96. ඔයාගෙ කැමැත්තක්...01

අන්තිමටම මං දීපු ගණිත ගැටළුවට හරි උත්තරේ දීලා ජයග්‍රහණය කළේ අපේ අමා අක්කා. මේ තියෙන්නේ එයාට මං දෙන්න පොරොන්දු වෙච්ච තෑග්ග. අමා අක්කේ, මේ ලස්සන කතාව ගැන මුළින්ම මට කිව්වේ ඔයයි. ඒ චිත්‍රපටයේ ලස්සනට මං වහ වැටුණා. මං ඒකේ පොතත් හොයාගත්තා. ඇත්තම කිව්වොත්, පොතට වඩා ඒකෙන් හැදුණ චිත්‍රපටය ලස්සනයි කියලා මට ජීවිතේටම දැනුණ පළවෙනි වතාව මේ. මේ ඒ පොතේ මුල් හරියෙන් කොටසක් මං පරිවර්තනය කළා. මේ ටික චිත්‍රපටයේ නෑ. මං කිව්වා වගේ හැමෝම එක්ක බෙදාගන්න පුළුවන් තෑග්ගක් ඔන්න මං ඔයාට දෙනවා. ටිකක් දිග නිසා කොටස් දෙකක් විදිහට දෙන්නම්. :) මෙන්න කියවන්න The Princess Bride...

***

"ඉක්මණට! ඉක්මණට! මෙහෙ එන්න!" බටර්කප්ගේ පියා ගොවි ගෙදර ඉදිරි පස කවුළුව අසළ සිටගෙන සිටියේය.

"මොකටද?" ඒ බටර්කප්ගේ මවය. කෙනෙකුගේ බසට අවනත වීමට සිදු වන විටෙක ඇගේ ස්වභාවය එලෙසය.


පියා කවුළුවෙන් එපිටට ඇඟිල්ල දිගු කොට පෙන්නුවේය. "බලන්න."
 

"ඔහේම බලාගන්න එකයි ඇත්තේ." 

උරහිස් හැකිලූ පියා යළි කවුළුව වෙත ගියේය. "ආහ්," ඔහු කීවේය. සුළු මොහොතකින්ම යළිත් "ආහ්" යැයි කීවේය.
 

ආහාර පිසිමින් සිටි මව හිස ඔසවා ඔහු වෙත ඉක්මන් බැල්මක් හෙලුවාය.
 

"කොයි තරං ඉහළ පෙනුමක්ද," පියා කීවේය. "ගාම්භීර කම."
 

මොහොතක් දෙගිඩියාවෙන් පසු වූ මව සුසුමක් හෙලා හැන්ද පසෙකින් තැබුවාය.
 

"ඒ ගාම්භීරකම දැක්කාමත් හිත පිරෙනවා," බටර්කප්ගේ පියා හඬනගා මිමිණුවේය.
 

"මොකද්ද ඔය හැටි කියවන්නේ මෝලෝ?" ඇයට දැනගැනීමට උවමනා විය.
 

"ඔහේම බලාගන්න එකයි ඇත්තේ," යන්න ඔහුගේ පිළිතුර විය.
 

"බූරුවා," මව එසේ පවසමින් කවුළුව වෙත ආවාය. අනතුරුව ඇගේ සැමියා හා එකතු වී "ආහ්" යැයි කීවාය.
 

ඔවුන් දෙදෙනා බිරාන්ත වූවාක් මෙන් කවුළුව අසළට වී බලාගෙන සිටියෝය.
 

රාත්‍රී කෑම මේසය සකසමින් සිටි බටර්කප් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියාය.
 

"ඒ ගොල්ලෝ හම්පර්ඩින්ක් කුමාරයාව මුණගැහෙන්න යන ගමන් වෙන්න ඇති," මව කීවාය.
 

පියා හිස සැලුවේය. "දඩයමේ ගිහිං ඇති. ඒකනේ කුමාරයාගෙ වැඩේ."
 

"ඒගොල්ලෝ මෙහෙම ලඟපාතින් යනවා දකින්න ලැබිච්ච එක අපේ වාසනාවක්," එසේ පැවසූ බටර්කප්ගේ මව පියාගේ අතින් අල්ලාගත්තාය.
 

පියා යළිත් හිස සැලුවේය. "දැන්නම් මට මළත් කමක් නෑ."
 

මව පියා දෙස බැලුවාය. "එපා." ඇගේ කටහඬේ පුදුමාකාර මෘදු බවක් ගැබ්ව තිබුණි.
 

තවමත් අශ්ව ගඳ පිට වන ඇඳුමින් සැරසී සිටි බටර්කප් කෑම බඳුන්ද අතින් රැගෙන ඇගේ දෙමව්පියන්ගේ හිසට ඉහළින් එබී බැලුවාය. සැවොම පවසන තරමටම ආදිපාදවරියගේ ඇඳුම් සැබැවින්ම ශෝභමානදැයි දැකගැනීමට පෙරහැර වඩා ආසන්නයෙන් යනවානම්යැයි ඇය ප්‍රාර්ථනා කලාය.
 

ඇගේ ප්‍රාර්ථනාව ඉටු කිරීමට මෙන් එම මොහොතේදිම පෙරහැර මාර්ගයෙන් හැරී ගොවිපොළ දෙසට එන්නට පටන්ගත්තේය.
 

"මෙහෙ?" බටර්කප්ගේ පියා තැතිගැන්මෙන් කතා කළේය. "මගෙ දෙයියනේ, ඒ මොන එහෙකටද?"
 

බටර්කප්ගේ මව සුළි කුණාටුවක් මෙන් ඔහු වෙත හැරුණි. "ඔහේ බදු ගෙවන්න අමතක කළාද?"
 

"මට අමතක වුනත්, ඒක ගෙනියන්න ඔය හැටි සේනාවක් මොකටද?" ඒ වන විට ආදිපාදවරයා, ආදිපාදවරිය, ඔවුන්ගේ සොල්දාදුවන්, අතවැසියන්, සේවකයන්, ඇමතිවරුන්, ක්‍රීඩා ශූරයන් හා කරත්ත ගොවිපොළෙන් ඇතුළු වී කෙමෙන් නිවස වෙත ලඟා වන දෙසට ගෙල දිගු කරගෙන පියා පැවසුවේය. "මගෙන් මොනවා අහන්නද මේ එන්නේ?" ඔහු කීවේය.
 

"ගිහින් බලන්න, ගිහින් බලන්න," බටර්කප්ගේ මව කීවාය.
 

"ඔයා යන්නකෝ."
 

"මට බෑ අනේ ඔයා යන්න."
 

"අපි දෙන්නම යමු."
 

ඔවුන් දෙදෙනාම වෙවුලන දෙපයින් පෙරහැර හමුවට ගියෝය.
 

"එළදෙන්නු," ඔවුන් දෙදෙනා අසළට පැමිණෙත්ම ආදිපාදවරයා පැවසුවේය. "මට ඔහේගෙ එළදෙන්නු ගැන කතා කරන්න ඕනේ." ඔහු කතා කළේ කරත්තය තුළ හිඳගෙනමය. ඔහුගේ අඳුරු මුහුණ සෙවණැලි අතර තවත් අඳුරු වී පෙනුණි.
 

"මගේ එළදෙන්නු?" බටර්කප්ගේ පියා ඇසුවේය.
 

"ඔව්. මේකයි, මට ඕනෙ මගේම පොඩි ගව පට්ටියක් පටන්ගන්න. ෆ්ලොරින් වල ඉන්න හොඳම එළදෙන්නු ඉන්නෙ ඔහේ ලඟ කියලා හැම තැනම කතා වෙනවා. ඉතිං ඔහේගෙ රහස දැනගන්න එක වැදගත් වෙයි කියලා මට හිතුණා."
 

"මගේ එළදෙන්නු," තමුන්ට පිස්සු හැදීගෙන එනවාවත්දැයි සිතන අතරේ බටර්කප්ගේ පියා වදන් ගැටගසා ගත්තේය. සැබැවින්ම ඔහුට සිටින්නේ මහා එපා කරපු එළදෙන්නු බව ඔහු හොඳින්ම දැන සිටියේය. වසර ගණනකින් ගමේ මිනිස්සුන්ගෙන් උන් පිළිබඳව පැමිණිලි හැර වෙන කිසිම දෙයක් අසන්නට ලැබී නැත. වෙනත් කිරි වෙළෙන්දෙක් ගම්මානයේ සිටියානම් තමුන්ගේ වෙළඳාම ඒ මොහොතේම නතර වනු ඇති බවද ඔහු හොඳින්ම දැන සිටියේය. නමුත් ගොවි පොළේ අත් උදව්වට පැමිණි කොළුවා නිසා මේ වන විට තත්ත්වය මදක් හොඳ අතට හැරී ඇති බව සැබෑය. කොළුවා හැබෑම දක්ෂයෙකි. මේ වන විට ගම්මුන්ගෙන් පැමිණිල්ලක් ඇසෙන්නේම නැති තරම්ය. නමුත් එසේ වුවද තමුන්ගේ එළදෙනුන් ෆ්ලොරින් හි සිටින හොඳම එළදෙනුන්යැයි කිව නොහැකිය. නමුත් ආදිපාදවරයා සමග තර්ක කරන්නේ කෙසේද. බටර්කප්ගේ පියා සිය බිරිඳ වෙත හැරුණි. "මගේ රහස මොකක් කියලද ඔයා හිතන්නේ මගෙ වස්තුවේ?" ඔහු ඇසුවේය.
 

"අපොයි එකක් කියලා කොහොම කියන්නද, මහ ගොඩක් තියෙනවනේ," ඇය කීවාය.
 

"ඔහෙලට ළමයි නැද්ද?" ආදිපාදවරයා ඉන් අනතුරුව විමසුවේය.

"ඉන්නවා උතුමාණෙනි," මව කීවාය.


"කෝ කෙල්ලට එන්න කියන්න එහෙනං," ආදිපාදවරයා කීවේය, "සමහරවිට එයාට අම්මා තාත්තට වඩා ඉක්මණට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි."


"බටර්කප්," නිවස දෙසට හැරුණු පියා කතා කළේය. "මෙහාට එන්න දරුවෝ."


"උතුමාණන් කොහොමද දන්නේ අපිට ඉන්නේ කෙල්ලෙක් කියලා?" බටර්කප්ගේ මව පුදුමයෙන් විමසුවාය.


"නිකං හිතුවා. ඒ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි දෙකෙන් එකෙක් වෙන්න එපැයි. සමහරදාට මගේ අනුමානය-" ආදිපාදවරයාගේ කතාව එක් වරම නතර විය.


නිවසින් පිටතට ආ බටර්කප් ඉක්මන් ගමනින් සිය දෙමාපියන් අසළට ආවාය.



ආදිපාදවරයා කරත්තයෙන් බිමට බැස්සේය. ඔහු කළු හිස කෙසින් හා කළු දෑස් වලින් යුතු හැඩි දැඩි පුරුෂයෙකි.

"ආචාර කරන්න දරුවෝ," බටර්කප්ගේ මව කෙඳිරුවාය.
 

බටර්කප් සිය උපරිමය සිදු කළාය.
 

ආදිපාදවරයාට ඈ වෙතින් සිය දෙනෙත් ඉවතට ගැනීමට නොහැකි විය.
 

බටර්කප් සැබැවින්ම ලොව සුන්දරම රුවැත්තියන් විසි දෙනා අතරට ඇතුළත් වූයේ නැත; ඇඟපත හරි හැටි දොවා පිරිසිදු වී නැත; තවමත් දාහත් වැනි විය ඉක්මවා නැත; බාල වියේ තරබාරු බව ඈ වෙතින් තවමත් ගිලිහී ගොස් නැත. සැබැවින්ම ඈ සතුව තිබුණේ ඉදිරියේදී ඈ වෙත ලඟා වෙනු ඇති බවට සිතිය හැකි වූ සුන්දරත්වයේ සලකුණු පමණි.
 

නමුත් ආදිපාදවරයාගේ දෑස් ඈ වෙතින් ඉවතට යොමු වූයේම නැත.
 

"ආදිපාදතුමාට ඕනෙලු අපේ එළදෙන්නු මෙච්චර හොඳට ඉන්න රහස දැනගන්න, එහෙම නේද උතුමාණෙනි?" බටර්කප්ගේ පියා කීවේය.
 

ආදිපාදවරයා ඇසි පියක් හෝ නොසොල්වා හිස සැලුවේය.
 

වාතාවරණයේ වූ උණුසුම බටර්කප්ගේ මවටද වැටහුණි.
 

"කොල්ලාගෙන් අහන්න, එයා තමයි උන්ට සාත්තු කරන්නේ," බටර්කප් කීවාය.
 

"අර ඉන්නෙ ඒ කොල්ලද?" කරත්තය තුළින් අලුත් කටහඬක් ඇසුණි. අනතුරුව එහි දොරටුව අතරින් ආදිපාදවරියගේ මුහුණ දිස් විය.
 

ඇගේ දෙතොල් තද රතු පැහැයෙන් වර්ණ ගල්වා තිබූ අතර කොළ පැහැති දෑස් වටා කළු පැහැ අඳුන් තවරා තිබුණි. ලොව ඇති සෑම වර්ණයක්ම ඇගේ ගවුමේ දක්නට ලැබුණි.
 

නිවස කෙළවරෙන් එබීගෙන සිටිනා හීන්දෑරි කොළුවා දෙස බටර්කප්ගේ පියා හැරී බැලුවේය. "එයා තමයි."




"මෙහෙට එන්න කියන්න."
 

"එයා මේ වගේ වෙලාවකට ගැලපෙන විදිහට ඇඳලා නෑ," බටර්කප්ගේ මව කීවාය.
 

"කමිසයක් නැතුව ඉන්න අයව මං මීට කළිං දැකලා තියෙනවා," ආදිපාදවරිය කීවාය. අනතුරුව උස් හඬින් කතා කළාය: "ඒයි!" ඇය කොළුවා දෙසට අත දිගු කළාය. "මෙහෙ එනවා." ආදිපාදවරිය අසුරුසන් කළාය. "මෙහෙ."
 

කොළුවා කියූ ලෙසින්ම එතැනට පැමිණියේය.
 

ඔහු ආසන්නයට ආ විට ආදිපාදවරිය කරත්තයෙන් බැස්සාය.
 

බටර්කප් අසළට පැමිණි කොළුවා හිස මදක් නවා ආචාර කළේය. තම ස්වරූපය පිළිබඳව ඔහු ලැජ්ජා විය. ගෙවී ගිය බූට් සපත්තු, ඉරුණු ඩෙනිම් කලිසම. ඔහුගේ දෑත් ඇයැදුමක ලෙසින් එකතු වී තිබුණි.
 

"උඹට නමක් තියෙනවද කොල්ලෝ?"
 

"වෙස්ට්ලි, ආදිපාදතුමියනි."
 

"හොඳයි, වෙස්ට්ලි, උඹට පුළුවන් වෙයි අපිට උදව්වක් දෙන්න." ආදිපාදවරිය ඔහු අසළටම ආවාය. ඇගේ ගවුම යන්තමින් ඔහුගේ සිරුරේ ස්පර්ශ විය. "අපි මේ හැමෝම ඇවිත් ඉන්නේ එළදෙන්නු ගැන දැනගන්න. අපිට ඔල්මාදේ හැදිලා වගේ මේක ගැන හරියටම දැනගන්නකල්. උඹ හිතන විදිහට වෙස්ට්ලි, මේ ගොවිපොළේ එළදෙන්නු ෆ්ලොරින් වල හොඳම එළදෙන්නු කියලා කියන්නෙ මොකද? උඹ මොනවද උන්ට කරන්නේ?"
 

"මං උන්ට කවනවා, උත්තමාවියනි."
 

"හරි එහෙනං, ඒකනෙ, අභිරහස විසඳුනා, රහස එළියට ආවා; අපි හැමෝටම සැනසිල්ලේ නිදාගත හැකි. හාස්කම තියෙන්නේ වෙස්ට්ලි උන්ට කෑම කවන විදිහේ. මට පෙන්නනවද ඒක කරන විදිහ වෙස්ට්ලි?"
 

"ඔබතුමිය වෙනුවෙන් එළදෙන්නුන්ට කවන්නද, උත්තමාවියනි?"
 

"මොළේ තියෙන කොල්ලා."
 

"කොයි වෙලාවෙද?"
 

"මේ දැන්," ඇය වෙස්ට්ලි වෙත අත දිගු කළාය. "මාව එක්ක යන්න වෙස්ට්ලි."
 

වෙස්ට්ලිට ඇගේ අත අල්ලාගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුණේ නැත. ඔහු ඉතා ප්‍රවේශමෙන් ඇගේ අත අල්ලාගත්තේය. "ගව මඩුව තියෙන්නේ ගේ පිටිපස්සේ උත්තමාවියනි; එතන මඩ පිරිලා. ඔබතුමියගේ ඇඳුම නාස්ති වෙයි."
 

"මං මේවා අඳින්නේ එක සැරයයි වෙස්ට්ලි, ඔයා ඒක කරන හැටි මට බලන්නම ඕනේ."
 

එබැවින් ඔවුන් දෙදෙනා ගව මඩුව වෙත යන්නට පිටත් විය.
 

මේ සියල්ල සිදු වන අතරේ ආදිපාදවරයාගේ දෑස් රැඳී තිබුණේ බටර්කප් වෙතමය.
 

"මං ඔයාට උදව් වෙන්නං," බටර්කප් වෙස්ට්ලි හා ආදිපාදවරිය පසුපස යන්නට පා එසවූවාය.
 

"මාත් එයා ඒක කරන හැටි බලාගත්තොත් හොඳයි," ආදිපාදවරයාද තීරණය කළේය.
 

"මහා අමුතු දේවල් සිද්ද වෙනවා," බටර්කප්ගේ මව්පියෝ ඔවුනොවුන්ට පවසාගත් හ. අනතුරුව ඔවුන් දෙදෙනාද එළදෙනුන්ට කැවීමේ පෙරහැරේ අගට ආදිපාදවරයාගේ පසුපසින් එකතු වූහ.
 

ආදිපාදවරයාගේ දෑස් රැඳී තිබුණේ ඔවුන්ගේ දියණිය වෙතය. දියණියගේ දෑස් රැඳී තිබුණේ ආදිපාදවරිය වෙතය.

ආදිපාදවරියගේ දෑස් රැඳී තිබුණේ වෙස්ට්ලි වෙතය.


***



8 comments:

  1. හෙහ්..මරු කතාව .....අමාස්ට සහ සිත්තමීට මගේ ස්තූතිය...

    මේ පොතේ විස්තර හොයනකොට දැක්කෙ මගෙ හොඳ යාලුවෙක්නෙ මේකෙ කර්තෘ..විලියම් ගෝල්ඩ්මන්.. " Butch Cassidy and The Sundance Kid " සහ " All The President's Men " ….... ඒ සුප්‍රසිද්ධ චිත්‍රපට දෙකේ තිර රචකයාත් එයාම තමයි....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ! :)

      හෑ, විලියම් ගෝල්ඩ්මන් යාලුවෙක් කිව්වා? හරි හරි ඉස්කෝලෙ ගියෙත් එකම කාලෙදිනෙ නෙහ්? :P මේ පොතේ කර්තෘ වගේම චිත්‍රපටයේ තිර රචකයාත් එයාම තමයි.

      Delete
  2. අනා...ඔයාට ගොඩා...ක් ඉස්තුති සිසී!!

    දැක්කද ඒ කතාව ඔයාගේ ශෛලියට හරියටම හරි! ලස්සනයි. අර මන් ආස whimsical ගතිය පෙරෙනව.

    අන්තිම ටික කියවද්දී මගේ 'මද සිනාව' කිංකිණි නාදයෙන් ම (!) එළියට පැන්නලු. මට මැවිලා පෙනුන කට්ටිය එක එක්කෙනාට බැල්මට් දාගෙන යන හැටි.!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කේ... මුළින්ම මේ චිත්‍රපටය ගැන මට කිව්වට, ඊලඟට ගණිත ගැටළුව හරියට විසඳලා මට මේ වගේ එකක් පළ කරන්න මෝටිවේෂන් එක දුන්නට, ඊලඟට මේ ලස්සන කමෙන්ට් එකට... :)

      ඒ අවසානය විල් ලියලා තියෙන්නේ මෙහෙමයි. වාක්‍ය වෙන් කරන විදිහෙන්, ඡේද වෙන් කරන විදිහෙනුත් කොයි තරම් දෙයක් අඟවන්න පුළුවන්ද කියලා මට ආයෙමත් මේ පොත නිසා හොඳට තේරුණා. මේ බලන්නකෝ.

      "Strange things are happening," Buttercup's parents said, and off they went too, bringing up the rear of the cow-feeding trip, watching the Count, who was watching their daughter, who was watching the Countess.

      Who was watching Westley.

      Delete
  3. මට මුලදිම මේක කියවන්න කම්මැලි හිතුනා. ඇත්තෙන්ම මම ඔය කොටස් වශයෙන් යන මෙගා වලට කැමති නෑ. දෙවෙනි කොටසත් ආවට පස්සෙයි පළවෙනි කොටස කියෙව්වේ කියෙව්වේ නැතිනම් අපරාදේ කියලා හිතුනා.

    එක යෝජනාවක්.බාල වියේ තරබාරු බව වෙනුවට පුෂ්ඨිමත් බව නැතිනම් පිරුණුබව කිව්වානම් සාධාරණයක් ඉෂ්ඨ වෙනවා කියලා මට හිතෙනවා.

    ReplyDelete
  4. මේක මෙගාවක් නෙමෙයි අනේ. ඒ පොතෙන් පරිවර්තනය කරපු චුට්ටක් කොටස් තුනක් විදිහට මේකේ දානවා. එච්චරයි.

    අයියා යෝජනා කරපු විදිහ හරි. so there was still, in occasional places, the remains of baby fat කියන එකට තරබාරු බවට වඩා පිරුණු බව කියන එක එතනට ගැලපෙනවා. තැන්ක් යූ... :)

    ReplyDelete