398. පහන් කණුව (කෙටි කතාව)


 

(පින්තූරයට ලියූ කතාවකි)


පහන් කණුව අසළ පාලම අප දෙදෙනා පළමුවෙන් මුණගැසුණු ස්ථානය විය. එම ශීතල රාත්‍රියේ ද මම මෙලෙසින් ම පාලම් වැටට බර ව පහළින් ගලා බස්නා සැඩ දිය පහර දෙස නෙතු යොමා සිටියෙමි. මා කල්පනා කරමින් සිටියේ කුමක් පිළිබඳව දැයි මා හට මතකයක් නැත. එය එතරම් වැඩකට ඇති යමක් විය නොහැක. කාලාන්තරයක පටන් මා හට කල්පනා කරන්නට වැඩකට ඇති යමක් තිබුණේ නැත. කිසිවෙකුත් නොමැති පාළු මාවතේ මාගේ තනි නොතනියට සිටියේ පහන් කණුව පමණි. ඒ මතක ඇති කලෙක පටන් මාගේ සමීපතම හිතමිත්‍රයා විය. මාගේ මැසිවිලි, නෝක්කාඩු සියල්ල අසා සිටින්නට පහන් කණුවට ඕනෑතරම් වෙලාව තිබිණි. ආලෝක දැල්ල අඩු වැඩි කරමින්, ගස්වමින්, බබළවමින් හෙතෙම මාගේ කතාවලට ප්‍රතිචාර දැක්වීය. ඇතැම් දිනෙක මම කිසිවක්ම නොපැවසූවෙමි. එසේ වුවද පහන් කණුව මා තනි නොකොට මා අසළින්ම සිටියේය. එදින ද මා නිහඬතාවය රැකි දිනයක් විය. එක්වරම කොහේදෝ සිට දිව ආ යුවතියක් පාලම් වැටට නැග පහළට පනින්නට සූදානම් විය. නොපමාව මාගේ බරැති කල්පනා පොදිය ගඟට අත් හැරි මම විගසින් පැන ඇයව අල්වාගතිමි. ඇය සිටියේ ඉකිගසා වැළපෙමිනි. ඇය මා හා පොරබැදුවාය, දබර කළාය, මාගේ අත සපා කන්නට ද උත්සාහ කළාය. නමුදු මා ඈ අතහැරියේ නැත. ඇයද සමගින් මා ද පාලමෙන් පහළට ඇද වැටේදෝයි වරෙක මට සිතිණි. නමුදු කෙසේ හෝ ඈ පාලම වෙතින් මෑත් කොටගෙන පහන් කණුව පාමුලට වෑයමින් කැටුව එන්නට මම සමත් වුණෙමි. ඇගේ වැළපීමේ නිමක් නැත. මම කිසිවක් නොවිමසා ඈ තුරුළු කරගතිමි. මාගේ උරහිසේ හිස හොවා ඇති තරම් වැළපෙන්නට ඉඩ ලබා දෙමින් මම ඈ සන්සුන් වන තුරු ඇගේ හිස අතගෑවෙමි. බොහෝ වේලාවකින් ඉක්බිති ඇගේ මහා වැළපීම ඉකිගසනා හීල්ලීමක් තරමට සමනය වූ පසු මම දෑතින් අල්ලා ඇගේ හිස ඔසවාගතිමි. "ඔයාට අඬන්න වුණ කිසිම හේතුවක් ඔයාගේ ජීවිතේ තරම් වටින්නේ නෑ... ඒ නිසා ඒ කිසිම හේතුවකට ඔයාගේ ජීවිතයට වඩා වැදගත්කමක් දෙන්න එපා..." මම ඇයට පැවසූවෙමි. ඇය හූල්ලමින් මදෙස බලා සිටියාය. "ඔයාගේ කතාව අහගෙන ඉන්න කෙනෙක් ඕනෙ නම් මට කියන්න, මං අහගෙන ඉන්නම්..." ඇය පිළිතුරක් නොදී දෑස් බිමට යොමු කරගත්තාය. "ඔයාට විසඳුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියනවා නම් සමහරවිට ඔයා මට කියන ඒ කතාවෙන්ම ඔයාට උත්තරයක් හොයාගන්න පුලුවන් වෙයි..." මම නැවත පැවසුවෙමි.


අවසන ඇය හිස සැලුවාය. එලෙසින් එදින එම පහන් කණුව පාමුල හිඳගෙන මම ඇගේ කතාව අසා සිටියෙමි. කොතැනකින් පැමිණියාදැයි නොදන්නා යුවතියක තමා ජීවිතයේ එතෙක් කිසිදා දැක නොතිබූ ආගන්තුකයෙකු හට සිය සිය ජීවිතය විවර කරනා අන්දම පහන් කණුව ද අසා සිටියේය. අවසන, ඇගේ අනුවේදනීය කතාන්දරය නිම වූ මොහොතේ කුමක් පවසන්නටදැයි සිතාගත නොහැකිව මා එහි අග මුල ගැටගසාගන්නට උත්සාහ කරන අතරේ, දිගු සුසුමක් පිට කළ ඇය නැගිට සිටියාය. සිය ජීවිතය බේරා, එතෙක් කිසිවෙකුටත් කියාගන්නට නොහැකිව තිබූ ඇගේ කතාන්දරය අසා හිඳීම වෙනුවෙන් මා හට ස්තුති කළ ඇය මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් හැරී නොපෙනී ගියාය.


එදින, එම මොහොතේ සිට, මා එතෙක් ගෙවූ ජීවිතය වෙනස් විය.


පාළම මත හිඳ එතෙක් කල් සිදු කළ තක්කඩිකම් කොළොප්පම් නතර කොට මම පිහිට ඇවැසි වූවන්ට පිහිට වන අන්දම ප්‍රගුණ කරන්නට පටන්ගතිමි.


අද, දැනට මොහොතකට පෙර ද, මෙම පහන් කණුව පාමුළ දී ම මම ඇයව දුටුවෙමි. දොළොස් වසරක් ගෙවී ගොස්, එදා භද්‍ර යෞවනයේ සිටි ඇය මුහුකුරා ගිය තැනැත්තියකව සිටියද මා හට ඈ හඳුනාගන්නට අපහසු වූයේ නැත. නමුදු ඈ මා හඳුනාගත් බවක් පෙනෙන්නට නොවීය. අවම වශයෙන් ඈ මා දුටුවාදැයි යන්න පවා මම නොදනිමි. එදින මෙන් නොව අද ඈ සිටියේ සිනහ පාමිනි. පහන් කණුව පාමුළදී ඈ හා පෙම්වත් හාදුවක් බෙදාගත්තේ ඈ හා අලුත විවාපත් ඇගේ සැමියා බව ඔවුන්ගේ කතාබහෙන් මම වටහා ගත්තෙමි. දොළොස් වසරකට පෙර ගම්මානයෙන් පිටව ගිය ඇය, සීඝ්‍ර දියුණුවකින් නවීකරණය වූ දේශයක පෞරාණික බව සුරැකී තිබුණු මෙම කුඩා ගම්මානයට නැවත පැමිණ සිටින්නේ ඔහු හා මධු සමය ගෙවන්නටය. මා ඔවුන් දෙස බලා සිටියේ සිනහවක් රැඳි මුහුණිනි. ඈ සතුටිනි. බොහෝ සතුටිනි. මා හට එය ප්‍රමාණවත් ය. මඳ වේලාවකින් අතිනත් පටලාගත් ඔවුහු දෙදෙනා මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් හැරී නොපෙනී ගියහ.


ඔවුන් දෙදෙනා දෙසම නෙතු යොමා සිටි මම මඳ සිනහව රැඳි මුහුණින්ම පහන් කණුවේ ආලෝකය දෙස බැලුවෙමි. එය ද මාගේ සිතුවිලි අනුමත කරමින් දීප්තිමත්ව බැබලුනි. "මං ගියාම පාළු දැනෙන එකක් නැද්ද?" මම පහන් කණුවෙන් විමසුවෙමි. එය නැතැයි කියන්නට සිය ආලෝක දැල්ල ගස්වා සිනහවක් පෑවේය. පාලම පහළ පැරණි තොටුපොළ අසල වූ දියසෙවෙලින් වැසී ගොස් තිබූ පැරණි ගල් පුවරුව දෙස මම මඳකට නෙත් හෙලුයෙමි. රදළ පාලකයන්ට එරෙහිව නැගී සිටි සොර දෙටුවෙකු, දිළිඳු ගම්වැසියන්ගේ විරුවෙකු එහි සැතැපී හිඳිනා බව එහි සටහන්ව තිබිණි. මම මඳ සිනහවෙන්ම යළි පහන් කණුව වෙත හැරුණෙමි. "අවුරුදු හාරසීයක්ම මගේ තනියට හිටියාට බොහොම ස්තුතියි, එක එක හැඩේට වෙනස් වෙවී හරි..." මම පහන් කණුව වැළඳගතිමි. "ආයෙ එන්නම් බලලා යන්න, අලුත් අම්මාත් එක්කම..."


ගං දියත්, ඉන් ඔබ්බෙන් වූ මහ සමුදුරත් පිස හමා ආ සුළං රැල්ලේ නුහුරු උණුසුමක් කැටිව තිබිණි. ඒ මා කැඳවනා ඇමතුම බව මම හැඳිනගතිමි. අවසන් වරට පහන් කණුව සිප සමුදුන් මම මාවත පහළට ඇවිද ගොස් වංගුවෙන් නොහැරී ම නොපෙනී ගියෙමි.


397. සුළඟ නුඹ කවුරුදැයි දනිමි මම...

 


විඩාබර පිය නගා යන කල

අව් රැසින් ගිනියම් වු මාවතෙක

විගසින් එ සැඩ හිරු රැස්

වසාලන වලාකුළ

කැටුව ආ සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


අඳුරු පැහැ වියළි පත්

මාවතම වසා ගත්

එළි කරනු වස් වෙහෙසෙනා කල 

විසිරි පත් ළඟට කොට

සහය දුන් සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


ජීවිතෙන් පීඩිතව

ඉසිඹු ලන විරාමෙක 

සිහින් සරයෙන් පැමිණ

වා මිණි කිකිණි සොළවා

ගී ගයන සුළඟ නුඹ

කවුරුදැයි දනිමි මම


396. සසර සැරිසරන තෙක් - 4 (අවසාන) කොටස...

 


"අනේ අසංක මේ දොර අරින්නකෝ!!!" අසංක උඩ විසි වී අවදි විය. නළල තදබල ලෙස වේදනා දෙමින් තිබිණ. සැබැවින් සිදු වූයේ කුමක්ද, සිහිනයෙන් දුටුවේ කුමක්දැයි වෙන් කර හඳුනාගත නොහැකිව ඔහු වැනෙමින් ගොස් ඉදිරිපස දොර විවර කළේය. සුමුදුත්, ගම් ප්‍රධානියාත් එහි සිටගෙන සිටියහ. ඔහුගේ නළලේ වෙලුම්පටි දැක තැතිගත් සුමුදු දෑතේ වූ ගමන් මළු බිම අතහැර දමා ඔහුගේ දෑතින් අල්ලාගත්තාය. "අනේ මොකද මේ කරගෙන තියෙන්නේ?"


"මං එමින් ගමන් නෝනෙට කියැව්වේ පහුනු දොහේ අපේ ඉස්කෝලේ මහත්තයා අල්ලාපු අඩව්ව ගැන..." අසංකට පෙර ගම් ප්‍රධානියා පිළිතුරු සැපයුවේය. "බයවෙන්ඩ කාරි නෑ, ගුරුන්නාන්සේ බෙහෙත් කොළා... ඒ අමාරුවට වෙන්ටැ ඔය හැටි නින්ද යන්ඩත් ඇත්තෙ..."


අසංක ඈ දෙස බලා සිටියේ විශ්වාස කළ නොහැකි තරමේ විශ්මයකිනි. "ඔයා කොහෙද මේ පාන්දර ගියෙ?" ඔහු වදන් ගලපාගෙන ඇසුවේය.


"කොහෙවත් ගියෙ නෑ, ඔයාව බලන්නනේ ආවේ? ඇයි මං ඊයෙ කෝල් කරද්දි කිව්වෙ අද එනවා කියලා?" ඊයෙ? අසංකට එය සිතාගත නොහැකි විය. ඔහු ඊයේ දවසම ගෙවූයේ ඈ සමගම නොවේද? "අනික මේ පාන්දර නෙවෙයි... දැන් දවල් එකොළහත් පහු වෙලා..."


කිසිවක් සිතාගත නොහැකිව ඔහු හිස කැසුවේය. "මට එලාම් එකවත් ඇහුණෙ නෑ... එන්නකො - එන්නකො ගෙට..." ඔහු දොරකඩින් ඉවත් වී ඉඩ ලබා දුන්නේය. "එන්න ආරච්චි මහත්තයෝ..." ඔහු ගම් ප්‍රධානියාටද ආරාධනා කළේය.


"මංනං දැං යන්ඩ ඕනෙ ඉස්කෝලෙ මහත්තයෝ, සුනංගු වෙන්ඩ බෑ... හරි වැඩේ නොවැ වෙලා තියෙන්නේ... අද පාන්දර එළිවෙන ජාමෙ අර වළව්ව ගිනි අරගෙන!"


අසංකගේ දෑස් විසල් විය. ඔහුට සිය දෙසවන් අදහාගත නොහැකි විය. "මොනවා???"


"ඒක නොවැ... මං පොලිසියෙ රාළහාමිලාට දෙගමනක් පණිවිඩ යැව්වා. ඒ එනකල් මහතුංගෙ කඩේ ළඟ බලා ඉන්දැද්දි තමා මේ නෝනෙ ඉස්කෝලෙ මහත්තයා ගැන ආරංචි කොරගෙන ආවේ... වෙන එවන්ට එකෙකුත් නෑ, සේරෝම පන්සල ළඟ රොක් වෙලා..... ඉතිං මංම එක්කගෙන ආවා පරිස්සමට...."


"ගිනි අරගෙන??? වළව්ව???" අසංක තොල් මැතිරුවේය. ඔහුගේ සිත තුළ පෙර දා රැයේ සිදුවීම් එකිනෙක මැවී පෙනෙන්නට විය. පෙර දා රැය? නැතහොත් එය සිහිනයක් පමණද? "ඒ කොහොමද ගිනි අරං තියෙන්නේ?"


"කවුරු දන්නවද? කාටවත් හිතාගන්ඩ බැහැ. අපරාදෙ, වළව්වෙන් බාගයක්ම ඉවරයි..."


"කාටවත් අනතුරක් එහෙම නෑ නේද?" ඔහුට ඔවුන්ගේ හිතවත් මිත්තණියගේ සිරියාවෙන් පිරුණු සිනහව සිහිපත් විය.


ගම් ප්‍රධානියා සිනහවක් පෑවේය. "අනතුරක් වෙන්ඩ එහෙ කවුරුවත් උන්නෙ නැහැ නොවැ මහත්තයෝ... පොලිස් මහත්තුරු එන්ඩ ප්‍රමාද හන්දා මායි ලොකු හාමුදුරුවොයි කෝකටත් ගොඩ වෙලා බැලුවා... ඔහෙ නෑ කවුරුවත් හිටි බවට හෝඩුවාවක්... හැබැයි ඕං දැං මෙතුවක් කාලෙකට ඒ දිහා හැරිලාවත් නොබලාපු ගමේ එවුන්, මායි ලොකු හාමුදුරුවොයි ගොහිං ආවාට පස්සෙ වළව්වෙ වත්තට පැනගෙන අඹ රඹුටං කනවා... තවත් සුනංගු වෙන්ඩ බැහැ ඉතිං... මං ගොහිං එන්නංකො... එන්නං නෝනෙ..." ගම් ප්‍රධානියා පිටව ගියේය.


සුමුදු යළි අසංක වෙත හැරුනාය. "ඔයාට මොකද වුණේ අසංක? මේ මූණත් එක්ක සුදුමැලි වෙලා... ඔයා හොඳින්ද...?"


කිසිවක් නොපවසා ඇගේ මුහුණ දෙස බලා සිටි අසංක ඒ අසළ වූ පුටුවකට බර දුන්නේය. "හීනයක් දැක්කානේ..." ඔහුගේ සිත කුමක්දෝ පැහැදිලි කළ නොහැකි කම්පනයකට ලක්ව තිබුණි. ඒ සිහිනයක්ම පමණක්මදැයි ඔහුට සිතාගන්නට නොහැකි විය. එබැවින් ඒ කිසිවක් සුමුදුට හෙළි නොකරන්නට ඔහු තීරණය කළේය. "දැන් මතකත් නෑ මොනවා පෙනුනාද කියලා..." ඔහු කීවේය.


*****


සුමුදුගේ නමට අමුතු ආකාරයේ පාර්සලයක් තැපෑලෙන් ලැබුණේ අසංක දෙසැම්බර් නිවාඩුවට කොළඹ ගොස් සිටියදීය. ගෙවුණු කාලය මුළුල්ලේ පෑලියද්ද ගම්මානයේ සියල්ල යථා තත්ත්වයට පත්ව තිබූ අතර, ගම්මානයේ දරුවන් බොහොමයක් අසංකගේ මෙහෙයවීමෙන් යළි පාසල් ගමන අරඹා තිබුණි. ඒ පිළිබඳ තෘප්තිමත් සිතින් කොළඹට තදාසන්න ප්‍රදේශයකට ඉල්ලා යැවූ මාරුව ද සාර්ථක වන ලකුණු පෙනෙන්නට තිබුණි. ඔහු පුවත්පතක් බලමින් උද්‍යානයේ හිඳ සිටි බංකුව මතින්ම වාඩි වූ සුමුදු කුහුලින් පිරුණු සිතින් යුතුව එය විවර කළාය. එතුළ සුරක්ෂිතව ඇසිරූ ලිපිගොනුවක් විය. "පත්තරේට ලියවගන්න ඕන වෙච්ච මොනවාහරි වෙන්නැති..." යැයි තමාටම පවසාගනිමින් ඇය එය පෙරළා බැලුවාය. එතුළ වූයේ ඉඩම් ඔප්පුවකි. ඔප්පුවට අදාළ සියලු දේපල සුමුදුගේ නමට පැවරූ බවට වරලත් නීතීඥවරයෙකුගේද අත්සන සහ නිල මුද්‍රාව සහිතව සහතික කෙරුණු නීත්‍යානුකූල ලියැවිල්ලකි. "මේ මොකද්ද මේ...???" ඇය කිසිවක් සිතාගත නොහැකිව එහි පිටු පෙරළන අතරේ ඒ අතරින් ගිලිහී වැටුණු කඩදාසියක් අසංක ඇහිඳගත්තේය. එහි වූයේ සිතුවමකි. සටහන් පොතක කොළයක් මත කාබන් පෑනකින් ඇඳි බෝ මළුවක හිඳ පහන් දල්වන පෙම්වතුන් යුවළකගේ සුන්දර සිතුවමකි. එය දුටු විගස පළමුව අසංකගේ මුවේ කෙළ සිඳී ගියේය. ඒ කුමක්දැයි ඔහු නිසැකවම හඳුනාගත්තේය. අනතුරුව ඔහුගේ හදවත පැහැදිලි කළ නොහැකි අන්දමේ සැනසිලිදායක බවකින් පිරෙන්නට විය. එම සන්ධ්‍යාව සිහිනයක් නොව සැබෑවක් ම බව තහවුරු කරගන්නට ඔහුට වෙනත් සාධක ඇවැසි නොවීය. එය සිහිනයෙනුත් සැබෑවෙනුත් වෙන් වූයේ කොතැනදීදැයි ඔහුට නිශ්චිතවම සිතාගත නොහැකි වූවද, ඒ ගැන තවදුරටත් වෙහෙසීම අත් හැර දමන්නට ඔහු ඒ මොහොතේදී තීරණය කළේය. ඇතැම් දේ ගැන හාරාවුස්සමින් සොයා බලනවාට වඩා ඒවා එලෙසින්ම තිබෙන්නට හැරීම වඩා සුදුසු බවට තමා ම පෙර දිනෙක සුමුදුට පැවසූ වදන්වල සත්‍යතාවය ඔහු ඒ මොහොතේදී පසක් කරගත්තේය.


"මේ අපි දෙන්නාද...?" ලිපිගොණුව පසෙක ලා අසංක අත වූ සිතුවම දෙස එබී බැලූ සුමුදු විමසා සිටියාය.


"ඔව්..." ඔහු ඒ මොහොතේ ඔහු අසළ සිටිනා සුමුදුටද, එම සන්ධ්‍යාවේ උණ පඳුරේ සර-සරය මධ්‍යයේ ඔහු දෙස දෑස් විසල් කරගෙන බලා සිටි සුමුදුටද පිළිතුරු දෙමින් ඈ වැළඳගෙන හිස සිපගත්තේය. "ඒ අපි දෙන්නා තමයි..."


- සමාප්තයි -