාද?" මේ අහන්නේ කොයි සිත්තරේ ගැනද කියලා මං දන්නවා. මං ඔව් කියන්ඩ ඔළුව වැනුවා. "කැමතිද ඒකට?"

"මං දිහා බලන්නෙත් නැතුව ම එහෙම ඇන්දේ කොහොමද?" මං ඇහැව්වා. "මං දැක්කා සඳාට ඇඳලා දීලා තිබ්බ එක පෝය දවසෙදි. එයා දිහා බලාගෙන ඇඳලත් ඒක වෙනස්නේ?"

"එදා ඔය එක සීරුවට සිත්තර විස්සක් තිහක් අඳින්ට වුණාම මට පුළුවනෑ හිත එක හැටියකට තියාගෙන ඒ වැඩේ කරන්ට. ඉතිං අර කෙල්ලගෙ ඇස් දෙක මේ කෙල්ලටයි, මේ කෙල්ලගෙ කට අර කෙල්ලටයි ඇඳෙන්ට ඇති... මං මක් කරන්ටද ඒකට?" එයා උත්තර දුන්නෙ හිනා වෙලා. මගේ හිතත් හිනාවෙන හැටි මට දැනුණා. එදා ඇන්ද හැමෝගෙම එව්වා එහෙනං ඒ වගේ තමයි අඳින්ඩ ඇත්තේ... 

"ඉතිං මේක මං දිහා බලන්නෙවත් නැතුව මේ හරියට ම ඇඳලා තියෙන්නේ…?" මං ආයෙම ඇහැව්වා.

ඒ වතාවේ ඒ මූණෙ ඇඳිච්ච හිනාවට මට ඉබේම බිම බැලුනා. "ගලේ කෙටුවා වාගේ හිතේ ඇඳිච්ච රූප සිත්තරේට අඳින්ට ආයෙ බල බල ඉන්ට ඕන නෑ මුතූ... ඉතිං කියන්ට, කැමතිද ඒකට?"

"එහෙම තෑගි හැමදාම හම්බවෙන්නෙ නෑනේ… කැමති නොවී කොහොමද ඉතිං ..."

"අම්මාට පෙන්නුවාද ඒක?"

මං නැහැයි කියන්ට ඔළුව වැනුවා. "පස්සෙ පෙන්නනවා... අනිත් එක විතරයි පෙන්නුවේ..." 

එයා හිනාවුණා. "හෝ ගාන පොකුණ දැකලා තියෙනවද?"

මං ඔළුව වැනුවා. "අප්පච්චි වතාවක් අපිව කොළඹ එක්ක ගියා. ඒ ගමනෙදි මූදත් බලන්ඩ ගියා..."

වික්‍රම ඔළුව වැනුවා. ඊළඟට ටිකක් වෙලා සද්ද නැතුව කල්පනා කරලා ආයෙම ඔළුව ඉස්සුවා. "ඊයෙ අම්මා මුකුත් කිව්වද?"

මං බිම බලාගත්තා. මගෙ මූණ රතු වෙලා තියෙන හැටි මට හොඳට දැනුණා. "කිව්වා..." මං මිමිණුවා.

"ඉතිං...?" එයා ඇහැව්වේ වචනෙ බරට ඇදලා. "ඒකටත් කැමතියි නේද?"

මං මගේ කටිං කෝල හිනාවකුත් එක්ක එළියට පනින්ඩ හදන හිත අමාරුවෙන් අල්ලලා නවත්තගත්තා. මෙයා යන්ඩ කළිං හිත අස්සේ තියෙන රොඩුබොඩු ඔක්කොම සුද්දකරගන්ඩ ඕනෙ. නැත්තං එහෙම මට වෙන්නේ වහිනකල් ආකාහෙ දිහා බලාගෙන ඉන්න වැහි ලිහිණි වගේ හූල්ල හූල්ල ඉන්ඩ. මං ලොකු හුස්මක් ගත්තා. "එතකොට ඒ ගමේ ඉන්න අයට මොකද වෙන්නේ?"

වික්‍රමගෙ නළල රැළි වුණා. "ඒ කවුද?"

"අර ගුරුන්නාන්සේගේ දෝණියන්දැ?"

ටිකක් වෙලා පුදුම වෙලා වාගෙ බලං ඉඳලා මෙන්න වදේ හිනාවෙන්ඩ ගත්තා. "මුතූට කොහෙන්ද එහෙම දෙයක් හිතට වැටුණේ? ගුරුන්නාන්සේගෙ දෝණියන්දැ - සමන්ති අක්කා - මට වඩා හතර පස් අවුරුද්දක්ද කොහෙද වැඩිමල්... අල්ලපු ගමට දීග ගිහිං දැං කෙළි පැටික්කියෙකුත් ඉන්නවා....."

මගෙ ඔළුව එකපාරටම ඉස්සුනා. දෙයියනේ! මං හිතං උන්නෙ කොච්චර වැරදියටද! අර විජේ අයියානං ඇත්තට...! මං එයා උන්නු පැත්ත ඔරවලා බැලුවා. ඒ තුන්දෙනා වෙන කතාවක. එයානෙ මේ කොහෙවත් යන ගුරුන්නාන්සේගෙ දෝණියන්දෑ කෙනෙක් ගැන මගෙ ඔළුවට දැම්මේ. 

"එහෙම එකක් ගැන හිතාගෙනද එතකොට මට මෙච්චර දවස් ගණං පෙන්නුවේ?" වික්‍රම තාම හිනා වෙනවා.

මං හිතං හිටියේ මෙයා එහෙ අයට පොරොන්දු දීලා ඇවිත් මෙහෙ කෙල්ලො පස්සේ යනවා කියලා. මගේ හිතේත් කොයි තරං ඇඟෑලුම්කමක් දැනුණත් මං මගේ හිත නවත්තගෙන හිටියේ ඒකයි. මං ආපහු සැරයක් විජේ අයියා ඉන්න පැත්තට එරෙව්වා. ඔරෝනවා ඇරෙන්ඩ ඉතිං මං ආයෙ ඕක ගැන කියලා උන්දැ එක්ක සණ්ඩු අල්ලන්ඩද? මගේ ඇස් දෙකට කඳුළු පිරීගෙන එන හැටි මට දැනුණා. මං විගහට බිම බලාගත්තා. 

වික්‍රම තව අඩියක් ළඟට ආවා මට දැනුණා. "මේ අහන්ට… මං නගාගෙ හිත හරියටම අඳුරගත්තේ නගාගෙ කවි පොතෙන්… ඒ අඳුනගත්තු හිත ගාව නතර වෙන්ට හිතුණේ නගා අර සිදුහත් කුමාරයායි යශෝධරා දේවියි ගැන ලියලා තිවුණ කවිය හින්දා, අර මං විහාර ගෙයි සිත්තරේට ලියාපු කවිය. ඒ මොහොතෙදි සිදුහත් කුමාරයාට දැනුණු හැටි ගැන ඔහොමට හිතන කෙනෙක් මට මුණගැහිලාම නැහැ. ඒ මොහොතෙදි එතන උන්නේ බුදු වෙන්ටම පෙරුම් පුරාගෙන ආපු බෝසතාණන් වහන්සේ වුණත් ඒ වෙද්දි බුදු වෙලා හිටියේ නැහැ නෙව. මට මේ වෙලාවේ නගාව දාලා යන්ට තියෙන අමාරුවට වඩා සිය දහස් ගුණයක වේදනාවක් ඒ වෙලාවේ ඒ හිතේ තියෙන්ට ඇති. මුතූගේ ඒ වචන කොයි තරං වටිනවාද… එහෙම පරාර්ථකාමී හිතුවිල්ලක වටිනාකම කොච්චරක්ද කියලා දන්නවාද? මුතූ ඒ ලියලා තිබුණා වාගේම, මට මේ වෙලාවේ යන්ට වෙනවා... ගුරුන්නාන්සේ එක්ක කතා කරන්ට ඕන, ඒ පැත්තේ කටයුතු එකලාසයක් කරගන්ට ඕන... ඉතිං නොගිහිං බෑ... ඒත් මං ආපහු ඉක්මනටම එනවා... මගෙ මුතු මැණිකෙව මගේම කරගන්ට… එතකල් ඔහොම නියපොතු වික වික ඉඳලා අන්තිමට ඇඟිලි ටිකත් කාලා ඉවරයක් කරලා දාන්නෙ නැතුව දවසක මටත් ඔය ටික ඉතුරු කරලා තියන්ට..." මං දත් අතරට අහුවෙලා තිබ්බ ඇඟිලි ටික විගහට පහළට ඇදලා ගත්තා. කන් දෙකට ලේ පුරාගෙන එන අතරෙදි මගේ මූණෙ ඇඳිච්ච හිනාව මට නවත්තගන්ඩම බැරි වුණා. ඒ වෙලාවෙදි වික්‍රම මගේ ඔළුව අතගෑවා. අප්පච්චිගේ බර අතේ උණුහුම මට දැනුණේ. "මං ආපහු එනකල් පරිස්සමෙන් ඉන්ට ඕනෙ… තේරුණාද?"

මං ඔළුව වැනුවා. එච්චර කාලෙකට බලෙංම අගුළු දමාගෙන හිටපු මගෙ හිත සී සී කඩ විසිරිලා. ඉන් ඉස්සර කවදාවත් දැනිලා නොතිබිච්ච මහා අමුත්තකින් හිත පිරීගෙන එනවා.

"විභාගෙ ප්‍රතිඵල ආවාම මටත් කියලා එවන්ට... මට ලියුං එවන විදිහ, හදිසියකට කතා කරන්ට ඕන වුණොත් ලොකු ඉස්කෝලෙ මහත්තයලගෙ දිහෑ ටෙලිෆෝන් නොම්බරේ එහෙම මං විජේ අයියාට දීලයි තියෙන්නේ..."

මං ආයෙමත් ඔළුව වැනුවා. විටිංවිට එයා කියපු කරපු දේවල්වලට මගේ හිත ගැස්සෙන එක ටික දවසක ඉඳං පුරුද්දට ගිහිං තිබුණත් මේ වෙලාවේ මේ දැනෙන්නේ එහෙම නිකම්ම හිත ගැස්සිල්ලකට එහා ගිය දෙයක්... මගේ හිත ආදරේ හොයාගෙන... මගේ හිත මාවත් අත ඇරලා දාලා කොහෙදෝ ඉගිල්ලෙනවා...

"මුතූ විශ්ව විද්‍යාලෙට තේරුණොත් යනවද?"

මං මගේ හිතත් අරගෙන උඩ යන්න හදන සරුංගලේ ආපහු නූලෙන් ඇදලා බිමට බාගත්තා. "යන්ඩ පුළුවං වෙයි කියලා හිතන්ඩ බැහැ... එච්චර හොඳට ලියාගන්ඩ බැරි වුණා..."

"අපි බලමුකො..."

"ඒ දවස්වල මං කියපු කරපු නපුරු වැඩවලට තරහා නෑ නේද?" හරිනං මං මීට බොහොම කළිං කියන්ඩ තිබුණ වචන පෙළක් කියාගත්තා.

"අපෝ මොකද නැත්තෙ? එව්වට වාඩුව මං ගන්නංකො පස්සෙ වෙලාවක!" වික්‍රම හිනා වෙවී දීපු උත්තරේට මටත් හිනා ගියා. "හම්මේ, මට දැනෙන සන්තෝසෙ!" එයා ලොකු හුස්මක් පිට කරගන ගමං හිනාවෙවීම කිව්වා.

"අර මොකෝ?"

"නාහෙට අහන්නෙ නැති අස්ස වෙළඹක් මේච්චල් කරගත්තහම ගොපළු කොළුවෙකුට දැනෙන්නෙත් මෙහෙම වෙන්ට ඇති!"

ඉස්සර හිටපු මමනං, මෙයාත් එක්ක බලෙංම හිතේ කෝන්තර ගොඩගහගෙන හිටිය මමනං, ඒ කතාවටත් කේන්ති ගනියි. ඒත් ඒ කිව්වත් වගේ ඒ කුලප්පු වෙච්ච අස්ස වෙළඹ දැන් හීලෑ වෙලා. මේ ගොපළු කොළුවාට. මං හිනාවුණා. ඒ එක්කම ආයෙමත් මගෙ හිතට දුකක් ආවා. "මට සිත්තර දීලා යනවා, මං මොනවද දෙන්නේ මතක් වෙන්ඩ?"

එයා හිනාවෙලා ආපහු සැරයක් මගේ ඔළුව අතගෑවා. "මුතූව මතක් වෙන්ට මට ආයෙ අමුතුවෙන් මොකවත් ඕන නැහැ... හැමදාම ඔහොම හිනාවෙලාම ඉන්ට..." ඒ අත එහෙමම මගෙ ඔළුවෙන් තියාගෙන ටිකක් වෙලා එහෙමම හිටියා. "මං යන්ටද එහෙමනං දැං?"

මටත් අඩුගානේ ඒ අතින්වත් අල්ලගන්න තියෙනවානං. ඒත් අම්මල ඉස්සරහා එහෙම කරන්ඩ මට ලැජ්ජයි. මං හෙමීට ඔළුව වැනුවා. "පරිස්සමෙන් ගිහිං ඉක්මනට එන්ඩ... මං බලාගෙන ඉන්නවා..." 

මගෙ ඇස් දෙකේ ආපහු කඳුළු පිරීගෙන එන අතරේ වික්‍රම ආපහු හැරුණා. එයා විජේ අයියා එක්ක කඩුල්ල පැනලා යන හැටි බලාගෙන ඉන්න අතරේ මං ඉස්තෝප්පු කණුවට හේත්තු වුණා. එයාගෙ හිත මං ළඟ තියලා, මගේ හිතත් අරගෙන, බලාපොරොත්තු ගොඩක් මගේ හිතේ පුරවලා, පොරොන්දු ගොඩක බරත් අරගෙන එයා කන්දෙවත්ත ගමෙන් යන්ඩ යනවා... ආයෙ ඒවි පුළුවං ඉක්මනින්ම... එතකල්, අල්මාරියේ මගේ තට්ටුවේ අඩියට එළලා තියෙන කැලැන්ඩර් කොළේට යටින්, එයාගේ ලේන්සුවේ එතිලා පරිස්සමට තියෙන, එදා එයා පන්සලේදි ගේට්ටුව එහා පැත්තේ කහළගොඩට විසි කරලා තිබිලා මං එමිං ගමන් අහුළගත්ත ලොසිංජර දෙකේ කොළ, මගේ පාළු මකාවි... පන්සලේ ඝාණ්ඨාර නාදෙයි හඳුන්කූරු සුවඳයි මුහු වෙච්ච හුළඟ මගේ පණිවිඩ එයා ළඟට අරගෙන යාවි... රෑ ආකාහෙ බැබළෙන හඳ එළියයි, තරු එළියයි, ඒ මොකවත්ම නැති දාට කණාමැදිරි එළියයි එයාගෙ මුතු මැණිකෙගේ ආදරේ එයාට මතක් කරලා දේවි... 


- සමාප්තයි -


"වළාවක් සේ අයාලේ ගිය 
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරක ගෙවූ තනි මග 
නිමා කල ඉම ඔබ නෙතයි"