98. ඔයාගෙ කැමැත්තක්...03

විලියම් ගෝල්ඩ්මන් මේ පොත ලියන්නේ හරිම අපූරු විදිහකට. එයාගෙ තාත්තා එයාට කියලා දීපු පොතක්ලු මේ ප්‍රින්සස් බ්‍රයිඩ්. ඒක ලියලා තියෙන්නේ එස්. මෝර්ගන්ස්ටර්න් කියලා කෙනෙක්ලු. ඒත් එහෙම කෙනෙක්වත්, ඒ නමින් ඊට කළින් පොතක්වත් තිබ්බෙ නෑ. තාත්තා ඒක කියලා දුන්න විදිහට එයාට හිතිලා තියෙන්නේ ඒක ත්‍රාසජනක ළමා කතා පොතක් කියලලු. තාත්තා කියලා දුන්නා ඇරෙන්න එයා ඒ පොත කියවලා නෑ, මොකද ඒක තාත්තා ළඟම තිබිලා තියෙන්නේ. ඒ කතාව අහලා තමයි එයා ඇත්තටම පොත් කියවන්න පෙළඹුනේ කියලා එයා පොතේ ලියලා තියෙන්නේ. ඉතින් මෙයා එයාගෙ පුතාගෙ 10 වෙනි උපන් දිනේට ඒ පොතම අරන් දුන්නලු, එයා වගේම පුතත් ආස වෙයි කියලා. ඒත් පුතා ඒකට කැමති නෑ කියලා එයා දැනගන්නවා. ඔය ටික කියලා තියෙන්නේ මහා ආලවට්ටම් ගොඩක් දාලා. ඉතින් ඔන්න එයා පුතා මේකට කැමති නැත්තෙ මොකද කියලා බලන්න පොත අරගෙන පෙරලලා බලනවා, ජීවිතේ පළවෙනි පාරට. එතකොට එයා දැනගන්නවා තාත්තා ඇත්තටම එයාට මුළු පොතම කියවලා නෑ, තැනින් තැනින් තෝරගත්ත, කතාව ගලාගෙන යන්න උදව් වෙන, එයාට පොඩි වයසෙදි තේරුම් ගන්න පුළුවන් වෙන දේවල් විතරයි කියලා තියෙන්නේ කියලා. ඒකයි එයා ඒක ළමා පොතක් කියලා හිතලා තියෙන්නේ. ඒ වුනාට ඇත්තටම ඒ පොතේ, දේශපාලනය, ෆ්ලොරින්-ගිල්ඩර් දේශසීම අර්බුධ, රාජ්‍ය පාලනය ඔය මහා බරපතල දේවල් පිරිච්ච පොතක්ලු. ඉතින් මෙයා කරලා තියෙන වැඩේ, ඒ පොත සංස්කරණය කරලා. පිටු ගාණක පරිච්ඡේද එක පිටුවට, එහෙම නැත්තං එක ඡේදෙට අරගෙන. එහෙමලු එයා ඒ පොත ලිව්වෙ. ඒත් ඒක බොරු හොඳේ, එස්. මෝර්ගන්ස්ටර්න් කියලා කෙනෙක් ඇත්තටම ඉඳලා නෑ. ඒ එයාගෙ ඉමැජිනේශන්.

ඉතිං ඔන්න මමත් ඒ වගේ පොඩි සංස්කරණයක් කළාලු. කළින් කොටස ඉවර වෙච්ච තැන ඉඳන් මේ කොටස පටන් ගන්න තැන වෙනකල් තරමක විස්තරයක් තියෙනවා බටර්කප්ගේ චිත්ත සන්තාපය විශ්ලේෂණය කරලා. මං ඒ ටික පරිවර්තනය කළේ නෑ අනේ, කම්මැලියි. එතනින් මෙතනට ස්කිප් කළා ඉතිං මං. බය වෙන්න එපා, කතාවට කිසිම බාධාවක් නෑ. කියවලා බලන්නකෝ. :)


*** 

එදින සන්ධ්‍යාවේ බටර්කප් සිය කාමරය තුළ සිටිනා අතරේ දොර අසළින් පියවර හඬක් නැගුණි. අනතුරුව ඇසුනේ දොරට තට්ටු කරන හඬකි. ඇය දෑස් පිසදාගත්තාය. යළිත් තට්ටු කිරීමක්. "කවුද?" බටර්කප් ඈණුමක් පිට කරන අතරේ ඇසුවාය.
 

"වෙස්ට්ලි."
 

බටර්කප් හෙමින් සීරුවේ ඇඳෙන් බැස්සාය. "වෙස්ට්ලි?" ඇය කීවාය. "කවුද වෙස්ට්-, ආ කොල්ලද මේ, මොන විහිළුවක්ද!" දොර අසළට ගිය ඇය අගුල විවර කොට හැකි ඉහළම කටහඬින් කතා කළාය. "ඔයා පොඩ්ඩක් මෙතන නතර වෙලා යන්න හිතපු එක කොච්චර දෙයක්ද. මං ඒත් මේ හිත හිත හිටියේ මං උදේ ඔයාට කරපු විහිළුව ගැන. මං ඒත් හිතුවා මං කරන්නේ විහිළුවක් කියලා ඔයාට තේරෙයි කියලා, ඒත් ඔයා දොර වහන්න පටන් ගනිද්දිම මට දැනුණා මං විහිළුව ඕනැවට වඩා හොඳට රඟපෑවද කියලා. පවු අනේ. ඒක වෙන්න බැරි දෙයක් කියලා අපි දෙන්නම දන්නවනේ. ඔයා හිතුවද මං ඒවා ඇත්තටමයි කිව්වේ කියලා."
 

"මං ආවේ මං යනවා කියන්න."
 

බටර්කප්ගේ හදවත සසල විය, නමුත් ඇගේ ඉහළ කටහඬ නොසොල්වා තබාගැනීමට ඇය සමත් විය. "ඔයා නිදානන්න යනවද? මට සුබ රැයක් කියන්නද ආවේ? කොයි තරං හොඳ කොල්ලෙක්ද? මං උදේ කරපු පුංචි විහිළුවට ඔයා සමාව දෙනවා කියලා පෙන්නන්න. ඒ තරම් මං ගැන හිතුවට ගොඩක් ස්තූතියි අනික - "
 

ඔහු ඇයට බාධා කළේය. "මං යනවා."
 

"යනවා?" භූමි කම්පාවක් ඇති වෙන්නට පටන්ගත්තේය. ඇය උළුවස්ස අල්ලාගත්තාය. "දැන්?"
 

"ඔව්."
 

"මං අද උදේ කියපු දේවල් නිසා?"
 

"ඔව්."
 

"මං ඔයාව බය කළා නේද? මට මගෙ දිව කපලා දාන්න හිතෙනවා." ඇය දිගින් දිගටම තම හිස දෙපසට වැනුවාය. "හරි, ඔයා දැන් තීරණය කරලා ඉවරයිනේ. ඒත් මෙන්න මේක මතක තියාගන්න: එයාට ඔයාව එපා වුන දාක මංනං ආයෙ ඔයාව බාරගන්නෙ නෑ, ඔයා වැඳ වැටිලා ඉල්ලුවත් මං පැත්තවත් බලන්නෙ නෑ."
 

ඔහු ඈ දෙස බලා සිටියේය.
 

ඇය ඉක්මණින්ම නැවතත් කතා කළාය. "ඔයාගෙ ලස්සන හින්දා ඔයා ඔළුව උදුම්මවගෙන. ඔයාව කාටවත් එපා වෙයි කියලා ඔයා හිතන්නෙ නෑ. ඒත් ඔයා වැරදියි. එයාට ඔයාව එපා වෙනවා දවසක. අනික ඔයා ලඟ සල්ලිත් නෑ."
 

"මං ඇමරිකාවට යනවා. සල්ලි හොයන්න. ලන්ඩන් වලින් නැවක් පිටත් වෙනවා තව පැය ගාණකින්. ඇමරිකාවෙ ගොඩක් රස්සාවල් තියෙනවා. මං එයින් එකක් හොයාගන්න බලනවා. මං මගේ මඩුව ඇතුලේ ඉඳන් ගොඩක් දේවල් පුරුදු වුනා. නිදා ගන්නෙ නැතුව වැඩ කරන්නෙ කොහොමද කියලා මං පුරුදු වුනා. පැය දෙකක් තුනක් විතරයි මං නිදාගන්නෙ. මං පැය දහයෙ රස්සාවක් මුළින් හොයාගන්නවා. ඊලඟට ඒ වගේම තව එකක් හොයාගන්නවා. ඒ දෙකෙන්ම මට කන්න ඕන කරන සල්ලි ඇරුණාම අනිත් හැම පැන්සයක්ම මං ඉතුරු කරනවා. ඇති වෙන්න සල්ලි එකතු වුනාම මං ගොවි පොළක් අරගෙන ගෙයක් හදලා දෙන්නෙකුට නිදාගන්න පුළුවන් ඇඳකුත් හදනවා."
 

"ඔයා හිතනවනං එයා ඔය ඇමරිකාවේ බංකොලොත් වෙච්ච ගොවි පොළක ඉන්න කැමති වෙයි කියලා ඔයාට පිස්සු. එයා ඇඳුං වලටම වියදං කරන හැටි බලන්නකෝ."
 

"ආදිපාදවරිය ගැන කතා කරන එක නවත්තන්න! කරුණාකරලා. ඔයා හදන්නෙ මාව පිස්සු වට්ටන්න."
 

බටර්කප් ඔහු දෙස බැලුවාය.
 

"ඔයාට මේ සිද්ද වෙන මුකුත් තේරෙන්නෙ නැද්ද?"
 

බටර්කප් හිස දෙපසට වැනුවාය.
 

වෙස්ට්ලිද හිස දෙපසට වැනුවේය. "ඔයාට එච්චරම යමක් කමක් තේරුම් ගන්න අමාරුයි මං හිතන්නේ."
 

"ඔයා මට ආදරෙයිද වෙස්ට්ලි? ඒකද මේ කියන්නේ?"
 

ඔහුට එය විශ්වාස කිරීමට පවා නොහැකි විය. "මං ඔයාට ආදරෙයිද? මගෙ දෙයියනේ, ඔයාගෙ ආදරේ එක වැලි කැටයක්නං මගේ ආදරේ මුහුදු වෙරළ වලින් පිරිච්ච විශ්වයක්. ඔයාගෙ ආදරේ - "
 

"මට ඔයාගෙ පළවෙනි උපමාව තේරුණේ නෑ," බටර්කප් බාධා කළාය. "මට මේක කියලා ඉන්න. ඔයා කියන්නේ මගේ ආදරේ වැලි කැටයක් තරං ලොකුයි, ඔයාගෙ ආදරේ ඔය කියපු අනිත් එක තරං ලොකුයි කියලද? ඔයාගෙ ඔය විශ්වය මගේ වැලි කැටේට වඩා ලොකුයිද? උදව් කරන්නකො මට වෙස්ට්ලි. මට හිතෙන්නේ අපි හුඟක් බරපතල දෙයක් ගැන කතා කරනවා කියලා."
 

"මං මේ අවුරුදු ගාණම මගේ මඩුවට වෙලා ගෙව්වේ ඔයා හින්දා. මං තනියම ඉගෙනගත්තා, ඒ ඔයා හින්දා. මං මහන්සි වෙලා වැඩ කළා, ඒ ඔයා හයිය හත්තිය තියෙන ඇඟකට කැමති වෙයි කියලා මං හිතපු හින්දා. මං මගේ ජීවිතේ ගෙව්වේ කවදා හරි ඔයා මගේ දිහා බලයි කියන බලාපොරොත්තුවෙන්. අවුරුදු ගාණකින්, ඔයාව දකිද්දි මගේ හදවත මගේ ඉළ ඇට කූඩුවෙන් එළියට පනින්න හදපු නැති මොහොතක් මට හිතාගන්න බෑ. ඔයාගේ මූණ මතක් කරගන්නෙ නැතුව නින්දට ගිය දවසක් මට මතක නෑ. උදේට නැගිටිද්දි ඔයා මගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුණෙ නැති දවසක් මට මතක නෑ... මං මේ කියන එකක්වත් ඔයාගෙ මොළේට වැටෙනවද බටර්කප්, නැත්තං මං තව ටිකක් කියන්න ඕනෙද?"
 

"අනේ නවත්තන්න එපා."
 

"ඔයාගෙ මොළේට වැටිලා නෑ එකක්වත්."
 

"ඔයා මට විහිළු කරනවනං එහෙම වෙස්ට්ලි, මං ඔයාව මරලා දානවා."
 

"ඔයා කොහොමද හීනෙන්වත් හිතන්නේ මං මේ කරන්නේ විහිළුවක් කියලා?"
 

"ඉතිං ඔයා එක සැරයක්වත් මට ආදරෙයි කියලා කිව්වෙ නෑනේ."
 

"ඒකද ඔයාට ඕනේ? ලේසියිනෙ. මං ඔයාට ආදරෙයි. හරිද? හයියෙන් කියන්න ඕනෙද? මං ඔයාට ආදරෙයි. අකුරෙන් අකුර කියන්නද? මයන්න-බිංදුව-ඔයන්න-යායන්න-ටයන්න-ආයන්න-දයන්න-රෙයන්න-යියන්න. අනිත් පැත්තට කියන්නද? ආදරෙයි ඔයාට මං."
 

"දැන්නං ඔයා විහිළු කරනවා තමයි, නේද?"
 

"ටිකක් විතර; මං ඒක ඔයාට සෑහෙන කාලෙක ඉඳන් කිව්වේ, ඔයා ඇහුම්කන් දුන්නෙ නෑ. ඔයා ඇවිත් 'කොල්ලෝ, මේක කරන්න, අරක කරන්න' කියපු හැම වෙලාවෙම ඔයාට හිතුණේ මං 'ඔයාගෙ කැමැත්තක්' කියලා කියනවා කියලා. ඒ ඔයාට ඇහිලා තියෙන්නෙ වැරදියට. මං ඒ කියන්නේ 'මං ඔයාට ආදරෙයි' කියලා, ඒත් ඔයාට ඒක ඇහුණෙ නෑ, කවදාවත් නෑ."
 

"මට දැං ඔයාව ඇහෙනවා, මං ඔයාට මේකත් පොරොන්දු වෙනවා: මං ආයෙ වෙන කාටවත් ආදරේ කරන්නෙ නෑ. වෙස්ට්ලිට විතරයි. මං මැරෙනකල්ම."
 

හිස සැලූ ඔහු පියවරක් පසුපසට ගත්තේය. "මං ඔයාට ඉක්මණටම ලියුමක් එවන්නං. මාව විශ්වාස කරන්න."
 

"මගේ වෙස්ට්ලි මට කවදාවත් බොරු කියන එකක් නැද්ද?"
 

ඔහු තවත් පියවරක් ගත්තේය. "මට පරක්කුයි. මං යන්න ඕනෙ. මට දුකයි, ඒත් මං ඉක්මණටම යන්න ඕනෙ. නැව ඉක්මණටම යනවා, ලන්ඩන් වලට යන්න මං ගොඩක් දුර යන්න ඕනෙ."
 

"මට තේරෙනවා."
 

ඔහු සිය දකුණත දිගු කළේය.
 

බටර්කප්ට හුස්ම ගැනීමට අපහසු බවක් දැනුණි. "පරිස්සමෙන් යන්න." ඇය සිය දකුණත ඔසවා ඔහුගේ අත අල්ලාගැනීමට සමත් විය.
 

ඔවුහු අතට අත දුන්හ.
 

"ගිහින් එන්නම්," ඔහු යළිත් කීවේය.
 

ඇය සෙමින් හිස සැලුවාය.
 

ඔහු ආපසු නොහැරීම තෙවන පියවරද පසුපසට ගියේය.
 

ඇය බලා සිටියාය.
 

ඔහු හැරුණේය.
 

ඒ මොහොතේදී ඇගේ මුවින් වදන් විසි වී පිට විය: "එක හාද්දක්වත් නැතුව?"

මොහොතකින්ම ඔවුහු එකිනෙකා වැළඳගත් හ.



***************

10 comments:

  1. සාර්ථකව සංස්කරණය කල පෙම් පුවතක්. මට නොතේරෙන්නේ දැන් තව දුරටත් කොල්ලට අමෙරිකාවට යන්න තියෙන උවමනාව මොකක්ද කියලයි.

    අපි පොඩි කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය බරගනං වල අපේ තාත්තා අපිට නින්ද යනකල් කියපු කතාවල් හුඟක්ම ඔහොම ක්ෂනිකව සංස්කරණය කරලා කියපුවා කියලා මට පස්සෙයි තේරුනේ.

    ReplyDelete
    Replies
    1. කොල්ලට ඕනේ සල්ලි ටිකක් හොයාගෙන එන්ටනේ...

      ඇත්තටම ඔහොම කරපු කපල් එකකුත් මම දන්නව. කෙල්ල ගෙ පවුලට සල්ලි තිබ්බත්, කෙල්ලත් කෙල්ලගේ අම්මලත් කැමති උනත් කොල්ලට ඕන උනේ තමන්ටම කියල ගාණක් හොයාගෙන, තත්වයක් හදාගෙන ම බඳින්න. කෙල්ල කැමැත්ත දීල මාස ගානෙකින් කොල්ල රට ගිහිං සෑහෙන කට්ටක් කාල එයාට ඕනේ විදිහෙම ජොබ් එකකුත් සෙට් කරන් දැන් අර කෙල්ලවම බැඳලා සතුටින් ඉන්නව :)
      කෙල්ලගේත් හොඳේ කියන්නේ කොල්ල රට ගිහිං අවුරුදු ගාණකින් ආයේ එනකම්ම පතාගෙනම හිටිය, වයස යනවා කියල ගෙදරින් කුනු කුනු ගාද්දිත්...

      Delete
    2. @ හෙන්රි අයියා

      ඔන්න නොතේරිච්ච එකට අමා අක්කා උත්තර දීලා තියෙනවා. වෙස්ට්ලිගේ උත්තරේ ලඟින් කර්තෘතුමා මෙන්න මෙහෙම කියලා තියෙනවා වරහන් ඇතුලේ: "I'm going to America. To seek my fortune." (This was just after America but long after fortunes.)

      දැන් අයියට තියෙන්නේ, තාත්තා එහෙම සංස්කරණය කරලා කියලා දීපු කතන්දර අපිට කියවන්න අර ඩෙනිමේ ලියන එක. :D

      @ අමා අක්කා

      අදහන්න වටින කපල් එකක්නේ. :)

      Delete
    3. දෙපළටම ස්තුතියි. මට එහෙම හිතුනේ මේකයි. යුරෝපයෙන් අමෙරිකාවට ගිය සංක්‍රානිකයෝ සාමාන්‍යයෙන් ආපහු එන්න හිතාගෙන ගිය අය නෙවෙයි. එයාලා ගියේ අර කිව්ව විදියට වාසනාව හොයාගෙන, අලුත් ලෝකයක් කරා. අමෙරිකානු ජනගහනයෙන් වැඩි දෙනෙක් එහම ගිය අයගෙන පැවතෙන්නෝ. අන්න ඒකයි.

      Delete
  2. සිසී ගේ පරිවර්තනය ඉතාම දක්ෂ විදිහට කරලා කියන්ට පුළුවනි! මම පොත කියවල නැති උනත්, මූවි එකේ තියෙන දඟකාර ගතිය, සියුම් තැන් අල්ලන ගතිය මේ ලිවිල්ලෙත් තීනවා.
    Well done!

    ReplyDelete
  3. බොට තිබ්බෙ බටර්කප් වෙනුවට වෙඬරුබඳුන කියල දාන්න...එහෙම ලිව්වනම් එනව අමුතු ආතල් එකක්..;)

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ ඉතිං! ඒ ළමයට ඒ නම දාලා තියෙන්නේ ඔය වෙඬරු බඳුනක් හින්දා නෙවෙයි අනේ, මෙන්න මේ ලස්සන චූටි කහ පාට මල හින්දා. :P

      Delete
    2. බටර්කප් සිංදුව දාගෙන නටමුද කට්ටිය...
      ලා ලා ල ලා..
      Build me up Buttercup

      Delete