124. A Happy Birthday Note...



ඔහු පවුලේ වැඩිමලා වූයෙන් මගේ මව ඔහුගේ වයසට සරිලන ප්‍රමාණයටත් වඩා වගකීම් ඔහු මත පැවරුවාය - මගේ දරුවන් එම වයෙසේදී දරනු ඇතැයි මා හට කිසි සේත්ම විශ්වාසය තැබිය නොහැකි වගකීම් ඇය ඔහු වෙත පැවරුවාය. සාම්ප්‍රදායික සාරධර්ම අපගේ සිත් තුළට කා වැද්දීමට නම් දරා සිටි මගේ මව නිතරම මාගේ සොයුරා හට පැවසුවේ, "මොන දෙයක් වුනත් ඔයා නංගිවයි මල්ලිවයි හොඳට බලා ගන්න ඕනේ," යනුවෙනි. තුන් හැවිරිදි වියේදී පවා ඔහු එම වගකීම අකුරටම ඉෂ්ට කළේය. ඔහු මට හා අපගේ නැගණියට කැව්වේය, අපව නාවන්නට සහය වූවේය, අපව විනෝදයට පත් කළේය, අප මිදුලේ ඇවිදින විට අප පසුපසින්ම සිටියේය. ඔහු අපගේ නැගණියට කිරි බෝතලයක් පොවමින් ඇයව නළව ඡායාරූප පවා අප සතුව ඇත. නමුත් ඔහු ඇයට වඩා එතරම් විශාල වසර ගණනකින් වැඩිමහල් වූවෙකු නොවීය. නමුත් එලෙසින් වගකීම් දැරීමට හුරු වීමෙන් ඔහුට සිදු වූයේ යහපතක්ම බව කල් ගත වන විට මට වැටහිණ. එවැනි හුරුවක් අත්‍යවශ්‍යම මොහොතක හදිසියෙන් ලබාගත නොහැක. නමුත් ඔහුට වැඩිහිටියෙකු ලෙසින් සැලකූ නිසාමදෝ, ඔහු තමා වැඩිහිටියෙකු ලෙසින්ම සිතුවේය. පාසැල් යන්නට පෙරම වැඩිහිටියෙකු මෙන් දඩබ්බරකම් කිරීමට ඔහු පෙළඹුනේද ඒ නිසා විය යුතුය.

මගේ මුල්ම මතකය ගොනු වී ඇත්තේ මගේ සොයුරාගේ එවන් ක්‍රියාවක් වටාය. එය සිදු වූ එම ගිම්හාන සති අන්තයේ මගේ වයස අවුරුදු දෙකහමාරක් වූ අතර මගේ සොයුරා මට වඩා එක් වසරකින් වැඩිමහල් විය. පිට්ටනියේ තණකොළ අඩියක් පමණ උසට වැවී තිබූ අතර මගේ පියා ගබඩාව තුළින් තණකොළ කපන යන්ත්‍රය පිටතට ගෙන පිටියේ තණකොළ කැපීමට සූදානම් වෙමින් සිටියේය. මගේ සොයුරා එම යන්ත්‍රයට මහත් සේ ඇලුම් කළ අතර ඔහුට එයින් තණකොළ කැපීමට ඉඩ දෙන මෙන් පියාගෙන් ඉල්ලා සිටි අයුරු මට යාන්තමින් මතකය. නමුත් ඔහු පසු වූයේ එය තල්ලු කිරීමට හැකි තරම්වත් ශක්තියක් ඇති වයසක නොවීය. මගේ පියා එය සිදු කළ නොහැකි බව පැවසුවේය. නමුත් මගේ සොයුරා - රාත්තල් තිහක් බරින් යුතු වූ මගේ සොයුරා - පියාගේ විරෝධතාවයේ කිසිදු තර්කානුකූල බවක් දකින්නට සමත් වූයේ නැත. එසේම ඔහු මට පසුව පැහැදිලි කළ අන්දමට ඔහු එවන් විකාර අසාධාරණයක් ඉවසාගෙන සිටින්නේද නැත.

ඔහු එය මා හට පැහැදිලි කළේ මෙලෙසිනි: "මං පැනලා යන්න තීරණය කළා."

ඔබ කුමක් සිතමින් ඇත්දැයි මට සිතාගත හැක. ඔහුගේ වයස අවුරුදු තුනහමාරකි - ඔහුට කෙතරම් දුරක් යා හැකි වනු ඇත්ද? මගේ වැඩිම්හල් පුතුද එම වයසේ පසු වන විට පැනලා යන බවට අපට තර්ජනය කර ඇති අතර එවන් අවස්ථා වලදී අප පැවසුවේ මෙලෙසිනි: "හරි යන්නකෝ, හැබැයි අර මුල්ලෙන් එහාට යන්න එපා හොඳද." මෘදු හා තැතිගන්නාසුළු සිතක් ඇති මගේ පුතු අප පැවසූ එම කෙළවරින් එපිටට කිසිසේත්ම නොයා නතර වන අන්දම මා හා මගේ බිරිඳ මුළුතැන්ගෙයි කවුළුව තුළින් බලා හිඳින්නෙමු.

නමුත් මගේ සොයුරා එසේ නොවීය. ඔහුගේ සිතුවිලි ගමන් කළේ වෙනස් අන්දමකටය: "මං ඈතකට පැනලා යනවා. මං නංගිවයි මල්ලිවයිත් බලාගන්න ඕනෙනේ. ඒ හින්දා මං ඒගොල්ලන්වත් එක්ක යනවා."

ඔහු එලෙසින්ම සිදු කළේය. අපගේ මාස දහ අටක් වයසැති කුඩා සොයුරියව අත් කරත්තයකට පටවාගත් ඔහු මගේ අතින්ද අල්ලාගෙන දෙමාපියන්ට නොපෙනෙන පරිදි පඳුරු අතරින් රිංගමින් නගරය වෙතට යන්නට පටන්ගත්තේය. නගරය පිහිටියේ සැතපුම් දෙකක් ඈතිනි. ඒ වෙත යා හැකි වූ එකම මග වැටී තිබුණේ මංතීරු දෙකක ජනාකීර්ණ මහ මාර්ගයක් හරහාය.

අපි ඒ අසළටම ගියෙමු. අප තරමටම උසින් යුතු වූ තිරිඟු යායවල් හරහා ඇවිද ගිය අන්දමත්, සමනළුන් අහස පුරා විහිදී ගිය අන්දමත් මට මතකය. අවසානයේ මහමාර්ගයට ආසන්න වන තෙක් අපි කෙළවරක් නොමැති ගමනක් තරම් දිගු දුරක් ඇවිද ගියෙමු. අවසානයේ මහා මාර්ගය අද්දර අපි - අවුරුදු හතරට අඩු වූ කුඩා දරුවන් තිදෙනෙක් - රෝද දහ අටේ බර වාහන සහ මෝටර් රථ පැයට සැතපුම් හැටක වේගයෙන් පියඹා යද්දී නැගෙන සුළං රැළි පහර විඳිමින් සිටගෙන සිටියෙමු. "මං කියපු ගමන්ම ඔයා පුළුවන් හයියෙන් දුවන්න ඕනේ," මගේ සොයුරා මා හට පවසනු මට මතකය. එසේම ඔහු "දුවන්න!" යැයි මොර දුන් පසු නැගණිය රැගත් කරත්තය තල්ලු කරගෙන දුවන ඔහුගේ පසුපසින් බකල ගසමින් දිව යන අතරේ ඇසුණු වාහන නළා නාදය සහ තිරිංග තද වන හඬද මට මතකය.

එයින් පසුව ඇති මතකයන් එතරම් පැහැදිලි නැත. වෙහෙස හා කුසගිනි දැනුණු බව මට මතකය. අවසානයේ මමද කරත්තයට ගොඩ වූ අතර අප දෙදෙනාම රැගත් කරත්තය තල්ලු කරගෙන යන මගේ සොයුරාව ඇලස්කාවේ හිම මතින් අපව රැගෙන යන බැල්ටෝ නමැති එස්කිමෝ නායකයා ලෙසින් දිස් වූ බවද මට මතකය. එසේම මා ඔහු ගැන මහත් සේ ආඩම්බර වූ බවද මට මතකය. එය විනෝදයකි, වික්‍රමයකි. කුමක් සිදු වුවද මට දැනුණේ මහත් ආරක්ෂාවකි. මගේ සොයුරා මාව බලාගනු ඇත. මගේ මව සෑම විටම මට පවසා තිබුණේ, "අයියා කියන දේ අහලා ඉන්න," යනුවෙනි.



පරිවර්තනය සඳහා උපුටාගැනීම: Three Weeks With My Brother by Nicholas Sparks

***

A VERY HAPPY 50TH BIRTHDAY
TO MY FAVORITE AMERICAN NOVELIST




දැනට ජීවතුන් අතර නොමැති, ඔහුට වඩා වසරකින් බාල වූ ඔහුගේ සොයුරියගේ උපන් දිනයද යෙදී ඇත්තේ අද දිනටමය. කුඩා කළ ඔවුන් දෙදෙනා එකිනෙකාට සුබ උපන් දිනයක් පතාගන්නා අයුරු එම පොතේ අපූරුවට සටහන්ව ඇත. ඔහුගේ සොයුරාගේ උපන් දිනය දෙසැම්බර් 30 වෙනිදාය, එනම් ඊයේ ය. එම පොත පුරා පිරී ඇති සොයුරු පෙම, ඔහු ලියූ බොහොමයක් ආදරණීය නව කතා තරමටම සංවේදීය.





10 comments:

  1. අඩෝව් මේවා බාගෙට පරිවර්තනය කරලා නවත්තන්ට තහනම්. සම්පූර්ණයෙන්ම කරන්ට ඕන. ඔවු ඔවු සම්පූර්ණයෙන්ම.

    හැපි 2016ක් වේවා සිත්තර පවුලට!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණෙන්ම පරිවර්තනේ කරලා දුන්නේ එකක් කට්ටියට කියවන්න. දැනට ඒ මදෑ. :)

      බුරම්පි අයියා ඇතුළු පවුලේ සැමටත් එසේම වේවා!

      Delete
  2. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. කුරුටු පවුලේ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා! :)

      Delete
  3. එකනේ මේ සිත්තරි මේක මේ භාගෙට කියලා දාපු කතාවක් වගේනේ.ලස්සන කතාවක් වගේ.

    සිත්තරිට පවුලේ සැමට සුබ නව වසරක් වේවා.....:)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ පොතේ ලස්සන ලස්සන සුට්ටි සුට්ටි කතා ගොඩාක් තියෙනවා. ඒ තුන් දෙනාගේ දඟ වැඩ. ඒ පොත ලියලා තියෙන්නේ එයයි අයියයි දෙන්නම එකතු වෙලා. ඒ මෑතකදී ඒ දෙන්නත් එක්ක ගිය සංචාරයක සටහන් එක්ක අතීත මතක සටහන් එකතු කරලා.

      මනෝටත් පවුලේ හැම දෙනාටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)

      Delete
  4. නිකොලොස් ගොයිය ගැන මම මුලිම්ම දැනගත්තෙ මසාජ් ඉන් අ බොටොල් ෆිල්ම් එක හින්ද. මසාජ් ඉන් අ බොටොල් ෆ්ලිම් එක බලන්ට සැට් උනෙත් අමුතු විදිහකට. දවසක මෙහෙ සිකුරාදා නිමාඩු දවසක පෙන්නුව ද පෝස්ට්මන් කියල අනාගතය ගැන Dystophian ෆ්ලිම් එකක්.ඒකෙ ප්‍රධාන චරිතය රඟපෑවෙ කෙවින් කොස්ට්නර්.

    ඒ පාර ඔය නිකං ඉන්න ගමං කොස්ට්නර් ගැන හොයල බලද්දි තමයි හම්බවුනේ මේ ෆිල්ම් එක. i.e. මෙසේජ් ඉන් අ බොට්ල්.ඔන්න ඒකෙං නිකොලොසාව අඳුනා ගත්ත. ඊට පස්සෙ දවසක මෙහෙ ඉංග්‍රීසි පොත් තියෙන එකම පොත් සාප්පුවට ගියා මසාජ් පොත තියනවද කියල බලන්ට. බැලින්නං මසාජ් පොත තිබ්බෙ නෑ ඔන්න ඔය " මා සොයුරු සමඟ සති තුනක්" පොත තිබ්බ. ඒ පාර ඒක ගත්ත. ඒ එක්කම තව නිකොලොසාගෙ පොත් තුනක්ද කොහෙද ගත්ත මතකයි.

    නිකොලොස්ගෙ අම්ම මෙහෙම කියනව ඒ පොතේ....මම බොහොම කැමතියි ඒකට......

    " who told you life is fair? tough luck dear... What you want in life and what you get in life are usually two entirely different things.” 

    **********************************

    සිත්තරාටද, සිත්තමීටද මගේ පුංචි මල්ලීටද සුබ නව වසරක්!!!!

    ReplyDelete
    Replies
    1. නිකලස්ව මට අඳුන්නලා දුන්නේ මගේ ඉස්කෝලේ යාළුවෙක්. එයා මට කිව්වෙ A Walk to Remember film එක ගැන. ඒකේ ලස්සනට තමයි මම ඒකේ පොතත් හොයාගෙන කියවලා මෙයාගෙ පොත් වලට පිස්සු වැටුනේ. එයාගෙ මම ආසම පොත The Notebook.

      ඔව්, ඒ පොතේ තියෙන නිකලස්ගේ අම්මා කියන ඒ දෙබස් හරි අපූරුයි. නිකලස්ගේ අනාගතය ගැන කතා කරන කොටසක් තිබ්බා මට මතකයි අම්මත් එක්ක, ඒකත් හොයලා පරිවර්තනය කරලා දෙන්නම්කෝ කට්ටියට කියවන්න.

      සිත්තර පැංචාගේ ලොකු අයියාටත් සුබම සුබ නව වසරක් වේවා. :D

      (එයා දැං සිත්තර පැංචා නෙවෙයි, සීයාගෙත් සීයා වෙලා. මේ පෙරේදා ඔන්න පැංචගේ සීයා වත්තේ වැඩ කර කර හිටියා, ලිඳ ලඟ. ඒක පැංචාට තහනම් කලාපයක්. ඉතිං එයා බලන්න ඇති එයාට යන්න හොඳ නැති තැන සීයා යන්නෙ මොකද කියලා. බලං හිටියා ටිකක් වෙලා. එයාගෙ වචන ගැට ගහගහ කියන හුරතල් ස්ටයිල් එකෙන් මෙන්න මෙහෙම කිව්වා: "සීයා, කැලේ යන්න එපා!" සීයා සද්ද නැතුව වැඩ. ඊලඟට පැංචා කිව්වෙ මෙන්න මෙහෙම: "ඇහෙනවද කන?") :D

      Delete
  5. තිලක සිතගේ බ්ලෝග පැත්තෙන් ආවේ. ලස්සන පරිවර්තනයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අජිත් මහත්මයාණෙනි. සාදරයෙන් පිළිගන්නවා මගේ කවි පොතට. :)

      Delete