190. The Importance of Being Earnest

The Importance of Being Earnest යනු ශ්‍රේෂ්ඨ ලේඛක Oscar Wilde (1854 - 1900) විසින් රචිත, 1895 වසරේදී ප්‍රථම වරට ලන්ඩන් හි ශාන්ත ජේම්ස් රංග ශාලාවේදී වේදිකාගත කෙරුණු නාට්‍යයකි. A Trivial Comedy for Serious People (බැරෑරුම් මිනිසුන්ට සැහැල්ලු ප්‍රහසනයක්) යන්න එහි තේමාව විය. විවාහය වැනි බැරෑරුම් කාරණා පිළිබඳව මතු කෙරෙන හාස්‍යයත්, වික්ටෝරියානු සම්ප්‍රදාය උපහාසයට ලක් කෙරෙන අන්දමත් එම නාට්‍යය තුළදී කැපී පෙනේ. මෙය Oscar Wilde ගේ වඩාත්ම ජනප්‍රිය වේදිකා නාට්‍යය ලෙසින් සැලකේ.

Oscar Wilde (1854 - 1900)

මෙම නාට්‍යය ඉංග්‍රීසි වදන් සමග 'සෙල්ලම්' කරන නිර්මාණයකි. නාට්‍යයේ නම ද වදන් හරඹයකි. පිරිමි නමක් වන Ernest හා අවංක, අව්‍යාජ, වැදගත් යන තේරුම් ලබා දෙන earnest වදන් ද්විත්වයම ශබ්ධ වන්නේ එකම අයුරිනි. නාට්‍යයත් සමග දිගින් දිගටම රැඳී සිටිනා කළ එම වදන් ද්විත්වය අතර සබඳතාවය ඔබට පැහැදිලි වනු ඇත. මෙය කෙතරම් අනර්ඝ නිර්මාණයක්ද යත්, තෙවතාවකදීම (1952, 1992 හා 2002 වසරවලදී) මෙය සිනමාවට නැගුණි.

ඉදිරි දින කිහිපය තුළදී මා ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ මෙම අපූර්ව නිර්මාණයේ සිංහල පරිවර්තනයයි. වසර කිහිපයකට ඉහතදී මා මෙම නාට්‍යය පොතක කියවා රසවිඳි අතර, මෑතකදී යළි සිහිපත් වී ඒ පිළිබඳව සොයනා විට එම නාට්‍ය පිටපත අන්තර්ජාලය තුළින් මා හට හමු විය. වසර සියයකටත් ඉහතදී, සමාජයේ දැනටත් වලංගු කරුණු සියුම් අන්දමින් උපහාසයට ලක් කරමින් ගොඩනගා ඇති මෙම අපූර්ව නිර්මාණය ඔබ සැම සමගින් බෙදාගැනීමට මට සිතුණි. වදන් හරඹ සමගින්, රසය නොනසා පරිවර්තනය කිරීම එතරම් පහසු කටයුත්තක් වූවේ නැත. බොහෝ අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳව උරණ නොවී, එවන් දොසක් හමු වුවහොත් නොපැකිලව මා හට පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.


එසේනම් රසවිඳින්නට එන්න - 'නමක මහිම'.