***
විලියම් අවදි උනා. ඇස් දෙක පිහදාලා නිදිගැට ඇරියා. ඒ නත්තල් දවස - කලවම් වෙච්ච හැඟීම් එක්ක මාස දොළහක් තිස්සේ උදාවෙනකල් බලාගෙන හිටපු දවස. සහතිකවම නත්තල කියන්නේ බොහොම සතුටු දායක දවසක් - තෑගි, කළුකුම් මස්, රතිඤ්ඤා, ඇයි ඒ විතරක්ද රෑ වෙනකල් ඇහැරං ඉන්නත් අවසර ලැබෙනවනේ. ඒත් අනිත් අතට එදාට ඕනැවටත් වැඩියෙන් නෑදෑයින්ගෙන් ගේ පිරෙනවා, එදාට කෙනෙක්ගෙන් ඕනැවටත් වැඩිය දේවල් කට්ටිය බලාපොරොත්තු වෙනවා, කෙනෙක්ට තෑගි දෙන අයගේ හිත් ඇතුළේ තියෙන කුතුහලය හින්දා ඒ තෑගි වලින් ඒ කෙනාට ලැබෙන සතුට අඩු වෙලා යනවා.
විලියම් බලාපොරොත්තු සහගතව කාමරය පුරා බැලුවා. හරියටම එයාගෙ ඇඳ ඉස්සරහා බිත්තියේ දිලිසෙන බෝඩ් එකක ලියලා නූලකින් ඇණේක එල්ලලා තිබුණ කියමන එයා දැක්කා - "කාර්යබහුල දිනයක් යනු සතුටින් පිරි දිනයකි." ඒක ඊට කළින් දවසේනම් එතන තිබ්බෙ නෑ. ලස්සන පාට පාට රෝස මල්, ෆොගෙට් මී නොට් මල්, සුදු පාට පුංචි මල් ඒ කියමනේ හැම වචනයක් වටේටම එතිලා ගිහින් තිබුණා. විලියම් ඉක්මණින්ම මතක් කරලා බැලුවා ගෙදර නැවතිලා ඉන්න නැන්දලා තුන් දෙනා ගැන. මේකනම් ලුසී නැන්දගේ වැඩක් වෙන්න ඕනේ. විලියම් ඒ දිහා සැකමුසු බැල්මෙන් ඔරෝගෙන හිටියා. ඒ කියමන ගැන එයාටනම් කිසිම විශ්වාසයක් තිබ්බෙ නෑ.
'සිතුවම් සහිත රජ පෙළපත' පොත අතට අරන් බලපු විලියම් ආපහු ඒක පැත්තකට දැම්මේ මහා බාල දෙයක් අතට ගත්ත තරමේ පිළිකුලකින්. 'කොල්ලන්ගේ වැඩ' පොතේනම් ඊට වඩා වැදගත් දෙයක් තියෙයි. ඊට වඩා ගොඩක් වැදගත් දෙයක්. පුංචි පෑන පිහියකුත්, මාලිමාවකුත්, පැන්සල් පෙට්ටියකුත් (ඒකටත් අත් වුනේ 'සිතුවම් සහිත රජ පෙළපත'ට අත් වෙච්ච ඉරණමමයි) අතට අරන් බලපු විලියම් ආපහු 'කොල්ලන්ගේ වැඩ' පොත අතට ගත්තා. ඒ පොතේ පිටු පෙරලන අතරේ විලියම්ගේ මූණ එළිය වැටුණා.
සැහැල්ලු හිතින් ඇඳෙන් බිමට පැන්න විලියම් ඇඳුම් මාරු කරගත්තා. ඊට පස්සේ එයා තමුන්ගේ පවුල වෙනුවෙන් තෑගි ලෑස්ති කරන්න පටන්ගත්තා. තාත්තට දෙන්න එයා අරගෙන තිබුණේ පාට පාට රසකැවිලි වලින් පිරිච්ච බෝතලයක්. වයස අවුරුදු දහ නමයක් වෙච්ච එයාගේ අයියා රොබර්ට්ට දෙන්න 'මිනීමරු හස්තයේ මුහුදු කොල්ලකරුවෝ' පොත ගන්න විලියම් ලොකු මුදලක් වියදම් කරලා තිබ්බා. එයා මේ තෑගි ලෑස්ති කරගත්තේ සෑහෙන්න හිතලා බලලා. තාත්තා කවදාවත් රසකැවිලි වලට අතවත් තියන්නේ නැති බවත්, රොබර්ට් අයියාට මුහුදු කොල්ලකාරයන්ගේ කතා පේන්න බැරි බවත් එයා දැනගෙන හිටියා. ඒ නිසා ඉදිරි දින කීපය ඇතුළතදී ඒවා අන්තරස්දාන උනා කියලා ඒගොල්ලෝ එච්චර කරදර වෙන එකක් නෑ කියලා විලියම්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එයගෙ අක්කා ඊතල්ට දෙන්න විලියම් අරගෙන තිබ්බේ පාට කූරු පෙට්ටියක්. ඒකත් ඉස්සරහදි ඕන වෙන්න පුළුවන්. දැන් දැන් විලියම්ගේ අතට ඒ හැටි මුදලක් හම්බ උනේ නැතත් එයා කොහොමහරි අම්මා වෙනුවෙන් පොඩි ක්‍රීම් පාට ජොග්ගුවක් අරගත්තා. මුදලාලිත් එක්ක කරපු භයානක හෙට්ටු කිරීමකට පස්සේ ඉරි තලලා තිබ්බ ඒ ජොග්ගුව හරි මුදලින් බාගෙකට අරගන්න විලියම්ට පුළුවන් උනා.
තමන්ගේ පුංචි ප්‍රබෝධමත් කටහඬින් "කිතුණුවනි අවදිවෙව්!" ගීතය පුළුවන් තරම් හයියෙන් ගායනා කරමින් විලියම් කාමර පේළිය දිගේ ඇවිදගෙන ගියා. දොර ලඟ පොඩ්ඩක් නතර වෙලා තෑගි තැන්පත් කරපු විලියම් "සුභ නත්තලක්!" කියලා බෙරිහන් දුන්නා. හැම කාමරයක් ඇතුළෙන්ම එයාට ප්‍රතිචාර හම්බුණේ මැසිවිලි ගෙරවුම් හඬකින්.
විලියම් ගායනා කරමින්ම පඩිපෙළ බැහැලා සාලයට ගියා. ඒ වෙද්දිත් හරියට එළිය වැටිලා තිබ්බෙ නෑ - පාන්දර පහ වුනා විතරයි. මෙහෙකාරියන් තවම වැඩ පටන්ගෙන තිබ්බෙ නෑ. විලියම් සැලකිල්ලක් නැතුව සාලය පුරාම විදුලි බුබුළු දැල්වුවා. එතකොටයි එයා දැක්කේ එච්චර පාන්දරින් අවදි වෙලා හිටියේ එයා විතරක් නොවෙන බව. එයාගේ සිව් හැවිරිදි ඥාති සහෝදරයා ජිමී හිස් ටින් එකකුත් බදාගෙන පඩිපෙළේ පල්ලෙහාම පඩියේ වාඩි වෙලා කළකිරිච්ච මූණෙන් බලාගෙන හිටියා.
ජිමීගේ අම්මා උණ හෙම්බිරිස්සාව හැදිලා නිසා ජිමීයි එයාගෙ පුංචි නංගි බාබරායි මෙදා නත්තල නෑදෑයොත් එක්ක සමරන්න ඇවිත් හිටියේ තනියම.
"උන් පැනලා ගිහිල්ලනේ," ජිමී දුකෙන් කිව්වා. "මං ඊයෙ උන්ව එකතු කරගත්තේ කට්ටියට තෑගි දෙන්න. දැං උන් පැනලා ගිහින්. මං කළුවරේම හැමතැනම හෙව්වා. ඒත් හම්බුනේ නෑ."
"මොක්කුද?" විලියම් ඇහැව්වා.
"ගොළු බෙල්ලෝ. ලොකුම ලොකු කටු තියෙන ලොකුම ලොකු එවුන්. මං මේ ටින් එකට උන්ව එකතු කළේ. දැං උන් නෑ. ඉතිං මට දැං එක්කෙනෙක්ටවත් දෙන්න එක තෑග්ගක්වත් නෑ." එයාගෙ මූණ තවත් දුකින් බර උනා.
විලියම් සාලය වටේටම ඇස් යැව්වා.
"උන්ව මකබෑ වෙච්චදෙන්!" එයා සැරපරුෂ හඬින් කිව්වා. "මකබෑ වෙච්චදෙන්. බලන්න අපේ සාලේ දිහා! බලන්න අර ඇඳුම් දිහා! උන්ව මකබෑ වෙලාම ගියදෙන්."
ගණන් කරන්න බැරි තරමේ දිලිසෙන සෙවල පාරවල් තොප්පි, කබා, කුඩ, බිත්ති ආවරණ උඩ හැමතැනම පේන්න තිබුණා.
"හුහ්!" විලියම් ගෙරෙව්වා. "මකබෑ වෙලාම ගියදෙන්."
ඒත් දිලිසෙන පාරවල් දිහා ආයෙත් සැරයක් හොඳට බලපු විලියම්ගේ මූණ එළිය වැටුනා. ජිමීත් අවංකවම හිටියේ බොහොම සතුටින්.
"බලන්නකෝ!" එයා කිව්වා, "හරි ෂෝක්නෙ!"
විලියම්ගේ සිතුවිලි ආපහු එයාගේ කාමරයේ බිත්තියේ එල්ලලා තිබුණ කියමනට ඇදිලා ගියා -- "කාර්යබහුල දිනයක් යනු සතුටින් පිරි දිනයකි."
"අපි ඒවා සුද්ද කරමු!" එයා කිව්වා. "කට්ටිය පල්ලෙහාට එන කොට ලස්සනට පිළිවෙලකට හැමදේම තියෙන විදිහට අපි මේවා සුද්ද කරමු. අපි 'කාර්යබහුල' වෙමු. වැඩේ ඉවර උනම ඔයාට සතුටක් දැනෙනවද කියලා මට කියන්නකෝ. සමහරවිට ඒ කතාව ඇත්තක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ඒක වටේටම මල් අල්ලලා තියෙන එකටනම් මම කැමති නෑ."
කුස්සිය පොඩ්ඩක් සෝදිසි කළාම ලොකු වතුර බාල්දි දෙකකුත් බුරුසු දෙකකුත් හොයාගන්න අමාරු උනේ නෑ.
ගොඩක් වෙලා යනකල් ඒ දෙන්නා කිසිම සද්දයක් නැතුව වැඩ කළා. වතුර හුඟක් යොදාගෙන හැම දිලිසෙන පාරක්ම හෝදලා දැම්මා. ගංවතුර ගලපු පොළවට තෙත බරියන් වෙච්ච ඇඳුම් වලින් එක දිගට වතුර බේරුණා. බිත්ති ආවරණයත් පෙඟිලා ගිහිල්ලා. හිස් හැඟීමකින් ඒ හැම දෙයක්ම දිහා බලපු ඒ දෙන්නා තවත් සුද්ද කරන්න දෙයක් ඉතුරු වෙලා නැති බව තේරුම් ගත්තා.
අතේ තිබුණ බුරුසුව වතුරේ ඔබලා අරං වතුර විදින්න පුළුවන් කියලා මුලින්ම හොයාගත්තේ ජිමී. බුරුසුවක් කියන්නේ වතුර බටයක් තරම්ම අපූරු දෙයක්. දෙන්නාටම පතරොම් විදිහට පාවිච්චි කරන්න වතුර බාල්දිය ගානේ තියෙනවා. හොඳ ප්‍රමාණයේ බුරුසුව ගානේ තියෙනවා. ඊලඟ විනාඩි කීපය ගත උනේ උපරිම විනෝදයෙන්. ඊලඟට උඩ තට්ටුවෙන් ඇහෙන්න ගත්තේ අනතුරු ඇඟවුම් හඬක්. වහාම සටන නතර කරන්න ඒ දෙන්නා තීරණය කළා.
"පඩිපෙල පිටිපස්සට," විලියම් ඉක්මණින් කිව්වා. "එන්න."
තමන්ගේ ගමන් මාර්ගය වතුර පාරකින් සලකුණු කරමින් ඒ දෙන්නා පඩිපෙළ පිටිපස්සට රිංගුවා.
ඒත් ඉහේ ඉඳන් දෙපතුලටම වතුරෙ පෙඟිච්ච කොල්ලෝ දෙන්නෙකුගෙයි ගංවතුර ගලාපු සාලයකයි සම්බන්ධයක් නැති වෙන්නම බෑනේ.
කේන්ති ගිහින් හිටපු අම්මා ඉදිරියේ විලියම් හිටගෙන හිටියේ බොහොම සන්සුන්ව.
"අපි සාලේ සුද්ද කරන්නයි හැදුවේ," එයා කිව්වා. "හැමතැනම ගොළුබෙල්ලෝ ගිය පාරවල් තිබුණා, ඉතින් අපි ඒවා සුද්ද කරන්නයි හැදුවේ. අපි උදව් කරන්නයි හැදුවේ. ඊයෙ රෑත් අම්මා මට කිව්වේ එහෙම කරන්නනේ. උදව් කරන්න. මං හිතුවේ සුද්ද කරන එක උදව්වක් කියලයි. වතුරෙන් සුද්ද කරලා තෙමෙන්නෙ නැතුව ඉන්න බෑනේ - ඒක හරියට කළානම්. අම්මා මට කිව්වේ නත්තල් දවසෙදි අනිත් අයව සතුටු කරන්න, එතකොට මට සතුටක් ලැබෙයි කියලනේ. මං දන් නෑ මං සතුටින්ද කියලා," එයා මූණ ඇඹුල් කරගෙන කිව්වා, "ඒත් මං අද උදේ ඉඳන් ගොඩක් වැඩ කළා," එයා කිව්වේ අනුකම්පා උපදවන හඬකින්. එයා කාමරයේ බිත්තියේ තිබ්බ කියමන දිහා බැලුවා. "මං 'කාර්ය බහුල' වෙලා හිටියේ. ඒත් මට සතුටක් නෑ -- මේ වෙලාවේ නෑ," සටනේ අපූරුව මතක් වෙලා එයා එකතු කළා. ඒකනම් ආයෙ දවසක කරන්නම ඕනේ. වතුර බාල්දියි බුරුසුයි. ඒ වගේ දෙයක් ගැන මීට කළින් කවදාවත් හිතිලා නෑනේ.
අම්මා දිය බේරෙන විලියම් දිහා බලාගෙන හිටියා.
"ගොළුබෙලි පාරවල් මකලද ඇඳුම් ඔච්චර තෙමුණේ?" අම්මා ඇහැව්වා.
විලියම්ට කැස්සක් ආපු නිසා උගුර පෑදුවා. "ම්," හරි උත්තරයක් දෙන්න කලින් විලියම් ටිකක් වෙලා කල්පනා කළා, "මේ වතුරෙන් වැඩි හරියක් ඒ නිසා තමයි."
"මේ නත්තල් දවස නොවුනනං එහෙම..." අම්මා කළු කරගත්ත මූණෙන්ම එහෙම කියලා යන්න ගියා.
විලියම්ට අළුත් පණක් ලැබුණා. නත්තල් දවසේ එහෙම විශේෂත්වයකුත් තියෙනවා.
සිද්ද වෙච්ච අපරාධයේ සලකුණු පුළුවන් තරම් විලියම්ගේ තාත්තගෙන් හංගන්න තීරණය උනා. ඒ සමහරවිට විලියම්ගේ තාත්තාගේ හිතේ නත්තල් දවසේ විශේෂත්වයට වඩා තාත්තා කෙනෙකුගේ චරිතයට තියෙන වැදගත්කමට මුල් තැනක් ලැබෙන්න ඉඩකඩ තිබ්බ් නිසා. එහෙම සැකයක් ඇතිවෙන්න ඇත්තටම සාධරණ හේතු නැතුවමයි කියන්නත් බැහැ.
පැය බාගෙකට පස්සේ උදේ කෑම ලෑස්ති බව ඇඟවෙන සීනුව ඇහෙද්දී පඩි පෙළෙන් බැහැලා ආවේ හොඳට වේලුණු ඇඳුම් ඇඳගත්ත, කොණ්ඩේ පීරපු, හික්මුණු විලියම් කෙනෙක්. ඒ වෙද්දි වතුර පොදක්වත් පේන්න නොතිබුණු සාලයෙන් කබා රාක්කයත් පිටමං වෙලා තිබුණා.
"තාම උදේ කෑම වෙලාව ආවා විතරයිනේ," විලියම් කලකිරුණු හඬින් තනියම මිමිණුවා.
විලියම්ගේ තාත්තා ඒ වෙලාවේ හිටියේ පඩිපෙළ පාමුල. තාත්තා අවංකවම නත්තලට අකමැති කෙනෙක්.
"කොහොමද විලියම්," තාත්තා කිව්වා, "සුභ නත්තලක්! අද මේ නෑදෑයින්ගෙන් පිරිච්ච දවසේදී ඔයාගෙන් කාට හරි පොඩි කරදරේකට වඩා දෙයක් සිද්ද උනොත් මං ඒ ගැන බලාගන්නවා හරිද. මං ඒ බව මතක් කළාට කමක් නෑනේ? මොකටද මන්දා මේ මිනිස්සු උදේ පාන්දර කෑමට කළින් සාලෙ හෝදන්නේ, දෙයියො තමයි දන්නේ!"
විලියම් බොහොම සංවරශීලී කැස්සක් පිට කළා. එයාගෙ මූණ හරියටම අහිංසක බවේ ප්‍රතිමූර්තියක් වෙලා තිබ්බේ. තාත්තා එයා දිහා බලං හිටියේ සැකෙන්. විලියම්ගේ මූණේ සමහර වෙලාවට පහළ වෙන ඉරියව් පොඩ්ඩක්වත් විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ.
විලියම් කෑම කාමරයට ඇතුළු උනේ ඔරෝගත්ත මූණෙන්. ජිමීගේ නංගි බාබරා - කැරලි කොණ්ඩෙනුයි සුදු පාට ගවුම් රැළි වලිනුයි පිරිච්ච පුංචි හුරතල් පොට්ටනිය - ඒ වෙනකොටත් කෑම කන්න පටන් අරන්.
"හලෝ," බාබරා ආචාරශීලීව කිව්වා, "ඔයාට මං දත් මදින සද්දෙ ඇහුණද?"
විලියම් පුංචි කෙල්ල දිහා බය හිතෙන බැල්මකින් බැලුවා.
එයා වාඩි වෙලා සද්ද නැතුව කෑම ගන්න අතරේ අනිත් පිරිසත් මේසයට ආවා. ජේන් නැන්දයි, එවැන්ජලින් නැන්දයි, ලුසී නැන්දයි කෑම කෑවේ උත්සවශ්රීයයි ගාම්භීර බවයි දෙකත් එක්ක. හරියට ඒ දෙක නැතුව නත්තල් දවසේ කෑම කන්න බෑ වගේ.
මේ වෙලාවෙදි තමයි ජිමී එතනට ආවේ ටින් එකකුත් අතින් අරන්. එයාගෙ මූණ සතුටින් බැබළෙනවා.
"මෙන්න මං තෑගි ගෙනාවා," එයා ආඩම්බරෙන් කිව්වා. "තෑගි ගොඩාක් ගෙනාවා."
එයා බාබරාගේ පිඟාන උඩින් තිබ්බ ගැඩවිලාව බාබරා එක පාරටම අල්ලලා ජිමීගේ මූණටම විසි කළා. එයා දිහා දොස් පවරන බැල්මෙන් බලපු ජිමී එවැන්ජලින් නැන්දා ලඟට කිට්ටු උනා. එවැන්ජලින් නැන්දගේ තෑග්ග උනේ පත්තෑයෙක්. පණ පිටින් පත්තෑයෙක්. ඒකාව මේසෙ උඩින් තියපු ගමන් දුවගෙන ගිහිල්ලා පත්තෑයා එවැන්ජලින් නැන්දාගේ ඔඩොක්කුවට පැන්නා. නැන්දා කෑ ගහගෙන පුටුව උඩ නැගලා සායත් දණිස් ලඟට උස්සගත්තා. ඒ කෑගැහිල්ලට විලියම්ගේ තාත්තා කන් දෙකත් වහගෙන එහා කාමරේට දිව්වා.
"අපොයි මාව බේරගනියෝ!" නැන්දා කෑ ගැහැව්වා. "නැහැදිච්ච කොල්ලා! අල්ලපියෝ! මරපියෝ!"
ජිමී කටත් ඇරගෙන බලාගෙන හිටියා. බාබරා බලාගෙන හිටියේ නැන්දාගේ දිග හීනි කකුල් දිහා.
"මගේ කකුල් ඔයාගේ කකුල් වගේ නෙමෙයි," බාබරා කිව්වේ බොහොම මිත්රශීලීව. "මගේ කකුල් වලනං දණිස් තියෙනවා."
පත්තෑයව ස්වර්ගස්ථ කරලා, ජිමීගේ ඉතුරු තෑගි ටික ජනේලෙන් එළියට විසි කරලා තත්ත්වය සමථයකට පත් වෙන්න ටික වෙලාවක් ගත උනා. විලියම් මේසේ අනිත් පැත්තේ ඉඳන් ජිමී දිහා බලාගෙන හිටියේ ගෞරවය පිරිච්ච ඇස් දෙකෙන්. පොඩි උනාට ඒ ආශ්‍රය කරන්න වටින කෙනෙක්. ජිමී එයාගේ උදේ කෑම කකා හිටියේ මුකුත් නොවුනා වගේ.
මිය ගිය පත්තෑයාගේ හැම සලකුණක්ම අයින් උනාට පස්සේ කෑම කාමරයෙන් යන්න ගිය එවැන්ජලින් නැන්දා ආපහු ආවෙ නෑ. එයා පඩිපෙළ උඩ ඉඳන් කතාබහ දිගටම ගෙනිච්චා.
"අර නැහැදිච්ච කොල්ලා ගියාට පස්සෙ මං එන්නං. එයා ලඟත් ඔය එක එක සත්තු හංගගෙන ඇති. මේ මොකද මේ පඩි පෙළ හැමතැනම වතුර? කවුරුහරි වතුර හලලා!"
"මදැයි!" ජේන් නැන්දා දුකෙන් මිමිණුවා.
ජිමී එයාගෙ පිඟානෙන් ඔළුව ඉස්සුවා.
"නැන්දා කුරුමිණියන්ට ආස නෑ කියලා මං කොහොමද දන්නේ?" එයා දුකෙන් කිව්වා. "මං කැමතියිනෙ උන්ට."
විලියම්ගේ අම්මා යාන්තමින් ඉවසගෙන හිටියේ මේ වතාවේ අපරාධකාරයා විලියම් නොවිච්ච නිසා. විලියම්ටත් ඒක අළුත් අත්දැකීමක් උනා. සහායක අපරාධකාරයෙක් ඉන්න එකේ වාසි එයාට පේන්න පටන්ගත්තා.
~මතු සම්බන්ධයි~
Richmal Crompton කියන බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාව මවපු අපූරු චරිතේ තමයි මේ විලියම්. Just William Series නමින් ලියැවුණු පොත් පෙළකින්ම මේ දඟකාරයාගේ අරුම පුදුම වැඩ කියවලා රසවිඳින්න පුළුවන්. දැනටම මේ පොත් පෙළ සිංහලට පරිවර්තනය වෙලා තියෙන බව මම දැක්කා. ඒත් මේක, More William කියන ඒ පොත් පෙළේ එක් පොතක පළවෙනි පරිච්ඡේදය, මගේ මහන්සියෙන්ම පරිවර්තනය කරලා ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න හිතුණේ මං ඒ තරම්ම මේ පෝරිසාදයාට ආදරේ නිසයි. එයාව මට මුළින්ම අඳුන්නලා දුන්නේ මගේ තාත්තා. තාත්තා පොඩි කාලේ රස විඳපු කහ ගැහුණු පිටු තියෙන ඒ පොතට මම හරිම ආදරෙයි. ඒ පොත් පෙළ පුරාම මේ දඟයාගේ වැඩ අපූරුවට සිත්තමට නගලා තියෙන්නේ Thomas Henry කියන චිත්‍ර ශිල්පියා. ඒ පින්තූරෙකුත් ඊලඟ කොටස එක්ක දාන්නම්කෝ. මේ කතාවේ ඉතිරි ටිකත් පරිවර්තනය කරලා ඉවරයි. ඉක්මණින්ම පළ කරන්නම්. :)
මේක තෑග්ග වඩා ගැලපෙන්නේ රවිටද ඩූඩ්ටද කියලා ආයෙත් හිතුනා..ස්තුතියි සිත්තමී..රවීට සුභ පැතුම්..
ReplyDeleteඔව් රූ. ගණං බැරි නිසා මම ඔය තරඟේ වර්ජනය කලා. මං තරම් වත් ගනං බැරි රවියාගේ වාසනාවට තරඟේ දිනලා. රවියගේ තෑග්ග වුනාට මමත් මේක මාර විදියට රස වින්දා. මමත් විලියම්ගේ කතාවල් කීපයක් කියවලා තියෙනවා. කිව්වත් වගේ ඒවත් අර ඊනිඩ් බ්ලයිටන්ගේ කාලෙටම අයිති කතාවල්. දඟකාරකම් නම් ඉතින් කවදත් රසවත්නේ.
Deleteඔන්න ඊලඟ කොටස එනකල් බලාගෙන ඉන්නවා සිතු. (බලාපං ගණං වගේද මේවා කියලා):D
රූ සහ ඩූඩ් අයියා,
Deleteමට මේක ලියන අතරේ මතක් උනේම ඩූඩ් අයියගේ ඇන්ඩි කොළුවව. අයියා ඒක ලියන තරම්නම් මේ පරිවර්තනය ලස්සන නෑ.
මම හැමෝ එක්කම බෙදාගන්න පුළුවන් තෑග්ගක් තමයි රවි අයියට දුන්නේ. :) එයා මේ විලියම්ගෙ කතා වලට බොහොම ආසයි කියලා දවසක් කිව්වා.
ඉනිඩ් බ්ලයිටන්ගේ කතාත් මම කියවලා තියෙනවා. ඉංග්‍රීසියට හොර පොඩි කාලේ පුස්තකාලෙදි ඉංග්‍රීසි පොත් රාක්ක පැත්තට අම්මා කියන නිසාම හරි හැරෙන්න හිතුණොත් ගන්නෙම ඉනිඩ් බ්ලයිටන්ගේ පොතක් තමයි. ගෙදර තිබුණ විලියම්ගේ පොත තාත්තා හොයලා දුන්නේ ඊට ගොඩාක් පස්සේ. කතන්දරේ ලස්සන උනාට ඒ චූටි අකුරු එක්ක මහත පොතට ඒ කාලෙදිනම් මගේ හිතේ එච්චර කැමැත්තක් ඇති නොවෙන්න ඉඩ තිබ්බා. ඊට පස්සෙ තාත්තා හින්දාම හම්බ උන වීරයා තමයි බීගල්ස්. :)
ගොඩාක් ස්තූතියි ඔයාලා දෙන්නටම කතාව කියෙව්වටත්, ප්‍රතිචාර දැක්වුවටත්. :)
@Dude,
Delete//මං තරම් වත් ගනං බැරි රවියාගේ වාසනාවට තරඟේ දිනලා.//
I seriously doubt this..!!
@ රූ...
DeleteSo do I! :D
බොහොම ස්තූතියි සිත්තමී..විලියොං ගොයිය ගැන මම කියෙව්වෙ ඉංගිරිසියෙං..ම්ම් එතකොට මට ඇති..ඉඳපං ගණං හදල බලන්ට...කෑගල්ලෙ පල්ලෙහා ගෙදර වතුර ටැංකිය ගාව තිබ්බ අනෝදා ගහ උඩ දෙබලෙ ඉඳං තමයි මම ඔය පොත් දෙකක් හෝ තුනක් ඉස්සොරෝම බැලුවෙ..ඒ කියන්නෙ 11 ක් හෝ 12 ක් වෙන්න ඕන..රයිට්...
ReplyDeleteඒත් විස්වාස කරපං බොලේ මම ඉස්සෙල්ලම කියෙව්ව ඉංග්‍රීසි පොත ඇවිල්ල අප්පච්චිගෙ පරණ පොත් ගොඩක් අස්සෙ තිබිල හම්බ වෙච්ච ජේම්ස් හැඩ්ලි චේස්ගෙ පොතක්...මට තාම මතකයි නම ..Want to stay alive?.....ඒක බොහොම අමාරුවෙං වචන ගැටගහගෙන තේරුං ගත්ත කතාව...හෙහ්, හෙහ්, ඊට පස්සෙයි මට විලියොං මුණ ගැහුනෙ..
ඔය ඊනිඩ් බ්ලයිටන්ගෙ කතා එහෙම මම එකක්වත් කියවල නෑ. කොහොමිං කොහොමිං හරි ඒ සෙට් එක මට මඟ ඇරුන. ඒ ඔක්කොටොමත් හරියන්ට විලියං ගොයිය...හෙහ්, හෙහ්, එව්වයෙ චිත්‍ර ආයෙ කියල වැඩක් නෑ. විලියොනා රවාගෙන වගෙ කොයි වෙලෙත් මල පැනල ඉන්න මූණ දැක්කත් ඇති මට හිනා යන්ට.
එහෙනං ආයෙම පාරක් ඉස්තූතියි කිව්ව හොඳද? :)
/* ඒ කියන්නෙ 11 ක් හෝ 12 ක් වෙන්න ඕන..*/
Deleteආ, ඒ කියන්නෙ විලියම්ගෙ වයසෙම තමයි. හැබැයි ඉතිං පවුලෙ බඩපිස්සා වෙච්ච විලියම් කරපු මගෝඩි වැඩ පවුලෙ ලොකු අයියා වෙච්ච රවි අයියාටනං කරන්න බැරි වෙන්න ඇති. අපරාදේ. :D
/*විලියොනා රවාගෙන වගෙ කොයි වෙලෙත් මල පැනල ඉන්න මූණ දැක්කත් ඇති මට හිනා යන්ට.*/
ඔව් අනේ. ඒ මුළු චිත්‍ර පුරාම බලන්න දේවල් තියෙනවා. මූණු වල ඉරියව්, ඇඳුම් වල විච්චූරණ, කොණ්ඩ මෝස්තර. මේ ලඟදිත් මම ආයෙ තාත්තගෙ පොත අරගෙන කියවන ගමන් සිත්තරාටත් පෙන්නුවා 'මේ මේස් කකුලේ හිටන් වැඩ දාලා ඇඳලා තියෙන හැටි බලන්ඩකො' කියලා.
ඒ පොතේ තියෙනවා රොබර්ට් අයියගෙ උපන් දිනේට අම්මලගෙන් තෑගි හම්බ වෙච්ච බයිසිකලේ විලියම් හොරෙන් අරන් පදිනවා. මෙයාගෙ ආසම සෙල්ලමක් තමයි රතු ඉන්දියානු සෙල්ලම. 'චීෆ් රෙඩ් හෑන්ඩ්'ද කොහෙද එයාගෙ ප්‍රියතම රතු ඉන්දියානු චරිතයේ නම. මූණ පුරා දැලි ගාගෙන, ඔළුවෙ කුකුළු පිහාටු හයි කරගෙන, ලෝගුවක් වගේ ඉස්තෝප්පුවේ පාපිස්ස කර පිටිපස්සෙ එල්ලගෙන එහෙම තමයි විලියම් ඒ සෙල්ලම කරන්නේ. ඉතින් ඔය රතු ඉන්දියන් සෙල්ලම කර කර ඉන්න අතරෙ තමයි බයිසිකලේ දැකලා නැගලා පදින්න පුරුදු වෙන්නෙ. කීප වතාවක් වැරදුනාට පස්සෙ ඔන්න කොහොම හරි වැඩේ අල්ලගෙන කොල්ලා පාරට දාලා පදිනවා බයිසිකලේ. හැබැයි දැන් නවත්තගන්න දන්නෙ නෑ. ඉතින් පදින ගමන් හිතනවා එයාට මැරෙනකල්ම බයිසිකලේ පැද පැද තමයි ඉන්න වෙන්නෙ කියලා. දැං එංගලන්තෙ එහා කෙළවරටත් කිට්ටු ඇති, දැං දැං මූද පෙනෙයි කියලා හිත හිත තමයි යන්නේ. අන්තිමට ගිහිල්ලා මිනිහා පල්ලමකට හරෝනවා. පල්ලම පල්ලෙහා ගඟ. ගඟ ලඟ රෙද්දක් එලාගෙන, කෑම බීම දිග ඇරගෙන විලියම්ට හොරෙන් පික්නික් ආපු රොබර්ට් අයියයි, ඊතල් අක්කයි, අල්ලපු ගෙදර අක්කයි තව කවුදෝයි. මෙයා බයිසිකලේ අර ඔක්කෝම යට කරගෙන ඇවිල්ලා ගඟට වැටෙනවා ජබොහ් ගාලා. ඔන්න ඕක පින්තූරේ ඇඳලා තියෙනවා අර රතු ඉන්දියානු ඇඳුම ඇඳගෙන කුකුළු පිහාටුයි, ගෝනි පඩංගුවයි එක්ක පල්ලමේ බයිසිකලේ එනවා විලියම් හැටට හැටේ. හප්පච්චියේ ඒ පින්තූරෙ දිහා බලාගෙන මම හිනා වෙච්ච තරමක්.
ඔන්න එහෙනං ස්තූතිය බාර ගත්තා. :) ඊලඟ ගණිත ගැටළු වලදිත් හරි උත්තර දීලා තව වටින තෑගි දිනාගන්න පුළුවන්.