"කියවීම මිනිසා සම්පූර්ණ කරයි." ඒ අප සැමදෙනාම අසා ඇති කියමනකි. බාල වියේදී මගේද ප්‍රියතම විනෝදාංශය වූයේ පොත් කියවීමය. නමුත්, මා පාසලේ දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේදී එයට වඩා බොහොමත්ම අපූරු වූ යමක් මට හමු විය. මම සාහිත්‍යය ඉගෙනීමට පටන් ගතිමි. මා කියවන ඕනෑම ලියවිල්ලක සිටිනා චරිත සහ සිදුවීම් මාගේ සිත තුළ ගොඩනගාගන්නා අන්දම මම උගත්තෙමි. එම ඉගෙනීම මාගේ කියවීමේ ස්වභාවය වෙනස් කළේය. පෙරදී දින දෙකකින් කියවා නිම කළ හැකි වූ පොතක් දැන් මා හට කියවීමට අවම වශයෙන් දින පහක් හෝ ගත වේ. මා කියවන පොතෙහි සෑම වදනක්ම සජීවී ය, එම වදන් සමස්ථ කතාන්දරයම මාගේ සිත තුළ මවා පායි. වටපිටාව සම්පූර්ණයෙන්ම අමතකව ගොස් මම මා කියවන කතාන්දරයේ සජීවී නරඹන්නෙකු බවට පත් වෙමි. පරිකල්පනය යනු කුමක්දැයි මම එම අපූරු අත්දැකීම තුළින් උගත්තෙමි. කතුවරුන් තමන්ගේ හැඟීම් වදන් බවට පරිවර්තනය කරනා අන්දම මා පුදුමයට පත් කළේය. එය මායාවකි. මටද එය උත්සාහ කර බැලීමට - එය කිරීමට උවමනා විය.
එබැවින් මම ලිවීම ඇරඹුවෙමි.
මම සිතට එන සෑම දෙයක්ම දින පොතක සටහන් කළෙමි; කවි - බොහෝ විට සොබාදහම පිළිබඳව - එසේම මාගේ ප්‍රියතම පොත් සහ චිත්‍රපට පිළිබඳව සටහන් ලියුවෙමි. මාගේ මිතුරියන් මා ඔවුන්ගේ සමරු පොත් වල තබන සටහන් කියැවීමට මහත් සේ ප්‍රිය කළ බව මට මතකය. අපගේ සොඳුරු මතකයන් මා අකුරු කළ ආකාරයට ඔවුහු ආශා කළහ. මම දිරිමත් වුණෙමි. කිසිඳු වෙහෙසකින් තොරව මම දිගින් දිගටම ලියුවෙමි. මාගේ ලේ තුළට කිඳා බැස ඇති දෙය මට හමු වූ බව මම දැනගතිමි.
ස්වභාවයෙන් මම කතාබහ අඩු තැනැත්තියක්මි. එබැවින් ලිවීම මාගේ හැඟීම් හා චිත්තවේග ප්‍රකාශ කරනා මාධ්‍යය බවට පත් විය. සිත්තරෙකු සිතුවමක් ඇඳීමෙන් ලබන වින්දනයද, සංගීතඥයෙකු නව නාද රටාවක් නිමැවීමෙන් ලබන වින්දනයද මම අත්වින්දෙමි. පරිකල්පනය විසින් මා කාලය හරහා කැඳවාගෙන යනු ලැබූ අතර, ලිවීම මාගේ සිහින වලට ජීවය ලබා දුනි. ඒ සමගම, මා පසුව උගත් අන්දමට, ලියැවුණු වදන් මතින් සමනළ ආචරණයක් වුවද හටගැනීමට ඉඩ ඇත. එසේය, ලියැවුණු වදන් තුළ එතරම් බලයක් ගැබ්ව ඇත, මම එය අත්විඳ ඇත්තෙමි.
මම හොඳ ලේඛිකාවක නොවෙමි. නමුත්, කෙදිනක හෝ එවැන්නියක වීමට බලාපොරොත්තු වෙමි.
අවසන් වශයෙන් මම ඔබට රේයිනර් මරියා රිල්ක් ගේ කියමනක් උපුටා දක්වමි. බොහිමියානු - ඔස්ට්‍රියානු සම්භවයක් ඇති කවියෙකු වූ එතුමා පවසන්නේ මෙවැන්නකි: "ඔබට ලිවීමට අණ කරනා හේතුව සොයාගන්න; විමසා බලන්න එහි මුල් ඔබේ හදවත තෙක් පැතිරී ඇත්දැයි කියා; ඔබට ලිවීමට තහනම් කළහොත් ඔබ මියයනු ඇති බවක් ඔබට හඟවන්නේදැයි කියා." ඔබට ලිවීමට අණ කරනා එම හේතුව සොයාගැනීමට හැකි වුවහොත්, නිසැකවම ඔබ සැම දෙනාටම ලියන්නට හැකි වනු ඇත - හදවත තෘප්තියෙන් පිරී ඉතිරී යන ලෙසින් ලියන්නට හැකි වනු ඇත.
P. S. - This is the translation of the speech I delivered few months ago for the Ice Breaking at Toastmasters program in our company.

මම හිතන්නේ මට වෙලා තියෙන්නේ, ලියන්න කැමතියි.. ඒත් අර මුල් එච්චර ගැඹුරට විහිදිලා නැහැ...
ReplyDeleteවතුර ටිකක් පෝර ටිකක් දාලා බලන්ටකෝ ඔය මුල් ටික විහිදෙන් නැද්ද කියලා... :D
Deleteස්වභාවයෙන්ම කතාව අඩු තැනැත්තියක් Toastmasters workshop එකේ මේ වගේ කතාවක් ඉංග්‍රීසියෙන් කලා කියන එක හරිම විශේෂ දෙයක්.
ReplyDeleteමමත් පොත් ඇතුලේ ජීවත් වෙනවා. දැන් මම වැඩක් නෑයි කියලා මට හිතෙන පොත් කියවන්න කාලේ නාස්ති කරන්නේ නෑ යුතුකමක් හැටියටවත්. නමුත් එක පාරක් කියවපු පොතක් වුනත් මම කැමති එකක් නම් ආයෙම කියවනවා.
ස්තූතියි හෙන්රි අයියේ. :) මටත් වඩා කතාව අඩු මගේ නංගි ඒ වැඩසටහනේදීම මීට වඩා ගොඩක් ලස්සන කතා ඉදිරිපත් කළා.
Delete"මං අද මෙතනට ගෙනාවා ලෝකේ තියෙන භයානකම, බල සම්පන්නම, ශක්තිවන්තම ආයුධය. සියවස් ගණනාවකට කළින්නම් ඒක තමයි ලෝකේ තිබුණ මාරාන්තිකම ආයුධය. එක් වතාවකදී එක් අයෙකු නොවෙයි පිරිසක්ම විනාශ කර දමන්නට එයට පුළුවන්. ඒ මොකද්ද කියලා කාටවත් කියන්න පුළුවන්ද?
ඒක අරගෙන යන්න ලේසියි, එච්චර බරක් නෑ, ලඟ තියාගන්න බොහොම පහසුයි, ඕනෙම තැනකට අරං යන්න පුළුවන් කාටවත් නොදැනීම. ඔව් ඇත්තටම!!! ඒක ඔයා ලඟ තියෙන බවක් කවුරුවත්ම දැනගන්න එකක් නෑ!!!
මම ගෙනාවේ මෙන්න මේක..... පෑන!!!"
ඒ තමයි නංගිගේ තුන් වෙනි කතාවේ ආරම්භයේ පරිවර්තනය. :D
පොත් ඇතුළේ ජීවත් වෙන එක හරිම අපූරු අත්දැකීමක් නේද? ඒ ඒ චරිත හිත ඇතුළෙන් දෙබස් කිය කිය රඟපාන කොට? ටී වී තියෙන්නේ මොකටද කියලා හිතෙනවා. :D
//පෙරදී දින දෙකකින් කියවා නිම කළ හැකි වූ පොතක් දැන් මා හට කියවීමට අවම වශයෙන් දින පහක් හෝ ගත වේ.//
ReplyDeleteසමහර වෙලාවට (නවකතාවක්නම්) කතාව රසවිඳින එක අමතක වෙලා ලිවීමේ ශයිලිය, වචන යෙදීම ආදිය ගැන කල්පනා වෙන්නෙ නැද්ද?
ස්තූතියි කමෙන්ටුවට ප්‍රා ජේ. සාදරයෙන් පිළිගන්නවා කවි පොතට. :)
Deleteකතාව ගැන අමතක වෙලා ලිවීමේ ශෛලිය, වචන යෙදීම ගැන කල්පනා වෙන අවස්ථා නැත්තෙමත් නෑ. ඒත් එහෙම වෙන්නේ, ඒ ලිවීමේ ශෛලියේත් වචන යෙදීමේත් කතාවටත් වඩා අපූරු බවක්, මීට කළින් හමු වෙලා නැති අළුත් බවක් තියෙනවනම්. මම මේ දවස් වල කියවන පොත තමයි ජෝසෆ් හොලබ් ගේ An Innocent Soldier. මම ඒ පොත කියවන්නෙ මේ තුන්වෙනි හෝ හතරවෙනි වතාවට. ඒකේ ලිවීමේ ශෛලිය හරිම අපූරුයි. වර්තමාන කාල ප්‍රථම පුරුෂ වාක්‍ය රටාවකින් ලියවිලා තියෙන්නේ. ඉතින් කතාව කියවන අතරෙදි ඒ අපූර්වත්වයත් රසවිඳිනවා.
අපූරු අදහස් කැටිකිරීමක් නඟේ.....පපුව ඇතුලෙ තියන දේ එළියට ඇදල මෙන්න මෙහෙමයි කියල අපිට පෙන්නුව වගෙ...හෙහ්,හෙහ්,
ReplyDeletePS - ටෝස්ට්මාස්ටර්ස් කියක මෙහෙත් තියනවනෙ. මමත් ඕක ගැන ආරංචි වෙල දවසක් දනිපනි ගාල ගියානෙව දත කට එහෙම මැදගෙන.ටෝස්ට් මාස්ටර්ස් කියල කිව්වම මම හිටියෙ අම්බානක බොන්ට දෙන තැනක්ය කියල..කොහෙද? එතන මේ කතා පවත්තන තැනක්...ගියාටත් පාඩුයි.
අයියට ගොඩාරියක් ස්තූතියි. මේ කමෙන්ටුවට විතරක් නෙවෙයි. මතකද, මේ කතාව මේ විදිහට හදාගන්න මට අයියත් උදව් කළා. මම මුළින් ලිව්වෙ සරල වචන තියන සාමාන්‍ය කතාවක්. ඒක ටිකක් බලන්න කියලා අයියට එව්වහම අයියා ඒක ගොඩාක් ලස්සන කරලා, බරසාර වචන වාක්‍ය දාලා මට ආපහු හදලා එව්වා. මට අමාරුවක් නැතුව කියාගන්න පුළුවන් විදිහට, කතාව කියන්න තියන විනාඩි ගානට හරි යන විදිහට මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා තමයි මේ විදිහට හදාගත්තේ, මතකයි නේද? මේක තමයි මම හිත පතුළෙන්ම (බොක්කෙන්ම ) කතාවක් පවත්වපු දෙවෙනි අවස්ථාව. පළවෙනි එක ඉස්කෝලෙ කාලෙදි කළේ. මගේ ආදරණීය ගුරුතුමෙක් විශ්‍රාම යන දවසෙදී විනාඩි ගාණක් ඇතුළත ලෑස්ති වෙලා කතා කළේ මුළු ඉස්කෝලෙම ඉස්සරහා. ඒ විදිහට කතා කරද්දි දැනෙන හැඟීම හරිම අමුතුයි.
Delete