02. චන්ද්‍රග්‍රහණය...













 
අඩ සඳ:   සක්වල සොයා යන්නේ
              ඇයිද ඔබ
              අසළින්ම මා සිටියදී

පෘථිවිය:   පුංචි ඔබගෙන්
              ඇති ඵලය?
              මා සොයා යන්නේ
              ලොකු ලොකු බලවතුන්

අඩ සඳ:   අඳුරු රැයේදී
              එළිය දෙන මා හට
              ඇයිද මේ සරදම්?

පෘථිවිය:   රැයේ පමණක්
              මුහුණ පෙන්නා මොටද?
              දහවලේදී
              ඉරෙන් මට ලැබෙන
              එළිය කොයි තරම්ද?

අඩ සඳ:   ඒ ඉරේ එළියෙන්
              ගිනිකණ වැටුණු දෑසට
              දහවලේදී මා නොපෙනුනත්
              දිවා රෑ නොවෙනස්ව
              ඔබ අසළමයි මම 

පෘථිවිය:   රැයේ දුන්නත් එළිය
              ඒ ඉරෙන් සොරාගෙන
              සිතුවේද මා
              නොදනියි කියා?

අඩ සඳ:   ඔබ පතන ඉර එළිය
              ඔබෙන් දුරස් වූ විටෙක
              ඒ ලෙසින් හෝ ඔබට
              යළි ලබා දෙන්නේ
              මට හැකි පමණින්

පෘථිවිය:   කුමන මැසිවිලිද මේ
              තරු එළිය ඇතිය මට
              ඇවැසි නැත ඔබෙ මෙහෙය
              සතුටු අතකට යන්න 

පසුබිම් කථනය: අඩ සඳ බලා හිඳියි... කඳුළු සලයි... 

පෘථිවිය:   මන්ද තවමත් මෙතන
               නෑසුණිද මා කී දෙය? 

අඩ සඳ:    හැකිද සිටින්නට
               මා නොමැතිව?

පෘථිවිය:    නෑසුණිද වරක් කී දෙය?
               තිබේ මට හිරු එළිය දහවල
               තරු ඇත රෑ අහස පිරෙන්නට
               ඒ තරුද හිරු මෙන්ම
               බලවත්ය 

අඩ සඳ:    මාද හිරු මෙන්ම වීනම්
               ඔබ දැවී හළුව යනු ඇත 

පසුබිම් කථනය: පෘථිවිය නිහඬය... අන් දෙසක බලා සිටියි... 

අඩ සඳ:     ඔබේ පැතුම එයම නම්
                යමි මම ඔබට නොපෙනී 

පසුබිම් කථනය: පෘථිවිය හැරී බලයි... සඳ නොපෙනී ගොසිනි... මඳක් වටපිට බලයි... පෙනෙන්නට නැත... 

පෘථිවිය:     නිමක් නැති දුක් අඳෝනා හඬ
                නොපෙනේද මා කෙතරම්
                කාර්ය බහුලදැයි කියා
                ගියාවේ ඇවැසි තැනෙකට
                යළි එනු ඇත
                සුපුරුදු ලෙසින්
                පුන් සඳක් විලසින් 

පසුබිම් කථනය: දින සති ගෙවී ගියේය... පසළොස්වකද ලං විය... එහෙත් සඳ නොමැත... 

පෘථිවිය:     මා සොඳුරු
                සඳවතිය
                උරණ වී ඇත්ද මා හා...
                පෙර දිනෙකනම්
                අමාවක වෙස් අරන්
                සැඟවී ගොස් හිඳ
                යළි පැමිණියාය මා වෙත
                එහෙත් මෙවර
                කොහිද ඇය...
                සයුර රළ නොනගයි
                කුමුදු මල් නොපිපෙයි
                රැයේ මිහිරියාව
                කොහි ගිහින්ද...
                ගෙමිදුල් මත රටා මැවූ
                කුඩා ළමුන් ගී මිමිණූ
                ඔබයි මගේ අග රැජිණිය
                සමා වී යළි එනු මැන... 

පසුබිම් කථනය: පෘථිවියේ අඳෝනාව ඇසුණා දෙව්ලොව රජිඳුට... 
                 සැඟවී සිටි තැනින් එන්න ඉඟි කෙරුවා සඳ කුමරිට...
                 හොරෙන් හොරෙන් එබී බලා
                 සඳ කුමරී සිනාසුණා...
                 ඇගෙ සුන්දර රුව දැකලා
                 පෘථිවිය සුසුමක් හෙලුවා... 

පෘථිවිය:      ඇයි ඔය තරමට
                 අමනාප වුනේ
                 මා සමගින්?

පුන්සඳ:      ඉවසා ඉවසා 
                 බැරිම මොහොතෙදියි
                 ඔබ වෙත දුක් ගැනැවිලි කීවේ
                 ඒ ගැන නොසිතා
                 සැර වූ විටදියි
                 මා සැඟවී යන්නට සිතුවේ 

පෘථිවිය:     ඔබ නැති ලොව මා
                කෙලෙසින් ඉන්නද
                ඔබයි මගේ ලොව අග රැජිණී
                ඔබ නැති දා මා අඳුරේ ගිලිලා
                සැනසුම සිසිලස සොයමින්නේ
                සමාව දෙනු මැන
                සඳ කුමරියනේ
                නොසිතා කළ කී දෑ කෙරෙහි
               ආයෙත් නොකරමි එලෙසින් කිසිදා
               ඔබ ගැන නිති සොයලා බලමී 

පුන්සඳ:    ඔබේ ආදරේ දිවි හිමියෙන් මා
               රකිනා බව දිවුරා කියමි
               අඳුරෙත් එළියෙත් ඔබ අත් නොහැරම
               ලඟින්ම හිඳිනට සපතනෙමි

2 comments:

  1. හඳ එළියේ සෞම්‍ය බව සිතට දැනුනා..
    ලස්සනයි. අලුත් අදහසක්. හොඳ නිර්මාණයක්.

    ReplyDelete
  2. @ Priyantha Ayya

    මේක මම කාලෙකට උඩදි ලියපු එකක්. චන්ද්‍රග්‍රහණයක් සිද්ද වෙච්ච දවසකදිද කොහෙද ලිව්වෙ. ස්තූතියි අගය කිරීමට අයියේ. :)

    ReplyDelete