97. ඔයාගෙ කැමැත්තක්...02

"එයා මොනවද අමුතුවෙන් කළේ කියලා මටනං හිතාගන්නවත් බෑ," බටර්කප්ගේ පියා කීවේය. "කොල්ලා උන්ට කෑම දුන්නා විතරනේ." 

ඒ වන විට රාත්‍රී ආහාර වේලාව පසු වී තිබූ අතර පවුලේ උදවිය නැවතත් හුදෙකලාව සිටියෝය.

"සමහරවිට එළදෙන්නු එයාට කැමති ඇති. කාලයක් අපේ ගෙදර පූසෙක් හිටියා, මං කන්න දුන්නම විතරයි පුරු පුරු ගාන්නේ. මේකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති." බටර්කප්ගේ මව බඳුනේ අඩියේ ඉතිරිව තිබූ ආහාර සූරා දීසියකට එකතු කළාය. "මෙන්න," ඇය දියණිය ඇමතුවාය. "වෙස්ට්ලි පිටිපස්සේ දොර ලඟ ඇති. මේක එයාට ගිහින් දෙන්න."
 

දීසිය අතට ගත් බටර්කප් පිටුපස දොරටුව වෙත ගියාය.  "මෙන්න," ඇය කීවාය.  හිස නමා බඳුන පිළිගත් වෙස්ට්ලි ආපසු හැරී සිය මඩුව වෙත යන්නට සූදානම් වූවේය. "මං යන්න කිව්වෙ නෑනේ කොල්ලෝ," බටර්කප් කතා කළාය. නතර වූ වෙස්ට්ලි ආපසු හැරුණේය. "ඔයා අස්සයාට සාත්තු කරන විදිහට මං කැමති නෑ. ඇත්තටම ඔයා ඌට සාත්තු කරන්නෙ නෑ. ඌව හොඳට සුද්ද වෙන්න ඕනෙ. අද රෑම. උගේ කුර හොඳට මැදිලා තියෙන්න ඕනෙ. අද රෑම. උගේ වලිගෙ හොඳට පීරලා තියෙන්න ඕනේ. අදම. ඉස්තාලේ එක කුණු බින්දුවක් තියෙන්න බෑ. අදම ඒක සුද්ද වෙන්න ඕනේ. අස්සයා දිලිසි දිලිසි ඉන්න ඕනේ. මුළු රෑම වැඩ කරන්න වුනත් මට කමක් නෑ, ඒ දේවල් ඒ විදිහටම සිද්ද වෙන්න ඕනෙ."
 

"ඔයාගෙ කැමැත්තක්."



 
බටර්කප් මහ හඬින් දොර වසා දැම්මාය.

"මං හිතුවේ එයා අස්සයන්ට හොඳට සාත්තු කරනවා කියලා," ඇගේ පියා පැවසුවේය.


බටර්කප් නිහඬවම සිටියාය.


"ඔයාමනෙ ඊයෙ එහෙම කිව්වෙ," මවද සිහිපත් කළාය.


"මට මහන්සියි," බටර්කප් වදන් ගලපා පැවසුවාය. "අද මහ ගොඩක් දේවල් සිද්ද වුනා."


"ටිකක් නිදාගන්න එහෙනං," මව සැලකිල්ලෙන් කීවාය. "මහන්සියෙන් ඉන්න වෙලාවට මහ එපා කරපු දේවල් සිද්ද වෙනවා. ඔයාගෙ තාත්තව මට තීන්දු වෙච්ච දවසෙත් මං හිටියේ හොඳටම මහන්සි වෙලා."


බටර්කප් සිය කාමරය වෙත ගියාය. ඇඳ මත හාන්සි වූවාය. දෑස් පියාගත්තාය.
 

ආදිපාදවරිය වෙස්ට්ලි දෙස බලා සිටියි.

බටර්කප් ඇඳෙන් බැස්සාය. ඇඳුම් ඉවත් කර යන්තමින් ඇඟ සෝදාගත්තාය. නිදන ඇඳුම් ඇඳගත්තාය. පොරෝණය තුළට රිංගා දෑස් පියාගත්තාය.


ආදිපාදවරිය වෙස්ට්ලි දෙස බලා සිටියි.


පොරෝණය විසි කර දැමූ බටර්කප් දොර විවර කළාය. ගිනි උඳුන අසළ වූ පයිප්පයෙන් වතුර වීදුරුවක් පුරවාගෙන පානය කළාය. අනතුරුව තවත් වීදුරුවක් පුරවාගෙන නළලට සිසිලස දැනෙන තුරු එය නළල මත ඒ මේ අත ගෙන ගියාය. නමුත් තවමත් ඇයට උණ ගැනී ඇති සෙයකි.
වීදුරුවේ වූ වතුර බේසම තුළට හැලූ බටර්කප් යළි කාමරය වෙත ගොස් තදින් දොර වසා ඇඳට නැග්ගාය. දෑස් පියාගත්තාය.


ආදිපාදවරිය ඇහි පිල්ලමක් හෝ නොගසා වෙස්ට්ලි දෙස බලා සිටියි.


නමුත් ඒ ඇයි. ෆ්ලොරින් හි ඉතිහාසයට එකතු වන ගැහැණියක්, සෑම අතකින්ම සම්පූර්ණ වෙච්ච තැනැත්තියක් මෙවැනි ගොවි පොළක වැඩ කරන කොළුවෙකු ගැන මෙතරම් උනන්දු වන්නේ ඇයි. බටර්කප් ඇඳ මත ඒ මේ අතර පෙරළුනාය. එම බැල්මෙන් සැබෑ උනන්දුවක් ඇර වෙන කිසිවක් කියවෙන්නේ නැත. දෑස් තද කොට පියාගත් බටර්කප් ආදිපාදවරියගේ පෙනුම යළි මතකයට නගාගැනීමට උත්සාහ දැරුවාය.


පැහැදිලිවම කොළුවාගේ කුමක් හෝ පිළිබඳව ආදිපාදිවරියගේ සිතේ තදබල කැමැත්තක් ඇති වී ඇත. ඒ ගැන කිසිදු සැකයක් නොමැත. නමුත් ඒ කුමක්ද? කොළුවාට ඇත්තේ කුණාටුවකට පෙර මහ සයුරේ පැහැය ගත් දෙනෙතකි, නමුත් දෑස් ගැන වද වන්නේ කවුරුන්ද? ඔහුට ඇත්තේ දුඹුරු පැහැති කොණ්ඩයක් වුවද ඒ ගැනද තැකීමක් කරන්නන් අල්පය. ඔහුගේ උරහිස් පළල් වුවද ආදිපාදවරයාගේ තරම්ම නැත. එසේම කොළුවාගේ සිරුරේ මස්පිඬු හොඳින් වර්ධනය වී ඇත, නමුත් මුළු දිනය පුරා වෙහෙස වී වැඩ කරන ඕනෑම කෙනෙකුගේ සිරුර එසේ වීම පුදුමයක් නොවේ. තවද කොළුවාගේ සම නිරෝගිය, ඉර අව්වට හසුව තලෙලු පැහැයක් ලබා ඇත. නමුත් දවස පුරා අව්වේ වෙහෙසෙමින් වැඩ කරන්නෙකුට එවැනි සමක් ලැබීමේ පුදුමයක් නැත. ඒ හැරත් ඔහු ආදිපාදවරයා තරම් උසද නැත. උදරය පැතැලි බව සැබෑ වුවද ඒ ඔහු තවමත් තරුණ නිසාය.


බටර්කප් ඇඳ මත හිඳගත්තාය. ඒ ඔහුගේ දත් නිසා විය යුතුය. කොළුවාට ඇත්තේ හැබෑම සුන්දර දත් දෙපෙළකි. අගය කළ යුතු දේ අගය කළ යුතුය. සුදු ලස්සන දත් දෙපෙල අව් රශ්මියෙන් පැණි පැහැයට හැරුණු මුහුණේ හොඳින් කැපී පෙනුණි.


වෙනත් කිසිදු හේතුවක් තිබිය හැකිද? බටර්කප් තවදුරටත් කල්පනා කළාය. කොළුවා ගම්මානයේ ඇවිද යන විට ගමේ කෙල්ලෝ නිතරම ඔහු පසුපසින් ඇවිද ආවෝය. නමුත් එම කෙල්ලන් මෝඩියන්ය, ඕනෑම කෙනෙක් පසුපස ඇවිද යන්නන්ය. ඒ හැරත් කොළුවාද ඔවුන්ව ගණන් ගත්තේ නැත.


ආදිපාදවරිය මෙන් සුන්දර, සෝබමාන, ඉස්තරම් ගැහැණියක් කෙනෙකුගේ දත් දෙපෙලකට මෙලෙස වහ වැටෙනු ඇතැයි සිතන්නටද අපහසුය. බටර්කප් උරහිස් හැකිළුවාය. මිනිසුන් තේරුම්ගැනීම සැබැවින්ම අසීරුය. නමුත් ඇගේ ගැටළුව විසඳී ඇත, සියල්ල පැහැදිලිය. ඒ ගැන තවත් සිතිය යුතු නැත. ඇය යළි දෑස් පියාගෙන පොරෝණය තුළ ගුලි වී හරි බරි ගැසී නිදාගැනීමට සූදානම් විය. ආදිපාදිවරිය කොළුවා දෙස බලාගෙන සිටි අයුරින් වෙනත් කිසිවෙකුත් තවත් කෙනෙකු දෙස බලා නොසිටිනු ඇත. දත් නිසා.


"අයියෝ," බටර්කප් හුස්ම අතරින් හඬක් පිට කළාය. "අනේ!"


කොළුවා ආදිපාදවරිය දෙස බලා සිටියි. එළදෙනුන්ට කවමින් සිටි ඔහුගේ මස් පිඬු ඉලිප්පී තිබුණි. බටර්කප් ඒ අසළ හිඳ බලා සිටින අතරේ හිස එසවූ කොළුවා පළමු වතාවට ආදිපාදවරියගේ දෑස් දෙස ගැඹුරු බැල්මක් හෙලුවේය.


ඇඳෙන් බිමට පිනූ බටර්කප් කාමරය වටා ඇවිදින්නට පටන්ගත්තාය. ඔහු එවැන්නක් කළේ කෙලෙසද? ඔහු බටර්කප් දෙස බැලුවානම් කමක් නැත, නමුත් ඔහු බැලුවේ ඈ දෙස නොව ඈ දෙසයි.
 

"එයා නාකි ගෑණියෙක්නේ," බටර්කප් තොල් මැතිරුවාය. ආදිපාදවරිය සතළිස් වියද ඉක්මවා සිටියාය. ගව මඩුවේදී ඇගේ ඇඳුම දිස් වූයේ සම්පූර්ණ විකාරයක් ලෙසිනි.
 

ඇඳ මතට කඩා වැටුණු බටර්කප් කොට්ටය බදාගත්තාය. ගව මඩුවට යාමට පෙර සිටම ආදිපාදවරියගේ ඇඳුම සැබැවින්ම සම්පූර්ණ විකාරයකි. කරත්තයෙන් බිමට පය තැබූ මොහොතේ සිටම ඇය විකාරයකි. තද රතු පැහැති තොල්, ඊරියකගේ දෑස් මෙන් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ දෑස්, තට්ටු පිටින් පුයර ඉලූ මුහුණ, තව... තව... තව...
 

බටර්කප් අත පය විසි කරමින්, අඩි පොළොවේ ගසමින් හැඬුවාය, අනතුරුව ඒ මේ අත පෙරළෙමින්, කාමරය පුරා ඇවිදිමින් හැඬුවාය.
 

එය ඉරිසියාවෙන් පිරුණු දිගු රැයකි.
 

පසු දින එළිය වැටෙන්නටත් පෙරම බටර්කප් සිටියේ ඔහුගේ මඩුව ඉදිරිපිටය. ඔහු අවදි වී ඇති බව ඇයට ඇසුණි. ඇය දොරට තට්ටු කළාය. විවර වූ දොරටුව අතරින් ඔහුගේ රුව මතු විය. ඔහුට පිටු පසින් කුඩා ඉටිපන්දමක් හා දිග ඇරුණු පොත් කිහිපයක් මඩුව තුළ පෙනෙන්නට තිබුණි. ඔහු බලා සිටියේය. බටර්කප් ඔහු දෙස බලා සිටියාය. අනතුරුව ඉවත බැලුවාය.
 

ඔහු ඉතාම සුන්දරය.
 

"මං ඔයාට ආදරෙයි," බටර්කප් කීවාය. "මේක පුදුමයක් වෙන්න ඇති, මොකද මෙච්චර කාලෙකට මං කරලා තියෙන්නේ ඔයාට ඔරවන එකයි, ඇනුම් පද කියන එකයි, පාච්චල් කරන එකයි විතරයි, ඒත් දැන් පැය ගානක ඉඳං මං ඔයාට ආදරෙයි, ගෙවෙන හැම තත්පරයක් ගානෙම මං වැඩි වැඩියෙන් ඔයාට ආදරෙයි. පැයකට කළින් මට හිතුණේ ලෝකෙ කිසිම ගෑණියෙක් කිසිම පිරිමියෙකුට ආදරේ කළාට වඩා මං ඔයාට ආදරෙයි කියලා, ඒත් පැය බාගෙකට පස්සේ මට දැනුණා මට ඒ කළින් දැනුණ දේ ඒ මොහොතෙදි දැනෙන දේ අහලකින්වත් තියන්න බෑ කියලා. ඊට විනාඩි දහයකට පස්සෙ මට තේරුණා මට කළින් දැනුණ ආදරේ ඒ මොහොතේදි මගේ හිතේ කුණාටුවකට කළින් මූද වගේ තියෙන ආදරේ එක්ක බැලුවාම නිකම්ම මඩ වළක් විතරයි කියලා. ඔයාගෙ ඇසුත් ඒ වගෙයි, ඔයා දන්නවද? කුණාටුවකට කළින් මූද වගේ." 

බටර්කප්ට ඔහු දෙස තවමත් බැලිය නොහැක. ඇගේ පිටුපසින් හිරු නැගී ආවේය, අව් රශ්මිය ඇගේ පිටට දැනුණි. ඉන් ඇය දිරිමත් විය. 




"විනාඩි විස්සකට කළින් මං ඔයාට ආදරේ කළාට වඩා ගොඩාරියක් මං දැන් ඔයාට ආදරෙයි, ඒක සසඳන්නවත් බෑ. ඔයා මඩුවෙ දොර ඇරිය වෙලාවේ මං ඔයාට ආදරේ කළාට වඩා මං දැන් ඔයාට ආදරෙයි, ඒක සසඳන්නවත් බෑ. ඔයා ඇරෙන්න වෙන කිසිම දේකට මගේ ඇඟේ ඉඩක් නෑ. මගේ අත් ඔයාට ආදරෙයි, මගේ කන් ඔයාට ආදරෙයි, මගේ දණිස් ඔයාට ආදරෙයි. මගේ හිත ඔයාට ආදරෙයි. ඔයාගෙ ජීවිතේ ඉතිරි දවස් වලදි මං ඔයා එක්ක ඔයාගෙ පස්සෙන් එනවට ඔයා කැමතිද? මං එන්නං. මං බඩගාගෙන එනවට ඔයා කැමතිද? මං එහෙම කරන්නං. ඔයාට ඕන වෙලාවට මං සද්ද නැතුව ඉන්නං, අනිත් වෙලාවට ඔයාට ඇහෙන්න සින්දු කියන්නං, ඔයාට බඩගිනිනං මං ඔයාට කෑම අරන් එන්නම්, ඔයාට තිබහනං, ඔයාට ඕනෙ අරාබි වයින්නම්, මං අරාබියට ගිහින් - ලෝකෙ හරහා යන්න වුනත් - ඔයාට බෝතලයක් අරන් එන්නං. ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕන දෙයක් මං කරන්නං; මට කරන්න බැරි දෙයක් තියෙනවනං මං ඉගෙනගන්නං. මං දන්නවා මට ආදිපාදවරිය එක්ක තරඟ කරන්න බෑ කියලා, මං දැක්කා එයා ඔයා දිහා බලපු හැටි. ඔයා එයා දිහා බලපු හැටිත් මං දැක්කා. ඒත් මේක මතක තියාගන්න, එයා නාකියි, එයාගෙ ජීවිතේ තව කට්ටිය ඉන්නවා. ඒත් මට තාම දාහතයි, මට ඉන්නේ ඔයා විතරයි. වෙස්ට්ලි, මං මීට කළින් කවදාවත් ඔයාට එහෙම කතා කරලා නෑ නේද? වෙස්ට්ලි, වෙස්ට්ලි, වෙස්ට්ලි, වෙස්ට්ලි, වෙස්ට්ලි ආදර වෙස්ට්ලි, මගේ වෙස්ට්ලි, හොඳ වෙස්ට්ලි, කියන්න මට ඔයාගේ ආදරේ දිනාගන්න තාමත් ඉඩක් තියෙනවා කියලා." 

බටර්කප් තම ජීවිතයේදී එතෙක් සිදු කළ නිර්භීතම ක්‍රියාව ඒ මොහොතේදී සිදු කළාය: ඇය ඔහුගේ දෑස් දෙස කෙළින්ම බැලුවාය.
 

වෙස්ට්ලි දඩාස් ගා දොර වසා දැම්මේය.
 

වදනක් හෝ නොදොඩාම.

එකදු වදනක් හෝ නොදොඩාම.



***


සමාවෙන්න යාළුවනේ, පරිවර්තනය කරපු ටික ටිකක් දිග වැඩියි. ඒ නිසා කොටස් තුනකට දාන්න වෙනවා.



8 comments:

  1. මේ කොටසට එනකොට මම මේකට ඇබ්බැහි වෙල ඉන්නේ. ඊ ලඟ කොටස එනකල් මේ බලාගෙන ඉන්නේ. කොහොමද මම මුලින් හිතපු හැටි!

    දැන් මේ අන්තිමට කියපු දේවල් ඇත්තටම බටර්කප් කිව්වද නැතිනම් හිතුවද?

    ReplyDelete
    Replies
    1. අයියෝ, ඇබ්බැහි උනාට මේක තව එක කොටසකින් ඉවරයිනේ. ඒ වුනාට ගොඩාක් ස්තූතියි අයියේ. :)

      අයියා මේකේ ෆිල්ම් එක බැලුවද? ඒක බලන්න. පොතත් පුළුවන්නම් හොයාගන්න. ඒත් පොතේ අවසානයට වඩා මම ෆිල්ම් එකේ අවසානයට කැමතියි. අනික ෆිල්ම් එකේ ඒ චරිත වලට රඟපාපු අය ඇරෙන්න වෙන කාටවත් ඒ චරිත ඒ විදිහට කරන්න බෑ. වෙස්ට්ලි, ඉනීගෝ මොන්ටෝයා විශේෂයෙන්ම.

      ඒ බටර්කප් ඇත්තටම වෙස්ට්ලිට කිව්ව ඒවා, පොතේ විදිහට. ෆිල්ම් එකේ ඔය මුකුත් නෑ. ඒත් ඒ ටික නැහැයි කියලා ෆිල්ම් එකේ අඩුවක් දැනෙන්නේ නෑ.

      Delete
  2. Speaking of movies, two of us watched a movie that is really awesome about two weeks ago. It was 'Nebraska'. A new movie in black and white. Just download and watch. I'm sure you'll like it. Then I want to talk about that.

    ReplyDelete
    Replies
    1. මම ගිහින් ඔන්න විකිපීඩියා එකෙන් ප්ලොට් එක කියවලා ආවා. මටත් හිතෙනවා මමත් ඒකට කැමති වෙයි කියලා. හොයාගෙන බලන්න ඕනේ. අයියට ස්තූතියි ඒක ගැන කිව්වට. ඇයි ඒක හදපු අය ඒක කළු සුදු ෆිල්ම් එකක් විදිහට හදලා තියෙන්නේ?

      Delete
  3. /  "මං යන්න කිව්වෙ නෑනේ කොල්ලෝ," බටර්කප් කතා කළාය. /

    මේ කොටස ඔරිජිනලි තියෙන්නෙ " I didn't tell you to go, Boy " කියල මම උපකල්පනය කරනවා. එහෙමනම් එතන Boy කියන වචනෙ කොල්ලෝ කියල පරිවර්තනය කිරීම එතරම්ම සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ කියල කියන්ට අවසර…

    සාමාන්‍යයෙන් Boy කියන වචනෙ පරිවර්තනය කොල්ලෝ වුනාට අපේ භාවිතය අනුව කෙල්ලෙක් කොල්ලෙකුට කොල්ලෝ කියල කියන්නෙ අදරේට.මෙතන බටර්කප් වෙස්ට්ලිට කොල්ලො කියල කියන්නෙ එහෙම දේකට නෙවෙයි. එයාම පස්සෙ කියනව වගෙ පාච්චල් කරන්ට.ඒ නිසා " මම තමුන්ට යන්න කිව්වෙ නෑනේ " නැත්නම්  "මං යන්න කිව්වෙ නෑනේ මනුස්සයෝ " වගෙ පරිවර්තනය කලානම් වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ.

    සිත්තමී ප්‍රවීණ පරිවර්තිකාවනි..මේ ඔබේ අවධානය පිණිසයි!!!...:)

    ReplyDelete
    Replies
    1. That's true ayya, thank you. I had the same feeling about that part, my translation didn't give the same degrading she meant. But I couldn't find proper words to put there. Thank you once again.

      Here's how it is in the book: "I didn't excuse you, Farm Boy,"

      Delete
  4. ඔයි වාගේ වෙලාවට කෙල්ලන්ට ගොඩක් නිර්භීත වෙන්ට පුළුවන් තමා. හී!...අනිත් වෙලාවට සුපර් මෑන්ල වාගේ උනාට කොල්ලෝ නම් මේවට පරාන බයයි, විසේසෙන්ම කෙල්ල හොස්ස ළඟින් මැස්ස යන්ට බැරි ටිකක් විතර 'ඇටිටියුඩ්' එකක් තීන එකියක් උනාම. එහෙම උනාම කෙල්ලට තමා පුරුෂ දහිරිය ගන්ට වෙන්නේ.
    අපිත් එහෙම තමා ඉතිං හුහ්. හොඳ වෙලාවට මගේ හැටි මං දැනන් හිටියේ!!

    ReplyDelete
    Replies
    1. :D ඔයාට එහෙම දඩාස් ගාලා දොර වහලා දැම්මෙ නෑනේ නේද?

      Delete