189. භාරත ගී වින්දන...

පහුගිය ටිකේ ගීත වැස්සකට අහු වුණානේ. ඒ වැස්සට තෙමුණා මදි වගේ හැඟීමක් හිතට දැනි දැනි තියෙද්දි රවි අයියා මුළින් තෝරපු ගීත 16ට අමතරව තවත් ගීත එකතු කරනවා දැක්කා. එහෙම දෙයක්වත් කරලා හිතට දැනෙන සාංකාව දුරු කරගන්න වෙලාවක් හොය හොය ඉන්න අතරෙදි සොඳුරු සඳවතී ලියපු විදෙස් ගීත එකතුව දැක්කා. එවෙලෙම හිතුණා මෙහෙම එකක්නම් ලියන්නම ඕනෙ කියලා. ගොඩක් ආදරේ කරන හින්දි ගීත එකතුවකුත්, ඊළඟට ඉංග්‍රීසි ගීත එකතුවකුත් ඉදිරිපත් කරන්නයි ඔන්න දැන් මගේ කල්පනාව. ගීත මතක් කර කර ඉන්න අතරේ හීන දකින්නිත් හින්දි ගීත එකතුවක් පළ කරලා තියෙනවා දැක්කා. ඉයන්, ඔන්න ඔයාගෙ සිගරට් එක පත්තු කරපු බට කොළේට පිං සිද්ධ වෙන්න ආයෙමත් මම ගීත වැස්සකට තෙමෙන්නයි යන්නේ. ඔයාලා හැමදෙනාමත් එක්කම. :)

1. හින්දි ගීත, චිත්‍රපට රසවිඳින්න අපි පෙළඹුනේ අපේ තාත්තා නිසා. අයියාට වඩා මාත් නංගිත් ඒ පැත්තට ගොඩක් නැඹුරු වුණා. ජග්ජීත් සිං හා චිත්‍රා සිං කියන අති දක්ෂ ගස(z)ල් ගායක යුවළගේ ගීත ඔබ අසා ඇතැයි කියා සිතනවා. ඔවුන් දෙදෙනා ලන්ඩන් වල රෝයල් ඇල්බට් ශාලාවේ පවත්වපු සංදර්ශනයක සජීවී පටිගතකිරීම් ඇතුළත් කැසට් පටයක් අපේ ගෙදර තිබුණා. හින්දි ගීත රසවින්දනයේ මුල්ම මතකය බැඳිලා තියෙන්නේ ඒ කැසට් පටයේ ගීතත් එක්ක. ප්‍රේක්ෂයන්ගේ ඔල්වරසන් හඬ පවා ඒ පටයේ ඇතුළත් වුණා. මේ එක වාගේම සුන්දරත්වයකින් යුතු වූ ඒ ගීත එකතුවෙන් එකක්.


2. ආරාධනා. මගේ ඒක පාර්ශ්වික ප්‍රථම ප්‍රේමය වෙච්ච රාජේශ් ඛන්නා ඉන්න ඕනෙම චිත්‍රපටයක ඕනෙම ගීතයකට මම කැමතියි. මේ චිත්‍රපටයේ හැම ගීතයක්ම මට කටපාඩම්. ආරාධනා චිත්‍රපටයට අමතරව, කතිපතන්, අප්නා දේශ්, හාති මෙරේ සාති රාජේශ් ඛන්නා හිටපු හුඟක් ලස්සන ගීත ඇතුළත් සුන්දර චිත්‍රපට. Korakagaz ta yeh man mera


3. මේ 1983 වසරේ තිරගත වුණ Masoom චිත්‍රපටයේ ගීතයක්. චිත්‍රපටයනම් බලලා නැති වුණත් ගීතයනම් ගොඩක් රසවිඳිනවා. මගේ පැංචාටත් මම නිතර බලන්න දෙන ගීතයක්. Ladki ki kaathi.


4. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ 'භාරත ගී වින්දන' වැඩසටහන අපි හැමෝම එකට ඉඳගෙන රසවිඳපු වැඩසටහනක්. මේ ගීතයත්, ඊළඟ ගීතයත්, ඒ වැඩසටහනේදී මම නිතර දැකපු හුඟක් ලස්සන ගීත දෙකක්. මේ ගීතය 1975 වසරේ තිරගත වුණ Sholay චිත්‍රපටයෙන්.


5. මේ ගීතය Dosti චිත්‍රපටයෙන්. මම හුඟක් ආදරේ කරන ගීතයක්. Koi jab rahna paye


6, 7, 8. අපි පොඩි කාලේ අපේ ගෙදර රූපවාහිනියක් නොතිබුණ කාලයක් තිබුණ බව මම කළින් ලිපියෙදිත් කිව්වා මං හිතන්නේ. ඒ කාළෙදි නංගියි මායි රෑ වෙද්දි ගුවන් විදුලියේ සිටි එෆ් එම් සුසර කරගෙන ලෑස්ති වෙන්නෙ පැරණි හින්දි ගීත අහන්න. ඒ සිටි එෆ් එම් හරහා දෑස් වසාගෙන රස විඳපු ඉතාම සුන්දර ගීත ගොන්නක් අතරින් මේ ගීත ත්‍රිත්වය අමාරුවෙන් තෝරගත්තා. ගුවන් විදුලියෙන් ඒ ගීත අහද්දි හිතේ මැවුණ චිත්ත රූප වලට වඩා හාත්පසින්ම වෙනස් වෙච්ච රූප රාමු පෙළක් එක්ක පස්සෙ කාලෙකදි මේ ගීත නැරඹුවාම හිතට පුංචි දුකකුත් නොදැනුණාම නෙවෙයි. ඒත් ඉතිං ගීතයේ රසයේ වෙනසක් නෑනේ.

Yeh mera prem patra padhkar

Kya huva tera vaada

Nisultanaare

9. මොහොමඩ් රාෆි. පැරණි හින්දි ගී අතරින් මා අසා තිබෙන ලයාන්විතම ගීතය ගයා ඇත්තේ එතුමන්. Dulari චිත්‍රපටයේ Suhani Raat ගීතය. 


10. මේ තියෙන්නේ මම ජීවිතේට අහපු දිගම ගීතය. ඒ වගේම ඉතාමත් ආදරේ කරන, හොය හොයා අහන ගීත අතර පෙරමුණේම ඉන්න ගීතය. Border චිත්‍රපටයත් ඉතාම සුන්දරයි. 


11. Parineeta චිත්‍රපටය වගේම ඒ චිත්‍රපටයේ හැම ගීතයක්ම ඉතාමත් ලස්සනයි. සෝනු නිගම්, වර්තමාන හින්දි ගායකයන් අතරින් මගේ ප්‍රියතම ගායකයා. 


12. මේක මහා පුදුම ගීතයක්. මේක මම මුළින්ම ඇහුවේ අපේ පාසැලෙන් සංවිධානය කරපු ප්‍රසංගයකදි සහෝදර පාසලක සොයුරෙක් වේදිකාවේ මේ ගීතය ගයපු මොහොතේ. ඉන්දියානු කුර්තා ඇඳුමකින් සැරසී ඔහු මේ ගීතය ඉතාමත් ලස්සනට ගැයුවා. අන්තර්ජාලයෙන් මේ ගීතය මා නැරඹුවේ ඉන් වසර ගණනාවකට පසු. කොයි තරම් ලස්සන ගීතයක්ද. Chandi jaisa rang hai tera.


13. 1942 A Love Story චිත්‍රපටය ගැන මම ආයෙ අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නෑනේ. ඉතාම සුන්දර ගීත ගොන්නක්ම පිරුණ ලස්සන චිත්‍රපටයක්. මේ ඒ ගීත අතරින් මම කැමතිම ගීතය.


14. අමීර් ඛාන්ට මම කැමති ඔහුගේ රඟපෑමේ වගේම ඔහු නිර්මාණය කරපු චිත්‍රපට වලත් තියෙන අති සුපරික්ෂාකාරී බව හින්දා. Taare zameen par ගත්තත් Lagaan ගත්තත් කියන්න කිසිම අඩුවක් මටනම් දැනෙන්නේ නෑ. මේ සුන්දර ගීතය ලගාන් චිත්‍රපටයෙන්.


15. Mission Kashmir චිත්‍රපටය සාමාන්‍ය කතා තේමාවක් තියෙන සාමාන්‍ය කතාවක් වුණත් ඒ චිත්‍රපටයේ ගීත හරිම ලස්සනයි. මේ ඒ අතරින් මම කැමතිම ගීතය.


16. ඉතාමත් මෑතකදි මගේ කනට ඇහුණ හින්දි ගීත අතරින් මගේ හිත නතර කරගත්ත ගීතය තමයි මේ. 


ඉතින් ඔන්න හින්දි ගී වරුසාව නිමා වුණා. සිංහල ගීත වගේ නෙවෙයි, මේ ගීත බොහොම දිගයි. ඒ නිසා මේවා අහද්දි වැඩිපුර බයිට් පිච්චෙනවා. ඒ ගැන සමා වෙන්ඩ ඕමනයි. :)