54. ගණිත විනෝදය...04



ඔන්න එකෝමත් එක රටක හිටියලු තාත්තා කෙනෙකුයි පුත්තු හතර දෙනෙකුයි. මේ තාත්තා මිය යන්න කළින් තමන්ගේ වස්තුව තැන්පත් කරලා තියෙන තැන ගැන පුතාලා හතර දෙනාට දන්නලා කිව්වලු ඒ තියන රන් කාසි පොදිය හතර දෙනාට සමානව බෙදාගන්න කියලා.

ඉතින් ඔන්න මුලින්ම ලොකු පුතා ගියාලු. එයා රන් කාසි ගොඩෙන් හරියට හතරෙන් එකක් අරන් ආවලු.

ඊලඟ දවසෙ දෙවෙනි පුතා ගියාලු. එයා දන්නෙ නෑ අයියා ඇවිත් එයාගෙ ගොඩ අරන් ගිහින් කියලා. එයා ඒ ඉතිරි වෙලා තිබ්බ ගොඩෙන් හතරෙන් එකකුයි, තව වැඩිපුර තමන්ට අයිති නැති රන් කාසියකුයි අරන් ආවලු.

ඊලඟට තුන් වෙනි පුතා ගියාලු. එයා දන්නෙ නෑ අයියලා දෙන්නා ගිය බවක්. එයත් ඉතිරි වෙලා තිබ්බ ගොඩෙන් හතරෙන් එකක් අරගෙන තව වැඩි පුර රන් කාසි දෙකක්ම අරන් ආවලු.

අන්තිමට ගියෙ බාලයා. එයත් දන්නෙ නෑ අයියලා ගිය බවක්. ඒත් එයා අයියලා ගැන කල්පනා කළෙත් නෑ. එයා ඉතිරිවෙලා තිබ්බ මුළු රන්කාසි ගොඩම තනියම අයිති කරගත්තලු.

කතාවෙ ලස්සනම තැන එන්නෙ දැන්. අන්තිමට කොහොමහරි බලද්දි මේ අයියලා මල්ලිලා හතර දෙනා වෙන වෙනම අරන් ඇවිල්ලා අයිති කරගෙන තියෙන්නේ සමාන රන්කාසි ගණනක්! ඒ කියන්නේ නොදැනුවත්වම හරි තාත්තගෙ වස්තුව පුතාලා හතර දෙනාටම සමානව බෙදිලා.

දැන් කාටද කියන්න පුළුවන් මුළු රන්කාසි ගොඩේ රන් කාසි කීයක් තිබ්බද කියලා. කවුද බලමු අද තෑග්ග දිනන්නේ... :)




53. මගේ ආදරණීය අරලිය මල...


අප නිවසේ දොරකඩම ඇත්තේ කහ අරලියා ගසකි. ගහ පිරෙන්න මල් පිපෙන්නේ නැතත් එදා පටන්ම බුදු පුදට නෙළාගන්නට, සුදු මල් ඇතිරූ වට්ටිය මැද හිනැහී සිටින්නට, මලක් හෝ දෙකක් වරදින්නේ නැත. එසේ නමුත් මල් පිරුණු පොකුරු දෙක තුනක් එක විටම හටගන්නා දිනයන්ද නැත්තේම නැත. එවන් දිනට ගසේ අයිතිකාරියගේ මුහුණේද මල් පිපෙයි.

කහ අරලියා ගසේ පමණක් නොව අප වත්තේ තිබූ සෑම ගසකම, කොළයකම, මලකම හිමිකාරිය වූයේ ඇයයි.

ලිඳෙන් වතුර ඇද තැඹිලි පැහැ ගත් කුඩා බාල්දියට පුරවාගෙන, ඇණ ගසා විදගත් සැමන් ටින් එකකින් ඈ වත් කරන වතුර, පැල මතට වැටෙන්නේ වතුර මලකින් ඇද හැලෙන දියබිඳු මෙනි. පාසැලේ නිවාඩු දිනයන්හිදී ඉඳිකටුව පසුපස ඇදෙනා නූල මෙන් ඈ පසුපසම යන මා හට මෙය මහත් අරුමයක්ම විය. තවත් විටෙක ඇය බාල්දිය බිම තබා හිල් රහිත බඳුනක් අතට ගෙන කුඩා පාත්ති අතරින් ඇවිද යයි. මා මාන බලමින් සිටින්නේ ඒ මොහොත එළැඹෙන තුරුය. ඈ ආපසු පැමිණෙන විට බාල්දියේ ඉතිරිව තිබෙන්නේ පෙර තිබූ ප්‍රමාණයෙන් අඩකි. ඒ මාගේ දිය කෙළි නිසාවෙනි. ටින් බඳුනේ හිල් තුළින් ජලය විහිදෙනා අපූරුව දැකගැනීමට උවමනා වූ මා එය පැළයට වඩා බොහෝ සෙයින් උස් කොට අල්ලාගෙන සිටීමෙන් පැලයට වඩා නැහැවී යන්නේ මාය. ලිඳෙන් වතුර අදින්නට මට අවස්ථාව ලැබෙන්නේ ඈ හා බොහෝ වේලා රණ්ඩු වී මැසිවිලි නැගීමෙන් අනතුරුවය. ඇතැම් දිනෙක ඈ හෝස් බටයෙන් වතුර දැමීම සිදු කරයි. එදිනට මට රජ මඟුල්ය. පයිප්පය අරින්නට වසන්නට දුවමින්, හෝස් බටයේ පැටලුම් දිග හරිමින් ඇයට උදව් දෙන මම ඇගේ අවධානය වෙනතක යොමු වූ විගස හෝස් බටය රැගෙන ඇඟිල්ලෙන් තද කරගෙන උඩට හරවාගමි. එය මගේ වතුර මලයි. මා බාල විය රසවින්දේ එලෙසිනි.

උපතින් කතෝලික තැනැත්තියක වුවද මා ඈ හඳුනාගන්නා වකවානුවේදී ඇය සැදැහැමත් බොදු බැතිමතියක වී සිටියාය. සතියකට දෙවරක් මම ඈ අතේ එල්ලී පන්සල් ගොස් නෙක පැහැති මල් ගවසා අපූරු රටාවන්ට මල් වට්ටි සකසනා අන්දම උගත්තෙමි. සෑමදාම මා හට ඈ වෙතින් දැනුණේ පන්සලේ සුවඳයි. මා පන්සල වාඩාත් සමීපව ඇසුරු කරන්නට පෙළඹුනේ ඈ නිසාවෙනි. දහම් පාසල මා හට හුරුපුරුදු බිමක් වූයේ ඈ නිසාවෙනි. මා එහි උගැන්වූ වකවානුවේ මා සිසු දරු දැරියන්ට ඉගැන්වූ සෑම දහම් කරුණක් පාසාම ඈ හට මම සිතින් පින් ලබා දුනිමි

තමා තරමටම උස් වූ කෙක්කද අතින් රැගෙන බුදු පුදට ගෙන යාමට වත්ත පුරා මල් නෙළමින් යන ඈ දුටු විට මා හට සිහියට නැගෙන්නේ ඉංග්‍රීසි ළමා ගී පොත් වල සිටිනා 'ලිට්ල් බෝ පීප්'. ඇයට සිංහල බස ලියන්නට කියවන්නට අපහසු වූ බැවින් ගාථා, පිරිත් ආදිය ශබ්ධය නැගෙන ආකාරයට අනුව ඉංග්‍රීසියෙන් ලියා දුන්නේ මාය. මා හට පින් දෙමින් ඈ ඒවා කියවූවාය. මාගේ මතකයේද එම ගාථා සහ පිරිත් හොඳින් තැන්පත් විය.

මා පාසැල් ගොස් එන තෙක් මග බලා සිටිනා ඇය මා හට රස බත් අනා කවන්නීය. මා නිදාගැනීමට පෙර මාගේ ඇඳේ මදුරු දැල දමා දෙන්නීය. ඇයත් මාත් නිදාගත්තේ එකම කාමරයේය. මා හට නින්ද යන තෙක් ඇය ඇගේ ඇඳේ සැතපී අතීත කතා රස කරමින් කියන්නීය. ඇතැම් දිනෙක මටද පෙර ඇය නින්දට වැටෙන්නීය. ඒ ඊලඟ කූඹියා ඊලඟ සීනි ඇටය ගෙන යාමට පැමිණෙන තෙක් හෝ, ඊලඟ මීයා ඊලඟ වී ඇටය ගෙන යාමට පැමිණෙන තෙක් හෝ මා බලා සිටිනා දිනෙකය.

ගොපළු ගීත (cowboy songs) අසන්නට බෙහෙවින් ප්‍රිය කළ ඈ නිසා මමද එම අපූරු ගීතයන්ට, ඒවා ගැයුනු ගැඹුරු කටහඬවල් වලට ඇලුම් කරන්නට පෙළඹුනෙමි. අදටත් මා ආදරය කරන Jim Reeves, Marty Robbins, Hank Snow ගුවන් විදුලි සේවයේ ඉංග්‍රීසි විකාශය හරහා මා හඳුනාගත්තේ එලෙසිනි.

මා බාල වියේදී මා හට සිටි හොඳම මිතුරිය ඇයයි. මා වෙනුවෙන් වෙන් වූ ලොකුම කන තිබුණේ ඇයටය. මා කියනා ඕනෑම විකාර කතාවක්, බොළඳ කතාවක් අසා සිටින්නට ඈ ලඟ ඉවසීමත්, වෙලාවත් ඕනෑ තරම් තිබිණ. ඒවාට හූ මිටි තැබීමෙන් පමණක් නොව ඒවා ගැන අදහස් දක්වන්නට පවා ඕ ඉදිරිපත් වූවායමාගේ මව්පියන්ටත් වඩා මා බාල වියේදී සමීප වූයේ ඇයටය. ඈ ගැන තවත් කතා කරන්නට මතකයන් බොහොමයක් ඇතත් ඒ සියල්ලක්ම අකුරු කිරීම මට කළ නොහැක්කකි. ඒවා මගේ සිත තුළ, හදවත පතුලේම මේ තිබෙනා ලෙසින්ම තිබෙන්නට හරිමි.

මගේ ආදරණීය ආච්චි

ඒ ඇයයි. මගේ පියාගේ මෑණියන්. මින් පස් වසරකට පෙර සිය වැඩිමහළුම මුණුපුරාගේ උපන් දිනය දා අප අතැර ගිය ඇගේ උපන් දිනය අදයි. ඇගේම මුණුපුරු මිණිපිරියන්ට පමණක් නොව ඇගේ සොයුරියන්ගේ මුණුපුරු මිණිපිරියන්ගේද ආදරණීය ආච්චි, පුංචි ආච්චි ඇය වූවාය. පරම්පරා ගණනාවක ආදරය දිනන්නට මගේ ආච්චී වාසනාවන්ත වූවාය. මගේ බාල විය සුන්දර කළ ඇය, මා අද සිටින මා වීමට මහඟු දායකත්වයක් ලබා දුන් ඇය, අද සිටියානම් සමරන්නේ ඇගේ අනූ සතර වැනි උපන් දිනයයි. අද ඈ කොතැනක හෝ සතුටින් හිඳිනවා ඇත. තවමත් නිරන්තරයෙන් ඈ මා ලඟ නොමැති පාළුව මා හට දැනෙන්නේය. ඇගේ සුන්දර මුහුණත් සිනහවත් සිහි ගන්වා මම ඒ පාළුව මග හැරගනිමි.



අරලිය ගසේ මල් පිපී ඇත. මල් කැකුළුද හට ගෙන ඇත. ඒවා හෙට පිපෙනු ඇත. මගේ මිත්තණියගේ මතක සුවඳ හෙට දිනටද ගෙනයනු ඇත.



52. Beauty of the World...




The world has enough beautiful mountains and meadows, 
spectacular skies and serene lakes.  



It has enough lush forests, 



flowered fields and sandy beaches.  



It has plenty of stars 



and the promise of a new sunrise and sunset every day.  



What the world needs more of is 
people to appreciate and enjoy it.  

~Michael Josephson

51. කලාව අත්විඳීම...


මදකට සිතන්න - ඔබ මේ මොහොතේ නිව්යෝක් නගරයේ ගමන් කරන්නෙකු ලෙසින්. ඔබ කලාගාරයක විශාල ජනේල පසු කරමින් යන අතර, එක්සත් ජනපද මහද්වීපයේ හුරුපුරුදු සිතියම් අනුරූ දසුනක් ඔබේ නෙත් කොණට හසු වේ. වඩාත් හොඳින් නැරඹීම සඳහා මදක් නවතින ඔබ, එය සම්පූර්ණ බිත්තියක් වසාගෙන සිටින බව දකින අතර, ජනපද වල සීමාවන් දීප්තිමත් නියොන් වලින් සලකුණු වී ඇති අයුරුද දකියි. ඔබ සිටිනා තරම් දුරට මදක් පැහැදිලි එහෙත් ස්ථිරවම නිශ්චය කරගැනීමට අපහසු සෙලවෙන වර්ණ ආලෝක සමූහයක් ඔබ දකියි. එහි ඇති නුහුරු නුපුරුදු වස්තූන් හා ආකෘතීන් එකම මොහොතේදී ඔබේ අවධානය ඒ වෙත යොමු කරගන්නට හැදුවද, සිතියම් රූපයේ ඇති සමීප හුරුපුරුදු බව ඔබේ අපහසුතාව දුරලයි. මෙම සිතියම කලා නිර්මාණයක්ද? ඔබ දන්නා පරිදි කෞතුකාගාරයක අරමුණ වනුයේ කලා නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීම හා සංරක්ෂණය කිරීමයි - නමුත් මෙවන් වාණිජමය කලාගාරයන් කලා කෘතීන් වෙළඳාම් කිරීමට සූදානම් බැවින් මෙම කුතුහලය දනවන සිතියම වඩාත් හොඳින් නැරඹීම පිණිස එතුලට යාමට ඔබ පසුබට වෙයි. නමුත් එහි ඇති තදබල සිත් ඇදගන්නා සුළු භාවය නිසා පසුබෑම බැහැර කරන ඔබ දොර විවෘත කරයි. කලා භවනේ කාර්ය මණ්ඩලය ඔබේ පැමිණීම සාදරයෙන් යුතුව පිළිගනියි.

දීප්තිමත් වර්ණයෙන් යුතු බිත්තිය වෙත ඔබ ලඟා වෙත්ම, මුළු සිතියමම පසුබිම් කොටගෙන ඇත්තේ විවිධ ප්‍රමාණයෙන් යුත් වීඩියෝ ප්‍රදර්ශක (video monitors) බව ඔබට පෙනේ - ඔබ මුලින් දුටු සෙළවෙන රූප පිළිබඳව මෙවිට ඔබට පැහැදිලි වෙයි. සෑම ජනපදයකම සීමාව තුල මෙවන් වීඩියෝ ප්‍රදර්ශක කිහිපය බැගින් රැස් කොට ඇති අතර, ඒවායේ දිස්වන රූප රාමු ජනපදයෙන් ජනපදයට වෙනස් වෙයි. සමස්ථයක් ලෙස ගත් කළ මෙම නිර්මාණය නොතකා හිටිය නොහැකි තරමේ ප්‍රබලත්වයක් උසුලයි; නියොන් වල ඇති ස්ථාවර දීප්තිය, ජනපදයෙන් ජනපදයට දර්ශන තිර මත රඟන වර්ණ රටාවන් හා චලනයන් සමඟ සංසන්දනාත්මකව කැපී පෙනේ. ඔබේ අවධානය යොමු කරගත හැකි එකම රූපාවලියක් සොයා ඔබේ දෑස් බිත්තිය පුරා දිව යයි. මෙම අනපේක්ෂිත නිර්මාණයේ සංකීර්ණ භාවය අවබෝධ කරගැනීමට එය රුකුලක් වනු ඇතැයි ඔබ සිතයි.

නියොන් සීමාවන් තුල ඇති එක් ජනපදයක් දෙස බලා සිටින විට ඇතැම් රූප කිහිපයක් හඳුනා ගැනීමට ඔබ සමත් වෙයි. ඇලබාමා ජනපදයේ ගරු මාර්ටින් ලුත(ර්) කිං සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයේ මුල් අරගලයන් ඔබ දකින අතර, ඔබේ වම් පසට වන්නට 1945 රොජ(ර්)ස් (1945 Rodgers) හා හැම(ර්)ස්ටයින් සංගීතමය ඔක්ලහෝමල් (Hammerstein musical Oklahomal) හි දර්ශන මගින් එම ජනපදය හඳුන්වා දෙයි. අමිහිරි යතාර්ථයන් හා මානව ජයග්‍රහණ එලෙස සංකල්පනාත්මක මහා මාර්ග සංගීත චිත්‍රපටයකට ඈඳා ඇත. ඔබ ජනපදයෙන් ජනපදය නරඹන විට තව තවත් ඝට්ටනකාරී රූප ඔබට හමුවෙයි. ඉලිනොයිසියේ ඒබ්‍රහම් ලින්කන් හා ටෙක්සාස් හි ඇලාමෝ ආදීන්ගේ රූප මගින් ඇමරිකානු ඓතිහාසික සම්ප්‍රදායන් පිළිබඳව කියා පායි - එසේම ටෙක්සාස් වීඩියෝ පටයන්හි වැකෝ (Wako) අසල බ්‍රාන්ච් ඩේවිඩියන් (Branch Davidian) හි 1993දි ඇති වූ ගින්නද අන්තර්ගතය. කෙමෙන් කෙමෙන් එම ප්‍රදර්ශක වල ඇති දෘශ්‍ය තොරතුරු ඔබ අවබෝධ කර ගනියි; ජනපද වල දැක්වෙන රූප තව තවත් හඳුනා ගැනීමට ඔබට හැකිවෙයි. නමුත් ඔබ එහි ඇති දෘශ්‍යමය හා මතවාදී සංකීර්ණභාවයට හුරුවත්ම ඔබ නැවතත් විශ්මයට පත් වෙයි. ඔබ නිව් යෝක් ජනපදය නරඹන විට ඔබට දිස් වන්නේ මේ මොහොතේ මෙම නිර්මාණය නරඹන ඔබේම රුවයි. මූලික වශයෙන් ඓතිහාසික සිදුවීම් හා සොභා දර්ශන නිරූපණය වන අනෙකුත් ජනපද තුල ඇති ප්‍රදර්ශක මෙන් නොව නිව් යෝක් ජනපදයේ සීමාවන් තුල ඇති වීඩියෝ ප්‍රදර්ශක කලාගාරයේ නරඹන්නන් වෙත යොමු වී ඇති සංවෘත පරිපථ වීඩියෝ කැමරා සමග සම්බන්ධ වී ඇත. වර්තමාන මොහොතේ ඇති ක්ෂණික භාවය එලෙස නිර්මාණය තුලට ඇතුලත් කර ඇත; ඔබේ රූපය හා සිතියම සමග ඔබේ අන්තර් ක්‍රියාවන් ක්ෂණිකවම නිර්මාණයේම කොටසක් බවට පත්වෙයි: ඔබ එය නරඹන විට ඔබ එහි කොටසක් බවට පත්වෙයි.

මෙම නිර්මාණය පිළිබඳව ඔබේ නවතම සොයාගැනීම බෙහෙවින්ම ආකර්ෂණීයයි; ඔබ මෙයට පෙර කලා නිර්මාණ දැක ඇතත් ඒවා ඔබට නිහඬ අවලෝකනයකට ඉඩ දෙමින් නිශ්චල වස්තූන් ලෙසම පැවතුනි. ක්ෂණිකව එකම මොහොතේ තොරතුරු රැගත් තල රූප රැසක් ඔබ වෙත එල්ල කරමින් මෙම නිර්මාණය ඔබ සහ කලා නිර්මාණයක් අතර ඇති වන සාම්ප්‍රදායික සම්බන්ධයට අභියෝගයක් එල්ල කරයි: නිර්මාණය දැන් පවතින ආකාරයෙන් පැවතීමට ඔබේ සහභාගීත්වය නොමැතිව නොහැකිය.



ඔබ මෙතෙක් කියැවූ කතාන්දරය සුරංගනා කතාවක් නොව සැබැවින්ම පවත්නා අති විශිෂ්ඨ කලා නිර්මාණයකි. Nam June Paik නැමැති කොරියාවේ උපන් ඇමරිකානු නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද Electronic Superhighway නැමැති මෙම අගනා කලා කෘතිය දැනට ස්මිත්සෝනියානු ඇමරිකානු කලා කෞතුකාගාරයේ (Smithsonian American Art Museum) තැන්පත් කර ඇත. අඩි 15 x 32 x 4 විශාලත්වයකින් යුතු මෙම නිර්මාණය සඳහා video monitors 313ක් භාවිතා කර ඇත.

~ ඉංග්‍රීසි සඟරාවක පළ වූ ලිපියක් ඇසුරෙන් වසර කිහිපයකට උඩදී පරිවර්තනය කරන ලදි


50. මෙහැම මා සිත නිවයි සොම්නසින් පුරවාන...


හිතට කරදරයක්, දුකක් දැනුණු වෙලාවට අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? එහෙම වෙලාවට කරන්න ඕන දේවල් ගැන කියවෙන ගීතයක් අහලා තියෙනවා, මතක් වෙනවද? අපි හැමෝම ආදරේ කරන The Sound of Music චිත්‍රපටයේ My Favorite Things ගීතය මතකද?



මේ බලන්න ඒකේ වචන. අපේ හිත කරදරයට පත් උනාම අපි ආස කරන දේවල්, අපේ හිතට සතුට ගේන දේවල් ගැන හිතන්න කියලයි ඒ ගීතයෙන් කියන්නේ.

Raindrops on roses and whiskers on kittens
Bright copper kettles and warm woolen mittens
Brown paper packages tied up with strings
These are a few of my favorite things

Cream colored ponies and crisp apple streudels
Doorbells and sleigh bells and schnitzel with noodles
Wild geese that fly with the moon on their wings
These are a few of my favorite things

Girls in white dresses with blue satin sashes
Snowflakes that stay on my nose and eyelashes
Silver white winters that melt into springs
These are a few of my favorite things

When the dog bites
When the bee stings
When I'm feeling sad
I simply remember my favorite things
And then I don't feel so bad

මේ තියෙන්නේ ඔය ගීතයේ මගේ වර්ෂන් එක. කාලෙකට ඉහතදී කොළේක ලියලා පොතක් අස්සේ දාලා තිබිලා ඊයෙ අස් කරන වෙලාවක හම්බ උනේ. ඔයාලටත් ඇති මේ වගේ, හිත සැහැල්ලුවට පත් කරන දේවල්. ඒවා එකතු කරලා තියාගන්න, ඕන වෙන්න පුළුවන්. :)


පිණි තුහින මැද පිපුණ - සුදෝ සුදු පිච්ච මල
තුරු හිස'ග මත රැඳුණු  - සුමුදු පෙඳ පිහාටුව
ගලන දොළ පතුල දිලි  - රුවැති තිරිවාන කැට
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන

වැටෙන හිරිපොද වැස්ස - නගන සුමිහිරි රාව
හමන මඳ පවන් රැල් - ගෙනෙන අමයුරු නාද
ගලන නිල් දිය දහර - ගල් මතින් විසුල පෙණ
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන

මඳ නලින් නැලැවෙනා - තුරු පතින් නැගි සරය
නිල් ගුවන සිසාරා - ගැයෙන කෝකිල ගීත
සුවඳ පිරි මකරන්ද - ගෙන එනා මල් සුවඳ
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන

නෙළුම් පත මත නටන - දඟකාර පිණි බිඳුව
පිපුණු මල් වට නටන - සිඟිති සමනළ කැලත
ගෙමිදුලේ සිරි මවන - සුමුදු සුදු සඳ එළිය
මෙහැම මා සිත නිවයි - සොම්නසින් පුරවාන



49. ගණිත විනෝදය...03



ඔන්න අද ලේසිම ලේසි ප්‍රශ්නයක්. 

දවසක්දා යාළුවො තුන්දෙනෙක් කැලයක් මැද්දෙන් යන කොට හොරු කණ්ඩායමකට අහු උනා. හොරු උනාට මොකද, හොඳට කල්පනා කරන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සුන්ට මේ හොරු මුකුත් කරදරයක් කරන්නෙ නෑ. ඉතිං මොකද කළේ, හොරු මේ තුන්දෙනාට තොප්පි පහක් පෙන්නුවා. එයින් තුනක් සුදු පාටයි, අනිත් දෙක කළු පාටයි. ඊලඟට තුන් දෙනාව එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා හිටවලා, ඇස් බැඳලා එක්කෙනාට එක තොප්පිය ගානේ දාලා අනිත් තොප්පි දෙක හැංගුවා. ඊට පස්සෙ ආපහු ඇස් ලිහලා කිව්වා තුන් දෙනාගෙන් එක්කෙනෙකුට හරි තමන් දාගෙන ඉන්න තොප්පියෙ පාට හරියට කියන්න පුළුවන් උනොත් තුන් දෙනාවම නිදහස් කරනවා කියලා. 

දැන් මේ තුන් දෙනා ඉන්නෙ එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා හිටගෙන. අන්තිමයට තමන්ගෙ තොප්පිය පේන්නෙ නෑ, ඉස්සරහ දෙන්නගෙ තොප්පි පේනවා. දෙවෙනියට තමන්ගෙ එකයි පිටිපස්සෙ එක්කෙනාගෙ තොප්පියයි පේන්නේ නෑ, ඉස්සරහාම එක්කෙනාගෙ තොප්පිය පේනවා. ඉස්සරහාම ඉන්න කෙනාට කාගෙවත් තොප්පි පේන්නෙ නෑ.

ඉතිං අන්තිමයා මුළින්ම කිව්වා 'මං දන්නෙ නෑ' කියලා.

දෙවෙනියත් කිව්වා 'මං දන්නෙ නෑ' කියලා.

ඉස්සරහින්ම හිටපු එක්කෙනා හරි උත්තරේ කිව්වා. තුන් දෙනාම නිදහස් උනා.

අද ප්‍රශ්නේ, ඉස්සරහම හිටපු එක්කෙනාගෙ තොප්පියෙ පාට මොකද්ද, එයා ඒ බව හරියටම දැනගත්තේ කොහොමද?

අදත් තෑග්ගක් තියෙනවා. :D


48. ස්වාධීනත්වයේ අභිමානය...



මල් උයන් සැරිසරා
ජීවිතයේ රස විඳින්නට සැරසුණ
පුංචි සමනළ පෝතකය,
සිත් පිත් නැති අමානුෂිකත්වය
නුඹේ පියාපත් සිඳ බිඳ දමා ඇත
අසරණව වැටී සිටිනා ඔබ හට
නැතිද පිළිසරණක් කිසිවෙකුගේ?
ප්‍රාතිහාර්යයක්ම වනු ඇත එය
පීඩිතයන් තලා පෙළා
රජවරුන්ම වැජඹෙන්නට වලි කන
මේ රුදුරු සමාජයේ...

සිඳී බිඳී ගිය පියාපතක් මත
නැගැගත් විෂඝෝර දිමියෙක්
ඩැහැගන්නට තතනයි
ඉතිරිව ඇති ජීවනාලිය...

එනමුදු,
අත් නොහරියි ධෛර්යය
ඉඩ නොදෙයි මැඩලන්නට
ස්වාධීනත්වයේ අභිමානය...

සිඳී ගිය පියාපත් සලමින්
නැවතත් සුපුරුදු නිදහස සොයා යන්නට
වෙර දරන සමනල පෝතකය
නුඹට මාගේ උත්තමාචාරය...