01. ජීවන ගීතය...













සදා සොඳුරු වන අරණෙක
සැරිසරනා රණ මයුරෙනි
නිල් දිය පිරි සියපත් විල
පිහිනා යන රණ තිසරුනි
සවන් යොමා අසනු මැනැවි
මා කියනා මේ ගීතය
ඔහුගේ නාමෙන් ගැයෙනා
මාගේ ජීවන ගීතය

උදා හිරු කිරණ විලසින
දිනය එකළු කරවාලන
සිත පුබුදා සිනා සලන
මා දිවියේ හිරු නිරිඳුය

සිත්තම් ඵලකයෙ විසිතුරු
නන් පැහැ වන් දෝතට ගෙන
මා දිවි සිතුවමට නගන
මාගේ සිත්තරා ඔහුය

ගී ගයනා කොවුලන් හඬ
පරදාලන මිහිරි ගීත
ගයනා ඔහු මා දිවියේ
මියුරු මියැසියයි නිබඳව

අමයුරු රස වදන් දොඩා
මා මුව'ගට සිනහ ගෙනෙන
මගෙ ආදර මිතුරාණන්
ඔහුමය සැමදා නිසැකව

සිත තැවුලින් කඳුළු නැගී
මා හඬනා කළ සනහන
මහමේරුව විලස මගේ
අසලම ඉන්නේ ඔහුමය

දිවි ගමනේ ගල් පර දැක
නොසැලෙන නැවියෙකු විලසින
සැඩ සුලඟට බිය නොවනා
වනස්පතිය මෙනි ඔහු මට

මහ සයුරේ රැළි අතරේ
මංමුළාව තැවෙනා කළ
පහන් තරුව වී මා සිත
සනසාලන්නේ ඔහුමය

රෑ අඳුරේ මිහිරියාව
සඳ කැල්මෙන් නහවාලන
මා සිත සුවපත් කරවන
මා දිවියේ සඳ කුමරුය

6 comments:

  1. මෙන්න එහෙනං ඉස්සෙල්ලාම අපේ සිත්තමීට මගෙන් උණුසුම් සුබ පැතුම්!!
    ඔය තියෙන්නෙ නියම ආරම්භයක්!!
    නගේ මේ තැන් තැන්වල උත්තර බැඳ බැඳ ඉන්නෙ නැතුව ඔය හිතේ තියෙන කතන්දර කවි මෙහෙම ලියන්ඩ ලියන්ඩ කියල දවසක් දෙකක් මං ඔයාව වාත කළා මතකයිනෙ... ඊට පස්සෙ මං හිතුව ඔයාට බල කරන එක හොඳ නැ...ඔයා කැමති වෙලාවක ආපහු එන එක තමයි හොඳම දේ කියල..
    අද ඒ දේ වෙලා!!
    මට හරිම සතුටුයි ඒ ගැන...
    මේ අඩවිය තිබුණත් නැතත් හැමදාම ඔයා අපි එක්ක ඉන්නව කියල මං දන්නව
    බුදු සරණයි!!

    ReplyDelete
  2. @ Janu Akka

    ඔයාලා තමයි අක්කේ මගෙ නැතිවෙච්ච පන්හිඳ මට ආපහු හොයාගන්න උදව් කළේ. ස්තූති කරන්න වචන නෑ මට. :)

    ReplyDelete
  3. හෙහ්, හෙහ්, වෙල්කම් බෑක්, මැඩම්, වෙරිම වෙරි වෙල්කම් බෑක්.....

    පහුගිය වාරෙ ඔයයි කවි ලියනකොට අපි අඳුනන්නෙ නෑ...ඒ නිසා අම හිතන්නෙ මම ඔයාගෙ කවි කියෝලම නෑ...රායිට් ඔන්න මමත් ඉඳගත්ත දෙතුං පලකිං එකත්පස්ව කවි අහන්ට......

    නමේ හැටියටම තමයි අම්මප වැඩත්.......නියම කවියකිං ඔය තියෙන්නෙ වැඩ අල්ලල එහෙම....

    මඳ සුළඟ මුමුණනුයෙ කවියක්ය !
    දොළ පාර නැඟෙන රැලි කවියක්ය !!
    තනි තරුව සඳට කිව් කවියක්ය !!!
    සොඳුරු ඔබ ජීවිතෙම කවියක්ය !!!!

    ReplyDelete
  4. @ Ravi Ayya

    කියාගන්න බැරි තරම් ස්තූතියි රවි අයියේ, මේ හෘදයාංගම පිළිගැනීමට වගේම එදා ඉඳන් මට දීපු ධෛර්යයටත්. :)

    ReplyDelete
  5. සිත්තමී කමෙන්ට් වලින් ලස්සන අදහස් ලීවා. ඒත් එහෙම ලියද්දි සිතට එන අදහස් කොටු වෙනවා. අදාල පෝස්ට් එකට ගැලපෙන්නයි ලියන්න වෙන්නේ.
    මෙහෙම තමන්ගේම බ්ලොග් එකක් ලියද්දී නිදහසේ ලියන්න පුළුවන්. සිතට එන සෑම අදහසක්ම...
    සුභ පැතුම්...

    ReplyDelete
  6. @ Priyantha Ayya

    ගොඩාක් ස්තූතියි ප්‍රියන්ත අයියේ. :)

    ReplyDelete