209. පැංචාගේ රස කතා...

දෑතේ තීන්ත තවරාගෙන දඟකාර සිනහවක් පා සිටින පැංචෙකුගේ සේයාරුවකි.

පැංචා සහ මං සාලයේ වෙසක් කූඩු සාදමින්. සීයා රූපවාහිනිය බලමින්. එක් වරම විදුලිය විසන්ධි වේ.

සීයා: ලයිට් ගියානේ.

පැංචා: එහා ගෙදරට ගියාද දන්නෙ නෑ.


*****

ආච්චි පැංචාව දොයි කරමින්.

ආච්චි: බුද්ධං සර...ණයි පුතු හට
          ධම්මං සර...ණයි පුතු හට
          සංඝං සර...ණයි පුතු හට -

පැංචා: ආච්චී... 'නයි පුතු' කියන්නෙ මොකද්ද?


*****

පැංචා සහ මං සාලයේ. පැංචාගේ පියතුමා ඉගෙනගත් විශ්වවිද්‍යාලය පිළිබඳ වැඩසටහනක් රූපවාහිනියේ විකාශය වනු ඇසේ.

මං: පුතේ අන්න තාත්තිට කියන්න තාත්තිගෙ කැම්පස් එක ටීවී එකේ පෙන්නනවා කියලා.

පැංචා: (සාලයේ සිට ගෙදරටම ඇසෙන්න කෑ ගසාගෙන දිව යමින්) තාත්තී... අන්න තාත්තිගෙ පැම්පස් එක ටීවී එකේ පෙන්නනවා...


*****

පැංචා: මං ආවෙ කොහෙන්ද?

මං: රෝස කැලෙන්නෙ.

පැංචා: නෑ නෑ... මං - ආ...වෙ - කොහෙන්ද?

මං: රෝස කැලෙන් තමයි ඉතිං.

පැංචා: නෑ... මං ආවෙ කොහෙන්ද? (අම්මාට තේරෙන හැටියකට පැනය අසාගන්නට බැරි වීමෙන් මූණ නාලු වී ඇත.)

මං: අම්මිගෙ බඩෙන්නේ.

පැංචා: හ්! මං එග් (egg) එකකින් නෙමෙයිද ආවෙ?


*****

මං පැංචාව නාවන තැනට පැමිණ සිත්තරා මොකද්දෝ විකාරයක් කියා ගියේය. එයට කෝප ගැන්වී මං කුටු කුටු ගානා අතර...

පැංචා: තාත්ති මොන මගුලක්ද කියනවා.

මං: (කොහෙන් අහුලාගත්තාදැයි සිතාගත නොහැකිව තැති ගැන්වී තරවටු මුහුණින්) චූටි බබාලා එහෙම කියන්නෙ නෑ!

පැංචා: ඇයි ඒ?

මං: ඒවා නෝටි කතා. එහෙම කියන්න හොඳ නෑ.

ටික දිනකට පසු. මං කුස්සියේ වැඩක. පැංචා සිත්තරා සමග කාමරයේ. සිත්තරා දුරකතනයෙන් හිතවතෙකු සමග කතා කරන හඬ ඇසේ. එක්වරම පැංචා කුස්සියට දුවගෙන එයි.

පැංචා: අම්මී... මගුලක් කියන්න හොඳ නැත්තේ චූටි බබාලා විතරද?

මං: බබාලයි ලොකු අයයි කවුරුත් කියන්න හොඳ නෑ.

පැංචා: තාත්ති දැං කිව්වනේ!


*****

නැන්දා: (මං සහ සිත්තරා දෙදෙනාම සිටිනා තැනකදී පැංචා සමග කතා කරමින්) බබා වැඩියෙන්ම ආදරේ අම්මිටද තාත්තිටද?

පැංචා: (අප දෙදෙනාගේම මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලා) ආච්චිට!


*****

මං: බබා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?

පැංචා: මං ලොකු වුණාම මංම වෙන්න තමයි කැමති.


*****

පැංචා සහ මං හිඳ සිටි සැටි පුටුව වෙත අමුතු සතෙක් බිම දිගේ ඇවිදගෙන එයි. අප දෙදෙනාම දෙපා උඩට ගෙන හූ තියන්නට සූදානම් වුණෙමු. ඒ මොහොතේදී මා ඒ මොකෙකුදැයි අඳුනාගත් අතර ඌද මොකක් හෝ ඉදිරි මාර්ගයේ ඇති අනතුරක් ගැන ඉව වැටී වමට කපා සීයාගේ කාමරය වෙත ගොස් අතුරුදහන් විය.

පැංචා: ඒ මොකෙද්ද ඒ?

මං: ඒ කැරපොත්තෙක්නේ, මකුළුදැල් ගොඩක් පටලවගෙන.

පැංචා: ඒ මොකද ඒ කැපෝ මකුළුදැල් පටෝගෙන යන්නේ.

මං: එයාටත් ලස්සන ඇඳුමක් ඇඳලා බලන්න ආස හිතෙන්න ඇති.

පැංචා: ඒ මොකටද ලස්සන ඇඳුමක් අඳින්නෙ? මගුල් ගෙදරක යන්නද?

මං: (සිනාව විකාගෙන) ආ, ඒක වෙන්න ඇති එහෙනං. මගුල් ගෙදරක යනවා වෙන්න ඇති ඒ කැපෝ.

පැංචා: සීයගේ කාමරේද මගුල් ගෙදර තියෙන්නෙ? 

මං: වෙන්න ඇති නේද? එයා සීයගෙ කාමරේටනෙ ගියෙ.

පැංචා: එතකොට මොකද අනිත් කැපෝලා එහෙ ගියෙ නැත්තෙ?

මං: අනිත් කැපෝලට මගුල් ගෙදරට එන්න කියන්න නැතුව ඇති.

පැංචා: ඒ මොකද අනිත් කැපෝලට මගුල් ගෙදර එන්න කියලා නැත්තෙ?


මගුල් ගෙදරට ආරාධනා නොලැබූ අනිත් කැපෝලා ගැන දුක සිතී පැංචා මූණ බෙරි කරගත්තෙන් මම වෙන කතාවක් පටන්ගත්තෙමි.


*****


තවත් රස කතා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. :D

208. හංස විල...

හංසයින් පිරි විල මැදින් ඔරුව පැද යන නෝවා සහ ඇලී. චිත්‍රපටයෙන් උපුටාගත් දර්ශනයකි.

"ඔන්න අපි ආවා," ඉවුර අසළ වූ ගස් කිහිපයක් අතරින් ඔරුව ගෙන යන අතරේ නෝවා කීවේය.

ඇලී වටපිට බැලුවද කිසිවක් නොදුටුවාය. "කෝ කොහෙද?"

"මෙතන," සැඟවී තිබූ විවරයක් මුවා කරගෙන සිටි පෙරළී ගිය විශාල ගසක් වෙත ඔරුව යොමු කරමින් ඔහු කීවේය. ඔහු ඔරුව ඒ වටා ගෙන ගියේය. ඉහළින් වූ අතු වලින් බේරීමට දෙදෙනාටම හිස් පහත් කරගැනීමට සිදුවිය. "ඇස් වහගන්න," ඔහු කෙඳිරුවේය. සිය දෑත් මුහුණ වෙත ගෙනයමින් ඇලී ඔහුට කීකරු වූවාය. ඇයට ගං දියේ හඬද ඇසුණු අතර එයින් ඉවතට ඔහු ඔරුව ගෙන යන ආකාරයද දැනුණේය. "හරි," අවසානයේ හබල් ගෑම නතර කළ ඔහු කීවේය. "දැං ඇස් අරින්න පුළුවං."

බ්‍රයිසස් අතු ගංගාවේ දියෙන් සැදුම් ලත් කුඩා ඇළක් මධ්‍යයේ ඔරුව නැවතී තිබුණි. එතරම් විශාල නොවූ එය යාර සියයක පමණ පළලින් යුක්ත විය. ඉන් මොහොතකට පෙර එය සිය දර්ශන පථයෙන් ඈත් වී තිබුණේ කෙසේදැයි ඇලී පුදුම වූවාය. එය ඉතාමත් මනස්කාන්ත විය. තුන්ද්‍රා හංසයින් සහ කැනේඩියානු පාත්තයන්ගෙන් එය වැසී ගොස් තිබුණි. ඔවුන් දහස් ගණනක් එහි විය. ඇතැම් තැන්හි ජලය නොපෙනෙන තරම් එකිනෙකාට ලං වී එම පක්ෂීහු දිය මත ඔබ මොබ සැරිසැරූහ. ඈතින් සිටි හංස රෑන් දිස් වූයේ හිම කුට්ටි මෙනි. "අනේ, නෝවා," අවසානයේදී ඇය මෘදු හඬින් තෙපළාය, "හරිම ලස්සනයි." දිගු වේලාවක් යන තෙක් ඔවුහු නිහඬව වාඩි වී කුරුල්ලන් දෙස බලා සිටියහ. දින කිහිපයකට ඉහතදී බිත්තර තුළින් එළියට ආ පාත්ත පැටවුන් රංචුවක් වැඩුණු පාත්තයින් පසු පස යන්නට තැත් කරන අයුරු නෝවා ඇලීට පෙන්වුවේය. නෝවා දිය මත ඔරුව ගෙන යන අතරේ අවට කුරුල්ලන්ගේ නදින් පිරී ඉතිරී ගොස් තිබුණි. බොහෝ කුරුල්ලන් ඔවුන්ව නොසලකා හැරීය. ඔවුන් නිසා කරදරයට පත් වූ බව ඇඟවූයේ ඔරුවට ඉඩ දී ඉවත් වන්නට සිදු වූ කුරුල්ලන් පමණි. ඇලී පහත් වී ආසන්නයේ සිටි කුරුල්ලන් අල්ලා බැලුවාය. ඔවුන්ගේ පිහාටු වල සුසිනිඳු බව ඇගේ අතැඟිලි වලට දැනුණි. නිවසෙන් පිට වන විට රැගෙන ආ පාං කැබලි බෑගය අතට ගත් නෝවා එය ඇලීට දුන්නේය. ඒවා කුරුල්ලන් වෙත විසි කළ ඇය ඔවුන් ආහාර ගැනීමට කවාකාරව පෙළ ගැසී පිහිනන අයුරු බලා සිනාසුණාය.

ඈතින් ගෙරවිලි හඬ ඇසෙන තෙක්ම ඔවුහු එහි සිටියහ. ගෙරවිලි හඬ ඇසුණේ යන්තමින් වුවද එය ප්‍රබල විය. එය පිටත් වීමට සුදුසු වේලාව බව ඔවුන් දෙදෙනාටම වැටහුණි. ඔරුව නැවතත් අතු ගංගාව වෙත ගෙන ආ නෝවා පෙරටත් වඩා වේගයෙන් ආපසු පැදීමට පටන් ගත්තේය. ඇලී ඒ වන විටත් තමා දුටු දෙයින් විස්මයට පත්ව සිටියාය.

"නෝවා, ඒ ගොල්ලෝ මොනවද මෙහෙ කරන්නේ?"

"දන්නෙ නෑ. උතුරෙ ඉඳන් එන හංසයොනම් හැම සීත කාලෙටම මටාමස්කීට් ඇළට යනවා. මේ සැරේ ඒගොල්ලෝ මෙහෙට ඇවිල්ලා වගේ. ඇයි කියලනම් දන්නෙ නෑ. සමහර විට මුළින් ආපු හිම කුණාටුව නිසා වෙන්න ඇති. සමහරවිට ඒකෙන් ඒගොල්ලන්ට පාර වරදින්න ඇති. ඒ උනාට එයාලා පාර හොයාගනියි කොහොමහරි."

"ඒ ගොල්ලෝ මෙහෙ නතරවෙන්නෙ නැද්ද?"

"මං හිතන්නේ නෑ. ඒ ගොල්ලෝ හදිසියට ඇවිත් තියෙන්නේ, මෙතන නෙවෙයි එයාලගේ තැන. සමහරවිට පාත්තයෝ ඉන්න පුළුවං සීත කාලේ මෙහේ, ඒත් හංසයෝ ටික යයි මටාමස්කීට් වලට."

අඳුරු වළාකුළු එක එල්ලේ ඉහළට පාවී එන අතර නෝවා වඩාත් වේගයෙන් ඔරුව පැදෙව්වේය. ඉක්මණින්ම වර්ෂාව කඩා හැලුණි. මුලදී මඳ වැස්සක්ව පැවැති එය අනතුරුව ධාරානිපාත වර්ෂාවක් බවට පත් විය. අකුණක්... නිහැඬියාවක්... අනතුරුව ගෙරවිල්ල. එවර එය වඩා උස් හඬින් ඇසුණි. හැතැප්ම හයකට හෝ හතකට හෝ ඈතින් විය යුතුය. නෝවා වඩාත් වේගයෙන් හබල්ගාන්නට වූ අතර වැස්සද තව තවත් දරුණු විය. විශාල වැහි බිංදු. වැස්ස... සුළඟත් සමග වැස්ස... දරුණුවත් ප්‍රචණ්ඩවත් ඇද හැලුනි... නෝවා නොනවත්වා ඔරුව පැද්දේය... අහසත් සමග තරග කළේය... වැස්සට තෙමෙමින්... තමාටම ශාප කරගනිමින්... සොබාදම් මෑණියන්ට පරදිමින් සිටියේය... වර්ෂාව වඩාත් දරුණුව ඇද හැලුනි.


~ My favorite scenery from one of my favorite books/movies: The Notebook by Nicholas Sparks






207. ශ්‍රී සුභ මංගලම්...

හදවතක හැඩය මතු වන සේ හිඳින හංස යුවළකි. රූපය අන්තර්ජාලයෙනි.


රන් හිරු රැස් දැක හිනැහෙන මල් ලෙද 
දෙහදක් සිනාසුණා
මල්මුවරද දැක රඟන බිඟුන් ලෙද 
දෙසිතක් කතා කළා
සුබ මංගල ආසිරි මල් වැසි මැද 
අතිනත ගෙනැ බැඳුනා
සිනහව සෙනෙහස සැමදා සපිරුණ
සුබ ගමනක් වේවා!


වියුණු ලොව තුළදී මා හට හමු වුණ අපූර්වතම සොයුරියකගේත්, සොයුරෙකුගේත් ආදර කතාවේ ලස්සනම පරිච්ඡේදය ලියවෙනා මොහොතකදී ඒ ගැන මගේ හිතට දැනෙන දේ ලියන්න මං දන්න වචන මදි. ආදරණීය නිර්මාණි නංගී, කසුන් මල්ලී... ලෝක පුදුම ගැන අපි හැමෝම ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඉගෙනගන්නවා. ඒ අතර, මම දැකපු ජීවමාන ආශ්චර්යයන් බොහොම අල්පයි. ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්න දෙන්නෙක් ඔය දෙන්නා. ඔයාලාගේ යාළුවෙක් වෙන්න ලැබුණ එක ගැන මට හරිම සතුටුයි, ඒ වගේම හරිම ආඩම්බරයි. මේ ලස්සන මොහොතේදී ඔයාලාගේ ඒ සතුට බෙදාගන්න එන්න බැරි වෙන එක ගැන මට ආයෙ ආයෙමත් සමාවෙන්න. ඈතින් හිටියත්, මගේ හෘදයාංගම සුබ පැතුම් හැමදාමත් ඔයාලා දෙන්නා එක්කමයි. ඔයාලා දෙන්නාගේ ලස්සන හදවත් තව තවත් ආදරෙන්, සිනහවෙන් පිරෙන්න කියලාත්, හැම දේම හොඳින් ඉටු වන සාර්ථක යුග දිවියකටත් මගේ මුළු හදවතින්ම සුබ පැතුම් එක් කරනවා. ගොඩාක් ආදරෙයි.