129. නුඹව සිහි කර...

rhads.deviantart.com

සවන පිනවන කුරුළු ගී හඬ
තුරු පතින් නැගි නාද සර සර
ඇහිඳ රන් රස එකට කැටි කොට
තුහින වැස්සක ගුමු ගුමුව මැද
වයා ගයනෙමි නුඹව සිහි කර //

නිල් ගොයම් පිරි ලියදි පසු කර
හමන සුලඟේ සුවඳ මුසු කොට
පා වෙනා මල් පියලි කැටි කොට
ගොතා මල් දම් පැලැඳ ගෙල වට
 
රඟන්නෙමි මා නුඹව සිහි කර //

නීල සයුරෙක විසල් නැව් ලෙද
දසත සරනා සුදු වළා රොද
වැළැඳ දෝතින් රුවල් රැළි බැඳ
කුඹ ගසේ නැග යොමා නෙතු යුග
නැංගුරම් ලමි නුඹව සිහි කර //

සැඳෑ අඳුරේ හිරු නිවී යන
දිලෙන තරු කැට එකින් එක ගෙන
සුමුදු සඳ එළියේ සිනාසෙන
රැළි නගන සිලිලාර දිය මත
පා කරන්නෙමි නුඹව සිහි කර //