99. සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය...

බ්‍රහස්පතින්දා. සතියේ බ්‍රහස්පතින්දා දවස උදා වෙනකල් තමයි සිත්තමී පුල පුලා බලං ඉන්නේ. ඇත්තම කියනවනං බ්‍රහස්පතින්දා රෑ 9.30 උදා වෙනකල්. ඒ මොකද කියනවනං, සිත්තමීගේ වීරයා රූපවාහිනී තිරය හරහා ඉගිල්ලෙන වෙලාව ඒක නිසා. මේ ඇවිල්ලා 1999. සිත්තමී ළමා කතන්දර වල ඉඳන් යොවුන් කතන්දර වලට, ප්‍රේම කතන්දර වලට මාරු වෙලා වැඩි කාලයක් නෑ. අර කුච් කුච් හෝතා හේ තදටම දැනෙන කාලේ. ඒ කාලේ ඔය කියපු වෙලාවට, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රෑ 9.30ට රූපවාහිනී තිරය හරහා සිරස නාලිකාව ඔස්සේ පියාඹලා ගියේ... සුපර් මෑන්. Lois & Clark: The New Adventures of Super Man...



ඒ කාලේ සිත්තමී ලොයිස් ලේන්ට ඉරිසියා කරපු තරමක්!!!

ඇයි සිත්තමීගෙ යාළුවෝ! ඉස්කෝලේ ගියාම ඕක ඇරෙන්න ඒ දවස් වල සිත්තමීටයි යාළුවන්ටයි කියවන්න වෙන මාතෘකාවක් ඇත්තෙම නෑ. වෙන එකක් තියා සිත්තමී ඔය කතාන්දරේ පින්තූර එකතු කරලා අලවලා පොතකුත් හැදුවා. සුපර් මෑන්ගේ ලාංඡනේ ඇඳලා පාට කරලා මේසේ උඩ පොත් ගොඩට යටින් පරිස්සමෙන් අරන් තියාගෙන හිටියා. ඒකට ලස්සන දිලිසෙන ඉෆෙක්ට් එකක් දෙන්න කැරම් බෝඩ් එකට දාන පවුඩර් අරගෙන ඒකෙ ඇතිල්ලුවා. එදා ඉඳන් සිත්තමීගෙ ගෙදර කැරම් බෝඩ් එක එළියට ගත්තු ගමන් එතන සිත්තමීට සුපර් මෑන්ව මැවිලා පේනවා.

ඒ ඇවිල්ලා සිත්තමීගේ හිරිමල් යොවුන් වියේදී සිත්තමීට තදටම, උණ සන්නිපාතෙ හැදෙන තරමටම දැනිච්ච ලව් එක. හැබැයි ඒ සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය කිව්වොත් ඒක වැරදියි. සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය සිත්තමී තුන වසරේ හිටපු කාලෙට තරං ඈතකට දිව යනවා. 

සිත්තමී තුන වසරේ ඉන්න කාලෙදි සිත්තමීගෙ තාත්තා සිත්තමීට අත් අකුරු ලියන්න දීලා තිබුනා දවසට පේළි පහ ගානේ. ඕක ඉතිං මහ කම්මැලි හිතෙන වැඩක්නේ. 

සිත්තමීගෙ වැඩේ ඉතිං ඕක ලියන්න එක එක අල්ලස් ඉල්ලනවා. ඉල්ලන හැම එකම ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඔය අල්ලස් ඉල්ලන්න හිතේ තියාගෙන ඉන්න වෙලාවක සිත්තමී දැක්කා අලි ඉන්න ෆිල්ම් එකක ඇඩ් එකක්. තාත්තත් එතන හිටියා. සිත්තමී ගත් කටටම කියපි අකුරු ලියන්නනං ඒක බලන්න ඕනේ කියලා. ඒ දවස් වල අයි. ටී. එන්. එකේ බදාදා රෑ 9.30ට ගියා හින්දි චිත්‍රපට. තාත්තත් පරණ හිදි චිත්‍රපට වලට ගොඩක් කැමතියි. සිත්තමියි සිත්තමීගේ නගායි පරණ හින්දි සින්දු වලට ආදරේ කරන්න ගත්තේ තාත්තා නිසා. ඉතින් කොහොමහරි සිත්තමීට ජීවිතේ පළවෙනි හින්දි චිත්‍රපටය ඒ විදිහට නරඹන්න අවස්ථාව උදා වුනා.



හාති මෙරේ සාති.

ඒ චිත්‍රපටයේ අලි එක්ක සෙල්ලම් කරපු ඒ ලස්සන නළුවා තමයි සිත්තමීගෙ ප්‍රථම ප්‍රේමය.



රාජේශ් ඛන්නා

එදා මෙදා තුර හින්දි සිනමාවේ සිත්තමීගේ ප්‍රියතම හින්දි නළු ලයිස්තුවෙ මෙයා තමයි උඩින්ම ඉන්නේ. සිත්තමීගේ පණ තියෙනකල් ඊට වඩා උඩට ඒ ලැයිස්තුවේ වෙන කෙනෙක් එන එකක් නෑ. මෙයාට වඩා රඟපෑම අතින් ගොඩක් දක්ෂ අය හිටියා, ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මේ මූණ, ඇස් දෙක. 



ඒවා පරද්දන්න ඒ කාටවත් බෑ. බලන්න, වයසට ගියත් ඒ ඇස් දෙක එහෙමමයි.



1966දී Aakhri Khat චිත්‍රපටයෙන් සිනමාවට පිවිස චිත්‍රපට 180ක පමණ රඟපෑ එතුමන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී තෙවතාවක්ම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර දහ හතර වතාවක්ම ඒ සඳහා වූ නිර්දේශිත නාම අතරට ඇතුළත් විය. වසර 25ක් තුළදී තම සමකාලීනයන් අතුරින් වැඩිම වාර ගණනක් ප්‍රධාන චරිතය රඟපෑ නළුවා එතුමන් වූ අතර 1991දී ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානයටද පාත්‍ර විය. 2005 වසරේදී 'Filmfare Lifetime Achievement' සම්මානයද එතුමන්ට හිමි විය. සැමගේම ආදරය දිනාගත් නළුවෙකු ලෙස පමණක් නොව නිශ්පාදකයෙකු හා පසුබිම් ගායකයෙකු ලෙසද එතුමන් භාරත සිනමාව පෝෂණය කරන්නට දායක විය. (තොරතුරු මූලාශ්‍රය: Wikipedia - Rajesh Khanna)


Aakhri Khat - 1966
Aradhana - 1969
Kati Patang - 1971
Anand - 1971
Amar Prem - 1972
Apna Desh - 1972
Riyasat - His last film - Released on 18th July 2014 on his 2nd death anniversary

අද ජූලි 18. 2012 ජූලි 18 වෙනිදා තමයි මෙතුමා අප අතරින් වියෝ වුනේ. වයස අවුරුදු 69දී.





මේ සටහන එතුමන්ට උපහාරයක්ම වේවා.








භාරත රිදී තිරයේ සිහින කුමරාණෙනි... ඔබ සදා අමරණීයයි...

ප. ලි.: සිත්තමීගේ ප්‍රියතම හින්දි නළු ලැයිස්තුවේ රාජේෂ් ඛන්නා තවමත් ඉහළින් වැජඹුනාට, ඊටත් වඩා ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක් තමයි සිත්තමීගේ සිත්තරා. එයාව ගෑණු ළමයින්ගෙන් බේරගන්න තිබ්බ අමාරුව දන්නේ සිත්තමී විතරයි. සිත්තමී සිත්තරාව අඳුනන්නේ නැති කාලෙදි ගත්තු, සිත්තරාගේ කැම්පස් අයි ඩී එකේ තියෙන ෆොටෝ එකේ තමයි තමයි සිත්තමී මේ ලෝකේ දැක්ක ලස්සනම පිරිමියා ඉන්නේ.

සිත්තමී මේ සටහන ලියන්න පින්තූර හොයන අතරේ සිත්තරාටත් පෙන්නුවා ඒ පින්තූර. එයා දන්නවා සිත්තමීට තියෙන ඔල්මොරොන්දං ගැන හොඳට.

සිත්තමී: මේ 18 වෙනිදට එයා නැති වෙලා අවුරුදු තුනයි. ඒකට මං පෝස්ට් එකක් දාන්න මේ ලෑස්ති වෙන්නේ.

සිත්තරා: න්නෑ..හ්???!!! මං හිතුවේ දානයක්වත් දෙන්න ලෑස්ති වෙනවා ඇති කියලා!





98. ඔයාගෙ කැමැත්තක්...03

විලියම් ගෝල්ඩ්මන් මේ පොත ලියන්නේ හරිම අපූරු විදිහකට. එයාගෙ තාත්තා එයාට කියලා දීපු පොතක්ලු මේ ප්‍රින්සස් බ්‍රයිඩ්. ඒක ලියලා තියෙන්නේ එස්. මෝර්ගන්ස්ටර්න් කියලා කෙනෙක්ලු. ඒත් එහෙම කෙනෙක්වත්, ඒ නමින් ඊට කළින් පොතක්වත් තිබ්බෙ නෑ. තාත්තා ඒක කියලා දුන්න විදිහට එයාට හිතිලා තියෙන්නේ ඒක ත්‍රාසජනක ළමා කතා පොතක් කියලලු. තාත්තා කියලා දුන්නා ඇරෙන්න එයා ඒ පොත කියවලා නෑ, මොකද ඒක තාත්තා ළඟම තිබිලා තියෙන්නේ. ඒ කතාව අහලා තමයි එයා ඇත්තටම පොත් කියවන්න පෙළඹුනේ කියලා එයා පොතේ ලියලා තියෙන්නේ. ඉතින් මෙයා එයාගෙ පුතාගෙ 10 වෙනි උපන් දිනේට ඒ පොතම අරන් දුන්නලු, එයා වගේම පුතත් ආස වෙයි කියලා. ඒත් පුතා ඒකට කැමති නෑ කියලා එයා දැනගන්නවා. ඔය ටික කියලා තියෙන්නේ මහා ආලවට්ටම් ගොඩක් දාලා. ඉතින් ඔන්න එයා පුතා මේකට කැමති නැත්තෙ මොකද කියලා බලන්න පොත අරගෙන පෙරලලා බලනවා, ජීවිතේ පළවෙනි පාරට. එතකොට එයා දැනගන්නවා තාත්තා ඇත්තටම එයාට මුළු පොතම කියවලා නෑ, තැනින් තැනින් තෝරගත්ත, කතාව ගලාගෙන යන්න උදව් වෙන, එයාට පොඩි වයසෙදි තේරුම් ගන්න පුළුවන් වෙන දේවල් විතරයි කියලා තියෙන්නේ කියලා. ඒකයි එයා ඒක ළමා පොතක් කියලා හිතලා තියෙන්නේ. ඒ වුනාට ඇත්තටම ඒ පොතේ, දේශපාලනය, ෆ්ලොරින්-ගිල්ඩර් දේශසීම අර්බුධ, රාජ්‍ය පාලනය ඔය මහා බරපතල දේවල් පිරිච්ච පොතක්ලු. ඉතින් මෙයා කරලා තියෙන වැඩේ, ඒ පොත සංස්කරණය කරලා. පිටු ගාණක පරිච්ඡේද එක පිටුවට, එහෙම නැත්තං එක ඡේදෙට අරගෙන. එහෙමලු එයා ඒ පොත ලිව්වෙ. ඒත් ඒක බොරු හොඳේ, එස්. මෝර්ගන්ස්ටර්න් කියලා කෙනෙක් ඇත්තටම ඉඳලා නෑ. ඒ එයාගෙ ඉමැජිනේශන්.

ඉතිං ඔන්න මමත් ඒ වගේ පොඩි සංස්කරණයක් කළාලු. කළින් කොටස ඉවර වෙච්ච තැන ඉඳන් මේ කොටස පටන් ගන්න තැන වෙනකල් තරමක විස්තරයක් තියෙනවා බටර්කප්ගේ චිත්ත සන්තාපය විශ්ලේෂණය කරලා. මං ඒ ටික පරිවර්තනය කළේ නෑ අනේ, කම්මැලියි. එතනින් මෙතනට ස්කිප් කළා ඉතිං මං. බය වෙන්න එපා, කතාවට කිසිම බාධාවක් නෑ. කියවලා බලන්නකෝ. :)


*** 

එදින සන්ධ්‍යාවේ බටර්කප් සිය කාමරය තුළ සිටිනා අතරේ දොර අසළින් පියවර හඬක් නැගුණි. අනතුරුව ඇසුනේ දොරට තට්ටු කරන හඬකි. ඇය දෑස් පිසදාගත්තාය. යළිත් තට්ටු කිරීමක්. "කවුද?" බටර්කප් ඈණුමක් පිට කරන අතරේ ඇසුවාය.
 

"වෙස්ට්ලි."
 

බටර්කප් හෙමින් සීරුවේ ඇඳෙන් බැස්සාය. "වෙස්ට්ලි?" ඇය කීවාය. "කවුද වෙස්ට්-, ආ කොල්ලද මේ, මොන විහිළුවක්ද!" දොර අසළට ගිය ඇය අගුල විවර කොට හැකි ඉහළම කටහඬින් කතා කළාය. "ඔයා පොඩ්ඩක් මෙතන නතර වෙලා යන්න හිතපු එක කොච්චර දෙයක්ද. මං ඒත් මේ හිත හිත හිටියේ මං උදේ ඔයාට කරපු විහිළුව ගැන. මං ඒත් හිතුවා මං කරන්නේ විහිළුවක් කියලා ඔයාට තේරෙයි කියලා, ඒත් ඔයා දොර වහන්න පටන් ගනිද්දිම මට දැනුණා මං විහිළුව ඕනැවට වඩා හොඳට රඟපෑවද කියලා. පවු අනේ. ඒක වෙන්න බැරි දෙයක් කියලා අපි දෙන්නම දන්නවනේ. ඔයා හිතුවද මං ඒවා ඇත්තටමයි කිව්වේ කියලා."
 

"මං ආවේ මං යනවා කියන්න."
 

බටර්කප්ගේ හදවත සසල විය, නමුත් ඇගේ ඉහළ කටහඬ නොසොල්වා තබාගැනීමට ඇය සමත් විය. "ඔයා නිදානන්න යනවද? මට සුබ රැයක් කියන්නද ආවේ? කොයි තරං හොඳ කොල්ලෙක්ද? මං උදේ කරපු පුංචි විහිළුවට ඔයා සමාව දෙනවා කියලා පෙන්නන්න. ඒ තරම් මං ගැන හිතුවට ගොඩක් ස්තූතියි අනික - "
 

ඔහු ඇයට බාධා කළේය. "මං යනවා."
 

"යනවා?" භූමි කම්පාවක් ඇති වෙන්නට පටන්ගත්තේය. ඇය උළුවස්ස අල්ලාගත්තාය. "දැන්?"
 

"ඔව්."
 

"මං අද උදේ කියපු දේවල් නිසා?"
 

"ඔව්."
 

"මං ඔයාව බය කළා නේද? මට මගෙ දිව කපලා දාන්න හිතෙනවා." ඇය දිගින් දිගටම තම හිස දෙපසට වැනුවාය. "හරි, ඔයා දැන් තීරණය කරලා ඉවරයිනේ. ඒත් මෙන්න මේක මතක තියාගන්න: එයාට ඔයාව එපා වුන දාක මංනං ආයෙ ඔයාව බාරගන්නෙ නෑ, ඔයා වැඳ වැටිලා ඉල්ලුවත් මං පැත්තවත් බලන්නෙ නෑ."
 

ඔහු ඈ දෙස බලා සිටියේය.
 

ඇය ඉක්මණින්ම නැවතත් කතා කළාය. "ඔයාගෙ ලස්සන හින්දා ඔයා ඔළුව උදුම්මවගෙන. ඔයාව කාටවත් එපා වෙයි කියලා ඔයා හිතන්නෙ නෑ. ඒත් ඔයා වැරදියි. එයාට ඔයාව එපා වෙනවා දවසක. අනික ඔයා ලඟ සල්ලිත් නෑ."
 

"මං ඇමරිකාවට යනවා. සල්ලි හොයන්න. ලන්ඩන් වලින් නැවක් පිටත් වෙනවා තව පැය ගාණකින්. ඇමරිකාවෙ ගොඩක් රස්සාවල් තියෙනවා. මං එයින් එකක් හොයාගන්න බලනවා. මං මගේ මඩුව ඇතුලේ ඉඳන් ගොඩක් දේවල් පුරුදු වුනා. නිදා ගන්නෙ නැතුව වැඩ කරන්නෙ කොහොමද කියලා මං පුරුදු වුනා. පැය දෙකක් තුනක් විතරයි මං නිදාගන්නෙ. මං පැය දහයෙ රස්සාවක් මුළින් හොයාගන්නවා. ඊලඟට ඒ වගේම තව එකක් හොයාගන්නවා. ඒ දෙකෙන්ම මට කන්න ඕන කරන සල්ලි ඇරුණාම අනිත් හැම පැන්සයක්ම මං ඉතුරු කරනවා. ඇති වෙන්න සල්ලි එකතු වුනාම මං ගොවි පොළක් අරගෙන ගෙයක් හදලා දෙන්නෙකුට නිදාගන්න පුළුවන් ඇඳකුත් හදනවා."
 

"ඔයා හිතනවනං එයා ඔය ඇමරිකාවේ බංකොලොත් වෙච්ච ගොවි පොළක ඉන්න කැමති වෙයි කියලා ඔයාට පිස්සු. එයා ඇඳුං වලටම වියදං කරන හැටි බලන්නකෝ."
 

"ආදිපාදවරිය ගැන කතා කරන එක නවත්තන්න! කරුණාකරලා. ඔයා හදන්නෙ මාව පිස්සු වට්ටන්න."
 

බටර්කප් ඔහු දෙස බැලුවාය.
 

"ඔයාට මේ සිද්ද වෙන මුකුත් තේරෙන්නෙ නැද්ද?"
 

බටර්කප් හිස දෙපසට වැනුවාය.
 

වෙස්ට්ලිද හිස දෙපසට වැනුවේය. "ඔයාට එච්චරම යමක් කමක් තේරුම් ගන්න අමාරුයි මං හිතන්නේ."
 

"ඔයා මට ආදරෙයිද වෙස්ට්ලි? ඒකද මේ කියන්නේ?"
 

ඔහුට එය විශ්වාස කිරීමට පවා නොහැකි විය. "මං ඔයාට ආදරෙයිද? මගෙ දෙයියනේ, ඔයාගෙ ආදරේ එක වැලි කැටයක්නං මගේ ආදරේ මුහුදු වෙරළ වලින් පිරිච්ච විශ්වයක්. ඔයාගෙ ආදරේ - "
 

"මට ඔයාගෙ පළවෙනි උපමාව තේරුණේ නෑ," බටර්කප් බාධා කළාය. "මට මේක කියලා ඉන්න. ඔයා කියන්නේ මගේ ආදරේ වැලි කැටයක් තරං ලොකුයි, ඔයාගෙ ආදරේ ඔය කියපු අනිත් එක තරං ලොකුයි කියලද? ඔයාගෙ ඔය විශ්වය මගේ වැලි කැටේට වඩා ලොකුයිද? උදව් කරන්නකො මට වෙස්ට්ලි. මට හිතෙන්නේ අපි හුඟක් බරපතල දෙයක් ගැන කතා කරනවා කියලා."
 

"මං මේ අවුරුදු ගාණම මගේ මඩුවට වෙලා ගෙව්වේ ඔයා හින්දා. මං තනියම ඉගෙනගත්තා, ඒ ඔයා හින්දා. මං මහන්සි වෙලා වැඩ කළා, ඒ ඔයා හයිය හත්තිය තියෙන ඇඟකට කැමති වෙයි කියලා මං හිතපු හින්දා. මං මගේ ජීවිතේ ගෙව්වේ කවදා හරි ඔයා මගේ දිහා බලයි කියන බලාපොරොත්තුවෙන්. අවුරුදු ගාණකින්, ඔයාව දකිද්දි මගේ හදවත මගේ ඉළ ඇට කූඩුවෙන් එළියට පනින්න හදපු නැති මොහොතක් මට හිතාගන්න බෑ. ඔයාගේ මූණ මතක් කරගන්නෙ නැතුව නින්දට ගිය දවසක් මට මතක නෑ. උදේට නැගිටිද්දි ඔයා මගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුණෙ නැති දවසක් මට මතක නෑ... මං මේ කියන එකක්වත් ඔයාගෙ මොළේට වැටෙනවද බටර්කප්, නැත්තං මං තව ටිකක් කියන්න ඕනෙද?"
 

"අනේ නවත්තන්න එපා."
 

"ඔයාගෙ මොළේට වැටිලා නෑ එකක්වත්."
 

"ඔයා මට විහිළු කරනවනං එහෙම වෙස්ට්ලි, මං ඔයාව මරලා දානවා."
 

"ඔයා කොහොමද හීනෙන්වත් හිතන්නේ මං මේ කරන්නේ විහිළුවක් කියලා?"
 

"ඉතිං ඔයා එක සැරයක්වත් මට ආදරෙයි කියලා කිව්වෙ නෑනේ."
 

"ඒකද ඔයාට ඕනේ? ලේසියිනෙ. මං ඔයාට ආදරෙයි. හරිද? හයියෙන් කියන්න ඕනෙද? මං ඔයාට ආදරෙයි. අකුරෙන් අකුර කියන්නද? මයන්න-බිංදුව-ඔයන්න-යායන්න-ටයන්න-ආයන්න-දයන්න-රෙයන්න-යියන්න. අනිත් පැත්තට කියන්නද? ආදරෙයි ඔයාට මං."
 

"දැන්නං ඔයා විහිළු කරනවා තමයි, නේද?"
 

"ටිකක් විතර; මං ඒක ඔයාට සෑහෙන කාලෙක ඉඳන් කිව්වේ, ඔයා ඇහුම්කන් දුන්නෙ නෑ. ඔයා ඇවිත් 'කොල්ලෝ, මේක කරන්න, අරක කරන්න' කියපු හැම වෙලාවෙම ඔයාට හිතුණේ මං 'ඔයාගෙ කැමැත්තක්' කියලා කියනවා කියලා. ඒ ඔයාට ඇහිලා තියෙන්නෙ වැරදියට. මං ඒ කියන්නේ 'මං ඔයාට ආදරෙයි' කියලා, ඒත් ඔයාට ඒක ඇහුණෙ නෑ, කවදාවත් නෑ."
 

"මට දැං ඔයාව ඇහෙනවා, මං ඔයාට මේකත් පොරොන්දු වෙනවා: මං ආයෙ වෙන කාටවත් ආදරේ කරන්නෙ නෑ. වෙස්ට්ලිට විතරයි. මං මැරෙනකල්ම."
 

හිස සැලූ ඔහු පියවරක් පසුපසට ගත්තේය. "මං ඔයාට ඉක්මණටම ලියුමක් එවන්නං. මාව විශ්වාස කරන්න."
 

"මගේ වෙස්ට්ලි මට කවදාවත් බොරු කියන එකක් නැද්ද?"
 

ඔහු තවත් පියවරක් ගත්තේය. "මට පරක්කුයි. මං යන්න ඕනෙ. මට දුකයි, ඒත් මං ඉක්මණටම යන්න ඕනෙ. නැව ඉක්මණටම යනවා, ලන්ඩන් වලට යන්න මං ගොඩක් දුර යන්න ඕනෙ."
 

"මට තේරෙනවා."
 

ඔහු සිය දකුණත දිගු කළේය.
 

බටර්කප්ට හුස්ම ගැනීමට අපහසු බවක් දැනුණි. "පරිස්සමෙන් යන්න." ඇය සිය දකුණත ඔසවා ඔහුගේ අත අල්ලාගැනීමට සමත් විය.
 

ඔවුහු අතට අත දුන්හ.
 

"ගිහින් එන්නම්," ඔහු යළිත් කීවේය.
 

ඇය සෙමින් හිස සැලුවාය.
 

ඔහු ආපසු නොහැරීම තෙවන පියවරද පසුපසට ගියේය.
 

ඇය බලා සිටියාය.
 

ඔහු හැරුණේය.
 

ඒ මොහොතේදී ඇගේ මුවින් වදන් විසි වී පිට විය: "එක හාද්දක්වත් නැතුව?"

මොහොතකින්ම ඔවුහු එකිනෙකා වැළඳගත් හ.



***************

97. ඔයාගෙ කැමැත්තක්...02

"එයා මොනවද අමුතුවෙන් කළේ කියලා මටනං හිතාගන්නවත් බෑ," බටර්කප්ගේ පියා කීවේය. "කොල්ලා උන්ට කෑම දුන්නා විතරනේ." 

ඒ වන විට රාත්‍රී ආහාර වේලාව පසු වී තිබූ අතර පවුලේ උදවිය නැවතත් හුදෙකලාව සිටියෝය.

"සමහරවිට එළදෙන්නු එයාට කැමති ඇති. කාලයක් අපේ ගෙදර පූසෙක් හිටියා, මං කන්න දුන්නම විතරයි පුරු පුරු ගාන්නේ. මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති." බටර්කප්ගේ මව බඳුනේ අඩියේ ඉතිරිව තිබූ ආහාර සූරා දීසියකට එකතු කළාය. "මෙන්න," ඇය දියණිය ඇමතුවාය. "වෙස්ට්ලි පිටිපස්සේ දොර ලඟ ඇති. මේක එයාට ගිහින් දෙන්න."
 

දීසිය අතට ගත් බටර්කප් පිටුපස දොරටුව වෙත ගියාය.  "මෙන්න," ඇය කීවාය.  හිස නමා බඳුන පිළිගත් වෙස්ට්ලි ආපසු හැරී සිය මඩුව වෙත යන්නට සූදානම් වූවේය. "මං යන්න කිව්වෙ නෑනේ කොල්ලෝ," බටර්කප් කතා කළාය. නතර වූ වෙස්ට්ලි ආපසු හැරුණේය. "ඔයා අස්සයාට සාත්තු කරන විදිහට මං කැමති නෑ. ඇත්තටම ඔයා ඌට සාත්තු කරන්නෙ නෑ. ඌව හොඳට සුද්ද වෙන්න ඕනෙ. අද රෑම. උගේ කුර හොඳට මැදිලා තියෙන්න ඕනෙ. අද රෑම. උගේ වලිගෙ හොඳට පීරලා තියෙන්න ඕනේ. අදම. ඉස්තාලේ එක කුණු බින්දුවක් තියෙන්න බෑ. අදම ඒක සුද්ද වෙන්න ඕනේ. අස්සයා දිලිසි දිලිසි ඉන්න ඕනේ. මුළු රෑම වැඩ කරන්න වුනත් මට කමක් නෑ, ඒ දේවල් ඒ විදිහටම සිද්ද වෙන්න ඕනෙ."
 

"ඔයාගෙ කැමැත්තක්."



 
බටර්කප් මහ හඬින් දොර වසා දැම්මාය.

"මං හිතුවේ එයා අස්සයන්ට හොඳට සාත්තු කරනවා කියලා," ඇගේ පියා පැවසුවේය.


බටර්කප් නිහඬවම සිටියාය.


"ඔයාමනෙ ඊයෙ එහෙම කිව්වෙ," මවද සිහිපත් කළාය.


"මට මහන්සියි," බටර්කප් වදන් ගලපා පැවසුවාය. "අද මහ ගොඩක් දේවල් සිද්ද වුනා."


"ටිකක් නිදාගන්න එහෙනං," මව සැලකිල්ලෙන් කීවාය. "මහන්සියෙන් ඉන්න වෙලාවට මහ එපා කරපු දේවල් සිද්ද වෙනවා. ඔයාගෙ තාත්තව මට තීන්දු වෙච්ච දවසෙත් මං හිටියේ හොඳටම මහන්සි වෙලා."


බටර්කප් සිය කාමරය වෙත ගියාය. ඇඳ මත හාන්සි වූවාය. දෑස් පියාගත්තාය.
 

ආදිපාදවරිය වෙස්ට්ලි දෙස බලා සිටියි.

බටර්කප් ඇඳෙන් බැස්සාය. ඇඳුම් ඉවත් කර යන්තමින් ඇඟ සෝදාගත්තාය. නිදන ඇඳුම් ඇඳගත්තාය. පොරෝණය තුළට රිංගා දෑස් පියාගත්තාය.


ආදිපාදවරිය වෙස්ට්ලි දෙස බලා සිටියි.


පොරෝණය විසි කර දැමූ බටර්කප් දොර විවර කළාය. ගිනි උඳුන අසළ වූ පයිප්පයෙන් වතුර වීදුරුවක් පුරවාගෙන පානය කළාය. අනතුරුව තවත් වීදුරුවක් පුරවාගෙන නළලට සිසිලස දැනෙන තුරු එය නළල මත ඒ මේ අත ගෙන ගියාය. නමුත් තවමත් ඇයට උණ ගැනී ඇති සෙයකි.
වීදුරුවේ වූ වතුර බේසම තුළට හැලූ බටර්කප් යළි කාමරය වෙත ගොස් තදින් දොර වසා ඇඳට නැග්ගාය. දෑස් පියාගත්තාය.


ආදිපාදවරිය ඇහි පිල්ලමක් හෝ නොගසා වෙස්ට්ලි දෙස බලා සිටියි.


නමුත් ඒ ඇයි. ෆ්ලොරින් හි ඉතිහාසයට එකතු වන ගැහැණියක්, සෑම අතකින්ම සම්පූර්ණ වෙච්ච තැනැත්තියක් මෙවැනි ගොවි පොළක වැඩ කරන කොළුවෙකු ගැන මෙතරම් උනන්දු වන්නේ ඇයි. බටර්කප් ඇඳ මත ඒ මේ අතර පෙරළුනාය. එම බැල්මෙන් සැබෑ උනන්දුවක් ඇර වෙන කිසිවක් කියවෙන්නේ නැත. දෑස් තද කොට පියාගත් බටර්කප් ආදිපාදවරියගේ පෙනුම යළි මතකයට නගාගැනීමට උත්සාහ දැරුවාය.


පැහැදිලිවම කොළුවාගේ කුමක් හෝ පිළිබඳව ආදිපාදිවරියගේ සිතේ තදබල කැමැත්තක් ඇති වී ඇත. ඒ ගැන කිසිදු සැකයක් නොමැත. නමුත් ඒ කුමක්ද? කොළුවාට ඇත්තේ කුණාටුවකට පෙර මහ සයුරේ පැහැය ගත් දෙනෙතකි, නමුත් දෑස් ගැන වද වන්නේ කවුරුන්ද? ඔහුට ඇත්තේ දුඹුරු පැහැති කොණ්ඩයක් වුවද ඒ ගැනද තැකීමක් කරන්නන් අල්පය. ඔහුගේ උරහිස් පළල් වුවද ආදිපාදවරයාගේ තරම්ම නැත. එසේම කොළුවාගේ සිරුරේ මස්පිඬු හොඳින් වර්ධනය වී ඇත, නමුත් මුළු දිනය පුරා වෙහෙස වී වැඩ කරන ඕනෑම කෙනෙකුගේ සිරුර එසේ වීම පුදුමයක් නොවේ. තවද කොළුවාගේ සම නිරෝගිය, ඉර අව්වට හසුව තලෙලු පැහැයක් ලබා ඇත. නමුත් දවස පුරා අව්වේ වෙහෙසෙමින් වැඩ කරන්නෙකුට එවැනි සමක් ලැබීමේ පුදුමයක් නැත. ඒ හැරත් ඔහු ආදිපාදවරයා තරම් උසද නැත. උදරය පැතැලි බව සැබෑ වුවද ඒ ඔහු තවමත් තරුණ නිසාය.


බටර්කප් ඇඳ මත හිඳගත්තාය. ඒ ඔහුගේ දත් නිසා විය යුතුය. කොළුවාට ඇත්තේ හැබෑම සුන්දර දත් දෙපෙළකි. අගය කළ යුතු දේ අගය කළ යුතුය. සුදු ලස්සන දත් දෙපෙල අව් රශ්මියෙන් පැණි පැහැයට හැරුණු මුහුණේ හොඳින් කැපී පෙනුණි.


වෙනත් කිසිදු හේතුවක් තිබිය හැකිද? බටර්කප් තවදුරටත් කල්පනා කළාය. කොළුවා ගම්මානයේ ඇවිද යන විට ගමේ කෙල්ලෝ නිතරම ඔහු පසුපසින් ඇවිද ආවෝය. නමුත් එම කෙල්ලන් මෝඩියන්ය, ඕනෑම කෙනෙක් පසුපස ඇවිද යන්නන්ය. ඒ හැරත් කොළුවාද ඔවුන්ව ගණන් ගත්තේ නැත.


ආදිපාදවරිය මෙන් සුන්දර, සෝබමාන, ඉස්තරම් ගැහැණියක් කෙනෙකුගේ දත් දෙපෙලකට මෙලෙස වහ වැටෙනු ඇතැයි සිතන්නටද අපහසුය. බටර්කප් උරහිස් හැකිළුවාය. මිනිසුන් තේරුම්ගැනීම සැබැවින්ම අසීරුය. නමුත් ඇගේ ගැටළුව විසඳී ඇත, සියල්ල පැහැදිලිය. ඒ ගැන තවත් සිතිය යුතු නැත. ඇය යළි දෑස් පියාගෙන පොරෝණය තුළ ගුලි වී හරි බරි ගැසී නිදාගැනීමට සූදානම් විය. ආදිපාදිවරිය කොළුවා දෙස බලාගෙන සිටි අයුරින් වෙනත් කිසිවෙකුත් තවත් කෙනෙකු දෙස බලා නොසිටිනු ඇත. දත් නිසා.


"අයියෝ," බටර්කප් හුස්ම අතරින් හඬක් පිට කළාය. "අනේ!"


කොළුවා ආදිපාදවරිය දෙස බලා සිටියි. එළදෙනුන්ට කවමින් සිටි ඔහුගේ මස් පිඬු ඉලිප්පී තිබුණි. බටර්කප් ඒ අසළ හිඳ බලා සිටින අතරේ හිස එසවූ කොළුවා පළමු වතාවට ආදිපාදවරියගේ දෑස් දෙස ගැඹුරු බැල්මක් හෙලුවේය.


ඇඳෙන් බිමට පිනූ බටර්කප් කාමරය වටා ඇවිදින්නට පටන්ගත්තාය. ඔහු එවැන්නක් කළේ කෙලෙසද? ඔහු බටර්කප් දෙස බැලුවානම් කමක් නැත, නමුත් ඔහු බැලුවේ ඈ දෙස නොව ඈ දෙසයි.
 

"එයා නාකි ගෑණියෙක්නේ," බටර්කප් තොල් මැතිරුවාය. ආදිපාදවරිය සතළිස් වියද ඉක්මවා සිටියාය. ගව මඩුවේදී ඇගේ ඇඳුම දිස් වූයේ සම්පූර්ණ විකාරයක් ලෙසිනි.
 

ඇඳ මතට කඩා වැටුණු බටර්කප් කොට්ටය බදාගත්තාය. ගව මඩුවට යාමට පෙර සිටම ආදිපාදවරියගේ ඇඳුම සැබැවින්ම සම්පූර්ණ විකාරයකි. කරත්තයෙන් බිමට පය තැබූ මොහොතේ සිටම ඇය විකාරයකි. තද රතු පැහැති තොල්, ඊරියකගේ දෑස් මෙන් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ දෑස්, තට්ටු පිටින් පුයර ඉලූ මුහුණ, තව... තව... තව...
 

බටර්කප් අත පය විසි කරමින්, අඩි පොළොවේ ගසමින් හැඬුවාය, අනතුරුව ඒ මේ අත පෙරළෙමින්, කාමරය පුරා ඇවිදිමින් හැඬුවාය.
 

එය ඉරිසියාවෙන් පිරුණු දිගු රැයකි.
 

පසු දින එළිය වැටෙන්නටත් පෙරම බටර්කප් සිටියේ ඔහුගේ මඩුව ඉදිරිපිටය. ඔහු අවදි වී ඇති බව ඇයට ඇසුණි. ඇය දොරට තට්ටු කළාය. විවර වූ දොරටුව අතරින් ඔහුගේ රුව මතු විය. ඔහුට පිටු පසින් කුඩා ඉටිපන්දමක් හා දිග ඇරුණු පොත් කිහිපයක් මඩුව තුළ පෙනෙන්නට තිබුණි. ඔහු බලා සිටියේය. බටර්කප් ඔහු දෙස බලා සිටියාය. අනතුරුව ඉවත බැලුවාය.
 

ඔහු ඉතාම සුන්දරය.
 

"මං ඔයාට ආදරෙයි," බටර්කප් කීවාය. "මේක පුදුමයක් වෙන්න ඇති, මොකද මෙච්චර කාලෙකට මං කරලා තියෙන්නේ ඔයාට ඔරවන එකයි, ඇනුම් පද කියන එකයි, පාච්චල් කරන එකයි විතරයි, ඒත් දැන් පැය ගානක ඉඳං මං ඔයාට ආදරෙයි, ගෙවෙන හැම තත්පරයක් ගානෙම මං වැඩි වැඩියෙන් ඔයාට ආදරෙයි. පැයකට කළින් මට හිතුණේ ලෝකෙ කිසිම ගෑණියෙක් කිසිම පිරිමියෙකුට ආදරේ කළාට වඩා මං ඔයාට ආදරෙයි කියලා, ඒත් පැය බාගෙකට පස්සේ මට දැනුණා මට ඒ කළින් දැනුණ දේ ඒ මොහොතෙදි දැනෙන දේ අහලකින්වත් තියන්න බෑ කියලා. ඊට විනාඩි දහයකට පස්සෙ මට තේරුණා මට කළින් දැනුණ ආදරේ ඒ මොහොතේදි මගේ හිතේ කුණාටුවකට කළින් මූද වගේ තියෙන ආදරේ එක්ක බැලුවාම නිකම්ම මඩ වළක් විතරයි කියලා. ඔයාගෙ ඇසුත් ඒ වගෙයි, ඔයා දන්නවද? කුණාටුවකට කළින් මූද වගේ." 

බටර්කප්ට ඔහු දෙස තවමත් බැලිය නොහැක. ඇගේ පිටුපසින් හිරු නැගී ආවේය, අව් රශ්මිය ඇගේ පිටට දැනුණි. ඉන් ඇය දිරිමත් විය. 




"විනාඩි විස්සකට කළින් මං ඔයාට ආදරේ කළාට වඩා ගොඩාරියක් මං දැන් ඔයාට ආදරෙයි, ඒක සසඳන්නවත් බෑ. ඔයා මඩුවෙ දොර ඇරිය වෙලාවේ මං ඔයාට ආදරේ කළාට වඩා මං දැන් ඔයාට ආදරෙයි, ඒක සසඳන්නවත් බෑ. ඔයා ඇරෙන්න වෙන කිසිම දේකට මගේ ඇඟේ ඉඩක් නෑ. මගේ අත් ඔයාට ආදරෙයි, මගේ කන් ඔයාට ආදරෙයි, මගේ දණිස් ඔයාට ආදරෙයි. මගේ හිත ඔයාට ආදරෙයි. ඔයාගෙ ජීවිතේ ඉතිරි දවස් වලදි මං ඔයා එක්ක ඔයාගෙ පස්සෙන් එනවට ඔයා කැමතිද? මං එන්නං. මං බඩගාගෙන එනවට ඔයා කැමතිද? මං එහෙම කරන්නං. ඔයාට ඕන වෙලාවට මං සද්ද නැතුව ඉන්නං, අනිත් වෙලාවට ඔයාට ඇහෙන්න සින්දු කියන්නං, ඔයාට බඩගිනිනං මං ඔයාට කෑම අරන් එන්නම්, ඔයාට තිබහනං, ඔයාට ඕනෙ අරාබි වයින්නම්, මං අරාබියට ගිහින් - ලෝකෙ හරහා යන්න වුනත් - ඔයාට බෝතලයක් අරන් එන්නං. ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕන දෙයක් මං කරන්නං; මට කරන්න බැරි දෙයක් තියෙනවනං මං ඉගෙනගන්නං. මං දන්නවා මට ආදිපාදවරිය එක්ක තරඟ කරන්න බෑ කියලා, මං දැක්කා එයා ඔයා දිහා බලපු හැටි. ඔයා එයා දිහා බලපු හැටිත් මං දැක්කා. ඒත් මේක මතක තියාගන්න, එයා නාකියි, එයාගෙ ජීවිතේ තව කට්ටිය ඉන්නවා. ඒත් මට තාම දාහතයි, මට ඉන්නේ ඔයා විතරයි. වෙස්ට්ලි, මං මීට කළින් කවදාවත් ඔයාට එහෙම කතා කරලා නෑ නේද? වෙස්ට්ලි, වෙස්ට්ලි, වෙස්ට්ලි, වෙස්ට්ලි, වෙස්ට්ලි ආදර වෙස්ට්ලි, මගේ වෙස්ට්ලි, හොඳ වෙස්ට්ලි, කියන්න මට ඔයාගේ ආදරේ දිනාගන්න තාමත් ඉඩක් තියෙනවා කියලා." 

බටර්කප් තම ජීවිතයේදී එතෙක් සිදු කළ නිර්භීතම ක්‍රියාව ඒ මොහොතේදී සිදු කළාය: ඇය ඔහුගේ දෑස් දෙස කෙළින්ම බැලුවාය.
 

වෙස්ට්ලි දඩාස් ගා දොර වසා දැම්මේය.
 

වදනක් හෝ නොදොඩාම.

එකදු වදනක් හෝ නොදොඩාම.



***


සමාවෙන්න යාළුවනේ, පරිවර්තනය කරපු ටික ටිකක් දිග වැඩියි. ඒ නිසා කොටස් තුනකට දාන්න වෙනවා.



96. ඔයාගෙ කැමැත්තක්...01

අන්තිමටම මං දීපු ගණිත ගැටළුවට හරි උත්තරේ දීලා ජයග්‍රහණය කළේ අපේ අමා අක්කා. මේ තියෙන්නේ එයාට මං දෙන්න පොරොන්දු වෙච්ච තෑග්ග. අමා අක්කේ, මේ ලස්සන කතාව ගැන මුළින්ම මට කිව්වේ ඔයයි. ඒ චිත්‍රපටයේ ලස්සනට මං වහ වැටුණා. මං ඒකේ පොතත් හොයාගත්තා. ඇත්තම කිව්වොත්, පොතට වඩා ඒකෙන් හැදුණ චිත්‍රපටය ලස්සනයි කියලා මට ජීවිතේටම දැනුණ පළවෙනි වතාව මේ. මේ ඒ පොතේ මුල් හරියෙන් කොටසක් මං පරිවර්තනය කළා. මේ ටික චිත්‍රපටයේ නෑ. මං කිව්වා වගේ හැමෝම එක්ක බෙදාගන්න පුළුවන් තෑග්ගක් ඔන්න මං ඔයාට දෙනවා. ටිකක් දිග නිසා කොටස් දෙකක් විදිහට දෙන්නම්. :) මෙන්න කියවන්න The Princess Bride...

***

"ඉක්මණට! ඉක්මණට! මෙහෙ එන්න!" බටර්කප්ගේ පියා ගොවි ගෙදර ඉදිරි පස කවුළුව අසළ සිටගෙන සිටියේය.

"මොකටද?" ඒ බටර්කප්ගේ මවය. කෙනෙකුගේ බසට අවනත වීමට සිදු වන විටෙක ඇගේ ස්වභාවය එලෙසය.


පියා කවුළුවෙන් එපිටට ඇඟිල්ල දිගු කොට පෙන්නුවේය. "බලන්න."
 

"ඔහේම බලාගන්න එකයි ඇත්තේ." 

උරහිස් හැකිලූ පියා යළි කවුළුව වෙත ගියේය. "ආහ්," ඔහු කීවේය. සුළු මොහොතකින්ම යළිත් "ආහ්" යැයි කීවේය.
 

ආහාර පිසිමින් සිටි මව හිස ඔසවා ඔහු වෙත ඉක්මන් බැල්මක් හෙලුවාය.
 

"කොයි තරං ඉහළ පෙනුමක්ද," පියා කීවේය. "ගාම්භීර කම."
 

මොහොතක් දෙගිඩියාවෙන් පසු වූ මව සුසුමක් හෙලා හැන්ද පසෙකින් තැබුවාය.
 

"ඒ ගාම්භීරකම දැක්කාමත් හිත පිරෙනවා," බටර්කප්ගේ පියා හඬනගා මිමිණුවේය.
 

"මොකද්ද ඔය හැටි කියවන්නේ මෝලෝ?" ඇයට දැනගැනීමට උවමනා විය.
 

"ඔහේම බලාගන්න එකයි ඇත්තේ," යන්න ඔහුගේ පිළිතුර විය.
 

"බූරුවා," මව එසේ පවසමින් කවුළුව වෙත ආවාය. අනතුරුව ඇගේ සැමියා හා එකතු වී "ආහ්" යැයි කීවාය.
 

ඔවුන් දෙදෙනා බිරාන්ත වූවාක් මෙන් කවුළුව අසළට වී බලාගෙන සිටියෝය.
 

රාත්‍රී කෑම මේසය සකසමින් සිටි බටර්කප් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියාය.
 

"ඒ ගොල්ලෝ හම්පර්ඩින්ක් කුමාරයාව මුණගැහෙන්න යන ගමන් වෙන්න ඇති," මව කීවාය.
 

පියා හිස සැලුවේය. "දඩයමේ ගිහිං ඇති. ඒකනේ කුමාරයාගෙ වැඩේ."
 

"ඒගොල්ලෝ මෙහෙම ලඟපාතින් යනවා දකින්න ලැබිච්ච එක අපේ වාසනාවක්," එසේ පැවසූ බටර්කප්ගේ මව පියාගේ අතින් අල්ලාගත්තාය.
 

පියා යළිත් හිස සැලුවේය. "දැන්නම් මට මළත් කමක් නෑ."
 

මව පියා දෙස බැලුවාය. "එපා." ඇගේ කටහඬේ පුදුමාකාර මෘදු බවක් ගැබ්ව තිබුණි.
 

තවමත් අශ්ව ගඳ පිට වන ඇඳුමින් සැරසී සිටි බටර්කප් කෑම බඳුන්ද අතින් රැගෙන ඇගේ දෙමව්පියන්ගේ හිසට ඉහළින් එබී බැලුවාය. සැවොම පවසන තරමටම ආදිපාදවරියගේ ඇඳුම් සැබැවින්ම ශෝභමානදැයි දැකගැනීමට පෙරහැර වඩා ආසන්නයෙන් යනවානම්යැයි ඇය ප්‍රාර්ථනා කලාය.
 

ඇගේ ප්‍රාර්ථනාව ඉටු කිරීමට මෙන් එම මොහොතේදිම පෙරහැර මාර්ගයෙන් හැරී ගොවිපොළ දෙසට එන්නට පටන්ගත්තේය.
 

"මෙහෙ?" බටර්කප්ගේ පියා තැතිගැන්මෙන් කතා කළේය. "මගෙ දෙයියනේ, ඒ මොන එහෙකටද?"
 

බටර්කප්ගේ මව සුළි කුණාටුවක් මෙන් ඔහු වෙත හැරුණි. "ඔහේ බදු ගෙවන්න අමතක කළාද?"
 

"මට අමතක වුනත්, ඒක ගෙනියන්න ඔය හැටි සේනාවක් මොකටද?" ඒ වන විට ආදිපාදවරයා, ආදිපාදවරිය, ඔවුන්ගේ සොල්දාදුවන්, අතවැසියන්, සේවකයන්, ඇමතිවරුන්, ක්‍රීඩා ශූරයන් හා කරත්ත ගොවිපොළෙන් ඇතුළු වී කෙමෙන් නිවස වෙත ලඟා වන දෙසට ගෙල දිගු කරගෙන පියා පැවසුවේය. "මගෙන් මොනවා අහන්නද මේ එන්නේ?" ඔහු කීවේය.
 

"ගිහින් බලන්න, ගිහින් බලන්න," බටර්කප්ගේ මව කීවාය.
 

"ඔයා යන්නකෝ."
 

"මට බෑ අනේ ඔයා යන්න."
 

"අපි දෙන්නම යමු."
 

ඔවුන් දෙදෙනාම වෙවුලන දෙපයින් පෙරහැර හමුවට ගියෝය.
 

"එළදෙන්නු," ඔවුන් දෙදෙනා අසළට පැමිණෙත්ම ආදිපාදවරයා පැවසුවේය. "මට ඔහේගෙ එළදෙන්නු ගැන කතා කරන්න ඕනේ." ඔහු කතා කළේ කරත්තය තුළ හිඳගෙනමය. ඔහුගේ අඳුරු මුහුණ සෙවණැලි අතර තවත් අඳුරු වී පෙනුණි.
 

"මගේ එළදෙන්නු?" බටර්කප්ගේ පියා ඇසුවේය.
 

"ඔව්. මේකයි, මට ඕනෙ මගේම පොඩි ගව පට්ටියක් පටන්ගන්න. ෆ්ලොරින් වල ඉන්න හොඳම එළදෙන්නු ඉන්නෙ ඔහේ ලඟ කියලා හැම තැනම කතා වෙනවා. ඉතිං ඔහේගෙ රහස දැනගන්න එක වැදගත් වෙයි කියලා මට හිතුණා."
 

"මගේ එළදෙන්නු," තමුන්ට පිස්සු හැදීගෙන එනවාවත්දැයි සිතන අතරේ බටර්කප්ගේ පියා වදන් ගැටගසා ගත්තේය. සැබැවින්ම ඔහුට සිටින්නේ මහා එපා කරපු එළදෙන්නු බව ඔහු හොඳින්ම දැන සිටියේය. වසර ගණනකින් ගමේ මිනිස්සුන්ගෙන් උන් පිළිබඳව පැමිණිලි හැර වෙන කිසිම දෙයක් අසන්නට ලැබී නැත. වෙනත් කිරි වෙළෙන්දෙක් ගම්මානයේ සිටියානම් තමුන්ගේ වෙළඳාම ඒ මොහොතේම නතර වනු ඇති බවද ඔහු හොඳින්ම දැන සිටියේය. නමුත් ගොවි පොළේ අත් උදව්වට පැමිණි කොළුවා නිසා මේ වන විට තත්ත්වය මදක් හොඳ අතට හැරී ඇති බව සැබෑය. කොළුවා හැබෑම දක්ෂයෙකි. මේ වන විට ගම්මුන්ගෙන් පැමිණිල්ලක් ඇසෙන්නේම නැති තරම්ය. නමුත් එසේ වුවද තමුන්ගේ එළදෙනුන් ෆ්ලොරින් හි සිටින හොඳම එළදෙනුන්යැයි කිව නොහැකිය. නමුත් ආදිපාදවරයා සමග තර්ක කරන්නේ කෙසේද. බටර්කප්ගේ පියා සිය බිරිඳ වෙත හැරුණි. "මගේ රහස මොකක් කියලද ඔයා හිතන්නේ මගෙ වස්තුවේ?" ඔහු ඇසුවේය.
 

"අපොයි එකක් කියලා කොහොම කියන්නද, මහ ගොඩක් තියෙනවනේ," ඇය කීවාය.
 

"ඔහෙලට ළමයි නැද්ද?" ආදිපාදවරයා ඉන් අනතුරුව විමසුවේය.

"ඉන්නවා උතුමාණෙනි," මව කීවාය.


"කෝ කෙල්ලට එන්න කියන්න එහෙනං," ආදිපාදවරයා කීවේය, "සමහරවිට එයාට අම්මා තාත්තට වඩා ඉක්මණට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි."


"බටර්කප්," නිවස දෙසට හැරුණු පියා කතා කළේය. "මෙහාට එන්න දරුවෝ."


"උතුමාණන් කොහොමද දන්නේ අපිට ඉන්නේ කෙල්ලෙක් කියලා?" බටර්කප්ගේ මව පුදුමයෙන් විමසුවාය.


"නිකං හිතුවා. ඒ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි දෙකෙන් එකෙක් වෙන්න එපැයි. සමහරදාට මගේ අනුමානය-" ආදිපාදවරයාගේ කතාව එක් වරම නතර විය.


නිවසින් පිටතට ආ බටර්කප් ඉක්මන් ගමනින් සිය දෙමාපියන් අසළට ආවාය.



ආදිපාදවරයා කරත්තයෙන් බිමට බැස්සේය. ඔහු කළු හිස කෙසින් හා කළු දෑස් වලින් යුතු හැඩි දැඩි පුරුෂයෙකි.

"ආචාර කරන්න දරුවෝ," බටර්කප්ගේ මව කෙඳිරුවාය.
 

බටර්කප් සිය උපරිමය සිදු කළාය.
 

ආදිපාදවරයාට ඈ වෙතින් සිය දෙනෙත් ඉවතට ගැනීමට නොහැකි විය.
 

බටර්කප් සැබැවින්ම ලොව සුන්දරම රුවැත්තියන් විසි දෙනා අතරට ඇතුළත් වූයේ නැත; ඇඟපත හරි හැටි දොවා පිරිසිදු වී නැත; තවමත් දාහත් වැනි විය ඉක්මවා නැත; බාල වියේ තරබාරු බව ඈ වෙතින් තවමත් ගිලිහී ගොස් නැත. සැබැවින්ම ඈ සතුව තිබුණේ ඉදිරියේදී ඈ වෙත ලඟා වෙනු ඇති බවට සිතිය හැකි වූ සුන්දරත්වයේ සලකුණු පමණි.
 

නමුත් ආදිපාදවරයාගේ දෑස් ඈ වෙතින් ඉවතට යොමු වූයේම නැත.
 

"ආදිපාදතුමාට ඕනෙලු අපේ එළදෙන්නු මෙච්චර හොඳට ඉන්න රහස දැනගන්න, එහෙම නේද උතුමාණෙනි?" බටර්කප්ගේ පියා කීවේය.
 

ආදිපාදවරයා ඇසි පියක් හෝ නොසොල්වා හිස සැලුවේය.
 

වාතාවරණයේ වූ උණුසුම බටර්කප්ගේ මවටද වැටහුණි.
 

"කොල්ලාගෙන් අහන්න, එයා තමයි උන්ට සාත්තු කරන්නේ," බටර්කප් කීවාය.
 

"අර ඉන්නෙ ඒ කොල්ලද?" කරත්තය තුළින් අලුත් කටහඬක් ඇසුණි. අනතුරුව එහි දොරටුව අතරින් ආදිපාදවරියගේ මුහුණ දිස් විය.
 

ඇගේ දෙතොල් තද රතු පැහැයෙන් වර්ණ ගල්වා තිබූ අතර කොළ පැහැති දෑස් වටා කළු පැහැ අඳුන් තවරා තිබුණි. ලොව ඇති සෑම වර්ණයක්ම ඇගේ ගවුමේ දක්නට ලැබුණි.
 

නිවස කෙළවරෙන් එබීගෙන සිටිනා හීන්දෑරි කොළුවා දෙස බටර්කප්ගේ පියා හැරී බැලුවේය. "එයා තමයි."




"මෙහෙට එන්න කියන්න."
 

"එයා මේ වගේ වෙලාවකට ගැලපෙන විදිහට ඇඳලා නෑ," බටර්කප්ගේ මව කීවාය.
 

"කමිසයක් නැතුව ඉන්න අයව මං මීට කළිං දැකලා තියෙනවා," ආදිපාදවරිය කීවාය. අනතුරුව උස් හඬින් කතා කළාය: "ඒයි!" ඇය කොළුවා දෙසට අත දිගු කළාය. "මෙහෙ එනවා." ආදිපාදවරිය අසුරුසන් කළාය. "මෙහෙ."
 

කොළුවා කියූ ලෙසින්ම එතැනට පැමිණියේය.
 

ඔහු ආසන්නයට ආ විට ආදිපාදවරිය කරත්තයෙන් බැස්සාය.
 

බටර්කප් අසළට පැමිණි කොළුවා හිස මදක් නවා ආචාර කළේය. තම ස්වරූපය පිළිබඳව ඔහු ලැජ්ජා විය. ගෙවී ගිය බූට් සපත්තු, ඉරුණු ඩෙනිම් කලිසම. ඔහුගේ දෑත් ඇයැදුමක ලෙසින් එකතු වී තිබුණි.
 

"උඹට නමක් තියෙනවද කොල්ලෝ?"
 

"වෙස්ට්ලි, ආදිපාදතුමියනි."
 

"හොඳයි, වෙස්ට්ලි, උඹට පුළුවන් වෙයි අපිට උදව්වක් දෙන්න." ආදිපාදවරිය ඔහු අසළටම ආවාය. ඇගේ ගවුම යන්තමින් ඔහුගේ සිරුරේ ස්පර්ශ විය. "අපි මේ හැමෝම ඇවිත් ඉන්නේ එළදෙන්නු ගැන දැනගන්න. අපිට ඔල්මාදේ හැදිලා වගේ මේක ගැන හරියටම දැනගන්නකල්. උඹ හිතන විදිහට වෙස්ට්ලි, මේ ගොවිපොළේ එළදෙන්නු ෆ්ලොරින් වල හොඳම එළදෙන්නු කියලා කියන්නෙ මොකද? උඹ මොනවද උන්ට කරන්නේ?"
 

"මං උන්ට කවනවා, උත්තමාවියනි."
 

"හරි එහෙනං, ඒකනෙ, අභිරහස විසඳුනා, රහස එළියට ආවා; අපි හැමෝටම සැනසිල්ලේ නිදාගත හැකි. හාස්කම තියෙන්නේ වෙස්ට්ලි උන්ට කෑම කවන විදිහේ. මට පෙන්නනවද ඒක කරන විදිහ වෙස්ට්ලි?"
 

"ඔබතුමිය වෙනුවෙන් එළදෙන්නුන්ට කවන්නද, උත්තමාවියනි?"
 

"මොළේ තියෙන කොල්ලා."
 

"කොයි වෙලාවෙද?"
 

"මේ දැන්," ඇය වෙස්ට්ලි වෙත අත දිගු කළාය. "මාව එක්ක යන්න වෙස්ට්ලි."
 

වෙස්ට්ලිට ඇගේ අත අල්ලාගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඔහු ඉතා ප්‍රවේශමෙන් ඇගේ අත අල්ලාගත්තේය. "ගව මඩුව තියෙන්නේ ගේ පිටිපස්සේ උත්තමාවියනි; එතන මඩ පිරිලා. ඔබතුමියගේ ඇඳුම නාස්ති වෙයි."
 

"මං මේවා අඳින්නේ එක සැරයයි වෙස්ට්ලි, ඔයා ඒක කරන හැටි මට බලන්නම ඕනේ."
 

එබැවින් ඔවුන් දෙදෙනා ගව මඩුව වෙත යන්නට පිටත් විය.
 

මේ සියල්ල සිදු වන අතරේ ආදිපාදවරයාගේ දෑස් රැඳී තිබුණේ බටර්කප් වෙතමය.
 

"මං ඔයාට උදව් වෙන්නං," බටර්කප් වෙස්ට්ලි හා ආදිපාදවරිය පසුපස යන්නට පා එසවූවාය.
 

"මාත් එයා ඒක කරන හැටි බලාගත්තොත් හොඳයි," ආදිපාදවරයාද තීරණය කළේය.
 

"මහා අමුතු දේවල් සිද්ද වෙනවා," බටර්කප්ගේ මව්පියෝ ඔවුනොවුන්ට පවසාගත් හ. අනතුරුව ඔවුන් දෙදෙනාද එළදෙනුන්ට කැවීමේ පෙරහැරේ අගට ආදිපාදවරයාගේ පසුපසින් එකතු වූහ.
 

ආදිපාදවරයාගේ දෑස් රැඳී තිබුණේ ඔවුන්ගේ දියණිය වෙතය. දියණියගේ දෑස් රැඳී තිබුණේ ආදිපාදවරිය වෙතය.

ආදිපාදවරියගේ දෑස් රැඳී තිබුණේ වෙස්ට්ලි වෙතය.


***



95. ගණිත විනෝදය...07


මෙන්න උත්තරේ හොයන්නකෝ. කමෙන්ට් මොඩරේෂන් දාලා තියෙන්නේ, බය නැතුව උත්තර ලියන්ඩකෝ. දිනපු කෙනාට තෑග්ගක් තියෙනවා. මෙන්න මේකයි ප්‍රශ්නේ.


IF,
2 = 5
3 = 10
4 = 17


THEN
5 = ??

උදව්: ගණං කිව්වට මේවා ගණංම නෙවෙයි හොඳේ. :D