367. කතා රසකැවිල්ලක්...

 


භාග්‍යාවයි ධනංජයවයි අමතක නැති යාළුවන්ට, භාග්‍යාගේ සිතුවිලිවලින් කියවපු කතාන්දරයේ පුංචි කොටසක් ඔන්න ධනංජයගේ සිතුවිලිවලින් අරගෙන ආවා. 😇


ඉන් පෙරද භාග්‍යා බීට්රූට් අලයක් මෙන් රත් පැහැ ගැන්වෙනු ධනංජය ඕනෑතරම් දැක ඇත. එවන් විටෙක කොක් හඬලා සිනාසෙනවා හැරෙන්නට වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නට ධනංජයට සිතී තිබුණේ නැත. නමුත් මෙවර ඔහුට සිතුණේම ඈ බදා වැළැඳ මුව සිපගන්නටය. ඒ, ඈ මෙවර එම සොඳුරුතම පැහැයට හැරුණේ තමා නිසා බව ඔහු වටහාගත් බැවිනි. මුල් කාලයේදී මෙන් ඔහුගේ කමකට නැති දෙපිටකාට්ටු වදන් හමුවේ නැගි අපහසුවට පත් ලැජ්ජාව හේතුවෙන් නොව, ඒ ඔහු නිසාම හටගත් කෝල බව හේතුවෙන් වූ නිසාවෙනි. ඒ හැරෙන්නට පෙර දිනෙක අහම්බයෙන් ගැටුනු එම දෙතොලෙහි රසය ඔහුට තවමත් අමතක නොමැති බැවිනි. 

නමුදු සිය කාමරයේ දොර අල්ලුව කිටි කිටියේ සුරතින් තද කොටගෙන, කතා කරන්නට පටන්ගෙන තිබූ ඇගේ දෑස් දෙස නොසෙල්වී බලා සිටියා විනා ඔහු වදනකුදු දෙඩුවේ නැත. මේ ඔහුගේ ස්වභාවය නොවීය. යුවතියන්ගේ විදුලි කොටනා දෑස් අභියස ඔහු සාමාන්‍යයෙන් මෙලෙස නිසොල්මන් නැත. නමුත් මෙම මායාකාරිය ඔහුව කණපිට හරවන්නට පටන්ගෙන ඇත. අවසන ඇය ම ඔහුට සුබ රැයක් පතා පියගැටපෙළ පහළට දිව ගිය මොහොතේ ඔහු නළලත දොරටුවේ ගසාගෙන කල්පනා කළේ, තමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තම වහළය යටම වෙසෙනා මෙම මුවැත්තිය බියපත් නොකොට ඈ වෙත සමීප වන්නේ කෙසේදැයි කියාය. 

එළැඹුනු විවේකී සති අන්ත සන්ධ්‍යාවේ ධනංජය රූපවාහිනිය ඉදිරියේ හිඳගත්තේ චිත්‍රපටයක් නරඹන්නටය. සිය චිත්‍රපට තැටි එකතුවෙන් ක්‍රියාදාම චිත්‍රපටයක් තෝරාගෙන තැටි ධාවකයට ඇතුල් කළ ඔහු හරිබරි ගැසී සෝපාවේ වැතිරගත්තේය. කඩමණ්ඩියට ගොස් සිටි භාග්‍යා නිවසට ඇතුලු වූයේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා උද්වේගකර සටන් ජවනිකාවක නිරත වෙමින් සිටියදීය. "ශා! බෙන් ඇෆ්ලෙක්!" ඇගේ හඬ ඔහුට පිටුපසින් ඇසුනි. "අනේ මුළ ඉඳන් දාන්නකෝ!"

"තේ හම්බවෙනවානං මුළ ඉඳන් දාන්නං!" ඔහු පවසා සිටියේය.

"හා හා, ගේන්නං ගේන්නං!" භාග්‍යා ගෙන ආ බඩු මලුද ඔසවාගෙන විගසින් මුළුතැන්ගෙය වෙත දිව ගියාය. 

කේතලයේ වතුර උතුරන පමාවෙන් දුම් දමන ඉඟුරු තේ කෝප්පයක්ද රටකජු පිරවූ බඳුනක්ද රැගෙන ඈ පැමිණෙද්දී ඔහු ච්ත්‍රපටය යළි ආරම්භක ස්ථානයට ගෙනැවිත් තිබුණි. තේ කෝප්පය අතට ගනිමින් කෙළින් වී හිඳගත් ධනංජයට ඈ තමා ළඟින් හිඳුවාගන්නට හදිසියේම ආශාවක් පහළ විය. නමුදු ඈ හා ගනුදෙනු කළ යුත්තේ තම හුරුපුරුදු විලාශයෙන් නොවන බව ඔහු මේ වනවිට වටහාගෙන සිටියේය. නිකමට මෙන් ඔහු සෝපාවේ පසෙකට වූවද ඈ ඉතිරි ඉඩෙහි හිඳගනු ඇතැයි විශ්වාසයක් ඔහුට නොවීය. නමුත් මොහොතක් පුදුමයෙන් බලා සිටි ඇය ඔහුද පුදුමයට පත් කරමින් එහි හිඳගත්තාය. ධනංජයගේ හිසෙහි මල් දහසක් පිපුණි. දෑස් රූපවාහිනී තිරය වෙතම යොමු වී තිබුණද තරමක් වේලා ගතවන තුරු ඔහු චිත්‍රපටය නැරඹුවේ නැත. ඔහුගේ සිත බොහෝ සේ කාර්‍යබහුලව තිබුණි. තමා කුමක් හෝ පැවසිය යුතුද? චිත්‍රපටය ගැන? ඈගේ රසැති තේ කෝප්පය ගැන? නැතහොත් ඇගේ සාප්පු සවාරිය ගැන? ඇගේ සිතුවම් ගැන? ඉන්දියානු ගමන ගැන? නමුත් ඔහුගේ මුවට වදන් ගලා එන්නේ නැත.  අවසන, එම චුම්භකාකර්ෂණය තව දුරටත් දරා සිටිය නොහැකි වූ තැන ඔහු ඈ වෙත හොරැහින් බැල්මක් හෙලුවේය. ඈ ද රූපවාහිනියේ නෙතු අලවාගෙනය. රටකජු බඳුනට අතවත් තබා නැත. අවසන රටකජුවල පිහිට පතන්නට තීරණය කළ ඔහු අත දිගු කොට ඇගේ උකුළ මත වූ බඳුනින් රටකජු අහුරක් අතට ගත්තේය. 

භාග්‍යා දැහැනකින් මිදුණාක් මෙන් දෑස් හයා ඔහු දෙස බැලුවාය. "අනේ සොරි. ගන්න ගන්න, ටවුමෙන් දැන් එන ගමන් අරගෙන ආවේ." ඇය බඳුන ඔහු වෙත පෑවාය.

"මේ ඇති, ආයෙ පස්සෙ ගන්නං."

ඉන් අනතුරුව ඇය චිත්‍රපටය ගැනත්, එම නළුවා ගැනත් කතා කරන්නට පටන්ගත්තාය. ඔහු හූමිටි දෙමින් ඈ කියනා සියල්ලට එකඟ වෙමින් මීළඟ වතාවේ තෝරාගත යුත්තේ ප්‍රේම ජවනිකා බහුලව ඇති චිත්‍රපටයක් බව සිතට ගත්තේය.

"ඇයි අද ඔයා රණ්ඩුවෙන්නෙ නැත්තෙ?" ඇය හදිසියේම විමසුවාය.

එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත පැනයක් විය. "හැහ්?"

"අද ඔයා හරි වෙනස්නේ. මං කියන ඔක්කොටෝම හූමිටි දෙනවා."

"ආ... ඒකද..." ඔහු සිනහවක් පෑවේය. "ඔයාගේ අප්පච්චිගෙන් මං ඉගෙනගත්තේ. කුඩම්මා කියන කියන එකට හූම් කියනවා අප්පච්චිත්..."

ඇය නළල රැළි කරගත්තාය. "ඉතින්?"

"ඉතින් මටත් එහෙම කරලා බලන්න හිතුණා!"

ඇය තව මොහොතක් ඔහු දෙස බලා හිඳ "පිස්සුද කොහෙද," යැයි පවසා මඳක් දුරස් වූවාය.

ඔහු වහා සිය ක්‍රමෝපාය වෙනස් කරන්නට තීරාණය කළේය. "ඒක නෙවෙයි, අන්න අර නිළිය ඉන්නවා නේද..." ඔහු චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පෙන්වමින් ඈ ගැන වර්ණනා කරමින් දොඩන්නට විය. ඇය ඔහුගේ බස්වලට හූමිටියකින් හෝ සහයෝගයක් නොදී බුම්මාගෙන නිහඬ වූවාය. එම ඊර්ෂ්‍යාකාර ගැහැනු සිතට තමා මෙතරම්ම ආශක්ත වන බව මෙතෙක් දැන නොසිටියේ මන්දැයි ඔහු මෙනෙහි කළේ ඈනුමක වේශයෙන් සඟවාගත් සිනහවකිනි. එම ඈනුම් සිනහව සඟවාගන්නට එසැවුණු ඔහුගේ වමත නතර වූයේ ඇයට පිටුපසින් සෝපාවේ ඇන්ද මතිනි.

චිත්‍රපටයේ හෝරාවක් ගෙවී යන්නට ආසන්නයේදී චිත්‍රපටයේ ත්‍රාසය උච්ඡතම අවස්ථාවට නැගැ තිබුණි. භාග්‍යා ගල්ගැසුණු ලෙසින් එදෙස බලා සිටියේ රටකජුද නැවත වරක් අමතකව ගිය ලෙසිනි. ධනංජය සෝපා ඇන්ද මත වූ සිය වමත හෙමි හෙමින් ඇගේ උරහිස වටා රැඳවූවේය. භාග්‍යා එක්වරම සිය දැහැනින් මිදුණද සෙලවුණේ නැත. ඇගේ කෝපාන්විත එරැවුමක් ලබන්නට ඔහු සූදානමින් සිටියද, ඇගේ දෑස් රූපවාහිනී තිරයෙන් මිදුණු බව ඔහු දුටුවද, ඈ ඔහු දෙස බැලුවේ නැත. ඉන් දිරි ලැබගත් ධනංජය සිය ග්‍රහණය වඩාත් සුරක්ෂිතව දැනෙන අයුරින් ඇයට මඳක් සමීප විය. "බය වෙන්න එපා, ඔයාගේ වීරයාට මුකුත් වෙන්නේ නෑ..." ඔහු ඇගේ සවනට මිමිණුවේය. අනතුරුව රටකජු ඇට දෙක තුනක් ගෙන ඇගේ මුවට ළං කළේය. සඳළුතලයේ හිඳ රෑ නිදි වරමින් අවුරුදු ඇඳුම් සිතුවම් කළ දා මෙන් ම ඈ මුව විවර කර ඔහුගේ සංග්‍රහය පිළිගත්තාය.

තමා හට මේ දැනෙන්නේ මුල් වරට යුවතියකගේ කැමැත්ත ලැබූ ප්‍රේමවන්ත යෞවනයෙකුට දැනෙනා ප්‍රීතිය විය යුතුයැයි ධනංජය සිතාගත්තේය. හද බැඳි ආදරයකට පෙර යුවතියන් හා වෙනත් අන්දමේ ඇසුරකට හුරුව සිටි ඔහුට මෙබඳු පිවිතුරු හැඟීමක් ඉන් පෙර දැනුණානම් ඒ ද භාග්‍යා නිසාම ය. ශීතල රජයන සිරිපා හිමය පේන මායිමේ පිහිටි ඇගේ නිවහනේදී එම හිමිදිරි උදෑසන ඈ තමාට තුරුළුව නිදා සිටි අන්දම දැකීමෙන් සිතට දැනුණු ආදරය ඔහුට තවමත් මහත් පුදුමයෙකි. හුදු ගනුදෙනුවක ස්වරූපයෙන් සිදු කෙරුණු විවාහය හේතුවෙන් තම ජීවිතයට එකතු වූ මෙම අරුම පුදුම මායාකාරිය තම ජීවිතය උඩු යටිකුරු කරමින් සිටිනා අන්දම ගැනද ඔහු තවමත් පුදුමයෙනි.

කුළුඳුලේ හිත බැඳී ආදරේ
පෙර නොවූ අරුමෙකී ජීවිතේ
නුඹ සොයා පියඹනා සිත මගේ
නවතනූ බැහැ ඉතින් සොඳුරියේ

නන් වනින් පියා සලා සමනලුන් තොසේ
බැලූ බැලූ අතේ පිපී කුසුම් සිනා සැලේ
කුරුළු තුඩ'ග නිබඳ මියුරු ගී කතා ඇසේ
දුටිද නන් සොබා වැනුම් මෙ නුඹ නමින් මැවේ

නෙත් අගින් බලා මිහිරි සිනහ පා මුවේ
තෙලිතුඩින් මවා සිහින පණ පොවන රඟේ
රන් රුවින් දිලෙන තරු මට කුමටදෝ ළඳේ
ගගන එකළු කළ සඳමිණ නුඹ සදා මගේ


366. සාහිත්‍යය හා පරිකල්පනය...


පහුගිය සති අන්තයේ මං හා හා පුරා කියලා බරපතල වැඩක් කළා. මං ඉගෙනගත්ත පාසලේ ආදි ශිෂ්‍ය කමිටුවේ පුස්තකාල අනු-කමිටුවෙන් 'සාහිත සියපත්' කියලා සාහිත්‍යයට සම්බන්ධ ආදි ශිෂ්‍යාවන්ගේ සම්පත් දායකත්වයෙන් මාර්ගගත වැඩසටහන් මාලාවක් කරනවා. ඒකේ මුල්ම වැඩසටහන කළේ අපේ හෙල්මලී අක්කා. දෙවෙනි වැඩසටහන කරන්න ආරාධනා ලැබුණේ මට. මං කතා කළේ 'සාහිත්‍යය සහ පරිකල්පනය' ගැන. ඒ කාරණා දෙක පදනම් කරගෙන මූලික කාරණා කිහිපයක් කතා කරලා මම සාහිත්‍ය ශානර අතරින් පරිකල්පනය වැඩිපුරම යොදාගැනෙන 'ෆැන්ටසි ශානරය' ගැන මම දන්න දේ සහ 'එකෝමත් එක කාලයක' කතා මාලාව ගොඩනගද්දී මුහුණදීපු මගේ අත්දැකීම් එකතුකරගෙන කතා කළා. මේ පහළින් තියෙන්නේ මං ඉදිරිපත් කරපු presentation එක convert කරලා හදපු video එක. පැය එකහමාරක් විතර කතාකරපු ඔක්කොම හෑලි ටික මෙතන නැහැ ඉතින්. ඒ වුණාට දළ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.  




365. Third Person Limited Point of View

 


Third Person Limited Point of View (ප්‍රථම පුරුෂ සීමිත දෘෂ්ඨි කෝණය).

පාසල් කාලයේදී පටන් අසා තිබෙන උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණ අතර මේ නම එතරම් හුරු පුරුදු නැති වුවත්, මෙම ආඛ්‍යාන රටාවෙන් ලියැවුණු කෘතිනම් ඔබ ඕනෑතරම් කියවා ඇති. 

ප්‍රථම පුරුෂ ආඛ්‍යාන රටාවෙන් කෘතියක් රචනා කරන්නට පුළුවන් ආකාර දෙකක් තිබෙනවා; එකක්, සියල්ල දන්නා, සියල්ල දකිනා Third Person Omniscient Point of View, අනිත් එක තමයි මම අද විස්තර කරන්නට බලාපොරොත්තු වන Third Person Limited Point of View. මෙය ඇතැම් තැනක 'Indirect Internal Narrative' ලෙසින්ද හැඳින්වී තිබෙනවා මම දුටුවා. මෙතනදී විශේෂත්වය වන්නේ කතාව ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථම පුරුෂ ආඛ්‍යාන රටාවට අයත් ඔහු, ඇය, ඔවුන් ආදී වශයෙන්, නමුත් තෝරාගත් එක් ප්‍රධාන චරිතයකට (හෝ කිහිපයකට) ඉතාමත් සමීපව වීම. පාඨකයාට දැනගන්නට ලැබෙන්නේ එම දෘෂ්ඨි කෝණයට අයත් චරිතය දකිනා සහ දන්නා දේවල් පමණයි. ඔහුගේ හෝ ඇයගේ දැනුමින් පරිබාහිරව කතා සන්දර්භය තුළ සිදුවන කිසිවක් පාඨකයාට දැනගන්නට ලැබෙන්නේ නැහැ. සෙසු චරිතවල හැඟීම් සහ සිතුවිලිවලට පිවිසෙන්නට පාඨකයාට අවසරයක් ලැබෙන්නේත් ප්‍රධාන චරිතය එම කාරණා නිරීක්ෂණය කරන ආකාරය මත පමණයි. 

මෙම සීමිත බව නිසා කතාන්දරයක කුතුහලය උපරිමයෙන් රඳවාගන්නට විශාල පහසුවක් කතුවරයාට ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන චරිතයට සමීපව කතාන්දරය දිගහැරීමෙන්, එම චරිතය තුළ සිතුවිලි හා හැඟීම් ඝට්ටනය වන අන්දම පුළුල්ව ගෙන හැර පෑමෙන් පාඨකයාට එම චරිත පිළිබඳව ප්‍රබල සහකම්පනයක් දැනෙනවා. එය කතාන්දරය වඩාත් සංවේදීව රසවිඳින්නට පාඨකයාට ප්‍රයෝජනවත් වෙනවා.

Third Person Limited දෘෂ්ඨි කෝණයෙන් ලියවුණු, මට මේ මොහොතේදී සිහිපත් වන දැවැන්තම නිර්මාණයක් තමයි George R. R. Martin ගේ ‘A Song of Ice and Fire’ කතා මාලාව. එහි පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට එක් එක් චරිත විසින් කතාන්දරය ගෙන එන්නේ මේ කියූ දෘෂ්ඨි කෝණයෙන්. පරිච්ඡේදය ආරම්භයේදී එය ගෙන එන්නේ කවරෙකුගේ දෘෂ්ඨි කෝණයෙන්ද කියා සඳහන් කොට තිබෙන නිසා පාඨකයාට පටලැවීමක් සිදුවන්නේ නැහැ. කතුවරයාගේ දැවැන්ත මනඃකල්පිත මවාපෑම තුළ පුළුල් පරාසයක විහිදෙන මේ කතා මාලාවට ඔහු චරිත බොහොමයක දෘෂ්ඨි කෝණ ඈඳාගෙන තිබෙනවා. ඒ සියල්ල සමබරව කතාන්දරය තුළ රඳවාගන්නට තරම් ඔහු අති දක්ෂයෙකු බව අප සියල්ලන්ම දන්නවානේ.

පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මෙම Third Person Limited Point of View යොදාගැනුණු තවත් අවස්ථාවක් තමයි මම පරිවර්තනය කළ Nicholas Sparks කතුවරයාගේ ‘අවසන් ගීතය’ පොත. එහි සිටිනා චරිත බොහොමයක් අතුරින් කතාන්දරය ඉදිරිපත් කෙරෙන්නේ එකිනෙකට වෙනස් චරිත හතරක් හරහා. රොනී - දහ හත් වියැති විප්ලවකාරී සිතුවිලි හා ගතිපැවතුම් ඇති යුවතියක්, විල් - කාරුණික හා ඉවසිලිමත් ගති පැවතුම් ඇති තරුණයෙක්, ස්ටීව් - මුහුකුරා ගිය දැක්මකින් සියල්ල දකිනා රොනීගේ පියා, මාර්කස් - දඩබ්බර ප්‍රචණ්ඩකාරී තරුණයෙක්. මේ එකිනෙකා ගෙන එන පරිච්ඡේද තුළදී ඒ එකිනෙකාගේ සිතුවිලි අභ්‍යන්තරයට එබී බලන්නට පාඨකයාට ඉඩ ලැබෙනවා. එම සිතුවිලි තුළ ඇති විවිධත්වය, එම පරිච්ඡේද තුළදී භාවිතා වන වචනවල මටසිළුටු බව හා ගොරහැඩි බව අතර වෙනස ආදිය මගින් පාඨකයාට ඒ එකිනෙකක් චරිත හා සමපාත වන්නට කතුවරයා ඉඩ ලබා දී තිබෙනවා. මේ එම පරිවර්තනයේ විල්ගේ පරිච්ඡේදයකින් උපුටාගත් එක් ඡේදයක්:

//

විල් සිය ගමන් වේගය වැඩි කරන අතරේ කුඩා දරුවෙකුගේ හැඬීමක් යාන්තමින් ඔහුට ඇසුණි. සෙනග අතරින් මිදී කවය තුළට පිවිසි ඔහු ලාන්ස් වෙතට හැරුණු මොහොතේ එක් වරම කොහේදෝ සිට ගැහැනු ළමයෙකු එතැනට කඩා පාත් විය.

"නවත්තනවා ඕක!" ඇය දෑත් විහිදුවමින් කෑ ගැසුවාය. "ඔය හැමෝම! දැන්මම නවත්තනවා ඕක!"

//

මේ පරිච්ඡේදයට පෙර රොනීගේ සහ ඇගේ පියාගේ පරිච්ඡේද පසු කර පැමිණි නිසා මෙම ගැහැනු ළමයා කවුරුන්ද කියා පාඨකයා දන්නවා. නමුත් විල් තවමත් ඇගේ නම නොදන්නා නිසා, එතෙක් ඔහුගේ පරිච්ඡේද තුළ ඈ හැඳින්වෙන්නේ එම ගැහැනු ළමයා, දම් පැහැ කෙස් රොදක් ඇති ගැහැනු ළමයා ලෙසින්. 

මේ Third Person Limited දෘෂ්ඨි කෝණ ආඛ්‍යාන රටාව එක්ක මගේ තියෙන අත්දැකීම තව දුරටත් පුළුල් වුණේ 'හද වෙණ සත්සර' නවකතාව එක්ක. මේ කතාව, මින් අවුරුදු හතරකට කළින් මං මුළින්ම ලිව්වේ උත්තම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන්, කතාකරන භාෂාවෙන්. ඒ කතාකරන භාෂාව ඇතුළේ තිබුණේ බොහොම සැහැල්ලු, ඉංග්‍රීසි - සිංහල මිශ්‍ර වුණු සරල ආඛ්‍යානයක්. කතාවේ ප්‍රධාන කාන්තා චරිතය වුණු අමන්දිගේ චරිත ස්වභාවය අනුව ඇගේ සිතුවිලි ඝට්ටන උත්තම පුරුෂයෙන් ගෙන එන්න වුණේ මට ඒ විදිහට. ඒත් ඒක කෘතියකට සුදුසු බවක් මට දැනුණේ නැහැ. ඒ නිසා මම කතාන්දරය උත්තම පුරුෂයෙන්ම ලිඛිත භාෂාවට ගේන්න උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ, ලියන මට ම එතන දැනුණේ මහා කෘත්‍රිම බවක්. ඒ නිසා ඒ උත්සාහය අත් ඇරලා ආයෙ කාලෙකට පසුව මම කතාන්දරය මුළ ඉඳන් ලියන්න පටන්ගත්තා ප්‍රථම පුරුෂයෙන්, නමුත් ඇගේ සිතුවිලි ඝට්ටනයට හානි නොවෙන විදිහට. එතනදී මගේ අතින් ලියවුණු ස්වභාවයේ වෙනස මට දැනුණා. ඒ ගැන වැඩිදුර විස්තර සොයා බලද්දි තමයි මට අන්තර්ජාලයේ Third Person Limited Point of View යෙදුමත්, ඒ ගැන ලියවිලා තියෙන න්‍යායාත්මක තොරතුරුත් දැනගන්නට ලැබුණේ. ඒ වගේම ඒ ආකාරයෙන් ලියවිලා තිබුණු අනෙකුත් කෘති ගැන සිහිපත් වුණේ. ඉතින් මම 'හද වෙණ සත්සර' මුළු කතාන්දරයම ආපහු ලිව්වා. කතාන්දරයට 'හද වෙණ සත්සර' කියන නම යෙදුවේ ම හදවත තුළ ඇතිවෙන විවිධාකාරයේ කම්පනයන් එක්ක අපි ගැටෙන විදිහ නිරූපණය කරන කතාන්තරයක් නිසා. ඒ නිසා ඒ හැඟීම් සහ සිතුවිලි තාත්විකව පාඨකයා වෙත ගෙන එන එක මගේ යුතුකමක්. කෘතිය දිගහැරෙන්නේ වෙණ වැයුම් එහෙමත් නැත්නම් කොටස් තුනක් ලෙසින්. මුල් කොටස් දෙක කියවෙන්නේ අමන්දිගේ දෘෂ්ඨි කෝණයෙන්. තුන්වෙනි කොටස කියවෙන්නේ ඇගේ හදවත සොරාගත් තැනැත්තාගේ දෘෂ්ඨි කෝණයෙන්. මේ අවුරුද්දේ මුළ පොතක් විදිහට ඔයාලා අතට ලැබුණේ අන්න ඒ කතාන්දරය. එහි සෝදුපත් පරීක්ෂා කරපු Chandika Abeywickrama සොහොයුරා සමග දුරකතනය හරහා ඒ ගැන ඇතිවුණු වාද විවාද සංවාද සමග මගේ ඒ අත්දැකීම තවත් පුළුල් වුණා. මේ එම කෘතියෙන් උපුටාගත් කොටසක්:

//

එම මැටි මෝල් මුහුණ වෙතින් ඉවතට හැරෙනා විටද තමා ඔරවාගෙන සිටි බව ඇයට මතකය. 

"ඔයාට තේරෙනවද මං කියන දේ?"

ඒ හතරබීරි කතා කිසිවක් ඇයට වැටහෙන්නේ නැත. නමුත් නොවැටහෙන බව පැවසුවහොත් ඔහු තවදුරටත් පැහැදිලි කරන්නට පටන්ගනු ඇත. ඒ වනවිටද ඔහුගේ දෙකන් දුම් දමන තරමට රතු වී තිබුණි. ඇගේ මුහුණ දුම් පමණක් නොව ගින්දරද පිට වන තරමට රතු වී තිබුණි. "ඔව්," ඇය පිළිතුරු දුන්නාය.

//

අමන්දිගේ අභ්‍යන්තර සිතුවිලිවලට අනුව එතැන සිටින්නේ හතරබීරි කතා දොඩනා මැටි මෝලෙකි. මෙම කොටස සාමාන්‍ය ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කෙරෙනවාට වඩා සමීප බවක් පාඨකයාටත්, උත්තම පුරුෂයෙන් ඉදිරිපත් කරනවාට වඩා යම් පාලනයක් කතුවරයා ලෙසින් මටත් මෙතනදී ලැබෙන බවක් මට දැනෙනවා.

මෑතකදී මගේ අතින් සයිබර් අවකාශයේ ලියැවුණු 'සිනහ වෙනු මැන වේදනා පිස දා' කතාන්දරයේදීත් පාඨකයාට මේ අත්දැකීම ලැබුණා. එතනදී මුළු කතාන්දරයම ඉදිරිපත් වුණේ භාග්‍යා නමැති තරුණ චිත්‍ර ශිල්පිනියගේ Third Person Limited දෘෂ්ඨි කෝණයෙන්.

//

"මොකද කියන්නේ? කැමතිද?" බංකුවේ අනෙක් පසින් ඇසුණු හඬින් ඇගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. භාග්‍යා හිස හරවා ධනංජය දෙස බැලුවාය. ඔහුද ඈතින් දිස්වන සිරිපා කඳුවැටිය දෙස නෙතු යොමාගත්වනම බර කල්පනාවකය. සේනාධීර පවුල කෑගල්ලේ වත්පොහොසත්කම් ඇති ව්‍යාපාරික පවුලකි. ධනංජය එකම පුත්‍රයාය. ඔහුගේ බාල සොහොයුරිය විවාපත්ව විදෙස්ගතව ඇත. පියා විසින් අධිපතිත්වය දරන ඇඟලුම් ව්‍යාපාරයේ කොළඹ ශාඛාවේ සහය කළමනාකරු ලෙස සේවය කරමින් ධනංජය කොළඹ දිවි ගෙවන්නේ තනිවම ය. එතෙක් කල් භාග්‍යාගේ සිත පැහැරගත් කිසිවෙකුගේ අසළකින්වත් ඔහු තැබිය නොහැක. තළෙලු පැහැ ගත් මුහුණ මැද වූ නාසයේද සුළු ඇදයක් ඇති බව භාග්‍යා දුටුවාය. රැවුල් ගසක් හෝ නොමැති මුහුණේ වූයේ ළදරු පෙනුමකි. ඔහු ඇඳ සිටි දම් පැහැ කමිසය ද ඔහුගේ පෙනුමට නොගැලපෙන බවක් ඇයට හැඟුනි. 

//

කතාව ආරම්භයේදී ඇගේ සිත තුළින් ධනංජය නමැත්තා පිළිබඳව පිළිබිඹු වන මෙම නොපැහැදීම කතාව අවසානය දක්වා ගලා යන අතරේ කෙමෙන් වෙනස් වන අන්දම කොටසින් කොටසට මගේ ආදරණීය පාඨකයන් අත්විඳි ආකාරයත්, අවසානය තෙක් ම ඔවුන් කුතුහලයෙන් පෙලුනු අන්දමත් මම හොඳින්ම දුටුවා. 

ස්තුතියි මේ දිග විස්තරය කියෙව්වාට. මේ බෙදාගත් මගේ ලේඛන අත්දැකීම්වලින් ඔබේ දැනුමට යමක් එකතු වූවානම් එය මට ලොකු සතුටක්. 💗


Some useful links:

https://blog.reedsy.com/guide/point-of-view/third-person-limited/

https://www.helpingwritersbecomeauthors.com/how-to-use-paragraph-breaks/



364. පොඩි ඇඩ් එකක්... :D

 


නුවර බලා දිවෙන ශීඝ්‍රගාමී දුම්රිය පදික වේදිකාව අසල නතර කළ මොහොතේදී මව්පියන්ට වැඳ සමුගත් අමන්දි එයට ගොඩවූවාය. ගමන් ඇරඹූ දුම්රිය ඈතට ඇදී යන අතරේ නැවතුම්පොළේ බලා සිටිනා මව්පියන් දෙස නෙතු යොමා සිටිනා විට ඇගේ සිත පිරී තිබුණේ මිශ්‍ර හැඟීම් සමුදායකිනි. කැදැල්ලක් තුළ මව්පිය තුරුල්ලේ කා බී හැදී වැඩෙනා කුරුලු පැටවුන් දිනෙක කැදැල්ල කෙළවරට පැමිණ එතෙක් දුටු නිල් අහසත්, සෙවණ දුන් මව් ශාකයේ අතු පතරත්, මව්පිය සොයුරු සොයුරියන්ගෙන් යුතු පවුලත් හැරෙන්නට බොහෝ සුවිසල් වූ ලෝකයක් ඇති බව දැකගන්නා සැටි ඇය සිහිපත් කළාය. එම සුවිසල් ලෝකය දැකගන්නට නොඉවසිල්ලෙන් ඔවුන් වැටි වැටී පියාසර කරන්නට තැත් දරනා අන්දම ඇය සිහිපත් කළාය. තමා තටු ගැසිය යුතු කල් එළැඹ ඇත්දැයි, නැතහොත් තවමත් නිසි කල් එළැඹ නැත්දැයි සිතාගත නොහැකිව ඇය දුම්රිය කවුළුවට හිස තබාගෙන වේගයෙන් පසුපසට ඇදී යන ගස් කොළන් සහ මංමාවත් දෙස බලා සිටින්නට වූවාය.

[පිටුව 29]

***

"මෙච්චර සීදේවි දැරිවියෙක් එක්ක එකට වැඩ කරන බවක් පුතා අපට නිකමටවත් කිව්වෙ නැහැනේ?" මව සම්පත් වෙත එල්ල කළ චෝදනාව හේතුවෙන් අමන්දි රත් පැහැ ගැන්වුණද, "එයාගෙ නම සීදේවි නෙවෙයි, අමන්දි!" යැයි ඔහු රථය පදවන අතරේම සුපුරුදු බැරෑරුම් ස්වරයෙන්ම පිළිතුරු දුන්නෙන්ද, නිර්මාල් උගුර යටින් හිනැහෙන හඬ ඇසුණෙන්ද ඇය නැවතත් යථා තත්ත්වයට පත් වූවාය.

"දෝණිගේ ගම් පළාත් කොහෙද?" මව ඇගෙන් විමසා සිටියාය.

"මං ඉන්නේ ඇඹුල්දෙණියේ අම්මේ. කොළඹමයි..." අමන්දි පිළිතුරු දුන්නාය.

"එහෙමනං ඉතිං ගමේ දුවන්ට කියලා වුවමනාවක් නැහැනේ. අපේ පුතාටනං දැන් සති ගාණකින් ගෙදර එන්ට මතක්වුණේ නැහැ. ඒකයි මේ මංම ආවේ ඇවිත් බලලා යන්ට කියලා!"

"එහෙම එන්න ඕනෙ නෑනේ. මං කිව්වනේ මං එනවා කියලා!" සම්පත් පිළිතුරු බැන්දේය.

"අද එයි හෙට එයි කිය කිය සති ගාණක් තිස්සේ බලා ඉඳලා තමයි මේ ආවේ! අප්පච්චිටත් එන්ට හැටියක් තිබුණානං එනවා. ඒත් මාන්සි වෙන්ට හොඳ නැහැනෙ."

"ඉතින් අප්පච්චි මහන්සි වෙන්න ඕනෙ නෑ. අම්මත් මෙහෙම තනියම එන්න ඕනෙ නෑ!" මවගේ මෙම ගමන ගැන සම්පත්ගේ එතරම් කැමැත්තක් නොමැති හැඩය. "එන්න බැරිවුණේ ඉතින් මට වැඩ තිබුණ හින්දානේ. මං හැමදාම දවසට කී සැරයක් කතා කරනවද? පුළුවන් වෙච්ච ගමන් එනවා කිව්වනේ. අර අසිතයාව මට අහුවෙච්චදෙන්කෝ. අම්මාව කෝච්චියට නග්ගනකල් ඌට බැරිවුණා මට පණිවිඩේ දෙන්න!"

ඔහුගේ එම දිගු නෝක්කාඩුව අතරේ සිය ගමන් මල්ල තුළින් පාර්සලයක් අතට ගත් මව හිනැහෙමින්ම එය දිග හැර එහි වූ වැලිතලප කොටස් තුනකට බෙදා නැවතත් ප්‍රවේශමට එතුවාය. "මමයි අසිත පුතාට කිව්වේ උඹට වේලපහින් දන්නන්ට එපාය, මංම ගොහින් ගම රට අමතක වෙලා තියෙන හොරේ හොයාන එන්ට ඕනෙය කියලා!"

"මගෙ හොයාගන්න ඇති හොරයක් නෑ. ඔය මොකද ඔය මට ගෙනාපුවා මේගොල්ලන්ට බෙදන්නේ?" මව වැලිතලප පාර්සල් දෙකක් නිර්මාල් හා අමන්දි අත තබනු දුටු සම්පත් වහා විමසුවේය.

"උඹට මොකවත් ගෙනාවෙ නෑ. මේ ඉතිරි ටික දෙන්නේ උඹේ බෝඩිමේ පහළ ගෙදර අර පොඩි එකාට!"

[පිටුව 73]

***

හදිසි ඇමතුම් අංකය!

ඇයට සිහිපත් විය. හෙමින් සීරුවේ නැවත සිටගත් අමන්දි ගෙවුම් කාඩ්පත ඇතුළත් කොට 119 අංකයට ඇමතුමක් ලබාගන්නට උත්සාහ කළාය. දුරකතනයක් නාද වන හඬක් ඇසුණේ නැත. සියලුම රටවලට ඇත්තේ එකම හදිසි ඇමතුම් අංකයක් නොවේද? ඇය දන්නේ නැත. සියලු හදිසි ඇමතුම් අංක ඇතුළත් කොට විශ්ව විද්‍යාලයෙන් ලබා දී තිබූ කාඩ්පත පවා තිබුණේ ඇගේ ජංගම දුරකතනයේ කවරය තුළය. නිකමට හෝ එදෙස බලා එහි අංකයක් දෙකක් මතකයේ තබාගත යුතුයැයි ඇයට කිසිදාක සිතී තිබුණේ නැත. ඈ දැන සිටියේ ශ්‍රී ලංකාවේ හදිසි ඇමතුම් අංකය 119 බව පමණි. එය දුරකතන කුටිය තුළ හෝ කොතැනකවත් අලවා ඇත්දැයි ඇය පිරික්සා බැලුවාය. දකුණුපස බිත්තියේ කුමක් හෝ දැන්වීමක් අලවා තිබුණද, සිහිසුන් වන්නට ආසන්න තත්ත්වයක සිටි ඇයට ඒ අන්ධකාරය තුළ එය පැහැදිලිව දැකගන්නට හැකියාවක් තිබුණේ නැත. කුටිය තුළ කොතැනක හෝ විදුලි පහනක් ඇති වුවද එය දල්වාගැනීම අනතුරට අත වැනීමක් වනු ඇති බව ඇය දැන සිටියාය. දැන්වීම බිත්තිය මතින් ගලවාගත් ඇය එය දුරකතනයේ අංක පුවරුව වෙතින් නික්මෙන මන්දාලෝකය වෙතට ආසන්න කළාය. සිය අතෙහි වූ කඩදාසිය දෙස බලා සිටිනා අතරේ එතෙක් සිරවී තිබූ කඳුළු කැට ඇගේ දෑසින් කඩා හැලෙන්නට විය. එහි අංක පෙළක නම් මුද්‍රණය වී තිබිණි. නමුත් එම නම් ඉදිරියේ වූ අංක පෙළම කවුරුන් හෝ නොසණ්ඩාලයෙකු විසින් අඳුරු තීන්තයකින් මකා දමනු ලැබ තිබිණි.

[පිටුව 174]

***

ඒ මොහොතේ හමා ආ සුළඟ හේතුවෙන් ඔවුන් අසල වූ ගසේ අතු තාලයකට සෙලවෙන්නට වූ අතර සම්පත් හිස හරවා එදෙස බැලුවේය. එක්වරම අමන්දිගේ උගුරේ සිර වී සිටි සමනලුන් නැවත පහළට බැස පියාසරන්නට පටන්ගත් අතර සම්පත්ට තබා ඇයට හෝ කිසිවක් සිතාගන්නට ඉඩක් ලැබෙන්නට පෙර අමන්දි ඔහු වෙත ළං වී පා ඇඟිලිවලින් එසවී ඔහුගේ කම්මුලකට කුඩා හාදුවක් පිරිනැමුවාය. අනතුරුව නැවත පසුපසට වී වෙව්ලමින් බිම බලා සිටියාය.

ඈ මේ සිදු කළේ කුමක්ද? දැන් ඈ ඔහුගේ මුහුණ බලන්නේ කෙසේද? ඇයට එතැනින් පැන දුවන්නට වුවමනා වුවද සිය දෙපා සොලවාගන්නට නොහැකි විය. එවර ඔහු ඈ වෙත පියවරකින් ආසන්න වූවේය. අමන්දි පොළොව තුළට ගිලා බැස  හෝ සැඟවෙන්නට නොහැකිදැයි ළතැවෙන්නට වූවාය. ඔහු ඇගේ නිකටෙන් අල්ලා හිස ඉහළට එසවූවේය. ඔහු දෙස බලන්නට දිරියක් නොමැති වූවෙන් ඇය දෑස් තද කර පියාගත්තාය.

"අමන්දි..."

එවැනි ස්වරයකින් ඔහු ඉන් පෙර කිසිදා ඈ  අමතා නැත. තමාගේ පපුව ගැහෙනා හඬ ඔහුටද ඇසෙනවා ඇත්දැයි සිතමින් ඇය සන්සුන් වන්නට උත්සාහ කළාය.

"අමන්දි..."

තවදුරටත් එලෙස හිඳින්නට නොහැකි වූයෙන් ඇය දෑස් විවර කළාය.

"ගේට්ටුව ළඟ සෙකියුරිටි බලාගෙන ඉන්නවා..."

අමන්දි අන්දමන්ද වූවාය. එතරම් අපහසුවෙන් ඔහු පවසන්න අසන්නට සිත සූදානම් කරගත් පසු ඔහු කියූ දෙය! ඈ සිදු කළ දෙය ආරක්ෂක නිලධාරියාද දකින්නට ඇත්ද? වස ලැජ්ජාවකි! ඇය හිස හරවා ගේට්ටුව දෙස බැලුවාය.

පුදුමයකි! එහි කිසිවෙකුත් නැත.

එක්වරම ඇගේ වම්පස කම්මුලට ගිනි ඇවිළුණි!

[පිටුව 296]







319. හද වෙණ සත්සර...




පාසල් වියේදී මා ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍යය හදාරමින් විදග්ධ සාහිත්‍යධරයන්ගේ එම අරුමැසි මායාවෙන් වශී වන්නට ඇත. අංකුර මටසිළිටි කවි කතා ලියමින් තුටු වන්නට ඇත. මා ලියනා දෑට පෙම් බැඳි මිතුරු සිත් නිසාවෙන්, ඇගැයුම් පිරිනැමූ ගුරු මව්පියවරුන් නිසාවෙන් විටෙක මාගේ දෑස් දිලිසෙන්නට ඇත. එලෙස මෝදු වූ සාහිත්‍යයට බැඳි ඇල්ම මාගේ සිත පතුළේ අක්මුල් විහිදුවමින් ඇදී යන්නට පටන්ගත්තේ ඉන් බොහෝ වසර ගණනකට පසුව ය.

ඒ මා බ්ලොග්කරණයට පිවිසීමෙන් පසුව ය. ජීවිතයේ මුල්වරට, නොදන්නා සිත් - අකුරට පෙම් බැඳි අපූර්ව වූ සිත් - ඇසුරු කරමින් නිදහසේ මාගේ ඇඟිලි තුඩු අගින් අකුරු ගලාහැලෙන්නට ඉඩ හැරීමෙන් පසුව ය.

මා ගොතනා බොහෝ නිර්මාණවල පළමු පාඨක පෙළ මාගේ බ්ලොග් සහෘදයන් වන ඔබ ය. ඔබගේ අදහස් හා යෝජනා මතින් මා ලද චිත්තප්‍රීතිය මෙතෙකැයි කිව නොහැක. එළැඹෙන 20 වැනිදා, ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් ග්‍රන්ථ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙන 'හද වෙණ සත්සර' කතාන්දරය ද මින් වසර ගණනකට එපිටදී මුළින් ම කියැවූයේ ඔබ ය. එතැනදී එම කතාන්දරය ආදරයෙන් වැළඳගත් ඔබ සැම, මෙය කෘතියක් ලෙසින් එළි දැක්වීමට මා සිත් යොමු කළ පළමු දයාබරත්වයයි.

එකී සමාරම්භය සනිටුහන් කළ ලෙසින්ම, කෘතිය ප්‍රකාශකයන් වෙත භාරදීමට ප්‍රථම කතාන්දරයේ ගුණාත්මක බව හා යථාර්ථවාදී බව සුරකිමින් එය සුමට කරගැන්මට ද මා කිසිදා හැබැහින් නොදුටු මාගේ බ්ලොග් සහෘදයින් වෙතින් ලද සහය කියා නිම කළ නොහැක. ආදරණීය ජනූ අක්කා සහ බුරතීනෝ (බුරම්පි අයියා 😊) එහි ලා වෙසෙසින් සිහිපත් කළ යුතුය.

එසේම, එදා මෙදා තුර මා හා අත්වැල් බැඳගෙන සිටිනා, බ්ලොග් ලෝකයේ මාගේ පවුල ලෙසින් මා සලකන, අන්දර මල්දමේ මා හා එක්ව කතා ගෙතූ රවි අයියා, රන්දිකා අක්කා, (නැවතත්) ජනූ අක්කා, (ආගිය අතක් සොයාගන්නට නැති 😠) අමා සහ පොඩි කුමාරිහාමී සොයුරු සොයුරියන් ද මෙහිදී ආදරයෙන්, සෙනෙහසින් සිහිපත් කරමි.

ඉදින්, 'හද වෙණ සත්සර' එළැඹෙන 20 වැනිදා පටන් ඔබගේ ම වනු ඇත. සැමදා මා වෙත දිගු කෙරෙන ඔබගේ ළබැඳි සහෘදත්වය වෙනුවෙන් මාගේ හද පිරි කෘතඥතාවය පළ කරන අතරේ ම, හැකිනම් පොත ද අතට ගෙන කියවා බලන්නට සෙනෙහෙ සිතින් ඇරයුම් කරමි. 💗💗💗

පෙර ඇණවුම් කිරීම සඳහා පිවිසෙන්න:
https://grantha.lk/handa-wena-sathsara-muditha-lakmini-wendabona-grantha.html








318. නමක් නැති කතාවක්...

කොහොම ලියවෙයිද කියලා තවම දන්නේ නැති, නමක් ගමක් නැති කතාවක සංස්කරණය නොකළ පළමු පරිච්ඡේදය. 😊😊😊



මේක තමයි වෙලාව... ගංගාගේ සිත් කොණක් ඇවිලෙන්නට විය. 

ඈ පසෙකින් සිමෙන්ති බංකුව මත හිඳ සිටිනා සපිරිවරින් ඈ දකින්නට එදින පැමිණි යෝජිත මනාළයා වූ ධනංජය විසින් ඈ හමුවේ දිග හැරි මහා දිග කතාන්දරයට සවන් දීමෙන් අනතුරුව ඇයට හැඟුනේ එලෙසිනි. මේක තමයි වෙලාව...

ඇයට විවාහ වන්නට කිසිදු වුවමනාවක් හෝ අදහසක් හෝ සිත් අහළකවත් නොවීය. විසිහතර හැවිරිදි යුවතියකට විවාහ වන්නට පෙර කරන්නට තවත් බොහෝ දෑ ඇති බව ඇගේ නිගමනය විය. එම ප්‍රඥාවන්ත නිගමනයට එළැඹෙන්නට කලෙකට පෙර ඈ පාසල් වියේදී එක් කඩවසම් ඉලන්දාරියෙකුට සිතින් පෙම් කළ බව සැබෑය. එම පෙම් කුසුම ඇගේ සිත තුළම ඉපිද, විකසිතව අවසන නිහඬව මිලිනව ගිලිහී වැටී යාමෙන් අනතුරුව තවත් ඒක පාර්ශවීය ප්‍රේමයන් ගණනාවක් වරින් වර ඇගේ යොවුන් සිත කොණිති ගසන්නට සමත් වූ බවද සැබෑය. 

අවසන ඈ සිය පළමු ප්‍රේමවන්තයා දැන හඳුනාගත්තේ සරසවි භූමියේදී ය. සිය කැමැත්ත කලා විෂයයන් කෙරෙහි වුවද, පියාණන්ගේ හා සුළු මවුන්ගේ අනුබලය මත උසස් පෙළ සඳහා විද්‍යා විෂයයන් හැදෑරූ ගංගා, යාන්තමින් සබරගමු සරසවියේ කෘෂි විද්‍යා පීඨයට පිවිසුම් ලබන්නට සමත් වූවාය.  ඒක පාර්ශවීය ප්‍රේම කතාන්දර ගණනාවකට පසු ඈ පළමුවරට සැබෑ ප්‍රේමයකට මුළ පිරුවේ එහිදී හමු වූ සුනෙත් සමගය. ගංගාගේ ප්‍රියතම හින්දි නළුවාගේ දෑසට සමාන නෙත් යුවළක් ඔහු සතු විය. එනමුදු එය නිමා වූයේ එම නළුවා රඟපෑ සිනමාපටවල මෙන් සුඛාන්තයක් ලෙසින් නොව මහා ඛේදාන්තයක් ලෙසිනි. ඇය ඇගේ කුළුඳුල් ප්‍රේමයට පමණක් නොව සිය සරසවි දිවියට ද සමු දී ගෙදර පැමිණියාය. ඇගේ අත ගෙන ඇවිද ගිය මං මාවත් ඔස්සේ ම ඔහු තවත් එකියකගේ අත ගෙන ඇවිද යන අන්දම දකින්නට නොකැමැති වූ ඇයට නැවත එහි පා තබන්නට සිත එකඟ කරගන්නට නොහැකි විය.

"මොකද කියන්නේ? කැමතිද?" බංකුවේ අනෙක් පසින් ඇසුණු හඬින් ඇගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. ගංගා හිස හරවා ධනංජය දෙස බැලුවාය. ඔහුද ඈතින් දිස්වන සිරිපා කඳුවැටිය දෙස නෙතු යොමාගත්වනම බර කල්පනාවකය. එතෙක් කල් ඇගේ සිත පැහැරගත් කිසිවෙකුගේ අසළකින්වත් ඔහු තැබිය නොහැක. තළෙලු පැහැ ගත් මුහුණ මැද වූ නාසයේද සුළු ඇදයක් ඇති බව ගංගා දුටුවාය. රැවුල් ගසක් හෝ නොමැති මුහුණේ වූයේ ළදරු පෙනුමකි. ඔහු ඇඳ සිටි දම් පැහැ කමිසය ද ඔහුගේ පෙනුමට නොගැලපෙන බවක් ඇයට හැඟුනි. ඇගේ නිහඬ බව හේතුවෙන්දෝ ධනංජය ඈ දෙස බැලුවේය. "ඒක අපි දෙන්නාටම ගැලපෙන විසඳුමක්. මොකද කියන්නේ? කැමතිද?" පිළිතුරක් ගලපාගන්නට පෙර ගංගාගේ සිත නැවතත් අතීතය බලා දිව ගියේය.

මොකද කියන්නේ... කැමතිද... එම වදන් පෙළ ඉන් පෙර ද අයෙකු ඇගෙන් විමසා ඇත. 

විරහ වේදනාවෙන් තැවෙමින් නිවසේ මුළුගැන්වී හූල්ලමින් සිටි ඈ කිසිවෙකුට හෝ විවාහ කර දෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඇගේ පියා දැන සිටියේ නැත. එම හේතුවෙන් ඇරැඹි මංගල යෝජනා සමය අතරතුර මනාළයින් සය දෙනෙක් ඈ දකින්නට පැමිණියහ. ඉන් දෙදෙනෙකු පිළිබඳව සිය අප්‍රසාදය පළ කිරීමෙන් ද, දෑවැදි ප්‍රමාණවත් නොවූ දෙදෙනෙකුගේ හා හේතුවක් ඉදිරිපත් නොකළ තවෙකෙකුගේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වීමෙන් ද අනතුරුව අවසන එක් යෝජනාවක් දෙපාර්ශවයේම කැමැත්තෙන් සම්මත විය. එනමුදු විවාහ මංගල්‍යයට දින පවා නියම ව තිබියදී එකී මනාළයාගේ දුරාචාරී හැසිරීම් පිළිබඳව කන වැකුණෙන් ගංගාගේ පියා එසැණින් සියලු ලකලැහැස්තිවීම් අහෝසි කර දැමුවේය. ගංගා නැවත අධ්‍යාපන කටයුතු සඳහා යොමු වන්නට සිත එකඟ කරගත්තේ ඉන් පසුව ය. මඟුල්තුලා සෙවීමෙන් ඈ තරමටම හෙම්බත්ව සිටි පියාගෙන් මෙවර ඈ කලාව කෙරෙහි යොමු වීම පිළිබඳව විරෝධයක් එල්ල නොවීය. ඉස්කෝලෙක උගන්නන්න හරි යන්න බැරියෑ, ඔහු ඒ පිළිබඳව ගංගාගේ සුළුමවුන් හා පැවසුවේ එලෙසිනි.

රුවන්පුර කලායතනය ඇගේ සියලු බාධක බැමි සුනුවිසුණු කරලන්නට ඇයට මග පෑදූ තෝතැන්න විය. තෙලිතුඩක තැවරුණු නෙක පැහැති වර්ණ සුදු පැහැති කැන්වසය මත තැවරී මතු කරන රටාවන් වෙත බැඳුනු ඇගේ බාල වියේ අමතකව ගිය ප්‍රේමයක් එහිදී දළු ලා, ලියලා යළි වැඩෙන්නට විය. ජීවිතයේ එතෙක් කිසිදා ලබා නොතිබූ තරම් ඇගයීම්, ප්‍රශංසා ඈ වෙතත්, ඇගේ සිතුවම් වෙතත් ගලා එන්නට විය. ඇගේ සිත පුරා නිදහසත් ප්‍රමෝදයත් රජයමින් තිබිණ. අවසන තමා, තමාව සොයාගෙන ඇති බව ඇය වටහාගත්තාය. නව ශිෂ්‍ය කණ්ඩායමේ පළමු සිතුවම් දැක්ම දා එම කලා ලතාවේ සුපිපි කුසුමන් ඉහළම මිළකට අලෙවි විය. අලෙවි නොකරන බවට සටහන් කොට ප්‍රදර්ශනයට පමණක් තබා තිබූ ඇගේ එක් සිතුවමක් මිළදී ගන්නට ම වුවමනා වූ එක් මැණික් ව්‍යාපාරිකයෙක් එයට ඉහළම ලංසුවක් තැබීය. ඇගේ නොසැලෙන විරෝධය හමුවේ අවසන සිතුවම සඳහා ඇයට අදහන්නට නොහැකි තරම් ඉහළ මිළක් යෝජනා කළ ඔහු ද එදින අසා සිටියේ එම වදන් පෙළ ය. මොකද කියන්නේ? කැමතිද?

ඒ රයන් වනිගසූරිය ය. සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාර ආයතනයක අලෙවි කළමනාකාරවරයෙකු වූ ඔහු රුවන්පුර කලායතනයේ දිගුකාලීන හිතවතෙකු මෙන් ම උද්‍යෝගිමත් පාරිභෝගිකයෙකු ද විය. විදේශිකයෙකු මෙන් පැහැපත් පෙනුමකින් යුතු වූ ඔහුගේ ප්‍රතාපවත් පෞරුෂය ගංගාගේ හදවතෙහි අලුත් තානමක් සුසර කරන්නට සමත් වුවද ඇය සිය හැඟුමන් රහසක් ව ම තබාගත්තාය. ඔහු වෙතින් තමා වෙත යොමු වන සුවිශේෂී අවධානයත්, සැලකුමත් ඇගේ නිරීක්ෂණයෙන් බැහැර නොවූවද එය දිගු දුර සම්බන්ධයක් කරා ගෙන යන්නට ගංගා බිය වූවාය. ඔහු අන්‍යාගමිකයෙකි. ඔහුගේ මව විදෙස් කාන්තාවකි. අවාහ විවාහ කටයුතු සම්බන්ධයෙන් එවන් කාරණා පිළිබඳව බරපතලව සලකන සිය පියාගෙන් එවන් සබඳතාවයකට කිසිසේත් අනුමැතියක් නොලැබෙන බව ඇය දැන සිටියාය. එබැවින් ඇය 'මිස්ටර් රයන්' ආමන්ත්‍රණය වෙනස් කරන්නට ලද අවස්ථා සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළාය.

කලායතනයේ ඊළඟ සිතුවම් දැක්ම සඳහා ගංගා සහභාගි වූයේ සිසුවියක ලෙස නොව එම කලා කවයේ උසස් ඩිප්ලෝමාධාරී වෘත්තිමය සාමාජිකාවක ලෙසිනි. එදින ඇය සිය පියාණන්ට හා සුළුමවුන්ට කලායතනයේ ප්‍රධානීන් මෙන් ම රයන් මහතා ද හඳුන්වා දුන්නාය. සිතුවම් දැක්ම නිම වනතුරු පියා කිසිවක් නොපවසා නිහඬව සිටියද යළි නිවස බලා ගිය සැණින් මහා කලබගෑනිය ඇරැඹිනි. රයන් මහතා ගංගා පිළිබඳව දක්වන සුවිශේෂී ඇඟෑලුම්කම පියාගේ අප්‍රසාදයට හේතු වී ඇත. ඔහු පිළිබඳ තම යටි සිත කෙසේ වුවද පියා සැක පහළ කරනා අන්දමේ කිසිවක් ඔවුන් අතර නොමැති බව ගංගා පවසා සිටියේ මහත් විශ්වාසයෙනි. නමුත් පියාට එය ප්‍රමාණවත් නොවීය. ගංගාගේ කලායතන ගමනට වැටකඩුළු බැඳි ඔහු නැවතත් ඇයට මනාළයින් සොයන්නට පටන්ගත්තේය. එතෙක් කලක් ඇහිරී, සිර වී ගෙවූ ජීවිතයට සිතුවම් කලාවෙන් ලැබුණු නිදහසටත්, ඈ හා ඇගේ නිර්මාණ වෙත ලැබුණු ඇගයුම් මතින් ගොඩනැගුණු ආත්ම විශ්වාසයටත් ලොබ බැඳ සිටි ගංගා ඉන් පෙර කිසි කලෙකත් නොවූ ලෙස හිතුවක්කාර ගති පැවතුම් පළ කරන්නට පටන්ගත්තාය; පියා හා සුළුමවුන් සමග නිරන්තර වාදයන්හි පැටලුනාය; ඇයට වඩා දස වසරකින් හා දොළොස් වසරකින් බාල සොහොයුරා හා සොයුරිය සමග ද අඬදබර ඇති කරගත්තාය. ගංගාට එම නිවහනෙන් පිටමං වන්නට වුවමනා විය; ඉන් මිදී සිය නිදහස සොයා යන්නට, තමාගේම කලාගාරයක් අරඹන්නට වුවමනා විය. නමුත් පියාගෙන් ඇගේ එම කැමැත්තට කිසිදු ඉඩක් නොලැබුණෙන් මනාළයින් සෙවීම යළිත් වරක් ඔහුට ම ඇති වන තුරු ඇය සුපුරුදු පරිදි සිය විරෝධය පළ කරමින්, ඇගේ විරෝධයට පෙර අනෙක් පාර්ශවයෙන්ම ප්‍රතික්ෂේප වීම් පළ වූ විට සතුටුවෙමින් කාලය ගෙවී යන්නට ඉඩ හැරියාය.

සියල්ල උඩුයටිකුරු වූයේ එලෙස පැමිණි පස් වෙනි - ආරම්භයේ පටන් ම ගිණියහොත් එකොළොස්වැනි - මනාළයාගේ ආගමනයද නිශ්ප්‍රභා වූ මොහොතේදී ය. ගංගාගේ පියා රෝගාතුර විය. දින ගණනක් රෝහල්ගතව හිඳ දුර්වලව ගිය ගතින්ද සිතින්ද යළි නිවසට පැමිණි පියා දැකීමෙන් සිය හිතුවක්කාරකම් මඳකට පාලනය කරගත් ගංගා ඔහුට උවටැන් කරන්නට සුළු මවුන්ට සහය වූවාය. යළි තරමක ප්‍රාණවත් බවක් ලැබීමෙන් පසු ඔහු යලිත් ගංගා වෙනුවෙන් මනාළයන් සොයන්නට පටන්ගත්තේය. මෙවර පුවත්පත් දැන්වීම්වලින් නොසෑහී ඔහු කපු මහතෙකුද ගෙන්වාගත්තේය. පියා ගිලන් වන්නට තමා ද හේතුවක් වීදැයි සිතින් තැවෙමින් උන් ගංගා නැවත මනාළයන් ප්‍රතික්ෂේප කරන්නට සිත දිරි ගත නුහුණුව තම සිහිනය අත් හැර දමා නන්නාඳුනන නිවසක බිරිඳක, මවක ලෙස අත්තටු හකුළාගෙන සිය ඉතිරි ජීවිත කාලය ම ගෙවන්නට සිදුවනු ඇත්දැයි විස්සෝප වූවාය. එබැවින් ඇය වෙනත් ක්‍රමවේදයක් වෙත යොමු වූවාය. තමාට ප්‍රේමවන්තයෙකු සිටිනා බවටත්, තමාට ඔහු අමතක කළ නොහැකි බවටත් මුසා බස් දොඩමින්, පැමිණෙන මනාළයින් සමග ඇයට තනිව කතාබස් කරන්නට ඉඩ ලැබුණු ඇසිල්ලෙහි එම මංගල යෝජනාව ප්‍රතික්ෂේප කරනා ලෙසින් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නට ගංගා පෙළැඹුනාය. දොළොස්වැනියාද, දහතුන් වැනියාද යෝජනාවට අකැමැති බව පවසා එවූයේ ඇගේ එබස් නිසාද, ඒ හැරෙන්නට තවත් හේතූන් ඇති නිසාදැයි ඈ දන්නේ නැත. ඇයට එය අදාළ ද නැත. මේ වනතුරු සියල්ල එලෙසින් විසඳුනද, ප්‍රේමවන්තයෙකු පිළිබඳ ඇගේ ගජබින්නය හෙළි කළ කල මෙම දහ හතරවැනියා ඉදිරිපත් කළ අරුම පුදුම යෝජනාව හමුවේ දැන් ඈ පත්ව සිටින්නේ මහත් උභතෝකෝටිකයකට ය.

ඇයට වුවමනා නිදහස ලබා දෙන්නට ඔහු සූදානම්‍ ය. කැමති කෙනෙකුන් කැමති පරිදි ඇසුරු කරන්නටත්, ඈ කැමති ඕනෑම දෙයක් කරගන්නටත් ඉඩ දෙන්නට ඔහු සූදානම් ය. අන් ලෙසකින් කිවහොත් තනිකඩ යුවතියක සේ දිවි ගෙවන්නට ඉඩ දෙන්නට ඔහු සූදානම් ය. ඒ වෙනුවෙන් ඈ සිදු කළ යුතු වන්නේ ඔහුට ද එම නිදහස එලෙසින්ම ලබා දීමය. ඒ හැරෙන්නට ඔහුගේ දෙමාපියන් හා ඥාතීන් හමුවේ ඔහුගේ බිරිඳ ලෙස පෙනී සිටිමින් ඔහු සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන වගකීම් සහගත පුද්ගලයෙකු බව ඔවුනට ඒත්තු ගැන්වීමය. ඔහුගේ පියා අධිපතිත්වය දරන ඇඟැලුම් ව්‍යාපාරය ඔහු නමට පවරන තුරු එම රඟදැක්වීම එලෙසින්ම පවත්වාගැනීමය. එයින් පසුව දික්කසාදයට එකඟ වීමය. වෙනෙකක් තබා ඇගේ පියාගෙන් ලැබෙනා දෑවැද්ද ද ඇයට රිසි සේ ප්‍රයෝජනයට ගන්නට ඉඩ හරින්නට ඔහු එකඟ ය. 

"මට ඔයාගෙ සල්ලි ඕනෙ නැහැ. ඒත් මට, මට ලැබෙන්න තියෙන දේ ලැබෙන්න එපැයි. තාත්තා ලෑස්ති වෙන්නේ බිස්නස් එක ලොකු තාත්තාගේ පුතාට දෙන්න. ඒ මෝඩයාට හරියට එකවුන්ට් එකක්වත් බැලන්ස් කරගන්න බැහැ. ඔයාට වාගෙම මටත් කසාද බඳින්න කිසිම ඕනකමක් නැහැ. ඒත් මං කිව්වෙ, තාත්තා හිතං ඉන්නේ මං කිසිම වගකීමක් දරන්න බැරි මිනිහෙක් කියලා. බිස්නස් එක මගේ අතට ගන්නනං මට කසාද බැඳලා සෙට්ල් වෙලා පෙන්නන්න වෙනවා තාත්තාට. ඔයාට තේරෙනවද ඒක මොන වගේ විකාරයක්ද කියලා? ඒක මට ලැබෙන්න ඕන දේ නේ. ඒවුණාට ඒක ගන්න මට මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න වෙලා තියෙන්නේ දැන්. ඔයාට තාත්තාගෙන් ලැබෙන සල්ලියි, ඔයා කියපු ඔය ආර්ට් වැඩවලින් හම්බවෙන සල්ලියි මදිනං මං මාසෙට තව ගාණකුත් දෙන්නම් ඕනෙනං. මේක මට වගේම ඔයාටත් ගොඩ යන්න පුළුවන් අවස්ථාවක්," ධනංජය නැවතත් කියාගෙන ගියේය. 

මෙලෙසින් දොඩවනා පිරිමියෙකු ගංගා මින් පෙර දැක නැත. රයන්ගේ එක් සිනහවකින්, එක් හිස වැනුමකින් හැඟවෙනා දෑ මොහුගේ වදන් සියයකින් වුවද දැනවිය හැකි වනු ඇත්දැයි ගංගා කල්පනා කළාය.

ඔහු තවත් බොහෝ දෑ හෙළි කළේය. ඔහුගේ සෙල්ලක්කාර නිදහස් ජීවිතය තුළ ඔහුගේ පෞද්ගලිකත්වයට අත පොවන්නට ඇයට කිසිසේත් ඉඩක් ඉතිරි නොවනු ඇත. එබැවින් විවාපත්ව කොළඹ ගිය පසු ද ඈ කැමතිනම් ඔහුගේ නිවසින් බැහැරව, හදිසියකදී පැමිණිය හැකි තරම් ආසන්නයේ නවාතැනක ජීවත් විය හැකි බවද ඔහු පැවසුවේය. 

"ඔයාට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරගන්න. මට මගේ පුරුදු ජීවිතේ ගෙවන්න ඉඩ දෙන්න. අම්මයි තාත්තයි නෑදෑයෝ ඉස්සරහදියි විතරක් මගේ වයිෆ් වගේ ඉන්න. අම්මා කොළඹ එන්නෙ නැහැ. තාත්තාත් බිස්නස් වැඩවලට ආවොතින් මිසක් මගේ ගෙදර ඇවිල්ලාම නැහැ. ඒ හින්දා ඔයා වෙනම හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ළඟපාතක නතරවුණාම ඉතින් ඔයාගේ අප්පච්චිලා එන වෙලාවක එහෙ ඇවිත් ඉන්න බැරියෑ. බිස්නස් එක මගෙ අතට ලැබෙනකල් විතරයි මේ ඔක්කොම. ඊට පස්සෙ ඔයා සම්පූර්ණයෙන්ම නිදහස්."

තම දෙමාපියන්ද, ඔහුගේ දෙමාපියන්ද මුළා කරමින් මෙවැන්නක් සිදු කිරීමෙන් අත් විය හැකි ඉරණම කෙබඳු වනු ඇත්දැයි ගංගා මොහොතක් කල්පනා කරන්නට උත්සාහ කළාය. එය බොහෝවිට වසර දෙක තුනක ගනුදෙනුවක් විය හැක. ඇතැම්විට හතර පස් වසරක ගනුදෙනුවක් විය හැක. කෙසේ හෝ දිනෙක එය දික්කසාදයකින් අවසන් වනු ඇත. තමා ලෝකය හමුවේ දික්කසාද වූ ගැහැනියක ලෙස ඉතිරිවනු ඇත. "මෙහෙම දේකින් පස්සේ..." ගංගා දිගු සුසුමකට පසුව තම හඬ අවදි කළාය. "...පිරිමියෙකුට ලෝකෙට මූණ දෙන්න වෙනවාට වඩා ගෑනියෙකුට ලෝකෙට මූන දෙන්න වෙන විදිහ වෙනස්."

"ඒක මට තේරෙනවා. ඔයා අකමැතිනම් අවුලක් නෑ, මේ කතාව මෙතනින් නවත්තලා අපි ගෙට යමු."

නමුදු එයට කම් නැත. එවිට හෝ පියා ඇගේ ස්වාධීනත්වය අවුරන්නට තැත් කිරීමෙන් වැළකී සිටිනු ඇත. ඇයට තනිවම තම ගමන යා හැකි වැනු ඇත. නමුත් විසඳාගත යුතු තවත් ගැටළු ඇත. "මීට කළින් ආපු එක්කෙනෙක් එක්ක වෙඩින් එක ගන්න දිනත් දාගෙන තියෙද්දි, ඒ මනුස්සයාගේ ඔය වාගේ හැසිරීම් ගැන අප්පච්චිට ආරංචි වෙලා ඒ කසාදෙ එහෙමම නතර වුණා."

"මොන වාගේ හැසිරීම්ද?"

"ඒ මිනිහා බේබද්දෙක්ලු."

ධනංජය සිනහසුනේය. "ආ, ඔය ඉඳහිට ඩිංගක් බිව්වට මං බේබද්දෙක් නෙවෙයි."

"බේබදුකමට වඩා හපන් දෙයක් සල්ලාලකම කියන්නේ!"

"ක්ලබ් යන එකට, නිදහසේ කෙල්ලන්ව ආශ්‍රය කරන එකට ඒ වගේ කැත වචනයක් දාලා තියෙන්නේ මොකද කියන්න මං දන්නෙ නෑ. හරි, මං එහෙම බව ඔයා දන්නවනේ. කෙල්ලෙක්ගේ අකමැත්තෙන් මං එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට මගෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මං වෙන කෙල්ලෝ ආශ්‍රය කරන එක ගැන ඔයාගේ ප්‍රශ්නයක් නැත්තම් අප්පච්චිට දැනගන්න නොතියා ඉන්න එක මහ දෙයක් නෙවෙයි. මේ අපි කතා කරන්නේ කසාදයක් ගැන නෙවෙයි, ගනුදෙනුවක් ගැනනේ. ඔයාටත් මටත් වින්-වින් සිටුවේෂන් එකක් ලැබෙන ගනුදෙනුවක් ගැන. අපේ අම්මයි තාත්තයි මාව බලන්න දක්කගෙන ගිය අටවෙනි මනමාළි ඔයා. කළින් හත් දෙනාගෙන්ම මට මෙහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. මං හිතන්නේ ඔයාටත් ලැබිලා නැහැ. ආයෙ මෙහෙම කතාබහ කරලා බේරගන්න පුළුවන් ගනුදෙනුවක් ලේසියෙන් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? වැඩේ ඉවරවුණාම ඔයත් නිදහස්, මාත් නිදහස්. බිස්නස් එක මගේ අතේ. ඔයාට කැමති කෙනෙක් එක්ක ඔයාගෙ ගමන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව."

ගංගා නැවතත් සුසුමක් හෙලුවාය. මොහුගේ අරුම පුදුම යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් ඇගේ ජීවිතය දැනට පවතිනවාට වඩා එතරම් වෙනසක් වීමට ඉඩක් නැත. මෙතෙක් කල් පැමිණි අනෙකුත් මනාළයින් මෙන් තවත් මනාළයින් ගණනාවක් ඈ බැහැ දකින්නට පැමිණෙනු ඇත. ඒ සියල්ලද පෙර පරිදි ම විකාර සහගත නාඩගමක් විලසින් කෙළවර වනු ඇත. පියා කෙදිනක එම නිශ්ඵල ප්‍රයත්නය අත හැර ඇයට ඇගේ ජීවිතය ඇයට රිසි සේ ගෙවන්නට ඉඩ දෙනු ඇත්දැයි ඇය දන්නේ නැත. එබැවින් ඇය ඊළඟ හුස්ම පොදින් පෙනහළු පුරවාගන්නා අතරේ සිය තීරණය අරගත්තාය. මේක තමයි වෙලාව... "හරි එහෙනං!"

"කැමතිද?"

"ඩීල්!"

ගනුදෙනුව එලෙසින් තහවුරු විය. 



- මතු සම්බන්ධයි -