ඔහු පවුලේ වැඩිමලා වූයෙන් මගේ මව ඔහුගේ වයසට සරිලන ප්‍රමාණයටත් වඩා වගකීම් ඔහු මත පැවරුවාය - මගේ දරුවන් එම වයෙසේදී දරනු ඇතැයි මා හට කිසි සේත්ම විශ්වාසය තැබිය නොහැකි වගකීම් ඇය ඔහු වෙත පැවරුවාය. සාම්ප්‍රදායික සාරධර්ම අපගේ සිත් තුළට කා වැද්දීමට නම් දරා සිටි මගේ මව නිතරම මාගේ සොයුරා හට පැවසුවේ, "මොන දෙයක් වුනත් ඔයා නංගිවයි මල්ලිවයි හොඳට බලා ගන්න ඕනේ," යනුවෙනි. තුන් හැවිරිදි වියේදී පවා ඔහු එම වගකීම අකුරටම ඉෂ්ට කළේය. ඔහු මට හා අපගේ නැගණියට කැව්වේය, අපව නාවන්නට සහය වූවේය, අපව විනෝදයට පත් කළේය, අප මිදුලේ ඇවිදින විට අප පසුපසින්ම සිටියේය. ඔහු අපගේ නැගණියට කිරි බෝතලයක් පොවමින් ඇයව නළව ඡායාරූප පවා අප සතුව ඇත. නමුත් ඔහු ඇයට වඩා එතරම් විශාල වසර ගණනකින් වැඩිමහල් වූවෙකු නොවීය. නමුත් එලෙසින් වගකීම් දැරීමට හුරු වීමෙන් ඔහුට සිදු වූයේ යහපතක්ම බව කල් ගත වන විට මට වැටහිණ. එවැනි හුරුවක් අත්‍යවශ්‍යම මොහොතක හදිසියෙන් ලබාගත නොහැක. නමුත් ඔහුට වැඩිහිටියෙකු ලෙසින් සැලකූ නිසාමදෝ, ඔහු තමා වැඩිහිටියෙකු ලෙසින්ම සිතුවේය. පාසැල් යන්නට පෙරම වැඩිහිටියෙකු මෙන් දඩබ්බරකම් කිරීමට ඔහු පෙළඹුනේද ඒ නිසා විය යුතුය.
මගේ මුල්ම මතකය ගොනු වී ඇත්තේ මගේ සොයුරාගේ එවන් ක්‍රියාවක් වටාය. එය සිදු වූ එම ගිම්හාන සති අන්තයේ මගේ වයස අවුරුදු දෙකහමාරක් වූ අතර මගේ සොයුරා මට වඩා එක් වසරකින් වැඩිමහල් විය. පිට්ටනියේ තණකොළ අඩියක් පමණ උසට වැවී තිබූ අතර මගේ පියා ගබඩාව තුළින් තණකොළ කපන යන්ත්‍රය පිටතට ගෙන පිටියේ තණකොළ කැපීමට සූදානම් වෙමින් සිටියේය. මගේ සොයුරා එම යන්ත්‍රයට මහත් සේ ඇලුම් කළ අතර ඔහුට එයින් තණකොළ කැපීමට ඉඩ දෙන මෙන් පියාගෙන් ඉල්ලා සිටි අයුරු මට යාන්තමින් මතකය. නමුත් ඔහු පසු වූයේ එය තල්ලු කිරීමට හැකි තරම්වත් ශක්තියක් ඇති වයසක නොවීය. මගේ පියා එය සිදු කළ නොහැකි බව පැවසුවේය. නමුත් මගේ සොයුරා - රාත්තල් තිහක් බරින් යුතු වූ මගේ සොයුරා - පියාගේ විරෝධතාවයේ කිසිදු තර්කානුකූල බවක් දකින්නට සමත් වූයේ නැත. එසේම ඔහු මට පසුව පැහැදිලි කළ අන්දමට ඔහු එවන් විකාර අසාධාරණයක් ඉවසාගෙන සිටින්නේද නැත.
ඔහු එය මා හට පැහැදිලි කළේ මෙලෙසිනි: "මං පැනලා යන්න තීරණය කළා."
ඔබ කුමක් සිතමින් ඇත්දැයි මට සිතාගත හැක. ඔහුගේ වයස අවුරුදු තුනහමාරකි - ඔහුට කෙතරම් දුරක් යා හැකි වනු ඇත්ද? මගේ වැඩිම්හල් පුතුද එම වයසේ පසු වන විට පැනලා යන බවට අපට තර්ජනය කර ඇති අතර එවන් අවස්ථා වලදී අප පැවසුවේ මෙලෙසිනි: "හරි යන්නකෝ, හැබැයි අර මුල්ලෙන් එහාට යන්න එපා හොඳද." මෘදු හා තැතිගන්නාසුළු සිතක් ඇති මගේ පුතු අප පැවසූ එම කෙළවරින් එපිටට කිසිසේත්ම නොයා නතර වන අන්දම මා හා මගේ බිරිඳ මුළුතැන්ගෙයි කවුළුව තුළින් බලා හිඳින්නෙමු.
නමුත් මගේ සොයුරා එසේ නොවීය. ඔහුගේ සිතුවිලි ගමන් කළේ වෙනස් අන්දමකටය: "මං ඈතකට පැනලා යනවා. මං නංගිවයි මල්ලිවයිත් බලාගන්න ඕනෙනේ. ඒ හින්දා මං ඒගොල්ලන්වත් එක්ක යනවා."
ඔහු එලෙසින්ම සිදු කළේය. අපගේ මාස දහ අටක් වයසැති කුඩා සොයුරියව අත් කරත්තයකට පටවාගත් ඔහු මගේ අතින්ද අල්ලාගෙන දෙමාපියන්ට නොපෙනෙන පරිදි පඳුරු අතරින් රිංගමින් නගරය වෙතට යන්නට පටන්ගත්තේය. නගරය පිහිටියේ සැතපුම් දෙකක් ඈතිනි. ඒ වෙත යා හැකි වූ එකම මග වැටී තිබුණේ මංතීරු දෙකක ජනාකීර්ණ මහ මාර්ගයක් හරහාය.
අපි ඒ අසළටම ගියෙමු. අප තරමටම උසින් යුතු වූ තිරිඟු යායවල් හරහා ඇවිද ගිය අන්දමත්, සමනළුන් අහස පුරා විහිදී ගිය අන්දමත් මට මතකය. අවසානයේ මහමාර්ගයට ආසන්න වන තෙක් අපි කෙළවරක් නොමැති ගමනක් තරම් දිගු දුරක් ඇවිද ගියෙමු. අවසානයේ මහා මාර්ගය අද්දර අපි - අවුරුදු හතරට අඩු වූ කුඩා දරුවන් තිදෙනෙක් - රෝද දහ අටේ බර වාහන සහ මෝටර් රථ පැයට සැතපුම් හැටක වේගයෙන් පියඹා යද්දී නැගෙන සුළං රැළි පහර විඳිමින් සිටගෙන සිටියෙමු. "මං කියපු ගමන්ම ඔයා පුළුවන් හයියෙන් දුවන්න ඕනේ," මගේ සොයුරා මා හට පවසනු මට මතකය. එසේම ඔහු "දුවන්න!" යැයි මොර දුන් පසු නැගණිය රැගත් කරත්තය තල්ලු කරගෙන දුවන ඔහුගේ පසුපසින් බකල ගසමින් දිව යන අතරේ ඇසුණු වාහන නළා නාදය සහ තිරිංග තද වන හඬද මට මතකය.
එයින් පසුව ඇති මතකයන් එතරම් පැහැදිලි නැත. වෙහෙස හා කුසගිනි දැනුණු බව මට මතකය. අවසානයේ මමද කරත්තයට ගොඩ වූ අතර අප දෙදෙනාම රැගත් කරත්තය තල්ලු කරගෙන යන මගේ සොයුරාව ඇලස්කාවේ හිම මතින් අපව රැගෙන යන බැල්ටෝ නමැති එස්කිමෝ නායකයා ලෙසින් දිස් වූ බවද මට මතකය. එසේම මා ඔහු ගැන මහත් සේ ආඩම්බර වූ බවද මට මතකය. එය විනෝදයකි, වික්‍රමයකි. කුමක් සිදු වුවද මට දැනුණේ මහත් ආරක්ෂාවකි. මගේ සොයුරා මාව බලාගනු ඇත. මගේ මව සෑම විටම මට පවසා තිබුණේ, "අයියා කියන දේ අහලා ඉන්න," යනුවෙනි.
පරිවර්තනය සඳහා උපුටාගැනීම: Three Weeks With My Brother by Nicholas Sparks
***
A VERY HAPPY 50TH BIRTHDAY
TO MY FAVORITE AMERICAN NOVELIST
දැනට ජීවතුන් අතර නොමැති, ඔහුට වඩා වසරකින් බාල වූ ඔහුගේ සොයුරියගේ උපන් දිනයද යෙදී ඇත්තේ අද දිනටමය. කුඩා කළ ඔවුන් දෙදෙනා එකිනෙකාට සුබ උපන් දිනයක් පතාගන්නා අයුරු එම පොතේ අපූරුවට සටහන්ව ඇත. ඔහුගේ සොයුරාගේ උපන් දිනය දෙසැම්බර් 30 වෙනිදාය, එනම් ඊයේ ය. එම පොත පුරා පිරී ඇති සොයුරු පෙම, ඔහු ලියූ බොහොමයක් ආදරණීය නව කතා තරමටම සංවේදීය.

