60. කාර්යබහුල දිනයක්...02



උදේ කෑම වේලෙන් පස්සේ ආපහු සාමය උදා උනා. විලියම්ගේ තාත්තා රොබර්ට් අයියා එක්ක ඇවිදින්න ගියා. නැන්දලා තුන් දෙනා මැද සාලයේ ගිනි මැලය වටේට ඉඳගෙන මැහුම් ගෙතුම් පටන්ගත්තා. ඒ තමයි නැන්දලාට තියෙන ලොකුම රාජකාරිය - මැහුම් ගෙතුම්. හැම නැන්දා කෙනෙක්ම නොවැරදීම මැහුම් ගෙතුම් කරනවා.

පල්ලියේ දේව මෙහෙය තියෙන වෙලාව ගැන ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන් හොයලා බැලුවා.
"කරදර වෙන්න එපා," විලියම්ගේ අම්මා කිව්වා. "දේව මෙහෙය තියෙන්නේ දහයාමාරට. පුස්තකාල කාමරේ ඔරලෝසුවෙ දහය වදින කොට ලෑස්ති උනානම් හොඳටම ඇති."

සාමය... සන්සුන් බව... නිහඬතාවය. විලියම්ගේ අම්මයි අක්කයි කුස්සියේ ඉඳගෙන එදා දවසේ සංග්‍රහ වලට සූදානම් වෙනවා. මැද සාලයේ ඉඳගෙන නැන්දලා මැහුම් ගෙතුම් කරන අතරේ එයාලගෙ සහෝදරියෝ ළමයි හදලා තියෙන වැරදි විදිහ ගැන කතා වෙනවා. අන්න, නැන්දලාගේ තවත් රාජකාරියක්.

කාලය සතුටින් සමාදානයෙන් ගතවෙලා ගියා. විලියම්ගේ අම්මා මැද සාලයට ඇවිත් එබිලා බැලුවා.
"මං හිතුවේ ඔයගොල්ලෝ පල්ලියට ගිහින් ඇති කියලා," අම්මා කිව්වා.

"තාම දහය වැදුනේ නෑනේ."

"ඒත් -- දැන් වෙලාව එකොළහයිනේ!"

ඊලඟට ඇහුණේ තැතිගැන්මෙන් හුස්ම හිර වෙන හඬක්.

"ඒත් ඔරලෝසුවෙන් සද්දයක් ආවෙම නෑ!"

තරහෙන් පිපිරි පිපිරී ඒ හැමෝම පුස්තකාල කාමරේට ගියා. සාමයයි නිහඬතාවයයි ඒ කාමරේත් පිරිලා තිබුණා. බිම වාඩි වෙලා 'කොල්ලන්ගේ වැඩ' පොත දිහා ඔරවගෙන බලාගෙන හිටියේ විලියමුයි ජිමීයි. ඒ දෙන්නා වටේට බිම පුරා බොහොම අශෝභන විදිහට විසිරිලා තිබ්බේ ඔරලෝසුවේ සුන්බුන්.

"විලියම්! මොකද ඔය කරන්නෙ???"

විලියම් උල් වෙච්ච මූණ උස්සලා බැලුවා.

"මේකෙ කෑලි තියෙන විදිහ හරි නෑ," එයා කිව්වා, "ඒක මෙච්චර කල් තිබිලා තියෙන්නෙ වැරදියට. අපි මේ ඒක හදනවා. ගොඩ කාලෙකින් ඒක හදන්න අතවත් තියලා නැද්ද කොහෙද. මං දන් නෑ මේක මේ වෙනකල් කොහොම වැඩ කළාද කියලා. හොඳ වෙලාවට අපිට මේක හම්බුනේ. ඒකෙ කෑලි තියෙන විදිහ වැරදියි. මං හිතන්නෙ ඒක හදලා තියෙන්නෙම වැරදියට. මේක හරියට හදන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙයි. ඉතිං ඔයගොල්ලෝ ඔහොම කළුවර කරගෙන හිටගෙන ඉන්න කොට අපි කොහොමද මේක හදන්නේ?"

"ඒකනෙ," ජිමීත් එකඟ උනා. "ඔරලෝසුවක් හදන එක කොච්චර ලොකු වැඩක්ද!"

"විලියම්!" අම්මා ගෝරනාඩු කළා, "පේනවද ඔය ඔරලෝසුව විනාස කරලනේ. තාත්තා දැනගත්තොතින් එහෙම?"

"බලන්න, මේ දැති රෝද වැරදියි," විලියම් පරදින්න ලෑස්ති නෑ. "පේනවද? ඊලඟට මෙන්න මේ දැති රෝදෙ අඩය උඩ හරියට හිටින්නෙ නෑ -- මේ පොතේ තියෙන විදිහට ඒක තියන්න බෑ. මේක හරියට හදන්න තවත් කෑලි ගලවලා බලන්න වෙයි. මටනං පේන්නේ මේ ඔරලෝසුව හදලා තියෙන්නෙ ඔරලෝසු ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්. මට පේන්නේ---"

"කට වහගන්නවා විලියම්!"

"ඔයගොල්ලෝ එන්න කලින් අපි කට වහගෙන තමයි හිටියේ," ජිමී වහාම කිව්වා. "ඔයගොල්ලොනේ ඇවිල්ලා අපිට කරදර කළේ."

"ඕක ඔය තියෙන විදිහටම තියලා යන්නයි කිව්වෙ මෙතනින්," අම්මා සැර උනා.

"මේ කාටවත් තේරෙන් නෑනේ," විලියම් කතා කරන්න පටන්ගත්තේ තමන්ගේ රාජකාරිය ගැන ලොකු භක්තියකින්. "මේ දැති රෝද දෙක මේ කෑල්ල උඩ තියෙන්න ඕනෙ මේ විදිහට නෙමෙයි. පේනවනේ? මේ තියෙන විදිහ වැරදියි. අපි ඒක හද හද හිටියේ. අපි ඒක හද හද හිටියේ ඔයගොල්ලන්ටමයි," එයා කතාව ඉවර කළේ මූණ බෙරි කරගෙන. "අපි හැදුවෙ උදව් කරන්නයි. අනිත් අයව සතුටු කරන්නයි. ඔරලෝසු හරියට වැඩ කරන කොට ඕන කෙනෙක් සතුටු වෙනවා කියලනේ ඕන කෙනෙකුට හිතෙන්නේ. ඒත් ඉතිං ඔයගොල්ලන්ට ඕනෙ ඔරලෝසු වැරදියට වැඩ කරන්නනං ඉතිං මට කමක් නෑ."

'කොල්ලන්ගේ වැඩ' පොත අහුලගත්ත විලියම් ආඩම්බරෙන් එතනින් පිට වෙලා ගියේ ඒ තරම්ම ආඩම්බරයකින් එයාව අනුගමනය කරපු ජිමීත් එක්ක.

"විලියම්," ලුසී නැන්දා එයා ලඟින් යන්න ගිය විලියම්ට කතා කළේ බොහොම ඉවසිලිවන්තව. "මං නපුරු දෙයක් කියන්න කැමති නෑ. ඒත් මං හිතන්නෙ මේ නත්තල ඔයා නිසා මගේ ජීවිතේ නරකම නත්තල උනා කියන එක ඔයා හැමදාම මතක තියාගෙන ඉන්න එකක් නෑ කියලා."

"මදැයි!" ජේන් නැන්දා දුකෙන් මිමිණුවා.

විලියම් ලුසී නැන්දා දිහා බැලුවේ නැන්දාට පොළව පලාගෙන අතුරුදහන් වෙන්න හිතෙන තරමේ බැල්මකින්. 

දවල් කෑම වෙලාවේදී වැඩිහිටියෝ ඒගොල්ලන්ගේ සුපුරුදු මෝඩ විලාසිතාව අනුගමනය කරමින් කාලගුණයයි දේශපාලනෙයි ගැන කතා කර කර නිශ්ඵල විදිහට කාලය ගෙවා දැම්මා. ඒ අතරෙදී ලුසී නැන්දා ඒ වෙන කොටත් අඩු වෙලා නොතිබ්බ එයාගේ දුකයි සන්තාපයයි පළ කරන්න අමතක කළේ නෑ.

"මට හවස දේව මෙහෙයට උනත් යන්න බැරි කමක් නෑ," එයා කිව්වා. "ඒත් ඒක උදේ එක වගේ නෙමෙයි. උදේ දේව මෙහෙය වෙනස්. අන්න ඔව් වස්තුවේ තව ටිකක් දාන්න -- අර වෑංජනෙනුත් ටිකක් බෙදන්න. තව කළුකුම් ටිකක් තිබ්බත් කමක් නෑ. අනික හවස දේව මෙහෙයෙදි පූජකතුමා දේශනා කරන්නෙත් නෑ. ඒක කොයි තරම් ලොකු අඩුවක්ද. අල උඩට හොදි ටිකක් දාන්න හොඳ ළමයා වාගෙ. මට උදේ දේව මෙහෙයට යන්න බැරි වෙච්ච පළවෙනි වතාව තමයි මේ. ඒකෙන් මගෙ මුළු දවසම කාලකණ්ණි උනා."

නැන්දා දොස් නගන බැල්මකින් විලියම් දිහා බැලුවා. සාමාන්‍යයෙන් ඕනම විදිහේ බැල්මකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කමක් තිබ්බත් විලියම් මේ වෙලාවේ ඊට වඩා බොහොම වැදගත් වැඩකට මුල් තැන දීලා තිබ්බේ. එයා අතිශයින්ම කාර්ය බහුල වෙලා හිටියේ. අවුරුද්දකට වතාවක් විතරක් ලැබෙන කෑම වේලට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න එයා හිතිනුයි කටිනුයි දෙකෙන්ම ඇප කැප වෙලා හිටියේ.

"විලියම් අයියේ," බාබරා බොහොම හිත මිතුරු හඬකින් කතා කළා. "මට පුළුවන් හීන බලන්න. ඔයාටත් පුළුවන්ද?"

විලියම්ගෙන් උත්තරයක් ලැබුණේ නෑ.

"නංගිට උත්තර දෙන්න විලියම්," අම්මා කිව්වා.

කටේ පුරෝගෙන හිටපු කෑම ටික ගිලලා විලියම් විලාප හඬක් නැගුවා, "අම්මමනේ මට හැම තිස්සෙම කියන්නේ කටේ කෑම තියාගෙන කතා කරන්න එපා කියලා," එයා කිව්වා.

"ඉතින් ඒ කට කාලා ඉවර වෙලා කතා කරන්න පුළුවන්නේ."

"බෑ. ඒ කට ඉවර වෙච්ච ගමන් මට ඊලඟ කට කන්න ඕනේ," විලියම් ස්ථිරසාර හඬින් උත්තර දුන්නා.

"මදැයි!" ජේන් නැන්දා කිව්වා.

ඕනම කතාබහකට ජේන් නැන්දා සාමාන්‍යයෙන් සහභාගි වෙන්නේ ඒ වචනෙන්.

තමන් දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටපු නැන්දලා තුන් දෙනා දිහා උදාසීන බැල්මක් හෙලපු විලියම් ආපහු නිවීහැනහිල්ලේ තමන්ගේ කෑම පිඟානට නැවුනා.

විලියම්ගේ අම්මා ඉක්මණින්ම කතාව වෙන පැත්තකට මාරු කළා. අම්මා කෙනෙකුගේ වගකීම් එක්ක ආගන්තුක සත්කාර වල යෙදෙන එක සමහර වෙලාවට ඇත්තටම බොහොම අමාරු වැඩක්.

නත්තල් දා හැන්දෑව කියන්නේ විවේකයෙන් ගත වෙන වෙලාවක්. නැන්දලා තුන් දෙනා තමන්ගේ වැඩක් බලාගන්න වෙලාවක්. ලුසී නැන්දා පුස්තකාලයෙන් දේශනා පොතක් අරගෙන කාමරයට යන්න ගියත් අතර මගදී විලියම්ව දැකලා නතර උනා. "මේකවත් ඉතිං කියවනවා, වෙන මොනවා කරන්නද." නැන්දා විලියම්ට කිව්වා.

මේ වෙද්දී විලියම්ට ලුසී නැන්දාව පේන්න බැරි තත්ත්වයට පත් වෙන්න බොහොම ආසන්න වෙලා හිටියේ.

"නෝනා," පැයකට විතර පස්සේ කෝකියා ඇවිල්ලා විලියම්ගේ අම්මට කතා කළා. "බ්ලෙන්ඩරේ අතුරුදහන් වෙලා."

"අතුරුදහන් වෙලා?" අම්මා ඔළුවේ අතක් තියාගෙන ඇහැව්වා.

"සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා නෝනා. දැං කොහොමද මං රෑ කෑම හදන්නේ?"

"ඉන්න මං ඇවිත් බලන්නං."

අම්මයි කෝකියයි කුස්සියේ හැම අස්සක් මුල්ලක් නෑරම බ්ලෙන්ඩරේ හෙව්වා. ඒත් හම්බ උනේ නැති තැන විලියම්ගේ අම්මාට යමක් මතක් උනා. විලියම්ගේ අම්මා ඒ තනතුර දරපු අවුරුදු එකොළහටම හුඟක් දේවල් ඉගෙනගෙන තිබුණේ. අම්මා කෙළින්ම ගියේ විලියම්ගේ කාමරේට.

විලියම් හිටියේ බිම ඉඳගෙන. එයා ලඟ තිබුණේ 'කොල්ලන්ගේ වැඩ' පොත. ඒ වටේට වපුරලා තිබුණේ බ්ලෙන්ඩරේ කෑලි. කල්පනාකාරී බවෙනුත්, මහන්සියෙනුත් විලියම්ගේ මූණ ඇදිලා ගිහින්. අම්මා කාමරේට ඇතුල් වෙද්දී විලියම් ඔළුව උස්සලා බැලුවා.

"මේක මහ පුදුම බ්ලෙන්ඩරයක්නෙ," එයා කිව්වා. "මේකෙ කෑලි අඩුයි. මේක හදලා තියෙනවා වැරදියි---"

"දන්නවද," අම්මා ඉවසිල්ලෙන් කතා කළා, "දැං පැය බාගයක් තිස්සේ අපි මේක හොයනවා කියලා?"

"නෑනේ," විලියම් වැඩි උනන්දුවක් නැතිව උත්තර දුන්නා, "අපරාදේ, ඒ බව මට කිව්වනං මං කියනවනේ මං මේක හදනවා කියලා. මේක තියෙන හැටි වැරදියි," විලියම් දුකෙන් කියාගෙන ගියා. "මේකෙන් මුකුත් මට හදාගන්න බෑනේ. මේ බලන්න! මේ පොතේ තියෙනවා බ්ලෙන්ඩරේක කෑලි වලින් කෝච්චි සිග්නල් එකක් හදන හැටි. ඔන්න අහගන්න, ඒකෙ තියෙනවා 'ඔයාගෙ අම්මගෙන් බ්ලෙන්ඩරයක් ඉල්ල ගන්න---"

"ඔයා ඉතිං ඕක ඉල්ලලාද ගත්තෙ?" අම්මා ඇහැව්වා.

"ම්, කොහොමහරි මං අරගත්තනේ. ඒක මං කුස්සියටම ගිහිල්ලයි අරගත්තේ."

"කවුද ඔයාට ඒක දුන්නෙ?"

"කවුරුවත් මට දුන්නෙ නෑ. මං ගත්තා. මං හිතුවේ අම්මා කෝච්චි සිග්නල් එකක් දකින්න ආස වෙයි කියලා. ඕනෙම කෙනෙකුට හිතෙන්නේ ඕනෙම කෙනෙක් බ්ලෙන්ඩරේක කෑලි වලින් හදපු කෝච්චි සිග්නල් එකක් දකින්න කැමති වෙයි කියලනේ."

එයාගෙ කටහඬේ තිබුණේ මේ තරම් අපූරු දෙයක් ගැන උනන්දුවක් දක්වන්නේ නැති අයව තේරුම් ගන්න බැරි බවක්. "කොහොමත් අම්මා ලග තිබ්බ මේ බ්ලෙන්ඩරේ වැරදි එකක්. ඒකෙ කෑලි වැරදියි. මං මේ ඒවා මිටියෙන් තලලත් බැලුවා හරි හැඩේට එයිද බලන්න. ඒත් හරි ගියෙ නෑ. ඒවා හදලා තියෙන විදිහ වැරදියි."

විලියම්ගේ අම්මා හිටියේ විලියම්ට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි. "ඔය කෑලි ඔක්කෝම ටික අරගෙන ගිහිල්ල කුස්සියෙන් තියනවා!"

පඩිපෙළ ලඟදී විලියම්ට හම්බ උනේ දේශනා පොතත් අතින් අරන් යන ලුසී නැන්දාව.

"පොතේ තියෙන දේවල් කතා කරන වචන තරම් වටින්නෙ නෑ දරුවෝ," නැන්දා කිව්වා. "ලියපු වචන වල ඒ බලය නෑ. ඒවා ඇහෙන වචන තරම් හදවතට දැනෙන්නේ නෑ. ඒත් ඉතිං ඔයා දැං ඒ ගැන දුක් වෙන්න එපා."

විලියම් ඒ මොකවත් ඇහුණෙ නෑ වගේ යන්න ගියා.

තේ වෙලාවෙන් පස්සේ කවි කතා වාරයක් පවත්වන්න යෝජනා කළේ ජේන් නැන්දා.

"මේ පොඩ්ඩෝ සින්දු කියනවා අහන්න මට හරි ආසයි," ජේන් නැන්දා කිව්වා. "මේ හැමෝටම ලස්සන කවි එකක් හරි අනිවාර්යෙන්ම මතක ඇති."

බාබරා ලැජ්ජාවෙන්, ඒත් සතුටින් නැගිට්ටා.

"පුංචි දුඹුලු මල්ලියේ - ඔයා කවුලු වෙන්නද කැමති?
මංනං මගෙ අම්මා වගේ සුදු පොපි මලක් වෙනවා - ඔයත් වෙන්නකෝ පොපි මලක් මං වගේ!
අනේ ඔයාට ඕනෙ කහ මලක් වෙන්නද? ඔයා රත්තරන් පාට වෙලා උස ගියාම මට ඔයා නැති පාළුව දැනෙයි!
ඒත් මං මී මැස්සෝ එවන්නම් ඔයා ලඟට, හාදු දෙන්න - පුංචි දුඹුලු මල්ලියේ!"

වේගවත් අත්පොළසන් නාදය මැද්දේ ජම්බු ගෙඩියක් වගේ රතු වෙච්ච බාබරා ඉඳගත්තා.

ඊලඟට ජිමීව ඉඳං හිටපු මුල්ලේ ඉඳලා බලෙන්ම ඉස්සරහට තල්ලු උනා. මරණ දඬුවමට සූදානම් වෙලා තුවක්කු අතින් ගත්ත සෙබළු ඉස්සරහා හිටං ඉන්නවා වාගේ කෙළින් හිටගෙන ඇස් පියාගෙන ජිමී ගයන්න පටන් ගත්තා --

"පුංචිකරුණාවල්පුංචිආදරවදන් මේලෝකෙලස්සනකරයි දිව්‍යලෝකෙවාගේ." මුළු කවියම එක හුස්මකින් පිට කරපු ජිමී හති දමමින් වාඩි උනා.

ඒ වතාවෙදි ලැබුණේ කළින්ට වඩා ටිකක් අඩු අත්පොළසන් නාදයක්.

"දැන් විලියම්!"

"මං ඕවා මුකුත් දන්නෙ නෑ," එයා කිව්වා.

"මොකද නැත්තේ, ඔයා දන්නවනේ," අම්මා කිව්වා. "ඔයා ගිය වාරෙදි ඉස්කෝලෙ ඉගෙනගත්ත එක කියන්නකෝ. නැගිටලා ලස්සනට කියන්න."

විලියම් හෙමින් හෙමින් නැගිට්ටා.

"හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා," එයා පටන්ගත්තා. ඊලඟට නතර වෙලා කැහැලා, උගුර පාදලා ආයෙත් පටන්ගත්තා.

"-හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා-"

"ඉතිං කියන්ඩකො!" එයාගේ අයියා ඉක්මන් කරන කටහඬකින් මිමිණුවා.

"මං කොහොමද කියන්නෙ ඉතිං ඔහොම කතා කරද්දි?" විලියම් සැර උනා. "ඔහොම සැරින් සැරේ කියන්න කියන්න කියද්දි මං කොහොමද කියන්නෙ? ඒක කරන්න බෑනේ!"

ඊලඟට ආයෙත් පටන්ගත්තා. "හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා, අක්කා අර විදිහට හිනා වෙනවනං මං කවි කියන්නෙ නෑ. මේක විහිලු කවියක් නෙවෙයිනේ. එයා ඔය විදිහට හිනා වෙනවනං මං තව එක වචනයක්වත් කියන්නෙ නෑ."

"ඊතල්!" අම්මා දොස් පවරන හඬින් අක්කාට කතා කළා. ඊතල් එයාගෙ පුටුව සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරවගත්තා විලියම්ට එයාගෙ මූන පේන්නෙ නැති වෙන්න. විලියම් ඒ දිහා බොහොම සැකෙන් ඔරවගෙන හිටියා.

"දැං කියන්නකො පුතේ," අම්මා කිව්වා, "දැං ආයි කවුරුවත් ඔයාට කරදර කරන්නෙ නෑ."

විලියම් ආපහු වතාවක් කැහැලා උගුර පාදලා පටන්ගත්තා.

"-හෙස්පරස් නැව සීත සුළං ඇති මූදේ ඇදී ගියා-"

ඊලඟට ආපහු නතර වෙලා කමිස කර හදලා මූණට වැටිලා නලියමින් තිබ්බ කෙස් රොදක් පිටිපස්සට කළා.

"-කප්පිත්තා ගෙනත් තිබ්බා---" ජේන් නැන්දා කරුණාවන්ත හඬින් කවියේ ඉතිරි පදය මතක් කළා.

විලියම් කෙළින්ම නැන්දා දිහාවට හැරුණා.

"මං ඒක කියන්නනේ හිටියේ, ඇයි මට පාඩුවේ ඒක කියන්න දුන් නැත්තේ," එයා කිව්වා. "මං ටිකක් මතක් කළා විතරයි. සමහර වෙලාවට එහෙම මතක් කරන්න වෙනවනේ. ඒ වගේ දිග කවියක් එහෙම මතක් නොකර කියන්න පුළුවනැයි? හරි, මං දැං ඒ වෙනුවට ඔයගොල්ලන්ට මැජික් එකක් කරලා පෙන්නන්නං," එයා නො ඉවසිල්ලෙන් කිව්වා. "මං මගෙ පොතෙන් ඉගෙන ගත්තෙ. ඉන්න මං ගිහින් ලෑස්ති වෙලා එන්නං."

විලියම් කාමරයෙන් පිට උනා. විලියම්ගේ තාත්තා සාක්කුවෙන් ලේන්සුව එළියට අරන් නළල පිහදාගත්තා.

"මේ," තාත්තා හෙමිහිට කතා කළා, "මේ සංදර්ශනේ තව කොච්චර වෙලා විතර තියෙයිද?"

මේ වෙලාවෙදි විලියම් ආපහු ආවා. එයාගෙ කලිසම් සාක්කු මොනවයින්දෝ පිරිලා තිබුණා. එයාගෙ අතේ ලොකු ලේන්සුවක් තිබුණා.

"මේ තියෙන්නේ ලේන්සුවක්," එයා ලේන්සුව පෙන්නලා කිව්වා. "මේක ඇත්ත එකක්මද කියලා දැනගන්න ඕනෙනම් ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. දැං මට සිලිමක් ඕනේ," විලියම් බලාපොරොත්තු සහගතව ප්‍රේක්ෂකයන් දිහා බැලුවා. ඒත් කිසි කෙනෙක් හෙල්ලුනේවත් නෑ. "හරි එහෙනං පැන්සයක් උනත් කමක් නෑ," එයා කිව්වේ ටිකක් කළකිරුණු හඬකින්. රොබර්ට් අයියා පැන්සයක් සාලෙ මැද්දෙන් විසි කළා. "හරි, ඔන්න මං දැන් මේ කාසිය ලේන්සුව ඇතුලට දානවා. මේ පේනවනේ? කාටහරි ඇවිල්ල බලන්න ඕනෙනම් ලේන්සුව ඇතුලේ කාසිය තියෙනවද කියලා ඇවිත් බලන්න පුළුවන්. ඊලඟට," විලියම් අනිත් පැත්ත හැරිලා සාක්කුවෙන් මොකද්දෝ එළියට ගත්තා. තව විකාර අඟර දඟර කීපයකට පස්සේ විලියම් ආපහු ප්‍රේක්ෂකාගාරය දිහාවට හැරුණේ ලේන්සුව අතින් තද කරගෙන. "දැන් ඔන්න හොඳට බලන්න," එයා ඔවුන් ලඟටම ගියා, "ඔයගොල්ලන්ට පෙනෙයි අර සිලි-- මං කිව්වෙ පැන්සය," විලියම් කතා කරන අතරේ රොබර්ට් අයියා දිහා ඔරවලා බැලුවා, "බිත්තරයක් වෙලා. ඇත්තම බිත්තරයක්. කාට හරි ඕනෙනම් ඒක් ඇත්තම බිත්තරයක්ද කියලා---"

ඒක ඇත්තම ඇත්ත බිත්තරයක්. ඒ බව ඔප්පු කරමින් ඒක සද්දෙකුත් එක්ක බිඳිලා ඇතුලේ තිබ්බ බිත්තර සාරු බුමුතුරුණ උඩත් එවැන්ජලින් නැන්දගේ ඇඟ පුරාමත් ඉහිරුණා. ඒ එක්කම දෝෂාරෝපණ කුණාටුවක් හමාගෙන ගියා.

"කලින් අර ජරා සතා," එවැන්ජලින් නැන්දා අඬන්න ඔන්න මෙන්න, "දැං මේ ජරාව මගේ මුළු ඇඟ පුරාම. හොඳ වෙලාවට මං මේ ගෙදර පදිංචි කාරයෙක් නොවුනෙ. අවුරුද්දටම එක දවසක් හොඳටෝම ඇති!"

"මදැයි!" ජේන් නැන්දා කිව්වා.

"අළුත්ම බිත්තරයක්නේ අරගෙන තියෙන්නේ," ඊතල් අක්කාත් තරහින් කිව්වා.

විලියම් තරහෙන් සුදුමැලි වෙලා හිටියේ.

"මං කළේ මේ පොතේ තිබ්බ දේ. මෙන්න බලන්න. ඒකෙ තියෙන්නේ: 'බිත්තරයක් අරගෙන සාක්කුව තුළ සඟවාගන්න.' මං එහෙම තමයි කළේ. මට පේන්නේ," එයා ඇඹුල් වෙච්ච මූණෙන් කිව්වා, "මට පේන්නේ මේකෙ තියෙන්නේ 'කොල්ලන්ගේ වැඩ' නෙමෙයි 'කොල්ලන්ට බැරි වැඩ.'"

විලියම්ගේ තාත්තා හෙමිහිට පුටුවෙන් නැගිට්ටා.

"අන්න හරි මගෙ පුතේ, හරියටම හරි," බොහොම ආචාරශිලීව එහෙම කියපු තාත්තා විලියම් තදින් බදාගෙන හිටපු පොත අරගෙන බිත්තියේ හයි කරලා තිබ්බ පොඩි අල්මාරිය ලඟට ගියා. ඒ අල්මාරියේ තව ඒ විදිහට රාජසන්තක වෙච්ච වතුර විදින තුවක්කුවක්, හොරණෑවක්, කැටපෝලයක් සහ මවුත් ඕගනයකුත් තිබුණා. තාත්තා අල්මාරිය අරිද්දී ඇහැට අහු වෙච්ච ඒ පෞරාණික වස්තු සම්භාරය විලියම්ගේ දුක තවත් වැඩි කළා.

"නත්තල් දවසෙවත්..."

විලියම් තමන්ගේ නිහඬ කෝපයේ ඇලී ගැලී ඉන්න අතරවාරෙදී පල්ලියට ගිහින් හිටපු ලුසී නැන්දා ආපහු ආවා.

"පූජකතුමා දේශනා පැවැත්වුවේ නෑනේ," නැන්දා කිව්වා. "උදේ දේව මෙහෙය හරිම ලස්සනට තිබ්බා කියලා හැමෝම කිව්වා. මං කිව්වෙ, විලියම් ඒක ගැනම හිත හිත දුක් වෙන්න ඕනෙ නෑ. ඒත් එයා නිසා මට නැති උනේ බොහොම වටින දෙයක්."

"නියමයි විලියම් අයියෙ!" ජිමී නිදිමතේ කෙඳිරුවා.

එදා රෑ නිදාගන්න ලෑස්ති වෙලා ඇඳුම් මාරු කරන අතරවාරයේ මල් ලියකම් වලින් වට වෙච්ච කියමන ආපහු විලියම්ගේ ඇහැට අහු උනා: "කාර්යබහුල දිනයක් යනු සතුටින් පිරි දිනයකි."

"විකාර," එයා කේන්තියෙන් තමන්ටම කියාගත්තා. "මහ වැඩකට නැති විකාර කතාවක්."

~සමාප්තයි~


පින්තූරෙ හොයාගත්තෙ මෙන්න මෙතනින්: http://just-william.net/

13 comments:

  1. / "මදැයි!" ජේන් නැන්දා කිව්වා. /

    / ඕනම කතාබහකට ජේන් නැන්දා සාමාන්‍යයෙන් සහභාගි වෙන්නේ ඒ වචනෙන්. /

    " Dear, dear! " murmured Aunt Jane.

    This was Aunt Jane's usual contribution to any conversation.

    ජේන් නැන්දගෙ " Oh, dear " කෑල්ල ඔයා පරිවර්තනය කරන්නෙ කොහොමද කියල බලන්න මම ආසාවෙන් හිටියෙ....මගෙ හිතේ තිබ්බ වචනෙ " හප්පච්චියේ!! " එහෙම නැත්තං " සංදුක්කාරේ!! " හෙහ්, හෙහ්, දෙවෙනි එක මයි ඩියරස්ට් ග්‍රැනීගෙ වචනයක්...:) ඒත් මගෙ වචන දෙකටම වැඩිය ඔයාගෙ වචනෙ ගැලපෙනව " මදැයි!!! "

    " මදැයි " ජේන් නැන්දා කම්මුලට අතක් තියාගෙන කිව්වා...හෙහ්, හෙහ්, මේ ලියන ගමන් පස්ස හැරිල බැලුවම ජේන් නැන්ද ඉන්නව මගෙ ඇඳේ වාඩිවෙලා කම්මුලේ අතකුත් තියාගෙන.....හෙහ්, හෙහ්,

    පරිවර්තනයකදි මුල් කෘතියෙ රසය නොමරා පාඨකයට ලබාදෙන එක අමාරු වැඩක්. ඒක ඇත්තටම හිතේ ආසාවට කලොත් මිසක හරියන්නෙ නෑ. Henry the great, Siththami the brilliant..They are doing it for passion and the love of it…...අන්න ඒකයි ඒ පරිවර්තනවල සාර්ථකත්වයේ රහස.

    වාණිජ පරමාර්ථයෙන් මාසෙකට දෙකක් ගානෙ දැං එලියට දාන පරිවර්තන..හපොයි...ඒ ගැන නං කතා කරල වැඩක් නෑ...සිංහල කියවිල්ලයි ඉංග්‍රීසි කියවිල්ලයි දෙකම ඉත්තේරුවෙන්ම එපා වෙනව එව්ව කියෙව්වම.

    අපේ කාලෙ එකක් තිබ්බෙ අද වගෙ පඳුරු ගානෙ පරිවර්තකයො හිටියෙත් නෑ සතියකට දෙක ගානෙ පරිවර්තන එළියට ආවෙත් නෑ. ඉතාම බහුශ්‍රැත සහ පරිණත බුද්ධිමතුන් තමයි එදා පරිවර්තන කාර්යයෙ යෙදුනෙ.ඔවුන්ගෙ පරිවර්තන කියෙව්වම මුල් ඉංග්‍රීසි කෘතිය හොයාගෙන කියවන්න අපිට ඇති උනේ පුදුමාකාර නොඉවසිල්ලක්.

    / විලියම්ගේ අම්මා ඒ තනතුර දරපු අවුරුදු එකොළහටම හුඟක් දේවල් ඉගෙනගෙන තිබුණේ. /

    William's mother had not been William's mother for eleven years without learning many things

    Donno 'ow m gonna stop lafink…jus awfully briliant aint it? Don’t think many would think of that..not many..I'm sure

    පොඩි තුන්දෙනාගෙ කවි තුනක් මරු....මම මේ ඔක්කොම අත ඇරල ආයෙම අර ඔයා එවපු විලියම් ඊ බුක් එක කියවන්ට පටන් ගත්ත.

    How can I get any work done when you keep posting such wunderful things? I can't naturally..can I? So am going to read allof it first :) :)

    ***********************

    Thanks dear again. It was such a wonderful gift :) :)

    ReplyDelete
    Replies
    1. අයියගේ ලස්සන අදහසට, දිරිමත් කිරීමට ස්තූති කරන්න වචන නෑ මට.

      /*පොඩි තුන්දෙනාගෙ කවි තුනක් මරු....*/

      මට ඒ හරිය ලියද්දි මතක් උනේම අයියගේ 'අයිසලිෆා බ්‍රදල් ජොනා' පොයම් එක. :D :D :D

      Delete
  2. එළම කිරි. අවංකවම කියන්නේ සිත්තමී, මේ කතා කොටස් දෙක මම උපරිමේට රස වින්දා. ඔය රවියා කියනවා වගේ "මදැයි!" කියන එක මොන වචනේ පරිවර්තනය වෙන්න ඇද්ද කියලා මම දීපත් එක්කත් කතාකලා. ඒකට උත්තරේ ලැබුනා රවියගේ කමෙන්ට් එක කියෙව්වට පස්සෙ. තෑග්ගේ අයිතිකාරයා තරම්ම රසයක් අහක හිටපු අපිත් වින්දා, හරියට විලියම් පස්සේ තමන්ටම අයිතිවෙන තෑගි අනිත් අයට දුන්නා වගේ.

    මම අර කලින් කිව්වා වගේ ඔය විලියම්ගේ කතා පොත් වගයක් මමත් කියවලා තියෙනවා ඉස්සර. මෑතකදි නෙවෙයි. මම මෙතන ඉඳන් ඔයාගේ කතාවේ කලින් කොටසේ කමෙන්ට් වලිත් කොටස් පාවිච්චි කරනවා.

    >>ඉනිඩ් බ්ලයිටන්ගේ කතාත් මම කියවලා තියෙනවා. ඉංග්‍රීසියට හොර පොඩි කාලේ පුස්තකාලෙදි ඉංග්‍රීසි පොත් රාක්ක පැත්තට අම්මා කියන නිසාම හරි හැරෙන්න හිතුණොත් ගන්නෙම ඉනිඩ් බ්ලයිටන්ගේ පොතක් තමයි. ගෙදර තිබුණ විලියම්ගේ පොත තාත්තා හොයලා දුන්නේ ඊට ගොඩාක් පස්සේ. කතන්දරේ ලස්සන උනාට ඒ චූටි අකුරු එක්ක මහත පොතට ඒ කාලෙදිනම් මගේ හිතේ එච්චර කැමැත්තක් ඇති නොවෙන්න ඉඩ තිබ්බා. ඊට පස්සෙ තාත්තා හින්දාම හම්බ උන වීරයා තමයි බීගල්ස්. :)<<

    මම ඊනිඩ් බ්ලයිටන්ගේ පොත් ඔක්කොම වගේ (අර පුංචිම ලමයින්ට ලියපු පොත් හැර) කියවලා තියෙනවා. ඒ පොත් අපේ තාත්තත් කියෙව්වා. දීපගේ අම්මා විතරක් නෙවෙයි, අත්තම්මත් කියවලා තියෙනවා කිව්වාම විස්වාස කරයිද ඔයා?

    බිගල්ස්? වාව්! ඔන්න මම තවත් කැමතිම චරිතයක්. බිගල්ස් ගුවන්යානා පදවන්න ඉගෙනගත්තේ පළවෙනි ලෝකෙ යුද්දෙ කාලේ. ඒ කාලේ Royal Air Force කියලා එකක් තිබිලත් නෑ. ඒ ප්ලේන් වල් ප්‍රොපෙලර් එකට දාන කැස්ටර් ඔයිල් පයිලට්ගේ මූණ පුරාම විසි වෙනවලු. පියාඹලා ආපහු එනකොට මූණ කලූ වෙලාලු තෙල් වලට. මම ආසම කතා සෙට් එකක්. මතකද ජින්ජර් එහෙම?

    මම මේ ගිය සතියෙ ගෙනාවනේ බිගල්ස් කොමික් දෙකක්. ඔයා කිව්වා නේද විලියම්ගේ චිත්‍රවල ඩීටේල් ගැන? ඔයාට පිස්සු හැදෙයි ඒ කොමික් සීරීස් එකේ චිත්‍රවල ඩීටේල්ස් දැක්කා නම්! මම හිතන්නේ සෑහෙන කාලයක් ගත කරනවා ඇති ඒවා අඳින්න.

    රවියෝ, මමත් හැඩ්ලි චේස් රසිකයෙක් බිග් ටයිම්! මම ඉස්සෙල්ලම කියෙව්වේ Mission to Siena. ඒ මදිවට මගේ කලෙක්ෂන් එකක් තියෙනවා. නමුත් ඉල්ලන්නෙපා දෙන්නෑ :D

    මම ආසම හැඩ්ලි චේස් පොත. The World In My Pocket ඊ ලඟට This is For Real. ඕකට අපි ඉස්සර කියන්නේ දිස් ඉස් පෝරියල් කියලා.

    සිත්තමී, බොහොම ස්තුතියි මේ රසවත් කතාව අපිත් එක්ක බෙදාගත්තට. මම දන්නවා වෙච්ච මහන්සිය. නමුත් මෙතනින් නවත්තන්න එපා මේ ව්‍යාපෘතිය. අල වගේද ගෝවා! ගණං වගේද විලියම්ස්.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හැඩ්ලි චේස් පොත් ඔක්කොම වගෙ මචං මම කියවල තියනව.World in my pocket කතාවෙ නේද අර සල්ලි කෝටි ගානක් ප්‍රවාහනය කරන Armoured truck එකක් කොල්ල කන්නෙ. අර ලස්සන කෙල්ලක් ඇක්සිඩන්ට් වෙල පාර හරහ වැටිල ඉන්නෙ. ට්‍රක් එකේ ඩ්‍රයිවර් ඉන්දැද්දි අනික් ගාඩ් යනව කෙල්ල ගාවට. කෙල්ල ඌට වෙඩි තියනව. එතකොටම අනික් ඩ්‍රයිවර්ටත් වෙඩි තියනව තව එකෙක්... ඒත් මිනිහ වෙඩි කාගෙන ආමර්ඩ් කවර් එක ඇක්ටිවේට් කරනව. ආමර්ඩ් කවර් එක ඔක්සි-ඇසිටලීන් කටර් එකකින් කපන්න වෙනව සල්ලි ටික ගන්න. ඒත් අන්තිමට මට මතක විදිහට හොර ගෑන්ග් එක ඔක්කොමල මැරෙනව. පොඩි ලව් ස්ටෝරි එකකුත් යනව ඔය අස්සෙ නේද?

      සිත්තරේ ගියා මතකද සුසිල් ප්‍රේමරත්නගෙ කතාවක් ජූඩි කියල. ඒකත් මචං චේස්ගෙ කතාවක් No Orchids for Miss Balndish . අනික ඔය ජනක රත්නායක ඇන්ද තරමක් ඇන්දෙ චේස්ගෙ කතා. මට ඔය මනුස්සය එපාම උනෙ ඒ නිසා. අඩුගානෙ කියාපංකො අහවලාගෙ අහවල් කතාව ආශ්‍රයෙන් කියල. එහෙම කිසි දෙයක් නෑ. ඒ දවස්වල මම ලොක්ක වගෙ යාළුවන්ට කියනව ලබන සතියෙ කතාවෙ මොකක්ද වෙන්නෙ කියල....:) :)

      චේස් ගොයිය ඔය ඇමරිකාව ගැන කතා ලිව්වට මිනිහ ජීවිතේට ඇමරිකාවට ගිහිල්ල නැහැල්ලු. ඇමරිකාවෙ රෝඩ් මැප් එකක් ලඟ තියාගෙන ඇමරිකාව ගැන විස්තර තියන පොත් කියවලලු මනුස්සය ඔය පොත් කන්දරාවම ලිවෙ. හෙහ්, හෙහ්,

      Delete
    2. ගොඩාක් ස්තූතියි ඩූඩ් අයියේ.

      /*මම ඊනිඩ් බ්ලයිටන්ගේ පොත් ඔක්කොම වගේ (අර පුංචිම ලමයින්ට ලියපු පොත් හැර) කියවලා තියෙනවා. ඒ පොත් අපේ තාත්තත් කියෙව්වා. දීපගේ අම්මා විතරක් නෙවෙයි, අත්තම්මත් කියවලා තියෙනවා කිව්වාම විස්වාස කරයිද ඔයා?*/

      ඒ පොත් කියවන්න හුරු උනාම මම සීක්‍රට් සෙවන් පොත් පෙළයි, නංගි ෆේමස් ෆයිව් පොත් පෙළයි එකතු කරන්න ගත්තෙ තරඟෙට. පරම්පරා ගාණකට රස විඳින්න පුළුවන් සාහිත්‍යයක් නිර්මාණය කරපු ඒ උදවිය ලෝකයට කොච්චර වටිනවද, නේද?

      /*මතකද ජින්ජර් එහෙම? */

      ජින්ජර්ව අමතක වෙන්නෙ කොහොමද. බීගල්ස්, ඇල්ජි, ජින්ජර් චරිත තුනෙන් මම ආසම චරිතෙ ජින්ජර්. මුල කාලෙ පොත් පෙළේ එයා නෑ. පස්සෙනෙ එයාව බීගල්ස්ට හම්බවෙන්නෙ. මම මුලින්ම කියෙව්වෙ ජින්ජර් ඉන්න පොතක්. දෙවෙනියට කියවන්න හම්බුනේ එයා නැති මුල් කාලෙ පොතක්. ඒක හරියට කැප්ටන් හැඩොක් නැති ටින් ටින් කතාවක් කියෙව්වා වගේ.

      ඔයාලා හැමෝම මේ කතාව රසවිඳපු එක ගැන මට ගොඩාක් සතුටුයි. මම පරිවර්තනය කළෙත් ඒ තරම්ම සතුටකින්, ආසාවකින්. ඒත් අයියා කියලා තියෙන විදිහට දිගටමනම් මේ වැඩේ කරන්න විදිහක් නැති වෙයි. මේ කතා පෙළ දැනටම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවනේ.

      හැඩ්ලි චේස් ගැනනං මොකවත් කියන්න හැටියක් නෑ, මං එයාගෙ කතා කියවලා නැති නිසා.

      Delete
  3. වැඩේ කියන්නේ මටත් අහුවුනේම ඔය "මදැයි" කියන වචනේ... මාත් හිතුවා මොකද්ද ඉංග්‍රීසි වචනේ කියලා... හැබැ‍යි... එක එක ඒවා කල්පනා කරලා මට හිතුනා 'oh, dear' වෙන්න ඇති කියලා. ඒත් ඒ වචනේ හැමවෙලේමත් මදැයි කියන එකට ගැලපෙන්නෙ නෑ. ඒත් ජේන් ආන්ටිගේ යූෂුවල් ලයින් එක කියලා තියන නිසා 'මදැයි' හොඳට ගැලපෙනවා. ඒ කියන්නේ එයා එක කියන්නේ ෂොක් වෙලාවත් සප්‍රයිස් වෙලාවත් නෙමෙයි... නිකං සාකෑස්ටික් විදිහට. අන්න ඒකයි වචන වලට වඩා හැඟීම පරිවර්තනය කරන එකේ වැදගත් කම.

    සිරසේ සබ් ටයිටල් එක්ක ගිය කතාවක කෙල්ලෙක් ගවුමක් ඇඳලා කණ්ඩාඩියෙන් හැඩ බලනවා. එයාගෙ මල්ලි ඔලොක්කුවට අහනවා, හව් ඉස් යුවර් ෆිගර් කියලා... සබ් ටයිටල් යනවා "ඔයාගෙ ගණන කොහොමද?" කියලා.

    මතක ඇතිනේ... එකේ x-files. Truth is out there කියන එකට සිංහලෙන් දාන්නේ 'සත්‍ය ඇත්තේ එතැනයි' කියලා. මට නම් මේක හරියන්නෙම නෑ... හැබැයි හරියන වචනයක් අහු උණෙත් නෑ... ඔය out there කියන එකෙන් හැඟෙන්නෙ පවතිනවා, තියනවා වගේ අදහසක් මට හිතෙන්නෙ. මොකද සිත්තමීට, හෙන්රි ට, රවි අයියට හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මම හිතුවා තිසර මෙතන කමෙන්ට් කරයි කියල ඔය වචනේ ගැන.

      උඹ අන්තිමට අහපු The truth is out there කියන catch phrase එක ගැන කිව්වොත්, මම හිතන්නේ, " හිතන්නේ" ඈ, ඕකෙන් අදහස් වෙන්නේ සත්‍යය පවතිනවා, අපට සොයන්නයි තියෙන්නේ කියන එක නැතිනම් සත්‍යය මේ මෙතනම නැතත්, පේන්න නැතත් සැඟවිලා තියෙනවා කියන එක වෙන්නැති.

      නමුත් මචං මට නම් ඕකෙන් හැ‍ඟෙන්නේ, යකෝ රෑට එලියට බහින්නේ බලාගෙන, අර භයානක දේවල් උඹ එනකල් එලියේ සැරිසරනවා (lurking in the dark) වගේ. ඉස්සර පොඩි එවුන් බාත් රූම් එකට යනකොට මම බැරෑරුම්වට ඕක කියලා බලනවා. මුං කෑ ගහල අම්මට කියනවා, තාත්තා බය කරනවා කියලා. මමත් රෑට කඩේ යන්න එලියට බහිනකොටම, මුං The truth is out there කියලා කියනවා. ඇත්තටම පිටිපස්සෙන් සද්දයක් ඇහුනත් පොඩි තිගැස්මක් ඇතුවෙනවා ඕක මතක් වෙලා, හාහ් හාහ්! :D

      Delete
    2. තිසර,

      The truth is out there කියන Phrase එක ගැන හෙන්රිගෙ මතයට එකඟයි. මටත් හිතෙන්නෙ එතන කියන්නෙ " සත්‍යය අප අවට පැතිර ඇත. ඔබට සත්‍යයය දැනගැන්මට අවශ්‍යනම් ඒ සොයා යා යුතුය " කියනව වගෙ තේරුමක්.

      Delete
    3. තිසර අයියගේ අදහස් දැක්වීමටත් ගොඩාක් ස්තූතියි. 'මදැයි' කියන වචනේ ඇත්තටම මම තිසර අයියා කිව්වා වගේ ඒ සිදුවීමට අදාලව ඇති වෙන හැඟීමෙන් තමයි යොදාගත්තේ. ජේන් නැන්දා ඒ සංවාද වලට එකතු වෙන විදිහේ මට දැනුණේ උදාසීන බවක්. ඉතින් ඒ යෙදුම සාර්ථක වෙච්ච එක ගැන මට සතුටුයි.

      X-Files නම් මම ආසම නැති කතා පෙළක්. මට මතකයි බදාදා රෑ තමයි ඕක ටී වි එකේ ගියේ. අපේ නංගිනම් හරි ආසයි ඒකට. ඉස්කෝලේ යාළුවොත් ඉවරයක් නැතුව කියවනවා. ඒ උනාට මට ඒකෙ කතා බලපු සමහර දාට නින්ද යන්නෙත් නෑ. ඒ කාලේ මගෙ ෆේවරිට් Lois & Clark. :) The truth is out there කියන කියමන, X-Files කතා මාලාවත් එක්ක ගලපලා හිතුවාම මගේ හිතට යන්නෙම 'සත්‍යය ඇත්තේ පිටසක්වලයි' කියලා. :D :D :D ඒත් ඉතින් හරි විදිහට ගත්තාම අයියලා තුන් දෙනා ඒ ගැන කියලා තියෙන අදහස තමයි හරි.

      Delete
  4. කෝ බං මේ ගෙදර අයිති එකී? අපි මේ පාළු ගෙදර ඉස්තෝප්පුවේ ඉඳගෙන කොච්චර වෙලා හිටියද? යන්ද හන්දිය පැත්තට ප්ලේටියක් වත් ගහලා එන්න ගල් බනිස් ගෙඩියක්වෙත් කාලා?

    ReplyDelete
    Replies
    1. මේ බොලා අපි වගෙ වල පයයි ගොඩ පයයි නාකි ලොක්කංට වගෙ නෙවෙයි බං ඒ ඇත්තිට තියනව දාහක් වැඩ පොල....ඒ නිසා එහෙම එක පාරට ඇඟට ගොඩ වෙන්ට එපා...හෙහ්, හෙහ්,

      Delete
    2. හොහ් හොහ් හොහ් (ලොඹු කටින්, ඈ) උඹ මේ තිසරයවත් ඒ ගොඩට දැම්මද? ඒකෙ නෙවෙයි බං. උඹට ඇහෙන්නැද්ද ගේ ඇතුලෙං පොඩි කසු කුසුවක් වගේ? සිත්තරාගේ සරමත් වැලේ නෑ!

      Delete
    3. මේ, ඔය කසුකුසුවක් ඇහුණයි කියපු එක්කෙනාට මෙන්න මෙහෙමද ඇහුණේ කියලා ඩිංගක් බලාන්ට.

      "මේ, කවුද අර ඉස්තෝප්පුවෙ ඉඳං කුටු කුටු ගානවා ඇහෙන්නේ?"

      "ආ, අර ඇත්ත හොයන කට්ටියනේ."

      "මක් කිව්වා?"

      "ඔන්න ඔය කවුද කිව්වයි කියලා ඇත්ත කොහෙද මන්දා තියෙනවා, ගිහිං හොයාගන්ඩයි කියලා ඔන්න තුන් දෙනත් එක්ක රට පුරා ඇවිද ඇවිද ඒක හොයනවා."

      "ඉතිං මෙහෙ ඇවිදිං ඉන්නේ?"

      "ඒක අපේ දිහාවත් තියේද බලන්න වෙන්නැති."

      "ඉතිං ඔය ගේ අහලක තියේනං හොයලා දීලා පිටත් කළානං අහකයිනේ."

      "අනේ මට ඔව්වා හොය හොය ඉන්ට වෙලාවක් නෑ. ඔන්න ඔහෙ ඕන වෙලාවක් ඉන්ටය කියලා දොරත් ඇරලා දීලා මං මේ මගෙ වැඩ පළ ටික කරගන්න ආවා."

      "තේකක්වත් කාරිය දුන්නය?"

      "මේ හදනවා."

      "හ්ම්, හදාගෙන එන්නකො එහෙනං මාත් ඩිංගක් ගිහිං කතාබහ කොරලා එන්නං."

      :P :P :P :P :P

      Delete